ඉදිරිදර්ශන

රුසියාව තුල අසාර්ථක වූ කුමන්ත්‍රනය: හේතු සහ ප්‍රතිවිපාක

[මෙය The failed coup in Russia: Causes and consequences යන මැයෙන් 2023 ජූනි 25 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

වාග්නර් ගෲප් නම් වූ හමුදා සමාගමේ හිමිකරු එව්ගෙනි ප්‍රිගොෂින් [ඒපී ඡායාරූප] [AP Photo]

රුසියානු වාග්නර් කුලී හේවා බලකායේ ප්‍රධානියා වූ එව්ගෙනි ප්‍රිගොෂින් නායකත්වය දුන් කුමන්ත්‍රන ප්‍රයත්නයක්, එරට වේලාවෙන් සෙනසුරාදා සවස් වරුවේ, බිඳ වැටුනි. බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ගේ මැදිහත්වීමෙන් සිදු කෙරුනු ගිවිසුමකට අනුව ප්‍රිගොෂින් එදිනම රුසියාව හැරපියා ගොස් ඇති අතර, රුසියානු රහස් ඔත්තු සේවය (එෆ්එස්බී) වාග්නර් නායකයාට එරෙහිව ආරම්භ කරන ලද කැරලි විමර්ශනය ද අත්හැර දමා ඇත. ආරක්ෂක අමාත්‍ය ෂොයිගු සහ මාන්ඩලික ප්‍රධානිත්වයේ සභාපති වැලරි ජෙරසිමොව් ඉවත් කිරීමත්, වාග්නර් ගෲප් මිලිටරි සමාගම අප්‍රිකාව තුල යලි ස්ථානගත කිරීමත් මෙම ගිවිසුමට ඇතුලත් බවට තහවුරු නොකල වාර්තා පවතී.

ප්‍රිගොෂින්, එරට වේලාවෙන් සිකුරාදා සවස, ඔහුගේ කුමන්ත්‍රනය ආරම්භ කලේ, විනාඩි 30 ක වීඩියෝ පටයකින් රුසියාවේ මිලිටරි නායකත්වයට එරෙහිව තර්ජනය කරමිනි. ඔහු රුසියානු පාලක පන්තිය තුල සිටින නැටෝ ගැති කන්ඩායමට සෘජු ආයාචනයක් කලේය. සති කිහිපයකට පෙර, නැටෝවෙන් එල්ල වන තර්ජනයට එරෙහිව සටන් කිරීම සඳහා මහජන බලමුලු ගැන්වීමක් සහ යුද ආර්ථිකයකට පූර්න හැරීමක් ඉල්ලා සිටි ප්‍රිගොෂින්, “යුක්‍රේනයේ සන්නද්ධ හමුදා නැටෝව සමඟ එක්ව රුසියාවට පහර දීමට සූදානම් වෙමින් සිටියේ නැතැ” යි මෙහිද පැවසීය.

සෙනසුරාදා උදෑසන රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රූපවාහිනියේ පෙනී සිටිමින්, නැටෝව වෙනුවෙන් ක්‍රියා කරන බවට ප්‍රිගොෂින්ට චෝදනා කල මුත් එහිදී ඔහුගේ නම සඳහන් නොකලේය. “අද රුසියාව, නව නාසිවාදීන්ගේ සහ ඔවුන්ගේ අනුග්‍රාහකයන්ගේ ආක්‍රමනයන් වලක්වමින් එහි අනාගතය වෙනුවෙන් දැඩි අරගලයක නිරතව සිටියි. බටහිරෙහි සමස්ත යුදමය, ආර්ථිකමය සහ තොරතුරුමය යාන්ත්‍රනය අපට එරෙහිව යොමු කර ඇතැ” යි පුටින් ප්‍රකාශ කලේය.

පසුව සෙනසුරාදා සවස, වාග්නර් භටයන් රොස්තොව්-ඔන්-දොන් සහ මොස්කව්හි තදාසන්න ප්‍රදේශ අත්පත් කර ගැනීමත් සමඟ, ප්‍රිගොෂින් ඔවුන් පසු බසින බව නිවේදනය කලේය. ඔහුගේ හදිසි පසුබැසීම පැහැදිලිවම පෙන්නුම් කරන්නේ, සාර්ථක කුමන්ත්‍රනයක් සඳහා බලාපොරොත්තු වූ මට්ටමේ සහයෝගයක් ලබා ගැනීමට ඔහු අසමත් වූ බවයි.

ප්‍රිගොෂින් ට තම කුමන්ත්‍රනය දියත් කිරීමට තුඩුදුන් හේතුව කුමක්ද? පලමුව, රුසියානු රාජ්‍යය හා මිලිටරි යන්ත්‍රය සමග ඔහුගේ වර්ධනය වන ගැටුම් උච්ඡයකට පැමිනි බව පැහැදිලිය. කුමන්ත්‍රන ප්‍රයත්නයට පෙරාතුව ප්‍රිගොෂින්, ආරක්ෂක අමාත්‍ය ෂොයිගු දැඩි ලෙස හෙලා දකිමින්, යුද්ධය ප්‍රමානවත් තරම් ආක්‍රමනශීලී ලෙස ගෙන නොගිය බවට ඔහුට චෝදනා කලේය. වාග්නර් සඳහා අරමුදල් සැලකිය යුතු ලෙස කපා හැරීමට නියමිත බව වාර්තා වී ඇත. වාග්නර්, හමුදා නායකත්වයේ පාලනයට යටත් කල යුතු බවට මේ මස මුලදී පුටින් කල ඉල්ලීම ප්‍රිගොෂින් ප්‍රතික්ෂේප කලේය.

(හමුදාවට) ගරු නොකරන මෙම උද්ධච්ඡ මැරයාට පුටින් ලබාදුන් දිගුකාලීන අනුග්‍රහයන් සම්බන්ධයෙන් හමුදාව කලකිරී සිටි බවට සාක්ෂි පවතී. යුක්‍රේනය තුල ඔහුගේ මෙහෙයුම්, සීමිත ප්‍රමානයකට ප්‍රයෝජනවත් වුවද, යුද්ධය තුලදී, පුහුනුව ලත් නිලධාරීන්ගේ වෘත්තීය හැසිරවීම් වලට ද බාධාකාරී වී තිබේ. ප්‍රිගොෂින්, තමාට එරෙහි ක්‍රියාමාර්ගයන් පූර්වභංග කිරීම සඳහා කුමන්ත්‍රනයට උත්සාහ කල බව, කෙනෙකුට හේතු සහිතව අනුමාන කල හැක.

දෙවනුව, පසුගිය පැය 24 සිට 36 දක්වා සිදුවීම් වලදී නැටෝව නිෂ්ක්‍රීය නරඹන්නෙකු වූ බව විශ්වාස කිරීම, දේශපාලන අමනකමේ උච්ඡය වනු ඇත. එය නිසැකව ම ප්‍රිගොෂින් සහ රුසියානු හමුදාව අතර උග්‍ර වන වාග් සංග්‍රාමය ගැන දැඩි සැලකිල්ලෙන් සිට ඇති බවත්, ඔහු සමඟ සම්බන්ධතා ඇති කර ගත් බවත් උපකල්පනය කල හැකිය. කුමන්ත්‍රනය දියත් කිරීමේදී, ප්‍රිගොෂින් විසින් ප්‍රකාශයට පත් කරන ලද නැටෝ-ගැති බව යුක්තියුක්ත කිරීම සඳහා වෙනත් විශ්වසනීය පැහැදිලි කිරීමක් නොමැත.

දැන් ක්‍රියාත්මකවන ලෙස ප්‍රිගොෂින්ගෙන් ඉල්ලා සිටිනුවස්, ඔහුගේ නැටෝ සම්බන්ධතා හොඳ හේතුවක් විය හැකිව තිබුනි. නැටෝ පිටුබලයෙන් යුක්‍රේනය එල්ල කල ප්‍රති-ප්‍රහාරයෙන් සති තුනකටත් අඩු කාලයකදී කුමන්ත්‍රනය දියත් විය. ඩොලර් බිලියන ගනනක් වැය කරමින් සූදානම් කල මෙම ප්‍රතිප්‍රහාරය, මේතාක් දුරට පරාජයක් බව ඔප්පු වී ඇත. සෑම දිනකම දහස් ගනන් යුක්‍රේන සොල්දාදුවන් මිය යන අතර අත්පත් කර ගෙන ඇත්තේ ගම් කිහිපයක් පමනි. යන්තම් තවත් සති දෙකකින්, නැටෝව විල්නියස් හි ප්‍රධාන සමුලුවක් පවත්වනු ඇත. කුමන්ත්‍රන ප්‍රයත්නය තෙක්ම, යුක්‍රේනයේ මිලිටරි පරාජයන් එම සමුලුව තුල ආධිපත්‍යය දැරීමට තර්ජනය කරමින් තිබුනි.

බයිඩන් පරිපාලනය සහ එහි නැටෝ සහචරයින් ගනන් බැලුවේ, කුමන්ත්‍රන ප්‍රයත්නයක්, සාර්ථක නොවූවත්, පාලන තන්ත්‍රය අස්ථාවර කර එහි මිලිටරි මෙහෙයුම් වලට වල කපනු ඇති බවටයි. කෙසේ වෙතත්, කුමන්ත්‍රන ප්‍රයත්නය විසින් මාධ්‍ය ප්‍රබන්ධය, අසාර්ථක යුක්‍රේන ප්‍රති-ප්‍රහාරයෙන් ඉවතට හරවා අසාර්ථක වෙමින් පවත්නා පුටින් තන්ත්‍රය වෙත ගෙන ගොස් ඇත.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ඉහල මට්ටමේ නියෝජිතයින්ගේ, සෙලෙන්ස්කි තන්ත්‍රයේ සහ රුසියානු කතිපයාධිකාරය තුල නැටෝ-ගැති කොටස්වල ක්ෂනික ප්‍රතිචාරයන්, කුමන්ත්‍රනය ඔවුන් පුදුමයට පත්කල කරුනක් නොවූ බව පැහැදිලි කරයි.

දශකයකට වැඩි කාලයක් තිස්සේ රුසියාවට එරෙහි යුද්ධය සඳහා එක්සත් ජනපද සූදානමේ ප්‍රධාන චරිතයක් වූ, එක්සත් ජනපද හමුදාවේ ලුතිනන් කර්නල් ඇලෙක්සැන්ඩර් වින්ඩ්මන් සිකුරාදා සවස ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් මෙසේ පැවසීය: “යුක්‍රේනයේ යුද්ධය සිදු වන්නේ කෙසේදැයි කුතුහලයෙන් සිටි සියල්ලන්ටම කිව යුත්තේ, රුසියාව තුල කැරැල්ලක් යසට සිදු වෙමින් පවතින බව යි.” නැටෝව සිය ගුවන් ආරක්ෂක කලාපය “යුක්‍රේනය තුලට සැතපුම් 100ක්” දිගු කිරීමට මෙම අවස්ථාව භාවිතා කලයුතු බව, කුමන්ත්‍රනය සිදුවීමත් සමගම ඔහු යෝජනා කලේය.

එක්සත් ජනපදයේ ප්‍රමුඛතම සීඅයිඒ ඩිමොක්‍රටිකයෙකු වන කොංග්‍රස් සභික එලිසා ස්ලොට්කින් මෙසේ ට්වීට් කලාය: “මෙම අදියරේ දී එක්සත් ජනපදයේ ස්ථාවරය විය යුත්තේ, සිදුවීම් සමීපව නිරීක්ෂනය කිරීම, යුධ පිටියේ සියලු අවස්ථාවන් ප්‍රයෝජනයට ගැනීමට අපගේ යුක්‍රේන සහචරයින්ට සහාය වීම සහ ඉතිහාසයේ මෙවන් අනපේක්ෂිත මොහොතක නම්‍යශීලීව සහ අවදියෙන් සිටීමයි.' යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි ද ප්‍රිගොෂින් ගේ කුමන්ත්‍රන උත්සාහයට සහය පල කලේය.

පුටින් තන්ත්‍රය පෙරලා දැමීමේ නැටෝවේ පිටුබලය ලත් මෙහෙයුමේ කේන්ද්‍රීය චරිතයක් වූ, ලන්ඩනය පාදක කරගත් හිටපු රුසියානු කතිපයාධිකාරී මිහායිල් කොඩෝර්කොව්ස්කි, කුමන්ත්‍රන උත්සාහය “අද්විතීය අවස්ථාවක්” ලෙස අනුමත කල අතර, ප්‍රිගොෂින්ට “නොනැසී ක්‍රෙම්ලිනය වෙත ලඟා වීම” සහතික කිරීම සඳහා ආයුධ අතට ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ප්‍රිගොෂින් ගේ පසුබැසීමෙන් පසු, කෝඩොර්කොව්ස්කි ඔහුගේ ටෙලිග්‍රෑම් ගිනුම තුල, පුටින් පාලන තන්ත්‍රයට විශාල පහරක් ලෙස කුමන්ත්‍රන උත්සාහයට ප්‍රශංසා කලේය:

'පාලන තන්ත්‍රයට සිදු වූ හානියේ පරිමානය දැවැන්තයි. ඔවුන් යුක්‍රේනය සමඟ සාකච්ඡා ආරම්භ කලහොත්, පැමිනෙනු ඇත්තේ වඩා දුර්වල තත්වයකිනි. හමුදාවේ ස්වාධිපත්‍යය සහ ඒ අනුව එහි සටන් කිරීමේ හැකියාව විශාල ලෙස අඩුවනු ඇත. විපක්ෂයට නිශ්චිත නිගමනවලට එලඹීමට සිදුවනු ඇත... යුද්ධය අවසන් නොවන්නේ නම්, නව කැරැල්ලක් පැමිනීම වැඩි ඈතක නොවේ. කාර්යයන් පැහැදිලිය. අපි වැඩේට බහිමු.'

කුමන්ත්‍රනය සූදානම් කර ඇත්තේ සැලකිය යුතු මට්ටමේ නැටෝ මැදිහත්වීමකින් බව පැහැදිලිය. එහෙත් කුමන්ත්‍රනය මූලික වශයෙන් සීඅයිඒ කුමන්ත්‍රනයක ප්‍රතිඵලයක් ලෙස නිරූපනය කිරීම, රුසියානු තන්ත්‍රය තුල පවතින සැබෑ බෙදීම් සහ එහි ප්‍රතිපත්ති තීරනය කරන සමාජ අවශ්‍යතා නොතකා හැරීමකි.

ප්‍රිගොෂින් ගේ කුමන්ත්‍රන ප්‍රයත්නය සියල්ලටමත් වඩා පුටින් පාලන තන්ත්‍රයේම බංකොලොත් බව හෙලිදරව් කරයි, ප්‍රිගොෂින් මතු වූයේමත් ඒ තුලිනි. ඔහු රුසියානු ජනාධිපති පුටින් විසින් නිර්මානය කරන ලද, එහෙත් ඔහුගේ පාලනයෙන් ගිලිහුනු, ෆ්‍රැන්කන්ස්ටියානු රාක්ෂයෙකි.

දශක ගනනාවක් තිස්සේ පුටින් සහ ප්‍රිගොෂින් සමීප මිතුරන් වූහ. රුසියානු මිලිටරි ඔත්තු සේවාව වන ජීආර්යූ තුලින් ආරම්භ වූ වාග්නර් කන්ඩායම, මෑතක් වන තුරුම, රාජ්‍ය යාන්ත්‍රනය තුල පුටින්ගේ සහ අනෙකුත් බලගතු බලවේගයන්ගේ පැහැදිලි අනුග්‍රහය භුක්ති වින්දේය.

ෆැසිස්ට්වාදී හමුදා නායකයෙකු, ප්‍රකෝටිපතියෙකු සහ අධිකරනය හමුවේ වරදකරු වූ අපරාධකරුවෙකු වන ප්‍රිගොෂින්, යුද්ධයට විරුද්ධ වන රුසියානු කතිපයාධිකාරයේ සැලකිය යුතු කන්ඩායමක් නියෝජනය කරන්නේ, ධනේශ්වර පන්තියේ සහ රාජ්‍යයේ අතිවිශාල සම්පත් වෙත ප්‍රවේශය ආරක්ෂා කිරීමට පුටින් දරන උත්සාහය ඔවුන්ට විශාල පාඩුවක් කර දී ඇති බැවිනි.

පුටින් මෙම කන්ඩායම් අතර තුලනය වීමට උත්සාහ කරයි. ප්‍රතිවිරුද්ධ කතිපයාධිකාරී අවශ්‍යතා සමගි කිරීමට ගන්නා මෙම උත්සාහයේදී, “විශේෂ මිලිටරි මෙහෙයුමක්” ලෙස ඔහු තවමත් හඳුන්වන දෑ ඉදිරියට ගෙනයාමට අධිෂ්ඨාන සහගතව සිටී.

ආරම්භයේ සිටම යුක්‍රේනය තුල ක්‍රෙම්ලිනයේ පිලිවෙත පදනම් වී ඇත්තේ, සීමිත මිලිටරි පීඩනයක් මගින් රුසියානු ධනේශ්වර තන්ත්‍රයේ 'නීත්‍යානුකූල' ආරක්ෂක අවශ්‍යතා පිලිගැනීමට බටහිර අධිරාජ්‍යවාදී බලවතුන්ට ඒත්තු ගැන්විය හැකිය යන බලාපොරොත්තුව මතය. පුටින් ඔහුගේ 'රතු ඉරි' සියල්ල ඉක්මවා ගොස් තිබියදී පවා මෙම අරමුන කරා දිගටම ගමන් කර ඇත. ඔහු පසුකල නවතම 'රතු ඉර' ඔහුව පෙරලා දැමීමේ උත්සාහයයි.

පුටින් ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න, එනම්, මිලිටරි උත්සන්න කිරීමකින් ද නැතහොත් සැලකිය යුතු සහන සහිතව යම් ආකාරයක නිරාකරනයකට ලඟා වීමකින් ද යන්න ඉදිරියේදී දැකගත හැකි වනු ඇත. කෙසේ වෙතත් අධිරාජ්‍යවාදී බලවතුන් සම්මුතියකට උනන්දුවක් නොදක්වයි. ඔවුන්ගේ අවසාන ඉලක්කය වන්නේ සමස්ත පැරනි සෝවියට් සංගමයේ විශාල සම්පත් ඔවුන්ගේ සෘජු පාලනය යටතට ගෙන ඒම සඳහා රුසියාව කැබලි කිරීමයි.

අවසාන වශයෙන්, පුටින් සහ ප්‍රිගොෂින් යන දෙදෙනාම නියෝජනය කරන්නේ එකම සමාජ පන්තියකි: සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී විනාශයෙන් සහ ධනවාදය පුනස්ථාපනයෙන් මතු වූ, සාපරාධීත්වය තුල සහ කම්කරු පන්තියේ වෛරය තුල ගිලී ඇති කතිපයාධිකාරයකි.

එලිදරව් වන ආකාරයට, පාලක පන්තිය තම විරුද්ධවාදීන්ට පහර දීමේදී, පුටින් සහ ප්‍රිගොෂින් යන දෙදෙනාම සියල්ලටම පෙර කැඳවා ඇත්තේ 1917 රුසියානු විප්ලවයේ අවතාරය යි. පුටින්, කුමන්ත්‍රනය ගැන සඳහන් කරමින් මෙසේ පැවසීය: “රට, එකල පලමුවන ලෝක සංග්‍රාමයේදී සටන් කරමින් සිටියදී, 1917 දී රුසියාවට මෙවැනි පහරක් එල්ල විය. නමුත් එමගින් ජයග්‍රහනය සොරකම් කෙරින: හමුදාවට සහ ජාතියට පිටුපසින් සිදු කෙරුනු කුමන්ත්‍රන, රන්ඩු දබර සහ දේශපාලනයන්, විශාලතම කැලඹීමක් බවට පත් විය, හමුදාවේ විනාශය, රාජ්‍යයේ බිඳවැටීම සහ විශාල භූමි ප්‍රදේශ අහිමි වීම, අවසානයේ සිවිල් යුද්ධයේ ඛේදවාචකයට තුඩු දුනි.”

බෝල්ෂෙවික්වාදය පිලිබඳ පුටින්ගේ නවතම හෙලාදැකීම, එහි ව්‍යාධිමය උමතු ස්වභාවය පසෙක තැබුවද, ඉතිහාසය පිලිබඳ ඔහුගේම නොදැනුවත්කම හෙලිදරව් කරයි. ඇත්ත වශයෙන්ම, 1914 දී සාර්වාදී තන්ත්‍රය යුද්ධයට ව්‍යසනකාරී ඇතුල්වීම සහ ගැටුමේ සාපරාධී වැරදි කලමනාකරනය රුසියාව බිඳවැටීමේ අද්දරට ගෙන ආවේය. 1917 දී විප්ලවයේ පුපුරා යාමට මුහුන දුන් ධනේශ්වර තාවකාලික ආන්ඩුව, සිය අධිරාජ්‍යවාදී අවශ්‍යතා රැක ගැනීමට දරන උත්සාහය තවත් ව්‍යසනයන් ඇති කලේය.

1917 සැප්තැම්බරයේදී කම්කරු පන්තිය මර්දනය කිරීමට කෙරෙන්ස්කි විසින් රහසිගතව පිටුබලය දුන් ජෙනරාල් කොර්නිලොව්ගේ උත්සාහය සාර්ථක වූයේ නම්, පෙට්‍රොග්‍රෑඩය ජර්මානු අධිරාජ්‍යවාදයේ හමුදාවන්ට යටත් වීම සිදුවන්නට ඉඩ තිබුනි. කුමන්ත්‍රනය තලා දමා ඔක්තෝබර් මාසයේදී බලය අල්ලා ගැනීම කරා ගමන් කල බොල්ෂෙවික් පක්ෂය විසින් බලමුලු ගන්වන ලද කම්කරුවන්ගේ මහජන නැගිටීමක් මගින් මෙය වැලකුනි.

එය, 1918 සහ 1921 අතර ලෝක අධිරාජ්‍යවාදයේ පිටුබලය ලත් ප්‍රතිවිප්ලවයේ බලවේග පරාජය කල, ලියොන් ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් රතු හමුදාව නිර්මානය කල නව සෝවියට් රාජ්‍යය විය.

රුසියානු හා යුක්‍රේන කතිපයාධිකාරීන්ගේ අවශ්‍යතාවන්, අධිරාජ්‍යවාදයේ කොල්ලකාරී ප්‍රතිපත්තිවලට එරෙහිව වැඩකරන ජනතාවගේ මහජන අවශ්‍යතා ආරක්ෂා කිරීමේ ඕනෑම ප්‍රගතිශීලී රූපාකාරයකට එරෙහිව පිහිටයි.

රුසියානු, යුක්‍රේන හා ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල මාක්ස්වාදී ජාත්‍යන්තරවාදයේ බලගතු සම්ප්‍රදායන් යලි පිබිදීමක් සඳහා යුද්ධය විසින් කොන්දේසි නිර්මානය කරනු ඇතැයි යන්න රුසියානු කතිපයාධිකාරයේ සියලුම කොටස් අතර පවතින මූලික භීතියයි. යුක්‍රේනයේ යුද්ධය නැවැත්විය යුත්තේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවවාදී බලමුලු ගැන්වීමක් හරහා මිස, නැටෝවේ පිටුබලය ඇතිව පුටින් තන්ත්‍රය පෙරලා දැමීමෙන් හෝ රුසියාව කැබලි කිරීමෙන් නොවේ.

Loading