යුක්‍රේන සමාජවාදී බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කරන ලෙස බල කෙරෙන ප්‍රසිද්ධ රැස්වීමට කම්කරුවන්ගේ හා තරුනයින්ගේ සහාය

[මෙය Sri Lankan workers and youth support public meeting to demand release of Ukrainian socialist Bogdan Syrotiuk යන මැයෙන් 2024 ජූලි 05දා පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

මෑත සතිවල දී, ශ්‍රී ලංකාවේ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සහ, සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයෝ 'යුක්‍රේන සමාජවාදී බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කරනු' යන මැයෙන් පැවැත්වීමට යන මහජන රැස්වීම සඳහා උද්ඝෝෂනය කරමින් සිටියි. ජූලි 7 වැනි ඉරිදා සවස 3 ට කොලඹ 07, නිදහස් චතුරස්‍ර මාවතේ පිහිටි ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේ දී පැවැත්වෙන මෙම රැස්වීමට සහභාගි වන ලෙස අපගේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.

බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල (වයිජීබීඑල්) හි ප්‍රමුඛ සාමාජිකයෙකු වන බොග්ඩාන්, 'බරපතල රාජද්‍රෝහිත්වයේ' සහ රුසියානු ආන්ඩුවට ආධාර කලේ ය යන බොරු චෝදනා මත අප්‍රේල් 25 සිට යුක්‍රේනයේ ෆැසිස්ට් සෙලෙන්ස්කි පාලනය විසින් සිරගත කර තිබේ.

25 හැවිරිදි යුක්‍රේන සමාජවාදියාට එරෙහිව මෙම ද්වේශසහගත හා අමූලික බොරු චෝදනා එල්ල කර ඇත්තේ, ඔහු සහ වයිජිබීඑල් රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධයට විරුද්ධ වන නිසාත්, ධනේශ්වර කතිපයාධිකාරීන්ට එරෙහිව සමාජවාදී වැඩපිලිවෙලක් මත රුසියානු හා යුක්‍රේන යන දෙරටේම කම්කරුවන් එක්සත් කිරීමට සටන් වදින නිසාත් ය. වයිජිබීඑල් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට (හජාජාක) අනුබද්ධ ය.

ජූනි 13 දා, බොග්ඩන් අත්තනෝමතික ලෙස අත් අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට විරෝධය දැක්වීමට ජාත්‍යන්තර කමිටුව එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, තුර්කිය, ජර්මනිය, ප්‍රංශය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල යුක්‍රේන තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාලවල ජාත්‍යන්තරව සම්බන්ධීකෘත පිකට් උද්ඝෝෂනයක් පැවැත්වු අතර “යුක්‍රේන ආන්ඩුවට විවෘත ලිපියක්: බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කරනු!” යන මැයෙන්වූ පත්‍රිකාව බෙදා හැරියේ ය. කෙසේ වෙතත්, එක්සත් ජනපදයේ, එක්සත් රාජධානියේ, ජර්මනියේ සහ ප්‍රංශයේ යුක්‍රේන තානාපති කාර්යාල එම ලිපිය භාර ගැනීම ප්‍රතික්ෂේප කලේය.

ශ්‍රී ලංකාවේ යුක්‍රේන තානාපති කාර්යාලයක් නොමැති තත්වයක් තුල, බොග්ඩාන් නිදහස් කරන ලෙස ඉල්ලා සිදුකෙරෙන ජාත්‍යන්තර සටන තීව්‍ර කිරීමට සසප කොලඹ දී ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි.

දශක තුනක ශ්‍රී ලංකාවේ ආන්ඩු විසින් බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව ගෙනගිය ජාතිවාදී යුද්ධවලට එරෙහිව සසප සහ එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ගෙනගිය එහි ස්ථාවරමය සහ ප්‍රතිපත්තිමය විරෝධය හේතුකොටගෙන සුලුතර දෙමල ජනයා අතර බලගතු සහයෝගී පදනමක් ඇති උතුරේ යාපනයේ දී උද්ඝෝෂකයන්ට වැදගත් සහයෝගයක් ලැබී තිබේ.

බොග්ඩාන් වහා නිදහස් කරන ලෙසත් ව්‍යාජ චෝදනා ඉවත් කර ගන්නා ලෙසත් බල කරමින් දිවයින පුරා—කොලඹ, යාපනය සහ හම්බන්තොට—කම්කරුවන් සහ සිසුන් විසින්ද සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව විසින් ද කරන ලද ප්‍රකාශ අපි පහත පල කරන්නෙමු.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව

සෙලෙන්ස්කි ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි උග්‍රවන ප්‍රහාරය ගැන සාකච්ඡා කිරීමට සහ බොග්ඩාන් නිදහස් කරන ලෙස ඉල්ලා යෝජනාවක් සම්මත කර ගැනීමට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව පසුගිය සතියේ විශේෂ රැස්වීමක් කැඳවීය. යෝජනාව ඔහු අත් අඩංගුවට ගැනීම හෙලා දකින අතර “රට තුල [යුක්‍රේනයේ] දැඩි මර්දනකාරී තත්වය, ඔහුට එරෙහි ව්‍යාජ චෝදනාවලට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රමානවත් නීතිමය නියෝජනයක් ලබා ගැනීමෙන් බොග්ඩන් වලක්වන ලදි” යැයි සඳහන් කලේ ය.

2022 අප්‍රේල් 28 වැනි දින පැවති ආන්ඩු විරෝධී උද්ඝෝෂන අතරතුර, සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුවේ විරෝධතා පුවරු රැගෙන එන මහනුවර රෝහල් සේවකයින්. [ඡායාරූපය: ලෝසවෙඅ]

වෛද්‍යවරුන්, හෙදියන් සහ සෞඛ්‍ය සහායකයින්ගෙන් සමන්විත සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව, “යුද්ධය නැවැත්වීමේ අරගලය සමාජවාදී වැඩපිලිවෙලක් සහිත කම්කරු පන්තිය, තරුනයන් සහ සිසුන් මත පදනම් විය යුතු” බව සඳහන් කලේය. බොග්ඩාන් සහ ඔහුගේ වයිජීබීඑල් ගෙන යන දේශපාලන සටන මෙම වැඩපිලිවෙල මත පදනම් වන බවත්, 'බොග්ඩාන්ගේ නිදහස යුද්ධයට එරෙහිව සහ සමාජවාදය සඳහා වන සටනේ සැලකිය යුතු පියවරක්' ලෙස ප්‍රකාශ කරන බවත් එය පැහැදිලි කලේය.

කේ. රූබන්
කේ. රූබන්, යාපනයේ බීසීඒඑස් (British College of Applied Studies) හි මෘදුකාංග ඉංජිනේරු ශිෂ්‍යයෙකි

යුක්‍රේනය තුලත්, ලෝකයේ වෙනත් තැන්වලත් එක්සත් ජනපදයේ සහ නැටෝවේ අධිරාජ්‍යවාදී අවශ්‍යතා වෙනුවෙන් අහිංසක පුද්ගලයන්ට තම ජීවිත බිලිදීමට තල්ලු කර ඇත. ගාසා තීරයේ ජන සංහාරය ද ඇතුලුව අද යුද්ධවලින් මිය යන මිනිසුන් තමන් මිය යන්නේ මන්දැයි හරියටම දන්නවාද යන්න ගැන මට සැකයි.

බොග්ඩාන්, යුද්ධයට එරෙහි ඔහුගේ විරුද්ධත්වය තුලදී, අධිරාජ්‍යවාදී රටවල කොල්ලකාරී අභිප්‍රායන් හෙලිදරව් කලේය. ඔහු සටන් කර ඇත්තේ, යුක්‍රේන තරුනයන්ගේ අනාගතය වෙනුවෙන් පමනක් නොව, අප සියලු දෙනා ද වෙනුවෙන්. ඔහු නිදහස් කල යුතුයි.

යාපනය කොකුවිල් ප්‍රදේශයේ තොරතුරු තාක්ෂන අංශයේ සේවකයෙක්

මා මේ සහෝදරයා ගැන කලින් දැනගෙන හිටියේ නැහැ. යුද්ධ යනු මනුෂ්‍ය වර්ගයාට නරකම දෙය යි; එවැනි යුද්ධයකට එරෙහි ඔහුගේ සටන අව්‍යාජ යි. යුක්‍රේන ආන්ඩුව විසින් ඔහු අත්අඩංගුවට ගැනීම පිලිගත නොහැකි අතර මම එය දැඩි ලෙස හෙලා දකිනවා.

යුක්‍රේන ආන්ඩුව ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උදුරා ගෙන ඇත; මෙම දරුනු ප්‍රහාර ලොව පුරා සිදු වන සංසිද්ධියක් බව මම පිලිගන්නවා.

එස්. නිවාෂන්
යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ ශිෂ්‍යයෙකු වන එස්. නිවාෂන්

බොග්ඩාන් යුද්ධය පිටුපස සැබෑ අවශ්‍යතා හෙලිදරව් කලා. ඔවුන් [සෙලෙන්ස්කි ආන්ඩුව] ඔහුට භාෂනයේ නිදහස භාවිතා කිරීමට ඉඩ දුනහොත්, ඔවුන්ගේ යුධ ප්‍රයත්නය හෙලිදරව් වනු ඇත; යුද්ධය සඳහා සහයෝගය ඔවුන්ට ලබා ගැනීමට නොහැකි වනු ඇත.

මෙම සමාජවාදී යුද විරෝධියාට ඇහුන්කන් දෙන ඕනෑම කෙනෙක් ඔහුත් සමඟ එකඟ වනු ඇති අතර ආන්ඩුව ඔහුව රුසියානු නියෝජිතයෙකු ලෙස කොටු කිරීමට හේතුව මෙයයි. මෙය අමූලික බොරුවකි. පුටින්ගේ පාලන තන්ත්‍රය මෙන්ම නැටෝවේ සහාය ලබන යුක්‍රේන ආන්ඩුව ද බොග්ඩාන් විසින් හෙලිදරව් කෙරී ඇත. ඔහුගේ නිදහස දිනා ගැනීමට සහ යුද්ධය අවසන් කිරීමට කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව ගොඩනැගිය යුතුය.

යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ තුන්වන වසරේ සත්ව අංශයේ විද්‍යා සිසුවියක වන සඳුනි

මා කිසිම යුද්ධයකට කැමති නෑ. හිරෝෂිමා සහ නාගසාකි අත්දැකීම අප කිසිදා අමතක නොකල යුතුයි. න්‍යෂ්ටික යුද්ධයක් නරකම ප්‍රතිවිපාක ඇති කරන බව මම දන්නවා. නමුත් පේන්න තියෙන කාරනාව තමය්, මෙම සියලු අධිරාජ්‍යවාදී බලවතුන් මෙම අනතුරු නොසලකා හරින බව.

අපි යුද්ධයකට මුහුන දීලා බොහෝ අසීරු දේවල්වලට මුහුන දීලා තියෙනවා. නමුත් යාපනයට ආවට පස්සේ මට දැන් තේරෙනවා, අනිත් ප්‍රදේශවල ජීවත්වෙච්ච අපට වඩා දෙමල ජනතාව ගොඩක් දුක් විඳලා තියෙනවා කියලා.

දෙමල සහ සිංහල තරුනයන්ගේ ජීවිත විශාල ප්‍රමානයක් අපට අහිමි වුනා. ඔවුන් සටන් කර මිය ගියේ ඔවුන්ගේ අවශ්‍යතා සඳහා නොව, ධනේශ්වර දේශපාලකයින් විසින් ඔවුන් එකිනෙකාට එරෙහිව කාකොටා ගැනීමට සැලැස්වූ නිසයි. මා හිතන්නේ යුක්‍රේනයේ තත්වයත් ඒකමයි කියලා. යුක්‍රේන ආන්ඩුව බොග්ඩාන් සයිරොටියුක් සිරගත කර ඇත්තේ ඔහුගේ දේශපාලන ක්‍රියාකාරීත්වය නිසා. ඔහු කම්කරුවන්ට හා තරුනයින්ට පවසන්නේ 'මෙය ඔබගේ යුද්ධය නොවේ' කියලා. මම ඉල්ලා සිටින්නේ ඔහුව වහාම නිදහස් කරන ලෙසයි.

නෙලුම් චින්තක
ශ්‍රී ලංකාවේ දකුනේ හම්බන්තොට ප්‍රදේශයේ තරුන ගොවියෙකු වන නෙලුම් චින්තක

ධනපතියන් ඉදිරියේ දනින් වැටුනට විසඳුමක් ලැබෙන්නේ නැහැ කියලා මට තේරෙනවා. අපි කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුයි. බොග්ඩන් සටන් කලේ සමාජවාදය වෙනුවෙන්, ඒ වගේ ම යුද්ධයට එරෙහිව යි. මෙම නිර්භීත යුක්‍රේන සමාජවාදියා යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට සටන් කලා. ලෝකවාසී ජනතාව මේ අසාධාරනයට එරෙහිව හඬක් නැගිය යුතු යි, ඔහු කොන්දේසි විරහිතව බන්ධනාගාරයෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටිය යුතුයි.

මා දන්න විදියට ඇමරිකාව මැදිහත් වෙලා ලෝකෙ පුරාම යුද්ධ කරනවා. ඒ හරහා දහස් ගනනකගේ ජීවිත අහිමි කරලා තියෙනවා. මැද පෙරදිගදී එහි මැදිහත්වීම විනාශකාරී එකක්. යුක්‍රේනයේ යුද්ධය පිටුපස ඉන්නේ එක්සත් ජනපදය හා යුරෝපීය රටවල්. ශ්‍රී ලංකාවේ යුද්ධයේදී පවා ඇමරිකාව වැනි රටවල් ශ්‍රී ලංකා ආන්ඩුවට සහාය දුන්නා. එහෙම තමය්, හමුදා මුල්ලිවයික්කාල්හි [උතුරු පලාතේ] දෙමල ජනයා ලක්ෂයක් මරලා දැම්මේ.

කොලඹ තදාසන්න ප්‍රදේශයක් වන මීතොටමුල්ලේ තරුන කාර්මිකයෙක් වන අස්ලාම්

බොග්ඩාන් සටන් කලේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට; ඒ නිසාම සෙලෙන්ස්කි ආන්ඩුව ඔහුව අත්අඩංගුවට අරන් තියෙන්‌නේ, ඔහුගේ කට වහලා දාලා ඔහුව විනාශ කිරීමටයි...

[ජූනි 13 හජාජාක විවෘත ලිපිය පිලිගැනීම ප්‍රතික්ෂේප කල යුක්‍රේන තානාපති කාර්යාලවලට] එක්සත් ජනපදයෙන් සහ සෙලෙන්ස්කි ආන්ඩුවෙන් බලපෑම් එල්ල වන්නට ඇත. ඔවුන් එවැනි විරෝධතා ලිපියක් පවා නොපිලිගන්නා තත්වයකදී, මේකනම් ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. අපේ අදහස් ප්‍රකාශ කරන්න දෙන්නේ නැහැ. බොග්ඩන් නිදහස් කර ගැනීමට සටනක් තිබිය යුතුය.

කන්ඩම්බි, කොලඹට උතුරින් පිහිටි රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලික අංශයේ සේවකයෙක්

පැරනි සෝවියට් සංගමය තුල ක්‍රියාකාරී වූ ට්‍රොට්ස්කිවාදී සංවිධානයක් වන, බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල හි ප්‍රමුඛ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන බොග්ඩාන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් යුක්‍රේනයේ සෙලෙන්ස්කි ආන්ඩුව දැඩි ලෙස හෙලා දැකිය යුතුය. මේ තත්වය තුලදී පැහැදිලි කාරනය වන්නේ මේ තරුන සමාජවාදියාගේ ජීවිතය අනතුරේ හෙලා තිබීම යි.

බොග්ඩාන් වැනි තරුන දේශපාලන ක්‍රියාකාරීන් අගය කල යුතුයි. ශ්‍රී ලංකාවේ සිටින අප ද බොග්ඩාන්ගේ නිදහස සඳහා වූ මෙම ජාත්‍යන්තර උද්ඝෝෂන ව්‍යාපාරයට සම්බන්ධ විය යුතුයි. ඔහුව අත්අඩංගුවේ තබාගෙන ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අවහිර කිරීම ගැන අපි යුක්‍රේන ආන්ඩුව හෙලා දැකිය යුතුයි. මේ අතර මේ ප්‍රශ්නය යුක්‍රේන ආන්ඩුවට ඉදිරිපත් කරන ලෙස අප මෙරට විදේශ තානාපති කාර්යාලවලින් ඉල්ලා සිටිය යුතුයි.

බොග්ඩන්ට වහාම නිදහස ලබා දී ඔහුට එරෙහි සියලු චෝදනා ඉවත් කරනු! ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අවහිර කිරීමට එරෙහිව සටන් වදිමු! ශ්‍රී ලංකාව ඇතුලු මුලු මහත් දකුනු ආසියාව පුරා මෙම විරෝධතාවය සමඟ නැගී සිටිමු! දේශපාලන නිදහස අගය කරමු; ඒ සඳහා සටන් වදිමු!

Loading