යුක්‍රේන ආන්ඩුව ලෝක සමාජවාදී වෙබ් අඩවිය තහනම් කරයි

[මෙය Ukrainian government bans World Socialist Web Site යන මැයෙන් 2024 ජූනි 06 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ජනාධිපති ජෝ බයිඩන්, 2023 සැප්තැම්බර් 21 බ්‍රහස්පතින්දා වොෂින්ටනයේ ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී යුක්‍රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි හමුවෙයි. [ඒපී ඡායාරූප/ඉවාන් වූචි] [AP Photo/Evan Vucci]

ජූනි 3 සඳුදා යුක්‍රේන ආන්ඩුව, ලෝක සමාජවාදී වෙබ් අඩවිය රට පුරා තහනම් කරමින්, ලෝසවෙඅ වෙත ප්‍රවේශය දින නියමයක් නොමැතිව අවහිර කරන ලෙස සියලුම අන්තර්ජාල සේවා සපයන්නන්ට අන කරන නියෝගයක් නිකුත් කලේය.

යුක්‍රේනයේ හමුදා බුද්ධි අංශයේ ශාඛාවක් වන රාජ්‍ය විශේෂ සන්නිවේදන සේවය (එස්එස්එස්සීඅයිපී) විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී. 'විද්‍යුත් සන්නිවේදන අන්තර්ජාල සහ/හෝ සේවා සපයන්නන්ට” එය උපදෙස් දෙන්නේ, “ වසම් නාම හා උපවසම් නාමවලට ඔවුන්ගේ පුනරාවර්තන වසම්නාම පද්ධති (DNS) සේවාදායකය මත wsws.org සීමා කිරීම පැනවීම ( ප්‍රවේශය අවහිර කිරීම්) ක්‍රියාත්මක කරන” ලෙසයි

අවසන් වන දිනයක් සඳහන් නොකරන මෙම නියෝගය 'යුක්‍රේනයේ යුධ නීතිය අවසන් කිරීම හෝ අහෝසි කිරීම දක්වා ම' පවතිනු ඇත. එස්එස්එස්සීඅයිපී කියා සිටින්නේ, රට පුරා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අත්හිටවූ, ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කිගේ 2022 පෙබරවාරි 24 වන දින යුද නීතිය ප්‍රකාශයට පත්කිරීම යටතේ තහනම යුක්ති සහගත බවයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියට පිවිසීම තහනම් කිරීමේ නියෝගය මගින් හෙලිදරව් කෙරෙන්නේ, එක්සත් ජනපදය විසින් මෙහෙයවන යුක්‍රේන යුද්ධය “ප්‍රජාතන්ත්‍රවාදයේ” නාමයෙන් ගෙන යන්නක් බවට කරන සියලු ප්‍රකාශ මුසාවක් බවයි. දිනයකට පෙරාතුව, නොර්මන්ඩි හි පැවති ඩී-දින (D-Day) අනුස්මරන උත්සවයකදී කතා කල එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, යුද්ධය “ආඥාදායකත්වය සහ නිදහස අතර අරගලයක්” වසයෙන් ඉදිරිපත් කලේය. යථාර්ථය නම්, යුක්‍රේනය යනු, හොලෝකෝස්ටය (මහා ජන ඝාතනය) වන්දනාමාන කරන ෆැසිස්ට්වාදීන් මත දේශපාලනිකව යැපෙන ආඥාදායකත්වයකි. ආන්ඩුව එහි යුද්ධයේ විරුද්ධවාදීන්ට කුරිරු ලෙස හිංසා පීඩා කරන අතර නිදහසේ කතා කිරීම නිර්දය ලෙස යටපත් කරයි..

ලෝසවෙඅ තහනම් කිරීමේ තීරනය, අප්‍රේල් 25 දා සෙලෙන්ස්කි තන්ත්‍රය විසින් අත් අඩංගුවට ගත් 25 හැවිරිදි සමාජවාදී ජාත්‍යන්තරවාදියෙකු වන බොග්ඩාන් සයිරොටියුක් සඳහා යුක්‍රේනය තුල සහ ජාත්‍යන්තරව ලැබෙන සහයෝගයට ප්‍රතිචාරයකි; එස්බීයූ අභිචෝදකයින් (යුක්‍රේනයේ අභ්‍යන්තර ඔත්තු ඒජන්සිය) වංචනික ලෙස ප්‍රකාශ කරන්නේ, ඔහු ලෝසවෙඅ සඳහා ලිපි ලිවීම “රුසියානු ප්‍රචාරනයක්” බව ය. සයිරොටියුක් සහ ඔහු අයත් වන සංවිධානය වන බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල (වයිජිබීඑල්) සංවිධානය වනාහී ට්‍රොට්ස්කිවාදීහූ ය; එමෙන්ම, ඔවුහු රුසියාවට මෙන්ම ව්ලැඩිමීර් පුටින්ගේ ධනේශ්වර ආන්ඩුවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධයේ අශමනීය විරුද්ධවාදීහු ද වෙති.

ලෝසවෙඅ තහනම් කරමින් යුක්‍රේන රාජ්‍ය විශේෂ සන්නිවේදන සේවය නිකුත් කල නියෝගය.

ලෝසවෙඅ තහනම් කිරීමට යුක්‍රේන ආන්ඩුව ගත් තීරනය බයිඩන් පරිපාලනයේ උපදේස් යටතේ සිදු කර ඇති බවට බලගතු සාක්ෂි තිබේ.

යුක්‍රේන රාජ්‍ය විශේෂ සන්නිවේදන සේවය—ලෝසවෙඅ තහනම් කිරීමේ නියෝගය නිකුත් කල ආයතනය—එක්සත් ජනපද ආන්ඩුවේ දිගුකාලීන හවුල්කරුවෙකි. 2022 ජූලි මාසයේදී, 'යුක්‍රේන ආන්ඩුව සමඟ සීඅයිඑස්ඒ හි පවතින සබඳතා පුළුල් කරනු වස්' එක්සත් ජනපද සයිබර් ආරක්ෂන සහ යටිතල පහසුකම් ආරක්ෂන ඒජන්සිය (ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අංගයක් වන සීඅයිඑස්ඒ), එස්එස්එස්සීඅයිපී සමඟ “හවුල් සයිබර් ආරක්ෂන ප්‍රමුඛතා පිලිබඳ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා” ගිවිසුමක් අත්සන් කරන ලදී.

සීඅයිඑස්ඒ අධ්‍යක්ෂ ජෙන් ඊස්ටර්ලි පැවසුවේ, “අපි ඵලදායී ලෙස තොරතුරු බෙදා ගන්නේ කෙසේද, හොඳම භාවිතයන්, එකට අභ්‍යාස කරන්නේ කෙසේද, එකට පුහුනු කරන්නේ කෙසේද, විරුද්ධවාදී ක්‍රියාකාරකම් දඩයම් කරන්නේ කෙසේද යන්න පිලිබඳව ඇත්ත වශයෙන්ම අවධානය යොමු කිරීමට මෙම ගිවිසුම අපට ඉඩ සලසයි.”

සයිරොටියුක්ට එරෙහි ව්‍යාජ චෝදනා ගෙනහැර දක්වන ලියකියවිලිවල, යුක්‍රේන ආන්ඩුව, යුක්‍රේනයේ ආරක්ෂක සහ රැකවරන කවුන්සිලයේ කොටසක් වන සාවද්‍ය තොරතුරු පිටුදැකීමේ මධ්‍යස්ථානය (සීසීඩී) විසින් ලෝසවෙඅ සම්බන්ධව සිදුකල 'පරීක්ෂනයක්' ගැන සඳහන් කරයි. අභිචෝදනා ලේඛනවලට අනුව, සීසීඩී විසින් 'WSWS.org වෙබ් අඩවියේ පල කරන ලද ප්‍රකාශන වල විශ්ලේෂනයක් සිදු කරන ලදී ... ඒ අනුව යුක්‍රේනයේ තොරතුරු ආරක්ෂාවට [සයිරොටියුක්] විසින් සිදු කරන ලද හානියේ සාරය තහවුරු කරන ලදී.'

සයිරොටියුක් හෝ ලෝසවෙඅ රුසියානු ආන්ඩුවට ආධාර කරන්නේය යන ප්‍රකාශයට සහාය දැක්වීමට අංශු මාත්‍රයක හෝ සාක්ෂියක් නොමැත. ඊට පටහැනිව, අභිචෝදනා ලේඛන මුලුමනින්ම රඳා පවතින්නේ, යුක්‍රේන ආන්ඩුව තුල සිටින ෆැසිස්ට්වාදීන්ගේ භූමිකාව හෙලිදරව් කරමින්, න්‍යෂ්ටික උත්සනියක අන්තරාය පිලිබඳව අනතුරු අඟවමින් සහ රුසියානු සහ යුක්‍රේන ආන්ඩු දෙකටම එරෙහිව කම්කරු පන්තියේ එක්සත්කම සඳහා කැඳවුම් කරමින්, එක්සත් ජනපද-නේටෝ යුද්ධය හෙලා දකිමින්, සයිරොටියුක් සහ ලෝසවෙඅ විසින් පලකල ලිපි මත ය. සයිරොටියුක්ගේ වරද පිලිබඳ සාක්ෂියක් ලෙස යුක්‍රේන බලධාරීන් විසින් උපුටා දක්වන ලද 'සාක්ෂි' අතරට, ඔහුගේ මහල් නිවාසයේ තිබී සොයාගත් ව්ලැඩිමීර් ලෙනින්, ලියොන් ට්‍රොට්ස්කි සහ ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් රචනා කරන ලද පොත්පත් ද ඇතුලත් වේ.

සාවද්‍ය තොරතුරු පිටුදැකීමේ මධ්‍යස්ථානය සමග ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට සමීප සම්බන්ධකම් ද ඇත. ග්ලෝබල් රිස්ක් ඉන්සයිට් විසින් 2022 ඔක්තෝබර් ලිපියකට අනුව:

යුක්‍රේනයේ සාවද්‍ය තොරතුරු පිටුදැකීමේ මධ්‍යස්ථානය … මුලපිරීමට මෙහෙයවීම් වර්ධනය වූයේ ... රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සංක්‍රමන මුලපිරීම් කාර්යාලයෙනි (ඔටීඅයි). ඔටීඅයි හි යුක්‍රේනයේ විශ්වාසය ගොඩනැගීමේ මුලපිරීම II, [එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගෝලීය නියැලීමේ මධ්‍යස්ථානයේ] සහෝදර සංවිධානය, යූඑස්ඒජීඑම් [ගෝලීය මාධ්‍ය සඳහා එක්සත් ජනපද නියෝජිත ආයතනය] මෙන්ම එක්සත් රාජධානියේ විදේශ පොදුරාජ්‍ය මන්ඩලීය සහ සංවර්ධන කාර්යාලය ඇතුලු පුලුල් පදනමක් සහිත සන්ධානයක් සමඟ හවුල් විය. රුසියානු ආක්‍රමනයට වසරකට ආසන්න කාලයකට පෙර ම යුක්‍රේනයේ සාවද්‍ය තොරතුරු පිටුදැකීමේ දෙපාර්තමේන්තු 'නැගී සිටීමට' මෙම ප්‍රයත්නය ඉඩ දුන්නේය.

සැලකිය යුතු ලෙස, පෙන්ටගනයේ ප්‍රධාන විධානය (Pentagon's Central Command) විසින් මෙම වසර මුලදී වාර්තාවක් නිකුත් කරන ලද අතර, 'වෙලඳපොල පර්යේෂන සහ ජාතික සමීක්ෂන' පැවැත්වීමටත්, යුක්‍රේනයේ සහ ජාත්‍යන්තරව 'සාවද්‍ය තොරතුරු' වල බලය තීරනය කිරීමටත් ගෝලීය මාධ්‍ය සඳහා එක්සත් ජනපද ඒජන්සිය විසින් දරන ඉදිරි උත්සාහයන් ගැන සඳහන් කරයි. පෙන්ටගනයට අනුව, 'ව්‍යාපෘතිවල පර්යේෂන ක්‍රමවලට, කේන්ද්‍රගත කන්ඩායම්, මාධ්‍ය අධීක්ෂන මන්ඩල' සහ “වැරදි තොරතුරු” වල නිෂ්පාදනයක් ලෙස ලේබල් කරන යුක්‍රේනයේ යුද විරෝධී හැඟීම්වල 'බලපෑම පරීක්ෂා කිරීම සඳහා ජාතික සමීක්ෂන' ඇතුලත් වේ.

මෙම පර්යේෂනය, සයිරොටියුක් අත්අඩංගුවට ගැනීම සහ එසැනින් ලෝසවෙඅ තහනම් කිරීමට තීරනය කිරීම ඇතුලත් '2024 මාර්තු සිට මැයි දක්වා,' ගෙනයන ලදී. යුක්‍රේනය තුල රුසියාවට එරෙහි යුද්ධයට එරෙහි විරෝධයේ සැලකිය යුතු වර්ධනයක් අත්දැක ඇති මෙම කාල පරිච්ඡේදය, ලෝසවෙඅ පාඨක සංඛ්‍යාවේ වර්ධනයක් සහ සයිරොටියුක් ට එරෙහිව නඩු පැවරීමට විරුද්ධව වර්ධනය වන දැනුවත්භාවය සහ විරුද්ධත්වය සමග සමපාත වෙතැයි බලධාරීහු බිය පල කරති

සයිරොටියුක් අත්අඩංගුවට ගැනීමෙන් පසුව අප්‍රේල් 30 නිකුත් කරන ලද ප්‍රකාශයක, ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් මෙසේ පැහැදිලි කලේය:

බොග්ඩන් අත්අඩංගුවට ගැනීම, යුද්ධයට එරෙහි සිය විරෝධය යුක්‍රේන කම්කරු පන්තිය තුල වැඩෙන ප්‍රතිචාරයක් සොයා ගනිමින් සිටින සෙලෙන්ස්කි තන්ත්‍රයේ වාමාංශික ව්‍යාපාර ම්ලේච්ඡ ලෙස මර්දනය කිරීමේ නවතම උදාහරනයයි.

සයිරොටියුක් සහ ලෝසවෙඅ පුටින් ගැති ලෙස හුවා දැක්වීමට යුක්‍රේන ආන්ඩුව දරන ප්‍රයත්නයන් “දේශපාලනිකව මුග්ධ” බව නෝර්ත් ලිවීය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සමග දේශපාලන සහයෝගීතාවයෙන්, වයිජීබීඑල් යුක්‍රේනයේ සහ රුසියාවේ කතිපයාධිකාරී ධනේශ්වර ආන්ඩුවලට විරුද්ධ වේ. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කරන ලද ලිපි රාශියකින් සහ ජාත්‍යන්තර කමිටුව විසින් අනුග්‍රහය දක්වන ලද සිදුවීම් වලදී බොග්ඩාන් නිසැක ලෙස යුද්ධය හෙලා දකිමින්, කියෙව්හි සහ මොස්කව්හි ප්‍රතිගාමී ජාතික-ස්වෝත්තමවාදී තන්ත්‍රයන්ට එරෙහිව යුක්‍රේන හා රුසියානු කම්කරු පන්තියේ එකමුතුව ඉල්ලා සිටියේය. රුසියාවේ සිටින ඔහුගේ සහෘදයන්, පුටින්ගේ ධනේශ්වර පුනස්ථාපනවාදී පාලන තන්ත්‍රය සහ නව-සාර්වාදී රුසියානු ජාතිකවාදය මුලාකාරී ලෙස උත්කර්ෂයට නැංවීමට අවිවාදයෙන්ම විරුද්ධ වෙති.

සයිරොටියුක් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය පුලුල් ලෙස ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති අතර, ජාත්‍යන්තර කමිටුව ඔහුගේ නිදහස ඉල්ලා සිටින ගෝලීය ව්‍යාපාරය සම්බන්ධීකරනය කිරීම සඳහා ආරක්ෂක කමිටුවක් පිහිටුවා ඇත. නෝර්ත් විසින් Twitter/X හි ප්‍රකාශයට පත් කරන ලද වීඩියෝවක් 150,000 වාරයකට වඩා නරඹා තිබේ. ලොව පුරා දහස් ගනනක් ජනයා සයිරොටියුක් නිදහස් කරන ලෙස ඉල්ලා පෙත්සමට අත්සන් කර ඇත. ප්‍රසිද්ධ කලාකරුවන්, දේශපාලන කන්ඩායම්, මාධ්‍යවේදීන් සහ ප්‍රසිද්ධ පුද්ගලයින් යුක්‍රේන ආන්ඩුවෙන් ඉල්ලා ඇත්තේ සයිරොටියුක් නිදහස් කර ඔහුට එරෙහි සියලු චෝදනා ඉවත් කරන ලෙසයි.

ලෝසවෙඅ සියලුම පාඨකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, සයිරොටියුක්ගේ නිදහස (wsws.org/freebogdan හි) ඉල්ලා ගොනු කරන පෙත්සමට අත්සන් කර, තව දුරටත් බෙදා හරින ලෙසයි; එසේම, ලෝසවෙඅ අමතා භාෂනයේ නිදහසට එල්ල කෙරෙන පුලුල් ප්‍රහාරයට එරෙහි ව්‍යාපාරයේ ක්‍රියාකාරී වන ලෙසත්, අධිචෝදනාව සහ ලෝසවෙඅ තහනම් කිරීමේ තීරනය හෙලා දකිමින් ප්‍රකාශ නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටිමු.

Loading