අසාර්ථක ප්‍රකෝපකරනයක්: හජාජාක විසින් යුක්‍රේන ට්‍රොට්ස්කිවාදී බොග්ඩාන් සයිරොටියුක් ආරක්ෂා කිරීම අපකීර්තියට පත් කිරීමට ඇලෙක්ස් ස්ටයිනර් දැරූ උත්සාහය පිලිබඳව

[මෙය A provocation that failed: On Alex Steiner’s attempt to discredit the ICFI’s defense of Ukrainian Trotskyist Bogdan Syrotiuk මැයෙන් 2025 පෙබරවාරි 04 දා පල වූ ලිපියේ පරිවර්තනයකි.]

බොග්ඩාන් සයිරොටියුක්

ජනවාරි 28 වන දින, ඇලෙක්ස් ස්ටයිනර්ගේ permanent-revolution.org බ්ලොග් අඩවිය, 'දේශපාලන සිරකරුවෙකු වන බොග්ඩාන් සයිරොටියුක් පිලිබඳ නිර්නාමික ලිපියක්' පල කලේ ය. එය, යුක්‍රේන ට්‍රොට්ස්කිවාදියාගේ ආරක්ෂාව නොසැලකිලිමත් ලෙස අවදානමට ලක් කල බවටත්, එම නිසා යුක්‍රේන රාජ්‍ය පොලිසිය වන එස්බීයූ විසින් ඔහු අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් වගකිව යුතු බවටත් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට චෝදනා කරයි.

ජනවාරි 28 වන දින එල්ල වූ චෝදනාවේ පදනම වූයේ, අත්අඩංගුවට ගත් සමාජවාදියා විසින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කල බොල්ෂෙවික් ලෙනින්වාදීන්ගේ තරුන රැකවල (වයිජීබීඑල්) සංවිධානයේ ක්‍රියාකාරකම් පිලිබඳ ලිපිවල භාවිතා කල නම වන 'ඔස්ටැප් රෙරික්' යනු ඔහුගේ නීත්‍යානුකූල නාමය බවට කරන ලද ව්‍යාජ ප්‍රකාශයයි. 'බොග්ඩාන් සයිරොටියුක්' යන නම අන්වර්ථ නාමයක් බව ලිපියේ සඳහන් විය. නිර්නාමික ලිපිය හඳුන්වා දෙමින්, ස්ටයිනර්ගේ සගයා වන සෑම් ටිසොට් මෙසේ ලිවී ය:

ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු, (හජාජාක විසින් පවත්වා ගෙන යනු ලබන) ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඔහුගේ නිදහස වෙනුවෙන් උද්ඝෝෂනයක් දියත් කර ඇත. කෙසේ වෙතත්, පක්ෂයේ සාමාජිකයින් සහ උද්ඝෝෂනයේ ආධාරකරුවන් නොදන්නවා වුව, එස්බීයූව ඔස්ටැප් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ලෝසවෙඅ කර්තෘ මන්ඩලය මෙතෙක් හෙලි කිරීමට අරපරිස්සමින් වූ දෑට වඩා වැඩි වගකීමක් දරයි.

ෆැසිස්ට්වාදී පාලනයක් යටතේ වැඩ කරන තරුන සමාජවාදී ක්‍රියාකාරිකයෙකු ආරක්ෂා කරනවාට වඩා, හජාජාක නායකත්වය, ඔහුගේ නීත්‍යානුකූල නම ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කිරීමෙන් සහ දැඩි ලෙස අධීක්ෂනය වන VK සමාජ මාධ්‍ය ජාලය තුල ඔවුන්ගේ ලිපි ලේඛන බෙදාහදා ගැනීමට (share) ඔහුට ඉඩ දීමෙන්, නොසැලකිලිමත් ලෙස ඔහුව අනතුරේ හෙලූ බවට ලිපිය චෝදනා එල්ල කරයි. මෙම තොරතුරු, හජාජාක සාමාජිකත්වයෙන් හිතාමතාම සඟවා ඇති බව ද ලිපිය තවදුරටත් කියා සිටී.

2025 ජනවාරි 28 දින, permanent-revolution.org හි පල කල මුල් පිටපත

මෙලෙස ජාත්‍යන්තර කමිටුව හෙලාදැකීම පල කිරීමෙන් දින තුනකට පසු, ස්ටයිනර් “නිවැරදි කිරීමක් සහ සමාව අයැදීමක්” පල කර ඇත. එහි මෙසේ සඳහන් වේ:

2025 ජනවාරි 28 වන දින නිර්නාමික මූලාශ්‍රයකින් අප විසින් ප්‍රකාශයට පත් කරන ලද ලිපිය කරුනුමය වශයෙන් වැරදි බව අපට දන්වා ඇති අතර එම නිසා ලිපිය සහ ලිපිය මත පදනම් වූ අපගේ අදහස් අපි ඉවත් කරන්නෙමු. බොග්ඩාන් සයිරොටියුක් යනු යුක්‍රේන දේශපාලන සිරකරුවෙකු සහ බොල්ෂෙවික් ලෙනින්වාදීන්ගේ තරුන රැකවල (වයිජීබීඑල්) සංවිධානයේ නායකයාගේ අන්වර්ථ නාමයක් බවත් ඔස්ටැප් රෙරික් ඔහුගේ නීත්‍යානුකූල නාමය බවත් ලිපියේ සඳහන් විය. මෙම ප්‍රකාශය සත්‍ය වශයෙන්ම වැරදි ය. මෙම වැරදි තොරතුරු මත පදනම්ව, ලිපි රචකයා ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) වයිජීබීඑල් පිලිබඳ වාර්තා කරන ලිපි මාලාවක ඔහුගේ අන්වර්ථ නාමය වෙනුවට බොග්ඩාන්ගේ සැබෑ නම භාවිතා කල බවට චෝදනා කල අතර එමඟින් බොග්ඩාන් සයිරොටියුක්ගේ අනන්‍යතාවය, යුක්‍රේන බුද්ධි අංශවල මර්දනකාරී හස්තයට අනවශ්‍ය ලෙස නිරාවරනය කලේය. නොනවතින විප්ලවය වෙබ් අඩවියේ (permanent-revolution.org) කර්තෘ මන්ඩලය වන අපි, මෙම නිසැකව ම වැරදි ලිපිය ප්‍රකාශයට පත් කිරීම සහ අදහස් දැක්වීම සම්බන්ධයෙන් සමාව අයදිමු. එය සිදු නොවිය යුතුව තිබුනි.

අමූලික බොරුවක් මත පදනම්ව හෙලාදැකීමක් පල කිරීමට ස්ටයිනර් ගත් තීරනය වංක ලෙස මගහැර යනසුලු පැහැදිලි කිරීමක් වන මෙම සමාව අයැදීම අපි ප්‍රතික්ෂේප කරමු. මෙම තීරනය ගැනීමේ දී පැහැදිලිවම අදහස් කලේ, බොග්ඩාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හජාජාක සහ ලෝසවෙඅ වගකිවයුතුබව එහි ආරක්ෂක උද්ඝෝෂනය අපකීර්තියට පත් කිරීමයි. මෙම ලිපිය පල කිරීමට පෙර, ස්ටයිනර්ගේ බ්ලොග් අඩවිය බොග්ඩන් සයිරොටියුක් අත්අඩංගුවට ගැනීම හෙලා දැකීම කෙසේ වෙතත්, කිසි විටෙකත් වාර්තා කර නොතිබුනි. නමුත් හදිසියේම, පෙබරවාරි 4 වන දිනට නියමිත සැලකිය යුතු නීතිමය ක්‍රියාමාර්ගයක් ආසන්නයේ, ස්ටයිනර්ගේ බ්ලොග් අඩවිය [මාතෘකාවක් පිලිබඳව නිරන්තරයෙන් යාවත්කාලීන කරන ලද අන්තර්ගතයන් (බ්ලොග් සටහන්) ලබා දෙන පුද්ගලයෙකු, කන්ඩායමක් හෝ සංස්ථාවක් විසින් පවත්වාගෙන යනු ලබන ඔන්ලයින් සඟරාවක් හෝ තොරතුරු වෙබ් අඩවියකි] බොරු හෙලාදැකීමක් පල කලේය.

තමා සාධාරනීකරනය කිරීමට උත්සාහ කරමින්, නිර්නාමික ලිපියේ චෝදනාව සම්බන්ධයෙන් “අදහසක් ලබා ගැනීමට ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සභාපතිවරයා දෙවරක් සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරූ” බව ස්ටයිනර් ප්‍රකාශ කරයි. ඔහු කියා සිටින්නේ “පිලිතුරක් සඳහා ඔහු දින 3 ක් බලා සිටි බවත්, එවැන්නක් නොලැබුනු නිසා ලිපිය ප්‍රකාශයට පත් කල බවත්” ය. ලෝසවෙඅ එහි සියලුම විද්‍යුත් ඊමේල් ලිපින මෙන්ම ඩේවිඩ් නෝර්ත්ගේ ඊමේල් ලිපින ද සෝදිසි කර ඇත. එවැනි ලිපියක් ලැබී නැත.

'ඉතා සංවේදී තත්වයක් තුල දේශපාලන කටයුතුවල නියැලෙන විට අන්වර්ථ නාමයක් භාවිතා නොකිරීමේ අන්තරායන් පිලිබඳව අනතුරු ඇඟවීමක් සැපයීමට අපට වගකීමක් ඇති බවට විශ්වාස කරමින්' නිර්නාමික හෙලාදැකීම ප්‍රකාශයට පත් කිරීමට තීරනය කල බව ස්ටයිනර් තවදුරටත් කියා සිටී. මෙම ආත්මාර්ථකාමී නිදහසට කරුන, කුහකකම සහ වංචාව සංයෝග කරයි. ජාත්‍යන්තර කමිටුවට ඔහු එල්ල කල බොහෝ හෙලාදැකීම් වලදී, නෝර්ත් ඔහුගේ නීතිමය නමින් සඳහන් කිරීම සහ ඔහුගේ පුද්ගලික ආරක්ෂාවට හානි කරන තොරතුරු පල කිරීම සම්බන්ධයෙන් ස්ටයිනර් කිසිදු පැකිලීමක් පෙන්වා නැත.

කෙසේ වෙතත්, ස්ටයිනර් සහ ඔහුගේ සහකාරක ටිසොට් විසින් පවසන ලද මූලික බොරුව, ඔවුන් නිර්නාමික ලිපියක් ලෙස විස්තර කරන දෙයෙහි මූලාරම්භයට අදාල වේ. ජනවාරි 28 වන දින පල කරන ලද “ලිපිය” හැඳින්වීමේදී ටිසොට් මෙසේ ලිවීය: “අපට ලිපිය එවූ තැනැත්තාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට හැකි වී ඇත; කෙසේ වෙතත්, නිර්නාමිකව සිටීමට ඔහුගේ කැමැත්ත අපි පාවා නොදෙමු.”

ඇත්ත වශයෙන්ම, වැරදි තොරතුරුවල මූලාශ්‍රය නිර්නාමික ලිපියක් නොවේ. “ඔස්ටැප් රෙරික්” හෙලිදරව් කිරීම සඳහා හජාජාක, ලෝසවෙඅ සහ ඩේවිඩ් නෝර්ත් වගකිව යුතු බවටත්, බොග්ඩාන් සයිරොටියුක් යනු අන්වර්ථ නාමයක් බවටත් ගොතන ලද ප්‍රකාශය මුලින් පල වූයේ, 2024 දෙසැම්බර් 30 සහ 2025 ජනවාරි 3 අතර කොමියුනිස්ට් විරෝධී ප්‍රකෝපකරුවෙකු විසින් Alexander Goldman@bukvasevich යන හසුරුව (handle) භාවිතා කරමින් පල කරන ලද ට්විටර් පනිවුඩ මාලාවක ය. ඔහු තමාව හඳුන්වා ගත්තේ, “නැගෙනහිර කලාපවල විප්ලවවාදී සහ රැඩිකල් ක්‍රියාකාරකම් ආවරනය කිරීම සඳහා විශේෂඥයෙකු වන අරාජිකවාදියෙකු සහ ස්වාධීන මාධ්‍යවේදියෙකු” ලෙස ය. මෙම හසුරුව සහිත ගිනුම මුලින්ම X (ට්විටර්) හි 2024 දෙසැම්බර් 9 වන දින පල විය. [අපි මතුවට පැහැදිලි කරන හේතු නිසා, ගිනුම පෙබරවාරි 3 වන දින හදිසියේම වසා දමන ලදී.].

සති තුනකට පසු, 2024 දෙසැම්බර් 30 වන දින, “ඇලෙක්සැන්ඩර් ගෝල්ඩ්මන්,” බොග්ඩාන් අත්අඩංගුවට ගැනීමට ඔවුන් වගකිව යුතු බවට කරන ප්‍රකාශය මත කේන්ද්‍රගත වෙමින්, හජාජාක, ලෝසවෙඅ සහ ඩේවිඩ් නෝර්ත්ට එරෙහිව දෝෂාරෝපන මාලාවක් පල කිරීමට පටන් ගත්තේය:

ඔස්ටැප්ගේ අනන්‍යතාවය හෙලිදරව් කිරීමෙන් හාජාජාක තීරනාත්මක වැරැද්දක් කල අතර එය, ඔහුට අහිතකර ප්‍රතිවිපාකවලට තුඩු දුන්නේය. ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ගේ වගකීම වසා ගැනීම සඳහා, ඔවුන් අන්වර්ථ නාමයක් නිර්මානය කලහ.

කුඩා ට්‍රොට්ස්කි-ලබ්ධික කල්ලි ඔවුන්ගේ ශාඛා තුල සිටින කාන්තා සාමාජිකයින්ට ලිංගික හිරිහැර කිරීමේ සිට ලිංගික විලෝපිකයන් ආරක්ෂා කිරීම දක්වා සම්බන්ධ වන දේ ගැන ඔබ කම්පනයට පත් වනු ඇත. හජාජාක සහ ආර්සීඅයි වැනි කන්ඩායම් ලබ්ධිකයින් වේ. ඒවායේ සාමාජිකයන් තමන් ලබ්ධියක කොටසක් බව පවා නොදනිති.

ඔස්ටැප් රෙරික් යනු ඔහුගේ සැබෑ නම වන අතර, 'බොග්ඩාන් සයිරොටියුක්' යනු යුක්‍රේන රහස් සේවාවන් විසින් ඔස්ටැප් අත්අඩංගුවට ගැනීමෙන් පසු හජාජාක-ලබ්ධික නායකත්වය විසින් නිර්මානය කරන ලද අන්වර්ථ නාමයකි.

ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හජාජාක නායකත්වය වගකිව යුතුය; මන්ද, ඔහු රඳවා තබා ගැනීමේ අවදානමට ලක්ව ඇත්තේ, ඔහු සමඟ ඔවුන්ගේ සම්බන්ධතා හේතුවෙන් බැවිනි. එහෙත් හජාජාක හි කිසිවෙකු ඒ සඳහා වගකීම භාරගෙන නොමැත. ඉදිරි දිනවලදී ඔස්ටැප් අත්අඩංගුවට ගැනීම පිලිබඳව මම සවිස්තරාත්මක අදහස් දැක්වීමක් ලබා දෙන්නෙමි.

2025 ජනවාරි 3 වන දින, ගෝල්ඩ්මන් කොටස් අටකින් යුත් ට්වීට් පනිවුඩයක් පල කල අතර එමගින්, ජාත්‍යන්තර කමිටුවට සහ ඩේවිඩ් නෝර්ත්ට එරෙහිව ඔහුගේ දෝෂාරෝපනය නැවත ආරම්භ කලේය.

ගෝල්ඩ්මන්, නෝර්ත්ට පෞද්ගලික ප්‍රහාරයක් එල්ල කරමින් (ට්විටර්) පනිවුඩය ආරම්භ කල අතර බොග්ඩාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හජාජාක වගකීම පිලිබඳ ඔහුගේ ප්‍රකාශ නැවත නැවතත් නිකුත් කලේය. ඉන්පසු ඔහු මෙසේ අවධාරනය කලේය: “හජාජාක ඔස්ටැප්ගේ නීති ගාස්තු හෝ ඔහුගේ නීතිඥවරයාගේ වියදම් සඳහා දායක වන්නේවත්, බන්ධනාගාරයේදී ඔහු සමඟ සෘජු සම්බන්ධතාවක් පවත්වන්නේවත් නැත.”

හජාජාක අපකීර්තියට පත් කිරීමේ අදහසින්, බොග්ඩාන් ඔහුගේ ඉරනමට අතහැර දමා ඇති බවට ඇඟවීමක් කරමින්, ගෝල්ඩ්මන් ප්‍රකෝපකාරීයෙකු ලෙස තමාගේම භූමිකාව හෙලි කරයි. පලමුව, බොග්ඩාන්ගේ නීතිමය ගාස්තු ගෙවීම හෝ හජාජාක නියෝජිතයින් සහ සිරකරු අතර සම්බන්ධතා පිලිබඳව ගෝල්ඩ්මන්ට කිසියම් තොරතුරක් ලැබෙන්නේ කෙසේද? බොග්ඩාන් වෙත ප්‍රවේශය යුක්‍රේන රාජ්‍යය විසින් දැඩි ලෙස පාලනය කරනු ලැබේ. බොග්ඩාන් සමඟ සම්බන්ධකම් ඇති හෝ නැති අය පිලිබඳව ගෝල්ඩ්මන්ට කිසියම් තොරතුරක් ලැබී තිබේ නම්, එය පැමිනිය හැක්කේ සිරකරුගේ ජේලර්වරුන්ගෙන් පමනි. එපමනක් නොව, බොග්ඩාන්ට කිසිදු සහායක් නොමැතිව සිටින බවට ගෝල්ඩ්මන්ගේ ඉඟියෙන් පැහැදිලිවම අදහස් කෙරෙන්නේ, බොග්ඩාන්ට එරෙහි නඩුවේ අවශ්‍යතා සඳහා එස්බීයූවට චෝදනාවක් ලෙස හැසිරවිය හැකි වන පරිදි මූල්‍ය ආධාර පිලිබඳ ප්‍රකාශයක් හජාජාක සහ ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටීමයි.

ජනවාරි 28 වන දින ඔවුන් පල කල අසත්‍ය තොරතුරු වල මූලාශ්‍රය නිර්නාමිකව සිටීමට කැමති මූලාශ්‍රයකින් ලැබුනු “ලිපියක්” බවට ස්ටයිනර් සහ ටිසොට් කල ප්‍රකාශය, සම්පූර්නයෙන්ම බොරුවකි. ස්ටයිනර් සහ ටිසොට් විසින් අනුමත කරන ලද සහ පල කරන ලද සියලුම චෝදනා “ඇලෙක්සැන්ඩර් ගෝල්ඩ්මන්ගේ” ප්‍රසිද්ධ ට්විටර් පනිවුඩ මත පදනම් විය.

'ඇලෙක්සැන්ඩර් ගෝල්ඩ්මන්' යනු ප්‍රකෝපකාරීයා විසින් භාවිතා කල අන්වර්ථ නාමයක් වුවද, අපහාසාත්මක චෝදනා X (ට්විටර්) හි ප්‍රසිද්ධියේ පල කරන ලදී. ටිසොට් හැඳින්වීමේදී කල ප්‍රකාශය—'අපට ලිපිය එවූ තැනැත්තාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට හැකි වී ඇත; කෙසේ වෙතත්, නිර්නාමිකව සිටීමට ඔවුන්ගේ කැමැත්ත අපි පාවා නොදෙමු'—නරුම උපාමාරුවක් විය. ස්ටයිනර් නිර්නාමික ලිපියක කතාව නිර්මානය කලේ, ඔහු මාක්ස්වාදයේ සහ ට්‍රොට්ස්කිවාදයේ නියෝජිත ප්‍රකෝපකාරීයෙකු සහ කොමියුනිස්ට් විරෝධී සතුරෙකු විසින් සපයන ලද, සනාථ කරන සාක්ෂි නොමැති වංචනික කරුනු භාවිතා කරන බව permanent-revolution.org වෙබ් අඩවියේ පාඨකයන්ගෙන් සැඟවීමට ය.

ස්ටයිනර් සහ ටිසොට් ඔවුන්ගේ තොරතුරු සපයන්නා හඳුනා ගත්තේ නම්, පාඨකයන්ට “ඇලෙක්සැන්ඩර් ගෝල්ඩ්මන්” (@bukvasevich) ගේ X (ට්විටර්) ගිනුම පරීක්ෂා කිරීමට හැකි වනු ඇත. ඔහුගේ දේශපාලන අනන්‍යතාවය සහ ඔහුගේ චෝදනාවල විශ්වසනීයත්වය තීරනය කිරීමට ඔවුන්ට හැකි වනු ඇත.

මෙන්න ඊට උදාහරනයක්:

දෙසැම්බර් 30 වන දින:

ට්‍රොට්ස්කිවාදීන් සම්බන්ධයෙන් ඇති වඩාත්ම උත්ප්‍රාසාත්මක දෙය නම්, ඔවුන් තම කුඩා, ලබ්ධිකයින්-වැනි පක්ෂවල සිටින තමන්ගේම සාමාජිකයන්ට එරෙහිව ස්ටැලින්වාදී ආකාරයේ විශුද්ධිකරනයන් භාවිතා කිරීමයි. ඒවා නිර්මානය කර ඇත්තේ, ඔවුන්ගේ ධනවත්, ඉහල-මධ්‍යම-පාන්තික නායකයින්ගේ මමංකාරය ප්‍රවර්ධනය කිරීමට සහ ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් පරිත්‍යාග ලබා ගැනීමට ය...

ස්ටැලින්වාදීන් සහ ට්‍රොට්ස්කිවාදීන් අතර බොහෝ පොදු දේවල් ඇත. දෙකොටස ම 'කම්කරු රාජ්‍යයේ' ඕනෑම විරුද්ධවාදියෙකු මරා දැමීමට කැමැත්තෙන් සිටින අතර, විප්ලව කාලවලදී, ඔවුන් අරාජිකවාදීන් ඉලක්ක කර තුරන් කර දමනු ඇත. මෙය ඉතිහාසයෙන් පැහැදිලි වේ. මාක්ස්වාදීන් සහ ට්‍රොට්ස්කිවාදීන් අරාජිකවාදීන්ගේ මාරාන්තික සතුරන් ය.

ජනවාරි 1 වන දින:

අරාජිකවාදී සම්ප්‍රදායකින් පැමිනෙන සහ මාක්ස්වාදය හෙලා දකින අන්ත වාමාංශිකයෙකු ලෙස, මම ට්‍රම්ප්ගේ ආගමන ගැති ස්ථාවරයට සහාය දෙමි [එපරිදි ම සඳහන් විය]; නමුත් ඒ සමඟම ට්‍රම්ප් සහ මස්ක් සමූහ ආගමන සඳහා තල්ලු කරන්නේ මන්දැයි මට වැටහේ [එපරිදි ම සඳහන් විය].

ජනවාරි 2 වන දින:

ෆැසිස්ට්වාදීන්, නාසිවාදීන්, මාක්ස්වාදීන් සහ ට්‍රොට්ස්කිවාදීන්—ඔවුන් රාජ්‍ය බලය අල්ලා ගත් පසු—අරාජිකවාදීන් සිරගත කර මරා දමනු ඇත. ඔවුන් වෙනත් ආකාරයකින් ක්‍රියා කරනු ඇතැයි විශ්වාස කිරීමට ඉතිහාසය කිසිදු හේතුවක් නොසපයයි. අරාජිකවාදීන් නිසැකවම තුරන් කිරීම සඳහා ඉලක්ක කරගත් අය අතර වනු ඇත.

ට්‍රොට්ස්කිවාදීන් පවසන පරිදි ස්ටැලින් වෙනුවට විකල්පයක් තිබුනේද?

ලෙනින්, සිනොවියෙව් සහ ට්‍රොට්ස්කි රාජ්‍යය මෙහෙයවද්දී රුසියාවේ සියල්ල හොඳින් තිබුනාය යන මතය මට වඩාත්ම විනෝදජනක ය. යථාර්ථයේ දී, කොමියුනිස්ට් පාලනය ආරම්භයේදීම එම කුරිරු තුරන් කිරීමේ ක්‍රියාවලීන් ද ආරම්භ විය.

එහි හරය වශයෙන්, මෙම කුරිරුකම්වල බීජ වැපිරුවේ කොමියුනිස්ට් දෘෂ්ටිවාදය මය. කොමියුනිස්ට් පක්ෂය ඓතිහාසිකව සමාජ විප්ලවයට නායකත්වය දීමට නියමිත බවට ඇති විශ්වාසය, අරමුනු ඒ සඳහා යොදා ගන්නා මාධ්‍යයන් සාධාරනීකරනය කරයි යන මූලධර්මය සමඟ ඒකාබද්ධ වී, විනාශයේ රැල්ලක් මුදා හැරියේය.

මෙම අදහස්, ලෙනින්ගේ සහ ට්‍රොට්ස්කිගේ කුරිරු ප්‍රතිපත්ති හැඩගැස්වූවා පමනක් නොව, ලෙනින්ගේ මරනයෙන් පසු පැමිනි ස්ටාලින්ට සහ භීෂනයට ද මග පෑදීය.

ජනවාරි 2 වන දින ගෝල්ඩ්මන් විසින්, 20 වන සියවසේ මුල් භාගයේ අරාජිකවාදියෙකු වූ ඇලෙක්සැන්ඩර් බර්ක්මන්, එමා ගෝල්ඩ්මන්ට ලියූ ලිපියක් ද පල කරන ලදී:

ට්‍රොට්ස්කි? හොඳයි, ඔහු පෙන්නුම් කරන්නේ දරුනු බියගුල්ලෙකු බවයි. තම වටිනා ජීවිතයට ඔහු බියයි. නමුත් ඔහු මහා පරිමාන මරන දන්ඩනයන් නියෝග කරන විට, අන් අයගේ ජීවිත ගැන එතරම් සැලකිල්ලක් දැක්වූයේ නැත; සමතලා කෙරුනු ගම්මාන සහ ක්‍රොන්ස්ටැඩ් ආදිය ගැන කියනු ම කවරේද.

යමෙකු ඔහුට වෙඩි තැබුවද එය ඔහුට උචිත ලෙස සැලකීමකි. ඔහු වාර්තාකරුවන් දැකීමට පවා බිය වේ. ඔබ දන්නවාද, එම වාර්තාකරුවෙකු ට්‍රොට්ස්කි විසින් තම පියා හෝ සහෝදරයා මරා දමන ලද රුසියානු ජාතිකයෙකු විය හැකියි. නමුත් ඔහු යහමින් මුදල් හම්බ කරනු ඇත.

ජනවාරි 3 වන දින ගෝල්ඩ්මන් ඔහුගේ කොමියුනිස්ට් විරෝධී ප්‍රහාරය දිගටම කරගෙන ගියේය. ඔහු, 'රුධිරස්නානය: ලෙනින්වාදී ප්‍රතිවිප්ලවයේ වසර සියයක්' යන මාතෘකාව සහිත ග්‍රන්ථයක් ප්‍රවර්ධනය කරන ට්විටර් පනිවුඩයක් පල කලේය. එම ග්‍රන්ථය, 'ආරොන්, ෆැන්‍යා බැරන් සහ කුරිරු බොල්ෂෙවික් පාලනය විසින් ඝාතනය කරන ලද සියලුම අරාජිකවාදීන්ට—සහ ඔවුන් බේරා ගැනීමට සටන් කල අයට කැප කරයි.'

තම බ්ලොග් අඩවිය පල කරන චෝදනාවල මූලාශ්‍රය දන්නේ නම්, ඒවා විශ්වාස කල නොහැකි බව ස්ටයිනර් දැන සිටියේය. එබැවින්, නිර්නාමිකව සිටීමට කැමති එවන්නෙකුගෙන් ලැබුනු 'ලිපියේ' කතාව ඔහු විසින් ගොතන ලදී.

නමුත් ස්ටයිනර්, තම බ්ලොග් අඩවිය යුක්‍රේන පොලිසියට සහාය වීමේ සහ හජාජාක විසින් දියත් කරන ලද ආරක්ෂක උද්ඝෝෂනය කඩාකප්පල් කිරීමේ අභිප්‍රායෙන් ප්‍රකෝපකාරීයෙකුගේ සේවය සඳහා යොදවා ඇතැයි යන කරුනෙන් ගැලවීමක් නැත. 'ලිපියෙහි' පෙල, බොග්ඩාන් සයිරොටියුක්ට එරෙහිව රාජ්‍ය බොරු නඩු පැවරීමේදී පදනම් කරගෙන ඇති මූලික බොරුව සනාථ කිරීමට උත්සාහ කරයි: ලෝසවෙඅ යනු රුසියානු රාජ්‍යයේ ප්‍රචාරක ඒජන්සියකි. එය මෙසේ ප්‍රකාශ කරයි: '2023 දී, යුක්‍රේනය පිලිබඳ ලෝසවෙඅ ලිපි විස්තාරනය කිරීමේදී රුසියානු රාජ්‍ය මාධ්‍ය තීරනාත්මක කාර්යභාරයක් ඉටු කල අතර එය යුක්‍රේන බුද්ධි අංශවල අවධානයට ලක්විය.'

බොග්ඩාන් අත්අඩංගුවට ගැනීම සඳහා හජාජාක වගකීම පිලිබඳ ඔහුගේ ගොතන ලද ප්‍රකාශය හෙලිදරව් වීමෙන් පසුව, ගෝල්ඩ්මන් දින කිහිපයක් ආරක්ෂක ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට සහ යුක්‍රේන රාජ්‍යයේ නඩු පැවරීමට සහාය වීමට ඔහුගේ උත්සාහයන් දිගටම කරගෙන ගියේය. පෙබරවාරි 3 වන දින පල කරන ලද ට්වීට් පනිවුඩයක ගෝල්ඩ්මන් සඳහන් කලේ, බොග්ඩාන් අත්අඩංගුවට ගැනීම, “ක්‍රෙම්ලිනය විසින් පාලනය කරන හජාජාක සමඟ මාර්ගගත සන්නිවේදනයන් මගින් පහසුකම් සපයන ලද අතර එමඟින් යුක්‍රේන බුද්ධි අංශවලට ඔහුව හඳුනා ගැනීමට හැකි,” වූ බව යි. නමුත් මෙය ඔහුගේ අවසාන ට්විටර් පනිවුඩය විය.

පැය කිහිපයකට පසු, ගෝල්ඩ්මන් තනි වාක්‍යක ට්විටර් පනිවුඩයක් පල කලේය: “මම X (ට්විටර් ගිනුම) හැර යාමට තීරනය කලෙමි.” ඔහුගේ මෙහෙයුම බිඳ වැටීමත් සමඟ, මෙම ඒජන්ත ප්‍රකෝපකරුවා ගිනුම වසා දමා ඔහුගේ සියලු ට්වීට් මකා දමා ඇත. ගෝල්ඩ්මන්ගේ අවාසනාවකට, ඔහුගේ මෙහෙයුමේ සාක්ෂි විනාශ කිරීමේ මෙම උත්සාහය පූර්වාපේක්ෂා කල ලෝසවෙඅ, වරදකාරී සටහන්වල තිර දර්ශන (screen shots) සාදා තිබුනි.

ගෝල්ඩ්මන්ගේ බොරු ප්‍රවර්ධනය කල සහ බොග්ඩාන් සයිරොටියුක්ගේ ආරක්ෂාව කඩාකප්පල් කිරීමට ඔහු දැරූ උත්සාහයට පහසුකම් සැලසූ ස්ටයිනර්, ජනවාරි 28 වන දින පල කරන ලද ලිපිය ලියා ඇති ආකාරය පිලිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ලබා දිය යුතුය. ඇලෙක්සැන්ඩර් ගෝල්ඩ්මන් සමඟ ඔහුගේ සම්බන්ධතාවයේ ස්වභාවය කුමක්ද? මෙම සහයෝගීතාවය ආරම්භ වූයේ කවදාද? මෙම පුද්ගලයාගේ දේශපාලනය සහ පසුබිම ගැන ස්ටයිනර් දැන සිටියේ කුමක්ද? 2024 දෙසැම්බර් මාසයේදී X ගිනුමක් ආරම්භ කිරීමට පෙර ගෝල්ඩ්මන් විසින් භාවිතා කරන ලද පෙර අනන්‍යතා පිලිබඳව ස්ටයිනර් දැන සිටියාද? ජනවාරි 28 වන දින පල කරන ලද ලිපිය කෙටුම්පත් කිරීමේදී ස්ටයිනර් ගෝල්ඩ්මන් සමඟ වැඩ කලාද?

permanent-revolution.org වෙබ් අඩවියේ පල කර ඇති “ලිපියේ” ඡේද, ස්ටයිනර් පුරුද්දක් ලෙස “ලබ්ධියක්” ලෙස හඳුන්වන හජාජාක පිලිබඳ ඔහුගේ පෙර හෙලාදැකීම්වලට සම්පූර්නයෙන්ම අනුකූල වේ. ලිපියේ නිගමනය, “අවස්ථාවාදය” සම්බන්ධයෙන් හජාජාක නායකත්වයට චෝදනා කරයි; එය සාමාන්‍යයෙන් මාක්ස්වාදයට එහි සියලු ආකාරවලින් අන්තරංගික (viscerally) ලෙස විරුද්ධ වන අරාජිකවාදීන් විසින් එල්ල කරන විවේචනයක් නොවේ. මෙය ප්‍රශ්නයක් මතු කරයි: දෙසැම්බර් අග සහ ජනවාරි මුලදී මුල් ට්වීට් පනිවුඩ කෙටුම්පත් කිරීමේදී ස්ටයිනර් ගෝල්ඩ්මන් සමඟ සහයෝගයෙන් කටයුතු කලාද?

'ඔස්ටැප්ගේ අනන්‍යතාවය ප්‍රමානවත් ලෙස ආරක්ෂා කිරීමට අපොහොසත් වීම, තන්ත්‍රයේ (regime) අවස්ථාවාදී ස්වභාවයේ ප්‍රතිවිපාකයකි' යන 'ලිපියේ' පාඨයෙන් පසුව එන ඔහුගේ සාරාංශ ප්‍රකාශයන්හි දී ටිසොට් විසින් ද මෙම විවේචනයම නැවත අවධාරනය කරයි.

ප්‍රකෝපකාරී 'ඇලෙක්සැන්ඩර් ගෝල්ඩ්මන්' සමඟ ඔහුගේ සම්බන්ධතාවයේ ඉතිහාසය සහ ස්වභාවය තවමත් පැහැදිලි කර නොමැති අතර, නියත වශයෙන්ම කිව හැකි දෙය නම්, ස්ටයිනර් විසින් ගෝල්ඩ්මන්ගේ බොරු පල කිරීම, අවාසනාවන්ත මාධ්‍යවේදී අත්වැරැද්දක ප්‍රතිඵලයක් නොවන බවයි. ස්ටයිනර්ගේ—සහ ඔහුගේ සහකරු ටිසොට්ගේ—දේශපාලනය ඔවුන් ගෝල්ඩ්මන්ගේ ප්‍රකෝපකරනයේ පරිපූර්න සහකරුවන් බවට පත් කලේය.

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට එරෙහිව ප්‍රකෝපකරනක් සඳහා ස්ටයිනර් තම සේවය ලබා දුන් පලමු අවස්ථාව මෙය නොවේ. මෑතකදී, ට්‍රොට්ස්කිවාදී නායක ජෙරී හීලි සහ හජාජාක පිලිබඳ ඒඩන් බීටිගේ චරිතාපදාන ප්‍රහාරය (චරිත ඝාතනය) සඳහා ප්‍රධාන ඇමරිකානු මූලාශ්‍රය ඔහු විය. ඩේවිඩ් නෝර්ත්ගේ පවුල් පසුබිම පිලිබඳව ඔහු සතුව තිබූ පුද්ගලික තොරතුරු කුමක් වුවත්, ස්ටයිනර්, සියොන්වාද-ගැති ආයතනවලින් අරමුදල් ලබා ගත් බීටිට ඔහුගේ අපහාසාත්මක චෞර රචනා කාර්යයේදී පහසුකම් සැපයීය. නෝර්ත් සඳහන් කල පරිදි, “තොරතුරු සපයන්නෙකු ලෙස ස්ටයිනර්ගේ සේවාවන් එෆ්බීඅයි අගය කරනු ඇත.”

ස්ටයිනර් පොලිස් නියෝජිතයෙක් නොවේ. නමුත් ඔහුගේ ආත්මීයත්වය සහ හජාජාක කෙරෙහි ඇති පාලනය කල නොහැකි වෛරය හේතුවෙන් ඔහු එහි සතුරන්ට ප්‍රයෝජනවත් ය. ඔවුන් permanent-revolution.org වෙබ් අඩවිය තැපැල් කාර්යාලයක් ලෙස සලකන අතර, එය ඔවුන්ට හජාජාක විරෝධී හෙලාදැකීම් සහ වැරදි තොරතුරු බෙදා හැරීමට අවශ්‍ය වූ විට විශ්වාසදායක ලෙස භාවිතා කල හැකිය. ස්ටයිනර් හජාජාක ට පහර දීමට අවස්ථාව ලබා ගන්නා බව ගෝල්ඩ්මන් දැන සිටියේය.

ස්ටයිනර්ගේ බ්ලොග් අඩවිය ආසන්න වශයෙන් වසර 15 ක් තිස්සේ පවතී. එහි දේශපාලනය—කලාතුරකින් ප්‍රධාන ලෝක සිදුවීම් පිලිබඳව අදහස් දැක්වීමේදී පවා—ඉතාමත් ග්‍රාම්‍ය ධාරනාවාදය, අවස්ථාවාදය සහ මාක්ස්වාදී සහ ට්‍රොට්ස්කිවාදී මූලධර්මයන්ගේ පූර්න ඌනතාවය මගින් සංලක්ෂිත වේ. ස්ටයිනර් විසින් ඔහුගේම බ්ලොග් අඩවියේ පල කරන ලද ලිපි අතර කාල පරතරයන් සාමාන්‍යයෙන් මාස හතරේ සිට අට දක්වා වේ.

කෝවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් එකදු අදහසක්වත් මතු කර නැත. ඔහු ගාසා ජන සංහාරය ගැන ලියා හෝ හෙලා දැක නැත. ස්ටයිනර්ගේ නමින් යුක්‍රේනය පිලිබඳව වූ එකම ලිපිය වසර තුනකට පමන පෙර පල කරන ලද්දක් වන අතර, එය ජාතික ස්වයං-නිර්නය යන සටන් පාඨය යටතේ යුක්‍රේනය ආරක්ෂා කිරීම සඳහා වන ප්‍රතිගාමී අනුමත කිරීමකින් සමන්විත වේ.

ස්ටයිනර්ගේ බ්ලොග් අඩවියේ සහ එහි පවත්වාගෙන යාමේ කේන්ද්‍රීය අරමුනෙහි පැතිරුනු තේමාව වන්නේ ජාත්‍යන්තර කමිටුව කෙරෙහි වෛරයයි. ජාත්‍යන්තර කමිටුවේ කටයුතු කඩාකප්පල් කිරීමේ ඔහුගේ උත්සාහයේදී, ඔවුනගේ දේශපාලනය කෙතරම් ප්‍රතිගාමී වුවත්, ඕනෑම අයෙකු සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඔහු සූදානම්‍ ය.

අවසාන විග්‍රහයේදී මෙම සතුරුකම මුල් බැස ඇත්තේ ස්ටයිනර්ගේ සුලු ධනේශ්වර දේශපාලනය සහ මාක්ස්වාද-විරෝධී න්‍යායික සංකල්ප තුල ය. 1960 ගනන්වල බොහෝ ශිෂ්‍ය රැඩිකල්වාදීන් මෙන්, ස්ටයිනර්ගේ න්‍යායික සංකල්ප සහ දේශපාලන දැක්ම වර්ධනය වූයේ, ඔහු විසින් මාක්ස්වාදයේ ආකාරයක් ලෙස සාවද්‍යව උපකල්පනය කල ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ බලපෑම යටතේ ය. 1970 දී සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියා වූ වර්කර්ස් ලීගයට ඔහු සම්බන්ධ වූ විට, ට්‍රොට්ස්කිවාදය කෙසේ හෝ ෆ්‍රොයිඩ්වාදය හා හර්බට් මාර්කූස්ගේ සංකල්ප සමඟ සැසඳිය හැකි බව ස්ටයිනර් විශ්වාස කලේය.

දේශපාලනය හා දර්ශනවාදය පිලිබඳ නොවිසඳුනු ගැටලු, ස්ටයිනර්ගේ ව්‍යාකූල පෞරුෂයේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂනය වන ආන්තික හා බෙහෙවින් දහනශීලී ආත්මීයවාදයක් සමඟ අන්තර් ක්‍රියා කලේය.

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ කෙටි වසර කිහිපයක ක්‍රියාකාරකම් වලින් පසුව, ස්ටයිනර් 1978 දී වයස අවුරුදු 32 දී විප්ලවවාදී දේශපාලනය අතහැර දැමීය. ඔහු වර්කර්ස් ලීගයෙන් ඉවත් වූ අතර ඔහුගේ ජීවිතයේ අවසාන වසර 46 මධ්‍යම පාන්තික පිලිස්තීනුවාදී පරිසරයක ගත කලේය. සමාජවාදී දේශපාලනයෙන් පසුබැසීම ගැන ස්ටයිනර් සම්පූර්නයෙන්ම සෑහීමකට පත් නොවීය. ජාත්‍යන්තර කමිටුව කම්කරු විප්ලවවාදී පක්ෂයෙන් වෙන්වීමෙන් පසුව, ස්ටයිනර් වර්කර්ස් ලීගයේ ඔහුගේ හිටපු සහෝදරවරුන් සමඟ සම්බන්ධතා නැවත ඇති කර ගත්තේය. ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කිරීම සඳහා එය ගෙන ගිය අරගලයට ඔහු සහයෝගය ප්‍රකාශ කලේය. ඩේවිඩ් නෝර්ත් අගය කරමින් ඔහු කල ප්‍රකාශනවලදී ස්ටයිනර් විශේෂයෙන් හැඟීම්බර විය.

1999 තරම් පසු කාලයකදී, හජාජාක සහ සමාජවාදී සමානතා පක්ෂය සමඟ එකඟතාවයක් ප්‍රකාශ කරමින්, ස්ටයිනර් සාමාජිකත්වය සඳහා නැවත ඉල්ලුම් කලේය. නමුත් ඔහුගේ අයදුම්පත පිලිබඳ ඉන් පසුව පැවති සාකච්ඡාවෙන් පැහැදිලි වූයේ, ස්ටයිනර්, හජාජාක වෙත පක්ෂපාතීත්වය පිලිබඳ ඔහුගේ ප්‍රකාශ නොතකා, ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ මාක්ස්වාද-විරෝධී සංකල්ප කෙරෙහි ඔහුගේ චිරස්ථායී කැපවීම පක්ෂ සාමාජිකත්වය සමඟ නොගැලපෙන මධ්‍යම-පන්තික රැඩිකල්වාදී ස්වභාවයක් ගන්නා බවයි.

9/11 සිදුවීම් සහ ඉන් පසුව මැද පෙරදිග යුද්ධවලට ප්‍රතිචාර වශයෙන් ස්ටයිනර් වේගයෙන් දකුනට මාරුවීම මගින් මෙම තක්සේරුව සනාථ විය. ස්ටයිනර්ගේ පෞරුෂයේ සෑම විටම ලක්ෂනයක් වූ අධෛර්යයට පත්වීමට ඔහු තුල ඇති නැඹුරුව, ප්‍රතිගාමී දේශපාලන පරිසරයේ බලපෑම යටතේ ද්වේශ සහගත ස්වභාවයක් අත්පත් කර ගත්තේය.

ට්‍රොට්ස්කිවාදයේ අසාර්ථකත්වය ප්‍රකාශ කිරීමෙන්, ස්ටයිනර් විප්ලවවාදී දේශපාලනය සමඟ ඔහුගේ අවසාන බිඳීම සාධාරනීකරනය කලේය. 1940 සහ 1950 ගනන්වල කොමියුනිස්ට් විරෝධය වැලඳගත්, අධෛර්යයට පත් හිටපු මාක්ස්වාදීන්ගේ අඩිපාරේ ගිය ස්ටයිනර්ට, ට්‍රොට්ස්කිවාදය 'අසාර්ථක වූ දෙවියා' බවට පත්විය. ඔහු, කෝපාන්විත ද්‍රෝහීන්ට ආවේනික ආකාරයට, විප්ලවවාදී දේශපාලනයේ ක්‍රියාකාරීව සිටි හිටපු සහෝදරවරුන් කෙරෙහි බද්ධ වෛරයක් වර්ධනය කර ගත්තේය. සමාජවාදී මූලධර්ම ආරක්ෂා කල සහ අවස්ථාවාදී දේශපාලනය ප්‍රතික්ෂේප කල අය දැන් නිතිපතා 'ලබ්ධිකයින්' ලෙස හෙලා දකින ලදී. සමාජවාදී අරමුන කෙරෙහි ඔවුන්ගේ නොසැලෙන කැපවීම, ස්ටයිනර් සලකන්නේ, තමාගේම ද්‍රෝහිත්වය මතක් කිරීමක් සහ තරවටු කිරීමක් ලෙස ය. ඔහුගේ හිටපු සහෝදරවරුන්ට, විශේෂයෙන් ඩේවිඩ් නෝර්ත්ට වෛර නොකර, ඔහුට තම දේශපාලනය සහ ජීවිතය පිලිබඳ තීරන සාධාරනීකරනය කල නොහැක.

ට්‍රොට්ස්කි වරක් මෙසේ ලිවීය, “දේශපාලනයේදී වෛරය ඉටු කරන්නේ වඩාත්ම පිලිකුල් සහගත භූමිකාවකි.” සිරගත කරන ලද යුක්‍රේන සහෝදරයෙකුගේ ආරක්ෂාවට වල කැපීමේ වියදමින් පවා, ජාත්‍යන්තර කමිටුවට එරෙහි ප්‍රකෝපකාරක ඒජන්තයෙකු සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම දක්වා ස්ටයිනර්ගේ දේශපාලනික හා සදාචාරාත්මක පසුබෑම, ට්‍රොට්ස්කිගේ අනතුරු ඇඟවීම් සනාථ කිරීමකි.