ඉදිරිදර්ශන

න්‍යෂ්ටික යුද්ධයේ නැගී එන තර්ජනය මධ්‍යයේ G7 නායකයෝ හිරෝෂිමා වෙත රැස් වෙති

[මෙය G7 leaders gather in Hiroshima amid rising threat of nuclear war මැයෙන් 2023 ​මැයි 20 වන දා පල කල ඉදිරි දර්ශනයේ පරිවර්තනය යි. ]

නිර්ලජ්ජිත කුහකකම ප්‍රදර්ශනය කරමින්, එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය ජර්මනිය, ජපානය, ඉතාලිය සහ කැනඩාව යන ප්‍රධාන බලවතුන්ගේ G7 කන්ඩායමේ නායකයෝ මෙම සති අන්තයේ ඔවුන්ගේ සමුලුවට පෙර, ඊයේ ජපානයෙ හිරෝෂිමාහි සාම අනුස්මරන උද්‍යානයේ පරමානු බෝම්බ වින්දිතයන් සඳහා වූ සොහොන් ගෙය වෙත මල් වඩම් තැබූහ.

2023 මැයි 19 සිකුරාදා: වමේ සිට, කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්, බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් සහ යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් බටහිර ජපානයේ හිරෝෂිමා හි සාම අනුස්මරන උද්‍යානයේ පරමානු බෝම්බයට ගොදුරු වූවන් උදෙසා වන සොහොන් ගෙය ඉදිරිපිට සිටගෙන සිටින්නේ G7 හිරෝෂිමා සමුලුවේ කොටසක් ලෙසයි. [AP Photo/Franck Robichon] [AP Photo/Franck Robichon]

2023 මැයි 19 සිකුරාදා: වමේ සිට, කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්, බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් සහ යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් බටහිර ජපානයේ හිරෝෂිමා හි සාම අනුස්මරන උද්‍යානයේ පරමානු බෝම්බයට ගොදුරු වූවන් උදෙසා වන සොහොන් ගෙය ඉදිරිපිට සිටගෙන සිටින්නේ G7 හිරෝෂිමා සමුලුවේ කොටසක් ලෙසයි. [AP Photo/Franck Robichon]

යලි කිසිදා න්‍යෂ්ටික අවි භාවිතා නොකරන බවට ප්‍රතිඥා දෙන උත්සවයට වඩා, අධිරාජ්‍යවාදී කල්ලිය අවධානය යොමු කර ඇත්තේ මානව වර්ගයා න්‍යෂ්ටික සමූලඝාතනයක ගිල්වා දැමීමට තර්ජනය කරන, රුසියාවට එරෙහි ව යුක්‍රේනයේ ශීඝ්‍රයෙන් උත්සන්න වන නේටෝ ගැටුම සහ චීනය සමග එක්සත් ජනපදයේ ගැටුම වේගවත් කිරීම කෙරෙහි ය.

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු හිරෝෂිමා වෙත ගිය පලමු ඇමරිකානු නායකයා වන ජනාධිපති ඔබාමා මෙන්ම, ජනාධිපති බයිඩන් ද 1945 අගෝස්තු 6දා ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් සිදු කරන ලද බිහිසුනු යුධ අපරාධය සම්බන්ධයෙන් තමන් සමාවක් අයැදීමට නුසූදානම් බව කල්තියා ම පැහැදිලි කලේය. හිරෝෂිමාවට සහ දින තුනකට පසුව නාගසාකි මත පරමානු බෝම්බ හෙලා තමන් කල සාපරාධී අපරාධය සම්බන්ධයෙන් නමට හෝ පිලිගැනීමට ප්‍රතික්ෂේප කිරීම‍්, එක්සත් ජනපදය සිය මූලෝපායික අවශ්‍යතා සඳහා යලිත් න්‍යෂ්ටික අවි භාවිතා කරන බවට තියුනු අනතුරු ඇඟවීමකි.

හිරෝෂිමා සහ නාගසාකි හි බිහිසුනු මරන හා විනාශයේ පරිමානය, එක්සත් ජනපදය සහ එහි සහචරයින් ගෝලීය ගැටුමක් කරා යන වේගවත් ධාවනයේ දී පරදුවට තැබී ඇත්තේ කුමක් ද යන්න සම්බන්ධයෙන් අශුභ සිහිගැන්වීමකි.

'ලිට්ල් බෝයි' යන සංකේත නාමයෙන් හඳුන්වනු ලබන පරමානු බෝම්බය, මිලියන හතරක ජනගහනයක් වෙසෙන හිරෝෂිමා නගරයට හෙලන ලද අතර, TNT කිලෝ ටොන් 15 ත් 20 ත් අතර ප්‍රමානයකට සමාන බලයකින් පිපිරී ගියේය. කම්පන තරංගය නගරය සමතලා කර ගිනි කුනාටුවක් ඇති කලේ ය; එය 80,000ක් දෙනා මරා දැමී ය. මිය ගියෝ ක්ෂනිකව ම නැති නම් දරුනු පිලිස්සුම් සහ තුවාල වලින් පැය කිහිපයක් ඇතුලත මිය ගියෝ ය.

දිවි ගලවා ගත් අය බිහිසුනු දර්ශන විස්තර කලහ. එක් අයෙක් මෙසේ ලියා තිබුනි: “තවමත් ජීවතුන් අතර සිටින සිය ගනනක් ... අරමුනක් නැති ව ඉබාගාතේ යති. භාගෙට මිය යමින් සිටි අය දුක්ඛිතභාවයේ දඟලමින් සිටියහ ... ඔවුහු ජීවමාන මල සිරුරු වලට වඩා වැඩි යමක් නොවූහ.”

තවත් 40,000 ක් නාගසාකි හි දී ක්ෂනික ව ම මිය ගියහ. පිරිමින්, කාන්තාවන් සහ ලමුන් පිලිස්සුම්, තුවාල සහ විකිරන අසනීපවලට ගොදුරු වූ බැවින් මරන ඊලඟ දින සහ සතිවල අඛන්ඩව ඉහල ගියේ ය. ඇස්තමේන්තු වලට අනුව බෝම්බ හෙලීමෙන් නෝබෝ දිනක් තුල සිදු වූ මරන සංඛ්‍යාව 250,000 ත් 300,000 ත් අතර වේ. ඉන් සියයට 90 ක් සිවිල් වැසියෝ වෙති.

නාසි පාලන තන්ත්‍රය විසින් යුදෙව්වන් මිලියන හයක් ක්‍රමානුකූලව ඝාතනය කිරීම සහ ජපාන හමුදාව විසින් නැන්ජිංහිදී අල්ලා ගත් චීන සොල්දාදුවන් සහ සිවිල් වැසියන් 300,000ක් ඝාතනය කිරීම ඇතුලු ව, පෙර සිතා ගැනීමටත් නොහැකි පරිමානයේ කුරිරුකම් දෙවන ලෝක යුද්ධය දැනටමත් නිර්මානය කර තිබුනි. එහෙත්, හිරෝෂිමා සහ නාගසාකි හි සිවිල් වැසියන් ම්ලේච්ඡ ලෙස සමූල ඝාතනය කිරීම ඒ අතරින් ඉස්මතු වන්නේ, කිසිදු මිලිටරි අවශ්‍යතාවයක් නොමැති ව සහ පශ්චාත් යුද ගෝලීය ආධිපත්‍යය සඳහා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අභිලාෂයන් විසින් පමනක් පොලඹවන ලද සැලසුම් සහගත ව අමු අමුවේ සිදු කල සාහසික ක්‍රියාවක් ලෙස ය.

වොෂින්ටනය එහි සාපරාධී අපරාධය යුක්තිසහගත කර ගත්තේ පචවලිනි. ජපානය මුලුමනින්ම ආක්‍රමනය කිරීමක දී අහිමි වන ඇමරිකානු ජීවිත ආරක්ෂා කර ගැනීමට නම් පරමානුක අවි භාවිතා කිරීම අවශ්‍ය බවට වොෂින්ටනය ව්‍යාජ ව තර්ක කලේ ය. එහෙත් 1945 අගෝස්තු වන විට, තම මිත්‍ර ජර්මනියේ පරාජයෙන් හුදෙකලා ව ජපන් අධිරාජ්‍යවාදය දනින් වැටී සිටියේ, 1945 මාර්තු මස 300,000කට වඩා මිනිසුන් මරා දැමූ ටෝකියෝවට එල්ල කල ගිනි බෝම්බ ප්‍රහාරය ද ඇතුලත් වූ එක්සත් ජනපදයේ නිර්දය ගුවන් ප්‍රහාර මැද අනාරක්ෂිත ව ය. ජපානය ඒ වන විටත් සාමය අයැදමින් සිටියේ මැදිහත්කරුවන් මාර්ගයෙන් යටත් වීමට සූදානමිනි.

පරමානු බෝම්බ ප්‍රහාර ජපානයේ ජනතාව පමනක් නොව සමස්ත ලෝකයම බිය ගැන්වීම අරමුනු කරගත් ත්‍රස්තවාදී ක්‍රියාවකි. සියල්ලට ම වඩා එය ඉලක්ක කර ගත්තේ සෝවියට් සංගමයට අනතුරු ඇඟවීමටයි. ඒ වන විට සෝවියට් සංගමය ටෝකියෝව සමඟ යුද නොවැදීමේ තම ගිවිසුම අවලංගු කර පැසිෆික් කලාපයේ යුද්ධයට අවතීර්න වීමට සූදානම් ව සිටියේ ය. ජපානයට ක්ෂනික, කොන්දේසි විරහිත ව යටත් වීමට බල කිරීමට පමනක් නොව යුද්ධයේ අවසානයත් සමග මතුවෙමින් තිබූ අවිනිශ්චිත හා අස්ථාවර ලෝකය මත සිය අධිකාරිත්වය තැබීමට එක්සත් ජනපදය අලුතින් අත්පත් කරගත් මහා විනාශකාරී ආයුධ භාවිතා කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටියේ ය.

අද වන විට ව්‍යසනකාරී න්‍යෂ්ටික යුද්ධයක අන්තරාය දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු වෙන කවරදාකටත් වඩා වැඩි ය. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය තම ඓතිහාසික පරිහානිය තුල, පසුගිය දශක තුන පුරා මධ්‍යම ආසියාවේ, මැදපෙරදිග, උතුරු අප්‍රිකාවේ සහ බෝල්කන් ප්‍රදේශයේ සිය ගෝලීය ආස්ථානය ඉහල නංවා ගැනීමේ මංමුලා සහගත සහ නොසැලකිලිමත් උත්සාහයක යෙදෙමින් නැවත නැවතත් මිලිටරි ආක්‍රමනකාරීත්වයට යොමු වී ඇත. මෙම සාපරාධී මෙහෙයුම් හරහා තම අරමුනු සාක්ෂාත් කර ගැනීමට අපොහොසත් වූ එක්සත් ජනපදය සහ එහි සහචරයෝ යුක්‍රේනයේ දී න්‍යෂ්ටික බලවතෙකු වන රුසියාවට එරෙහි යුද්ධයක නිරත ව සිටිති.

G7 සමුලුව සිදු වන්නේ නේටෝව යුක්‍රේනයට නවතම යුධ ටැංකි, දිගු දුර කෲස් මිසයිල සහ දැන් F-16 ප්‍රහාරක ගුවන් යානා ආදී නවීනත්වයෙන් සහ විනාශකාරී බලයෙන් අධික අවි ආයුධ කඩිනමින් සහ නිරතුරු ව වැඩි කරන ප්‍රමානවලින් සපයන තත්ත්වයක් තුල ය. ගැටුම එහි විපාක නොසලකා හරිමින් නේටෝව සහ රුසියාව අතර සෘජු යුද්ධයක් දක්වා පුලුල් වෙමින් පවතී. ඒ අතරම, එක්සත් ජනපදය තායිවානය අරභයා චීනයට එරෙහි සිය ප්‍රකෝපකරනයන් උග්‍ර කරමින්, යුක්‍රේනයට රුසියානු ආක්‍රමනය අවුලුවාලූ ආකාරයටම බෙයිජිනය තමන් බෙලහීන තත්ත්වයකට ඇද දමන යුද්ධයකට පොලඹවාලීමට උත්සාහ කරයි.

සෑම G7 සාමාජිකයෙක් ම ගෝලීය ආධිපත්‍යය සඳහා වන එක්සත් ජනපද ධාවනය මැද තම පංගුව තහවුරු කර ගැනීමට වේගයෙන් තමන්ගේම මිලිටරි මාධ්‍ය පුලුල් කරමින් සිටී. ජර්මනිය සහ ජපානය දෙවන ලෝක සංග්‍රාමයේ පරාජයෙන් පසු ව පනවා ඇති නීතිමය සහ ව්‍යවස්ථාමය සීමාවන් ඉවත දමා ඇති අතර යුක්‍රේන යුද්ධය ආරම්භයේ සිට පසුගිය වසර පුරා ඔවුන්ගේ මිලිටරි අයවැය දෙගුන කර ඇත. යුක්‍රේන සන්නද්ධ හමුදාවන් පුහුනු කිරීම සහ සන්නද්ධ කිරීමෙහිලා කේන්ද්‍රීය භූමිකාවක් ඉටුකර ඇති බ්‍රිතාන්‍යය සිය ආරක්ෂක වියදම් ඉහල නංවයි. ප්‍රංශය තමන්ගේ ම වේගවත් මිලිටරි පුලුල් කිරීමක නිරත ව සිටී.

1945 හිරෝෂිමා සහ නාගසාකි හි සිදු වූ දෙයෙහි අති බිහිසුනු බව සලකා න්‍යෂ්ටික සන්නද්ධ බලවතුන් තම න්‍යෂ්ටික අවි ආයුධ යොදා නොගනු ඇතැයි යන ඕනෑ ම මත දැක්වීමක් මුලාව මත පදනම් වූවකි. මෙම කුරිරුකම් සිදු කල එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, න්‍යෂ්ටික අවිවල පලමු ප්‍රහාරක භාවිතය කිසිවිටෙක අත් හැර නැත. පසුගිය වසරේ නිකුත් කරන ලද එහි නවතම න්‍යෂ්ටික ආකල්ප සමාලෝචනය, වෙනත් ක්‍රම අසාර්ථක වුවහොත් එක්සත් ජනපද න්‍යෂ්ටික අවි “ජාතික අරමුනු සාක්ෂාත් කර ගැනීමට අපට ඉඩ සලසයි” යනුවෙන් ප්‍රකාශ කලේය.

බයිඩන් තම 2020 මැතිවරන ව්‍යාපාරය තුල දී, අවි පාලනය සහ න්‍යෂ්ටික අවිහරනය සම්බන්ධයෙන් 'එක්සත් ජනපදය ගෝලීය නායකත්වයේ කේන්ද්‍රීය ආදර්ශයක්' බවට පත් කිරීමට පොරොන්දු විය. කෙසේ වෙතත්, බලය ලබා ගැනීමෙන් පසු, ඔහු අවි පාලන ගිවිසුම් බිඳ දැමීම දිගට ම කරගෙන ගොස් ඇති අතර එක්සත් ජනපද හමුදාවට එහි න්‍යෂ්ටික අවි ගබඩා සහ බෙදා හැරීමේ පද්ධති නවීකරනය කිරීම සඳහා වාර්ෂික ව ඩොලර් බිලියන දස දහස් ගනනක් ලබා දී ඇත. ලෝකය “න්‍යෂ්ටික ලෝක විනාශායක විය හැකියාවට” මුහුන දී ඇති බව බයිඩන් පසුගිය වසරේ පිලිගත්තත්, න්‍යෂ්ටික තර්ජනවලින් එක්සත් ජනපදය පසුබට කල නොහැකි බවට යලි යලිත් ප්‍රකාශ කර ඇත.

ඕනෑ ම ආකාරයක න්‍යෂ්ටික අවි යොදා ගැනීමක ප්‍රතිඵලය වනු ඇත්තේ හිරෝෂිමා සහ නාගසාකි හි පරමානු බෝම්බ ප්‍රහාරවල විනාශය සන්සන්දනාත්ක ව ඉතා සුලු පරිමානයකට හෙලන විනාශයක් සහ මරන ගනනක් වනු ඇත. පෙන්ටගනයේ සහ එක්සත් ජනපද චින්තන පර්ෂද මූලෝපායික විශ්ලේෂකයෝ සීමිත න්‍යෂ්ටික යුද්ධයක් යුක්තිසහගත කිරීම සඳහා නීච ගනන් බැලීම් කරති. නමුත් ජපානයට හෙලන ලද බෝම්බ දෙකට වඩා බොහෝ බලවත් න්‍යෂ්ටික අවි දහස් ගනනකින් සමන්විත එක්සත් ජනපද හා රුසියානු න්‍යෂ්ටික අවි ගබඩාවල පරිමානය පෘථිවිය පුරා පැතිර යන න්‍යෂ්ටික සමූලඝාතන අනතුරකට හේතු ව විය හැකි ය.

ජපානය මත පරමානුක අවි ප්‍රථම වරට භාවිතා කිරීම අධිරාජ්‍යවාදී අභිලාෂයන් විසින් මෙහෙයවනු ලැබූවා සේම, රුසියාව සහ චීනය සමග යුද්ධයට එක්සත් ජනපදය විසින් නිර්දය හා අදූරදර්ශී තල්ලුව මෙහෙයවනු ලබන්නේ ද එම අධිරාජ්‍යාවදී අවශ්‍යාතාවන් විසිනි. යල්පැනගිය ධනේශ්වර ක්‍රමය සහ එය මුල් බැස ඇති ප්‍රතිවාදී ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කිරීම මගින් න්‍යෂ්ටික අවි පුපුරා යන තුන්වන ලෝක යුද්ධයක් වැලැක්විය හැකි එක ම සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තියයි. කම්කරු පන්තියේ ඒකාබද්ධ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි තරුන සංවිධානය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සටන් වදින ඉදිරිදර්ශනය යි.