ඉදිරිදර්ශන

ජවිපෙ/ජාජබ ආන්ඩුව බටලන්ද වධකාගාරය පිලිබඳ කොමිෂන් වාර්තාව වංචනික ලෙස ගසා කයි

කුප්‍රකට බටලන්ද කොමිෂන් සභා වාර්තාව, මාර්තු 14දා  සභානායක, ඇමති බිමල් රත්නායක ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) අවුලුවා ඇති මාධ්‍ය සංදර්ශනයක් මධ්‍යයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේය. අප්‍රේල් 10 දා, එම වාර්තාව පිලිබඳව පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට ආන්ඩුව තීන්දු කර ඇත.  

මෙම වාර්තාව මගින් විමර්ශනය කරන,1987-90 මහා භීෂන සමයේදී පිහිටුවා තිබූ, කුප්‍රකට බටලන්ද වධකාගාරය පිලිබඳ සිදුවීමෙන් වසර 35ක් ගතවී ඇත. ඒ පිලිබඳ වාදයක් අලුතින් ඇවිලී ගියේ, අල් ජසීරා පුවත් ඒජන්සියේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන මෙහ්දි හසන් විසින්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පවත්වන ලද මාර්තු 6දා විකාශනය වූ සම්මුඛ සාකච්ඡාවකදී බටලන්ද ගැන ප්‍රශ්නය විමසීම සහ ඔහු ඊට දුන් පිලිතුරත් සමග ය.

2023 පෙබරවාරි, කොලඹදී, ශ්‍රී ලංකා හමුදා සහ පොලිස් ප්‍රධානීන් සමඟ සිටින ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ (දකුනේ සිට දෙවැන්නා). [AP Photo/Eranga Jayawardena]

කුප්‍රකට 1987-90 මහා භීෂනය ලෙස සැලකෙන්නේ, 1980 ගනන් මුල සිට දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂ (යූඇන්පී) ආන්ඩුව ක්‍රියාවට දැමූ විෂකුරු විවෘත ආර්ථික පිලිවෙත් මගින් මෙන් ම වර්ගවාදී යුද්ධයෙන් ද බරපතල ලෙස බැටකෑ, කම්කරුවන් සහ විශේෂයෙන්ම ගම්බද තරුනයින් අතර කැකෑරෙමින් තිබු විරුද්ධත්වය ලෙයින් මැඩලමින් යූඇන්පී ආන්ඩුව දියත්කල සංහාරය යි.     

භීෂනය සාධාරනීකරනය කර ගැනීමට යූඇන්පී ආන්ඩුවට උදව්කාරක වූයේ, ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි 1987 ජූලි මාසයේ  අත්සන් කල  ඉන්දු-ලංකා ගිවිසුමට, ඉන්දියානු විරෝධී සිංහල ස්වෝත්තමවාදය මත විරුද්ධවූ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් ගෙනයනු ලැබූ ෆැසිස්ට් කැරලි ය.  

බෙදුම්වාදී එල්ටීටීඊය සමග යුද බිමේ ගැටුම් හා නැගෙන මහජන විරෝධය නිසා ජයවර්ධන ආන්ඩුව මුහුනදුන් අර්බුදය මධ්‍යයේ ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කෙරිනි. දෙමල ප්‍රභූවට යම් සහන සලසන අතර, එල්ටීටීඊය නිරායුධ කිරීමට ඉන්දියානු හමුදා සෙබලුන් දසදහස් ගනනක් උතුරු නැගෙනහිර පලාත්වල යෙදවීමට  නව දිල්ලිය හා කොලඹ පාලකයන් ගිවිසුම්ගත වූයේ, ජයවර්ධන පාලනයට යම් ස්ථාවරත්වයක් ලබාදීමටය.  

ඉන්දියානු “ආක්‍රමනයට” එරෙහිව කැරලි සඳහා ෆැසිස්ට්වාදී ජවිපෙ “දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය” නමින් සංවිධානයක් ප්‍රකාශයට පත්කරමින්, යම් දුගීන් කන්ඩායම් විවිධ ප්‍රදේශවල මෙහෙයවූයේ මරන තර්ජන එල්ල කරමිනි. ජවිපෙ ත්‍රස්ත ව්‍යාපාරයේදී දේශපාලන විරුද්ධවාදීන්, වෘත්තීය සමිති නායකයන්, ඔවුන්ගේ අන නොතකු කම්කරුවන් හා තරුනයින් ඇතුලු 60,00කට අධික දෙනා මරා දමන ලද බවට ගනන් බලා තිබේ. 1988 නොවැම්බර් සිට 1989 ජූනි දක්වා වන මාස හත ඇතුලත, සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමී සංවිධානය වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) සාමාජිකයන් තිදෙනෙක් එලෙස ඝාතනය කෙරුනි.

භීෂනය උත්සන්න කල ජනාධිපති ජයවර්ධන හා ඔහුගේ අනුප්‍රාප්තික ආර්. ප්‍රේමදාසගේ ආන්ඩු විසින්, උතුරේ සිට දකුනට ගෙන්වා ගත් හමුදාව සහ පොලිසිය ද රහසිගත කල්ලි ඇතුලු පැරා-මිලිටරි කන්ඩායම්  ද මෙහෙයවා, වෙසෙසින් ම ගම්බද  ඉල්ලක්ක කොටගත් ජනඝාතන ව්‍යාපාරයේදී 60,000ක් පමන තරුනයන් මරා දැමුනි. රෝහන විජේවීර ප්‍රමුඛ ජවිපෙ නායකයන් ද සාමාජිකයන් දහස් ගනනක් ද රාජ්‍ය සංහාරයට ලක්විය.

මෙම මර්දන ව්‍යාපාරයේදී, රට පුරා ඇති වධකඳවුරුවලට ගාල් කෙරුන තරුනයින් 20,000කට අධික ය. ඉන් එකක් වූයේ කොලඹට නුදුරු සපුගස්කන්ද බටලන්ද වධකාගාරය යි. මේ පිලිබඳව විමර්ශනය කල ජනාධිපති කොමිසම විසින් සොයාගත් පරිදි, 1988 ජනවාරි 1 සිට 1990 දෙසැම්බර් 31 දක්වා  කාලයේ රාජ්‍ය පොහොර සමාගමට අයත් බටලන්ද නිවාස සංකීර්නයේ නිවාස ගනනාවක්, යූඇන්පී ආන්ඩුව විසින් නීත්‍යානුකූල නොවන ආකාරයට පුද්ගලයින් රඳවා තබා ගැනීමට හා අමානුෂික වධ බන්ධනයන්ට ලක් කිරීම සඳහා යොදාගෙන තිබේ.

එකල ඇමතිවරයෙකු වූ රනිල් වික්‍රමසිංහගේ කර්මාන්ත අමාත්‍යාංශයට මේ නිවාස සංකීර්නය අයත්ව තිබුනි. කොමිෂමේ නිගමනය වූයේ, වධකාගාර ලෙස පවත්වාගෙන ගිය නිවාස පොලිසියට වෙන් කර දීම සඳහා මැදිහත්වීමෙන්, එම අපරාධ සඳහා වික්‍රමසිංහ “වක්‍රාකාරයෙන් වගකිව යුතු බව” යි. කෙසේවෙතත්, කොමිසමේ “සොයා ගැනීම්” වලට ප්‍රථමයෙන්, වික්‍රමසිංහ බටලන්ද “රහස්” කඳවුරේ අපරාධ වලට සම්බන්ධවීම් පිලිබඳ තොරතුරු මතුවෙමින් පැවතුනි.  

මෙම කොමිසම පත්කෙරුවේ, විශේෂයන්ම තරුන සංහාරය ගැන පලල් මහජනතාව අතර පැතිර තිබූ වෛරය ගසාකමින්, 1994 නොවැම්බර් ජනාධිපතිවරනයෙන් සියයට 62කට වඩා ඡන්ද ලබාගනිමින් ජයගත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එහි නායකත්වයෙන් පැවති පොදුජන එක්සත් පෙරේමුනේ නායිකාව වූ චන්ද්‍රිකා කුමාරතුංග ය. ඇය, බටලන්ද කොමිෂම පත් කලේ, වික්‍රමසිංහ ඇතුලු යූඇන්පී නායකයන් මෙල්ල කර ගැනීමටත්, මහජනයා මුහුනදී තිබූ දැවැන්ත ප්‍රශ්නවලින් අවධානය වෙනතක යොමු කිරීමටත් ය.

කොමිසමේ වාර්තාව 1995 සැප්තැම්බර් මාසයේ කුමාරතුංගට භාරදී, පාර්ලිමේන්තුවට ඉදිපත්කර සැසිවාර පත්‍රිකාවලට ඇතුල් කෙරුනු බව වාර්තා වේ. කොමිසමේ මෙම වාර්තාව අඩුම තරමින් 2000 වසරේ සිට රාජ්‍ය පුස්තකාලවලින් ද ලබාගත හැකි ලෙස ප්‍රසිද්ධ වී තිබුනි. ඊට ආන්ඩුවේ භීෂනය පිලිබඳව මෙන් ම ජවිපෙ ත්‍රස්ත ක්‍රියා ගැනද තොරතුරු, ආන්ඩුවේ රාජ්‍යයේ තන්ත්‍රයේ අවශ්‍යතාවලට ගැලපෙන සේ සීමිතව අඩංගු කර තිබේ.

කම්කරුවන්, තරුනයන්  හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ගැන තකන සියලු දෙනා ඉදිරියේ ප්‍රශ්නය මෙලෙස මතුවේ: 1994 දී පක්ෂ තහනමෙන් ලෙහෙසියෙන් ම එලියට පැමිනි ජනාධිපති අනුර කුමාර දිසානායක- ටිල්වින් සිල්වා ඇතුලු ජවිපෙ නායක කල්ලිය මෙතෙක් කල්, බටලන්ද කොමිසමේ වාර්තාවක් ඇතිබව වත් නොදන්නාසේ  නිහඬව සිටියේ ඇයි? දැන් එය බදාගෙන දෙකෙන්-එකක් බේරාගන්නට යන්නාක් මෙන් බිරුසන් දෙන්නේ ඇයි? දැන් හීනෙන් අවදිවූවා සේ බටලන්ද ගැන පාර්ලිමේන්තුවේ කඳුලු හෙලන දිසානායක, රත්නායක, හදුන්නෙත්ති ඇතුලු කල්ලියෙන් මහජනයා ඇසියයුතු යුක්ති සහගත ප්‍රශ්නය වන්නේ, විජේදාස ලියනආරච්චි ඇතුලු තම සගයන් දසවධදී මරා දැමීම ගැන දශක තුනක් තිස්සේ දතකට පූට්ටු කරනගෙන  සිටියේ ඇයි?

ගරිල්ලා ඇඳුම් උනා දමා එලියට ආ ජවිපෙ මේ අලුත් නායක කන්ඩායම, පාලක ප්‍රභුව  හා එක්සත් ජනපදය ඇතුලු අධිරාජ්‍යවාදීන් සමග ගොඩනගා ගනිමින් සිටි නව සම්බන්ධතා ජාලය, ලෙයින් තෙත්වූ අතීත වාර්තා ඇදගෙන අර්බුදයට යවා ගන්නට තරම් මෝඩවිය යුතුනැති බව තීන්දු කල්‍ ය. එසේ කලේ නම්, 2001 දී කුමාරතුංග සමග පරිවාස ආන්ඩුවක ගිවිසුමක් ඇතිකරගැනීම; 2004 අප්‍රේල් මාසයේ ඇය සමග ඇමතිකම්  හතරක් සහිතව හවුල් ආන්ඩුවකට පැන ගැනීම; 2005 සිට ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ හවුල්කරුවෙක් වීම; 2010 ජෙනරාල් පොන්සේකාගේ සහායට වික්‍රමසිංහට හේත්තු වීම; 2015 සිරිසේනට හා වික්‍රමසිංහට මුක්කුව දීම; වොෂින්ටන් තානාපති කාර්යාලය සමග සම්බන්ධතා තහවුරු කර ගැනීම හා ඒ සියල්ලේ ආධාරයෙන්, ජාතික ජන බලවේගය වාත්තු කරගෙන 2024දී ආන්ඩු බලයට ඒම දක්වා මේ දිගු ගමන එන්නේ කෙසේද?

1980 ගනන් මුලසිට ලෝකය අලලා ගිය නිෂ්පාදනයේ ගෝලීයකරනය සහ 1991 දෙසැම්බර් සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු, පතුරුවා හැරුනු ධනපති දෘෂ්ටිවාදය තුල ගිලී ජවිපෙ තවත් දකුනට ගියේ එසේ ය.

බටලන්ද පසෙක තිබියේවා, 1988-1990 භිෂන සමයේ, පක්ෂයේ නායක රෝහන විජේවීර, ලේකම් ගමනායක ඇතුලු මධ්‍යම නායකත්වය [සෝමවංශ අමරසිංහ හැර]  පැහැරගෙන ගොස් රුදුරු ලෙස ඝාතනය කර භෂ්ම දැමීමට එරහිව උද්ඝෝෂනය කිරීම හෝ, ඒ පිලිබඳව පරීක්ෂනයක් පැවැත්වීම ගැනවත් දිසානායක-සිල්වා කල්ලිය කිසිදු උනන්දුවක් නොදැක්වූයේ මේ නිසාය. ඒ වෙනුවට මේ මෑතක් වන තුරුම, වාර්ෂිකව මොවුන් කලේ ඉල් මහ සැමරුම නමින් රැස්වී, නායකයන් ගැන ගුනකථන පවත්වා පහන් දල්වා පින් අනුමෝදන් කිරීමයි.

රෝහන විජේවීර [Photo: Facebook/Rohana Wijeweera Returns]

මාර්තු 14දා බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් රත්නායක කීවේ, එය “මව්බිමේ අයිතිය පැහැරගත්, මව්බිමේ හිසගසා දැමීමට උත්සහා කල, ගහලයන් පිලිබඳව, උන්ගේ කෲරත්වය පිලිබඳව වාර්තාවක්ම පමනක් නොව... තම දේශපාලන වුවමනාවන් වෙනුවෙන් රටක් යුග ගනනාවක් මුලුල්ලේ විනාශ කලේ කෙසේද  යන්නත්,” චන්ද්‍රිකා කුමාරතුංග එය යටගසා පන්ති මිතුරන් බේරා ගැනීම පිලිබඳවත් සාක්ෂියක් ද වන බවයි. මේ කියන අයගේ ගජ මිතුරන් ලෙස අඩුම තරමින් දසක තුනක් ක්‍රියා කිරීමෙන්, තමන් ද—කොමිෂන් වාර්තාව යට ගැසීම සම්බන්ධයෙන් පමනක් නොව, තම පක්ෂ නායකයන්, සාමාජිකයන් හා ගම්බද තරුනයන් ද දස දහස් ගනනින් ඝාතනය කිරීම පිලිබඳ පාලක පන්තියට ඇති රුදුරු වාර්තාව යට ගැසීම සම්බන්ධයෙන්—පලමු පෙලේ චුදිතයන් වී සිටින බව රත්නායකට මතක නැතිවී ඇත. “මව්බිමේ හිස” ලෙස එවක පක්ෂයේ ෆැසිස්ට් කැරලිකරුවන් හඳුන්වන රත්නායක, එම ෆැසිස්ට් ප්‍රවනතාව පක්ෂයේ දේශපාලන ඩීඑන්ඒ හි පැලපදියම් වී පවතින බව නම් පෙන්වා දී ඇත.  

මාර්තු 11දා පැවති කැබිනට් තීන්දු දැනුම්දුන් මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් නගමින්, වාර්තාවේ නිර්දේශ ජනාධිපතිවරයාට සෘජුවම ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබියදී, පලාත් පාලන මැතිවරනයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් “අමතර දේශපාලන වාසියක්” ගැනීමට ආන්ඩුව බලාපොරොත්තු වන්නේදැයි ඇසුවේ ය. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස කීවේ “ඔව්, දේශපාලව වාසිය ගන්නත් පුලුවන්” යනුවෙනි.

ඊයේ (20දා) ඩේලි එෆ්ටී කතුවැකිය මෙසේ ලියා ඇත: “පලාත්පාලන මැතිවරනය ඉදිරියේ, බටලන්දෙන් හැකිතරම් කිරි දොවා ගැනීමට ආන්ඩුව ක්‍රියා කරන බව පැහැදිලි ය; එහෙත් එය පරන කෝන්තර අවුස්සා අනතුරු දායක තත්වයකට... ගමන් කල හැකිය.'  කතුවැකියේ කනස්සල්ල “පරන කෝන්තර” ඇවිස්සීම නිසා, පාලක කල්ලි එකාවන්ව නැගෙන කම්කරුවන්ගේ හා දුගින්ගේ විරෝධය තලා දැමීමට තිබෙන ඉඩ ඇහිරෙනු ඇත යන්න ගැනයි.

දක්ෂිනාංශික ජවිපෙ/ජාජබ ආන්ඩුවේ වියරු ගනන් බැලීම් ඊට එහාට ගිය ඒවා බව, සමාජවාදී සමානතා පක්ෂය (සසප) අනතුරු අඟවා සිටි.

වික්‍රමසිංහ මුලපිරූ අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙල, ජවිපෙ/ජාජබ අයවැය තුලින් ක්‍රියාවට දැමීම හරහා ආන්ඩුවට එරෙහි මහජන විරෝධය අවුස්සා ඇත. අයිඑම්එෆ් ආඥාවන්ට අවනතව කම්කරුවන්ට ලබා දුන් සුලු වැටුප් වැඩිකිරීම් පරයා යන රාජ්‍ය සේවකයන්ගේ දීමනා දරුනු ලෙස කප්පාදු කර තිබේ. රාජ්‍ය අංශය ද රාජ්‍ය ව්‍යවසායක අංශය ද ප්‍රතිව්‍යුහගතකිරීම, කප්පාදුකිරීම හා පුද්ගලිකරනයේ දිසාවට පියවර ගනිමින් රැකියා ලක්ෂ ගනනින්, අතුගා දැමීමට ආන්ඩුව සැරසේ. මේ සියල්ල පැටවෙන්නේ, රටේ ජනගහනයෙන් සියයට 25ට වඩා දරිද්‍රතාවයේ ගිලී තවත් සියයට 60ක් එදාවේල ගැටගසා ගැනීමට අරගලයේ යෙදෙන තත්වයක ය.

ආර්ථික අර්බුදයක් මධ්‍යයේ, වැඩි වැටුප් ඉල්ලීම් අසාධාරන බව කී සෞඛ්‍ය ඇමති ජයතිස්ස, මහජනයා පීඩනයට හෙලන අරගලවලට ඉඩ නොදෙන බව කිවේය. ඊට පෙරාතුව, ජනාධිපති දිසානයක ආන්ඩුව අස්ථාවර කිරීමේ “වීදි අරගලවලට” ඉඩක් නැතිබවට අනතුරු ඇඟවුයේ ය. තමන් සිටින්නේ ජනතාවගේ පැත්තේ බවට මුසා දොඩවන ආන්ඩුවේ මැතිඇමතියෝ, කම්කරු අරගලවලට එරෙහිව සුලු- ධනපති කන්ඩායම් උසිගැන්වීමට තැත් කරති.  සුදානම් කෙරෙමින් පවතින්නේ කැමරූ කම්කරුවන් හා දුගින් තලා දැමීමේ ඒකාධිපති පාලනයක් කරා ගමනයි.

ජවිපෙ, වර්ගවාදී යුද්ධයට පාලක පන්තිය සමග හවුල්වී, පාලක පන්තියේ භීෂනවලින් හා තමන්ගේම ෆැසිස්ට් කැරලිවලින්, ධනපතියන්ගේ හා ආන්ඩුවල උවමනාවන්ට අනුව කම්කරු පන්තිය සිරකිරීමට ක්‍රියාකෙට, එම කුරිරු පාඩම් ඉගෙන ගෙන ඇත. බටලන්ද අතට ගෙන, අතීත කුරිරු පාලකයන්ට එරෙහි ව [ඔවුන් සමග භජනය කිරීමෙන් පසු ව] ක්‍රියා කිරීමේ නමින්, දැන් තමන්ගේම ආන්ඩුවකට එරෙහිව නැගෙන, කම්කරු පන්ති අරගලවලට විරුද්ධව කඩා පැනීමට ජවිපෙ/ජාජබ සුදානම් වේ. ආන්ඩුව, පලාත්පාලන මැතිවරනය තුලින් හැකිතරම් ආයතන දිනාගැනීමට හැකිවුව හොත්, එය යොදා ගනු ඇත්තේ ද, දැනටමත් කරන්නා සේ, තමන්ට “දැවැන්ත මහජන වරමක්” ලැබී ඇතැයි නිවේදනය කරමින් මර්දන ආයුධ මුවාත් කර ගැනීමට යි.

මෙම අධිරාජ්‍ය ගැති දක්ෂිනාංශික ආන්ඩුව, මොන ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් හෝ රකී යයි හෝ රැක දෙනු ඇතැයි සිතීම මාරක මුලාවකි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීම- අතීතයේ යුද අපරාධ හා 1987-1990 සාපරාධි ක්‍රියා සිදුකලවුන් හෙලි දරවු කිරීම හා ඔවුන්ට දඬුවම් දීම ඇතුලුව--කල හැකිවන්නේ, ජවිපෙ/ජාජබ ආන්ඩුවට එරෙහිව හා අපරාධයන්ගේ මූලය වන ධනපති ක්‍රමයට එරෙහි අරගලයකිනි.