[මෙය Free Mahmoud Khalil! Mobilize the working class against Trump’s dictatorship! යන මැයෙන් 2025 මාර්තු 10 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]
ලෝක සමාජවාදී වෙබ් අඩවිය, සමාජවාදී සමානතා පක්ෂය (ඇමරිකා එක්සත් ජනපදය) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානය මහමුද් ඛලීල් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටී. ඔහුගේ අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහිව එල්ල කල තියුනු ප්‍රහාරයකි. ට්‍රම්ප් පරිපාලනය ඕනෑම නීතියක් හෝ ව්‍යවස්ථාමය අයිතිවාසිකමක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ උදාසීන හා පාලනය කල නොහැකි ඒකාධිපති ආකාරයකට ය.
කොලොම්බියා උපාධි අපේක්ෂකයෙකු සහ පසුගිය වසරේ විශ්ව විද්‍යාල විරෝධතාවල කැපී පෙනෙන ආධාරකරුවෙකු වන ඛලීල්, ගාසා තීරයේ ජන සංහාරයට විරුද්ධ දේශපාලන අදහස් දැරීම වෙනුවෙන් ඉලක්කය වී ඇති අතර එය පලමු සංශෝධනය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. ඔහු එක්සත් ජනපදයේ නීත්‍යානුකූල ස්ථිර පදිංචිකරුවෙකු මෙන්ම ග්‍රීන් කාඩ්පත් හිමියෙකි. ඔහු මෙතෙක් කිසිදු අපරාධයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන හෝ චෝදනා ලබා නොමැත.
සෙනසුරාදා රාත්‍රියේ, ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (ඩීඑච්එස්) නියෝජිතයන් ඛලීල්ට සහ ඇමරිකානු පුරවැසියෙකු වන ඔහුගේ බිරිඳට ඔවුන්ගේ ගොඩනැගිල්ලේ ප්‍රවේශ ශාලාවේ දී රැක සිට අත්තඩංගුවට ගත්හ. ඔවුහු ඇය අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කර බිය ගන්වා, ඔහුව, නිව් ජර්සි හි එලිසබෙත් හි ආගමන හා රේගු බලාත්මක කිරීමේ (අයිසීඊ) ඒජන්සියේ රඳවා තබා ගැනීමේ සිර මැදිරියකට කුදලාගෙන ගියහ. ඔහුගේ නීතිඥයින් මෑන්හැටන්හි හබයාස් කෝපස් මෝසමක් (මෙය, රඳවා තබාගෙන සිටින පුද්ගලයෙකු ශාරීරිකව තමන් වෙත ඉදිරිපත් කරන ලෙස, අධිකරනය විසින්, තවත් පුද්ගලයෙකු ට නිකුත් කරනු ලබන නියෝගයකි. ඉන්පසු, අධිකරනය විසින්, රඳවා තබා ගැනීමේ හේතුව සහ නීත්‍යානුකූලභාවය පරීක්ෂා කරනු ලැබේ) ගොනු කර තිබියදී පවා, ඔහුව රහසිගතව සැතපුම් 1,300 ක් ඈතින් පිහිටි ලුසියානා හි පෞද්ගලික රැඳවුම් මධ්‍යස්ථානයකට ගෙන ගොස් තිබේ.
ඉරිදා (09) දිනයේ අපර භාගය වන තෙක්ම ඔහුගේ නීතිඥයින් හෝ බිරිඳ ඔහු සිටින ස්ථානය දැන සිටියේ නැත. මෙය ඒකාධිපතිත්වයක විධික්‍රමයයි—අතුරුදහන් කිරීම, ලතින් ඇමරිකානු හමුදා ජුන්ටාවන් විසින් භාවිතා කරන නීති විරෝධී පැහැරගැනීම් ක්‍රමයකි.
මෙම ලිපිය ලියන අවස්ථාව වන විට, නිව්යෝර්ක්හි දකුනු දිස්ත්‍රික්කයේ ෆෙඩරල් විනිසුරුවරයෙකු, ඛලීල් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම නීත්‍යානුකූලද යන්න පිලිබඳ බදාදා (12) විභාගයක් පැවැත්වෙන තෙක්, ඔහු පිටුවහල් කිරීම සම්බන්ධයෙන් තහනම් නියෝගයක් නිකුත් කර ඇත. නමුත් ට්‍රම්ප් පරිපාලනය මෙම තීන්දුවට අවනත වනු ඇතැයි විශ්වාස කිරීමට කිසිදු හේතුවක් නොමැත.
සඳුදා (10) පල කරන ලද අත්‍යාසාමාන්‍ය ප්‍රකාශයකින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඛලීල් අත්අඩංගුවට ගැනීමේදී ඔහුගේ භූමිකාව ගැන පුරසාරම් දොඩමින්, තවත් දහස් ගනනකට එරෙහි ව ඒ හා සමාන ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජනය කලේය. ජන සංහාරයට විරුද්ධ වීම “යුදෙව් විරෝධී” බවට, සමස්ත දේශපාලන සංස්ථාපිතය විසින් ප්‍රවර්ධනය කරන ලද සම්මත බොරුව භාවිතා කරමින්, ට්‍රම්ප්, සමාජ මාධ්‍ය වේදිකාවක් වන ටෲත් සෝෂල් හි මෙසේ ලිවීය: “කොලොම්බියා සහ රට පුරා අනෙකුත් විශ්ව විද්‍යාලවල ත්‍රස්තවාද-ගැති, යුදෙව්-විරෝධී, ඇමරිකානු-විරෝධී ක්‍රියාකාරකම්වල නියැලී සිටින තවත් සිසුන් සිටින බව අපි දනිමු, ට්‍රම්ප් පරිපාලනය එය නොඉවසනු ඇත.”
ඉන්පසු ඔහු ගාසා තීරයේ ජන සංහාරයට විරුද්ධ වන ඕනෑම අයෙකුට එරෙහිව සමූහ අත්අඩංගුවට ගැනීම් සිදු කරන බවට පැහැදිලිවම තර්ජනය කරමින්, 'මෙය ඉදිරියේදී සිදුවීමට නියමිත බොහෝ අත්අඩංගුවට ගැනීම්වල පලමුවැන්න යි. අපි මෙම ත්‍රස්තවාද-හිතෛෂීන් සොයා, අත්අඩංගුවට ගෙන, අපේ රටෙන් පිටුවහල් කරන්නෙමු—ඒ නැවත කිසි දිනෙක ආපසු ඒමට නොවේ.' යනුවෙන් ලිවීය.
ඇමරිකානු ඉතිහාසයේ එවැනි ප්‍රකාශයක් සඳහා පූර්වාදර්ශ නොමැත. ට්‍රම්ප් සියලු නීතිමය සීමාවන්ට පිටින් ක්‍රියාත්මක වන අතර, නීත්‍යානුකූල පදිංචිකරුවන්ගේ අයිතිවාසිකම් අහිමි කරමින් සහ නඩු විභාගයකින් තොරව පිටුවහල් කිරීමට ඇති අයිතිය විවෘතව ම ප්‍රකාශ කරමින්, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සෘජුවම උල්ලංඝනය කරයි.
ට්‍රම්ප් සිය ධුරයේ පලමු දින 50 තුල ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව ක්‍රමානුකූල යුද්ධයක් දියත් කර ඇත. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට නිරන්තරයෙන් පහර දීම, දේශපාලන විරුද්ධවාදීන් අත්අඩංගුවට ගැනීම, “හදිසි තත්වයක” මුවාවෙන් විධායකය විසින් අසාමාන්‍ය බලතල ප්‍රකාශ කිරීම—මේ සියල්ල මීට පෙර හිට්ලර්ගේ ජර්මනියේ, පිනෝෂේගේ චිලීයේ සහ තවත් බොහෝ ඒකාධිපතිත්වයන්හි ක්‍රියාත්මක වී ඇත. ට්‍රම්ප් සහ ඔහුගේ නාසි-ලෝලීන්ගේ කල්ලිය නීති බිඳ දමමින් සිටින අතර, ඒ සෑම උල්ලංඝනයක්ම ඊලඟ උල්ලංඝනයට වේදිකාව සකසයි.
විද්‍යාල හා විශ්වවිද්‍යාලවල පොලිස් තත්වයක් පනවමින් තිබෙන අතර, එහිදී අත්අඩංගුවට ගැනීමේ හෝ පිටුවහල් කිරීමේ තර්ජනය යටතේ විරුද්ධවාදී හැඟීම් අපරාධකරනයට ලක් කෙරේ. සඳුදා වෝල් ස්ට්‍රීට් ජර්නලය මෙසේ ලිවීය: “කොලොම්බියා විශ්වවිද්‍යාලය ඇමරිකානු විශ්වවිද්‍යාලවල අන්ත-වාමාංශික දෘෂ්ටිවාදය ලෙස හඳුන්වන දෙය බිඳ දැමීම සඳහා ට්‍රම්ප් පරිපාලනය ගෙන යන ව්‍යාපාරයේ ආරම්භක ලක්ෂ්‍යය බවට පත්ව ඇත.”
අධ්‍යාපන දෙපාර්තමේන්තුව “යුදෙව් සිසුන් ආරක්ෂා කිරීම සඳහා වන වගකීම් ඉටු නොකරන්නේ නම්, ක්‍රියාත්මක කිරීමට විභව්‍ය බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ග පිලිබඳව අනතුරු අඟවමින් පාසල් 60 කට ලිපි යවා ඇති බව ද, එම ලැයිස්තුවට අයිවි ලීගය, රාජ්‍ය සහ කුඩා ලිබරල්-කලා විද්‍යාල ඇතුලත් වන බව” ද එහි සඳහන් විය.
කෙසේ වෙතත්, ප්‍රහාරය විශ්ව විද්‍යාල වලට පමනක් සීමා නොවේ. ට්‍රම්ප් තන්ත්‍රයේ ක්‍රියාමාර්ගවලට සහ එය නියෝජනය කරන පාලක පන්තියේ අවශ්‍යතාවලට විරුද්ධ වන ඕනෑ ම අයෙකු එයට ඉලක්ක වනු ඇත. විශේෂයෙන්, තම ජීවන තත්වයන්ට එල්ල වන ප්‍රහාරවලට එරෙහි ව ක්‍රියාමාර්ග ගන්නා සහ වැඩ වර්ජනය කරන කම්කරුවන් අත්අඩංගුවට ගැනීම්වලට ලක් විය හැකිය.
ඛලීල්ට එරෙහි ප්‍රහාරය සිදුවන්නේ, ට්‍රම්ප් සහ එලොන් මස්ක් විසින් රජයේ සේවකයින් දහස් ගනනින් සමූහ වශයෙන් දොට්ට දැමීම, සංගතවල සූරාකෑමට ඇති සියලු සීමාවන් ඉවත් කිරීම සහ මෙඩිකේඩ් සහ සමාජ ආරක්ෂනය වැනි සමාජ වැඩසටහන් වලට එල්ල කෙරෙන සෘජු ප්‍රහාරවල සන්දර්භය තුල ය. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි ප්‍රහාරය—ග්‍රීන්ලන්තය සහ කැනඩාව ඈඳා ගැනීමට ට්‍රම්ප් කල ඉල්ලීම්වල සිට ඊශ්‍රායලය, පලස්තීන ජනතාව වාර්ගික ව ශුද්ධ කර දැමීමට සහාය දීම දක්වා වන—ගැඹුරු වන යුද සූදානම සමඟ අවියෝජනීය ලෙස බැඳී පවතී.
ඛලීල්, නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමටත්, පිටුවහල් කරන බවට වන තර්ජනයටත් විරුද්ධ වූ ප්‍රමුඛ පෙලේ කිසිදු ඩිමොක්‍රටිකයෙකු නැත. නිව්යෝර්ක් ආන්ඩුකාර කැතී හොචුල් කිසිවක් පවසා නැති අතර, මේ මස මුල දී කොලොම්බියාවේ ශිෂ්‍ය විරෝධතාකරුවන්ට එරෙහි ව “කඩිනම් ක්‍රියාමාර්ග” ගන්නා ලෙසට ඇය පෞද්ගලික ව ම ඉල්ලා සිටියා ය. ට්‍රම්ප් සමඟ සමීප ව කටයුතු කරන සහ මීට පෙර විරෝධතාකරුවන් “පිටස්තර උද්ඝෝෂකයින්” ලෙස හෙලා දුටු නිව්යෝර්ක් නගරාධිපති එරික් ඇඩම්ස්ගේ ප්‍රකාශකයෙකු, නගරය “අයිසීඊ සමඟ සහයෝගයෙන් කටයුතු නොකරන” බවට හදිසි ප්‍රකාශයක් නිකුත් කලේය.
“ස්වාධීන” සෙනෙට් සභික බර්නි සෑන්ඩර්ස් ඇතුලු සෙනෙට් සභාවේ සහ නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ ඉහලම ඩිමොක්‍රටිකයින් සියලු දෙනා නිහඬ ව සිටිති.
ඩිමොක්‍රටික් පක්ෂය සමග ගැඹුරු සම්බන්ධකම් ඇති කොලොම්බියා විශ්ව විද්‍යාලය, ඛලීල්ට එල්ල වූ ප්‍රහාරයේ දී ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කලේ ය. තමන් අත්අඩංගුවට ගැනීමට දින කිහිපයකට පෙර, ඛලීල් විශ්ව විද්‍යාලයේ වැඩබලන සභාපති කැත්‍රිනා ආම්ස්ට්‍රෝංට පැමිනිලි කර තිබුනේ තමන් පුද්ගලික ව හඳුනාගත හැකි තොරතුරු අන්තර්ජාලය හරහා නිරාවරනය කිරීමේ සම්බන්ධීකෘත ව්‍යාපාරයක ගොදුරක් බවට පත් ව ඇති බව ය. ඔහු චෝදනා කලේ කොලොම්බියා මහාචාර්ය ෂායි ඩේවිඩායි සහ තවත් අය විසින් එම ව්‍යාපාරය මෙහෙය වෙන බවයි. එහිදී ඔවුහු ඔහු “ආරක්ෂක තර්ජනයක්” ලෙස නම් කර ඔහු පිටුවහල් කරන ලෙස ඉල්ලා සිටින බවට ද සඳහන් කර තිබුනි.
“අයිසීඊ හෝ අනතුරුදායක පුද්ගලයෙකු මගේ නිවසට පැමිනිය හැකිය යන බිය නිසා මට නිදා ගැනීමට නොහැක,” යනුවෙන් ලියමින් ඔහු නීතිමය සහාය සහ ආරක්ෂාව ඉල්ලා සිටියේය. කොලොම්බියා [විශ්ව විද්‍යාලය] ඔහුගේ ආයාචනා නොසලකා හැර ඇති අතර, ට්‍රම්ප්ගේ නියෝජිතයින්ට ඔහු තම නිවසින් කුදලාගෙන යාමට ඉඩ දුන්නේය.
ඛලීල් අත්අඩංගුවට ගැනීම පුලුල් කෝපයක් අවුලුවා තිබේ. විශ්ව විද්‍යාල කන්ඩායම් විසින් දියත් කරන ලද විරෝධතා ලිපි ලිවීමේ ව්‍යාපාරයකට මිලියන 1.2 කට අධික පිරිසක් සහභාගී වී ඇත. ඔහුගේ නිදහස ඉල්ලා සිටින පෙත්සම්වලට මිලියන භාගයකට අධික පිරිසක් අත්සන් තබා ඇත.
කොලොම්බියා පීඨයේ කන්ඩායමක් සහ ප්‍රාදේශීය යුදෙව් ධර්මාචාර්යවරයෙකු ඇතුලු ආධාරකරුවන් පිරිසක් ඛලීල් අල්ලා ගැනීම හෙලා දැකීමට, සඳුදා පස්වරුවේ කොලොම්බියාහි දී මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර, ආධාරකරුවන් සිය ගනනක් මෑන්හැටන් ෆෙඩරල් අධිකරනයෙන් පිටත විරෝධතා දැක්වූහ.
මෙම ක්‍රියාමාර්ග පුලුල් කල යුතුය. කොලොම්බියා, නිව්යෝර්ක් විශ්ව විද්‍යාලවල ද නගර සහ ප්‍රාන්ත පුරා සහ ජාතික වශයෙන් අනෙකුත් පාසල්වල ද මහා රැස්වීම් සහ විරෝධතා සංවිධානය කල යුතුය.
සිසුන් සටන තුල හුදෙකලා කල නොහැකි ය. මෙම සටන කම්කරු පන්තිය තුලට ගෙන ආ යුතුය. ඛලීල් යුනයිටඩ් ඔටෝ වර්කර්ස් (යූඒඩබ්ලිව්) හි සාමාජිකයෙකි, නමුත් යූඒඩබ්ලිව් නායකත්වය ඒ පිලිබඳ නිහඬව ය. සාමාන්‍ය කම්කරුවන් ක්‍රියාත්මක විය යුතුය. මෝටර් රථ කම්කරුවන්, අධ්‍යාපනඥයින්, ඇමසන් කම්කරුවන්, සෞඛ්‍ය සේවකයින් සහ කම්කරු පන්තියේ සෑම කොටසක් ම සමඟ යූඒඩබ්ලිව් හි උපාධි අපේක්ෂක ශිෂ්‍යයින් ඛලීල්ගේ නිදහස සඳහා සටන භාර ගත යුතුය.
ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සේවා ස්ථානවල සහ කර්මාන්තශාලාවල කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ස්ථාපිත කල යුතු අතර, මෙම අරගලය ට්‍රම්ප් විසින් කම්කරු පන්තියට එල්ල කරන ප්‍රහාරයට එරෙහි පුලුල් සටන සමග සම්බන්ධ කල යුතුය.
ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල කෙරෙන මෙම ප්‍රහාරයේ පරිමානය කිසිවෙකු අවතක්සේරු නොකල යුතුය. මෙය ක්‍රියාකාරී කතිපයාධිකාරීත්වයේ රීතියයි.
ලොකුම වැරැද්ද වනුයේ ඩිමොක්‍රටික් පක්ෂය හෝ වෘත්තීය සමිති යාන්ත්‍රනය කෙරෙහි විශ්වාසය තැබීමයි. මහමුද් ඛලීල් නිදහස් කර ගැනීමේ සටන මූල්‍ය කතිපයාධිකාරයේ ආඥාදායකත්වයට එරෙහි පුලුල් අරගලයෙන් වෙන් කල නොහැකි ය. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්, යුද්ධයට සහ ආඥාදායකත්වය දෙසට හැරීමට විරුද්ධ වීමටත් කම්කරු පන්තිය තමන්ගේ ම ස්වාධීන ශක්තියෙන් මැදිහත් විය යුතු ය.