[මෙහි පලවන්නේ Oppose Sri Lankan president’s repressive state of emergencyයන මැයෙන් 2021 සැප්තැම්බර් 11දා පල වූ ලිපියේ පරිවර්තනය යි.]
අගෝස්තු 30දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශයට පත් කල හදිසි තත්ත්වය, කම්කරු පන්තියේ හා පීඩිත ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට දරුනු තර්ජනයකි.
පාලක පක්ෂයේ බහුතරයේ සහයෝගයෙන් හා විරුද්ධ පක්ෂවල යටහත් විවේචන සමගින්, මර්දනීය නීතිය සඳුදා පාර්ලිමේන්තුව හරහා තල්ලු කරගන්නා ලදී.
මෙම නීති, “මහජන ආරක්ෂාව හා යහපත තහවුරු කිරීමටත්, ප්‍රජාවේ ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා පවත්වාගෙන යාමටත්” අවශ්‍ය බව ආන්ඩුව කියාපායි. ආන්ඩුව මේ සඳහා කඩතුරාවක් ලෙස යොදාගෙන ඇත්තේ, මෑත සතිවල හාල් හා සීනි වැනි ද්‍රව්‍යයන් හිඟ වීම සහ ඒවායේ මිල දෙගුන වීමයි.
අත්‍යවශ්‍ය ආහාර සැපයුම් සම්බන්ධීකරනය කිරීම සඳහා, ජනාධිපති රාජපක්ෂ ජ්‍යෙෂ්ට මිලිටරි නිලධාරියෙකු අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ධුරයට පත් කලේ ය. මාධ්‍යවල පිටුබලය ලබන ආන්ඩුව, හාල් හා සීනි සැපයුම් “අල්ලා ගැනීමේ” හා ඒවා බෙදාහැරීමේ ජනතාවාදී උද්ඝෝෂනයක් දියත් කර තිබේ.
හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීම මගින්, ජනාධිපතිවරයා දුර දිග යන බලතල අත්පත් කරගෙන ඇත. මේ අනුව ඔහුට “මහජන ආරක්ෂාව හා මහජන සාමය සුරක්ෂිත කිරීම සඳහා ද, කැරලි, කෝලාහල හෝ සිවිල් කැලඹීම් මර්දනය කිරීම සඳහා ද, ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවාවන් පවත්වාගෙන යාමේ දී ද අවශ්‍ය හා යෝග්‍ය බව පෙනෙන” රෙගුලාසි පැනවිය හැකි ය.
ජනාධිපති රාජපක්ෂ මෙම බලතල යටතේ නව රෙගුලාසි තවමත් නිවේදනය කර නැතත්, ඒවා ඉදිරියේ දී පනවනු ඇත. ඕනෑ ම නීතියක් සංශෝධනය කිරීම, ඕනෑ ම නීතියක් ක්‍රියාත්මක වීම නතර කිරීම සහ සංශෝධනයන් සහිත ව හෝ රහිත ව ඕනෑ ම නීතියක් ක්‍රියාවට දැමීම ඔහුට කල හැකි ය. මේ රෙගුලාසි හරහා, ඕනෑ ම ආකාරයක අරගලයකට තහංචි පැනවීම මෙන්ම දේශපාලන පක්ෂ ඇතුලු ඕනෑ ම සංවිධානයක් තහනම් කිරීම, මහජනයා හිතුමතේ අත්අඩංගුවට ගැනීම සහ මාධ්‍ය වාරනය පැනවීම ඔහුට කල හැකි වේ.
රටෙහි ආර්ථික අර්බුදයේ බර පැටවීමෙන් ඉමහත් දුෂ්කරතාවන්ට මුහුන දෙමින් සිටින කම්කරු පන්තිය හා ගම්බද ජනයා, මෙම හදිසි නීතිවල සැබෑ ඉලක්කය බව සමාජවාදී සමානතා පක්ෂය (සසප) අනතුරු අඟවයි.
කම්කරුවන් මිලියනයක් පමන සේවයේ යොදවන මූලික රාජ්‍ය ආයතන ආවරනය කරමින්, මැයි 27දා පලමු වරට ප්‍රකාශයට පත් කරන ලද, අත්‍යවශ්‍ය මහජන සේවා පනත රාජපක්ෂ මේ සතියේ අලුත් කලේ ය.
මෙම නීතිය යටතේ වැඩ වර්ජන තහනම් වේ. එම නීති උල්ලංඝනය කිරීම්වලට, මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ පවත්වන ලඝු නඩු විභාගයකින් බරපතල වැඩ සහිත සිර දඬුවම් හා දඩ පැනවිය හැකි ය. වරදකරු ලෙස දඬුවම් ලබන්නන් කිසිදු අනාගත රැකියාවක නිරත වීම වලක්වමින් අපලේඛන ගතකිරීමට සහ ඔවුන්ගේ නිශ්චල හා චංචල දේපොල රාජ සන්තක කිරීමට භාජනය කරනු ලැබිය හැකි ය. එමෙන්ම, අත්‍යවශ්‍ය සේවා නීති උල්ලංඝනය කරන ලෙස සේවකයන් පොලඹවන හෝ උසිගන්වන ඕනෑ ම අයෙකු ට ද මේ සියලු දඬුවම් පැනවිය හැකිය.
ගෝලීය වසංගතය, ආන්ඩුව මුහුන දෙන ආර්ථික හා දේශපාලන අර්බුදය, ගැඹුරු කර ඇත. නිල දත්තවලට අනුව, මෑත සතිවල දෛනික ආසාදන සංඛ්‍යාව, 3,000ත් 5,000ත් අතර වේ. වර්තමාන සමස්ත ආසාදන සංඛ්‍යාව 475,000 ඉක්මවන අතර, මරන සංඛ්‍යාව 11,000ට ආසන්න වෙමින් තිබේ. මේ සියලු සංඛ්‍යා ලේඛන සැබෑ තත්වය අවතක්සේරු කර සකස් කල ඒවාය.
ආන්ඩුව වසංගතය සාපරාධී ලෙස නොතකා හැරීම ගැන මහජන කෝපය නැගෙමින් තිබේ. කොවිඩ්-19 පරාජය කිරීම සඳහා සෞඛ්‍ය විශේෂඥයන් දෙන උපදෙස් යලි යලිත් නො තකා හැර ඇති රාජපක්ෂ පාලනය, රටෙහි ගැඹුරු වන හදිසි සෞඛ්‍ය තත්වයට මුහුන දීම පිනිස අවශ්‍ය වන පරිදි, මහජන සෞඛ්‍ය පද්ධතිය පිරිවැඩියා කිරීමට අසමත් ව ඇත.
අඟහරුවාදා පාර්ලිමේන්තුව ඇමතූ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, ගැඹුරු අභ්‍යන්තර හා බාහිර ආර්ථික අර්බුදයක් විසින්, ලංකාව වෙලාගෙන ඇති බව පිලිගත්තේ ය. අභ්‍යන්තර ව, මේ වසරේ තක්සේරුකල රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1,500 හා 1,600 අතර ප්‍රමානයකින් පහත වැටී තිබේ.
අපනයන, සංචාරක කර්මාන්තය හා විදෙස් ප්‍රේෂන පහලවැටීම සමගින්, රට යෝධ විදේශ විනිමය අර්බුදයකට මුහුන දෙයි. මහ බැංකුවේ දත්ත උපුටා දක්වමින් බැසිල් රාජපක්ෂ මෙසේ කීවේ ය: “රටේ ශුද්ධ විදේශ විනිමය සංචිත ශූන්‍යයට ආසන්න වෙනවා, එහි අර්ථය නම් රටේ සංචිත සියල්ලම පාහේ නයට ගත් ඒවා බවයි.” එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල තියුනු ලෙස අවප්‍රමානය වී ඇත.
මෙම සංඛ්‍යා ලේඛනවලින් දරුනු ඇඟවුම් ප්‍රකාශයට පත්වේ. ආර්ථික අර්බුදයේ සමස්ත බරට කරදෙන ලෙස කම්කරුවන්ට හා දුගීන්ට බලකිරීමට ආන්ඩුව සැලසුම් කරමින් සිටියි. සේවක දිරි දීමනා හා නව ව්‍යාපෘති ඇතුලු වියදම් කපන ලෙස, මුදල් ඇමතිවරයා සියලු අමාත්‍යාංශවලට උපදෙස් දී ඇත. රැකියාවලට නව බඳවා ගැනීම් වලට ද ඔහු විසින් තහංචි පනවා තිබේ.
රජයේ සේවකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම සහ ආහාර බෙදාහැරීම සලාක ක්‍රමයකට සිදු කිරීම පිලිබඳ ව ද සාකච්ඡා වෙමින් පවතී. බොහෝ ආනයන දැනට මත් කප්පාදු කරනු ලැබ ඇත.
වැඩ කරන ජනයා දැනට මත් ගැඹුරු සමාජ අර්බුදයකට මුහුන දෙමින් සිටිති. ලෝක බැංකුවට අනුව, පසුගිය වසරේ දී පුද්ගලයන් මිලියන භාගයක් දරිද්‍රතාවට ඇද වැටුනි. දිනකට ඩොලර් 3.20ක් ඉපැයීම මත පදනම් වන දරිද්‍රතා ප්‍රතිශතය, 2019 දී සියයට 9.2 සිට 2020 දී 11.7 දක්වා ඉහලගොස් ඇති බව, සීමිත දත්ත විසින් පෙන්වා දෙන බව, එය සඳහන් කලේ ය. මිලියනයකට අධික කම්කරුවන්ට ඔවුන්ගේ රැකියා අහිමි වූ බව අනෙකුත් වාර්තාවලින් පෙන්නුම් කෙරේ.
ධනේශ්වර පාලනයට තර්ජනයක් වෙමින් සමාජ හා දේශපාලන කැලඹිලි පැනනැගුනු විට, ලංකාවේ පසුගිය ආන්ඩු හදිසි නීති පාලනය යොදාගෙන ඇත. 1953 දී, හර්තාලයේ මහා වැඩ වර්ජනය හා මහජන විරෝධතාවන් මධ්‍යයේ, ආන්ඩුව හදිසි තත්ත්වයක් ප්‍රකාශ කලේ ය. රාජ්‍ය හමුදා කම්කරුවන් නව දෙනෙකු මරා දැමූ හ.
ඉන්පසු, 1971 හා 2011 අතර සමයේ බලයට පත් ආන්ඩු අඛන්ඩ ව ම පාහේ හදිසි නීති පාලනය පවත්වාගෙන ගිය හ.
•1971 දී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය එක්වූ සභාග ආන්ඩුව, ගම්බද තරුනයන්ගේ නැගී සිටීම ප්‍රචන්ඩ ලෙස මර්දනය කිරීම සඳහා, හදිසි බලතල ගසා කෑවේ අවම වසයෙන් 15,000ක් සංහාරයට ලක්කරමිනි.
•1973-1974 ගෝලීය තෙල් අර්බුදය මධ්‍යයේ, සභාග ආන්ඩුව නිර්දය ලෙස ආහාර සලාක පැනවීමට හා ගොවි නිෂ්පාදන අල්ලා ගැනීමට හදිසි නීති යොදාගත්තේ, හාමත පලල්ව පැතිරීයාමේ කොන්දේසි සකස් කරමිනි. කම්කරු පන්තියේ අරගල හා ගම්බද කැලඹීම් විසින් එම සභාග පාලනය බිඳ දැමුනි.
•1977 දී බලයට පැමිනි ජේ. ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව, ආඥාදායක ජනාධිපති ව්‍යවස්ථාවක් ස්ථාපිත කොට, දිග ඇද්දී ගිය සමාජ අර්බුදයක් මධ්‍යයේ, කැරලිකාරී වූ කම්කරුවන්ට හා දුගීන්ට විරුද්ධ ව, හදිසි නීති මර්දනය දියත් කලේ ය.
•බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි දෙමල-විරෝධී වාර්ගික යුද්ධය දියත් කිරීම සඳහා එම හදිසි බලතල ම යොදාගන්නා ලදී. දෙමල වැසියන් දසදහස් ගනනක් මරා දැමුනු අතර, බොහෝ දෙනා “අතුරුදන් විය.” දහස් ගනනක් අත්අඩංගුවට ගැනුනි. 1988-1990 සමයේ, පලල් ව පැතිරුනු කැලඹීම මධ්‍යයේ, හදිසි නීති පාලනයේ ආවරනය යටතේ, මිලිටරියට සම්බන්ධ ඝාතක කල්ලි විසින් ගම්බද තරුනයන් 60,000ක් පමන ඝාතනය කරන ලදී.
•2009 එල්ටීටීඊයේ මිලිටරි පරාජයෙන් දෙවසකරට පසුව පමනක්, අවසානයේ හදිසි නීති පාලනය ඉවත් කරන ලදී. එය සිදුවූයේ, දෙමල සිවිල් වැසියන් දසදහස් ගනනක් මරා දමමින් යද්ධය අවසන් කොට, ලක්ෂ ගනනක් මිලිටරිය පාලනය කල රැඳවුම් කඳවුරු තුලට ගාල් කරමින් ද බොහෝ දෙමල තරුනයන් රහසිගත මධ්‍යස්ථානවල දී “යලි අධ්‍යාපනගත කිරීමේ” නමින් සිරකර තබමින් ද ගෙනගිය හදිසි නීති මර්දනයකට පසුවය.
කම්කරු-පන්තික අරගල රැල්ලක් පුපුරා යද්දී වත්මන් ආන්ඩුව දැන් හදිසි නීති පාලනය දෙසට හැරී ඇත. 250,000ට ආසන්න ගුරුවරු ඔවුන්ගේ දෙමසක් ගතවු වැඩ වර්ජනය පවත්වාගෙන යන අතර දුම්රිය, තැපැල්, වතු හා සෞඛ්‍ය කම්කරුවන් අතර මෑත මාස කිහිපයේ දී විරෝධතා හා වැඩ වර්ජන පුපුරා ගොස් තිබේ. ගම්බද ගොවීන් හා තරුනයන් අතර ද වර්ධනය වෙමින් ඇත්තේ කැලඹිලි සහගත තත්වයකි.
ආන්ඩුව හා මාධ්‍ය විසින් නොකඩවා දෙමල-විරෝධී හා මුස්ලිම්-විරෝධී වාර්ගික විෂ පතුරුවද්දී වාර්ගික බෙදීම් නොතකා කම්කරුවෝ මෙම ක්‍රියාවන්ට සහභාගි වී ඇත්තාහ.
මෑත සති කිහිපයේ දී, ගුරු හා ශිෂ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගනිමින්, නම් ලැයිස්තු රැස්කරමින් හා නඩු පවරමින්, රාජපක්ෂ ආන්ඩුව දියත් කර ඇති ක්‍රමානුකූල පොලිස් දඩයමෙන් අනතුරු අඟවා ඇත්තේ රුදුරු මර්දනයක් සූදානම් කෙරෙමින් පවතින බවයි.
පොලිස් රාජ්‍ය විධික්‍රම කරා ආන්ඩුවේ මාරුව, ජාත්‍යන්තර ප්‍රපංචයක කොටසකි. ලොව පුරා පාලක පන්තීහු, වැඩෙන සමාජ විරෝධයට ප්‍රතිචාර ලෙස, ආඥාදයක පාලන රූප කරා හැරෙමින් සිටිති.
ජනවාරි 6දා, පෙර නුවූ විරූ කුමන්ත්‍රන ප්‍රයත්නයකට ෆැසිස්ට් ස්ථර බලමුලු ගැන්වූ හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ආපසු බලයට ඒම සඳහා අඛන්ඩ ව කුමන්ත්‍රනය ගෙන යයි. යුරෝපීය පාලන තන්ත්‍ර මර්දනීය නීති වඩ වඩා සම්මත කර ඇති අතර, ක්‍රියාශීලී ව ෆැසිස්ට් බලවේගයන් දිරිමත් කරනු ලැබේ. බ්‍රසීලයේ ජනාධිපති ජායර් බොල්සොනාරෝ, ෆැසිස්ට් බලවේගවලට පිටුබලය දෙමින්, ආඥාදායක කුමන්ත්‍රනයක් සූදානම් කරමින් සිටී. ඉන්දියාවේ දක්ෂිනාංශික අගමැති නරේන්ද්‍ර මෝදිගේ පාලන තන්ත්‍රය, ඒ හා සමාන ආඥාදායක ක්‍රියාවන්හි යෙදීගෙන ඇත.
එජාපයෙන් බිඳී ගිය සමගි ජන බලවේගය (සජබ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හා දෙමල ජාතික සන්ධානය (දෙජාස) යන ශ්‍රී ලංකාවේ විරුද්ධ පක්ෂ හදිසි නීතිය පිලිබඳව සිදු කර ඇත්තේ නාමික විවේචනයන් ය.
•සජබ වාචාල ලෙස ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ, හදිසි නීති පාලනය පැනවීම වෙනුවට, “වසංගතය මැඩීම සඳහා නීති පැනවීමට පියවර ගන්නා” ලෙසයි.
•හදිසි නීති පැනවීම, “අක්‍රියාශීලී නායකයෙක් වැඩි බලතල අල්ලා ගැනීම සඳහා දරන උන්මාදනීය උත්සාහයක්” යයි ජවිපෙ නායක අනුර දිසානායක ප්‍රකාශ කලේ ය. සැබවින්ම නම්, රාජපක්ෂ ක්‍රියාත්මක වෙමින් සිටින්නේ හුදු තනි පුද්ගලයෙක් ලෙස නොව, පාලක පන්තියේ පලල් කොටස්වල සහයෝගය ඇතිවයි.
•එජාපයේ නායක හා එහි එක ම පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ, හදිසි නීතිය පිලිබඳ පාර්ලිමේන්තු විවාදයට වත් සහභාගි වීමට කරදර නො වූයේ, රාජපක්ෂගේ මර්දනීය පියවර වලට පක්ෂයේ පිටුබලය වක්‍රව ඉඟි කරමිනි.
•දෙජාස මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන්, පාර්ලිමේන්තුවේ කතා කරමින්, විකාර ලෙස උත්සාහ දැරුවේ, හදිසි නීතියේ අනෙකුත් අංශ ද ක්‍රියාත්මක නොකරන බවට ආන්ඩුවෙන් සහතිකයක් ලබා ගැනීමටයි.
මේ සියලු අදහස් මුලුමනින් ම කුහක ය. එජාපයේ හා සජබයේ නායකයන් මෙන් ම ජවිපෙ නායකයන් ද අතීතයේ දී හදිසි නීති බලතල අනුකම්පා විරහිත ව යොදාගෙන ඇති ආන්ඩුවල සාමාජිකයෝ වූහ. රාජපක්ෂ ආන්ඩුවට හා එහි පොලිස්-රාජ්‍ය පියවරයන්ට එරෙහිව වැඩෙන විරෝධය අපසරනය කොට වාෂ්ප කර දැමීමට ඔවුහු සියලු දෙනා උත්සාහ දරමින් සිටිති.
තමන් මෙම නීතිවලට එරෙහි ව “වැඩකරන ජනයා බලමුලු ගැන්වීමට බලාපොරොත්තු වන” බව ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රකාශ කරයි. එහෙත් මෑත සති කිහිපයේ දී, එහි ප්‍රධාන ක්‍රියාකාරීත්වය වී ඇත්තේ, පලල් පෙරමුනක් ස්ථාපිත කිරීම සඳහා විරුද්ධ පක්ෂ සමග සාකච්ඡා කිරීම වන අතර, එම පෙරමුනෙහි එක ම අභිප්‍රායය වනු ඇත්තේ, වැඩකරන ජනයාගේ විරුද්ධත්වය හිරිවට්ටා දැමීමයි.
ඒ අතර ම, හදිසි නීති පිලිබඳ වෘත්තීය සමිති සාපරාධී නිශ්ශබ්දතාවක් පවත්වාගෙන යන්නේ, මර්දනීය අත්‍යවශ්‍ය මහජන සේවා පනත පිලිබඳ වචනයක් වත් ප්‍රකාශ නොකල අයුරින්ම ය.
රාජපක්ෂගේ පන්ති-යුද පියවර වලට කම්කරු පන්තිය ප්‍රතිචාර දැක්විය යුත්තේ, විරුද්ධ පක්ෂ, ව්‍යාජ-වාම කන්ඩායම් හා වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව, තමන්ගේ ඒකාබද්ධ කාර්මික ශක්තිය දේශපාලනික ව බලමුලු ගන්වමිනි.
•හදිසි තත්ත්වය හා අත්‍යවශ්‍ය මහජන සේවා පනත වහා ම හකුලා ගන්නා ලෙස ඉල්ලනු.
•ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට සෑම වැඩපොලක ම ක්‍රියාකාරී කමිටු ගොඩනගනු. අනාරක්ෂිත වසංගත කොන්දේසි යටතේ වැඩ කිරීමට විරුද්ධ විය යුතු මෙම කමිටු, කම්කරු පන්තියේ සමාජ අයිතීන් ආරක්ෂා කල යුතු ය.
•ක්‍රියාකාරී කමිටු ගම්බද දුගීන්ගේ හා තරුන ජනයාගේ සහයෝගය රැලි කරගත යුතු ය.
•මහජන සෞඛ්‍ය සේවාව වැඩිදියුනු කිරීමටත්, අගුලු දැමීම හේතුවෙන් රැකියා හා ආදායම් අහිමි වී ඇති කම්කරුවන් ඇතුලු ජනයාට ආධාර සැපයීමට, රුපියල් බිලියන ගනන් වියදම් කල යුතු ය.
රාජපක්ෂ ආන්ඩුවේ ක්‍රියාවන් ධනවාදයේ ගෝලීය අර්බුදය සමග මුලුමනින් ම බැඳී තිබෙන අතර, ඒවා පරාජය කල හැක්කේ ධනපති පන්තිය අස්වාමික කරන සමාජවාදී පිලිවෙත් සඳහා සටන් කිරීමෙන් පමනි. මහා වතු, ප්‍රධාන සමාගම් හා බැංකු කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කල යුතු අතර, විදේශ නය ප්‍රතික්ෂේප කල යුතු ය. මෙම පිලිවෙත් ක්‍රියාවට දැමීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ආ යුතු ය.
වසංගතය ඇතුලු වැඩකරන ජනයා මුහුන දෙන එක ම ප්‍රධාන ගැටලුවක් වත්, එක් රටක් තුල විසඳිය නො හැක. සමාජවාදය සඳහා අරගලය ජාත්‍යන්තර කර්තව්‍යයකි. ජාත්‍යන්තර එකමුතුව පන්නර ගැන්වීම සඳහා, කම්කරු පන්තිය බෙදීම ඉලක්ක කරගන්නා සියලු ආකාරයේ ජාතිකවාදයන්ට, වර්ගවාදයන්ට හා ස්වෝත්තමවාදයන්ට කම්කරුවෝ විරුද්ධ විය යුත්තාහ.
ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙසත්, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ආරම්භකත්වය ගෙන ඇති කම්කරුවන්ගේ ජාත්‍යන්තර ක්‍රියාකාරී කමිටු සන්ධානයට බැඳෙන ලෙසත්, අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලමු. ලංකාව තුල මෙම දේශපාලන ඉදිරි දර්ශනය සඳහා සටන් වදින්නේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) යි. ඉදිරියේ එලඹෙන විප්ලවවාදී අරගලවලට අවශ්‍ය නායකත්වය ලෙස සසප ගොඩනැගීමට එයට බැඳෙන ලෙස කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් අපි ඉල්ලමු.