[මෙහි පලවන්නේ Sri Lankan president tries to cover up crisis in lengthy national address යන මැයෙන් 2021 ජූලි 6 වැනි දා පලවූ ලිපියේ පරිවර්තනය යි.]
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජුනි 25දා ජාතිය අමතා කල කතාව, සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මත එල්ල කෙරෙන ප්‍රහාර සහ කොවිඩ්-19 වසංගතය කෙරෙහි දක්වන නොතැකීම හේතුවෙන් කම්කරුවන් හා දුගීන් අතර නැගෙන අතෘප්තිය නිසා ඔහුගේ ආන්ඩුව මුහුනදෙන දේශපාලන අර්බුදය වසං කිරීමට දැරූ මංමුලා සහගත ව්‍යායාමයකි.
රාජපක්ෂගේ මිනිත්තු 69ක කතාව, ප්‍රථම පෞරානික සිංහල රාජධානිය වූ අනුරාධපුරයේ පූජාභූමියක් වන, රුවන්වැලි සෑය අසල දී කලින් පටිගතකොට ඉදිරිපත් කෙරුනි. මෙම ස්ථානය තෝරා ගැනීම, තමන් සිංහල-බෞද්ධයන් වෙනුවෙන් පෙනීසිටින බව තවදුරටත් තහවුරු කරමින්, සිංහල අන්තවාදීන් අතර ඔහුගේ දක්ෂිනාංශික පදනම ශක්තිමත් කර ගැනීමට දැරූ උත්සාහයකි.
වසංගතයට තම ආන්ඩුව දක්වන සාපරාධී ප්‍රතිචාරය සම්බන්ධයෙන් මහජනයා අතර නැගෙන කෝපය අපගමනය කිරීමට උත්සාහ දරමින් රාජපක්ෂ සිය කතාව ආරම්භ කලේ ය. පසුගිය වසරේ මාර්තු මාසයේ එක් මසක කෙටි අගුලු දැමීමකින් පසු, කොලඹ ආන්ඩුව ආර්ථිකය යලි විවෘත කලේ, කාර්මික වැඩහල්, වතු හා ගම්බද ප්‍රදේශ පුරා වෛරසයට පැතිර යාමට ඉඩ දෙමිනි. කොලඹ ආන්ඩුවේ පියවරයන් සෞඛ්‍යමය ව්‍යසනයක් උද්ගතකරනු ඇතැයි සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු ඇඟවූ හ.
දියුනු රටවල් තම පුරවැසියන්ගෙන් වැඩිමනත් ප්‍රමානයකට එන්නත ලබාදීම මගින්, “වෛරසය පැතිර යාමේ අන්තරාය විශාල ලෙස සීමා කර ඇතැ” යි රාජපක්ෂ පැවසී ය. ශ්‍රී ලංකාවට ඉක්මනින් ම එන්නත් මාත්‍රා මිලියන 19ක් ලැබෙන බවට පොරොන්දු වූ ඔහු, සැප්තැම්බරය වන විට වයස 30ට වැඩි පුද්ගලයන් මිලියන 13කට අධික සංඛ්‍යාවකට එන්නත ලබාදෙනු ඇති බවත්, “එය ඉතා සතුටුදායක තත්ත්වයක්” බවත්, ප්‍රකාශ කලේ ය.
යතාර්ථයේ දී, මැයි 1 හා ජුනි 30 අතර කොවිඩ්-19 ආසාදනයන් 2.5 ගුනයකින් ඉහල යමින් සමස්ත ආසාදන සංඛ්‍යාව 260,120 දක්වා ද, මරන සංඛ්‍යාව හතර ගුනයකින් ඉහල යමින් සමස්ත මරන සංඛ්‍යාව 3,120 දක්වා ද ඉහල නැග තිබෙන තතු තුල, ලංකාවේ තත්ත්වය විනාශකාරී වේ. සිකුරාදා පලවූ රොයිටර් වාර්තාවකට අනුව, රටෙහි ජනගහනයෙන් එන්නත ලබා දී ඇත්තේ ද සියයට 8.5කට පමනි.
දියුනු රටවල් තුල කොවිඩ්-19 පාලනය කර ඇතැයි ඔහු කරන අවධාරනයට විපරීත ව, ඉහල ආසාදන හැකියාවක් සහිත ඩෙල්ටා ප්‍රභේදය දැන් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, යුරෝපය හා ග්‍රහලෝකයේ අනෙකුත් ප්‍රදේශ පුරා වේගයෙන් පැතිරෙමින් පවතී.
ඔහුගේ දෙවන “ජයග්‍රහනය” ලැයිස්තුගත කල රාජපක්ෂ, තම ආන්ඩුව “ජාතික ආරක්ෂාව සතුටුදායක ලෙස තහවුරු කර ඇති” බවත්, 2019 ජනාධිපතිවරනයේ දී “මට ඡන්දය දුන් 69 ලක්ෂයකට අධික ජනතාවගේ ප්‍රධානතම ඉල්ලීම වූයේ” එය බවත්, ප්‍රකාශ කලේ ය.
මෙය තවත් බේගලයකි. රාජපක්ෂ මැතිවරනයෙන් ජයග්‍රහනය කලේ, ඔහු ශක්තිමත්, ප්‍රජාතන්ත්‍ර-විරෝධී ආන්ඩුවක් සඳහා පොරොන්දු වූ නිසා නො වේ. පෙර පැවති ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහි මහජන විරෝධය ගසා කෑමට ඔහු සමත් විය.
“ආගමික ස්ථාන” බලහත්කාරී ලෙස අල්ලා ගැනීමට හා “පුරා විද්‍යාත්මක වටිනාකමින් යුතු ස්ථාන ” විනාශ කිරීමට තුඩු දෙන අන්දමින්, දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊ) ත්‍රස්තවාදය යලි ඉස්මතු වීමට ඉඩ සලස්වා සිරිසේන-වික්‍රමසිංහ පාලනය රටෙහි මිලිටරිය හා ඔත්තු සේවා දුර්වල කර තිබුනු බව ඔහු තව දුරටත් කීවේ ය.
මෙම තත්ත්වය වෙනස් කල ආන්ඩුව, “සෑම ජාතිකයකුටම...සාමකාමී පරිසරයක්” නිර්මානය කල බව ඔහු කීවේ ය. කූරගල මුහුදු මහා විහාරය හා දීඝවාපිය වැනි සංස්කෘතික හා ආගමික උරුමයන් ආරක්ෂා කිරීම උදාහරන ලෙස ගෙන හැර දැක්වූ ඔහු, ඒවා “අන්තවාදීන්ගේ” තර්ජනයට ලක්ව තිබුනු බව අවධාරනය කලේ ය.
මෙම ප්‍රකාශ ද අමු කෙප්පයන් ය. තහවුරු නො කල චෝදනාවන්ට ප්‍රතිචාර දක්වමින්, දෙමල හා මුස්ලිම් බහුතරයක් ජීවත් වන නැගෙනහිර පලාතේ පුරා විද්‍යාත්මක අඩවි “ආරක්ෂා කිරීමේ” කාර්ය සාධක බලකායක් රාජපක්ෂ විසින් ස්ථාපනය කලේය. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුනරත්න, නායක භික්ෂූන් හා වර්ගවාදී සිංහල මහාචාර්යවරුන් විසින් ප්‍රධානත්වය දරන මෙම කාර්ය සාධක බලකාය, බෞද්ධ භික්ෂූන්ගේ ඉඩම් හිමිකම් ඉල්ලීම දිරිගැන්වීමට යොදා ගන්නා ලදී.
මුහුදු මහා විහාරයට අයත් භූමිය මුස්ලිම්වරුන් විසින් අල්ලාගෙන ඇතැයි පන්සලේ ප්‍රධාන භික්ෂුව ප්‍රකෝපකාරී ලෙස අවධාරනය කරන තතුතුල, පසුගිය වසරේ මැයි මාසයේ දී, මෙම කාර්ය සාධක බලකාය එම ස්ථානයට වහා මැදිහත්වූයේය. විහාර අඩවිය ආරක්ෂා කිරීමට යැයි කියමින් ආරක්ෂක ලේකම් ගුනරත්න එහි කුඩා නාවික කඳවුරක් පිහිටුවී ය.
1948 පටන්, ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු, කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීම පිනිස, වර්ගවාදී ආතතීන් අවුලුවා ඇත. බෙදුම්වාදී එල්ටීටීඊයේ පැන නැගීමටත්, 1983 ආරම්භ වී දශක තුනක් පමන පැවති යුද්ධයටත් මෙම පිලිවෙත් තුඩු දුනි.
වර්තමාන ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් ව සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ, 2009 මැයි මාසයේ දී ලේවැකි ගැටුම අවසන් වූයේ, එක්සත් ජාතීන් තක්සේරු කරන පරිදි අවම වසයෙන් දෙමල සිවිල් වැසියන් 40,000ක් මරා දමමිනි. යුද්ධයේ අවසානය මහජනයාට “සෞභාග්‍යය ගෙන එනු ඇතැ” යි අනුප්‍රාප්තික ආන්ඩු කල කියාපෑම් කුරිරු ප්‍රෝඩාවක් බවට පත් වී ඇත.
“අපේ ආන්ඩුවේ දුර්වලතාවන්ගෙන් එකක්” වන්නේ අපේ ජයග්‍රහන නිසි පරිදි සන්නිවේදනය නො කිරීම බවට රාජපක්ෂ කනිපින්දම් කීවේ ය. සමාජ මාධ්‍ය හරහා මහජනයාට අසන්නට ලැබෙන්නේ ගැටලු හා “ප්‍රශ්නකාරී සිද්ධි” පමනයි, “අද සත්‍යය යටපත් වී බොරුව ජයගනිමින් තිබෙනවා” යි ඔහු කීවේ ය.
වෘත්තීය සමිතිවල උදව් මත ආන්ඩුව එල්ල කරන ප්‍රහාරවලට ගැත්තර මාධ්‍යවලින් සහයෝගය ලැබෙද්දී, සිය කෝපය ප්‍රකාශ කිරීම, තොරතුරු බෙදාහදා ගැනීම හා සන්නිවේදනය පිනිස, කම්කරුවන්, තරුනයන් හා දුගීන් වඩ වඩා සමාජ මාධ්‍ය වෙත හැරී ඇත.
වැඩෙන විරුද්ධත්වය නිසා තැතිගෙන සිටින රාජපක්ෂ, “සයිබර් අවකාශය මුර කිරීමට” හා “වරෙන්තු රහිත ව ඕනෑ ම පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට” පොලිස් කන්ඩායමක් පිහිටුවමින්, සමාජ මාධ්‍ය මත ඔහුගේ ආන්ඩුවේ කඩා පැනීම වේගවත් කර තිබේ. සමාජ මාධ්‍ය තුල ආන්ඩුව “විවේචනය කරන” ඕනෑ ම අයෙකු වාරනයට ලක්කිරීම සඳහා වරායවලට හා විශ්ව විද්‍යාල තුල දැනටමත් රෙගුලාසි පනවා ඇත.
2013 දී රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙස මිලිටරි හමුවක දී මෙසේ කීවේ ය: “අරාබි වසන්තය වැනි සිද්ධීන් ලංකාව තුල සිදුවීමේ හැකියාව අවම වුවත්...(මෙය) අධීක්ෂනය කරනු ලැබිය යුතු තවත් තර්ජනයක්.” අට වසරක් ගත වී ඇති තැන, ලංකාව තුල ඒ හා සමාන සමාජ පිපිරීමක් සිදු වීමේ හැකියාව පාලක ප්‍රභූව ඉදිරියේ හොල්මන් කරන්නට පටන්ගෙන ඇත.
කලින් පැවති ආන්ඩුව ආර්ථිකය විනාශයට ඇද හෙලා තිබූ බව කියූ රාජපක්ෂ, ඉන් පසු, ඉහල නගින වාර්ෂික විදේශ නය ගෙවීමට, සංචාරක ආදායම් ඇදවැටීමට සහ අපනයන ඉපැයීම් හා විදෙස් ප්රේෂන හීන වීමට හේතු වී ඇති කොවිඩ්-19 වසංගතයේ බලපෑම ගැන සඳහන් කලේ ය.
එතෙකුදු වුවත්, තමන්ගේ ආන්ඩුව උපාධිධාරීන් 65,000කට රැකියා නිර්මානය කොට, රැකියා විරහිතයන්ට රැකියා 35,000ක් ලබා දී, සුභ සාධන පහසුකම් පවත්වාගෙන ගොස්, සෞඛ්‍යය හා අධ්‍යාපනය වර්ධනය කොට, රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුප් හා වැටුප් ගෙවා ඇතැයි රාජපක්ෂ කියා සිටියේ ය. ගොවීන්ට සහනාධාර ලබා දීම හා නිවාස ගැටලුව ජය ගැනීම සමගින්, දුගී බව තුරන් කෙරෙමින් තිබෙන බව ඔහු අවධාරනය කලේ ය.
යතාර්ථයේදී නම් සිදු වෙමින් පවතින්නේ, රාජපක්ෂ පාලනය තම අර්බුදයේ ආර්ථික බර මහජනයා පිට පැටවීමයි. අන්තරායදායක කොවිඩ්-19 කොන්දේසි යටතේ වැඩ කිරීමට කම්කරුවන්ට බල කරන අතර ම, දීමනා වැඩි කිරීමකින් තොරව දීර්ඝ වැඩ පැය ගනන් සමගින් වැටුප් හා රැකියා කප්පාදු ක්‍රියාත්මක කිරීම සඳහා, ආන්ඩුව සමාගම්වලට අවසර දී තිබේ.
2021 වසර සඳහා වන ආන්ඩුවේ අයවැයෙන්, සෞඛ්‍ය වියදම් රුපියල් බිලියන 28කින් කපා දැමූ අතර, වසංගතයට ප්‍රතිකාර කිරීම සඳහා එක් කලේ රුපියල් බිලියන 10ක් පමනි. වාර්ෂික අධ්‍යාපන වියදම රුපියල් බිලියන 40කින් කපා, එය රුපියල් බිලියන 126 තෙක් පහත දමන ලදී. නව උපාධිධාරී රැකියා වනාහි, ඉහල වැටුප් හා යහපත් තනතුරු සඳහා ඉල්ලීම්වලට තුඩුදුන් ලාභ ශ්‍රම රැකියාවන් ය. රැකියා විරහිතයන් 35,000ට ලබා දී ඇති රැකියාවල මාසික වැටුප රුපියල් 22,500ක් පමනි.
පසුගිය වසරේ, ලංකාවේ ජනගහනයෙන් සියයට 11.2ක්, දිනකට එක්සත් ජනපද ඩොලර් 3.2ට වඩා අඩු ආදායම් යටතේ ජීවත් වන තත්වයට වැටී ඇති බවත්, වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස 500,000ට අධික පිරිසක් මෙම පිරිසට එකතුවීමට නියමිත වූ බවත්, ලෝක බැංකුව වාර්තා කලේ ය.
විදේශ වියදම්වලින් ඩොලර් මිලියන 400ක් කපා දැමීම සඳහා, රාජපක්ෂ පොහොර ආනයනය කිරීම ද තහනම් කර ඇත. දුගී ගොවීන්ට දැඩි පහරක් වී ඇති මෙම තීරනය ට එරෙහිව දැවැන්ත මහජන විරෝධතා පැනනැගී ඇතත් එය වෙනස් නොකරන බව, ඔහු සිය කතාවේ දී අවධාරනය කලේ ය.
මීට විපරීත ව, මහ ව්‍යාපාරිකයට පලල් බදු සහන දෙන ආන්ඩුව ඔවුන්ට රුපියල් බිලියන 300ක නය ලබා දී ඇත්තේ, රටෙහි විශාලතම සමූහ ව්‍යාපාර නවය පසුගිය වසරේ දී රුපියල් බිලියන 80ක වාර්තාගත ලාභ කඳුගසා ගනිද්දී ය.
රාජපක්ෂ ආන්ඩුව මුහුන දෙන දේශපාලන අර්බුදයේ මූලික අංගයක් වන්නේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයෙන් හා එහි කලාපීය සහකරුවා වන ඉන්දීය ආන්ඩුවෙන් එල්ල වන පීඩනය යි. චීනයට එරෙහි ව යුද සූදානම් වීම් තර කරන වොෂින්ටනය හා නව දිල්ලිය, කොලඹ ආන්ඩුවේ ප්‍රධාන ආයෝජන හා නය මූලාශ්‍රයක් වන චීනය සමග සබඳතා බිඳ දමන්නැයි රාජපක්ෂ ආන්ඩුවට බල කරමින් සිටිති. එහෙත් ලංකාවේ ජනාධිපතිවරයා මෙම ප්‍රශ්න සම්බන්ධ ව වචනයක් වත් කීවේ නැත.
ඒ අතර ම, රාජපක්ෂ පාලනය කම්කරු පන්තියේ ඉහල නැගෙන ප්‍රතිරෝධතා රැල්ලකට මුහුන දෙයි. ජාත්‍යන්තර ව දිග හැරෙමින් තිබෙන කම්කරු අරගල මාලාවක කොටසක් ලෙස, පසුගිය මාස දෙක තුල සෞඛ්‍ය, වතු, අධ්‍යාපන, විදුලිබල, ජල සම්පාදන හා දුම්රිය කම්කරුවන් දහස් ගනනක් අරගලවලට පැමින ඇත.
“මම එදා මෙන් අදත් ඔබට නායකත්වය දෙන්නට සූදානම්,” යැයි රාජපක්ෂ සිය කතාව අවසානයේ දී ප්‍රකාශ කලේය--එය එල්ටීටීඊය ලේවැකි ලෙස පරාජය කිරීම පිලිබඳ නිශ්චිත සැඳහුමක් සහිතව, අනාගත සමාජ විරුද්ධත්වයන් මඩින බවට කල පැහැදිලි තර්ජනයකි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජුනි 25දා ජාතිය අමතා කල කතාව, සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මත එල්ල කෙරෙන ප්‍රහාර සහ කොවිඩ්-19 වසංගතය කෙරෙහි දක්වන නොතැකීම හේතුවෙන් කම්කරුවන් හා දුගීන් අතර ඉහල යන අතෘප්තියට මුහුනදෙන, ඔහුගේ ආන්ඩුවේ දේශපාලන අර්බුදය වසං කිරීමට දැරූ මංමුලා සහගත උත්සාහයක් විය.
මැයි 27 හා ජුනි 2දා, මිලියනයක් පමන වන රාජ්‍ය අංශ සේවකයන් මත අත්‍යවශ්‍ය මහජන සේවා පනත බලපැවැත්වෙන බව රාජපක්ෂ නිවේදනය කලේ ය. එමගින් සියලු වැඩ වර්ජන තහනම් කෙරෙන අතර, තහනම කඩකරන්නන් දැඩි සිර දඬුවම් හා දඩ වලට යටත් කෙරේ. සියලු විරුද්ධ පක්ෂ හා වෘත්තීය සමිති, මෙම මර්දනකාරී පන්ති-යුද පියවරයන්ට නිහඬ ව අනුමැතිය දී ඇත. ලොව පුරා පාලකයන් මෙන්ම රාජපක්ෂ ද මිලිටරිය මත පාදක වන හා ෆැසිස්ට්වාදී වර්ගවාදී බලවේග රැලි කර ගන්නා ආඥාදායක පාලනයක් සූදානම් කරමින් සිටියි.
පාලක පන්තියේ සෑම කන්ඩායමකට ම එරෙහි ව, වාර්ගික භේද කපාගෙන එකමුතු වෙමින් හා ගම්බද දුගීන් රැලි කර ගනිමින්, මෙම පියවරයන්ට එරෙහි ව කම්කරු පන්තිය සිය ප්‍රතිප්‍රහාරය සූදානම් කල යුතු ය. වැටුප්, රැකියා හා මූලික අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා, වෘත්තීය සමිතිවලින් බිඳී වෙන්වීම සහ සෑම වැඩපොලක ම ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අවශ්‍ය කෙරේ.
මෙම අරගලය, සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියා මාර්ගයක් මත පදනම් වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන සටන සමග ඒකාබද්ධ කල යුතු ය. සමාජවාදී සමානතා පක්ෂය ඉදිරිපත් කරන ක්‍රියා මාර්ගය මෙය යි.