ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) “ගුවන්තනාමෝ නාවික කඳවුරේ සංක්‍රමනිකයන් දහස් ගනනක් රැඳවීමට එක්සත් ජනපද ආන්ඩුව ගෙන ඇති තීරනය දැඩි ලෙස හෙලාදකින” බව සඳහන් කරන ප්‍රකාශයක් නිකුත් කර ඇත.
පෙබරවාරි 9දා කොලඹ කියුබානු තානාපති කාර්යාල වෙබ් අඩවිය තුල පල කර ඇති මෙම ප්‍රකාශය, පෙසප ෆේස්බුක් පිටුවේ හෝ වෙබ් අඩවියේ දැක ගන්නට නැත. එබැවින්, ගුවන්තනාමෝ දිවයින යලි කියුබාවට ලබා දෙන ලෙස කියුබානු ආන්ඩුව වොෂින්ටනයට පීඩනය යෙදීමේ කොටසක් ලෙස මෙම ප්‍රකාශය එම තානාපති කාර්යාලය විසින් ලබාගෙන ඇති බව පෙනී යයි.
පෙසප ප්‍රකාශය එහි දේශපාලනය ගැන වෙලුම් ගනනක ප්‍රකාශනයක් බඳුය.
2021 ජනවාරි 6දා, 2020 මැතිවරනයේ ප්‍රතිඵල පෙරලා දැමීමට අසාර්ථක ෆැසිස්ට් කුමන්ත්‍රනයකින් උත්සාහ කල ට්‍රම්ප්, 2024 නොවැම්බර් 5දා පැවති ජනාධිපතිවරනය ජයගෙන 2025 ජනවාරි 20දා දෙවන ධුර කාලය සඳහා නිලවශයෙන් පත්විය. සංක්‍රමනික කම්කරුවන් වනාහි ඇමරිකාව ආක්‍රමනය කර ඇති පාපතර පිටස්තරයින් ලෙස හංවඩු ගසමින්, තමන් බලයට පත්වූ විගස ඔවුන්ගේ රටවලට ම පිටමන්කරන බවට තර්ජනය කරමින්, මැතිවරනය සමයේ ට්‍රම්ප් පරභීතිකාවක් මුදා හැරියේ ය.
සංක්‍රමනිකයින් බලහත්කාරයෙන් පිටුවහල් කරමින්, ඔහු මෙම තර්ජන ක්‍රියාවට දැමීම අරඹා ඇත. සංක්‍රමනිකයින් මර්දනය කිරීම හා උපත් පුරවැසි අයිතිවාසිකම අවලංගු කිරීම පමනක් නො ව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වැනි තීරනාත්මක රාජ්‍ය ආයතන වසා දමමින් හා නීතිය තමන් ම බවට ප්‍රකාශ කරගෙන රාජ්‍ය සේවකයින් නෙරපා දමමින්, සාහසික ලෙස ඒක පාර්ශවික ව එක්සත් ජනපද ව්‍යවස්ථාව සහ ජාත්‍යන්තර නීතිය ට්‍රම්ප් විසින් උල්ලංඝනය කෙරෙමින් පවතී. ඔහු කටයුතු කරමින් සිටින්නේ ෆැසිස්ට් ආඥාදායකයෙකු ලෙස ය.
ජාත්‍යන්තර ව, කැනඩාව එක්සත් ජනපදයෙහි 51වැනි ප්‍රාන්තය ලෙස ඈඳා ගැනීමට හා ග්‍රීන්ලන්තය මිලට ගැනීම හෝ ඈඳා ගැනීමට අවශ්‍ය බව ප්‍රකාශ කර ඇති ට්‍රම්ප්, ගාසා ජනසංහාරය සඳහා ඊස්‍රායලයේ ෆැසිස්ට් අගමැති නෙතන්යාහුට තල්ලුව දෙමින් ද වෙලඳ යුද්ධය මුදා හරිමින් හා චීනය ඉලක්ක කරමින් ද කටයුතු කරමින් සිටියි. යුරෝපීය බලයන් සමග අන්තර්-අධිරාජ්‍යවාදී ප්‍රතිමල්ලවතා තීව්‍ර කරන මෙම ක්‍රියාවන්, විනාශකාරී තුන්වන ලෝක යුද්ධයක තර්ජනය අවුලුවයි.
පෙන්ටගනයට හා ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවට, ගුවන්තනාමෝ කඳවුරේ සංක්‍රමනික මෙහෙයුම් මධ්‍යස්ථානයෙහි රැඳවුම් පහසුකම් ප්‍රසාරනය කරන ලෙස තමන් උපදෙස් දී ඇතැයි ට්‍රම්ප් ජනවාරි 29දා හෙලිදරවු කලේ ය. “ගුවන්තනාමෝ කඳවුරේ පුද්ගලයින් 30,000කට ඉඩපහසුකම් සූදානම් කිරීම ආරම්භ කිරීමේ විධායක නියෝගයකට” අත්සන් තැබූ බවට ජනාධිපතිවරයා කීවේ ය. එක්සත් ජනපද ඉතිහාසයෙහි, “විශාලතම පිටුවහල් මෙහෙයුම” සිදු කිරීමට ඔහු උත්සාහ කරමින් සිටී.
එහෙත්, ගුවන්තනාමෝ කඳවුර ප්‍රසාරනය කිරීම නිවේදනය කරන තෙක්, ට්‍රම්ප් හා ඔහුගේ බිලියනපති සංගත ප්‍රභූන්ගේ මෙම ම්ලේච්ඡ පිලිවෙත් ගැන, ලංකාවේ මෙම ව්‍යාජ-වාම කන්ඩායම කට ඇරියේ නැත. ඔහු දැන් කරගෙන යන ප්‍රහාර හෙලාදකින එක් ලිපියක් වත් දකින්නට නැත.
මෙය අහම්බයක් නො වේ. එය මෙම පක්ෂයෙහි අධිරාජ්‍ය-ගැති ස්වභාවය, මෙම බලයන් සමග එකට ජීවත් වීමට ඇති සූදානම හා යහපත තකා ආයාචනා කිරීමට එයට පවතින පිලිකුල් සහගත කෑදරකම හෙලිදරවු කරයි.
“මානුෂීය ලෙස” ඉල්ලීම් තුනක් ඉටුකරදෙන ලෙස පෙසප ට්‍රම්ප්ට ආයාචනා කර ඇත: “ගුවන්තනාමෝ කඳවුරේ සංක්‍රමනිකයින් සිරගත කිරීමේ තීරනය ආපසු හරවා, ඒ වෙනුවට සියලු පුද්ගලයින්ගේ අභිමානයට හා අයිතිවාසිකම්වලට ගරු කරන මානුෂීය හා සාධාරන සංක්‍රමනික පිලිවෙත් ක්‍රියාත්මක කිරීම; ගුවන්තනාමෝ නාවික කඳවුර වහා ම ඉවත් කරගෙන, කියුබානු ජනතාවට අයිති එම භූමිය කියුබාවට ආපසු පැවරීම; සංක්‍රමනයට [මහජනයාට] බල කෙරන සූරාකෑමේ ආර්ථික හා විදෙස් පිලිවෙත් අවසන් කිරීම.”
ගුවන්තනාමෝ කඳවුරේ සංක්‍රමනිකයින් සිරගත කිරීම නවතා, ඔවුන්ගේ “අභිමානයට” හා “අයිතිවාසිකම්වලට” ගරු කරන සාධාරන හා “මානුෂීය” පිලිවෙත් අනුගමනය කරන ලෙස, මෙම කන්ඩායම ෆැසිස්ට් ජනාධිපති ඉදිරියේ අයාචනා කරති.
“සූරාකෑමේ ආර්ථික හා විදෙස් පිලිවෙත් අවසන් කරන” ලෙස ද මෙම වාචාලයෝ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයෙන් ඉල්ලති. එක්සත් ජනපදය සුරාකෑමේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවත්, “සංක්‍රමනිකයන් වනාහි, එම රටවල ආර්ථික අස්ථාවරත්වය, දේශපාලනික කැලඹීම හා සමාජ විනාශය නිර්මානය කරමින් එක්සත් ජනපදය ගෙනයන විනාශකාරී ආර්ථික හා සමාජීය මැදිහත්වීම්වල ගොදුරු බවට පත්වූවන්” බවත්, පෙසප කියා සිටී.
පෙසප ප්‍රධාන ලේකම් කුමාර් ගුනරත්නම් මෙම කන්නලව්ව සීල්තැබූ කවරයක බහා ට්‍රම්ප්-මස්ක් කොම්පැනියට යැව්වේ නම් මැනවි. ඔවුන්ගේ ආයාචනය වනාහි, අධිරාජ්‍යවාදීන් මෙන් හැසිරෙන්නේ නැති ව, එහි සූරාකෑමේ පිලිවෙත් මටසිලුටුකර ජනතාවාදී පාලකයන් ලෙස ක්‍රියා කරන ලෙසට ලෝක ධනවාදයේ මධ්‍යස්ථානය වන එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටීමකි!
ව්‍යාජ-වාම පක්ෂය එක්සත් ජනපදයට මෙසේ උපදෙස් දෙයි: “එක්සත් ජනපද ආන්ඩුවට සංක්‍රමනිකයින් භාර ගැනීම අවශ්‍ය නැති නම්, ඔවුන්ගේ උපන් රටවල් සූරාකෑම හා අස්ථාවර කිරීම අඛන්ඩ ව ගෙන යාම ද නො කල යුතු ය.” කෙතරම් ශ්‍රේෂ්ඨ නෛතික තර්කයක් ද! අධිරාජ්‍යවාදීන්ට කෙතරම් උතුම් උපදේශයක් ද!
මෙයින් දේශනා කෙරෙන්නේ, එක්සත් ජනපදයේ කොල්ලකාරී ධනවාදය විසින් ආධිපත්‍යය දරන ලෝක ධනවාදය සමග සාමකාමී සහජීවනය යි.
අධිරාජ්‍යවාදයේ මෙවන් ක්ෂමාලාපකයින් පිලිබඳ ව ලෙනින් කුමක් කිව හැකි ව තිබුනි ද?
“අධිරා ජ්‍යවාදය පිලිබඳ විවේචනයෙහි මූලික ප්‍රශ්න වන්නේ, අධිරාජ්‍යවාදයේ පදනම ප්‍රතිසංස්කරනය කල හැකි ද, එය විසින් ජනනය කෙරෙන ප්‍රතිඝතිකතා තවත් තීව්‍ර කිරීම හා ගැඹුරු කිරීම කරා ඉදිරියට යන්නේ ද, නැතහොත්, ආපස්සට මෙම ප්‍රතිඝතිකතා ශමනය කිරීමට යන්නේ ද යන ඒවා යි. අධිරාජ්‍යවාදයෙහි සුවිශේෂී දේශපාලන ලක්ෂන සෑමතැනක ම ප්‍රතිගාමීත්වය සහ මූල්‍ය කතිපයාධිකාරයේ පීඩනය හා නිදහස් තරඟය ඉවත් කිරීම හේතුවෙන් ඉහල දමන ජාතික පීඩනය වන නිසා, සියලු ම අධිරාජ්‍යවාදී රටවල් තුල ම පාහේ විසිවන ශතවර්ෂය ආරම්භයේ දී අධිරාජ්‍යවාදයට සුලු-ධනේශ්වර-ප්‍රජාතන්ත්‍රවාදී විරුද්ධත්වයක් පැන නැගුනි.” (ලෙනින්, අධිරාජ්‍යවාදය: ධනපති ක්‍රමයේ ඉහල ම අවදිය, අධිරාජ්‍යවාදය ගැන විවේචනය, නවවන පරිච්ඡේදය, 145 පිටුව)
ඇත්තෙන්ම, විසිඑක්වන ශතවර්ෂයේ මුල් කාලය තුල ද “අධිරාජ්‍යවාදයට එරෙහි සුලු-ධනේශ්වර-ප්‍රජාතන්ත්‍රවාදී විරුද්ධත්වයක්” ජීවත් වෙයි. පෙසප එවන් එක් ප්‍රවනතාවකි.
මේ වර්ගයේ සුලු-ධනේශ්වර කන්ඩායම්වලට සංක්‍රමනිකයන් පිලිබඳව සමාජවාදීන්ගේ මූලධර්මය අදාල නැත: මහජනතාවට ඔවුන්ගේ මනාපය පරිදි මේ ග්‍රහ ලෝකයේ ඕනෑ ම තැනක ජීවත් වීමේ අයිතිය ඇත; ට්‍රොට්ස්කි පැවසුවා සේ, ධනපති පාලක පන්තීන් ජාතික රාජ්‍ය පද්ධතිය, ජාතික දේශසීමා තුල “අසික්කිත බන්ධනාගාර” ලෙස පවත්වාගෙන යමින් මෙම අයිතිය සිමාකොට තහනම් කර ඇත.
ගතවූ කාලය තුල, ට්‍රම්ප් සහ සමාගම ෆැසිස්ට් ආඥාදායකත්වය ශක්තිමත් කිරීමේ ම්ලේච්ඡ පියවරයන් වඩ වඩා ක්‍රියාවට දමා තිබේ.
මාර්තු 17දා, පෙසප නායකත්ව ත්‍රිත්වය වන කුමාර් ගුනරත්නම්, පුබුදු ජයගොඩ හා දුමින්ද නාගමුව එහි ෆේස්බුක් පිටුවේ පැයකට වඩා ඇදී ගිය “Let'z Chat” [අපි දොඩවමු} වැඩසටහනේ පෙනී සිටියේ, බටලන්ද වධ කඳවුර ගැන ඔවුන්ගේ කුහක ආස්ථානය හා ආන්ඩුවේ අයවැය ගැන කතා කිරීමට ය.
ට්‍රම්ප්ගේ තීරු බදු ඉහල දැමීම් හා අනෙකුත් රටවල ප්‍රතික්‍රියාවන් ලංකාවට බලපාන්නේ කෙසේ ද යන්න සාමාන්‍ය කරුනක් ලෙස මෙම තුන් කට්ටුව විසින් සාකච්ඡාවට ගැනෙමින් තිබුනේ, එම තීරු බදු වැඩි කිරීම්, ඉස්මතු වන වෙලඳ යුද්ධයක් හා අන්තර්-අධිරාජ්‍යවාදී ප්‍රතිමල්ලවතා තීව්‍ර කරමින් තුන්වන ලෝක යුද්ධයක තර්ජනය මතුකෙරෙමින් පවතින තත්වයකය. ඒ ගැන මේ කතිකාවේ වචනයක් වත් නැත. ජාතිකවාදීන්ගේ සැලකිල්ලට යොමුවී තිබුනේ තීරුබදු ප්‍රශ්නය ලංකාවට බලපාන බව කීමටය.
“සංක්‍රමනිකයින් සමග සහෝදරත්වය” හා “එක්සත් ජනපද අධිරාජ්‍යවාදය පරාජය කිරීම” සඳහා පෙසප “ජාත්‍යන්තර ප්‍රජාවෙන් හා සියලු ප්‍රගතිශීලී බලවේගවලින්” ඉල්ලා සිටියේය.
පෙසප මේ “ප්‍රගතිශීලී” මිතුරන් කවුද: පෙසපයේ ඊනියා ජාත්‍යන්තර ප්‍රජාවේ එක් කොටසක් වන්නේ, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රන්සය වැනි අධිරාජ්‍යවාදී බලයන් ය. එහෙත් මේ 'ජාත්‍යන්තර ප්‍රජාව' යලි සන්නද්ධ වීමට ලහිලහියේ කටයුතු කරමින් තම අධිරාජ්‍යවාදී අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම කරා වේගයෙන් දුවති. අනෙකුත් බොහෝ ධනේශ්වර පාලන තන්ත්‍ර දැනටමත් ට්‍රම්ප් සමග පෙලගැසී ඇත. පෙසප මෙන් බොහෝ මානව හිමිකම් කන්ඩායම් “මානුෂීය” ප්‍රවිශ්ටයක් ගන්නා ලෙස ට්‍රම්ප්ට ආයාචනා කරමින් සිටිති.
ඇත්තෙන්ම, පෙසප නායකයින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ නාමයෙන් හෝ “ප්‍රජාතන්ත්‍රවාදී අක්ෂයක්” යැයි කියමින්, මෙම බලයන් පිටුපස පෙලගැසිය හැක.
ගුවන්තනාමෝ කඳවුර බලහත්කාරයෙන් වාඩිලාගෙන සිටීමත්, “මෙම නීති-විරෝධී ප්‍රදේශය වඩවඩාත් මානව හිමිකම් උල්ලංඝනය කරනු වස් උපයෝගී කර ගැනීම, සාමයට හා ස්ථාවරත්වයට තර්ජනය කල හැකි විපාක ගෙන දෙමින් කලාපය තුල අනාරක්ෂිත භාවය හා අනතුරුදායකතත්වය උත්සන්න කරනු ඇත” යි පෙසප ට්‍රම්ප් පරිපාලනයට පෙන්වා දෙයි.
කියුබාවේ නැගෙනහිර වෙරලෙහි පිහිටි ගුවන්තනාමෝ බොක්ක, එරට ට 1903 දී, අවසන් දිනයක් රහිත ව බද්දට දීමට බලකෙරුනි. එය ශත වර්ෂයකටත් වැඩි කාලයක් තිස්සේ බලහත්කාරයෙන් තබාගෙන සිටින වොෂින්ටනය, විශාල නාවික කඳවුරක් ලෙස වර්ධනය කලේ ය. නිව් යෝක් නගරයට 2001 සැප්තැම්බරයේ එල්ල කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාරයේ පටන්, එක්සත් ජනපද “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” සමයේ, පෙන්ටගනය එය කුප්‍රකට වධක කඳවුරක් බවට පරිවර්තනය කලේ ය.
එක්සත් ජනපදය හා සීඅයිඒ විසින් මුලුමනින් නඩත්තු කෙරුනු කියුබාවේ ආඥාදායක බැටිස්ටාගේ පාලනය, 1959 දී ෆිදෙල් කස්ත්‍රෝ නායකත්වය දෙන ලද විප්ලවයෙන් පෙරලා දැමුනු තැන් පටන්, තන්ත්‍ර-මාරු මෙහෙයුම් හරහා කස්ත්‍රෝ පාලනය පෙරලා දැමීමට වොෂින්ටනය උත්සාහ දරමින් සිටියේ ය.
2008 දී නිල වසයෙන් ජනාධිපති ලෙස තෝරාගත් රාවුල් කස්ත්‍රෝ යටතේ රටෙහි පාලන තන්ත්‍රය, වොෂින්ටනය සමග සබඳතා පුනස්ථාපනය කර ගැනීමට උත්සාහ දැරුවේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස, කියුබාව මත සම්බාධක ලිහිල් කල එක්සත් ජනපදය, 2015 දී එරට ත්‍රස්තවාදීන්ට සහයෝගය දෙන රටවල් ලැයිස්තුවෙන් ඉවත් කලේ ය. එහෙත්, යලිත් 2020 දී, එක්සත් ජනපදයේ ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය සමග “මුලුමනින් සහයෝගී නො වන” රටක් ලෙස එය නම් කරනු ලැබී ය. වර්තමානයේ දී, එය එක්සත් ජනපද සම්බාධකවලට හා ගැඹුරු ආර්ථික අර්බුදයකට මුහුන දෙමින් සිටී.
තම අවශ්‍යතා කරා ලඟා වීමට වොෂින්ටනය රුදුරු අධිරාජ්‍යවාදී පිලිවෙත් අනුගමනය කරන්නේ එලෙසිනි.
සමාජවාදී රටක් නො වන කියුබාව ධනේශ්වර ජාතිකවාදී පාලන තන්ත්‍රයකි. 1959 විප්ලවය එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට පහරක් වුව ද නව ධනපති රාජ්‍යය සෝවියට් සංගමය මත රැඳෙමින් පවත්වාගෙන ගියේ ය.
ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායය අත්හැර දමමින් 1953 දී හතරවන ජාත්‍යන්තරයෙන් පලා ගිය සංශෝධනවාදී පැබ්ලෝවාදී කන්ඩායම, කියුබාව සමාජවාදී රාජ්‍යයක් ලෙස නම් කලේ ය. සමාජවාදය පිලිබඳ විද්‍යාත්මක දැක්ම මඩකිරීම සඳහා බොහෝ රැඩිකල් කන්ඩායම් ද කියුබාව සමාජවාදී යයි නම් කලහ.
මෙම ධනපති රට සමාජවාදී රටක් ලෙස නම් කරන පෙසප, කොලඹ එහි තානාපති කාර්යාලය සමග ද හවානා කව සමග ද සමීප සබඳතා පවත්වාගෙන යයි. පෙසප නායකයින් කස්ත්‍රෝ හා චේ ගෙවාරා උත්කර්ෂයට නංවන්නේ, එහි මව් සංවිධානය වන ජවිපෙහි දෘෂ්ටිවාදයන් අනුගමනය කරමිනි. මාඕවාදය හා සිංහල දේශප්‍රේමය සමග කලවම් කරමින්, ජවිපෙ එහි ආරම්භයේ පටන් ම එම සුලු-ධනේශ්වර න්‍යායයන් මත පදනම් විය.
1994 සිට, ගරිල්ලා ඇඳුම් සුවපහසු පාර්ලිමේන්තු ආසන වෙනුවෙන් මාරු කරගත් ජවිපෙ, කොලඹ දේශපාලන සංස්ථාපිතයට ඒකාග්‍ර වීම ආරම්භ කලේ ය. වසර ගනනක් තිස්සේ මෙම පක්ෂයෙහි ස්වෝත්තමවාදී හා ධනපති-ගැති පිලිවෙත් දේශනා කරමින් එය තුල සිටි පෙසප නායකයින්, 2011 දී නව පක්ෂයක් තැනීමට බිඳී වෙන් වුනේ, කම්කරුවන් හා තරුනයන් අතර ජවිපෙ අපකීර්තියට පත්වන තත්වයක, ඔවුන්ට නව උගුලක් මැනීම සඳහාය. එහෙත් එය, ජවිපෙහි වර්ගවාදී හා ධනපති-ගැති පිලිවෙත්වලින් මූලිකව වෙන් වී නැත.
කම්කරුවන් හා තරුන ජනයා පෙසපහි අධිරාජ්‍ය-ගැති පිලිවෙත් ප්‍රතික්ෂේප කල යුතු ය. එම පිලිවෙත් වනාහි, ලංකාව තුල දක්ෂිනාංශික ජවිපෙ/ජාජබ ආන්ඩුවට පිටුබලය දෙන එහි පිලිවෙත්වල දිගුවකි.
ගුවන්තනාමෝ කඳවුර, පිටුවහල් කරන සංක්‍රමනිකයින්ගේ වධ කඳවුරක් ලෙස යොදාගැනීමේ ට්‍රම්ප්ගේ මුර්ග වැඩපිලිවෙලට එරෙහිව ට්‍රොට්ස්කිවාදී-මාක්ස්වාදීන්ගේ ප්‍රතිචාරය කවරක් ද?
එක්සත් ජනපදයේ, සමාජවාදී සමානතා පක්ෂය (සසප), ලෝක සමාජවාදී වෙබ් අඩවියේ මෙසේ සඳහන් කලේය: “නෛතික සීමාවන් බල නො පාන වෙරලබඩ වධක මධ්‍යස්ථානයකට සමාන වන තැනක් තුල එයට [ට්‍රම්ප් පාලනයට] අවශ්‍ය ඕනෑ ම පුද්ගලයෙක් සිරගත කිරීමේ බලය තමන්ට ම පවරා ගනිමින් සිටී.” හුදෙකලා පියවරයක් නො වන මෙය, එක්සත් ජනපදය තුල ෆැසිස්ට් ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමේ ව්‍යාපාරයක කොටසකි.
කම්කරුවන් මර්දනය කිරීමේ කොටසක් ලෙස, හිට්ලර් වධක කඳවුරු ගොඩනැගුවේ කෙසේදැයි ලෝසවෙඅ විස්තර කලේ ය. දකුනු ඇමරිකානු රටවල් තුල සීඅයිඒ-පිටුබලය ලබන ෆැසිස්ට් ආඥාදායකත්වයන් ස්ථාපිත කිරීමේත්, වධ කඳවුරක් ලෙස ගුවන්තනාමෝ යොදා ගැනීමේත් ඉතිහාසයක් වොෂින්ටනයට ඇත.
අපගේ සහෝදර එක්සත් ජනපදයේ සසප මෙය තවදුරටත් පැහැදිලි කලේය.“ඇමරිකානු හා ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල දැනට මත් ඉස්මතු වෙමින් පවතින මහජන විරුද්ධත්වය පූර්වභංග කොට මර්දනය කරනු වස්... 'මෙම දැනුම' එක්සත් ජනපද කතිපයාධිකාරය විසින් ප්‍රයෝජනයට ගැනෙමින් තිබේ.”
ආඥාදායකත්වයටත්, එය උත්පාදනය කරන ධනවාදයටත් එරෙහි ව සටන් වැදීමට කම්කරු පන්තිය සමාජවාදී ව්‍යාපාරයක් හා එයට නායකත්වය දීමට අවශ්‍ය විප්ලවවාදී පක්ෂය ගොඩනැගීම ප්‍රධාන කර්තව්‍යය යි.