[මෙය Trump’s first 7 days: The framework for presidential dictatorship යන මැයෙන් 2025 ජනවාරි 27 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]
තමන් බලයට පත්වීමෙන් පසු ගෙවී ගිය සතිය තුල, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයේ බලය භාවිතා කර ඇත්තේ, ඔහුට පෙර කිසිදු ජනාධිපතිවරයෙකු කිසිදාක උත්සාහ නොකල දෙයක් කිරීමට ය: එනම්, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙරලා දමා ඒකාධිපතිත්වයක් ස්ථාපිත කිරීමට යි. සංක්‍රමනිකයින්ගේ අභූත “ආක්‍රමනයක” කඩතුරාව යටතේ, ට්‍රම්ප් යුද-කාලීන බලතල උපයෝගී කර ගෙන, කොංග්‍රස් පනත් අභිබවා යාමට බලය ඉල්ලා සිටිමින්, රටේ සංක්‍රමනික ජනගහනය භීතියට පත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කර ඇත.
යන්තම් දින හතක් ඇතුලත, ට්‍රම්ප්, ස්ටීවන් මිලර් සහ ටොම් හෝමන් වැනි ෆැසිස්ට් සහායකයින් සමග වසර ගනනාවක් තිස්සේ සූදානම් කරමින් සිටි උපාය මාර්ගයක ආරම්භක අදියරට මුල පුරා තිබේ. මෙයට ඇතුලත් වන්නේ:
- දහහතරවන සංශෝධනයට සහ එහි ජන්ම අයිතියට අනුව පුරවැසිභාවය සහතික කිරීමට සෘජුවම පටහැනිවත්, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බලතල බෙදී යාම උල්ලංඝනය කරමිනුත්, එක්සත් ජනපදයේ උපන් පුද්ගලයින්ගෙන් පුරවැසිභාවය ඉවත් කිරීමට ජනාධිපති අධිකාරිත්වයකට හිමිකම් පෑම.
- එක්සත් ජනපදයේ පුරවැසියන් නොවන සියලුම දෙනාට—එනම්, ආසන්න වශයෙන් මිලියන 30 ක ජනතාවකට—පලමු සංශෝධන අයිතිවාසිකම් නොමැති බව ප්‍රකාශ කරමින්, ආන්ඩුව සහ එහි ආයතන විවේචනය කිරීම පිටුවහල් කිරීමට හේතු වේ.
- මිලිටරියට එක්සත් ජනපද දේශසීමා තුල භූගෝලීය සීමාවන් නොමැති අධිකාරිත්වයක් ලබා දෙමින්, ඔහු 'ආක්‍රමනයක්' ලෙස හඳුන්වන දෙය මැඩපැවැත්වීම සඳහා මෙහෙයුම් සටන් සැලසුම් සකස් කරන ලෙස උතුරු එක්සත් ජනපද අනදෙන නිලධාරියාට (නෝර්ත්කොම්) නියෝග කිරීම.
- විධිමත් යුද නීතිය සඳහා වේදිකාව සකසමින්, කැරලි ගැසීම් සම්බන්ධ පනත සහ විදේශීය සතුරන් සම්බන්ධ පනත ක්‍රියාත්මක කිරීමට සූදානම් වන ලෙස හමුදා-බුද්ධි අංශ මෙහෙයවීම.
- ආගමන නීති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාදේශීය පොලිසියේ සහ එෆ්බීඅයි නියෝජිතයින් පත් කිරීම සහ ඔවුන් නෙවාක්, චිකාගෝ සහ වෙනත් තැන්වල ඇමරිකානු නගරවලට යෙදවීම.
- ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ යුද්ධවලදී “සතුරු සටන්කරුවන්ට” කල ම්ලේච්ඡ සැලකීම් සිහිගන්වමින්, කොලොම්බියාව සහ බ්‍රසීලය වැනි රටවලට ආපසු යැවීමේ ගුවන් ගමන් වලදී පිටුවහල් කරන්නන් ඔවුන්ගේ ආසන වලට දම්වැල්වලින් බැඳ තැබීම.
- ඔහුගේ නියෝග මගින් ඉලක්ක කරගත් අයව ආරක්ෂා කිරීමට හෝ උපදෙස් දීමට නීත්‍යානුකූල පියවර ගන්නා රාජ්‍ය නිලධාරීන්ට සහ පෞද්ගලික පුරවැසියන්ට එරෙහිව අපරාධ නඩු පවරන බවට තර්ජනය කිරීම.
- ප්‍රමානවත් තරම් පක්ෂපාතී නොවන බවට සිතිය හැකි හෝ මෙම ඒකාධිපති පියවරයන්ට බාධා කිරීමට ඉඩ ඇති ඕනෑම පුද්ගලයෙකු ඉවත් කිරීම සඳහා ෆෙඩරල් ආයතනවල පුලුල් විරේකනයක් ආරම්භ කිරීම.
- පිටුවහල් කිරීමේ ගුවන් ගමන් භාර ගැනීමට කොලොම්බියාව බිය ගැන්වීමේ උත්සාහයක් ලෙස, යුදමය පියවරයන් හා සමාන පියවර ගන්නා බවට තර්ජනය කරමින් එරට සමඟ ප්‍රධාන ජාත්‍යන්තර ගැටුමක් ඇවිලවීම.
මහා බොරුව: සංක්‍රමනික 'ආක්‍රමනයක්'
මෙම පුලුල් හා ඒකාධිපති පියවරයන් සඳහා ව්‍යාජ නීතිමය කඩතුරාව වන්නේ, සමූහ සංක්‍රමනය “ආක්‍රමනයක්” බවට ට්‍රම්ප් කරන ප්‍රකාශයයි; එහිදී ඔහු, සංක්‍රමනිකයින්ගේ ආගමනය විදේශීය හමුදාවක් විසින් ඇමරිකානු භූමියට එල්ල කරන මිලිටරි ප්‍රහාරයකට සමාන කරයි. මෙම ගොතන ලද හදිසි අවස්ථාව භාවිතා කරමින් සංක්‍රමන නියාමනය කරන කොංග්‍රස් නීති බැඳීමක් නොවන අතර හුදෙක් උපදේශාත්මක බවත්, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිබවා යාමට සහ නියෝගයෙන් පාලනය කිරීමට, පාලනය නොකල විධායක අධිකාරියක් ඉල්ලා සිටීමට තමන්ට ඉඩ සලසන බවත් ට්‍රම්ප් අවධාරනය කරයි.
“ආක්‍රමනයට එරෙහිව ඇමරිකානු ජනතාව ආරක්ෂා කිරීම” යන මාතෘකාවෙන් යුත් විධායක නියෝගය, සංක්‍රමනය ජාතික ආරක්ෂාවට සහ මහජන ආරක්ෂාවට දරුනු තර්ජනයක් ලෙස නිරූපනය කරයි. පූර්ව පරිපාලනය, “දිගුකාලීන ෆෙඩරල් නීති උල්ලංඝනය කිරීමක්” ලෙස සැලකෙන, මිලියන සංඛ්‍යාත ලේඛනගත නොකල සංක්‍රමනිකයින්ට දේශ සීමාව තරනය කිරීමට හෝ වානිජ ගුවන් ගමන් මගින් පැමිනීමට ඉඩ සලසමින්, “පෙර නොවූ විරූ නීතිවිරෝධී සංක්‍රමනික ප්‍රවාහයකට ආරාධනා කර, පරිපාලනය කර සහ අධීක්ෂනය කල” බව එය සාක්ෂි නොමැති ව ප්‍රකාශ කරයි. සංක්‍රමනිකයින්, “ජාතික ආරක්ෂාවට සහ මහජන ආරක්ෂාවට සැලකිය යුතු තර්ජන ඉදිරිපත් කරන” බව නියෝගය ප්‍රකාශ කරයි; ඔවුන් “අහිංසක ඇමරිකානුවන්ට එරෙහිව නීච හා දරුනු ක්‍රියා” සිදු කරන බවට සහ “ඔත්තු බැලීම, ආර්ථික චරපුරුෂ සේවය සහ ත්‍රස්තවාදයට සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා සූදානම් කිරීම් ඇතුලු සතුරු ක්‍රියාකාරකම්වල” නිරත වන බවට චෝදනා කරයි.
සමූහ සංක්‍රමන සංසිද්ධිය “ආක්‍රමනයක්” ලෙස ලේබල් කිරීම අමූලික බොරුවක් වන අතර සමස්ත ජනගහනයට ම එරෙහි යුද්ධ ප්‍රකාශ කිරීමකි. එක්සත් ජනපදයේ ජීවත් වන පුද්ගලයින් හය දෙනෙකුගෙන් එක් අයෙක් විදේශයන්හි උපත ලැබූ අය වේ; ඇමරිකානුවන්ගෙන් අතිමහත් බහුතරයක් සංක්‍රමනිකයන් සමඟ ජීවත් වෙති; වැඩ කරති; පාසල් යති. ට්‍රම්ප්ගේ නියෝගයේ පාඨයට අනුව, මිලියන සංඛ්‍යාත සංක්‍රමනික පාසල් දරුවන්, කම්කරුවන්, දෙමාපියන් සහ මුතුන්මිත්තන් “ඇමරිකානු ප්‍රජාවන් තුල පදිංචි වී” ඔවුන්ගේ එදිනෙදා ජීවිතය ගත කිරීමෙන් යුද ක්‍රියාවක නියැලී සිටින බව සැලකේ.
සංක්‍රමනය යනු “ආක්‍රමනයක්” බවට කරන ප්‍රකාශය, සංක්‍රමනිකයන් විසින් ආරම්භ කරන ලද රටේ සමස්ත ඉතිහාසය සමඟ ගැටෙයි. වර්තමාන සමූහ සංක්‍රමනයේ ස්වරූපය “ආක්‍රමනයක්” ලෙස සලකන්නේ නම්, 17-18 සියවස්වල බ්‍රිතාන්‍ය සහ ලන්දේසින්, 19 වන සියවසේ මැද භාගයේ ජර්මානුවන් සහ අයර්ලන්ත ජාතිකයන් සහ 19 වන සියවසේ අගභාගයේ සහ 20 වන සියවසේ මුල් භාගයේ ඉතාලියානුවන් සහ නැගෙනහිර යුරෝපීයයන් සංක්‍රමනය කිරීම ද එසේම විය යුතු ය. සංක්‍රමනික “ආක්‍රමනයක්” යන ප්‍රකාශය මත ඕනෑ ම රටක හදිසි නීතිය පදනම් කිරීම අන්තයට ම ප්‍රතිගාමී වනු ඇත; ඇමරිකාවේ දී එය “සංක්‍රමනිකයන්ගේ ජාතියක්” ලෙස තම ඓතිහාසික අනන්‍යතාවය ප්‍රතික්ෂේප කිරීමකි.
තවත් විධායක නියෝගයකින් තහවුරු කර ඇති පරිදි, මෙම “ආක්‍රමනයේ” පරිමානය, කොංග්‍රසය විසින් සම්මත කරන ලද නීති අත්හිටුවීමේ අවශ්‍යතාවය මතු කරයි: “කෙසේ වෙතත්, ආගමන සහ ජාතිකත්ව පනත [අයිඑන්ඒ] එක්සත් ජනපදයේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා, විශේෂයෙන් හදිසි කාලවල දී, අයිඑන්ඒ හි සම්පූර්න විධිවිධාන මෙහෙයුම් සීමාවන් මගින් අකාර්යක්ෂම වන විට, උදාහරනයක් ලෙස ප්‍රාන්තවලට අඛන්ඩ ව ආක්‍රමනයක් සිදුවන විට” ෆෙඩරල් ආන්ඩුවේ බල ක්ෂේත්‍රය අත්පත් කර නොගනී. මෙම පුලුල් ප්‍රකාශය, ජනාධිපතිවරයාගේ “නිසග බලතල” කොංග්‍රසයේ ව්‍යවස්ථාදායක අධිකාරිය අභිබවා යන බවත්, ව්‍යවස්ථානුකූල බලතල වෙන් කිරීම ප්‍රායෝගික ව නිෂ්ප්‍රභ කරන බවත් ප්‍රකාශ කරයි.
පරිපාලනයට එරෙහි වීම සාපරාධීකරනය
“විදේශීය ත්‍රස්තවාදීන්ගෙන් එක්සත් ජනපදය ආරක්ෂා කිරීම” යන මාතෘකාවෙන් යුත් වෙනම විධායක නියෝගයක් මගින්, පුරවැසියන් නොවන සියලුම දෙනාට ආන්ඩුව හෝ ජනාධිපති ධුරය විවේචනය කිරීමේ අයිතිය මුලුමනින් පාහේ අත්හිටුවා ඇත. නියෝගයේ මෙසේ සඳහන් වේ:
එක්සත් ජනපදයේ පිලිගත් විදේශිකයින් සහ වෙනත් ආකාරවලින් දැනටමත් සිටින විදේශිකයින්, එහි පුරවැසියන්, සංස්කෘතිය, ආන්ඩුව, ආයතන හෝ ආරම්භක මූලධර්ම කෙරෙහි සතුරු ආකල්ප නොපෙන්වන බවටත්, නම් කරන ලද විදේශීය ත්‍රස්තවාදීන් සහ අපගේ ජාතික ආරක්ෂාවට ඇති වෙනත් තර්ජන වෙනුවෙන් පෙනී සිටීම, ආධාර කිරීම හෝ සහාය දීම නොකරන බවටත් සහතික විය යුතුය.
මෙම නියෝගයට දින 30 ක් ඇතුලත හමුදා-බුද්ධි අංශ විසින් කල යුතු කාර්යයක් පිලිබඳව කෙරෙන ඉල්ලීමක් ද ඇතුලත් වේ:
ඇමරිකානු ජනතාවගේ මූලික ව්‍යවස්ථාමය අයිතිවාසිකම්වලට හානි කල හෝ ඒවාට හානි කිරීමට උත්සාහ කරන විදේශීය ජාතිකයින්ගේ ක්‍රියාවන්ගෙන් ඇමරිකානු ජනතාව ආරක්ෂා කිරීමට අවශ්‍ය ඕනෑම ක්‍රියාමාර්ගයක් නිර්දේශ කල යුතු ය. ඒවා නම්, පලමු සංශෝධනය මගින් ආරක්ෂා කර ඇති අපගේ පුරවැසියන්ගේ භාෂනයේ නිදහස සහ නිදහස් ආගමික ක්‍රියාකාරකම් සඳහා වන අයිතිවාසිකම් ඇතුලුව, නමුත් ඒවාට පමනක් සීමා නොවී, නිකායික ප්‍රචන්ඩත්වය, අපගේ ව්‍යවස්ථාමය ජනරජය පිහිටා ඇති සංස්කෘතිය පෙරලා දැමීම හෝ ප්‍රතිස්ථාපනය දේශනා කරන හෝ ඉල්ලා සිටින හෝ විදේශීය ත්‍රස්තවාදීන්ට ආධාර දෙන, ඔවුන් වෙනුවෙන් පෙනී සිටින හෝ සහාය ලබා දෙන විදේශීය ජාතිකයින්ගේ ක්‍රියාවන් ය. (අවධාරනය ඈඳිනි)
මෙම නියෝගය, සංක්‍රමනිකයින්ගේ පමනක් නොව—එක්සත් ජනපදයේ නීත්‍යානුකූල ව සිටින අයගේ අයිතිවාසිකම් පවා අහිමි කිරීම අරමුනු කරගත් එකකි. “ආන්ඩුව පෙරලා දැමීමට” පක්ෂ ව සිටින ඇමරිකානුවන්ගේ පුරවැසිභාවය අහිමි කිරීම සඳහා “හඳුනාගෙන සුදුසු පියවර ගන්නා ලෙස” ද බුද්ධි අංශවලට එය උපදෙස් දෙයි. මෙම පුලුල් නියෝගය, දේශපාලන විරුද්ධත්වය රාජද්‍රෝහීත්වය සමඟ සම්බන්ධ කරයි; පරිපාලනයේ ප්‍රතිපත්ති විවේචනය කරන ඕනෑ ම අයෙකු සැබැවින් ම ඉලක්ක කරයි. සමස්තයක් ලෙස, මෙම නියෝග සමස්ත ජනගහනයේ අයිතිවාසිකම්වලට පහර දීම සඳහා සංක්‍රමනය පෙරමුනක් ලෙස භාවිතා කිරීමකි.
දැනටමත්, දක්ෂිනාංශික සියොන්වාදී සංවිධාන, ගාසා තීරයේ සිදුකරමින් පවතින ජන සංහාරයට විරෝධය පල කල සිසුන් සහ ශාස්ත්‍රඥයින් පිටුවහල් කරන ලෙස ඉල්ලා සිටියි; එය, එවැනි බලතල යොදාගෙන එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට එරෙහි විරෝධය මැඩපැවැත්විය හැකි ආකාරය පිලිබඳ බියකරු පෙරදසුනකි.
රටේ බල රීතීන් උල්ලංඝනය කිරීම සහ දහහතරවන සංශෝධනය
සංක්‍රමන නීති බලාත්මක කිරීමේ කටයුතුවල නිරත වීමට පෙන්ටගනය ඇමරිකානු භූමියේ ස්ථානගත කිරීම සඳහා සටන් සැලසුම් සකස් කරන ලෙස ඉල්ලා සිටින නියෝගයේ මෙසේ සඳහන් වේ:
මෙම නියෝගය ක්‍රියාත්මක වන දින සිට දින 10 කට නොඅඩු කාලයකදී, නීති විරෝධී සමූහ සංක්‍රමන, මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ජාවාරම් (human smuggling) සහ හොර ජාවාරම් සහ වෙනත් අපරාධ ක්‍රියාකාරකම් ඇතුලු ආක්‍රමන ආකාර මැඩපැවැත්වීමෙන් උතුරු එක්සත් ජනපද අනදෙන නිලධාරියාට (යූඑස්නෝර්ත්කොම්) දේශසීමා මුද්‍රා තැබීමේ සහ එක්සත් ජනපදයේ ස්වෛරීභාවය, භෞමික අඛන්ඩතාව සහ ආරක්ෂාව පවත්වා ගැනීමේ මෙහෙයුම පවරන ඒකාබද්ධ අනදෙන සැලැස්මට සංශෝධනයක් ජනාධිපතිවරයාට භාර දෙන්න.
මෙම නියෝගය, මිලියන සංඛ්‍යාත නිරායුධ සංක්‍රමනිකයින් සිවිල් වැසියන් ලෙස නොව, “සතුරු සටන්කරුවන්” ලෙස වර්ගීකරනය කල හැකි බවට අපේක්ෂාවක් මතු කරයි. මෙය ක්‍රියාත්මක කලහොත්, මෙය ඔවුන්ට එක්සත් ජනපදයේ නීති මගින් නොව, යුද නීති මගින් පාලනය වන භාවිතයකට යටත් කරනු ඇති අතර, එය “ස්වෛරීභාවය” ආරක්ෂා කිරීමේ මුවාවෙන් පෙර නොවූ විරූ මර්දනයකට සහ දේශීය පාලනය මිලිටරිකරනය කිරීමට මග පාදනු ඇත. එය ඇමරිකානු භූමියේ නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම්වල යෙදීම හමුදාවට තහනම් කර ඇති රටේ බල රීතිවල පොදු නීති මූලධර්මය උල්ලංඝනය කරයි.
ජන්ම අයිතිය අනුව හිමිවන පුරවැසිභාවය අවලංගු කිරීමේ නියෝගය, ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති ඇමරිකානු පුරවැසියන් “ආරක්ෂා කිරීම” අරමුනු කරගත් බවට කරන ප්‍රකාශවල වංචනික ස්වභාවය හෙලි කරයි. යථාර්ථයේ දී, මෙම නියෝගය ව්‍යවස්ථාමය අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට පෙර නොවූ විරූ ප්‍රහාරයක් නියෝජනය කරයි. ඇමරිකානු භූමියේ උපන් පුද්ගලයින්ගේ—දහහතරවන සංශෝධනය මගින්, ඔවුන්ගේ පුරවැසිභාවය සඳහා ඇති අයිතිය පැහැදිලි ව ම සහතික කර ඇත—පුරවැසිභාවය අහිමි කිරීමේ බලය උද්ධච්ච ලෙස යොදා ගැනීමට උත්සාහ කිරීමෙන් ට්‍රම්ප් සහ ඔහුගේ ෆැසිස්ට් උපදේශකයෝ ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික නීතිමය කුලුනු වලින් එකකට සෘජු ප්‍රහාරයක් එල්ල කරමින් සිටිති.
රේගන් විසින් පත් කරන ලද ෆෙඩරල් දිස්ත්‍රික් අධිකරන විනිසුරුවරයෙකු වන ජෝන් කොගෙනුර් විසින් පසුගිය සතියේ මෙම විධායක නියෝගය අත්හිටුවමින් එම නියෝගය 'නිර්ලජ්ජී ලෙස ව්‍යවස්ථා විරෝධී' ලෙස හැඳින්වීය. සියැටල්හි පැවති නඩු විභාගයක දී, කොගෙනුර් ප්‍රකාශ කලේ මෙම නියෝගය ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව අවලංගු කිරීමේ කුමන්ත්‍රනයක කොටසක් බවයි: “යහපත් මිනිසුන් ඉතිහාසය දෙස හැරී බලන කල යුක්තිය කොහේ පැවතිනිදැයි ප්‍රශ්නකාරී සමයන් පවතියි. විනිසුරුවන්, නීතිඥයන් කොහි වීදැයි ඔවුහු ප්‍රශ්න කරනු ඇත.”
කොගෙනූර්ගේ තීන්දුව මෙම කුරිරු පියවර ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නවතා දමන අතර, ට්‍රම්ප් පරිපාලනය දැනටමත් අභියාචනයක් ගොනු කර ඇත; එම නියෝගය, අන්ත දක්ෂිනාංශික විනිසුරුවරුන් විසින් ආධිපත්‍යය දරන එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරනයට විභාග කිරීමට වේදිකාව සකසයි. අධිකරන තීන්දුව ට්‍රම්ප්ට එරෙහිව ගියත්, ට්‍රම්ප් නියෝගය නොසලකා හරිනු ඇත්ද සහ එක්සත් ජනපදයේ පුරවැසියන් නොවන අයගේ විදේශ ගමන් බලපත්‍ර සහ අනෙකුත් පුරවැසි ලියකියවිලි ප්‍රතික්ෂේප කිරීම සඳහා ඔහුගේ නියෝගය අනුගමනය කිරීමට විධායක ආයතනවලට අවශ්‍ය වේද යන්න විවෘත ප්‍රශ්නයකි.
ඇමරිකානු ඉතිහාසයේ සංක්‍රමනික අයිතිවාසිකම් අසාමාන්‍ය ලෙස උල්ලංඝනය කිරීමේ ලැජ්ජා සහගත අවස්ථා රාශියක් අඩංගු වන අතර, ඒ අතරට විදේශික සහ දේශද්‍රෝහී පනත්, චීනය බැහැර කිරීම, පාමර් වැටලීම්, හිට්ලර්ගෙන් පලා යන යුදෙව් සරනාගතයින් ක්‍රමානුකූලව බැහැර කිරීම, “වෙට්බැක් මෙහෙයුම” ලෙස ගොරහැඩි ආකාරයට නම් කරන ලද, ජපන්-ඇමරිකානුවන් සිරගත කිරීම සහ පසුගිය දශක තුනේ සමූහ පිටුවහල් කිරීම් ඇතුලත් වේ. ට්‍රම්ප් බොහෝ විට මෙම සම්ප්‍රදායට පැහැදිලි දේශපාලන ආයාචනා ඉදිරිපත් කරයි.
නමුත් සංක්‍රමනිකයින්ට එරෙහි වර්තමාන ප්‍රහාරයේ අලුත් දෙයක් අඩංගු වේ: ට්‍රම්ප්ගේ මර්දනය යනු පෙර නොවූ විරූ ආකාරයකින් රාජ්‍ය බලය විධායක ශාඛාව අතට සංකේන්ද්‍රනය කිරීමේ උත්සාහයක කොටසකි. ට්‍රම්ප් 2021 ජනවාරි 6 වන දින නතර කල තැනින් පටන් ගනිමින් සිටී; ඔහු, 2020 මැතිවරනයේ ප්‍රතිඵල පෙරලා දැමීමට සහ මැතිවරන විද්‍යාලයේ සහතික කිරීම නැවැත්වීම සඳහා කොංග්‍රසයට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් ජනාධිපති ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමට උත්සාහ කලේ ය. 2024 මැතිවරන ව්‍යාපාරයේ දී, ඔහු “පලමු දිනයේ ම ඒකාධිපතියෙකු ලෙස පාලනය කිරීමට” සහ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව “අවසන් කිරීමට” පොරොන්දු විය. දැන් ඔහු එම සැලසුම් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරයි.
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිවලින් පිලිබිඹු වන්නේ, ජනගහනයෙන් අතිමහත් බහුතරයක් සඳහා ඉතිරි ව ඇති ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ ආරක්ෂනයන් විනාශ කර දැමීමෙන් තම ආධිපත්‍යය තහවුරු කර ගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටින කුඩා මූල්‍ය ප්‍රභූවක අවශ්‍යතා ය. ප්‍රජාතන්ත්‍රවාදය කතිපයාධිකාරී පාලනය සමඟ නොගැලපේ. ලෝක සමාජවාදී වෙබ් අඩවිය මීට පෙර සඳහන් කර ඇති පරිදි, ට්‍රම්ප් ඇමරිකානු දේශපාලනයේ ආදම්ගේ උයනට රිංගා ගත් විසකුරු සර්පයෙකු නොවේ. දශක ගනනාවක් තිස්සේ දෙපාර්ශ්වය විසින්ම පහසුකම් සපයන ලද ධනය සංකේන්ද්‍රනය කිරීමේ දිග්ගැස්සුනු ක්‍රියාවලිය විසින් වමාරන ලද ට්‍රම්ප්, නැවත ධවල මන්දිරයේ තබා ඇත.
ඩිමොක්‍රටික් පක්ෂයේ සහයෝගිතා භූමිකාව
සාප්පු සොරකම් වැනි සුලු අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සංක්‍රමනිකයින් පිටුවහල් කිරීම සඳහා අනිවාර්ය රඳවා තබා ගැනීම අවශ්‍ය කරන, ලේකන් රයිලි පනත (Laken Riley Act) ද්විපාර්ශ්විකව සම්මත කිරීමෙන් සනාථ වන පරිදි, ට්‍රම්ප්, දැනටමත් තම කැබිනට් නාමයෝජනා තහවුරු කිරීමටත්, සංක්‍රමනිකයින්ට එරෙහි ඔහුගේ ප්‍රතිගාමී ප්‍රහාර බලාත්මක කිරීමටත් ඡන්දය දෙමින් සිටින ඩිමොක්‍රටික් පක්ෂයේ සහයෝගීතාවය කෙරෙහි විශ්වාසය තබයි. සියල්ලටත් වඩා, ට්‍රම්ප්ට එරෙහි ඕනෑම බරපතල අභියෝගයක් ඔහුගේ පරිපාලනයට පමනක් නොව, ධනේශ්වර පාලනයේ සමස්ත රාමුවටම තර්ජනයක් වන සමාජ විරෝධතා රැල්ලක් ඇති කල හැකි යැයි ඩිමොක්‍රටික් පක්ෂය බිය වේ.
ඩිමොක්‍රටික් පක්ෂයේ යටත් වීම අහම්බයක් නොව, වෝල් වීදියේ සහ යුද්ධයේ පක්ෂයක් ලෙස එහි භූමිකාව පිලිබිඹු කිරීමකි. ට්‍රම්ප්ගේ පලමු සහ දෙවන පරිපාලන අතර අඛන්ඩතාවයට—කැරලි මර්දන පනත ක්‍රියාත්මක කිරීමට, විරුද්ධත්වය මර්දනය කිරීමට සහ විධායක ශාඛාව තුල බලය තහවුරු කිරීමට ඔහු දැරූ උත්සාහයන්ට—ඩිමොක්‍රටික් පක්ෂය මුහුන දී ඇත්තේ අනතුරු ඇඟවීමක් හෝ ප්‍රතිරෝධයක් නොමැති ව පමනක් නොව, නිහඬතාවයෙන් හා අනුග්‍රහයෙනි.
සෙනසුරාදා ප්‍රකාශයට පත් කරන ලද තීරු ලිපියක නිව් යෝර්ක් ටයිම්ස් පවා පිලිගත්තේ, 2017 දී මෙන් නොව, “එලොන් මස්ක් නාසියෙකු මෙන් අභිනයන් කල විට පවා, දෝෂාභියෝගයක් ගැන කතා කරන හෝ ආරම්භක අවධියේ පසුවන ෆැසිස්ට්වාදය පිලිබඳව ඔවුන්ගේ අනතුරු ඇඟවීම පවත්වා ගෙන යන ඩිමොක්‍රටිකයින් සිටින්නේ ස්වල්ප දෙනෙකි.… ට්‍රම්ප්ගේ නැගීම නිසා ප්‍රජාතන්ත්‍රවාදීන්ට ඇති වූ වේදනාව හෝ උනන්දුව, ඔහුගේ මෙම පුනස්ථාපනය නිසා ඇති වූ බවක් නොපනේ.” මෙය, බයිඩන් සහ හැරිස් වැනි දිගුකාලීන ප්‍රමුඛ පුද්ගලයින්ට මෙන්ම, වාමාංශික විරුද්ධත්වය කොටු කර මර්දනය කිරීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ ප්‍රමුඛ භූමිකාවන් වෙනුවෙන් ත්‍යාග ලබා සිටින බර්නි සැන්ඩර්ස් සහ ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස් වැනි “ප්‍රගතිශීලීන්ට” ද අදාල වේ.
ට්‍රම්ප්ගේ පලමු සතිය ජනගහනය තුල යම් තරමක ව්‍යාකූලත්වයක් ඇති කර තිබේ. ඉදිරි සති සහ මාසවල දී, මෙම නියෝග සමාරම්භය සහ ක්‍රියාත්මක කිරීම, පෙර නොවූ විරූ ආකාරයට ජාත්‍යන්තර ව අන්තර් සම්බන්ධිත හා මිශ්‍ර වූ ජනගහනයක දැවැන්ත විරෝධයක් ජනනය කරනු ඇත. සමාජ වියදම් කප්පාදු කිරීම, පාරිසරික ආරක්ෂන බිඳ දැමීම සහ ධනවතුන් මත බදු ඉවත් කිරීම සඳහා වන නියෝග සමඟ ඒකාබද්ධ ව, මෙම පරිපාලනය එක්සත් ජනපදයේ පමනක් නොව ජාත්‍යන්තරව කම්කරු පන්තියට එරෙහි සෘජු යුද්ධයක් නියෝජනය කරයි.
ට්‍රම්ප් එක්සත් ජනපදය ඒකාධිපතිත්වයක් බවට පරිවර්තනය කිරීමට සමත් වේද යන්න තීරනය වන්නේ දිග හැරෙන පන්ති අරගලය හරහා ය. කම්කරුවන් සහ උසස් පාසල් තරුනයින් විසින් මෙහෙයවනු ලබන ආරම්භක ස්වයංසිද්ධ විරෝධතා පිලිබඳ වාර්තා දැනටමත් කැලිෆෝනියා සහ ටෙක්සාස් වැනි ස්ථානවල වර්ධනය වීමට පටන් ගෙන තිබේ. ඉදිරි සති සහ මාස ට්‍රම්ප් පරිපාලනයේ අපරාධවලට එරෙහි ව දැවැන්ත කෝපයක් ඇති කරනු ඇත; නමුත් පලමුවෙන්මත්, ප්‍රධාන වශයෙනුත් අවශ්‍ය වන්නේ දේශපාලන වැඩපිලිවෙලකි.
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා ජනගහනය බලමුලු ගැන්වීමට පාසල්, සේවා ස්ථාන සහ අසල්වැසි කමිටු ගොඩනඟනු!
ඉදිරි ප්‍රහාරය සඳහා කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල් සූදානම් කිරීම, දැනුවත් කිරීම සහ සංවිධානය කිරීම සඳහා අසල්වැසි ප්‍රදේශවල, පාසල්වල සහ සේවා ස්ථානවල කමිටු වර්ධනය කරන ලෙස සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය) ඉල්ලා සිටී. එවැනි කමිටු, තොරතුරු බෙදා හැරීමේ කේන්ද්‍රස්ථාන ලෙස සහ පවුල් බිඳ දැමීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහිමි කිරීමට ට්‍රම්ප් ගන්නා ඒකාධිපති උත්සාහයන්ට එරෙහිව ජනගහනය බලමුලු ගැන්වීමේ වේදිකා ලෙස සේවය කරනු ඇත.
“එකෙකුට වන හිංසාවක් සැමට ම වන හිංසනයකි” යන මූලධර්මය යටතේ ප්‍රජාවේ සාමාජිකයින්ට එල්ල වන ප්‍රහාරවලට නීත්‍යානුකූල මහජන ප්‍රතිචාර සැලසුම් කිරීම සඳහා මෙම කමිටු, ගුරුවරුන්, සිසුන්, දෙමාපියන්, කම්කරුවන් සහ වටාපිටාවන්හි සියලු සැලකිලිමත් අසල්වැසියන් එක්රැස් කරනු ඇත. ඔවුන් ක්‍රියාත්මක වන ඕනෑ ම තැනක, සංක්‍රමනික තත්වය හෝ ජාතික පසුබිම අනුව කම්කරුවන් බෙදීමට මහා ව්‍යාපාරික පක්ෂ දෙක සහ වෘත්තීය සමිති නිලධරයන් දරන සියලු උත්සාහයන් බිඳ දැමීමට කමිටු උත්සාහ කරනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි තර්ජනයට ජනගහනය “පුලුල් ලෙස අවදි” කිරීම අරමුනු කරගත් මහා දේශපාලන අධ්‍යාපනයේ ව්‍යාපාරයක් දියත් කිරීම මගින්, ඒවා සංගත මාධ්‍යවල පලවන විදේශිකභීතිකා බොරු හෙලිදරව් කරනු ඇත.
කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කක්‍රික-ජාස) එවැනි කමිටු සඳහා උපදෙස් සහ සහාය ලබා දෙන අතර කමිටු ගොඩනැගීමට සහ පාසල්, සේවා ස්ථාන සහ ජාතික සීමාවන් හරහා ලිපි හුවමාරු සහ සහයෝගීතාවයේ බලගතු ජාලයක් තුල සම්බන්ධ කිරීමට ක්‍රියාකාරී ව සම්බන්ධ වනු ඇත. සංක්‍රමනිකයින්ගේ ආරක්ෂාව, සියලු දෙනාගේම මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ සටනට සම්බන්ධ කිරීම අරමුනු කරගත් දේශපාලන වැඩසටහනක් ඉදිරි අරගලවලට හඳුන්වා දීමට කක්‍රික-ජාස උත්සාහ කරනු ඇත.
ඇමරිකානු ඉතිහාසය පුරාම දේශපාලන පසුගාමීත්වය සහ රාජ්‍ය මර්දනය තලා දැමීම සඳහා සියලු පසුබිම්වල කම්කරුවන් එක්රැස් කිරීමට අවශ්‍ය බව ඔප්පු කර ඇති, පන්ති අරගලය මත පදනම් වූ වැඩසටහනක් සඳහා කක්‍රික-ජාස පෙනී සිටිනු ඇත. මෙම පදනම මත, සංක්‍රමනිකයින්ගේ ආරක්ෂාව ට්‍රම්ප් සහ ඔහුගේ මූලාශ්‍රය වන ධනේශ්වර ක්‍රමයට එරෙහි ව ජාත්‍යන්තර කම්කරු පන්තියේ ප්‍රහාරාත්මක සටනක් බවට පරිවර්තනය කිරීමට එය උත්සාහ කරනු ඇත.