(මෙය Trump launches global trade war, with Canada and Mexico as his first targets මැයෙන් 2025 පෙබරවාරි 3දා පල කෙරුනු ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනය යි.)
එක්සත් ජනපදයේ විශාලතම වෙලඳ හවුල්කරුවන් මත දන්ඩනීය බදු පනවන විධායක නියෝග නිකුත් කරමින්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෙනසුරාදා ගෝලීය වෙලඳ යුද්ධය තීව්‍ර කලේ ය.
අඟහරුවාදා (පෙබරවාරි 4) සිට, එක්සත් ජනපදය කැනඩාවෙන් හා මෙක්සිකෝවෙන් කරන සියලු ආනයන මත සියයට 25ක බද්දක් පනවනු ඇත. ට්‍රම්ප්ගේ පලමුවැනි සහ බයිඩන් පරිපාලනයන් තුල පනවන ලද දැවැන්ත තීරුබදු මාලාවකට දැනට මත් මුහුන දෙන චීන භාන්ඩ සියයට 10ක අතිරේක බද්දකට මුහුන දෙනු ඇත.
ඇමරිකානු අධිරාජ්‍යවාදයට වාසි වන පරිදි, ගෝලීය ආර්ථිකය, භූ-දේශපාලනය හා පන්ති සබඳතා යලි සකස් කරගැනීමේ පලල් ප්‍රයත්නයක පලමුවැනි පියවර ලෙස මෙය පවතින බව, ට්‍රම්ප් සංඥා කර ඇත. මේ මාසයේ පසුභාගයේ දී, යුරෝපා සංගමය සහ අනෙක් රටවලට එරෙහි වැඩිදුර වෙලඳ යුද පියවරයන් නිවේදනය කරනු ලැබීමට නියමිත ය.
සෙනසුරාදා නිවේදනය කරන ලද පියවරයන්, ඒ හැටියට ගත් විට, උතුරු ඇමරිකානු හා ලෝක ආර්ථිකය වියවුලකට ඇද දමනු ඇත. එක්සත් ජනපද භාන්ඩ පලල් පරාසයක් මත, ප්‍රතිප්‍රහාරීය බදු ක්ෂනික ව නිවේදනය කරමින් කැනඩාව හා මෙක්සිකෝව ප්‍රතිචාර දැක්වූ අතර, ඒවා ට්‍රම්ප්ගේ නියෝග යටතේ වැඩිදුර එක්සත් ජනපද බදු ස්වයංක්‍රීය ව ජනනය කරනු ඇත.
කම්කරු පන්තියට එරෙහි යුද්ධයක්
විදේශයන්හි පදනම් වන අපනයනකරුවා බදු ගෙවන අතර, ඇමරිකාවේ කම්කරුවන්ට වේදනාකාරී නො වනු ඇතැයි කියාපාමින්, බදු ක්‍රියාත්මක වන ආකාරය ගැන ට්‍රම්ප් නො නවත්වා බොරු කියා ඇත.
මේ සියල්ල පට්ටපල් බොරු ය. ආනයනය කරන සමාගම විසින් බදු ගෙවනු ලබයි. ආනයනය කරන භාන්ඩවල වටිනාකමින් සියයට 25ට සමාන බදුවලට මුහුන දෙන එක්සත් ජනපද සමාගම්, මිල ඉහල දැමීම් හෝ ඇනවුම් අවලංගු කිරීම්වල රූපයෙන් මෙම අතිරේක පිරිවැය පාරිභෝගිකයන් මත පටවනු ඇත.
අවස්ථා දෙකේ දී ම, එය උතුරු ඇමරිකානු කම්කරුවන්ට විනාශකාරී වනු ඇත. කැනඩාවේ හා මෙක්සිකෝවේ කම්කරුවන්ට තම රැකියා අහිමි වනු ඇති අතර, එක්සත් ජනපදයේ කම්කරුවන් උද්ධමනයේ යෝධ ඉහල යාමක් දැක ගනු ඇත. ප්‍රතිප්‍රහාරක බදු හේතුවෙන් එක්සත් ජනපදයේ කම්කරුවන් ද රැකියා කප්පාදුවලට -එක්සත් ජනපදයේ විශාලතම තනි අපනයන වෙලඳපොල වන්නේ කැනඩාවයි- සහ උතුරු ඇමරිකානු නිදහස් වෙලඳ ගිවිසුම (නැෆ්ටා) හා ට්‍රම්ප් සමග සාකච්ඡා කොට පිහිටුවා ඇති එහි එක්සත් ජපනද-කැනඩා වෙලඳ ගිවිසුම (යූඑස්එම්සීඒ) නමැති පසුප්‍රාප්තිකයා යටතේ, දශක තුනකට අධික කාලයක් තිස්සේ වර්ධනය කර ඇති මහාද්වීපීය නිෂ්පාදන දාම පුපුරා යාමට මුහුන දෙනු ඇත.
පිලිවෙලින් අපනයනයන්වල දී සියයට 77ක් හා සියයට 80ක් එක්සත් ජනපදය මත රඳා සිටින කැනඩාවේ හා මෙක්සිකෝවේ ආර්ථිකයන්, බදු ඉහල දැමීම් හේතුවෙන් විනාශ වනු ඇත.
මෙහි ක්ෂනික ප්‍රතිඵලය වනු ඇත්තේ මහා පරිමාන දොට්ට දැමීම් හා කම්හල් වසාදැමීම්වල තථ්‍ය සුනාමියකි. කැනඩාවේ මෝටර් රථ කර්මාන්තය කේන්ද්‍රගත වී පවතින ඔන්ටාරියෝ ප්‍රාන්තයේ අගමැති, එම පලාත තුල පමනක් රැකියා අහිමිවීම් 500,000ක් ගැන අනතුරු අඟවා ඇත.
බහුවිධ අවස්ථා ගනනක් දේශසීමා තරනය කරන කොටස් යොදාගෙන වාහන එකලස් කරන උතුරු ඇමරිකාවේ මෝටර් රථ නිෂ්පාදනය විශාල ලෙස ඒකාග්‍ර වී තිබේ. කැනඩාවෙන් හා මෙක්සිකෝවෙන් ආනයනය කරන නිම කරන ලද වාහන මත මෝටර් රථ නිෂ්පාදකයන් සියයට 25කට බද්දකට පමනක් නො ව, අවසානයේ එක්සත් ජනපදය ඇතුලත එකලස් කරන වාහන තුල භාවිතා කරන මෝටර් රථ කොටස් මත ද සංකීර්න බදුවලට මුහුන දෙනු ඇත.
උතුරු ඇමරිකානු වෙලඳ යුද්ධයක් පුපුරා යාමේ විපාකය ලෙස ප්‍රතිඵල විය හැක්කේ, බොහෝ කැනේඩියානු හා මෙක්සිකානු එකලස් හා කොටස් කම්හල් ක්ෂනික ව වැසීයාම පමනක් නො වේ. එක්සත් ජනපද මෝටර් රථ නිෂ්පාදනය එමගින් යෝධ ලෙස කඩාකප්පල් වන්නේ, දවස් හෝ සති කිහිපයක් ඇතුලත එක්සත් ජනපද මෝටර් රථ කම්හල්වලින් දසදහස් ගනනක් දොට්ට දැමීම ද එමගින් ප්‍රතිඵල කරමිනි.
යෝධ මහජන පොලාපැනීමක් කෙරෙහි බිය වෙමින්, ට්‍රම්ප් ඔහුගේ සියයට 25 බදුවලට තනි වෙනස්කමක් එකතු කලේ, මූලික වසයෙන් බොර තෙල් ඇතුලු කැනඩාවෙන් ආනයනය කරන බලශක්තිය මත බද්ද සියයට 10හි රඳවමිනි. එක්සත් ජනපදයේ තෙල් පරිභෝජනයෙන් සියයට 20ට අධික ප්‍රමානයක් පැමිනෙන්නේ කැනඩාවෙනි.
වෙලඳ යුද්ධය, “පලමුව ඇමරිකාව” සහ ගෝලීය ආධිපත්‍යය සඳහා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යුද්ධය
මේ අනුව, ට්‍රම්ප්ගේ වෙලඳ යුද්ධය, කම්කරු පන්තියට එරෙහි ව තීව්‍ර කරන යුද්ධයෙන් වෙන් කල නො හැක. ලෝක යුද්ධය හරහා ගෝලීය ආධිපත්‍යය සුරක්ෂිත කරගැනීමට ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ධාවනය සමග ද එය බැඳී තිබේ.
මෙක්සිකෝව සහ කැනඩාව ඉලක්ක කරගනු ලැබ ඇත්තේ, උතුරු ඇමරිකානු මහාද්වීපය මත අබාධිත ආධිපත්‍යය අවධාරනය කිරීමේ ට්‍රම්ප්ගේ ධාවනයෙහි කොටසක් ලෙසිනි. අවශ්‍ය නම් මිලිටරි ක්‍රියා හරහා, ග්‍රීන්ලන්තය හා පැනමා ඇල ඈඳා ගැනීමේ සපථ කිරීම් සමගින් දැන් යථාවත් කර ඇති ඔහු බදු තර්ජන පැමින ඇත; මත්ද්‍රව්‍ය කල්ලි පරාජය කිරීමේ නාමයෙන් මෙක්සිකෝව ආක්‍රමනය කිරීම; සහ කැනඩාවට ඇමරිකාවේ 51වැනි ප්‍රාන්තය බවට පත්වීම සඳහා බල කිරීමට “ආර්ථික බලය” යොදා ගැනීම.
ට්‍රම්ප්ගේ ඉලක්කය වන්නේ, “ආසන්න විදෙස් රටවල්” මත ඇමරිකානු පාලනය ශක්තිමත් කර ගැනීම මගින්, චීනය හා රුසියාවට එරෙහි යුද්ධයේ දී ත්, යුරෝපීය අධිරාජ්‍යවාදී බලයන් සමග වැඩෙන ගැටුම්වල දී ත්, ඇමරිකානු අධිරාජ්‍යවාදය සූදානම් කිරීම යි. මෙහි දී, ට්‍රම්ප්ගේ ක්‍රියාවන් සකස් කරනු ලබන්නේ, 1938 දී තුන්වැනි රයිකයට හිට්ලර් ඔස්ට්‍රියාව ඈඳාගත් මොඩලයට අනුව යි.
ට්‍රම්ප් දෙන්නේ වැරදීමකින් තොර පනිවුඩයකි: එනම්, දැන් ගෝලීය අන්තර්-රාජ්‍ය සබඳතාවල දී ආධිපත්‍යය දරන ශක්තිවන්තයා රජයන කැලෑ නීතිය යි.
ආර්ථික ආස්ථානයකින් ගත් කල, ට්‍රම්ප්ගේ ගෝලීය වෙලඳ යුද්ධය සහ සපථ කරන පලමුව ඇමරිකාව යන ආරක්ෂනවාදී ඉලක්ක අයථා ය. ඓතිහාසික ආවෘත අන්තයක් කරා ලඟා වී තිබෙන ධනේශ්වර පර්යාය හා එහි ජාතික-රාජ්‍ය පද්ධතිය, වේගයෙන් සමාජීය ප්‍රතිගාමීත්වයට හා ම්ලේච්ඡත්වයට ඇද වැටෙමින් පවතින බව ඒවා අවධාරනය කරයි. ගෝලීය ධනවාදයේ ආරක්ෂක බලකොටුව ලෙස දීර්ඝ කාලයක් පැවතී ඇති, තවමත් වඩාත් ම බලවත් අධිරාජ්‍යවාදී රාජ්‍යය සහ ගෝලීය ධනවාදී මූල්‍යයේ කේන්ද්‍රය වන එක්සත් ජනපදය, නුඹේ අසල්වැසියා හිඟන්නෙක් බවට පත් කරනු යන, දෙවැනි ලෝක යුද්ධයේ පැන නැගීමට හේතු වූ නිර්දය ආරක්ෂනවාදී පිලිවෙත් ප්‍රකෘතිමත් කරමින් සිටී.
එසේ කීමෙන් පසු සඳහන් කල යුත්තේ, මෙම උන්මත්තක භාවයට නිශ්චිත පන්ති තර්කනයක් පවතින බව යි.
පලමුව, උතුරු ඇමරිකානු ආර්ථිකය කඩාබාන්දු කිරීම මගින්, මෙක්සිකෝව හා කැනඩාව එක්සත් ජනපද වෙලඳපොල මත ආන්තික ව රැඳීම ඇමරිකාවේ ධනපති ප්‍රතිමල්ලවයන්ගෙන් උපරිම වාසි උකහා ගැනීමට යොදා ගන්නා අතර, කම්කරුවන් සූරාකෑම නාටකාකාර ව ඉහල දමනු වස් සංගත ඇමරිකාව හොඳ ම ස්ථානයේ පිහිටුවීමට ට්‍රම්ප් අපේක්ෂා කරයි.
දෙවනුව, නිෂ්පාදනය ඇමරිකාවට “ප්‍රතිස්ථාපනය” කරනු වස් බල කිරීමට ට්‍රම්ප් උත්සාහ ගන්නා තාක් කල්, එහි ඉලක්කය වන්නේ වොෂින්ටනයෙහි මිලිටරි-කාර්මික ධාරිතාව යලි ගොඩනැගීම යි.
තමන් ස්වයං-පෝෂිත ජාතික ආර්ථිකයක් ගොඩනගන බවට හිට්ලර්ගේ කියාපෑම් “ප්‍රතිගාමී මෙන් ම අත්‍යන්තයෙන් මනෝරාජික ද වේ... කුසගින්නේ සිටින කොටියෙක් මෙන්, අධිරාජ්‍යවාදය එහි ම ජාතික තිප්පොලට පසුබැස ඇත්තේ නව පිම්මක් ගැනීම සඳහා සූදානම් වීමට යි” යි 1934 දී ලියූ “ජාතිකවාදය හා ආර්ථික ජීවිතය” නමැති රචනාව තුල ලියොන් ට්‍රොට්ස්කි අනතුරු ඇඟවී ය.
කැනේඩියානු පාලක පන්තියෙහි ප්‍රතිචාරය
ට්‍රම්ප්ගේ ක්‍රියාවන්ට මංමුලා සහගත ස්වභාවයක් ඇතත්, ඒවා කැනේඩියානු අධිරාජ්‍යවාදය සහ මෙක්සිකානු ධනේශ්වරය සොලවා දමා ඇත.
මෙක්සිකානු රැකියා මිලියන පහක් වාර්තා වන පරිදි එක්සත් ජනපද වෙලඳාම මත ඍජු ව රඳා පැවතියත්, බදුවල බලපෑම ලඝු කිරීමට උත්සාහ කල මෙක්සිකානු ජනාධිපතිනි ක්ලෝඩියා ශයින්බෝම්, ට්‍රම්ප් සමග “සාකච්ඡාව හා සංවාදයට” ආයාචනා කලා ය. “මෙක්සිකෝවට ගැටුමක් අවශ්‍ය නැතැ” යි ඇය අවධාරනය කලා ය.
ඉරිදා පසුභාගයේ කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ ජාතිය ඇමතුවේ ය. ඔහු ට්‍රම්ප්ගේ ක්‍රියාවන් ප්‍රතික්ෂේප කල ද කැනඩාව ඇමරිකාවේ වඩාත් ම ස්ථීරසාර සගයා බවත්, උතුරු ඇමරිකාවෙහි අධිරාජ්‍යවාදී බලයන්ගේ පොදු හතුරන්ට එරෙහි ව කඩාපැනීමේ දී කැනඩාව වොෂින්ටනයට සම්පූර්න සහයෝගය දෙන බවත් ප්‍රකාශ කිරීමේ දී ස්ථාවර විය.
“නෝමැන්ඩියේ වෙරලවල සිට කොරියානු අර්ධද්වීපයේ කඳු මුදුන් දක්වා, ෆ්ලෑන්ඩර්ස් කුඹුරුවල සිට (ඇෆ්ගනිස්තානයේ) කන්දහාර්වල වීදි දක්වා, ඔබගේ අඳුරුත ම පැයවල දී ඔබ සමගින් අපි මරනය දක්වා සටන් කොට තිබෙනවා” යි වොෂින්ටනයට ආමන්ත්‍රනය කරමින් ටෲඩෝ ප්‍රකාශ කලේ ය. නොවැම්බරයේ ට්‍රම්ප්ගේ තේරී පත්වීමෙන් පසුව, ආඥාදායකයා විය හැක්කා සතුටු කිරීමේ මංමුලා සහගත ප්‍රයත්නයක යෙදෙමින් ටෲඩෝ මාර්-ආ-ලාගෝ වෙත දුව ගියේ ය.
ධනලෝභී අභ්‍යන්තර ගැටුම්වලින් අරක්ගෙන තිබෙන කැනේඩියානු ධනේශ්වරය, ට්‍රම්ප්ට “විරුද්ධ” වන්නේ, එක්සත් ජනපදයේ නායකත්වය සහිත උතුරු ඇමරිකානු බලකොටුවක් ඇතුලත ඔවුන්ට ම වඩාත් වාසි සහගත ස්ථානයක් සුරක්ෂිත කරගැනීමේ ආස්ථානයෙනි.
ඒ අතර ම, ට්‍රම්ප් මෙන්, කැනේඩියානු ධනේශ්වරය වෙලඳ යුද්ධය යොදාගනු ඇත්තේ, කම්කරු පන්තියට එරෙහි පන්ති යුද්ධය තීව්‍ර කිරීමට යි. දැනට මත්, නව ආන්ඩුවකට මාවත හෙලි කිරීම සඳහා ඉල්ලා අස්වීමට ටෲඩෝට බලකෙරී ඇති අතර, එම ආන්ඩුවට බොහෝ සෙයින් නායකත්වය දෙනු ඇත්තේ අන්ත-දක්ෂිනාංශික කොන්සවැටිව් නායක පියරේ පොලීව්රේ විසිනි. නව ආන්ඩුව යෝධ ලෙස මිලිටරි පිරිවැය ඉහල දැමීම හා සමාජ වියදම් කැපීමේ සිට සංගත කැනඩාවට හා ධනවතුන්ට දැවැන්ත ලෙස බදු කැපීම හා ප්‍රාග්ධනය මත සියලු නියාමන සීමාවන් ඉවත් කිරීම වැනි ට්‍රම්ප් පන්නයේ පිලිවෙත් ක්‍රියාවට දමනු ඇත.
ලෝකයේ කම්කරුවනි එක්වව්!
සියලු කම්කරුවන්ගේ රැකියා, වැටුප් සහ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට උතුරු ඇමරිකානු කම්කරු පන්තියේ එක්සත් ප්‍රති-ප්‍රහාරයක වර්ධනයට විශාලතම බාධාව වන්නේ, ප්‍රතිගාමී ජාතිකවාදී වෘත්තීය සමිති නිලධරයන් සහ මධ්‍යම-පන්තික ව්‍යාජ-වාම සංවිධානවල ඔවුන්ගේ දේශපාලනික උපදේශකයන් හා අද්වකාත්වරුන් ය.
කම්කරුවන් එකිනෙකාට එරෙහි ව පිහිටුවීමටත්, ඔවුන් ව සූරාකන හා වෙඩි උන්ඩ ලෙස යොදා ගන්නා ධනපතීන් කෙරෙහි ම ඔවුන් දේශපාලනික ව අන්ධ කිරීමටත්, වෘත්තීය සමිති නිලධරය ජාතිකවාදය අවුලුවයි. “දශක ගනනාවක් පුරා පැවති කම්කරු-විරෝධී වෙලඳ පිලිවෙත් අහෝසි කිරීමේ යහපත් පලමු පියවරක් ලෙස ඇමරිකානු නිෂ්පාදන රැකියා ආරක්ෂා කරනු වස් පනවා ඇති ආක්‍රමනශීලී බදු ක්‍රියාවන්ට යූඒඩබ්ලිව් සහයෝගය දෙති” යි ප්‍රකාශ කරමින් එක්සත් මෝටර් කම්කරු සමිතියේ (යූඒඩබ්ලිව්) සභාපති ශෝන් ෆේන් සෙනසුරාදා ප්‍රකාශයක් නිකුත් කලේ ය. ඒ අතර ම, වෘත්තීය සමිතිවල අනුග්‍රහය ලබන කැනඩාවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රධානියා වන ජග්මීත් සිං “දැන් එලඹ තිබන්නේ කැනේඩියානුවන් ශක්තිමත් ව එක්සත් ව නැගී සිටිය යුතු කාලය යි” යි ප්‍රකාශ කලේ ය.
වර්ධනය කරන වෙලඳ යුද්ධයේ දී සිය පාලක පන්ති හා ආන්ඩු පිටුපසට තමන් ව ගාල් කිරීමේ සියලු ප්‍රයත්නයන්ට එක්සත් ජනපදයේ, කැනඩාවේ හා මෙක්සිකෝවේ කම්කරුවෝ එකහෙලා විරුද්ධ විය යුතු ය.
“ඇමරිකානු” හා “කැනේඩියානු” රැකියා සඳහා සටන් කරන බවට, ට්‍රම්ප් හා ටෲඩෝ කරන ව්‍යාජ ප්‍රතිමල්ලව කියාපෑම් අවඥාවෙන් බැහැර කල යුතු ඔවුහු, “මෙය අපේ යුද්ධය නො වන අතර, අපි එයට ගෙවීමට සූදානම් නැතැ” යි එක හඬින් ප්‍රකාශ කල යුතු ය.
කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයේ කොටසක් ලෙස, වෘත්තීය සමිති යාන්ත්‍රනයෙන් ස්වාධීන, ක්‍රියාකාරී කමිටු වර්ධනය කිරීම හරහා, උතුරු ඇමරිකානු කම්කරු පන්තිය එක්සත් ව්‍යාපාරයක් තුල බලවේග එකමුතු කල යුතු ය. මහා පරිමාන රැකියා කප්පාදු, සහන උදුරා ගැනීම්, මහජන සේවා හා සමාජ වැඩසටහන් කප්පාදු කිරීම්වල රූපයෙන් “කැපකිරීම්” කරන ලෙස පාලක පන්තිය කරන විධානයන්ට විරුද්ධ ව මෙම කමිටු විරෝධය සංවිධානය කල යුතු ය.
වෙලඳ යුද්ධයටත්, කම්කරු පන්තිය මත එහි විනාශකාරී බලපෑම්වලටත් එරෙහි විරෝධය, සමාජවාදී ජාත්‍යන්තරවාදී ක්‍රියා මාර්ගයක් සමග ඒකාබද්ධ කල යුතු අතර, එහි මූලික මූලධර්ම වන්නේ අධිරාජ්‍යවාදී යුද්ධයටත්, සංක්‍රමන-විරෝධී ස්වෝත්තමවාදයටත් විරුද්ධ වීම යි.
අව්‍යාජ පන්ති අරගලයේ ක්‍රියාකාරී සංවිධාන ගොඩනගද්දී සහ කම්කරු බලය හා සමාජවාදී උතුරු ඇමරිකාවක් සඳහා මහාද්වීපය අලලා ගන්නා ව්‍යාපාරයක් තුලට ඔවුන්ගේ අරගල එකමුතු කිරීමට සටන් කරද්දී, එක්සත් ජනපදයේ, කැනඩාවේ හා මෙක්සිකෝවේ කම්කරුවෝ චීනයේ, යුරෝපයේ හා ඉන් ඔබ්බේ පන්ති සහෝදර සහෝදරියන් කරා ප්‍රවිෂ්ට විය යුතු ය. අන් කවරදාටත් වඩා කම්කරු පන්තියේ ආදර්ශ පාඨය විය යුත්තේ “ලෝකයේ කම්කරුවනි එක්වව්!” යන්න යි.