ක්‍රියාකාරී කමිටුව, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ ගුරුවරුන්ට එරෙහි තර්ජන හෙලා දකී

[මෙය Action committee denounces Sri Lankan president’s threats against teachers යන මැයෙන් 2024 ජූලි 09 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

අපි, නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ගුරු, සිසු, දෙමාපිය ක්‍රියාකාරී කමිටුවේ (ටීඑස්පීඒසී) සාමාජිකයන් ලෙස, 250,000 කට අධික ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන උපදේශකවරුන් පිරිසකට එරෙහිව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කරන ලද තර්ජන සහ මර්දනීය ක්‍රියා, හෙලා දකිමු.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2022 අගෝස්තු 3 වැනි දින පාර්ලිමේන්තු සංකීර්නයට පැමිනෙමින්. (ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන) [AP Photo/Eranga Jayawardena]

වැටුප් වැඩි කිරීම, දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දෙමාපියන් මත පැටවෙන බර අඩු කිරීම සහ රාජ්‍ය අධ්‍යාපනය සඳහා ආන්ඩුවේ වියදම් වැඩි කිරීම සඳහා වන අපගේ ඉල්ලීම්වලට මුලුමනින්ම විරුද්ධව, වික්‍රමසිංහ, ජූලි 3 දා, දහස් ගනනක‌ගේ සහභාගිත්වයෙන් කොලඹ පැවති අධ්‍යාපනිකයින්ගේ රැස්වීමකදී සිය නවතම තර්ජනය නිකුත් කලේය.

“කිසිවකු සෘජුව හෝ වක්‍රව පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පාසල් අධ්‍යාපනය කඩාකප්පල් නොකල යුතුයි. මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග යෝජනා කරන ලෙස මම නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා,” යයි ඔහු ප්‍රකාශ කලේ, ගුරුවරුන්ගේ වැඩවර්ජන “අසාධාරන” බව පවසමිනි.

2022 දී ගුරුවරුන්ගේ වැටුප් වැඩි කල නිසාත්, සියලුම රජයේ සේවකයන්ට මෑතකදී රුපියල් 10,000 ක දීමනාවක් ලබා දී ඇති නිසාත්, “රටේ ආර්ථික තත්ත්වය අනුව, තවදුරටත් වැඩි කිරීම් කල නොහැකි” බව ද වික්‍රමසිංහ පැවසීය.

වාර්ගික රේඛා හරහා ගුරුවරුන් බෙදීමට උත්සාහ කල ඔහු, “දෙමල හා මුස්ලිම් පාසල්වල වැඩ වර්ජන සිදු වුනේ නෑ... [නමුත්] සිංහල-මාධ්‍ය පාසල්වලට බාධා කිරීම්වලට මුහුන දීමට සිදු වුනා,” යැයි පැවසීය.

වික්‍රමසිංහගේ නවතම තර්ජන එල්ල වූයේ වැටුප් වැඩි කිරීමක් ඉල්ලා ජූනි 26 දා කොලඹ විරෝධතාවයේ නියැලෙමින් සිටි දස දහස් ගනනක් වර්ජිත ගුරුවරුන්ට එල්ල කල ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරයෙන් පසුවය. ආන්ඩුව විසින් උසිගන්වන ලද ප්‍රහාරයෙන් අයෙකුගේ ඇස්වලට බරපතල හානි සිදු වූ අතර ගුරුවරුන් දුසිම් ගනනක් තුවාල ලැබූහ.

පසුදා අස්ගිරි පාර්ශ්වයේ මහ නාහිමියන් බැහැ දැකීමට ගිය ගමනේදී වික්‍රමසිංහ, අධ්‍යාපන සේවය ආන්ඩුවේ කුරිරු අත්‍යවශ්‍ය මහජන සේවා පනත (ඊපීඑස්ඒ) යටතට ගෙන එන බවට අනතුරු ඇඟවීය. මෙම මර්දන නීතිය යටතේ සියලුම කාර්මික ක්‍රියා තහනම් වන අතර එය උල්ලංඝනය කිරීම බරපතල සිරදඬුවම්, අධික දඩ මුදල් සහ අනාගත රැකියා වලදී අසාදු ලේඛනගත කිරීම් වලට හේතු වේ.

2024 ජුනි 26 වන දින, කොලඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ගුරුවරුන්ගේ විරෝධතාවයේ කොටසක්

ගුරුවරුන්ට එරෙහි වික්‍රමසිංහගේ තර්ජන හෙලා දකින ලෙසත්, වැටුප් හා තම මූලික අයිතීන් සම්බන්ධව දැන් අරගලයට පැමිනෙමින් සිටින සමස්ත කම්කරු පන්තියට එල්ල කරන ප්‍රහාරයක් ලෙස එය සලකන ලෙසත් අපි කම්කරු පන්තියේ සෑම කොටසකින්ම ඉල්ලා සිටිමු.

වික්‍රමසිංහ ආන්ඩුව විසින් සෞඛ්‍ය, විදුලිබල හා ඛනිජ තෙල් ක්ෂේත්‍ර අත්‍යවශ්‍ය සේවා ලෙස ලැයිස්තුගත කර ඇත. දුම්රිය සහ අනෙකුත් පොදු ප්‍රවාහන සේවා ද අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර තිබේ.

ඉගැන්විය යුතු ආකාරය, ඔවුන්ගේ වගකීම් සහ ඔවුන් හැසිරිය යුතු ආකාරය පිලිබඳව වික්‍රමසිංහ නරුම ලෙස අධ්‍යාපනිකයන්ට දේශන පවත්වයි. මොන තරම් උද්ධච්ඡ කමක් ද! කම්කරු පන්තියේ සහ දුප්පතුන්ගේ සියලුම කොටස් මෙන්ම ගුරුවරුන් ද මංමුලා සහගත ලෙස අරගල කරමින් සිටින්නේ එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීමට ය.

2022 දී, දින 100 ගුරු වර්ජනයෙන් පසුව, එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව ඔවුන්ගේ වැටුප් ඉල්ලීම්වලින් තුනෙන් එකක් පමනක් ලබා දුන් මුත්, එය ඔවුන්ගේ ශ්‍රේනි අනුව සිදුකල—රුපියල් 3,000 සිට 15,000 දක්වා වූ—සොච්චම් වැඩි කිරීමකි. නොසලකා හැර ඇති එම පොරොන්දුවට අනුව ගෙවීමට ඇති ඉතිරි තුනෙන් දෙක, ඉදිරි වසර දෙක තුල සම්පූර්න කිරීමට ඔහු පොරොන්දු විය.

අහස උසට නැඟෙන උද්ධමනය හා ජීවන තත්වයන්හි විශාල කප්පාදුව පිලිබඳව කම්කරු පන්තියේ වැඩෙන කෝපයට මුහුන දුන් වික්‍රමසිංහ, ජනවාරි මාසයේ දී රාජ්‍ය සේවකයින් සඳහා රුපියල් 10,000 ක මාසික දීමනාවක් ලබා දුන්නේය. මෙම පදනම මත ඔහු දැන් අවධාරනය කරන්නේ ගුරුවරුන් සහ සෙසු කම්කරු පන්තිය දැන් යම් ස්වයංපෝෂිත තත්වයක සිටින බවයි. මොන සරදමක්ද!

මේ වසර මුලදී රජයේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් කරන ලද සමීක්ෂනයකින් හෙලි වූයේ අවම අවශ්‍යතා සපුරාලීම සඳහා එක් පුද්ගලයෙකුට අවම වශයෙන් රුපියල් 16,619 ක මාසික ආදායමක් අවශ්‍ය වන බව යි; එයින් අදහස් වන්නේ පස් දෙනෙකුගෙන් යුත් පවුලකට අවම වශයෙන් රුපියල් 85,000 ක් අවශ්‍ය බවයි.

නය ආපසු ගෙවීම සඳහා අඩුකිරීම් වලින් පසු, ගුරුවරුන්ගේ අතට ලැබෙන වැටුප සොච්චමකි; බොහෝ දෙනෙකුට ඔවුන්ගේ මූලික ජීවන වියදම් පියවා ගැනීම සඳහා පුද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට හෝ වෙනත් රැකියා කිරීමට බල කෙරේ. පසුගිය වසරේ අඩු වැටුප් හේතුවෙන් ගුරුවරුන් 5,000 ක් පමන සිය තනතුරුවලින් ඉල්ලා අස්විය.

වික්‍රමසිංහ සිසුන් කෙරෙහි අනුකම්පාවක් මවාපාමින්, ඔවුන්ට අඛන්ඩ අධ්‍යාපනයක් තිබිය යුතු බව අවධාරනය කරන අතරේ, ඔහුගේ ආන්ඩුව සිසුන් මුහුන දෙන තත්වය දරුනු ලෙස පිරිහෙලා තිබේ.

දරිද්‍රතාවයෙන් පෙලෙන පවුල්වල දරුවන්ට පාසල් හැර යාමට බලකරමින්, පොත්පත්, පාවහන් සහ පාසල් බෑග් ඇතුලු අනෙකුත් අවශ්‍යතා වැනි මූලික පාසල් සැපයුම්වල වියදම මෑත වසරවලදී දෙගුනයක් හෝ සමහර විට තුන් ගුනයක් දක්වා වැඩි වී තිබේ. ආන්ඩුවේ ප්‍රතිපාදන කොතරම් අඩුද යත් ගොඩනැගිලි ප්‍රතිසංස්කරනය සහ අනෙකුත් අවශ්‍යතා සඳහා දෙමාපියන්ගෙන් මුදල් ඉල්ලා සිටීමට පාසල් පරිපාලනයට බල කෙරී ඇත.

ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රය කුරිරු ලෙස ක්‍රියාත්මක කිරීම මගින් වික්‍රමසිංහ නිර්මානය කරන ලද තත්වයක් වන මෙය, ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් මුහුන දෙන යථාර්ථයයි. මෙම සමාජ ප්‍රහාරයන්ට සමගාමීව, වැඩි කරන ලද බදු, රජය සතු ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සහ පුද්ගලීකරනය කිරීම සහ අධ්‍යාපනය සහ සෞඛ්‍යය වැනි අත්‍යවශ්‍ය සේවාවන් සඳහා අරමුදල් කප්පාදු කිරීම හරහා ආන්ඩුව විශාල ආදායමක් උපයා ගනිමින් සිටී.

මේ කුමක් සඳහාද? ඒ, ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීම් සඳහා කිසිවක් නොකරන අතරේ, විශාල විදේශ නය කන්දරාව ගෙවීමට සහ දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයින්ගේ ලාභ ඉහල නැංවීමට ය.

නිදහස් මහජන සෞඛ්‍යය සේම නිදහස් රාජ්‍ය අධ්‍යාපනය ද දැන් පවතින්නේ දංගෙඩිය මත ය. 1980 ගනන්වල මුල් භාගයේ සිට මෙම අත්‍යවශ්‍ය සමාජ සේවාවලට එල්ල කරන ප්‍රහාර තීව්‍ර වෙමින් පවතී. මෙය ආරම්භ වූයේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ආන්ඩුව යටතේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව විසින් ඉල්ලා සිටින 'විවෘත වෙලඳපොල ආර්ථික ප්‍රතිපත්ති' ක්‍රියාත්මක කිරීම යටතේ ය.

ජයවර්ධනගේ අධ්‍යාපන ඇමතිවරයා වූ වික්‍රමසිංහ, 1981 ඔහුගේ “අධ්‍යාපනය පිලිබඳ ධවල පත්‍රිකාව” මගින් රාජ්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරනය කිරීමේ සැලසුම් ආරම්භ කලේය. එය කම්කරු පන්තිය විසින් දශක ගනනාවක් තිස්සේ අරගලයෙන් දිනාගත් අයිතියක් වූ නිදහස් රාජ්‍ය අධ්‍යාපනය ක්‍රමානුකූලව විනාශ කිරීම සඳහා වූ සැලසුමක් විය.

කම්කරුවන්ගේ, ගුරුවරුන්ගේ සහ ශිෂ්‍යයන්ගේ මහජන විරෝධය, වික්‍රමසිංහගේ ධවල පත්‍රිකා යෝජනා සියල්ල ක්‍රියාවට නැංවීම වැලැක්වූ නමුත්, අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු ඊට ඇතුලත් බොහෝ දේ ක්‍රියාත්මක කර ඇත. ශ්‍රී ලංකාව තුල හතු පිපෙන්නාක් මෙන් දෙස් විදෙස් පෞද්ගලික පාසල්, විදේශීය විශ්වවිද්‍යාලවලට අනුබද්ධ පෞද්ගලික විශ්වවිද්‍යාල සහ රාජ්‍ය විශ්වවිද්‍යාල තුල ගාස්තු ගෙවන පාඨමාලා හඳුන්වා දීම් දක්නට ලැබේ.

කොලඹ ආන්ඩු රාජ්‍ය අධ්‍යාපනයට වෙන් කරන අරමුදල්, වාර්ෂික අයවැයෙන් 1981 දී දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 සිට 2010 දී සියයට 2.1 දක්වා විශාල ලෙස කපා හැර ඇත. ඊලඟ දශකය තුල මෙම ප්‍රතිපාදන දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.2 දක්වා අඩු වී තිබේ.

ගුරු වෘත්තීය සමිති නිලධරයන් ද මෙම අඛන්ඩ ප්‍රහාරවලට වගකිව යුතුය. ඔවුන් නැවත නැවතත් අනුප්‍රාප්තික ආන්ඩුවල අර්බුදය පිලිගනිමින් රාජ්‍ය අධ්‍යාපනය ආරක්ෂා කිරීම අතහැර දමා තිබේ.

2022 දී ලංකා ගුරු සංගමය (ලංගුස), ජනතා විමුක්ති පෙරමුන විසින් පාලනය කරනු ලබන ලංකා ගුරු සේවා සංගමය (ලංගුසේස) සහ ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ එක්සත් ගුරු සේවා සංගම්වල නායකයෝ, ගුරුවරුන්ගේ වැටුප් ඉල්ලීම් සම්බන්ධයෙන් එවකට අගමැති මහින්ද රාජපක්ෂ සමඟ ඉහල මට්ටමේ සාකච්ඡා පැවැත්වූහ.

කෝවිඩ්-19 වසංගතය මගින් රටේ ආර්ථික අර්බුදය ගැඹුරු වී ඇති නිසා, ආන්ඩුවට මුදල් නොමැති බවට රාජපක්ෂගේ ප්‍රකාශය පිලිගනිමින් ඔවුහු උද්ධමනයට වඩා අඩු වැටුප් වැඩිවීමකට එකඟ වූහ. ජාමූඅ කප්පාදු පැනවීම හරහා ආර්ථිකය යථා තත්ත්වයට පත් වන තෙක් බලා සිටිය යුතු බව ගුරුවරුන්ට පවසමින් වික්‍රමසිංහ දැන් එම ප්‍රකාශයම කරයි.

ආන්ඩුව විසින් ගුරු මාරු මන්‌ඩලය විසුරුවා හැරීමට එරෙහිව, 2023 මාර්තු 22 වැනි දින කොලඹ දී ශ්‍රී ලංකාවේ ගුරුවරු විරෝධතාවයක නිරත වෙමින්. [ඡායාරූප: ලෝසවෙඅ]

ලංගුස, ලංගුසේස නායකයින් සහ අනෙකුත් අය අවධාරනය කරන්නේ ආන්ඩුවට පීඩනය යෙදීමෙන් ගුරුවරුන්ගේ ඉල්ලීම් ලබාගත හැකි බවයි. එහෙත් වික්‍රමසිංහ ජනාධිපති වූ දා සිට, කම්කරු පන්තියේ අනෙකුත් කොටස් ද ඇතුලුව, මෙම ව්‍යාජ ප්‍රකාශය මත කොපමන නම් විරෝධතා සංවිධානය කර තිබේද? ඒ සියලු ව්‍යායාමයන් නිෂ්ඵල ය.

රාජ්‍ය අංශයේ අනෙකුත් වෘත්තීය සමිති සමග එක්වෙමින් ගුරු සංගම් පෙරමුන අද ලෙඩ නිවාඩු විරෝධතාවක් කැඳවා නැවත වරක් ආන්ඩුවට “පීඩනය” දැමීමට යයි. වෘත්තීය සමිති නිලධරයන් ව්‍යාජ ලෙස අවධාරනය කරන්නේ, ඉදිරි ජනාධිපතිවරනය සහ අනෙකුත් ඡන්ද මගින් තම ඉල්ලීම් ලබා දෙන ලෙස ආන්ඩුවට බල කරන බවයි.

ලංගුස සහ ලංගුසේස නායකයෝ, “අපි එවැනි තර්ජනවලට බය වෙන්නෙ නෑ” යි ගිගුරුම් දුන්හ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සියලු ඉල්ලීම් ක්‍රියාත්මක කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින ආන්ඩුව මෙම හිස් රඟපෑම්වලින් නතර නොවෙනු ඇත.

ගුරුවරුන්ට, සිසුන්ට සහ දෙමාපියන්ට වැඩි වැටුප් සඳහා ඔවුන්ගේ යුක්තියුක්ත ඉල්ලීම වෙනුවෙන් සටන් කිරීමට, දෙමාපියන් මත ආර්ථික බර අවසන් කිරීමට සහ නිදහස් රාජ්‍ය අධ්‍යාපනය ආරක්ෂා කිරීමට සහ වැඩිදියුනු කිරීමට සැබෑ වැඩපිලිවෙලක් අවශ්‍ය වේ.

ගුරු, සිසු, දෙමාපිය ක්‍රියාකාරී කමිටුව (TPSAC) අවධාරනය කරන්නේ, මෙම ඉල්ලීම් සඳහා අරගලය ධනේශ්වර ගැති සංවිධාන වන වෘත්තීය සමිති වලට අත හැරියහොත් එය ඉදිරියට ගෙන යා නොහැකි බවයි. අතීත හා වර්තමාන අරගලවලින් එලැඹිය යුතු අත්‍යවශ්‍ය දේශපාලන පාඩම මෙයයි.

එසේම නිදහස් මහජන අධ්‍යාපනය සහ සියලුම අධ්‍යාපන සේවකයන්ගේ වැටුප් ආරක්ෂා කිරීමට සහ වැඩිදියුනු කිරීමට රුපියල් බිලියන ගනනින් මුදල් වෙන් කර ගැනීම සඳහා මෙම අරගලය ඉදිරියට ගෙන යාමට ගුරුවරුන්ගේ, දෙමාපියන්ගේ සහ සිසුන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු.

මෙය වර්ධනය කල හැක්කේ ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට එරෙහි පුලුල් දේශපාලන අරගලයක කොටසක් ලෙස පමනි. විදේශ නය ආපසු ගෙවීම සහ ලාභ පද්ධතිය ඉහල නැංවීම ඇතුලු ආන්ඩුවේ ජාමූඅ විධානයන් පරාජය කිරීම සඳහා කම්කරු පන්තියේ දේශපාලන මහා වැඩ වර්ජනයක් සඳහා වන කැඳවීමට අපි සහාය දක්වන්නේ එබැවිනි.

ගෝලීය ධනේශ්වර අර්බුදයේ කොටසක් වන ඔබගේ අර්බුදයට අප වගකියන්නේ නැති බවත්, සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලය භාර ගන්නා බවත් ගුරුවරුන් සහ සියලුම වැඩකරන ජනතාව ධනපති පංතියට පැවසිය යුතුය.

මෙම ඉදිරිදර්ශනය සාකච්ඡා කිරීම සඳහා, ගුරු, සිසු, දෙමාපිය ක්‍රියාකාරී කමිටුව ජුලි 11 වන දින ප.ව. 7 ට ඔන්ලයින් රැස්වීමක් පවත්වයි. එයට සහභාගී වන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමු; රැස්වීමට සහභාගී වීමට කරුනාකර මෙහි ලියාපදිංචි වන්න.

Loading