ජවිපෙ/ජාජබ ආන්ඩුව රැකියා දහස් ගනනක් අහෝසි කරමින් රාජ්‍ය ව්‍යවසායයන් පුද්ගලීකරනය කිරීම කඩිනම් කරයි

[මෙය Sri Lankan government expedites privatisation of state-owned enterprises, axing thousands of jobs මැයෙන් 2025 මාර්තු 18දා පල කල ලිපියේ පරිවර්තනයයි.]

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානයන් පරිදි, රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහකරනය වේගවත් කරනු වස්, රාජ්‍ය පරිපාලන සමාගමක් පිහිටුවීමට, ජනතා විමුක්ති පෙරමුනේ/ජාතික ජන බලවේගයේ (ජවිපෙ/ජාජබ) ආන්ඩුව තීන්දු කර ඇත.

පෞද්ගලීකරනයට එරෙහිව ලංකා විදුලිබල මන්ඩල සේවකයින් 2024 ජනවාරි 4 වැනි දින කොලඹදී විරෝධතාවයක නිරත වේ.

ලංකා වානිජ මන්ඩලය මෑත දී සංවිධානය කල ආර්ථික සංසදයක දී, ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම පිලිවෙත නිවේදනය කලේ ය. පරිපාලන සමාගම කොලඹ කොටස් වෙලඳපොලේ ලැයිස්තුගත කරන බව ඔහු තහවුරු කලේ ය.

දේශීය හා විදේශීය පුද්ගලික ආයෝජකයන්ට දොර විවෘත කරමින්, මැලේසියාව හා සිංගප්පූරුව වැනි රටවල ස්ථාපිත කරනු ලැබූ මාදිලිවලට, 'සුපිරි-පරිපාලන සමාගම' සමාන වනු ඇතැයි ඔහු කීවේ ය. දිසානායකගේ අයවැය පෙබරවාරි 17දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව එය නිවේදනය කෙරුන අතර එම සමාගම ජාමූඅ නියෝගයන් ක්‍රියාත්ම කිරීම මත පදනම් කෙරෙයි.

රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහකරනය කර, ඒවා රාජ්‍ය භාන්ඩාගාරයට 'මූල්‍යමය බරක් වීම' වලකන ලෙස ජාමූඅ ශ්‍රී ලංකාවේ ආන්ඩුවට යලි යලිත් අවධාරනය කර ඇත. ජාමූඅ 2023 සැප්තැම්බරයේ දී නිකුත් කල ශ්‍රී ලංකාව: තාක්ෂනික සහකාරක වාර්තා-ආන්ඩුකරනය නම් වාර්තාව, රාජ්‍ය පරිපාලක සමාගමක් ස්ථාපිත කරන ලෙස දැඩිව නිර්දේශ කලේ ය. යහපත් සංගත ආන්ඩුකරනයේ මූලධර්ම සමග ගැලපෙන පරිදි හා වෙලඳපොල තරඟකරුවන් සමග තරඟ කල හැකි පරිදි, සියලු වානිජමය රාජ්‍ය ව්‍යවසායන් සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන ලෙස ද එය ඉල්ලා සිටියේ ය.

රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහකරනය කිරීම සඳහා, මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීම, පැවති වික්‍රමසිංහ ආන්ඩුව විසින් ඒ වනවිටත් ආරම්භ කෙරී තිබුනි.

වික්‍රමසිංහ ආන්ඩුව ජාමූඅ සමග එලඹුනු එකඟතාව යලි සාකච්ඡා කරන බවට, ගිය වසරේ මැතිවරන උද්ඝෝෂනවල දී, ජනාධිපති දිසානායක හා ජවිපෙ/ජාජබ කුහක ලෙස පොරොන්දු වූ හ. වඩාත් කුරිරු විධානයන් සමහරක් වෙනස් කරන බව කියාපෑ ජවිපෙ/ජාජබ ආන්ඩුව, දැන් ජාමූඅ කප්පාදු විධානයන් මුලුමනින් ක්‍රියාවට දමමින් සිටී.

රාජ්‍ය පරිපාලන සමාගමක් ස්ථාපිත කිරීම හා රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහකරනය, මෙම ක්‍රියාදාමයෙහි කොටසක් වන අතර එය පුද්ගලීකරනය දෙසට තබන පලමු පියවර යි.

'අපේ පලමු ප්‍රයත්නය වන්නේ, මෙම ආයතන ආන්ඩුවේ පාලනය යටතේ තබා ගනිමින්, ඒවා රටේ සංවර්ධනයට ප්‍රතිපදාන කරන ඒවා බවට පත්කිරීම යි. එම ප්‍රයත්නය අසාර්ථක වන්නේ නම් පමනක්, අපි ඒවා පුද්ගලීකරනය කිරීම ගැන සලකා බලනවා' යි, දෙසැම්බර් 31දා පැවති මාධ්‍ය හමුවක දී, කැබිනට් ප්‍රකාශක හා සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස කීවේ ය.

සියලු රාජ්‍ය ව්‍යවසායන් විමර්ශනය කර, ඒවා භාන්ඩාගාරයට බරක් නො වන පරිදි මැනවින් කලමනාකරනය කරන්නේ හා කාර්යක්ෂමතාව වැඩි කරන්නේ කෙසේ ද යන්න තීරනය කිරීමට, ආන්ඩුව කමිටුවක් පත් කර ඇති බව, කම්කරු ඇමති හා නියෝජ්‍ය ආර්ථික සංවර්ධන ඇමති අනිල් ජයන්ත මාර්තු 1දා සඳහන් කලේ ය.

රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහකරනය හා පුද්ගලීකරනය, මහා පරිමාන රැකියා අහිමි වීම්, කම්කරුවන්ගේ වැටුප් හා ප්‍රතිලාභ පහල දැමීම් මෙන් ම ඒවා “ලාභදායී“ හා “භාන්ඩාගාරයට බරක් නො වන බවට පත් කිරීමේ දී විදුලිබලය හා ජලය වැනි උපයෝගීතාවන්ගේ මිල ඉහල යාමට තුඩු දෙනු ඇත.

එහි ආර්ථික ප්‍රතිසංස්කරන වැඩපිලිවෙල පිලිබඳ තෙවන විමර්ශනයෙන් හා එය ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟව ඇති ඩොලර් බිලියන 3 ක ඇප නයේ හතරවන වාරිකය නිදහස් කිරීමෙන් පසු ව, රාජ්‍ය ව්‍යවසායන් 430 ප්‍රතිව්‍යුහකරනය හෝ පුද්ගලීකරනය කිරීමේ අවශ්‍යතාව ජාමූඅ විසින් වැඩිදුරත් අවධාරනය කෙරුනි.

මෙම ක්‍රියාදාමයෙහි කොටසක් ලෙස, රජයට අයත් ලංකා විදුලිබල මන්ඩලය (ලංවිම) ප්‍රතිව්‍යුහකරනය කරනු වස්, වික්‍රමසිංහ ආන්ඩුව 2024 දී ඉදිරිපත් කල විදුලිබල ප්‍රතිසංස්කරන පනත සංශෝධනය කිරීමට, ආන්ඩුව තීරනය කර ඇත.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විදුලබල අංශයේ ප්‍රතිසංස්කරන ක්‍රියාදාම කමිටුව විසින් යෝජිත පරිදි (පීඑස්ආර්පීසී),කලින් යෝජනා කර තිබුනු සමාගම් 12 වෙනුවට ලංවිම කොටස්වල සම්පුර්න අයිතිය හිමිකරගත් හා එය මුළුමනින් ම කැබලිකරන විදුලිබල උත්පාදනය , සම්ප්‍රේෂනය හා බෙදා හැරීම සඳහා වන සමාගම් තුනක් නිර්මානය කරනු ඇත. ආසියානු සංවර්ධන බැංකුව (ආසබැ) හා ලෝක බැංකුව (ලෝබැ) වැනි සංවර්ධන මූල්‍ය ආයතනවල උපදෙස් ලබා ගන්නා ලෙස ද මුදල් අමාත්‍යාංශය බලශක්ති අමාත්‍යාංශයට උපදෙස් දී ඇත.

බලශක්ති ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරන හා මූල්‍ය ස්ථාවරත්ව වැඩපිලිවෙල හරහා, ලංකාවේ ප්‍රතිසංස්කරන න්‍යාය පත්‍රයට ආසබැ හා ලෝබැ සහයෝගය දෙමින් සිටින බව, මුදල් අමාත්‍යාංශයේ ලේඛනයක් උපුටා දැක්වූ මාර්තු 9 ද සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පල කල වාර්තාවක් හෙලිදරවු කලේ ය. ලංවිම හා ලංකා විදුලි සමාගම (ලෙකෝ) ප්‍රතිව්‍යුහකරනය මත මෙය කේන්ද්‍රගත වන්නේ, විදුලිබල මිල ප්‍රතිසංස්කරන හා පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය දිරිමත් කිරීම ක්‍රියාවට දමමිනි.

පුවත්පත විසින් උපුටා දැක්වුනු මුදල් අමාත්‍යාංශ ලිපියට අනුව 'අනාගත අයවැය සහයෝගය සඳහා තීරනාත්මක එකඟතා ක්‍රියාවන් පිලිපැදීම සහිතව (ප්‍රතිසංස්කරන ක්‍රියාවලියේ) ප්‍රගතිය ලෝක බංකුව හා ආසබැ සමීප ව අධීක්ෂනය කරනු ඇත. ... එම නිසා, ඉහතින් සඳහන් කල ආයතන ඇතුලු වඩා පුළුල් පාර්ශවකරු උපදෙස් ලබා ගැනීම නිර්දේශ කරනු ලැබ ඇත.'

වෘත්තීය සමිති මෙම පියවරයන්ට පිටුබලය දී ඇත. පසු ගිය වසරේ, ලංවිම සේවකයින් ද ඇතුලු කම්කරුවන් දසදහස් ගනනක් ප්‍රතිව්‍යුහකරනයට හා පුද්ගලීකරනයට එරෙහි ව විරෝධය දැක්වූ හ. කොලඹ ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතා දක්වමින්, ජනවාරි 3 හා 5 අතර ලංවිම කම්කරුවන් දහස් ගනනක් වැඩ නැවැත්වූ හ.

විරෝධතාවට සහභාගි වීම නිසා ලංවිම සේවකයින් 62 දෙනෙකුගේ වැඩ තහනම් කරමින්, වික්‍රමසිංහ ආන්ඩුව එයට ප්‍රතිචාර දැක්වී ය. එහෙත්, ලංවිම වෘත්තීය සමිති දඩයමට ලක් වූ සේවකයින් ආරක්ෂා කිරීමට අනෙකුත් කම්කරුවන් බලමුලු ගැන්වූයේ නැත. ඒ වෙනුවට, ජවිපෙ පාලනය කරන ලංකා විදුලි සේවක සංගමය ප්‍රධානත්වය දරන ලංවිම වෘත්තීය සමිති සන්ධානයේ නායකයෝ, ලංවිම ශ්‍රම බලකාය 5,000කින් අඩු කිරීම ඇතුලු ප්‍රතිව්‍යුහකරන පියවරයන් ක්‍රියාවට දැමීම ගැන එවකට විදුලිබල හා බලශක්ති ඇමති වූ කාන්චන විජේසේකර සමග වට මේස සාකච්ඡාවන්ට සහභාගිවුහ.

ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට ඒමෙන් පසු, වැඩ තහනම් කරන ලද කම්කරුවන් දෙසැම්බරයේ දී යලි සේවයේ පිහිට වනු ලැබුව ද පුද්ගලීකරනය පිලිබඳ ප්‍රශ්නය ලංවිම හා අනෙකුත් කම්කරුවන් ඉදිරියේ නො විසඳී පවතී.

වික්‍රමසිංහ ආන්ඩුවට පීඩනය යොදා පුද්ගලලීකරනය නතර කල හැකි යයි කියාපාමින්, වෘත්තීය සමිති එයට එරෙහි විරෝධතා සීමා කල හ. ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට මුලුමනින් කැප වී සිටින දක්ෂිනාංශික සමගි ජන බලවේගය හා ජවිපෙ ඇතුලු පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂ දෙසට ඔව්හු කම්කරුවන් තල්ලු කල හ.

පසුගිය වසරේ ජූලි මාසයේ දී, ජවිපෙ ජාමූඅ කප්පාදු පියවරයන්ට එරෙහි සියලු වෘත්තීය සමිති විරෝධතා ම පාහේ යටපත් කලේ, බලයට පැමිනි පසු මෙම පිලිවෙත් ක්‍රියාවට දැමීමට තමන් සූදානම් බවට පැහැදිලි සංඥාවක් දෙමිනි. ජාමූඅ කප්පාදුවට එරෙහි කිසිදු කාර්මික ක්‍රියාවක යෙදීම නවත්වමින් අනෙකුත් වෘත්තීය සමිති එය අනුගමනය කල හ. දැන්, ලංවිම කොටස් කර පුද්ගලීකරනය කිරීමේ ජවිපෙ/ජාජබ ආන්ඩුවෙහි ප්‍රයත්නයන්ට, ඒවා අඛන්ඩ ව සහයෝගය දෙති.

මෙම ධනපති-ගැති වෘත්තීය සමිති උගුල තුල සිර වී සිටිනතාක් දුරට, කම්කරු පන්තියට ජාමූඅ ට විරුද්ධ ව සටන් කිරීම හා තම අයිතීන් ආරක්ෂා කරගැනීම කල නො හැක. සියලු ධනපති පක්ෂවලින් ද ඒවායේ වෘත්තීය සමිති නිලධරයන්ගෙන් ද ස්වාධීන ව කම්කරුවන් සංවිධානය වීම අවශ්‍ය ය. සෑම වැඩාපොලක ම ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත්කර ගන්නා කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතු ය. ජවිපෙ/ජාජබ ආන්ඩුවටත්, ජාමූඅ කප්පාදු පියවරවලටත් එරෙහි ඒකාබද්ධ ව්‍යාපාරයක්, මෙම ක්‍රියාකාරී කමිටු හරහා කම්කරු පන්තියට සංවිධානය කල හැක.

සංගත ලාභ තරකිරීම ඉලක්ක කරගන්නා රැකියා විනාශයට, වැටුප් කප්පාදුවලට හා ඉහල දමන වැඩබරට එරෙහි ව, සියලු රාජ්‍ය ව්‍යවසායන් කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට ගෙන එන ලෙස කම්කරුවන් ඉල්ලා සිටිය යුතු ය.

ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය, හුදෙක් ජවිපෙ/ජාජබ ආන්ඩුවට හා දේශීය ධනපති පන්තියට පමනක් නො ව, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයට ද එරෙහි දේශපාලන හා කාර්මික අරගලයක නිරත ව සිටී. ජාත්‍යන්තර කම්කරු පන්තියේ වැඩෙන ගෝලීය ව්‍යාපාරයක කොටසක් වන මෙම අරගලය, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයේ සහයෝගයෙන් සංවිධානය කල යුතු ය. සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම් වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන සටන සමග එය සම්බන්ධ කල යුතු ය.