පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ප්‍රධානියා විශ්වවිද්‍යාලය තුල සසජාතශි රැස්වීම තහනම් කිරීම හෙලා දකියි

“ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේ ද?“ යන මාතෘකාව යටතේ, ජනවාරි 03 දා විශ්ව විද්‍යාලයේ දී පැවැත්වීමට නියමිත ව තිබූ ප්‍රසිද්ධ රැස්වීම තහනම් කිරීම පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය උපුල් අබේරත්න සමඟ සාකච්ඡා කලේය. ඔහු දැක් වූ අදහස්, මෙම රැස්වීම තහනම් කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් ක්‍රියාකල සැබෑ හේතුන් ගැනීමට උදවු වෙයි.

විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමයේ (පීඑස්එස්ඒ) ආරාධනයකට අනුව, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) විසින් මෙම රැස්වීම දේශනයක ස්වරූපයෙන් සංවිධානය කරන ලදී. මෙම රැස්වීම දේශපාලන විද්‍යා අංශයේ ප්‍රධානියා විසින් අනුමත කර තිබිනි.

මහාචාර්ය උපුල් අබේරත්න

කෙසේ වෙතත්, ජනවාරි 3 වන දා උදෑසන, රැස්වීමට පැය කිහිපයක් තිබිය දී, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති රංජිත් පල්ලේගම දේශපාලන විද්‍යා අංශ ප්‍රධානි මහාචාර්ය උපුල් අබේරත්නට දැනුම් දුන්නේ, රැස්වීමේ මාතෘකාව “ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට අභියෝග කරන බවක් නොපෙනෙන පරිදි“ වෙනස් කරන ලෙසත්, “එසේ නොවුවහොත්, ඉහත රැස්වීම වහාම අත්හිටුවීමට සිදුවන බව සැලකිල්ලට ගන්නා” ලෙසත් ය.

මෙම තහනම විශ්වවිද්‍යාල සිසුන්ගේ සහ ශාස්ත්‍රාලිකයන්ගේ පමනක් නොව සමස්තයක් ලෙස වැඩ කරන ජනතාවගේ ද අදහස් ප්‍රකාශ කිරීමේ සහ සංවිධානය වීමේ නිදහස පිලිබඳ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට එල්ල කෙරුනු සෘජු ප්‍රහාරයකි.

මෙම රැස්වීම් තහනමට සිසුන් සහ ශාස්ත්‍රාලිකයන් අතරින් ක්ෂනික ව ම ඉමහත් විරෝධයක් මතු කෙරිනි. විශ්ව විද්‍යාලය පාලනාධිකාරයේ ක්‍රියාමාර්ගය හෙලා දකිමින් ඔවූහු ප්‍රකාශ නිකුත් කල අතර, ශ්‍රී ලංකාවේ සන්ඩේ ටයිම්ස් සහ ද අයිලන්ඩ් වැනි ප්‍රධාන පුවත්පත්ද මේ තහනම ට එරෙහි ලිපි සහ ප්‍රවෘත්ති ප්‍රකාශයට පත් කරන ලදී.

අධ්‍යාපන ඇමති ධුරය ද දරන, අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ කාර්යාලයෙන් රැස්වීමේ අරමුන කුමක්ද යන්න විමසූ බව සසජාතශිට විශ්වාසදායක තොරතුරු ලැබී තිබුනි. රැස්වීම අවලංගු කිරීමට ඇයගේ පැත්තෙන් කිසිදු මැදිහත්වීමක් සිදු නොවූ බව ඇය ප්‍රකාශ කලා ය. කෙසේ වෙතත්, ජාමූ අරමුදලේ කප්පාදු පියවරයන්ට සම්පූර්නයෙන් ම කැප වී සිටිමින් ඒවා රුදුරු ලෙස ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, වැඩ කරන ජනතාව සහ සිසුන් අතර වැඩෙන කෝපය ගැන තැතිගෙන සිටින බව නම් සත්‍යයකි.

සසජාතශි දේශනය තහනම් කිරීමට එරෙහිවෙමින් මහාචාර්ය අබේරත්නගේ දක්වා ඇති අදහස්, ප්‍රකාශනයේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ බලගතු ආස්ථානයක් නියෝජනය කරයි.

***

මහාචාර්ය උපුල් අබේරත්න:

හුම්බෝල්ට් විශ්වවිද්‍යාල වැනි ජාත්‍යන්තර විශ්වවිද්‍යාල වලින් ආපු සම්ප්‍රදායක් විශ්වවිද්‍යාල තුල තියෙනවා. ඒ සම්ප්‍රදායේ තියෙන එක දෙයක් තමයි විවෘත සංවාද කිරීම. එහෙම අවකාශයක් තමයි විශ්වවිද්‍යාලයක් කියලා කියන්නේ. ඒ විශ්වවිද්‍යාලය ඕනෑම කන්ඩායමකට ඇවිල්ලා තර්ක විතර්ක කරන්න විවෘත තැනක් වෙන්න ඕනේ. පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඒ සම්ප්‍රදාය සෑහෙන කාලයක් තිබ්බා. ඒ තිබිච්ච සම්ප්‍රදායට එල්ල වුනු බරපතල ප්‍රහාරයක් විදිහට තමයි මම දකින්නේ “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රහාර පරාජය කරන්නේ කෙසේද?” කියන සාකච්ඡාව තහනම් කිරීම.

විශේෂයෙන්ම දේශපාලන විද්‍යාව කියන විෂයයේ තියෙනවා අවධාරනයන් තුනක්. එක අවධාරනයක් තමයි ප්‍රතිමානීය අවධාරනය (normative focus). ප්‍රතිමානීය අවධාරනයකින් අපි බලාපොරොත්තු වෙනවා වඩා හොඳ ලෝකයක් හදන්නේ කොහොමද කියන එක. මම හිතන්නේ ඒක සිහින දකින්න තියෙන අයිතිය පිලිගැනීමක්. දේශපාලන විද්‍යාව කියන්නේ එහෙම ප්‍රතිමානීය විද්‍යාවක්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිලිවෙල ගැන කතා කිරීම දේශපාලන විද්‍යා ශිෂ්‍ය කන්ඩායම්වල ශුද්ධ අයිතියක්. ආචාර්යවරුන්ගේ ශුද්ධ අයිතියක්. විශ්ව විද්‍යාල ප්‍රජාවගේ ශුද්ධ අයිතියක්. මේ සිද්ධිය සම්බන්ධයෙන් මම එක කාරනයක් දන්නවා. ඒ තමයි, කලා පීඨාධිපතිවරයා දිගින් දිගටම බලපෑමකට නතුවෙලා හිටියා කියන එක. ඒවගේම ඔහුගෙන් ලැබිච්ච තොරතුරුත් එක්ක උපකුලපති කාර්යාලය යම් බලපෑමකට නතුවෙලා හිටියා කියන එකත් මම දන්නවා. ඒක මම කියන්නේ දේශපාලන බලපෑමක්.

උපකුලපතිවරයාටවත්. පීඨාධිපතිවරයාටවත්, මටවත් ඕනෑකමක් තිබුනේ නෑ මේක නතර කරන්න. ඔය සිද්ධිය උන දවසේ (ජනවාරි 03) පීඨාධිපතිවරයා මට හැකි ඉක්මනින් ඔහුගේ කාර්යාලයට එන්න කිව්වා. ඉන්පසු මෙම වැඩපිලිවෙලේ ඔබලා ප්‍රසිද්ධ කරල තිබුනු මාතෘකාව වෙනස් කරන්න කියලා නියෝජ්‍ය උපකුලපති විසින් දුරකතනයෙන් මගෙන් ඉල්ලීමක් කරා. මම කිව්වා 'සර් මට ඒක කරන්න බෑ. දැනටමත් මේක ප්‍රචාරය කරලා ඉවරයි. ඒක මට කරන්න බෑ මට නතර කරන්නත් බෑ. ඔබට අවශ්‍ය නම් මෙය නතර කරන්න මට ලිඛිත නියෝගයක් දෙන්න.' ඒ ලිඛිත නියෝගය ප්‍රකාරව තමයි මම ඔබට කිව්වේ මෙහෙම එකක් තියෙනවා මේක නතර කරන්න ඕනේ කියල.

මම එම ලිඛිත නියෝගය ප්‍රතික්ෂේප නොකර හිටියේ, දේශපාලන විද්‍යාර්ථියෙක් විදිහට මේ සමාජය යමින් ඉන්නේ ඉතාම නරක තැනකට කියල දන්න නිසා.

ඇත්තටම විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වය, අධ්‍යාපනය අයිතිය ගැන කැක්කුමක් තිබෙන ආන්ඩුවක් නම් බලේ ඉන්නේ මේක නතර වුනේ කොහොමද කියලා වහාම පරීක්ෂනයක් කරන්න ඕන කොහෙන්ද මේ බලපෑම් ආවේ කියල.

මට දුරකථනයෙන් කතා කරපු නියෝජ්‍ය උපකුලපතිවරයා පැහැදිලිව කිව්වා මේක කොලඹින් ආපු බලපෑමක් කියල. පීඨාධිපතිතුමා තමයි මෙම කෝල් එක අරගෙන දුන්නේ. එතකොට මම කියන්නේ මේක හොඳ වර්ධනයක් නෙවෙයි. ශිෂ්‍ය සංගමය ලියාපදිංචි වෙලා නෑ කියලා කවුරු හරි කියනවනම් ඒක බොරුවක්.

මේකට, විශ්වවිද්‍යාල නීතිමය පටිපාටි හරස් කරන එක වැරදියි. නීතිය කියන දේ තියෙන්නේ මිනිස්සුන්ව පාගන්න මර්දනය කරන්නම් ඒ නීතිය ප්‍රශ්න කල යුතුයි. මම ඔබලාගේ වැඩපිලිවෙල වෙනුවෙන් මම අදත් පෙනී සිටිනවා මම ඉන්නේ අයිඑම්එෆ් විරෝධී ස්ථාවරයේ. මෙය මං පෞද්ගලිකව සලකන්නේ මගේ භාෂනීය අයිතිය උදුරා ගැනීමක් ලෙස.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පැවැත්වීමට නියමිත දේශනය පිලිබඳව ජනවාරි 2 වන දින සිසුන් දැනුවත් කරමින් සිටින සසජාතශි උද්ඝෝෂකයෙක්

මා දන්නා ඉතිහාසයේ මේ තරම් ප්‍රමානයට බලපෑමක් මට මතක නෑ. 1992 ඉඳලා අවුරුදු 32ක් මම විශ්ව විද්‍යාලයේ හිටියා… එය දැන් සිදුවෙනවා නම්, ඒක බලවත් කනස්සල්ලට හේතුවක්. විශ්වවිද්‍යාල විවෘත සංවාදයක යෙදෙන අවකාශයක් ලෙස පැවතිය යුතුයි.

මේකෙ අපූර්වත්වය තියෙන්නේ අධ්‍යාපනයට ජාතික ආදායමෙන් සියයට 6 වෙන් කරන්න ඕනි කියලා අපිත් එක්ක එකට පා ගමන් ගියපු අග්‍රාමාත්‍යවරියක් සහ විෂය භාර අමාත්‍යවරියක් සිටියදී මෙවැනි තත්ත්වයක් වීම ගැන මම පුදුම වෙනවා මෙම සිද්ධිය මෙච්චර මහජන අවකාශය තුල සාකච්ඡාවට පත්වී තියෙද්දී එතුමිය නිහඬ ව ඉන්නේ ඇයි කියලා මේක ගැන මම පුදුම වෙනවා .

අපේ ඊමේල් පනිවිඩය ඔබලාට එව්වට පස්සේ මම වහා ම උපකුලපතිවරයාට ඊමේල් පනිවිඩයක් දැම්මා, ශාස්ත්‍රාලිකයෙක් විදියට, විශ්ව විද්‍යාල විද්‍යාර්ථියෙක් විදිහට හම්බවෙන සෑම සභාවක ම මෙම ප්‍රශ්නය මතු කරනවා කියලා. ඇත්තට ම ඊට එරෙහි වන්න බැරි තරමේ බලපෑමක් අප වෙත එල්ල වෙමින් පවතින බවයි පේන්න තියෙන්නෙ. තනි තනිව පුද්ගලයන් විදිහට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විදිහට මුහුන දීමට නොහැකි සියුම් නොපෙනෙන බලපෑමක් තියෙනවා.

මම ඔබට තව දෙයක් කියන්නම්. විශ්වවිද්‍යාලයේ බුද්ධිමත්යැයි කියාගන්නා ව්‍යාජ රැඩිකල්) කන්ඩායමක්, පේරාදෙනි විශ්ව විද්‍යාලය එහෙම රැස්වීම් තහනම් කරන්නේ කොහොමද, අපි කොලඹ විශ්වවිද්‍යාලෙ එකක් සංවිධානය කරනවා කියලා සමාජ මාධ්‍යවල දැම්ම. මම ඒ පනිවිඩ වලටත් ප්‍රතිචාර දැක්වූවා, එදාට මමත් ඔය සාකච්ඡාවට ඇවිල්ලා මගේ අදහස් කියනවා කියලා. නමුත් තව වෙනතුරු එහෙම සාකච්ඡාවක් පවත්වලා නෑ. මේකෙන් මට පේන දේ තමයි මෙම සිද්ධිය සාධාරනීකරනය කිරීම සඳහා වර්තමාන ආන්ඩුවට යම්හිතවත් ශාස්ත්‍රාලිකයන් කන්ඩායමක් සිටින බව.

ශිෂ්‍ය සංගමයක් පිහිටුවා ගැනීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය අනුගමනය කරන පටිපාටියට මම විරුද්ධයි. එම පටිපාටියට අනුව ශිෂ්‍ය සංගමය ලියාපදිංචි කර ගැනීමට එම සංගමයේ ජ්‍යෙෂ්ඨ භාන්ඩාගාරික ලෙස ආචාර්යවරයෙක් ඉදිරිපත්වීම අනිවාර්යයි. එය ඉටුකර ගැනීමට නොහැකි ශිෂ්‍යයන්ට භාශනයේ නිදහස අහිමි කරනවද?

භාෂනයේ නිදහසට එරෙහිව මේ පටිපාටිය විතරක් නොවෙයි ක්‍රියාත්මක වෙන්නෙ. මම විශ්ව විද්‍යාල ශිෂ්‍ය දේශපාලනය ඉතාමත් සියුම් නිරීක්ෂනයකට භාජනය කරපු කෙනෙක්. මම එම නිරීක්ෂනය රුහුනු විශ්ව විද්‍යාලයේ ඇකඩමික් ශෙෂන් එකක, තවත් මිත්‍රයන් දෙදෙනෙක් සමග ප්‍රසන්ට් කරල තිබෙනවා. ඒ කාලෙ හිටිය අති මහත් ශිෂ්‍ය ප්‍රජාව ජනතා විමුක්ති පෙරමුන නොවෙයි. නමුත් ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනයට සම්බන්ධ වූ තරුනයින් විශ්වවිද්‍යාලයකට පැමිනීමට කලින්ම මේ ශිෂ්‍ය දේශපාලනයට පුහුනු කරනවා. මම පවසන්නේ ඒ කාලේ තිබුනු භාවිතාව.

ඒ අයම තමයි ශිෂ්‍ය සංගමයේ වසර කන්ඩායම් නියෝජිතයින් වෙන්නේ කවුද කියලා තීරනය කරේ. වෙනද නම් මහා ශිෂ්‍ය සංගම් රැස්වීම් පැවත්වීමේ සම්ප්‍රදායක් තිබුනා. දැන් නං එය නැත්තටම නැති තරම්. එසේ මීටින් එකක් ගනිද්දි ශිෂ්‍යයන්ගේ විසම්මුතික අදහස් එලියට පැමිනීම වැලැක්වීමට ජනතා විමුක්ති පෙරමුනට හිතවත් කන්ඩායම් තැන් තැන්වල වාඩි කරලා ලොකු ගාලගෝට්ටියක් හදනවා. බහුතරය නිහඬ කරලා එයාලගේ නියෝජිතයො පත්කරගන්න ක්‍රමයක් තමයි විශ්ව විද්‍යාලයේ තිබුනේ. ඒ යාන්ත්‍රනය දැන් කොහොම ක්‍රියාත්මක වෙනවද කියලා මම සමීපව අධ්‍යයනය කරලා නෑ. මේකෙ විෂම චක්‍රයක් තියෙන්නේ.

ඔබේ සංවිධානය ගැන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් කාලෙ ඉඳල මම දන්නවා. මම ඔබලාගේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය එක නිතර කියවන කෙනෙක් සහ රුහුනු විශ්ව විද්‍යාලයේ වැඩකරන කාලේ මම ඔබලාගේ සහෝදරවරුන්ට විශ්වවිද්‍යාලය තුල වැඩ කිරීමට ප්‍රවේශය හදල දුන්නා. ජයන්ත අමරසිංහ සහ මම තමයි සමහර සහෝදරවරුන්ව ඇතුලට එක්කන් ගියේ. අදත් එහෙමයි මට ඇල්මක් තියෙනවා ඔබේ පක්ෂය කරන වැඩේ පිලිබදව.

සාමාන්‍යයෙන්, කොමියුනිස්ට්වාදය, සමාජවාදය සහ දේශපාලන දෘෂ්ටිවාද දර්ශනයන්, දේශපාලන විද්‍යා විෂය නිර්දේශයේ අත්‍යවශ්‍ය කොටසක්, ඒවා අපි කතා කරනවා. මම ඉන්නේ මාක්ස් කියපු “සකල ලෝකවාසී නිර්ධනයනි එක්වව්” කියන මතයෙ.

මාගේ ඥාන විභාගය පදනම් වෙලා තියෙන්නෙ මාක්ස්වාදය මත. ඒ වගේම සද්භාව විචාරය කරන්නේ මාක්ස්වාදය මත පදනම්ව.

අපි තහනම් කරපු මෙම දේශනය නැවත කරමු.