තැපැල් සේවකයන් ඉල්ලීම් දිනා ගැනීමේ අරගලය ඉදිරියට ගෙන යාමට ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීම අවශ්‍යයි

අද (16දා) මධ්‍යම රාත්‍රියේ සිට 19,000ක් පමන වන තැපැල් සේවකයන් සිය අයිතිවාසිකම් දිනාගැනීම සඳහා පැය 48ක සංකේත වර්ජනයකට එලඹීමට නියමිත ය. වර්ජනය කැඳවා ඇත්තේ, තැපැල් සහ විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය (තැවිනිස) සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුන (ඒතැවෘසපෙ) නියෝජන කරන සංගම් විසිනි.

වර්ජනයේ අරමුන පැහැදිලි කරමින්, මාර්තු 7දා තැවිනිස හා ඒතැවෘසපෙ නියෝජනය කරන සංගම්වල නායකයින්ගේ අත්සනින් තැපැල් ඇමති වෙත යවා සාමාජිකයන් අතර බෙදා හරින ලද ලිපියක සඳහන් කර තිබෙන ගැටලු මෙසේය:

සියලුම ශ්‍රේනිවල පවතින පුරප්පාඩු සඳහා බඳවා ගැනීම්, ස්ථිර කිරීම් හා උසස්වීම් සිදු නොකිරීම; “තැපල් දෙපාර්තමේන්තුවේ නව සේවා ව්‍යවස්ථාව අනුමත කර ක්‍රියාත්මක නොකිරීම; පලමුවන පෙල නිලධාරීන් සඳහා හිමිවිය යුතු වැටුප් වර්ධක 3 ගෙවීමට කටයුතු නොකිරීම; සහ “ඵලදායි සේවා සැපයීමට අවශ්‍ය කරන යටිතල පහසුකම්- පරිඝනක හිය, පාපැදි දීමනාව, නිල ඇඳුම් සහ නිල ඇඳුම් මැසීමේ කුලිය, ප්‍රවාහන අංශයට වාහන නොමැතිකම සහ රියදුරු හිඟය. තැපැල් භාන්ඩ බෙදාහැරීම සඳහා ඇති දෙපාර්තමේන්තු වාහන හා දුම්රිය මෙන්ම ලංකා ගමනාගමන මන්ඩලය යන අංශ ප්‍රශස්ත මට්ටමින් ක්‍රියාත්මක නොවීම ද එහි දක්වා ඇති ගැටලු අතර වේ. දෙපාර්තමේන්තුවේ 7231කට අධික සේවක පුරප්පාඩු ඇති බව ද ප්‍රකාශිතය.

තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු පුරප්පාඩු පුරවන ලෙස බලකරමින් ම.තැ.හු. අසල 14දා තැපැල් සේවකයන් සිදුකල උද්ඝෝෂනය

ලිපිය අවසන් කර ඇත්තේ, මාර්තු 17ට පෙර මේ ගැටලු පිලිබඳව ඇමතිවරයාගෙන් පිලිතුරක් නොලැබුන හොත් විරෝධතා ක්‍රියාමාර්ගයට යන බවයි. එහි සරල තේරුම නම්, ගැටලු විසඳන බවට ඇමතිගෙන් පනිවුඩයක් ලැබෙන්නේනම්--පෙර වතාවල සිදුවූවාක් මෙන්--විරෝධතාව අත්හරින බවට ඇමති වෙත සංඥාව නිකුත්කර ඇති බවයි.

එම ලිපියේ කැපී පෙනෙන කාරනාවක් වන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) බරපතල කප්පාදු පිලිවෙත්වල කොටසක් ලෙස පුද්ගලීකරනය දක්වා යන ප්‍රතිව්‍යුහගතකරනයට නම්කර ඇති රාජ්‍ය ව්‍යවසායන් 400කට අතර තැපැල් දෙපාර්තමේන්තුව ද පවතින බව සාමාජිකත්වයට වසන් කර තිබීම යි.

වර්ජනය කැඳවා ඇත්තේ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන /ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) නියමයන් අනුව 2025 අයවැය ඉදිරිපත් කර ඇති තත්වයක ය.

එම අයවැය, තැපල් සේවකයන් ඇතුලු රාජ්‍ය සේවකයන්ට වැඩිවන ජීවන වියදම හා අලගු තැබීමටවත් නොහැකි සොච්චම් වැටුප් වැඩිකිරීමක් ප්‍රකාශයට පත්කර, ඔවුන්ගේ දීමනා නිර්දය ආකාරයෙන් කපා දමා ඇත. අනෙකුත් කප්පාදු පියවර අතර රජයට අයත් ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමට රාජ්‍ය පරිපාලක සමාගමක් ස්ථාපනය කරනු ඇත. මෙම පියවර මගින් ලක්ෂ පහකට වැඩි රැකියා අතුගා දැමීමට නියමිතව ඇත. එවන් තත්වයක් යටතේ තැපෑලේ පුරප්පාඩු පිරවීම නොව, හොඳටම සිදුවීමට ඉඩ ඇත්තේ, පවතින රැකියා ද අතිමහත් ප්‍රමානයක් කපා හැරීමයි.

ලිපියේ දක්වා ඇති ගැටලු පසුගිය ආන්ඩු විසින් දශක ගනනාවක් පුරා ඉතා දැනුවත්වම නොතකා හැරියේ තැපැල් දෙපාර්තමේන්තුව ඈවර කිරීමේ කොටසක් ලෙසය.

ජනාධිපති ජේආර් ජයවර්ධන ආන්ඩුව යටතේ ඒජන්සි තැපැල් කාර්යාල විවෘත කිරීමට රෙගුලාසි සකස් කල අතර, ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ පාලනය යටතේ, තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුව දෙකඩ කල, 1997 පටන් බලයට පත් සෑම ආන්ඩුවක්ම මෙම දෙපාර්තමේන්තුව පුද්ගලීකරනය කිරීම සඳහා කොන්දේසි සැකසුවේය. සේවකයන්ගේ දැඩි විරුද්ධත්වය නිසාම පමනක් දැනට අත්හිටුවා තිබෙන, තැපැල් දෙපාර්තමේන්තුව භාරකාර මන්ඩලයක් යටතට පත් කර අනතුරුව සංස්ථාවක් බවට පරිවර්තනය කිරීමේ සැලසුම් ද මෙහි කොටසකි.

මෙම ඉල්ලීම් සඳහා කම්කරුවන් සටනට ඒම සපුරාම යුක්ති සහගත ය. එහෙත් පසුගිය වසර 27 පුරාම විවිධ ආකාරයෙන් සිදුකල වර්ජන ක්‍රියාවලින් ධනපති ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලේ වෙනසක් සිදුව ඇත්ද යන්න ගැන කම්කරුවන් අවධානය යොමුකල යුතු වේ.

හොඳම උදාහරනය නම්, පෙර 2018 ජූනි මාසයේ දින 16ක් තිස්සේ උක්ත ප්‍රශ්න ද ඇතුලු තවත් ඉල්ලීම් ගනනාවක් තිස්සේ ඇදී ගිය අඛන්ඩ වර්ජනය යි. එය කෙතරම් අධිෂ්ඨාන සහගත අරගලයක් වූවත්. මෙවර වර්ජනයේ ද මූලික ඉල්ලීමක් වන වැටුප් හා උසස්වීම් සඳහා බලපාන 2006 චක්‍රලේඛය අවලංගු කරන ලෙස කම්කරුවන් කරන ඉල්ලීම ආන්ඩුව ප්‍රතික්ෂේප කලේය.

2018 ජූනි අරගලය තුලදී තම අයිතීන් සඳහා සටන් වැදීමේහිලා තැපල් කම්කරුවන් පෙන්නුම් කල සටන්කාමිත්වයෙන් තැති ගැන්වුනු තැපල් සමිති නායකයින්, මුල සිටම එම අරගලය එක් පැත්තකින් ශ්‍රේනි වෙනස්කම් අවුස්සා තැපල් කම්කරුවන් භේදභින්න කිරීමටත්, අනෙක් අතින් අවශේෂ කම්කරුවන්ගෙන් මෙම අරගලය වෙන් කර හුදකලා කර පාවාදීමටත් ක්‍රියා කලේ ය. වර්ජනය පාවාදීම් සාධාරනීකරනය කිරීම සඳහා තැවිනිස නායකයින්, සාමාජිකයන්ට ඇඹරූ පචය වූයේ, මාසයක් හෝ දෙකක් ඇතුලත ඉල්ලීම්වලට විසඳුම් ලබා දෙන බවට ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමෙන් (එන්එස්සීසී) තම සමිතියට “ලිඛිත පොරොන්දුවක්” ලැබුනු බවයි. එම පොරොන්දුව කුනුකුඩයට දැමුනි.

ඇත්ත කාරනය වන්නේ, මෙම ඉල්ලීම් ඉටුකරන තුරු කෙරන අරගලයක් තැපැල් දෙපාර්තමේන්තුව ඈවර කිරීමට එලිපිටම ක්‍රියාත්මකව සිටින ධනපති ආන්ඩු සමග ගැටෙන දේශපාලන අරගලයක් බවට පත්වන හෙයින්, එය වැලැක්වීමට වෘත්තීය සමිති නිලධරයට අවශ්‍යය වීමයි. මෙම සමිති නායකයන් “ස්වාධීන” නමින් පෙනීසිටින නමුත් ධනපති පන්ති පාලනයට ගැටගැසී සිටින්නන් ය. පෙර මෙන්ම, වත්මන් ආන්ඩුව යටතේ ද තැපෑලේ සිදුවන කප්පාදු වැඩපිලිවෙල ධනපති පන්තියේ ලාභ අවශ්‍යතා මත, ජාමුඅ නියමයන් අනුව සිදුකරන බව වසන් කිරීමට සමිති නායකයන් ක්‍රියාකරන්නේ මේ නිසා ය.

වර්ජනයෙන් ආන්ඩුවේ වැඩපිලිවෙලට කිසිදු අභියෝගයක් එල්ල නොකරන බවට අඟවමින්, සංකේත වර්ජනය ප්‍රකාශයට පත් කරන මාධ්‍ය සාකච්ඡාවකදී, තැවිසනිස ලේකම් මංජුල බන්ඩාර කෙලින්ම කීවේ, “කිසිදු දේශපාලන මුහුනුවරක් මෙම සටන් තුල නොමැති බව අවධාරනය කරන” බවයි.

එම මාධ්‍ය සාකච්ඡාවේදීම අදහස් දැක්වූ, තැවිනිස සභාපති ජී.ජී.සී නිරෝෂන්, ජවිපෙ/ජාජබ ආන්ඩුවට “ජනතාවාදී රජයක්” ලෙස නම් කලේය. ඉන් ප්‍රකාශයට පත් කෙරුනේ වත්මන් ආන්ඩුව සමග පෙලගැසීමයි. ඔහු වත්මන් ආන්ඩුවට “ජනතාවාදී” මල්මාලය දැම්මේ, එය ජාමුඅ වැඩපිලිවෙලට සපථවීම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින්, ඒවා මේ දැන් ක්‍රියාවට දමන තත්වය තුල ය. නිරෝෂන් හා තැවිසනිස නායකයන් ධනපති ආන්ඩුවේ හා ජාමූඅ ගැත්තන් බව තමන්ම පිලිගෙන තිබේ.

තැපල් දෙපාර්තමේන්තුව “විනාශ කරගැනීමේ කුමන්ත්‍රනයක නිරතව සිටීම” ගැන “වර්තමාන තැපැල් පරිපාලනයට” දෙහි කැපූ තැවිනිස සභාපති, තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ අරමුන එකී “සැලසුම් සහගත ක්‍රියාවලිය” ආන්ඩුවට පෙන්වා දීම බව කීවේ ය.

තැපැල් දෙපාර්තමේන්තුව ඇතුලු රාජ්‍ය ආයතන “විනාශ කිරීම” හෙවත් පුද්ගලික අංශයේ ලාභ ගැරීමේ ව්‍යවසායක් බවට පත්කිරීමේ මූලිකම අවශ්‍යතාව ඇත්තේ, අයිඑම්එෆ් ආයතනයට සහ එහි පිලිවෙත් අකුරටම ක්‍රියාවට කොලඹ ආන්ඩුවලටය. එහි වත්මන් විධායකය දිසානායකගේ ආන්ඩුවයි. පරිපාලකයන් විසින් ක්‍රියාවට දමන්නේ මෙම තීන්දූන් ය.

වෘත්තීය සමිති නායකයින් එම වැඩපිලිවෙලට හවුල්වී සිටින්නේ, ඔවුන් කැඳවන වෘත්තීය ක්‍රියාමාර්ග ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට අභියෝගයක් නොවන තැනට එම අරගල සීමා කිරීමෙනි. “පරිපාලනයේ” ප්‍රශ්නයක් බවට සිඳවමින් ධනපති ආන්ඩුව කොක්කෙන් ගලවා යැවීමට තැවිසනිස නායකයෝ වංචනික වෑයමක යෙදෙති.

ලංකාවේ පමනක් නොව ලෝකය පුරාම කම්කරුවන් මුහුනදී ඇත්තේ, එකම ප්‍රහාරවලට ය. ෆැසිස්ට් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රැකියා දහස් ගනනක් විනාශ කරමින්, එක්සත් ජනපදයේ රාජ්‍ය සේවය මුලුමනින්ම අතුගා දැමීමේ වැඩකටයුතු සීග්‍රයෙන් ක්‍රියාවට දමා ඇත. පසුගිය වසරේ නොවැම්බර්වලදී, කැනඩාවේ 50,000කට අධික තැපැල් කම්කරුවන් වර්ජනයක් දියත් කලේ, වැටුප් කප්පාදු, තැපැල් කාර්යාල වසාදැමීම සහ පුද්ගලීකරනයේ තර්ජනයට එරෙහිව ය. 2013 දී පුද්ගලීකරන කල එක්සත් රාජධානියේ සහ උතුරු අයර්ලන්තයේ ප්‍රමුඛ තැපැල් සේවාවක්වූ රෝයල් මේල්හි තැපැල් කම්කරුවන් 115,000ක් වැටුප් කප්පාදු ඇතුලු ප්‍රහාරමාලාවකට එරෙහිව 2022-2023 වසරවල දැවැන්ත අරගල දියත් කලේ ය.

දශක ගනනාවකට පෙර රාජ්‍ය සේවාවක් ලෙස පැවැති තැපැල් සේවය, සෑම රටකම ධනපති සමාගම් වල ලාභ ගරන ව්‍යාපාරයක් බවට පත්කෙරෙමින් පවතී. ලංකාව තුල සිදු කෙරෙන්නේ ද එයයි.

මෙරට තැපැල් කම්කරුවන්ගේ 27 වසරක අරගල මෙන්ම, අවශේෂ රටවල තැපැල් කම්කරුවන්ගේ අරගල සියල්ලෙන්ම පෙන්නුම් කෙරුනේ සංස්ථාපිත වෘත්තීය සමිති, ධනපති ආන්ඩුවල වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමේ හවුල්කාර සංවිධාන ලෙස ඒවායේ නායකත්වයන් විසින් විවෘතවම යොදාගැනීමයි.

තැපැල් කම්කරුවන්ට තම බලගතු ශක්තිය ඉල්ලීම් දිනාගැනීම සඳහා මුදාහැරීමට පවතින ප්‍රධානතම බාධාවක් වන්නේ මෙම වෘත්තීය සමිති නායකත්වය යි. තැපැල් සේවකයන් දැන් නිගමන ඇතිකර ගතයුතුය. ඉන් ප්‍රමුඛ වන්නේ, පුද්ගලීකරනය කිරීම ඇතුලු ප්‍රහාරවලට එරෙහි සටන, තවදුරටත් නිලධරය අතේ තැබිය නොහැක; මෙම අරගලය තමන්ගේ අතට ගැනීමටත් ඔවුන් තමන්ගේම ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුතුය.

තැපැල් කම්කරුවන්ගේ සෑම අතීත අරගලයකදීම ඒවාට දේශපාලනික සහාය පලකරමින් හා ඔවුන්ගේ අයිතීන් දිනාගැනීමට සක්‍ය විකල්ප වැඩපිලිවෙලක් සමාජවාදී සමානතා පක්ෂය ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) තුලින් ඉදිරිපත් කරමින් හා තැපෑල තුල සිය සාමාජිකයන් මගින් මැදිහත්වී තිබේ.

සියලුම ධනේශ්වර පක්ෂවලින් ස්වාධීනව, සමිති නිලධරයට ඒවායේ තැනක් නොදෙමින් මෙම කමිටු පිහිටුවා ගැනීමෙන්, තම අයිතීන් සඳහා අරගලයේ විධික්‍රම ප්‍රජාතාන්ත්‍රිව සාකච්ඡා කර තීන්දු ගැනීමට ක්‍රියා කල හැකිය. ප්‍රධාන ඉල්ලීම් ලෙස අපි පහත සඳහන් ඉල්ලීම් ඉදිරිපත් කරමු:

  • මුර්ත වැටුප ඛාදනය වීමට සරිලන ඉහල වැටුප් වැඩිවීමක් සහා ඉහලයන ජීවන වියදම අනුව වැටුප් ඉහල දැමීමක්! විශ්‍රාම වැටුප් ද එලෙස ඉහල දැමිය යුතුය.
  • තැපෑල ඈවරකිරීමේ හා ලාභ ගැරීමේ ව්‍යවසායක් බවට පත්කිරීම නතර කරනු! රැකියා කැපීමට එරෙහිවනු! යහපත් සේවා කොන්දේසි තහවුරු කරනු!

මෙය සිදුකල හැක්කේ තැපැල් සේවය, කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට ගැනීමෙනි.

තැපැල් කම්කරුවන්ට මුහුන දීමට සිදුවී ඇති ගැටලු හා ප්‍රශ්න, අවශේෂ කම්කරුවන් මුහුනදෙන ප්‍රශ්න වලම කොටසකි. අවශ්‍යවී ඇත්තේ එක්සත් සටනක් සංවිධානය කිරීමයි. රාජ්‍ය හා පුද්ගලික අංශයේ සෑම වැඩපලකම, වතුකරය ඇතුලු සියලු ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයකම කම්කරුවන් තමන්ගේම ක්‍රියාකාරී කමිටු සෑදීම මේ එක්සත්කම තහවුරු කරගැනීමේ මාවතයි.

එමෙන්ම අනෙකුත් රටවල මෙවැනිම ප්‍රහාරවලට ලක්ව සිටින තම ජාත්‍යන්තර කම්කරු සගයින්ගේ සහාය ගොනුකර ගැනීම සඳහා, දැනටමත් දියත්කර ඇති ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයට එකතු වන ලෙස අපි ඉල්ලමු.

මේ පියවර ගැනීමට අපි ඔබ සමග එක්වීමට සැමවිටම සූදානම් ව සිටිමු. මෙම දුරකථන අංකයෙන් හා ඊමේල් ලිපිනය මගින් අප සමග සම්බන්ධ වන්න:

0773562327

wswscmb@sltnet.lk