අවිශිබමයේ ඒකාබද්ධ සමුලුව: විරෝධතා දේශපාලනය තුල කම්කරුවන් තරුනයන් සිර කිරීමේ ප්‍රයත්නයක්

“ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති” ප්‍රෝඩාව හකුලා ගනු, ජාතික සම්පත් විකිනීම නවතනු, මර්දනීය අන පනත් හකුලා ගනු! යන තේමාවන් ඔස්සේ විවිධ ක්ෂේත්‍රවල වෘත්තීය සමිති නායකයන්ගේ සහභාගීත්වයෙන් ඒකාබද්ධ සමුලුවක් මේ මස 14 දා කොලඹ නව නගර ශාලාවේ දී පැවැත්වුනි.

සමුලුව සංවිධානය කර තිබුනේ ව්‍යාජ-වාම පෙරටුගාමි සමාජවාදී පක්ෂය (පෙසප) යටතේ මෙහෙය වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබමය) මූලිකත්වයෙනි.

“වෘත්තීය සමිති බහු ජන සංවිධාන එකමුතුව” සමුලුව අමතන දුමින්ද නාගමුව


විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (ෆුටා), ලංකා ගුරු සංගමය (ලගුස), ලංකා බැංකු සේවක සංගමය (ලබැසේස), ටෙලිකොම් සියලු සේවක සංගමය හා පෙසප විසින් මෙහෙයවනු ලබන කම්කරු අරගල මධ්‍යස්ථානය, ඒකාබද්ධ ගුරු සේවා සංගමය, ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය ඇතුලු සමිති කිහියක නියෝජිතයෝ සමුලුව ඇමතුහ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, ආචාර්යවරුන් ඇතුලු 200 ක පමන සංඛ්‍යාවක් ඊට සහභාගී වී සිටියේ ය.

මෙම සමුලුව පැවතියේ, රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීම අරඹා තිබෙන හා එහි ඉතිරි ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන යන තත්වයක් තුලයි. රාජ්‍ය ව්‍යවසාය 430 පෞද්ගලීකරනය කිරීම හා නිදහස් අධ්‍යාපනය තුල බරපතල කප්පාදු මාලාවක් අඩංගු ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව (ජාඅප්‍රරා) පාර්ලිමේන්තුවේ සම්මත කර ක්‍රියාවට දැමීම ඒ යටතේ ප්‍රධාන වේ.

නමුත් සමුලුවට සම්බන්ධ වූ අවිශිබමයේ හා වෘත්තීය සමිතිවල නායකයන් කිසිවෙක් ආන්ඩුවේ මෙම රුදුරු ප්‍රහාර හා මර්දනය පරාජය කිරීමට සක්‍ය වැඩපිලිවෙලක් ඉදිරිපත් කිරීමට අසමත් විය. ඒ වෙනුවට, පලල් විරෝධතා මගින් ආන්ඩුවට පීඩනය යොදා ධනපති ක්‍රමය යටතේ ම මෙම කප්පාදු වැඩපිලිවෙල පරාජය කල හැකිය යන හිස් පූච්චානම් කතා ගොන්නක් පැවැත්වී ය.

සමුලුව ඇමතූ අවිශිබම කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්, වෘත්තීය සමිති “තම තමන්ගේ ක්ෂේත්‍රවල අර්බූදයන් විසඳා ගැනීම සඳහා තමන්ට අනන්‍යය වූ අරගලවල” යෙදී සිටින අතරවාරයේ අවිශිබමය “අධ්‍යාපන පෞද්ගලීකරනයට එරෙහි විශාල අරගලයක යෙදී සිටිනවා” යයි ප්‍රකාශ කලේ ය. “ජාමූඅ වැඩපිලිවෙල හා නව ලිබරල් වැඩපිලිවෙල මුලිමනින්ම පරාජය කරන්න, මේ විදිහේ ඒකාබද්ධ ක්‍රියාකාරීත්වය අවශ්‍යයි. මේ සමුලුව ඉදිරි අරගලය සඳහා තබපු පියවරක්. වඩා යහපත් සමාජයක් නිර්මානය කර ගැනීම සඳහා මේ ඒකාබද්ධ අරගලය පෙරට ගමු” යයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

චන්ද්‍රජිත්ගේ කැඳවුමට හුරේ දැමු වෘත්තීය සමිති නායකයෝ ද “එකාබද්ධ අරගලයක්” අවශ්‍ය යයි ප්‍රකාශ කලහ.

චන්ද්‍රජිත් පවසන ඒ ඒ අංශවල වෘත්තීය සමිති යෙදී සිටින “අනන්‍යය අරගල” මොනවාද ? ඒවායේ සැබෑ එල්ලය කුමක් ද ? වෘත්තීය සමිති යෙදී සිටින්නේ, කම්කරු පන්තිය ඒ ඒ ක්ෂේත්‍රවලටත් එකම ක්ෂේත්‍රය තුලත් ශ්‍රේනිවාදී භේදකරනයන් අවුලුවා කම්කරු පන්තියේ ශක්තිය හීන කර, විසිරුනු විරෝධතා සංවිධානය කිරීමකයි. අවිශිබමය ඒ හා සමානව ඊනියා ශිෂ්‍ය දේශපාලනය මත ශිෂ්‍යන්ගේ සටන් කම්කරු පන්තියේ සටන්වලින් හුදකලා කිරීමට දැනුවත් ව වැඩ කරයි.

මෙම සංවිධාන වෙන වෙනම හෝ ඒකාබද්ධව සටන් වැදුනත් ප්‍රතිඵලය වන්නේ ධනපති ආන්ඩුවලට පීඩනය යෙදීමේ උද්ඝෝෂන වට කිහිපයක් සංවිධානය කිරීම මගින් කම්කරු පන්තියේ වැඩෙන විරෝධය වාෂ්ප කොට පලල් ප්‍රහාරවලට කොන්දේසි සකසා දීම හා අවසානයේ බලයේ සිටින ධනපති ආන්ඩුව වෙනුවට තවත් ධනපති ආන්ඩුවක් බලයට ඒමට පාර කපා දීමයි.

මේ වන විටත් ක්‍රියාත්මක විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය තුල මෙම ද්‍රෝහි ක්‍රියාකලාපය පිලිබඳ මෑත ම උදාහරනයකි.

අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් හා දීමනා කප්පාදුව සමස්ත අධ්‍යාපනය වටා එල්ල කර ඇති ප්‍රහාරයේ කොටසකි. ඒ තත්වය තුල එම වර්ජනයට අවශේෂ කම්කරු පන්තිය හා ශිෂ්‍යයන් බලමුලු ගැන්වීම වෙනුවට වර්ජනයට හොරිකඩකම් කරමින් විශ්වවිද්‍යාල ආචාර්ය සම්මේලනය මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම්වල නිරත වී සිටී. අනධ්‍යන සේවක ගැටලු විසඳන්නැයි ඉල්ලා චන්ද්‍රජිත් ප්‍රමුක අවිශිබමයේ කන්ඩායමක් මේ මස 15 දා (සමුලුවට පසු දින) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ගෑටුවේ ය.

කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය වීමට හතුරුව විවිධ මධ්‍යම පන්තික හා ධනපති පන්තියේ ම කොටස් සමග අවස්ථාවාදී පෙරමුනු හා සන්ධාන ගොඩනැගීමට “ඒකාබද්ධ” වීම සම්බන්ධව මෙම සංවිධානවලට දීර්ග වාර්තාවක් ඇත.

ආන්ඩුවේ මර්දනයට එරෙහිව “කොන්දේසි විරහිතව ඒකාබද්ධව සටන් කිරීම” සඳහා චන්ද්‍රජිත් ඇතුලු අවිශිබමයේ නායකයෝ මේ වසරේ පෙබරවාරී මාසයේ දී විපක්ෂයේ සමගි ජන බලවේගය ඇතුලු ධනපති පක්ෂවල නායකයන් සමග සාකච්ඡාවලට ගමන් කලේ ය. බලයේ සිටිය දී මහජනයා මත කප්පාදුව හා මර්දනය දිගේලි කිරීමේ කුප්‍රරකට වාර්තාව යටගසමින් චන්ද්‍රජිත් මෙම පක්ෂවලට “වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රහාර පරාජය කිරීමට නිශ්චිත කර්තව්‍යයක් තිබෙනවා” යැයි එහිදි කියා සිටියේ ය.

කම්කරු අරගල මධ්‍යස්ථානය වෙනුවෙන් කතා කල පෙසප නායකයෙක් වන දුමින්ද නාගමුව තවත් එවන් අවස්ථාවාදී පෙරමුනු පිලිබඳව මතකය අලුත් කරමින් ශිෂ්‍ය සටන් ඔජවැඩුවේ ය. 2015 දී බලයට පත් වූ “යහපාලන ආන්ඩුව හොදට යන්න හැදුවා” යයි ප්‍රකාශ කල නාගමුව එහි මැතිවරන පරාජයන්ට බලපෑමේ සයිටම් පෞද්ගලික උපාධි ආයතනයට විරුද්ධ “ශිෂ්‍ය ව්‍යාපාරය, සයිටම් විරෝධි සිසු-ජන ව්‍යාපාරය ගෙන ගිය දැවැන්ත සටන්” යයි කියා සිටියේ ය.

පෙසප හා අවිශිබමය “සයිටම් අරගලය” ලෙස වගවර්නනා කරන්නේ, නිදහස් අධ්‍යාපනය කප්පාදුව හා පෞද්ගලිකරනයට එරෙහි අරගලය සයිටම් ආයතයට එරෙහි අරගලයක් තුලට කොටු කිරීම පිලිබඳවයි. නාගමුව සඳහන් කරන සයිටම් විරෝධි ව්‍යාපාරයේ රැස්වීම්වල දී සිසුන් ඇමතීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පොදු ජන පෙරමුනේ දිනේෂ් ගුනවර්ධන (වත්මන් අගමැති) වැනි පාර්ලිමේන්තු මන්ත්‍රියන්ට පවා ඉඩකඩ විවර විය.

බරපතල මහජන විරෝධය හමුවේ වසර 10 ක් ගත වී සයිටම් තාවකාලිකව අහෝසි කෙරුන ද, මේ වන විට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හා එන්එස්බීම් විශ්වවිද්‍යාලය මගින් වෛද්‍ය උපාධියත් මුදල් අය කර ලබා දීම අරඹා තිබේ. රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ ඇතුලු අවශේෂ පීඨ දේශන ශාලා, නේවාසිකාගාර, ගුරු හිගයෙන් බරපතල ලෙස අඩපන වී තිබේ. පාසල් පද්ධතිය තුල තත්වය මීට නරක ය. ඉහල යන ජීවන වියදම හමුවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් බහුතරයක් කුසගින්නට ඇද දමා ඇති අතර පාසල් හැර යන ශිෂ්‍ය සංඛ්‍යාව ඉහල ගොස් තිබේ.

ආන්ඩුව, අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉදිරියට දමා තිබෙන්නේ නිදහස් අධ්‍යාපනය තුල පවතින ඉතුරු පහදු යමක් වේ නම් එයත් වනසා දැමීමටයි.

සමුලුවේ කතා කල වෘත්තීය සමිති නායකයෝ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව තුලින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුකරමින් තිබෙන කප්පාදුව හුවා දැක්වීමේ දී ලංකාවේ මෙතෙක් පැවති ධනපති පන්ති පාලනය වගවර්නනා කිරීමක පවා නියැලුනේ ය.

මෙරට නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම පිලිබඳව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් අතුලසිරි සමරකෝන් මෙසේ ප්‍රකාශ කලේ ය. “රාජ්‍ය එක්සේසත් කිරීමේ, ප්‍රජාතන්ත්‍රවාදී මානයකට ගෙන යෑමේ, පුරවැසිභාවය නිර්මානය කිරීමේ හා සංස්කෘතික සහජීවනය ඇති කල හැක්කේ නිදහස් අධ්‍යාපනය තුලින් පමනක් බව මේ රටේ පාලක පැලැන්තිය තීන්දු ගත්තා”. එතැනින් නො නැවතුන සමරකෝන් නිදහස් අධ්‍යාපනය සැලසීම “මෙතෙක් පැවති සියලු ආන්ඩු ඒක වගකීමක් විදිහට සැලකුවා” යයි ප්‍රකාශ කලේ ය.

දෙවන ලෝක යුද්ධයේ දැවැන්ත විනාශයෙන් පසු ඇමරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආර්ථික ශක්තිය මත ගොඩනැගූ පශ්චාත් දෙවන ලෝක යුද සමතය තුල අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සමාජ සුභසාධන අංශ තුල යම් යම් සහන ලබා දීමට ලොව පුරා පාලක පන්තීන් කටයුතු කලේ කම්කරු පන්තියේ පැන නැගි බලගතු විප්ලවවාදී අරගල සමනය කිරීමේ උපාමාරුවක් ලෙසයි.

නිෂ්පාදනයේ භූගෝලීයකරනය යටතේ ජාතික නියාමන වැඩපිලිවෙල්වලට වලකැපුනු අතර ජාත්‍යන්තරව සිදු කෙරුනාක් මෙන්ම, ලංකාවේ බලයට පත් සෑම ආන්ඩුවක් ම සිදු කර ඇත්තේ, 1940/50 ගනන්වල කම්කරු පන්තියේ බලගතු සටන්වලට ප්‍රතිචාර වශයෙන් සීමිතව තහවුරු කෙරුන නිදහස් අධ්‍යාපන අයිතිය පවා ජාමූඅ නියෝග මත බරපතල කප්පාදුවකට ලක් කිරීමයි.

අධ්‍යාපනය රජය විසින් සැපයිය යුතු යයි කියා සිටි සමරකෝන් “ඒක නිර්මානය කරන්නේ ලාබ ලබන අධ්‍යාපන ආයතන තුලින් ද ලාභ නො ලබන අධ්‍යාපන ආයතන තුලින් ද නැද්ද කියන එක අපිට සාකච්ඡා කරන්න පුලුවන්” යයි කියා සිටියේ ය.

ඒ අදහස ම දැරූ ලගුස නායක ජෝසප් ස්ටාලින්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධ්‍යාපන ප්‍රඥප්තීන් හා ලංකාවේ ආන්ඩු පිහිටුවා ඇති තරුන කොමිෂන් සභාවල අධ්‍යාපන ප්‍රතිසංස්කරන සිදු කිරීමේ දී අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති සම්බන්ධ කර ගත යුතු බව සඳහන් කර ඇතැයි ප්‍රකාශ කලේ ය.

සමරකෝන් හා ස්ටාලින් මෙහිදී පෙන්වා ඇත්තේ ධනපති ආන්ඩු සමග හවුල් වී මෙම කප්පාදුව ගෙන යෑමේ තම සූදානමයි.

ලෝක ධනේශ්වර ක්‍රමයේ ගැඹුරු වන අර්බූදයේ කොටසක් ලෙස ලංකාවේ ධනපති පන්ති පාලනය එහි ඉතිහාසයේ දරුනු ම ආර්ථක හා දේශපාලන අර්බූදය තුලින් ගමන් කරමින් තිබේ. අධිරාජ්‍යවාදී බැංකුවලට හා මහ ව්‍යාපාර වෙත නය පොලී ගෙවා දැමීම සඳහා මහජනයාගේ සියලු සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් අතුගා දැමීම හැර වෙනත් විකල්පයක් වික්‍රමසිංහ ආන්ඩුවට මෙන්ම විපක්ෂයේ සෙසු ධනපති පක්ෂවලට ඇත්තේ නැත.

ව්‍යාජ-වාම පෙසප හා අවිශිබමය තොරම්බල් කරන පාර්ලිමේන්තුවට පීඩනය යොදා මහජනයාගේ ප්‍රශ්න විසඳා ගැනීමේ “මහජන සභා“ වැඩපිලිවෙල කම්කරුවන්, ශිෂ්‍යයන් ප්‍රතික්ෂේප කල යුතු ය.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුලු තරුන ජනයාට අධ්‍යාපනය ඇතුලු තම අයිතීන් දිනා ගත හැක්කේ, සමාජය තුල වටිනාකම් බිහි කරන, ධනපති ක්‍රමය පෙරලා දැමිය හැකි කම්කරු පන්තියේ නායකත්වය වටා ඒකාබද්ධව ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ලංකාවේ කම්කරු-ගොවි ආන්ඩුවකට සටන් වැඳීමෙන් පමනි.

ජාමූඅ කප්පාදු වැඩිපිලිවල් පරාජය කරමින් රාජ්‍ය ව්‍යාවසාය හා අවශේෂ මහ බැංකු, සමාගම් කම්කරු පන්ති පාලනය යටතේ ජනසතු කිරීම මගින් ජන ජීවිතය ඉහලට එසවිය හැක්කේ කම්කරු පන්තිය හා තරුන ජනයා ගන්නා එවන් විප්ලවවාදී මූලිකත්වයකිනි.

කම්කරු පන්තියට හා තරුන ජනයාට ආන්ඩුවේ ප්‍රහාර පරාජය කිරීමට එවන් අව්‍යාජ ඒකාබද්ධ අරගලයක් කිරීමට ප්‍රධාන භාධකය ලෙස පවතින්නේ ධනපති ක්‍රමයට බැඳී ගත් මෙම වෘත්තීය සමිති හා පෙසප, අවිශිබමය බඳු ව්‍යාජ-වාම සංවිධානයි.

ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව සටනට අවතීර්න වී සිටින කම්කරුවන් හා තරුනයන් වෘත්තීය සමිතිවලින් ස්වාධීනව සෑම වැඩබිමකම, ගොවිබිමක තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින්, ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක ක්‍රියාමාර්ගය යටතේ ධනපති ක්‍රමයට හා එහි කොටස්කරුවන් වන වෘත්තීය සමිති නිලධරයට හා ව්‍යාජ-වාම සංවිධානවලට එරෙහි දේශපාලන අරගලය පෙරට ගත යුතු ය.

Loading