රනිල් වික්‍රමසිංහ ආන්ඩුවේ ආඥාදායක මර්දන පිලිවෙත්වලට එරෙහිව ඒකාබද්ධව සටන් කිරීමේ කඩතුරාව යටතේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) ධනපති විපක්ෂ හා වෘත්තීය සමිති නිලධරය සමග සාකච්ඡාවක් අරඹා තිබේ. පසුගිය දෙසතිය තුල, සමගි ජන බලවේගය (සජබ), සිංහල ස්වෝත්තමවාදියෙකු ලෙස කුප්‍රකට පාටලී චම්පික රනවක මෑත දී අටවා ගෙන තිබෙන එක්සත් ජනරජ පෙරමුන (එජපෙ) හා ලංකා බැංකු සේවක සංගමය (ලබැසේස)සමග සාකච්ඡා සිදු කල බව අවිශිබම මුහුනු පොතේ සඳහන් වේ.
විපක්ෂ නායක කාර්යාලයේ දී සජබ නායක සජිත් ප්‍රේමදාස සමග පැවති සාකච්ඡාවලින් පසු මාධ්‍ය ඇමතූ අවිශිබම කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත් කියා සිටියේ ආන්ඩුව මෑත දී සම්මත කර ගත් සමාජ මාධ්‍යවල සුරක්ෂිතතාවය පිලිබඳ පනත, සම්මත කර ගැනීමට යන ප්‍රති-ත්‍රස්ත පනත, “යුක්තිය මෙහෙයුම“ හා විශ්වවිද්‍යාල තුල ඇති වී තිබෙන ගැටලු සම්බන්ධව එහිදී සාකච්ඡා කල බවයි.
“විපක්ෂයේ සියලු ම දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, ප්‍රගතිශීලි සංවිධාන, ප්‍රගතිශීලි සිවිල් ක්‍රියාකාරින්, ඉදිරියේ දී අපි හමුවීමට බලාපොරොත්තු වෙනවා. ආන්ඩුවේ මර්දනයට, සමාජයක් විදිහට අපිට මුහුන පාන්න වෙලා තියෙන අර්බූදයට එරෙහිව අපි සියලු දෙනා එකතු වෙලා සටන් කරමු කියන යෝජනාව කරනවා” යැයි චන්ද්‍රජිත් කියා සිටියේ ය.
ආන්ඩුවේ ප්‍රහාර පරාජය කිරීම සම්බන්ධව විපක්ෂයේ දේශපාලන පක්ෂවලට “නිශ්චිත කාර්යභාරයක් තියෙනවා” යයි වැඩි දුරටත් කියා සිටි චන්ද්‍රජිත් “ආන්ඩුව මෙම පනත් පාර්ලිමේන්තුව තුල සම්මත කර ගත්තට මහජනතාව සමග මහ පාරේ අරගලය තුලින් අපි පරාජය කරනවා” යයි පැවසී ය.
අවිශිබමය වික්‍රමසිංහ ආන්ඩුවේ මර්දනයට විරුද්ධව “සටන් කිරීම” සඳහා ඒකාබද්ධ කර ගැනීමට යන පක්ෂ බලයේ සිටිය දී වික්‍රමසිංහ ආන්ඩුව මෙන් ම “ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත” (පීටීඒ) වැනි රුදුරු නීති යටතේ මහජනයා මත මර්දනය මුදාහැරීම සම්බන්ධයෙන් කුප්‍රකට ය.
සජබ යනු මෑතක දී වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයෙන් (එජාප) වෙන් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම් ලත් කන්ඩායමකි. ප්‍රේමදාස 2015 සිට 2020 දක්වා පැවති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ ඇමතියෙකු ලෙස කටයුතු කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු පිලිවෙත් මෙන්ම මර්දනය දිගේලි කිරීමට නායකත්වය ගත්තෙකි.
වික්‍රමසිංහ-පොදුජන පෙරමුනු ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට හා මර්දන පිලිවෙත්වලට එරෙහිව වැඩෙන මහජන විරෝධය ගසාකෑමට සජබ, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඇතුලු විපක්ෂයේ සියලු පක්ෂ උත්සාහ ගත්තද මෙම සංවිධානවලට ආන්ඩුවේ මර්දන පිලිවෙත් හා ජාමූඅ කප්පාදු සම්බන්ධව මූලධර්මාත්මක විරුද්ධත්වයක් නැත.
ධනපති ක්‍රමය රැකදීම හැර, චන්ද්‍රජිත් පවසන ආකාරයේ, වෙනත් “කාර්යභාරයක්” විපක්ෂයට තිබේද ?
ධනපති පක්ෂ හා ඒවායේ නායකයන් ප්‍රජාතන්ත්‍රවාදයේ රැකවලුන් ලෙස ශිෂ්‍යයන් ඉදිරියේ පින්තාරු කරමින්, ආන්ඩුවලට බලපෑම් දැමීමේ විරෝධතා තුලත්, ධනපති පන්තියේ හා විවිධ මධ්‍යම පන්තික සංවිධානවලින් සැදුම්ලත් අවස්ථාවාදී පෙරමුනු තුලත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කොටු කිරීම අවිශිබයේ එල්ලයයි.
අවිශිබයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ පීටීඒ යටතේ අත්අඩංගුවට ගෙන සිරගත කර සිටිය දී, “මර්දනයට එරෙහිව පෙලගැසෙමු” යන හිසින් අවිශිබ 2022 සැප්තැම්බර් මස කොලඹ හයිඩ් පිටියේ දී ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්විය. ඊට සජබ නායකයෙකු හා හිටපු හමුදාපතියෙකු වන සරත් ෆොන්සේකා, ජවිපෙ නායකයෙකු වන නලින්ද ජයතිස්ස, ශ්‍රි ලංකා පොදු ජන පෙරමුනේ වසන්ත යාපා බන්ඩාර වැනි ධනපති පක්ෂවල නියෝජිතයන් සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ගහලයෙකු ලෙස මහජනතාව අතර අපකීර්තියට පත් රනිල් වික්‍රමසිංහ සමග “ප්‍රජාතන්ත්‍රවාදය රැකිමේ” පෙරමුනු ගොඩනැගීමේ වාර්තාවක් සහිත එක්සත් සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම පක්ෂ ද සම්බන්ධ වුනි.
ඊට අමතරව, ඒ ඒ අංශවල කම්කරු පන්තියේ අරගල ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීමේ හුදකලා විරෝධතා තුලට සිරකොට පාවා දෙන වෘත්තීය සමිති නිලධරයන් ද ඊට එ්කාබද්ධ වී සිටියහ. චන්ද්‍රජිත් “ප්‍රගතිශීලින්” ලෙස හුවා දක්වන්නේ මෙවැනි කොටස් ය.
එපමනක් නොව, මුදලිගේ නිදහස් කරන ලෙස ආන්ඩුවට බල කරන්නැයි ඉල්ලා ඇමරිකාව, බ්‍රිතාන්‍යය ඇතුලු ප්‍රධාන අධිරාජ්‍යවාදී රටවල කොලඹ පිහිටි තානාපති කාර්යාලවලට සංදේශ භාර දීමට අවිශිබ බඩ ගෑවේය. මීට අමතරව, අවිශිබම ට නායකත්වය දෙන ව්‍යාජ-වාම පක්ෂය වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) නියෝජනය කරමින් නීතීඥ නුවන් බෝපගේ ඒ වසරේ එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කෞන්සිලය ඇමතීමට පවා ගමන් කලේ ය. එය පෙන්නුම් කලේ මෙම සංවිධානය අධිරාජ්‍යවාදීන් හා ධනපති පාලක පන්තිය සමග එකට වැඩ කිරීමට කොතරම් ඉදිරියට ගමන් කිරීමට සූදානම් ද යන්නයි.
අවිශිබමයේ “මහපාරේ අරගලය” යනු දේශපාලන ඉදිරිදර්ශනයකින් තොරව, එකකට පසු තවෙකක් අයුරින් විරෝධතා සංවිධානය කිරීමයි. අවිශිබයේ හා වෘත්තීය සමිතිවල එබඳු විරෝධතා තිබිය දී බලයට පත් වූ ආන්ඩු නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍යය ඇතුලු මහජන සේවාවන් බරපතල කප්පාදුවකට ලක් කර තිබේ.
මෙලෙස ධනපති පක්ෂ නායකයන් සමග සාකච්ඡාවලට බඩගාමින් සිටින අවිශිබම , “විශ්වවිද්‍යාල තුල පක්ෂ දේශපාලනයට ඉඩ නෑ - මෙහි ඉඩ ඇත්තේ ශිෂ්‍ය දේශපාලනයට පමනයි” යන ප්‍රතිගාමී සූත්‍රය තොරොම්බල් කරයි. ඔවුන් මෙම තහංචිය පනවන්නේ, ශිෂ්‍යයන් අතරට කම්කරු පංතික දේශපාලනය පැමිනීම වැලැක්වීමට බව ඉතා පැහැදිලිය.
පසුගිය වසරේදී, සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), කම්කරු පංතික ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් මත ජයවර්ධනපුර සහ කැලනිය විශ්වවිද්‍යාලවල ගෙනගිය දේශපාලන උද්ඝෝෂනවලට එරෙහිව කඩාපනින ලද අවිශිබ ක්‍රියාකාරීන්, එම සංවිධානයන්හි සාමාජිකයන්ට කායිකව පහරදෙන බවට තර්ජනය කලේ, ඉහත සූත්‍රය පෙරට දමමිනි. ඒ සෑම අවස්ථාවකදීම ඔවුන් සසප හා සසජාතශි වෙත කඩා පැන්නේ විශ්වවිද්‍යාල පරිපාලනය හා “විනය පාලකවරුන්” සමග ඒකාබද්ධවයි.
පසුගිය සතියේ, කැලනිය විශ්වවිද්‍යාලයේ ගොඩනැගිල්ලක් විවෘත කිරීම සඳහා ජනාධිපති වික්‍රමසිංහගේ පැමිනීමට එරෙහිව එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් අතර බරපතල විරෝධතා පැන නැගුනි. ඉන් ප්‍රකාශයට පත්වූයේ වික්‍රමසිංහ විසින් සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන රුදුරු ප්‍රහාරයන්ට එරෙහි විරෝධය යි.
නමුත්, අවිශිබම නායකයන් මෙය යොදා ගත්තේ තම “ශිෂ්‍ය දේශපාලනය” ප්‍රවර්ධනය කිරීමට යි. “තමන්ගේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් සංදර්ශන භූමි විදිහට විශ්වවිද්‍යාල පාවිච්චි කිරීමට ඉඩ දිය නො හැකි” යැයි ඔවුහු කියා සිටිති. මෙයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ද තම සහයෝගය ප්‍රකාශ කර ඇත.
මෙවන් ප්‍රකාශයන් පාලක පංතියේ මර්දන සැලසුම් වලට ඝෘජුව අනුපූරක වේ. සමහර විශ්වවිද්‍යාල දේශපාලනඥයන්ට හා ජනාධිපතිවරන අපේක්ෂකයන්ට ආරාධනා කිරීමට සැලසුම් කරමින් යන බව දැන ගන්නට ලැබුනු බවත් එවැනි ක්‍රියා නවතා “විශ්වවිද්‍යාල දේශපාලනකරනය වීම නැවැත්විය යුතු ” යයි උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති සුරේන් රාඝවන් ජනවාරි 29 දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රකාශ කලේ ය.
පසුගිය අගෝස්තුවේ සිට “නවකවදය” සම්බන්ධව ලැබී ඇති පැමිනිලි 30 ක් සම්බන්ධව සඳහන් කරමින් රාඝවන් කියා සිටියේ නවකවදය සම්බන්ධ වැරදිකරුවන්ට වසර 12 දක්වා උපරිමයකට සිරදඬුවම් ලබා දිය හැකි බවයි.
නවක සිසුන් තම විරෝධතා දේශපාලනයට නතු කර ගැනීම සඳහා නවකවදය වැනි පසුගාමි ක්‍රමෝපායන් භාවිතා කිරීම සම්බන්ධව අවිශිබම කුප්‍රකට ය. ආන්ඩුව විශ්වවිද්‍යාල තුල පොලිස් ඒකක ගොඩ නැගීම, රාජ්‍ය බුද්ධි අංශවල ඔත්තුකරුවන් විශ්වවිද්‍යාලවලට යෙදවීම, සීසීටීවි කැමරා සවි කිරීම ඇතුලු මර්දන ක්‍රියාමාර්ග පසුගිය වසර කිහිපයේ වර්ධනය කලේ නවකවදය මැඩීමේ කඩතුරාව යටතේ ය.
සජබ සහ අනෙකුත් පාර්ශව සමග කල සාකච්ඡාවලට එම සංවිධානවල ප්‍රතිචාරය කුමක්ද, සාකච්ඡාවල නිගමන කුමක් ද යන කරුනු පිලිබඳව චන්ද්‍රජිත් ඇතුලු අවිශිබම කිසිවක් හෙලිදරව් කර නැත. එවන් සාකච්ඡා කුමන්ත්‍රන හැර අන් කවරක් ද? වැසුනු කාමර තුල ධනපති පක්ෂ සමග සාකච්ඡා සිදු කිරීම සම්බන්ධ අවිශිබම සතුව ඇත්තේ කුප්‍රකට වාර්තාවකි.
ජේ.ආර්. ජයවර්ධන ආන්ඩුව 1987 දී අත්සන් කල ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව එවක අගමැතිව සිටි රනසිංහ ප්‍රේමදාස (සජබ නායක සජිත් ප්‍රේමදාසගේ පියා) ඇතුලු එක්සත් ජාතික පක්ෂයේ (එජාප) ඇමතිවරු හා වෙනත් වර්ගවාදීන් ද කැටුව ජවිපෙ සිංහල ස්වෝත්තමවාදී උද්ඝෝෂනයක් දියත් කලේ ය.
1980 ගනන් අගභාගය වනවිට ජවිපෙ විසින් මෙහෙයවන සංවිධානයක් බවට අවිශිබම පත්ව තිබුනි. “පලමුව මව්බිම දෙවනුව වැඩබිම” වැනි ෆැසිස්ට් සටන් පාඨ පෙරට ගනිමින් ජවිපෙ තම දේශපාලන විරුද්ධවාදීන්, කම්කරු පන්තික සංවිධානවල සාමාජිකයන්, කලාකරුවන් සිය ගනනක් මරා දමමින් ගෙනගිය ඝාතන ව්‍යාපාරයට අවිශිබම සෘජුවම සම්බන්ධ විය.
ජවිපෙ මෙන්ම 2011 දී ඉන් සංවිධානාත්මකව භේද වූ පෙසප ද, තවමත් “සිසු විරුවන්” ලෙස හඳුන්වන අවිශිබයේ එවක ක්‍රියාකාරීහු මෙම ඝාතන ව්‍යාපාරයේ පෙරමුනේ සිටියහ. එවක දී ධනපති පක්ෂ සමග ජවිපෙ ගෙනගිය කේවලය අවසන් වූයේ එජාප තන්ත්‍රය විසින් පසුව මුදා හල දැවැන්ත ඝාතන මෙහෙයුම්වලට 60,000 ට අධික ගම්බද තරුන ජනයා ගොදුරු කිරීමෙනි.
වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රහාර මෙන්ම ආඥාදායක සැලසුම් පරාජය කල හැක්කේ, සමාජයේ විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තියේ නායකත්වය යටතේ එල්ල කෙරෙන දේශපාලන ප්‍රති-ප්‍රහාරයක් මගින් පමනි. කම්කරු පන්තිය, තරුනයන් හා ශිෂ්‍යයන් ධනේශ්වර ක්‍රමයට බැඳ තබන පෙසප බඳු ව්‍යාජ-වාම ප්‍රවනතාවලින් හා ධනේශ්වර දෘෂ්ටිවාදයන්ගෙන් බිඳීගෙන ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් මත එම දේශපාලන ප්‍රතිප්‍රහාරය සූදානම් කිරීමට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කම්කරු පංතිය වෙතට හැරීගත යුතුය.