ගුරු වෘත්තීය සමිති සියලු විරෝධතා නවතා දමති

[මෙහි පලවන්නේ Sri Lankan teachers’ unions shut down all protests යන මැයෙන් නොවැම්බර් 18, 2021 දින පලවූ ලිපියේ පරිවර්තනය යි.]

ගිය ඉරිදා ලංකාවේ මාධ්‍ය ඇමතූ ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ (ගුවිවෘසස) නායකයෝ, ඉහල වැටුප් ඉල්ලා දීර්ඝ කාලයක් ගෙන ගිය අරගලය “ජයග්‍රහනය” කර ඇතැයි ප්‍රකාශ කරමින්, සියලු ගුරු විරෝධතා නවතා දමන බව නිවේදනය කල හ.

නුවරඑලියේ විරෝධතාවේ යෙදෙන ගුරුවරු (ඡායාරූපය: ෆේස්බුක්, මැලයාගා කුරුවි)

“ජයග්‍රහනය” ගැන සන්ධානයේ ප්‍රකාශය, ආන්ඩුව සමග ගනුදෙනුවකට යමින් ගුරුවරුන් 250,000ක් විසින් ගෙන ගිය අධිෂ්ඨානවත් වැටුප් අරගලය තමන් විසින් පාවාදීම වසා ගැනීමට දැරූ නරුම උත්සාහයකි.

සීමිත විරෝධතා නවතා දැමීමේ තීරනය සමිති සන්ධානය විසින් ගන්නා ලද්දේ, 2022 ජනවාරියේ සිට ගුරුවරුන් හා විදුහල්පතිවරුන් සඳහා සොච්චම් වැටුප් ඉහල දැමීමක් සඳහා රුපියල් බිලියන 30ක් වෙන් කිරීම නිවේදනය කරමින් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ අයවැය ප්‍රතිපාදන ඉදිරිපත් කිරීමත් සමගය.

පලමු ශ්‍රේනියේ ගුරුවරුන්ට මාසික ව රුපියල් 31,000ක වැඩි කිරීමක් හා තුන්වන ශ්‍රේනියේ නව ගුරුවරුන්ට රුපියල් 11,000ක් ද අනෙකුත් ශ්‍රේනීන්ට ඒ හා ගැලපෙන වැඩි කිරීම් ද වෘත්තීය සමිති සාමාජිකයෝ ඉල්ලා සිටිය හ.

ආන්ඩුව යෝජනා කර ඇත්තේ, පලමු ශ්‍රේනියේ ගුරුවරුන්ට රුපියල් 11,820ක්, නවක ගුරුවරුන්ට රුපියල් 3,750ක් හා අනෙකුත් ශ්‍රේනීන්ට එවන් සුලු වැඩි කිරීම් සමගින්, ඉහත ඉල්ලීම්වලින් යන්තම් තුනෙන් පංගුවක් දීමටයි. පලමු ශ්‍රේනියේ හා තුන්වන ශ්‍රේනියේ විදුහල්පතිවරුන් සඳහා ඉල්ලන ලද මාසික වැඩි කිරීම් පිලිවෙලින් රුපියල් 29,850ක් හා 22,518ක් විය. ඔවුන්ට ප්‍රදානය කරනු ඇත්තේ යන්තම් රුපියල් 12,020ක් හා 6,895ක් පමනි.

විවිධ ගුරු-විදුහල්පති වෘත්තීය සමිති 35කින් සැදුම්ලත් ගුවිවෘසසට, ලංකා ගුරු සංගමය (ලංගුස), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කරන ලංකා ගුරු සේවා සංගමය (ලංගුසේස) හා ව්යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් නායකත්වය දෙන එක්සත් ගුරු සේවා සංගමය (එගුසේස) ද ඇතුලත් වෙති.

අරගලය පටන් ගත් තැන් පටන් රටෙහි ආර්ථික අර්බුදය හුවා දක්වමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පුනපුනා ප්‍රකාශ කලේ අධ්‍යාපනිකයන්ට වැටුප් වැඩි කිරීමක් ප්‍රදානය නො කල යුතු බව ය. එහෙත් විරෝධතා හා මාර්ගගත ඉගැන්වීම වර්ජනය අඛන්ඩ ව ඉදිරියට යද්දී ගුරුවරුන්ගේ වැටුප් පිලිබඳ ව “විමර්ශනය කිරීමට” යයි ඔහු කමිටුවක් පත් කලේ ය. එම කමිටුව විසින් අවසානයේ යෝජනා කලේ ලබන වසරේ අරඹා, වාරික තුනකින් ගෙවනු ලබන, අධ්‍යාපනඥයන්ගේ මූලික ඉල්ලීමෙන් තුනෙන් පංගුවකට සමාන “වැඩි කිරීමක්” දීමට ය.

මෙම සොච්චම් දීමනාව පිලිගත් සමිති සන්ධානය, එය එකවර ගෙවන ලෙස ආයාචනා කරමින්, මුල් වැටුප් ඉල්ලීම අත්හැර දැමුවේ ය.

ඔක්තෝබර් 21දා දින 100 ඔන්ලයින් අධ්‍යාපන වර්ජනය අවසන් කල සමිති සන්ධානය, ඔක්තෝබර් 25 සිට වැඩට වාර්තා කරන ලෙස ගුරුවරුන්ට නියෝග කලේ ය. එම පාවාදීම සිදු කලේ, කොවිඩ්-19 වසංගතයට නිසා මාස ගනනක් තිස්සේ වසා දමා තිබූ පාසල් 5,000ක ප්‍රාථමික අංශ ආන්ඩුව විසින් යලි විවෘත කිරීම සමග පෙල ගැසෙමිනි. තම නග්න පාවාදීම වසා ගැනීමේ උත්සාහයක යෙදෙමින්, වෘත්තීය සමිති සීමිත විරෝධතා මාලාවක් කැඳවූහ.

අගමැති මහින්ද රාජපක්ෂ හා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, නොවැම්බර් 10දා ගුවිවෘසස නායකයන් මුන ගැසී, සොච්චම් වැටුප් වැඩිකිරීම ජනවාරියේ දී එක වර ප්‍රදානය කිරීමට ආන්ඩුව කටයුතු කරන බව දැනුම් දුන්හ .

ආන්ඩුවට ලමුන්ගේ අධ්‍යාපනය වර්ධනය කිරීම අවශ්‍ය නිසා සහ එයට වෘත්තීය සමිතිවල සහයෝගය ද ලැබෙන බව කියමින්, මුදල් ඇමති රාජපක්ෂ වැටුප් වැඩිවීම එකවර ගෙවන බව කීවේ ය. ඉන් දින හතරකට පසුව, නොවැම්බර් 14දා, ඊනියා “ගුරු නියෝජිත සම්මේලනයක්” පැවැත්වූ වෘත්තීය සමිති 35 සන්ධානයේ නිලධරයෝ, සියලු විරෝධතා හා පෙලපාලි අවසන් කිරීමට තීරනය කල හ. ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා-පත්කරගත් ගුරු නියෝජිතයන්ගේ “සම්මේලනයක්” නො වූ එහි ආධිපත්‍ය දැරුවෝ වෘත්තීය සමිති නිලධරයෝ ය.

සියලු විරෝධතා ක්‍රියාවන් නවතා දැමීම සාධාරනීකරනය කරමින්, වෘත්තීය සමිති නායකයන් කුහක ලෙස කියා සිටියේ වැඩි කල වැටුප් ගෙවීම සඳහා ආන්ඩුවට ජනවාරි 20 තෙක් කල් දෙන බවයි. “එසේ නො වුන හොත්, වෘත්තීය සමිති අරගලය යලි ආරම්භ කිරීමට අපි පසුබට වෙන්නේ නැහැ” යි ලංගුස ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටැලින් හඬ තැලුවේ ය.

ගුරුවරු “තාවකාලික ජයග්‍රහනයක් උදා කරගැනීමට සමත් වී ඇතැ” යි ලංගුසේස ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පාරම් බෑවේය. ඊට අලගු තැබූ එගුසේස නායක සංජීව බන්ඩාර, ආන්ඩුවේ වැටුප් වැඩිකිරීමේ පොරොන්දුව ජයග්‍රහනයක් යයි ඔජ වැඩී ය. “ගුරුවරුන්ගේ එකමුතුව බලමුලුගැන්වීම මගින් අපට කල හැක්කේ කුමක්දැයි අපි ආන්ඩුවට පෙන්නුවා' යයි ඔහු කීවේ ය.

ගුරුවරුන්ගේ “ජයග්‍රහනයක්” පිලිබඳ සියලු කතා අමු කෙප්පයකි. වෘත්තීය සමිති සන්ධානය හා ආන්ඩුව අතර ගනුදෙනුව, දිවයින පුරා කම්කරුවන්ගේ වැඩෙන අරගල මාලාවක් මධ්‍යයේ, ගුරුවරුන්ගේ කාර්මික ක්‍රියා නවතා දැමීම පිනිස ක්‍රියාවට දැමූ කුජීත පාවාදීමකි. පසුගිය සති කිහිපය තුල, වරාය, විදුලිබල හා ඛනිජ තෙල්, සෞඛ්‍ය හා රාජ්‍ය පරිපාලන සේවකයන් මෙන් ම පුද්ගලික අංශයේ සේවකයන් නියුක්ත වන වැඩ වර්ජන හා විරෝධතා මාලාවක් දැක ගැනීමට හැකි විය.

වසංගතය රට පුරා අඛන්ඩ ව පැතිර යද්දී පවා, ලෝකය පුරා අනෙකුත් ආන්ඩු මෙන් රාජපක්ෂ පාලනයට ද, පාසල් යලි විවෘත කිරීමට අධ්‍යාපන වෘත්තීය සමිතිවල සහයෝගය අවශ්‍ය විය. අනෙකුත් රටවල වෘත්තීය සමිති සගයන් මෙන් ම ලංකාවේ ගුරු වෘත්තීය සමිති ද පාසල් අන්තරායකාරී ලෙස යලි විවෘත කිරීමට සම්පූර්න පිටුබලය දුන් හ. ඔක්තෝබර් 22දා සිට පාසල් විවෘත කිරීම, පන්ති වසා දැමීමට බලධාරීන්ට බල කෙරෙමින් රට පුරා සිසුන් හා ගුරුවරුන් සිය ගනන් කොවිඩ්-19 ආසාදනය වීමට තුඩු දී ඇත.

පසුගිය සතියේ ගුවිවෘසස නායකයන් සමග පැවති හමුවේ දී ආන්ඩුව අධ්‍යාපනයට ආයෝජනය කරන බවට මුදල් ඇමති රාජපක්ෂ කල කියාපෑම් ද ව්‍යාජයකි. 2021 වසර සඳහා අධ්‍යාපනයට වෙන් කල ප්‍රතිපාදනය යන්තම් රුපියල් බිලියන 126ක් වූ අතර, එය 2019ට වෙන් කල රුපියල් බිලියන 166ට වඩා රුපියල් බිලියන 40ක අඩුවක් විය. 2022 සඳහා වෙන් කර ඇත්තේ යන්තම් රුපියල් බිලියන 127ක් පමනි. ශ්‍රී ලංකාවේ ආන්ඩු අධ්‍යාපනය සඳහා දැන් වියදම් කරන්නේ දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 1.2ක් පමනි.

“ජයග්‍රහනය” පිලිබඳ වෘත්තීය සමිතිවල ඝෝෂාවට විපරීත ව, සියලු අත්‍යවශ්‍ය භාන්ඩ මත මිල පාලනය ඉවත් කිරීම, භාන්ඩ හිඟය හා කලු-කඩ ලාභ ගැරීම විසින් උද්ගත කර ඇති පිම්මේ නැගෙන උද්ධමනය විසින් සොච්චම් වැටුප් වැඩිකිරීමේ මූර්ත අගය දැනට මත් අතුගා දමනු ලැබ තිබේ. වඩා රුදුරු කප්පාදු පියවරයන් අඩංගු වූ පසුගිය සතියේ ඉදිරිපත් කල කප්පාදු අයවැය නිසා ජීවන වියදම තව දුර ඉහල යනු ඇත.

මෙම පලල්-පරිමාන ප්‍රහාරයට එරෙහි සටන, රාජපක්ෂ පාලන තන්ත්‍රයටත්, සමස්ත පාලක ප්‍රභූවටත් එරෙහි ව සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම් වන දේශපාලන අරගලයකි. ධනපති පන්තියේ කාර්මික පොලීසියක් ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිති, එවන් අරගලයක් මැඩීමට අධිෂ්ඨානවත් ය. ගුරුවරුන්ගේ දීර්ඝ-කාලීන වැටුප් සටන පාවාදීම තුල මෙය විශද ව තහවුරු කෙරෙයි.

ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව (ටීඑස්පීඑස්සී) හා සමාජවාදී සමානතා පක්ෂය (සසප), ගුරු අරගලයේ සෑම තීරනාත්මක අවස්ථාවකට ම මැදිහත් වී, අධ්‍යාපනිකයන් සිය අරගලය ඔවුන්ගේ ම අතට ගෙන, සෑම පාසලක ම හා ආයතනයක ම, වෘත්තීය සමිතිවලින් ස්වාධීන වූ, ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතු බව පැහැදිලි කල හ.

අධ්‍යාපනිකයන් ලංකාවේ කම්කරු පන්තියේ අනෙකුත් කොටස් සහ ජාත්‍යන්තර පන්ති සගයන් සමග එකමුතුව ගොඩනගා ගැනීමේ අවශ්‍යතා ව ද ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව හා සසප විස්තර කල හ. මෙම දේශපාලන විශ්ලේෂනය අධ්‍යයනය කරන ලෙසත්, ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙසත්, මෙම අරගලය සමග ඒකාබද්ධ වන ලෙසත්, අපි ගුරුවරුන්, ශිෂ්‍යයන් හා දෙමාපියන්ගෙන් ඉල්ලමු.

Loading