ශ්‍රී ලංකා ආන්ඩුව දැඩි කප්පාදු පියවරයන් පැනවීමට යයි

[මෙය 2021 නොවැම්බර් 09 වැනි දා Sri Lankan government to impose drastic austerity measures යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, සිය 2022 අයවැය නිර්දය වනු ඇති බව පැහැදිලි කර ඇත. “ජනතාවට ලැබෙන්න නෙවෙයි යන්නෙ. ජනතාවගෙන් ගන්නයි වෙන්නෙ” යැයි ඔහු නොවැම්බර් 1 දා මාධ්‍යයට පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ බාල සොහොයුරා වන මෑතකදී පත් වූ මුදල් අමාත්‍යවරයා, සිකුරාදා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

නොවැම්බර් 2 වැනිදා භාන්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ, පසුගිය වසරේ පැවති සියයට 14.7 ට වඩා අඩුවෙන්, දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 4.5-5 දක්වා අයවැය පරතරය දැඩි ලෙස කපා හැරීමට ආන්ඩුවට අවශ්‍ය බවයි.

එල්පී ගෑස් මිලදී ගැනීමට ශ්‍රී ලාංකිකයෝ පෙල ගැසී සිටිති [මූලාශ්‍රය: ලෝසවෙඅ මාධ්‍ය]

අයවැය හිඟය තුනෙන් දෙකකින් කප්පාදු කිරීම යනු කුඩා ගොවීන්ට සහ දුප්පතුන්ට ආන්ඩුව ලබා දී ඇති ඉතිරි සොච්චම් සහනාධාර ද අහෝසි කරමින් සියලු අත්‍යවශ්‍ය භාන්ඩවල මිල ඉහල යන පරිදි ඉහල බදු පැනවීමයි. පසුගිය වසරේ මුල් භාගයේ සිට රුපියලේ අගය සියයට 27 කින් තියුනු ලෙස අවප්‍රමානය වීම ප්‍රේරනය කරමින් අයවැය පරතරය පියවීම සඳහා ආන්ඩුව රුපියල් ට්‍රිලියන තුනකට ආසන්න මුදලක් මුද්‍රනය කර ඇත.

සිකුරාදා අයවැය නිවේදනයට පෙර, සීමා සහිත මිල පාලනයන් ඉවත් කිරීමට ආන්ඩුව දිගටම කටයුතු කරයි. පරිප්පු, සීනි, හාල්මැස්සන්, මුං ඇට, අල, ලොකු ළූනු, ටින්මාළු, කඩල, තිරිඟු පිටි, සම්පූර්න යොදය සහිත කිරිපිටි, කරවල, පොල්, කුකුල් මස් සහ බඩ ඉරිඟු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 14 ක මිල පාලනය, නොවැම්බර් 3 වැනිදා පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ඉවත් කරන ලදී.

ශ්‍රී ලංකාවේ වසරින් වසර සිදුවන, ආහාර ද්‍රව්‍ය වල නිල උද්ධමනය පසුගිය මාසයේදී සියයට 13 කට ආසන්න විය.

සැප්තැම්බර් මාසයේදී සහල් සහ පිටි ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා වූ මිල පාලනය ඉවත් කිරීමත් සමඟ, ඒවා පිලිවෙලින් සියයට 10 සිට 40 දක්වා වැඩි වීමත්, පිසින ගෑස් මිල සියයට 80 කින් ඉහල යාමත් සමඟ මෙම තීරනය ගෙන ඇත.

අගෝස්තු 30 දා ජනාධිපති රාජපක්ෂ හදිසියේම ජාතික හදිසි තත්ත්වයක් පැනවූයේ, ආහාර තොග සඟවා තැබීම නැවැත්වීමේ සහ පාලන මිලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඛන්ඩව සැපයීම සහතික කිරීමේ මුවාවෙනි.

අදාල ක්‍රියාමාර්ග ගැනීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙස රාජපක්ෂ විසින් විශ්‍රාමික හමුදා නිලධාරියෙකු පත් කරන ලදී. කෙසේ වෙතත්, පසුගිය සතියේ, ආන්ඩුව මෙම තනතුර අහෝසි කලේ, තවදුරටත් මිල පාලනයක් හෝ අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල 'අඛන්ඩ' සැපයුමක් නොමැති බව අඟවමිනි.

ශ්‍රී ලංකාවේ ගැඹුරු වන ආර්ථික අර්බුදයේ තවත් ඇඟවුමක් ලෙස, අත්‍යවශ්‍ය භාන්ඩ කන්ටේනර් 900 කට අධික ප්‍රමානයක් කොලඹ වරායේ රඳවා ඇති බව මාධ්‍ය පසුගිය සතියේ වාර්තා කලේය. දැනටමත් වෙලඳපොලේ හිඟයක් පවතින සීනි කන්ටේනර් 350 ක්ද මීට ඇතුලත් ය. ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු ඩොලර් හිඟය හේතුවෙන් තමන්ට අවශ්‍ය විදේශ මුදල් නිකුත් කර නොතිබීම නිසා භාන්ඩ ඉවත් කිරීමට නොහැකි වූ බව ආනයනකරුවෝ ප්‍රකාශ කරති.

පිසින ගෑස්, කිරිපිටි, සීනි සහ භූමිතෙල් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය, අඩුවන සැපයුම් සඳහා දිගු පෝලිම්වල රැඳී සිටීමට හෝ හිස් අතින් ආපසු ගෙදර යාමට සිදුවන කම්කරු පන්තියට සහ දුප්පත් පවුල්වලට ඉමහත් දුෂ්කරතා ඇති කර තිබේ. හිඟය සහ අහස උසට නැඟෙන මිල ගනන් හේතුවෙන් රට පුරා කුසගින්න සහ හාමත ඉහල යමින් පවතී.

පසුගිය සතියේ ආන්ඩුවේ බලධාරීන් විශ්‍රාමිකයින්ට ඔවුන්ගේ මාසික විශ්‍රාම වැටුපෙන් රුපියල් 400 සිට 600 දක්වා අඩු කිරීමේ සැලසුමක් ගැන චක්‍රලේඛයක් නිකුත් කලේය. විශ්‍රාමික රක්ෂන ක්‍රමයක් පුළුල් කිරීමේ මුවාවෙන් මෙම පියවර ගෙන ඇත. කෙසේ වෙතත්, එය රාජ්‍ය භාන්ඩාගාරයට බරක් ලෙස සැලකෙන වත්මන් විශ්‍රාම වැටුප් වියදම් කප්පාදුවේ ආරම්භයයි.

ඔක්තෝබර් මස මුලදී, මුදල් ඇමති රාජපක්ෂ 2022 සඳහා ඔහුගේ සමස්ත අයවැය වියදම් ඇස්තමේන්තු නිකුත් කරන ලද අතර එය වත්මන් වර්ෂයට සාපේක්ෂව රුපියල් බිලියන 173 ක පමන අඩුවීමක් පෙන්නුම් කරයි. කප්පාදුව ප්‍රධාන වශයෙන් බලපානු ඇත්තේ සෞඛ්‍ය, පලාත් සභා, සමෘද්ධි (දුප්පතුන් සඳහා කුඩා සුබසාධන දීමනාවකි), ජල සැපයුම, කාන්තා හා ලමා සංවර්ධනය, ග්‍රාමීය නිවාස සහ ශ්‍රම වියදම් සඳහා ය.

සෘජු විදේශ ආයෝජන සඳහා මංමුලා සහගතව සිටින කොලඹ දැන් බහුජාතික සමාගම්වලට ඊටත් වඩා ත්‍යාගශීලී සහන පිරිනමයි. අයවැයෙන් ඔවුන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න සාකච්ඡා කිරීම සඳහා මුදල් ඇමති රාජපක්ෂ මෑතකදී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විවිධ බහු ජාතික සමාගම්වල ප්‍රධානීන් සමඟ සංවෘත රැස්වීමක් පැවැත්වීය. එයට, ඒ. බවර් සහ සමාගම, ඒඅයිඒ ඉන්ෂුවරන්ස්, සියැට් ලංකා, ඩෝල් ලංකා, ඉන්සී සිමෙන්ති, ජපන් ඉටෝචු, හුවාවි ටෙක්නොලොජීස්, ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව, සහ අර්න්ස්ට් ඇන්ඩ් යංග් යන සමාගම් පැමින සිටියහ.

සීමිත මාධ්‍ය වාර්තාවලට අනුව, ආන්ඩුව “මූල්‍ය ප්‍රතිපත්තියේ ඒකාකාර ව පවත්වා ගැනීම” එනම් අඩු බදු පවත්වා ගන්නා බවට, මුදල් ඇමති බහු ජාතික සමාගම්වලට සහතික විය. ඇත්ත වශයෙන්ම, ශ්‍රී ලංකාවේ සංගත බදු අනුපාත පසුගිය අයවැයෙන් සියයට 14 ත් 24 ත් අතර ප්‍රමානයකට අඩු කරන ලද අතර එය දකුනු ආසියාවේ අඩුම අගයයි. බහු ජාතික සමාගම් අපනයන භෝග වගා කරන ඉඩම් සඳහා ඉක්මන් ආන්ඩුවේ අනුමැතිය සහ මිලකරනය සඳහා රජයේ මැදිහත්වීම අඩු කිරීම ඇතුළුව 'නිර්දේශ' වල ලැයිස්තුවක් ඉදිරිපත් කලහ. ඔවුන්ගේ “නිර්දේශ” සලකා බලා ඒවා විසඳීමට උත්සාහ කරන බවට රාජපක්ෂ රැස්වීමට සහභාගී වූවන්ට සහතික විය.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය වසංගතය හේතුවෙන් වඩාත් නරක අතට හැරී තිබේ, අපනයන හා විදේශ ප්‍රේෂනවල නාටකාකාර පහත වැටීම් සහ සංචාරක කර්මාන්තයේ බිඳවැටීම හේතුවෙන් ආන්ඩුවට ප්‍රධාන විදේශ නය ආපසු ගෙවීමේ ගැටලු ඇති කර තිබේ.

පසුගිය මාසයේ අගභාගයේදී, 'මූඩි ආයෝජකයින්ගේ සේවාව' විසින් ශ්‍රී ලංකාවේ නය ශ්‍රේගත කිරීම තවදුරටත් පහත හෙලන ලද අතර, එය ඉතියෝපියාව, ලාඕසය සහ කොංගෝ ජනරජයට සමාන මට්ටමකට ඇතුලත් විය. ඒජන්සිය පැවසුවේ ආන්ඩුව “අතමාරු සහ ද්විපාර්ශ්වික නය වැනි සුලු සුලු අරමුදල්” මත ඕනෑවට වඩා රඳා සිටින බවත්, “ඉතා අඩු විදේශ විනිමය සංචිත සන්දර්භය තුල” මෙය “නය පැහැරහැරීමේ අවදානම්” ඇති කරන බවත් ය.

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය සැප්තැම්බර් අග වන විට ඩොලර් බිලියන 2 දක්වා පහත වැටුනු අතර එය මාස 1.3 ක පමන ආනයන සඳහා ප්‍රමානවත් වේ. කෙසේ වෙතත්, 2025 වන තෙක් රට ජාත්‍යන්තර නය සේවා සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 4 සිට 5 දක්වා ගෙවීමට අවශ්‍ය වේ. 2022 සහ 2023 දී ශ්‍රී ලංකාවට වසරකට දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 25-27 ක අති විශාල නයක් ගැනීමට සිදුවනු ඇතැයි ද මූඩි අනාවැකි පල කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව මූඩිගේ තක්සේරුව කෝපයෙන් ප්‍රතික්ෂේප කලේ, පහත හෙලීම “නියමිත කාලයට පෙර” බව ප්‍රකාශ කරමිනි. එය ප්‍රකාශ කලේ, එලැඹෙන අයවැය “බාහිර අභියෝග සමනය කිරීමට උපකාරී වන ප්‍රතිපත්ති මුලපිරීම් සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරන සඳහා තානය සකසනු ඇති” බව ය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නියම කරන ලද අනෙකුත් 'ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරන' අනුව, රජය සතු විදුලිබල හා ඛනිජ තෙල් අංශ සහ වරාය පුද්ගලීකරනය කිරීමට ආන්ඩුව සිය පියවරයන් තීව්‍ර කරන විට මෙම “ප්‍රතිපත්ති මුලපිරීම් සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරන” දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම ප්‍රතිසංස්කරනවල අරමුන වන්නේ ඉන්ධන, විදුලිය සහ අනෙකුත් උපයෝගිතාවල මිල ඉහල නැංවීමයි, එබැවින් රජය සතු අංශ සඳහා පවතින ආන්ඩුවේ සහනාධාර ඉවත් කර, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය සඳහා කර්මාන්ත ලාභදායී ආයෝජන බවට පත් කල හැකිය.

ආන්ඩුවේ පුද්ගලීකරන න්‍යාය පත්‍රය ගැඹුරින්ම අපකීර්තිමත් වන අතර, එය, නොවැම්බර් 3 දා විදුලිය, ඛනිජ තෙල් හා වරාය කම්කරුවන්ගේ රටපුරා විරෝධතාවලට තුඩු දුන්නේය. මෙම සිකුරාදා කප්පාදු අයවැය සමාජ ආතතීන් තව තවත් තීව්‍ර කරනු ඇති අතර රාජපක්ෂ පාලනයට එරෙහි අරගලය සඳහා කම්කරු පන්තියට බල කරනු ඇත.

Loading