ශ්‍රී ලාංකික තරුනියගේ ඛේදජනක මරනය සංක්‍රමනික කම්කරුවන් මුහුන දෙන බියකරු කොන්දේසි හෙලිදරව් කරයි

ශ්‍රී ලාංකික සංක්‍රමනික කම්කරු තරුනියක් වූ විශ්මා සඳමාලි රත්නායක මේ වසරේ මාර්තු මස 06 වෙනිදා ජපානයේ අයිචි ප්‍රාන්තයේ නාගෝයා ප්‍රාදේශීය ආගමන සේවා කාර්යාංශයේ දී මිය ගොස් තිබේ. මියයන විට ඇය 33 වන විය පසු කරමින් සිටියාය. 

විශ්මා සඳමාලි රත්නායක

2017 වර්ෂයේ දී ශිෂ්‍ය වීසා මගින් ජපානයට ගිය සඳමාලීගේ ප්‍රධාන බලාපොරොත්තු වූයේ වැඩිදුර ඉගෙනීමටත් වඩා, ලංකාවට සාපේක්ෂව ඉහල වැටුප් සහිත රැකියාවක් සොයා ගැනීමයි. උසස්පෙල සමත් ඇය කඩවත ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ශිෂ්‍ය වීසා කොන්දේසි යටතේ යමෙකුට රැකියාවක් කිරීමට අවස්ථාව හිමි වන්නේ සතියකට පැය 28 ක කාලයක් සඳහා පමනක් වීම හේතුවෙන් ඇයට ස්ථිර රැකියාවක් සොයා ගැනීම අපහසු විය. සඳමාලී ජපානයේ අධ්‍යාපන ආයතනයක ජපන් භාෂාව ඉගෙන ගැනීම ආරම්භ කල අතර පන්ති ගාස්තු නොගෙවීම නිසා මාස 06 ක් තුල ඈ ආයතනයෙන් එලියට වැටුනි. ඉන්පසුව ඇය විවිධ දුෂ්කරතාවයන්ට මුහුන දුන්නාය. 

තමන් සමග එකට ජීවත් වූ තරුනයාගෙන් සිදු වූ පීඩා පිලිබඳව පැමිනිල්ලක් කිරීමට පසුගිය වසරේ අගෝස්තු මාසයේ ඇය විසූ ප්‍රාන්තයේ පොලීසියට ගිය විට සඳමාලි අත්අඩංගුවට පත්වන්නේ වීසා ඉක්මවා රට තුල රැඳී සිටිමේ චෝදනාව මතයි. ඇගේ පැමිනිල්ල තුට්ටුවකට මායිම් නොකල පොලීසිය විසින් ඇයව නගොයාහි රැඳවුම් කඳවුරේ සිරගත කරන ලදී. එතැන් සිට ඇයට මුහුන දීමට සිදු වූ අමානුෂික තත්වය පෙන්නුම් කරන්නේ ජපාන සංක්‍රමන නීතියේ රුදුරු ස්වභාවයයි.

දරුනු අපරාධකරුවෙකුට දක්වන නොපනත්කම්වලට ඇයට මුහුන දීමට සිදුවිය. කෙසේ නමුත් අත්අඩංගුවට පත්වන විට සඳමාලි සතුව පැවතියේ සුලු මුදලක් බැවින් ඇයට ලංකාවට පැමිනීමට නො හැකි විය. රඳවා තැබීමේ මධස්ථානය තුල, දීර්ඝ කාලයක් රඳවා තැබීමකට කිසිසේත් සුදුසු නොවන ඉතා කුඩා කාමරයක, සිර අඩස්සියට පත්වීමට ඇයට සිදු විය. 

විදේශීය ශ්‍රමිකයන් සහ සරනාගතයින් සඳහා ආධාර සපයන ස්ටාර්ට් (START) නමැති සංවිධානයේ නිලධාරීනියක වන යසුනෝරි මාට්සුයි පවසන පරිදි සඳමාලි මුලින් සිතා ඇත්තේ, ආගමන ඒජන්සිය නවාතැනක් බවත් එය ඇයට ආරක්ෂාව සපයනු ඇති බවත් ය. මාට්සුයි ට අනුව, පසුගිය දෙසැම්බරයේදී රෝගාතුරවූ ඇයට, ජනවාරි මාසයේ දී ඇවිද ගැනීමට නොහැකි වී ඇත. සඳමාලි ලේ පවා වමනය කර තිබේ. 

රෝද පුටුවෙන් යෑමට තරම් අබලන් වූ ඇගේ බර මාස කිහිපයක් තුල කිලෝ ග්රෑම් 20 කින් පමන අඩු වී ඇත. මේ හේතු නිසා ඇයට ලංකාවට පැමිනීමට නොහැකි තත්වයක් නිර්මානය වී තිබේ. ඒ අතර, ජපානයේ සරනාගතභාවය ඉල්ලා ඇය කල අයැදුම ද ප්‍රතික්ෂේප විය. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇයට තාවකාලික නිදහසක් ලබා දෙන ලෙස ජපානයේ ආධාරකරුවන් ආගමන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද එයද ව්‍යර්ථ විය.

සඳමාලි රත්නායකගේ අවමංගල්‍යයට සහභාගී වූ පිරිසෙන් කීපදෙනෙක්

 ආදාහන කටයුතුකල මැයි 16 වැනිදා සඳමාලි රත්නායකට අවසන් ගෞරව දැක්වීම සඳහා ජපන් ජාතිකයන් 200 ට අධික පිරිසක් සහභාගී වූ බව මියගිය සඳමාලි ගේ නැගනිය වන රිද්මා ලෝක සමාජවාදී වෙබ් අඩවිය ට (ලෝසවෙඅ) ප්‍රකාශ කලාය. “ජපාන ආන්ඩුව ගැන මට විශ්වාසයක් නෑ. මැරෙන වෙලාවේ අක්කාගෙ කටට කෑම දාන්න උත්සාහ කරල තිබෙනවා. එයාට අධි මාත්‍රාවක වේදනා නාශක සහ නින්ද යාමට දෙන බෙහෙත් ලබා දීලා තිබෙනවා. අවසාන දිනවල ලබාදුන් විටමින් කිසිවක් බොන්න බැරිවෙලා තියෙන්නේ ඇයට ඒ වනවිට ගිලීම අපහසු වීම නිසයි. ඒත් සේලයින් දීල නැහැ” යයි රිද්මා වැඩිදුරටත් පැවසුවා ය.

ජපාන අධිකරන අමාත්‍ය යෝකෝ කමිකාවාගෙන් ඇයව රඳවා සිටි ස්ථානයේ වීඩියෝ දර්ශන ලබා දෙන ලෙස පවුලේ ඥාතීන් කල ඉල්ලීම රාජ්‍ය ආරක්ෂාව සහ සඳමාලිගේ ගෞරවය ආරක්ෂා කිරීම වැනි අභූත හේතු ඉදිරිපත් කරමින් ප්‍රතික්ෂේප කර තිබේ. රිද්මා පැවසුවේ සඳමාලිගේ මලසිරුර ඉතා වයෝවෘද්ධ ස්වභාවයක් පෙන්නුම් කල බවයි.

සඳමාලි රත්නායකගේ පවුලේ අය

 සඳමාලි ඇගේ දින පොතෙහි සටහන් කර තිබූ කෙටි සටහන්, රැඳවුම් කඳවුරේ දී ඇයට සැලකූ නොපනත් ආකාරය නිසා මරනය සිදුවූ  බවට තවත් පැහැදිලි සාක්ෂියකි. “මට කෑම  කන්න බැහැ, ඔවුන් පවසන්නේ ආතතිය නිසා බවයි. මම ඔවුන්ගේ අත් අඩංගුවේ පසුවන නිසා ඔවුන් මාව රෝහලකට ගෙනයන්නේ නැහැ. මට යලි සුවවීමට උදවු කරන්න” යනුවෙන් ඇය දින පොතේ ලියා තිබුනි. “මගේ දියනියට සලකා ඇත්තේ සතෙකුට වගෙයි. සතුන්ටත් ලෙඩ වූ විට මිට වඩා රැකවරනයක් ලැබිය යුතුයි” සඳමාලිගේ මව ප්‍රකාශ කලා ය.

සඳමාලි රත්නායක 2007 වර්ෂයේ සිට මේ දක්වා ජපානය තුල මියගිය 18 වැනි ශ්‍රී ලංකිකයා ය. එමෙන්ම පසුගිය මාස 13 ක කාලය තුල රඳවා ගැනීමේ මධ්‍යස්ථානයකදී මියගිය හතරවැනියා ඇය වෙයි. 2019 වසරේදී සරනාගතභාවය සඳහා ඉදිරිපත්වූ ඉල්ලීම් 10,375 ක් අතරින් අනුමැතිය ලැබී ඇත්තේ 44 දෙනෙකුට පමනි. 

දැනට රැඳවුම් මධ්‍යස්ථාන වල සිටින සංඛ්‍යාව 3,00 ක් පමන වුවත්, වසංගතය අරම්භ වීමට පෙර, ඔසාකා, නාගසාකි, ඉබරකි සහ තවත් මධ්‍යස්ථාන 16 ක රටවල් ගනනාවකට අයත් සංක්‍රමනික කම්කරුවන් 20,000 ට අධික සංඛ්‍යාවක් රඳවා තිබී ඇත. නමුත්, කොවිඩ් වසංගතය ආරම්භවීමත් සමග, එයින් රැඳවියන් ආරක්ෂා කිරීමේ වගකීමෙන් නිදහස්වීම සඳහා ඒ සියලුදෙනාම එක්වර මුදාහැර තිබේ. රැකියාවක් හෝ නවාතැනක් නැති මෙම සංක්‍රමනිකයන් වසංගත අවදානම මැද මහමගට ඇදදැමීමෙන් ජපාන පාලකයන්ගේ සාපරාධී ස්වභාවය ඉස්මතුකර පෙන්වයි. 

ලංකාවත් ඇතුලු දකුනු ආසියානු, අග්නිදිග ආසියානු, අප්‍රිකානු හා ලතින් ඇමරිකානු රටවල පවතින අඩු වැටුප්, විරැකියාව සහ දරිද්‍රතාවය හේතුවෙන් තරුනයන් ද ඇතුලු මිලියන සංඛ්‍යාත ජනයා, මැදපෙරදිගට, යුරෝපයේ දියුනු ධනපති රටවලට, ඇමරිකා එක්සත් ජනපදයට, ඕස්ට්‍රේලියාවට හා ආසියාවේ ජපානය වැනි රටවලට රැකියා සොයා සංක්‍රමනය වෙති. 

බෝට්ටු මගින්, භාන්ඩ ප්‍රවාහන නැව්, කන්ටේනර් වැනි අන්තරායකාරී ක්‍රමවලින් පවා තරුනයෝ දේශසීමා තරනය කරති. ලොව පුරා වාර්ෂිකව දහස් ගනනක් එවැනි අනතුරුවලින් මරනයට පත්වන අතර මධ්‍ය ධරනී මුහුද එවැනි ඛේදවාචක බහුල කලාපයකි. 

අන් රටවල මෙන්ම, ජපානය තුල ද, වසංගතය මගින් ගැඹුරු කෙරෙන ගෝලීය ආර්ථික අර්බූදයේ බර කම්කරු පන්තිය මත පැටවීම තීව්‍ර කර තිබෙන අතර එහි කොටසක් ලෙස සංක්‍රමනිකයන්ට එරෙහිව නීති තර කර තිබේ. ජීජී ප්‍රවෘත්ති සේවය විසින් මෑතකදී පවත්වන ලද ජනමත විමසුමකට අනුව, පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ (එල්ඩීපී) අගමැති සුගාගේ සහයෝගය සියයට 33 ට වඩා පහත වැටී ඇත. 

ජපාන ආන්ඩුවට එරෙහිව වැඩෙන සමාජ කෝපය ප්‍රකාශයට පත් කරමින්, සඳමාලිගේ මරනයට විරෝධය පල කරමින් ජපානයේ නගර කිහිපයකම විරෝධතා අවුලුවා තිබේ. ඒ සඳහා ජපාන කම්කරුවන් ද ඇතුලු ජපානයේ වෙසෙන අවශේෂ සංක්‍රමනික කම්කරුවෝ සිය ගනනක් සහභාගි වූහ.    

අනෙක් අතට, ලංකාව ඇතුලු පසුගාමී රටවල පාලක පන්තීහු, විදේශයන්හි රැකියාවල නියුතු තම රටවල කම්කරුවන් මුහුනදෙන මෙම අමානුෂීය කොන්දේසි කිසිවකට මැදිහත් නොවන සාපරාධී පිලිවෙතක් අනුගමනය කරති. එවන් මැදිහත්වීම්, විදේශ රටවල රැකියා අවස්ථා අහිමිකොට සංක්‍රමනික කම්කරුවන්ගෙන් උපයා ගැනෙන විදේශ විනිමය ප්‍රමානය හීන කරතැයි යන්න, එම පිලිවෙත පිටුපස පවතින ප්‍රධාන උත්සුකය කි. 

සඳමාලිගේ ජීවිතය බේරා ගැනීමටත්, මරනයට හේතු විමසීමටත් ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ අවශේෂ තනාපති කාර්යාල කිසිදු මැදිහත්වීමක් කර නැත්තේ මෙම පිලිවෙත මත ය. කොවිඩ් වසංගතය මධ්‍යයේ අනේකවිධ දුෂ්කරතාවයන් විඳිමින්, යලි තම රටට පැමිනීමේ අපේක්ෂාවෙන් වසරකටත් වැඩි කාලයක් විදේශයන්හි කොටු වී සිටින දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකික කම්කරුවන් සම්බන්ධයෙන් රාජපක්ෂ ආන්ඩුව දක්වන නරුම නොතැකීම මෙම පිලිවෙතෙහි තවත් කැපී පෙනෙන ප්‍රකාශනයකි.

Loading