[මෙය Film director Prasanna Vithanage discusses Paradise with the WSWS මැයෙන් 2024 සැප්තැම්බර් 13දා පල කල සම්මුඛ සාකච්ඡාවේ පරිවර්තනයයි.]
මෑත දී ඕස්ට්‍රේලියාවට පැමිනි අවස්ථාවේ, ශ්‍රී ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ ඔහුගේ පැරඩයිස් චිත්‍රපටය පිලිබඳ ව ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමග සාකච්ඡා කලේ ය. චිත්‍රපටය ගැන ලෝසවෙඅ පල කල විචාර ලිපිය මෙහි ඇත.
කෘතහස්ත ස්වාධීන චිත්‍රපට අධ්‍යක්ෂ විතානගේ, 1992 දී ඔහුගේ පලමු වෘතාන්ත චිත්‍රපටය වන සිසිල ගිනිගනී තැනූ අතර, එතැන් සිට ඔහු තවත් වෘතාන්ත චිත්‍රපට 10ක් හා වාර්තා චිත්‍රපටයක් අධ්‍යක්ෂනය කර ඇත. ඒවා අතරට පවුරු වලලු, පුරහඳ කලුවර, ඉර මැදියම, ඔබ නැතුව ඔබ එක්ක සහ ගාඩි අයත් වේ. පහත පලවන්නේ චිතානගේ සමග පැවති සාකච්ඡාවේ සංස්කරනය කල පෙලකි.
රිචඩ් ෆිලිප්ස්: ඔබේ කාලය ලබා දීම ගැන ස්තුතියි, පැරඩයිස් චිත්‍රපටයට සුභපැතුම්. එය බලගතු කෘතියක් වගේ ම රාජපක්ෂ ආන්ඩුව බලයෙන් නෙරපූ විරෝධතා සමයේ කැමරාගත කරන, ශ්‍රී ලංකාව ගැන බොහෝ දේවල් හෙලිදරවු කරන චිත්‍රපටයක්. ඔබ එය නිපදවූවේ මන්දැයි ඔබට විස්තර කල හැකි ද?
ප්‍රසන්න විතානගේ: ඔව්. ගෝඨාභය රාජපක්ෂ පලවා හැරීමේ මජහන ක්‍රියාවන් පලමුව 2022 දී ආරම්භ වුනේ ගොවීන්ට ඔවුන්ගේ වගාවන්ට අවශ්‍ය පොහොර නො ලැබුනු නිසා. ආන්ඩුව ඊලඟට බංකොලොත් භාවය ප්‍රකාශයට පත් කලේ, මහ බැංකුව සතුව භයානක ලෙස විදෙස් සංචිතවල අඩු මට්ටමක් තිබෙන බව හෙලිදරවු කරමින්.
කිසිදු නායකත්වයකින් තොර ව මහජනයා වීදිවලට පැමිනුනා, ඒ නිසායි එම ව්‍යාපාරය අසාර්ථක වුනේ. ආහාර, ගෑස්, ඉන්ධන හා විදුලිබලය කැපිම් අවසන් කරන ලෙස ඉල්ලමින්, ඒ අවුරුද්දෙ මාර්තු 31 වෙනිද ජනාධිපති මන්දිරය වට කලේ, ආන්ඩුව බංකොලොත් භාවය ප්‍රකාශයට යන්තම් කලින්.
මෙම මහජන විරෝධතා හටගනු ඇතැයි පුරෝකථනය කලේ ඉතා ම ස්වල්ප දෙනෙක්. ලංකාවේ මධ්‍යම පන්තීන් විශ්වාස කලේ, පන්ති අරගලය අහවර වෙලා කියලා. පාරිභෝගික සමාජයෙන් හා ඊනියා විවෘත ආර්ථිකයෙන් ප්‍රතිලාභ ලැබීම නිසා සෑම කෙනෙක් ම ඉහලට ගමන් කරමින් පැවති නිසා, පන්ති අරගලය අතීතයට අයත් යලි සිද්ද නො වන දෙයක් ලෙස සැලකුවා. උපකල්පනය වුනේ මෙය යි.
2019 දී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතික ආරක්ෂාව ගැන පොරොන්දු වෙමින් බලයට පැමින, තමන් සිංහල බෞද්ධයන් බහුතරයකගේ ඡන්ද දිනාගත් නිසා එම ජනතාවට සේවය කරන බව කියා සිටියා. ජාතිකවාදයේ හා ජාතික ආරක්ෂාවේත් විවිධාකාර බොරු පොරොන්දුවල හිස් භාවය පෙරමුනේ පැවතියා, එම නිසා සුපිරි වෙලඳසැල්වල ක්ෂනික ව භාන්ඩ නොමැති ව, කඩවල කිසිවක් නැති වූ විට සෑම කෙනෙක් ම වීදිවලට පැමිනීම ආරම්භ කලා.
සාමාන්‍ය මහජනයා අතිශය දුෂ්කර තත්ත්වයන්ට මුහුන දෙද්දී, විවිධාකාර කන්ඩායම් කොලඹ ගාලු මුවදොර පිටියට එක්රැස් වීම ආරම්භ වෙලා, ඒ හරහා “ගෝඨා ගෙදර යනු” ව්‍යාපාරය නිර්මානය වුනා.
මෙයට සම්බන්ධ බොහෝ අංශ හිටියත්, එහි සංවිධායකයන්ගෙන් බහුතරයකට කිසිදු ආකාරයක විප්ලවවාදී නායකත්වයක් පැවතීම අවශ්‍ය වුනේ නැහැ. මාක්ස්වාදීන් හෝ කිසිදු ආකාරයක පක්ෂ දේශපාලනයක් සමග සම්බන්ධ වීම ඔවුන්ට අවශ්‍ය නො වුනා වගේ ම පැහැදිලි විකල්ප දේශපාලනික ක්‍රියාමාර්ගයක් තිබුනෙත් නැහැ. සරල ව ඔවුන් තර්ක කලේ ඔවුන්ට ජනාධිපතිවරයා ඉවත් කිරීමට හැකි වුවහොත් සියල්ල විසඳෙනු ඇතැයි කියල යි. එය අව්‍යාජ උත්සුකයන් පිලිබඳ ව අරගල කරන අව්‍යාජ අරගලයක් වුවත් එය අසංවිධිත හා බිඳවැටීමට නියමිත මහජන අරගලයක් බව මට කල්තබා ම වැටහුනා.
මහජනයා රාජපක්ෂ පලවා හැරීමෙන් පසුව, අවසානයේ දී රනිල් වික්‍රමසිංහ පලමු ව අගමැති ලෙසත් ඉන්පසු ජනාධිපති ලෙසත් පත් කරගත්ත පාලක පන්තිය, ඊලඟට තත්ත්වය මත ඔවුන්ගේ පාලනය ප්‍රතිස්ථායී කරගත්තා. 2022 අපට එය විශාල දේශපාලන පාඩමක් වුනා -මේ ගැන මහජනයා තවමත් මේ ගැන කල්පනා කරමින් සිටිනවා- නමුත් ඔබේ මූලික ප්‍රශ්නය ගැන කතා කිරීමට මට ඉඩ දෙන්න.
ගෝඨාභය රාජපක්ෂ පලවා හැරීම ඉල්ලමින් පෞද්ගලික ව මෙම විරෝධතාවන්ට සම්බන්ධ වූ මම අනෙකුත් කලාකරුවන් සමග පෙලපාලි ගියා, මට මේ අත්දැකීම ගැන කිව හැක්කේ කුමක්දැයි දිගට ම කල්පනා කලා.
කලාකරුවෙක් ලෙස මට අවශ්‍ය කලේ, මේ සුවිශේෂී තත්ත්වයේ මතුපිටට යටින් සිදුවෙමින් පැවතියේ කවරක් ද යන්න පිලිබඳ ව යමක් කියමින් එය සමග අන්තර්-ඡේදනය වෙමින් විවෘත කරන්න. ඒ නිසා, ලංකාව සමග කිසිදු සම්බන්ධයක් නැති, සිදුවන දෙය ගැන තැකීමක් නැති පුද්ගලයන් දෙදෙනෙක් පිලිබඳ මේ කතාව මම නිර්මානය කලා.
ඔවුන්ගේ මධ්‍යම-පන්තික මනෝගතීන් ගැන යමක් හෙලිදරවු කිරීම මට අවශ්‍ය වුනත්, ඩේවිඩ් වොල්ෂ් නිරන්තරයෙන් විස්තර කරන ආකාරයට සමාජ පදනම හා සමාජීය තත්ත්වය අවබෝධ කරගැනීමට දරන අව්‍යාජ උත්සාහයකින් තොර ව ඔබට මහජනයාගේ අන්තර්-ජීවිතය ඔබට සැබෑවට පිලිබිඹු කිරීමට බැහැ. මගේ කාර්යය වුනේ ලංකාවේ තත්ත්වය ඔවුන්ට බලපෑ ආකාරය පැහැදිලි කරමින් පුද්ගලිකත්වය දේශපාලනිකය සමග අන්තර්ක්‍රියා කරන ආකාරය පෙන්වා දීම යි.
දේශපාලන තත්ත්වය ගැන යමක් කීමත් මට අවශ්‍ය වුනා. පාලක ප්‍රභූවේ සමහර සාමාජිකයන්, සමස්ත මහජන ව්‍යාපාරය එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් දෙන ලද ආධාර සහිත කුමන්ත්‍රනයක් වූ බව කීමට උත්සාහ දරන නිසා, මෙය වැදගත්.
ආර්පී: එය කුමන්ත්‍රනයක් බව කියමින් ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රනය නමැති පොතක් රාජපක්ෂ ලියා තිබෙනවා.
පීවී: ඔව්, ඒක ඇත්ත. මේ මිනිසුන්ට මහජන ව්‍යාපාරයට අවමන් කිරීම සහ මහජනයා ඔවුන්ට එරෙහි වූ බව හා මහජනයා ම ආස්ථානයක් ගත් බව ප්‍රතික්ෂේප කිරීම අවශ්‍ය යි. එම නිසා, මෙය ප්‍රතික්ෂේප කිරීම සහ ආන්ඩු-විරෝධී මහජන විරෝධය වනාහි වසංගතය සමගින් ඉහල ගොස් තිබුනු අපේ සමාජයේ ඇති හැකි අය හා නැති බැරි අය අතර ඇති සැබෑ පන්තිමය බෙදීම්වල ප්‍රතිඵලය වූ බව පෙන්වා දීම වැදගත් වෙනවා.
විශේෂයෙන් චිත්‍රපටයේ එන කම්කරු-පන්තික මහජනයා වන, කම්කරු පන්තියේ වඩාත් ම පීඩිත කොටස වන වතු කම්කරුවන් සම්බන්ධයෙන් ඒක එහෙම යි. ජනාධිපතිවරන හෝ මහ මැතිවරනවල දී, දෙමල නායකයන්ට හා දේශපාලනඥයන්ට ඡන්ද ලබා ආසන දිනාගෙන ආන්ඩුවේ තානාන්තරවලට පත්වීමට ඔවුන් නරුම ලෙස යොදා ගැනෙනවා.
චිත්‍රපටයට යටින් දිවෙන දේවලින් සමහරක් වන්නේ ද මේ දේවල් පෙන්නුම් කිරීමට මට අවස්ථාව ලබා දුන්නේ ද මා අපේක්ෂා කරන ආකාරයට මහජනයා යලි නැගී සිටීමට හේතු වන්නේ ද මේවා යි.
ආර්පී: මෙම සිද්ධීන්වලට කලාත්මක ව ප්‍රතිචාර දැක්වීමට වෙනත් කිසිවෙක් උත්සාහ කර තිබෙනවා ද?
පීවී: සාහිත්‍යයන් ලියවේවි, විය හැකි පරිදි සමහර වාර්තා චිත්‍රපට තැනේවි, අපේක්ෂා කරන ආකාරයට ම එක ම නාට්‍යමය වෘතාන්තය මගේ චිත්‍රපටය පමනක් නො වේවි.
ආර්පී: චිත්‍රපටය නරඹන්නේ නැති අයට, එහි චරිත ගැන ඔබට තවත් යමක් කිව හැකි ද? එහි එන ඉන්දියානු ජෝඩුව වන කේසව් හා අම්රිතා විශේෂයෙන් ම ආගමික සංචාරක මාවතක් අනුගමනය කරනවා. ඔබ එසේ තීරනය කලේ ඇයි?
පීවී: ඉන්දියානු හා ලාංකික දේශපාලනය මම සමීප ව අධ්‍යයනය කර තිබෙනවා, ඒත් එක්ක ම මෑත දී ඉන්දියාවේ මම වැඩි කාලයක් ගත කර තිබෙනවා. ඔවුන්ගේ රට දියුනු වෙමින් පවතින බව සිතන ඉන්දියානු මධ්‍යම පන්තිය, කෙටි කාලයක් ඇතුලත ඉන්දියාව ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය බවට පත්වේවි කියා විශ්වාස කරනවා. ඉහලට ගමන් කිරීමේ යෙදී සිටින මෙම ස්ථර සමාජ හිනිපෙතේ ඉහලට නගිමින් සිටිනවා.
කේරලයෙන් පැමිනෙන කේසාව් මේ වර්ගයේ චරිතයක්. ඉන්දියාවේ මූල්‍ය අගනගරය වන මුම්බායිහි සාර්ථක වීමට අරගලයේ යෙදී සිටින ඔහු, ලංකාවට පැමිනි වහා ම, පන්ති බෙදීම් ගැන කතා කරන ස්කිඩ් ගේම්ස් නාට්‍යයේ ඉන්දියානු පිටපතක් නිෂ්පාදනය කිරීමේ කොන්ත්‍රාත්තුව තමන්ට ලැබී ඇති බව දැන ගන්නවා.
ඔවුන්ගේ පස්වැනි විවාහ සංවත්සරය සඳහා රාමායන [පුරාවෘත්තය හා සම්බන්ධ යැයි කියන ස්ථාන දැක බලා ගැනීමේ] සංචාරයක යෙදීමට ශ්‍රී ලංකාවට යාමට කේසාව් හා ඔහුගේ බිරිඳ තීරනය කලේ මතුපිට හේතුවක් ලෙස. ඔහුගේ මනස හා හදවත යොමු වී තිබෙන්නේ රාමා සංචාරයට හෝ විවාහ සංවත්සරයට නෙවෙයි. ඔහුගේ බිරිඳ වන අම්රිතා ඇයගේ තරුන කාලයේ දී නව කතාවක් ලිවීමේ අපේක්ෂාවෙන් සිටියත්, දැන් බ්ලොග් අඩවියක් පවත්වාගෙන යනවා. තම සැමියාගේ හෙවනැල්ලට යට සිටින ඇය ඔහු මත රඳා සිටිනවා. මතුපිටින් බැලූ විට සෑම දෙයක් ම ඉතා හොඳ යයි පෙනුනත්, චිත්‍රපයට තුල පලල් වන බෙදීම් ඔවුන් අතර පවතිනවා.
අනෙක් චරිතය වන ඇන්ඩෲ මහතා සංචාරක මගපෙන්වන්නෙක්. ඔහු කතා කරන්නේ රාමා පුරාවෘත්තය ගැන සියල්ල දන්නා කෙනෙක් වගේ වුනත් විශේෂඥයෙක් නො වන ඔහුට, රාමා කතන්දරය පිලිබඳ පොත් තුල කියවා ඇති දේවල් නිතර ම අමතක වෙනවා. කිසිදු මතයකින් තොර අදේශපාලනික අයෙක් වීමට ඔහු උත්සාහ කරනවා, සාමාන්‍යයෙන් සංචාරකයන්ට රාමා පුරාවෘත්තය ගැන කැමැත්තක් නැති නිසා ඔහුට එය ඇත්තට ම අවශ්‍ය නැහැ. සෑම මිනිත්තු පහකට වරක් කේසාව් ඔහුගේ ජංගම දුරකථනය දෙස බැලීම, වර්තමාන ධනපති සමාජය මිනිසුන්ට ඔවුන්ගේ ජීවිත වලංගු කරන හෝ ඔවුන්ගේ වෘත්තීය ජීවිතවලට වාසි ගෙන දෙන වර්ගයේ යම් පනිවුඩයක් ලැබේ යයි අනවරත ව අපසරනය කරන ආකාරය ගැන ඉඟි කිරීමක්.
මෙම කතන්දරය හටගන්නේ ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක් සම්පාදනය කිරීමට ඉන්දියාව එකඟවීමත් එක්ක ම, එම නිසා කේසාව්ට යම් ආඩම්බර ආකල්පයක් තිබෙනවා. ඔහු සාජන් බන්ඩාරට සලකන ආකාරය තුලත්, සොරකම් කරන ලද අයිපෑඩය හා ජංගම දුරකථන ඉක්මනින් ම සොයා ගැනීමට ඔහු බන්ඩාර මත පීඩනය යොදන ආකාරය තුලත් මෙය පෙන්නුම් කරනවා.
ආර්පී: බන්ඩාර සිටින්නේ පීඩනයට ලක් වී, එහෙත් ඉදිරියට යා යුතු ආකාරය ඔහු දන්නවා.
පීවී: ඔව්. කලයුත්තේ කුමක්දැයි සාජන් හරියට ම දන්නවා. මා උඩරට දී චිත්‍රපටය රූගත කරන කොට, එයට සහභාගී වූ නලුනිලියන් නො වන වතුකරයේ දෙමල ජනයා සෑම විට ම මෙවැනි දේවල් සිදුවන බව මට කිව්වා. සෑමදෙයක් ගැන ම වැරදි යයි චෝදනාවට ලක් වන වතුකරයේ තරුනයන් පොලීසියේ ඉතා ම පහසු ඉලක්ක.
කතන්දරයේ මේ කොටස එහි සැලසුමේ කොටසක් හෝ බලපෑම සඳහා හඳුන්වා දුන් කොටසක් නෙවෙයි, ඒත් මේ කලාප තුල සිදුවන දෙයෙහි යථාර්ථය එය යි.
මාස දෙකකට කලින් ලංකාවේ ඉංග්‍රීසි භාෂාවෙන් පල කරන ඩේලි මිරර් පත්‍රය, කෙටි කාලයක් ඇතුලත පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මිය යාමේ සිද්ධි 25ක් වාර්තා කලා. සැකකරුවන්ට මරනය තෙක් වද දෙන බොහෝ සිද්ධි මම අධ්‍යයනය කර තිබෙනවා. එය සරල සත්‍යයක්.
චිත්‍රපටය තුල මේ වර්ගයේ සිද්ධියක් හැඟීම් ඇවිස්සීමට භාවිතා කල හැකියි, ඒත් කලාකරුවන් මෙවැනි දේවල් අතිශයෝක්තියට නැංවිය යුතුයි කියල මම විශ්වාස කරන්නේ නැහැ. ඔබ මෙවැනි දෙයක් පමනට වඩා ඉදිරිපත් කරන්නේ නම් එය බූමරැංගයක් වී, සත්‍යය හෙලිදරවු කිරීමෙන් ඔබ ව වලක්වනවා. මේ චිත්‍රපටකරුවාට දේශපාලන දෘෂ්ටිවාදය මගින් මගපෙන්වන බව මහජනයා කියාවි.
ආර්පී: එය ඔබේ ප්‍රේක්ෂකයන්ගේ බුද්ධියට ගරු කිරීම පිලිබඳ ප්‍රශ්නයක් ද වෙනවා.
පීවී: ඇත්ත වසයෙන් ම. හැම දෙයක් ම පෙවිය යුතු යැයි මම විශ්වාස කරන්නේ නැහැ. සූක්ෂම අයුරින් ක්‍රියා කිරීමත්, දේවල් පිලිබඳ ව සිතා බැලීමට ඔබේ ප්‍රේක්ෂකයන්ට අභියෝග කිරීම සඳහා ඔවුන්ගේ පරිකල්පනය අවදි කිරීමත් වඩා හොඳයි. ඒ අයුරින්, ඔවුන් වඩා අවධානයෙන් පසු වෙමින් කතාවට බැඳී සිටිනු ඇත.
ආර්පී: මනුෂ්‍ය ජීවිතයක මිල කීයදැයි අම්රිතා සාජන්ගෙන් විමසන මන බඳින වචන හුවමාරුවක් චිත්‍රපටය තුල තිබෙනවා.
පීවී: සිදු වී ඇති දෙය ගැන ඇයට වරදකාරී හැඟීමක් තිබෙනවා, ඇත්ත වසයෙන් ම විරෝධතාවල දී බොහෝ ලාංකිකයන් ඇයගේ ප්‍රශ්නය අසමින් සිටියා. අපේ ජීවිතවල වටිනාකම කීය ද?
දකුනේ තරුන ජනයා රස්සාවල් හොයාගෙන ඉතාලියට හෝ වෙනත් ඕනෑ ම රටකට සංක්‍රමනය වීමට උත්සාහ කරමින් සිටියා. ලංකාවෙන් පිටත්වීම සඳහා පාස්පෝට් කාර්යාලය ඉදිරිපිට දීර්ඝ පෝලිම් පැවතුනා. ඒ ඇයි? ඒ හුදෙක් ආර්ථික තත්ත්වයෙන් පලා යාමට පමනක් නෙවෙයි, ඔවුන්ගේ ජීවිත අගය නො කිරීමත් ඒකට එක් හේතුවක් වුනා. ඔවුන්ට සලකනු ලැබුවේ මිනී අලුවලට වගේ.
ලංකාවේ පාර්ලිමේන්තු සභිකයන් ගනන වන “225 ම අපට එපා” කියා ගාලු මුවදොර පිටියේ දී ලාංකිකයන් හඬනැගුවේ ඇයි? මනුෂ්‍ය ජීවිතය ගැන කිසිදු උත්සුකයක් නැති, රට කොල්ල කන දේශපාලනඥයන් සියලු දෙනා හෙලා දකිනු ලැබූ භාවමය ප්‍රතිචාරයක් ලෙස එය පැවතුනා.
වතු කම්කරුවකුගේ ජීවිතය ජනාධිපතිවරනයක දී හෝ මහ මැතිවරනයක දී පමනක් වටින අතර එය එක් ඡන්දයක් පමනක් යනුවෙන් සාජන් බන්ඩාර අම්රිතාට දක්වන ප්‍රතිචාරය සැබෑ කාරනයක්.
වතු කම්කරුවන් කලින් පෙලගැසී සිටියේ වාමාංශික ලංකා සම සමාජ පක්ෂයත් එක්ක, ඒත් එම පක්ෂය 1950ගනන් හා 1960ගනන්වල දී කල පාවාදීම් නිසා, එම සහයෝගය දැන් පාර්ලිමේන්තුමය කේවල් කිරීමේ ගනුදෙනුවල දී යොදා ගන්නා ධනපති දෙමල ප්‍රභූන් විසින් ගසා කා ගත්තා.
චිත්‍රපටයේ එන පන්ති බෙදීම් පිලිබඳ ව තවත් කාරනයක් ගැන සඳහන් කිරීමට මම කැමතියි. බ්‍රිතාන්‍ය පාලක ප්‍රභූන් හා ඔවුන්ගේ සේවකයන් අතර බෙදීම් ප්‍රවේසමෙන් ගවේෂනය කරන රොබට් ඕල්ට්මන්ගේ ගොස්ෆෝඩ් පාක් (Gosford Park) චිත්‍රපටය මාව නිතර ම උද්යෝගයට පත් කරනවා. සමාජ ජීවිතයේ මෙම ඉහල මාලයන් සහ පහල මාලයන් අතර සම්බන්ධය, සංචාරක මගපෙන්වන්නාත් අවසානයේ සේවකයනුත් කෙරෙහි ඉන්දියානු මධ්‍යම-පන්තික යුවලේ ආකල්ප තුල ප්‍රකාශයට පත්වන ආකාරය පෙන්නුම් කිරීම මට අවශ්‍ය වුනා.
ආර්පී: ඔබ පිටපත වර්ධනය කල ආකාරය ගැන ඔබට තවත් යමක් කිව හැකි ද?
පීවී: මගේ චිත්‍රපට තැනීමේ ආදර්ශ පාඨවලින් එකක් වන්නේ, නිර්මානාත්මක කෘතියක් විප්ලවයට සේවය කිරීමට නම්, එය සැබෑ කලා කෘතියක් විය යුතුය යනුවෙන් ට්‍රොට්ස්කි කියූ දෙයයි. මෙහි අර්ථය වන්නේ මගේ පිටපත සිනමාත්මක විය යුතු බව යි.
විදුලිබලය කැපීම, ගෑස් හා ඉන්ධන හිඟය හා දේශපාලනික සිද්ධි ගැන ඔබගේ ම කෝපය පැවතුනත්, මා ලියමින් සිටිය දී මේ සියල්ල ගැන හැඟීම් සහගත ව සිටියත් මනස තුල මූලික පරිකල්පන රූප පැවතිය යුතු යි. ඇත්ත වසයෙන් ම, ඔබ ඔබේ චරිත සංවර්ධනය කරමින් ඒ සියල්ලනට සත්‍යවාදී වෙමින් විවිධ දෘෂ්ටි ආස්ථාන පැමිනීම ගැන බිය නොවෙමින්, ඔබ ඔබේ ප්‍රේක්ෂකයාට පරිකල්පන රූප හරහා කතා කරමින් සිටින බව සෑමවිට ම මතක තබා ගනිමින් කටයුතු කල යුතු යි.
චිත්‍රපට තැනීමේ දී, ඔබ සෑම චරිතයක ම සත්‍යය ගෙන එමින්, ඔවුන්ගේ ආත්මීය දෘෂ්ටීන්ගෙන් වෛෂයික සත්‍යය ස්ථාපිත කිරීමට ඔබ උත්සාහ දරනවා. මෙය ඉතා අභියෝගාත්මක යි. පැරඩයිස් චිත්‍රපටය දිවෙන්නේ විනාඩි 90ක් පමනයි, ඒ නිසා එය ඉතා කේන්ද්‍රගත හා අවමවාදී යි, ඒ නිසා ම එය ඉතා බලගතු යයි මා අපේක්ෂා කරනවා.
ආර්පී: රූගත කිරීමේ දී ඔබ පිටපත බොහෝ සෙයින් වෙනස් කලා ද?
පීවී: ඇත්තට ම නැහැ, ඒත් සමාජීය ව ඉතාමත් සවිඥානික පුද්ගලයෙකු වන මගේ සිනමා ශිල්පී රජීව් රවී සමග මම සමීප ව වැඩ කලා. ඔහු ඉතාමත් උපකාරී වුනා. ඔහුට සෑම චරිතයක වගේ ම එම චරිත අතර අන්තර්ක්‍රියාවල දී, පෙනීම්, අවස්ථා සහ සියුම් වෙනස්කම් නිරූපනයට දෘෂ්ටිමය තාල ලබා ගැනීමට පුලුවන් වුනා.
ආර්පී: රූගත කිරීමට කොපමන කාලයක් ගතවුනා ද?
පීවී: 2023 ජනවාරියේ පටන් අරගෙන දවස් 25ක් ගත වුනා. ලංකාවේ උද්ධමනය සියයට 64ක් වුනු නිසා, චිත්‍රපටය ඉතා සැලසුම්ගත ව ඉක්මනින් රූගත කිරීමට අපට සිදු වුනා.
ආර්පී: දෙබස් දුර්ලභ වුවත්, බොහෝ ප්‍රියජනක හා හෙලිදරවුකාරී දෙබස් පවතිනවා. පොලිස් ස්ථානයේ දී ඉන්දියානු යුවල, සාජන් බන්ඩාර හා ඇන්ඩෲ මහතා අතර සාකච්ඡා වගේ ම නවාතැනේ දී එහි කාර්ය මන්ඩලයේ දෙදෙනෙකු අතර දෙබස් ඉතා ප්‍රියජනක යි. ඔබට ඒ ගැන යමක් කිවහැකි ද?
පීවී: ඔව්, දෙබස් දුර්ලභ යි, ඒත් මේක මගේ පුද්ගලික ශෛලිය නෙවෙයි. කාරනය වන්නේ, චරිතවල මනෝභාවීය අත්දැකීම් ගෙන ඒමත්, මෙම චරිත විසින් භාවිතා කරන භාෂාවේ දේශපාලනය චිත්‍රපටය තුල ගවේෂනය කිරීමත් යන ඒවා යි.
ඉන්දියානු යුවල එකිනෙකා සමග කතා කිරීමේ දී ඉංග්‍රීසි හා මලයාලම් භාෂා යොදා ගන්නවා, ඒත් සමහර දේවල් සේවකයන්ගෙන් සැඟවීම අවශ්‍ය වෙලාවට මලයාලම් භාෂාවෙන් ඔවුන් කතා කරනවා.
කේසාව් සාජන් බන්ඩාරට කතා කිරීමේ දී ඉංග්‍රීසි යොදා ගන්නවා. යන්තමින් ඉංග්‍රීසි දන්නා බන්ඩාර ඉංග්‍රීසි බස නිසා තමන් තර්ජනයට ලක් වී ඇති බව පෙන්නුම් කරමින් හීනමානි ස්වභාවයක් පෙන්නුම් කරනවා. චරිත විසින් භාෂාව යොදා ගන්නා ආකාරය බල ව්‍යුහය හා සබඳතා පෙන්වන තවත් ක්‍රමයක්.
ආර්පී: ඔබ ලෝසවෙඅ නිතර කියවන පාඨකයෙක්. එහි කලා හා සංස්කෘතික විශ්ලේෂනය ඔබේ කලාත්මක ප්‍රවිෂ්ටයට මග පෙන්වන්නේදැයි කියමින් ඔබට ඒ ගැන කිව හැකි ද?
පීවී: එය ඉතා හොඳ ප්‍රශ්නයක්. 1999 පටන් මම ලෝසවෙඅ පාඨකයෙක්. මම චිත්‍රපටි විශ්ලේෂන ගැන මුලින් කතා කරන්නම්. දේශපාලනය ගැන ඉන් පසු ව කතා කරන්නම්.
ඔබ තනි වී නැති බවත්, සිනමාව මෙන් ම එහි ඉතිහාසය ඉතා හොඳින් හා ගැඹුරින් මහජනයාට අවබෝධ කර දීම වෙනුවෙන් සටන් කරන්නන්ට හඬක් තිබෙන බවත් ලෝසවෙඅ විමර්ශන ඔබට පෙන්වා දෙනවා.
ලෝසවෙඅ මාක්ස්වාදී විශ්ලේෂනයක් සම්පාදනය කරන බව පමනක් මම කියන්නේ නැහැ -එය අනිවාර්යයෙන් එසේ කරනවා- ඒත් සිනමාවේ ඉතිහාසය ගැන එහි ලිපි, විමර්ශන හා එය කලාකරුවන්ට ලබා දෙන දිශාව කැපී පෙනෙනවා. වෙන කිසිවෙක් මේ වර්ගයේ සාහිත්‍යය පල කරන්නේ නැහැ. මට කාලය තිබෙන සෑමවිට ම, වොල්ෂ් සහෝදරයාගේ ද ස්කයි බිට්වීන් ද ලීව්ස් මම යලි යලිත් කියවනවා, එම කෘතිය තුල බොහෝ වටිනා ආලෝචනාවන් තිබෙනවා, ඒ වගේ ම එය මගේ වටිනා ම ත්‍යාගයක් ලෙස සලකනවා.
සමහරු අප ජීවත් වන්නේ අපේක්ෂාවන් භංග වූ කාලයක යයි කියනවා, නැත් නම් ගාසා තීරයේ සිද්ධීන්ට හා යුක්‍රේනය තුල යුද්ධයට සමහර කලාකරුවන් ප්‍රතිචාර දක්වන්නේ ඒ ආකාරයෙන්. නරුම බවට පත්වන ඔවුන් අවසානයේ වර්තමාන තත්ත්වය පිලිගැනීමට යොමු වෙමින් අනාගතයක් නැතැයි කියනවා.
චිත්‍රපට උලෙලවල ජූරි සභිකයෙකු ලෙස කටයුතු කරන නිසා, කිසිදු වෛෂයික සත්‍යයන් හෙලිදරවු කිරීමට අවාසනාවන්ත ලෙස අසමත් වන ඉතා පුද්ගලික චිත්‍රපට බොහොමයක් මම නරඹනවා.
ඇත්ත වසයෙන් ම, සමහර කලාත්මක කව වෛෂයික සත්‍යයක් පවතින බව විශ්වාස කරන්නේ නැහැ. ඔවුන්ගේ කෘති නිතර ම පාහේ අප්‍රතිරෝධී හා යාංහෑලි වෙනවා. සමහර විට, ඔවුන් සුවිශේෂී පුද්ගලයෙකුගේ හෝ චරිතයක මනෝගතිය අවබෝධ කරගැනීමට උත්සාහ දරනවා වෙන්න පුලුවන්, එහෙත්, ඔවුන් එසේ නො කල යුතු යයි මා කියන්නේ නැහැ. නමුත් ඔබට පුද්ගලයෙකු අවබෝධ කරගැනීමට හැකි වන්නේ ඔවුන් ජීවත් වන ලෝකය හා සමාජ සබඳතා අවබෝධ කර ගැනීම හරහා පමන යි.
ආර්පී: ඔබ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු බවට පත් වූයේ කෙසේ ද? වර්තමානයේ ශ්‍රී ලංකාවේ චිත්‍රපටකරුවන් මුහුන දෙන තත්ත්වය කුමක් ද?
පීවී: ශ්‍රී ලාංකික චිත්‍රපටකරුවන් ඉතා දුෂ්කර තත්ත්වයකට මුහුන දෙනවා, ආර්ථිකයේ බිඳවැටීම එය ඉතා නරක බවට පත්කර තිබෙනවා.
චිත්‍රපටයක් අවසානයේ දී මා නොනැසී පැවතී ඇත්තේ කෙසේදැයි මගෙන් නිරන්තරයෙන් විමසනවා. ශ්‍රී ලංකාවේ චිත්‍රපට පාසලක් තිබුනේ නැති නිසාත්, තවමත් නො පවතින නිසාත් මම කවදාවක වත් එවැන්නකට ගොස් නැහැ, එහෙත් මම චිත්‍රපටවලට ඉතා කැමතියි, ඒවගේ ම මෙම ක්ෂේත්‍රයේ දැවැන්තයින් ව මම අධ්‍යයනය කලා. ෂොන් රෙනූවර්, ෆ්‍රිට්ස් ලෑං, මාර්සල් කෑන් හා ඔහුගේ චිල්රන් ඔෆ් ද පැරඩයිස්, අයිසන්ස්ටයින්ගේ සෝවියට් චිත්‍රපට, ජෝන් ෆෝඩ්ගේ චිත්‍රපට හා ලෝසවෙඅ මෑත දී විමර්ශනය කල 1974 ශ්‍රේෂ්ඨ චිත්‍රපට හා අනෙකුත් බොහෝ අයගේ චිත්‍රපට මම නැරඹුවා.
එක්සත් ජනපදයේ මැකාතිවාදී දඩයම සමයේ, තමන්ගේ මූලධර්ම හා කලාව වෙනුවෙන් ඍජු ව පෙනී සිටි ඒබ්‍රහම් පොලන්ස්කි වැනි චිත්‍රපටකරුවන් පිලිබඳ වත් මම කල්පනා කරනවා.
චිත්‍රපටකරුවන් තමන් හා අනෙකුත් ශ්‍රේෂ්ඨ අධ්‍යක්ෂවරුන් රැගෙන ගිය යෂ්ටිය ඉදිරියට ගෙන යාම අවශ්‍ය යි, චිත්‍රපටකරුවන්ට හා අනෙකුත් කලාකරුවන්ට ලෝසවෙඅ, එහි දේශපාලන විශ්ලේෂන හා විමර්ශන අවශ්‍ය කරන්නේ ඒ නිසයි.
පැරඩයිස් චිත්‍රපටය ඉන්දියාව, යුරෝපය, මැද පෙරදිග, ඕස්ට්‍රේලියාව, හා සමහර ඇමරිකානු නගරවල මෙන් ම ජාත්‍යන්තර චිත්‍රපට උලෙල බොහෝ ගනනක දී තිරගත කෙරී ඇත. ජූලි මාසයේ නිකුත් කිරීමෙන් පසු, 25,000ට අධික ලාංකිකයන් ද එය නරඹා තිබෙන අතර, දිවයිනේ තේ වතු කලාපවල විශ්ව විද්‍යාල සිසුන් සඳහා තිරගත කිරීමට සැලසුම් කරනු ලබයි. ඉන්දියාවේ හා සරල ව දකුනේ ඇමේසන් ප්‍රයිම් වීඩියෝ හරහා චිත්‍රපටය දැනට නැරඹීමට හැකි ය. මේ මාසය අවසන් වන විට, එය එක්සත් රාජධානියේ හා අයර්ලන්තයේ චැනල් 4 නාලිකාවේ ප්‍රදර්ශනය කෙරෙනු ඇත.