ගාසා තීරයේ ජන සංහාරය ගෙන යාම ගැන ඊශ්‍රායලයට විරෝධය පෑම හේතුවෙන් අත්අඩංගුවට ගත් මුස්ලිම් තරුනයා ත්‍රස්තවාදය වැලක්වීමේ පනත (පීටීඒ) යටතේ රැඳවුම් භාරයේ තැබීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අත්සන් තබා ඇති නියෝගය--එම නියෝගය කෙරෙහි විරුද්ධත්වය ද පල කෙරෙමින්--දැන් සමාජ මාධ්‍ය තුල පලල් ව සංසරනය වෙමින් පවතී.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) අප්‍රේල් 6දා මෙම රැඳවුම් නියෝගය පිලිබඳව පල කල ලිපියක් තුල, මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී නියෝගය නිකුත් කල හැකි ව තිබුනේ ජනාධිපති දිසානායකට බව සඳහන් කෙරුනි. ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානයේ (ඇම්නෙස්ටි ඉන්ටනැෂනල්) දකුනු ආසියානු කොට්ඨාශය, සාමාන්‍ය නීතිමය ක්‍රියාදාමය නොතකා සිදු කල මෙම රැඳවුම විවේචනය කරමින් සඳුදා නිකුත් කල නිවේදනයක සඳහන් කර තිබුනේ තමන් ජනාධිපති අත්සනින් නිකුත් කෙරුනු නියෝග පත්‍රය දුටු බවයි.
මෙ ලෙස අත්අඩංගුවට ගෙන රඳවා සිටියේ, කලම්බු සිටි සෙන්ටර් සුපිරි සාප්පු සංකීර්නයේ විකුනුම්කරුවෙකු ලෙස සේවය කල, 22 හැවිරිදි මොහොමඩ් රුෂ්ඩි නම් මුස්ලිම් තරුනයා ය. ගාසා තීරය තුල නිරායුධ කාන්තාවන් සහ ලමුන් බහුතරයක් ඇතුලු 50,000කට අධික කුඩා ලමුන් පලස්තීන ජනයා ප්‍රමානයක් දැනටම සංහාරය කර තිබෙන සියෝන්වාදී ඊස්‍රායල රාජ්‍යයට සාප කරන “F***ඊස්‍රායල්” නම් පාඨය සහිත ස්ටිකරයක් කසල බඳුනක ඇලවූයේ රුෂ්ඩි විසින් බව සොයා ගත් පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝගය ලබා ගත්තේ ය.
ටීඅයිඩීය විසින් දින 90ක රැඳවුම් භාරයේ රඳවා ගෙන සිටි මෙම තරුනයා, ලංකාව තුල ද ජාත්‍යන්තර ව ද පැන නැගුනු බරපතල විවේචනයන් මධ්‍යයේ සඳුදා සවස ඇප පිට නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයෙකු විසින් නියෝග කර තිබේ. ඔහුට චෝදනා පත්‍රයක් ගොනු කිරීමට පොලීසිය අසමත් ව ඇතත්, සෑම ඉරිදා දිනයක ම ඔහු පොලිස් ත්‍රස්ත විමර්ශන අංශයේ අත්සන් තැබිය යුතු ය. රුස්ඩි තම නිවසට යනවිට දැන ගන්නට ලැබුනේ තමන් සේවය කල ආයතනයෙන් තමන් සේවයෙන් දොට්ට දැමීමේ ලිපියක් ලැබී ඇති බවයි.
රුස්ඩි අත්අඩංගුවට ගැනීම මෙන් ම ඇප පිට “නිදහස්” කිරීම ද ජනාධිපති දිසානායක හා ඔහුගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව ඒකාධිපති පාලනයක් කරා වේගවත් ව ගමන් කරන ආකාරය ගැන කම්කරුවන් හා තරුනයන් වෙත බරපතල අනතුරු ඇඟවුමක් නිකුත් වී ඇත.
රුස්ඩිට, රහසේ කසල බඳුනක ස්ටිකරයක් අලවා එක්සත් ජනපද අධිරාජ්‍යවාදිනේගේ පිටුබලය ලබමින් ඊශ්‍රායලය ගෙන යන තිරිසන් ජන ඝාතනයට විරුද්ධත්වය පෑමට සිදු වුනේ අයි? ඊට හේතුව, මෙම ජනඝාතන වලට එරෙහි ව ප්‍රසිද්ධියේ විරුද්ධවීමේ අයිතිය විශේෂයෙන් මුස්ලිම් ජනයාට අහිමි කර ඇති බවයි.
පසුගිය මාස කිහිපයේ, ඊශ්‍රායල සංචාරකයන් හා ඔවුන්ගේ ආගමික ස්ථාන මුස්ලිම් අන්තවාදීන් විසින් ඉලක්ක කර ගෙන ඇතැයි, එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයන් නිවේදන නිකුත් කිරීමත් සමග ආන්ඩුවේ පොලිස් හස්තය ක්‍රියාත්මක විය. නැගෙනහිර පලාතේ “මුස්ලිම් අන්තවාදය නැගීම ගැන” ආන්ඩුව ඇස යොමු කර ඇති බව ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මාර්තු 4 දා ප්‍රකාශ කලේ ය. මේ කියන ආකාරයේ “සොයා ගැනීම්” පිලිබඳ ප්‍රචාරය ආන්ඩුව හා පොලිසිය යොදා ගෙන ඇත්තේ මුස්ලිම් ජනයා බිය වැද්දීමට හා වාර්ගික ආතතිය ඇවිලවීමටයි.
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට දිසානායක ආන්ඩුව එල්ල කරන ප්‍රහාරයට තරයේ ම විරුද්ධ වන ලෙස සමාජවාදී සමානතා පක්ෂය කම්කරු පන්තියෙන් ඉල්ලා සිටී. එක් අයෙකුට අත තැබීම සියල්ලන්ට එරෙහි ප්‍රහාරයක කොටසකි. ඇප මත නිදහස් කර ඇති තරුනයා කොන්දේසි විරහිත ව නිදහස් කරන ලෙස කම්කරු පන්තිය් ඉල්ලීම විය යුතු වේ.
දෙ වන හා බරපතල අනෙක් කරුන නම්, මෙම මුස්ලිම් තරුනයා මහේස්ත්‍රාත්වරයෙකුට ඇප පිට නිදහස් කල හැකි ව තිබිය දී ජනාධිපති රැඳවුම් නියෝගයක් නිකුත් කලේ, තමන්ට ලැබී ඇති ඒකාධිපති විධායක බලතල අත්තනෝමතික ලෙස ක්‍රියාවට දමමින් බවයි.
කිසි ම කම්කරුවකු, තරුනයෙකු හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අගයන කිසිවෙකු මෙම සිද්ධීන් අහම්බයන් ලෙස ගෙන සුලු කොට නොතැකිය යුතුය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රහාරවලට එරෙහි ව නැගෙන කම්කරුවන්ගේ, දුගීන්ගේ හා තරුනයන්ගේ අරගල තලා දැමීමට දිසානායක හා ඔහුගේ දක්ෂිනාංශික ආන්ඩුව මෙම මර්දන නීති හා රාජ්‍ය බලය මුදාහරින බව දැනටම ඇඟවුම් කර තිබේ.