මධ්‍යම කඳුකරයේ හැටන් හි පිහිටි පන්මූර් වතුයායට මෑතකදී ගිය ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුවෝ, කම්කරුවන් සහ තරුනයින් හමු වී, ඔවුන් මුහුනදෙන දුෂ්කර කොන්දේසි ගැන සාකච්ඡා කලහ. උග්‍ර නිවාස හිඟය, කිසිදා නොවිසඳුනු පානීය ජල ප්‍රශ්නය, වඩවඩාත් පරිහානියට පත්වන සෞඛ්‍ය පහසුකම්, අධික වැඩබර, ඉහල යන ජීවන වියදමට කිසිසේත් නොසරිලන අවම වැටුප් මට්ටම්, වැඩෙන මන්දපෝෂනය සහ දරිද්‍රතාවය ඇතුලු දැවෙන ප්‍රශ්න පිලිබඳව ඔවුහු දීර්ඝ වසයෙන් පැහැදිලි කලහ.
අනෙකුත් වතු කම්කරුවන් මෙන්ම පන්මූර් වතුයායේ ද බොහෝ කම්කරුවන් ජීවත් වන්නේ වාතාශ්‍රය සහ ආලෝකය අඩු අඳුරු ලයින් නිවාසවල ය. සාමාන්‍යයෙන් මෙම නිවාසයක වපසරිය වර්ග අඩි 300 ක් පමන වන අතර, ඒ අතරින් බොහොමයක කම්කරුවන්ගේ දූ පුතුන්ගේ පවුල් ද ජීවත් වෙති. ඇතැමුන් විශ්‍රාම යාමේදී ලැබෙන සොච්චම් සේවක අර්ථ සාධක මුදල මුලුමනින්ම වැයකොට තම දරුවන්ගේ පවුල් සඳහා අමතර කාමරයක් එකතු කරගෙන ඇති අතර, ඔවුනට තම විශ්‍රාම ජීවිතයේ දී දරුවන්ගෙන් යැපීමට සිදුව ඇත.
වතු කම්කරුවන්ට ලැබෙනුයේ රුපියල් 1350 ක දෛනික වැටුපකි. මෑතකදී සකස් කරන ලද මහ බැංකු වාර්තාවට අනුව පස් දෙනෙකුගෙන් යුත් පවුලකට තම අවම අවශ්‍යතා සපුරා ගැනීමට මසකට රුපියල් 150,000 ක් අවශ්‍ය වන නමුත්, බොහෝ වතු කම්කරුවන්ට, මාසය මැද දී ලබා ගන්නා අත්තිකාරම් මුදල් සහ වෙනත් අය කිරීම් කපා ගැනීමෙන් පසු, මාසය අවසානයේදී රුපියල් 15,000ක් හෝ නොලැබේ.
වසර 40කට වැඩි කාලයක් පන්මූර් වත්තේ සේවයකොට විශ්‍රාම ගෙන ඇති ගෝවින්දම්මාල් පැවසුවේ 1978 වසරේ තමා මුලින්ම රැකියාවට යන විට ලැබුනු වැටුපෙන් කල දෑ, ඊටවඩා සංඛ්‍යාත්මකව වැඩි වත්මන් වැටුපෙන් කල නොහැකි බවයි. “එදාත් අපි ජීවිතය ගැටගසා ගත්තෙ අමාරුවෙන්. අද ඊටත් වඩා අමාරුයි.” ඇය කීවාය.
“මගේ පුතා පෞද්ගලික බිස්කට් සමාගමක සහ ලේලිය පෞද්ගලික ආයතනයක සේවය කරනවා. දෙදෙනාගේම ආදායමට වඩා වියදම වැඩියි. දෙදෙනාගේම ආදායමේ එකතුව ලක්ෂයක් විතර ඇති කියල මම හිතනව. ඒ ගොල්ලන්ගෙ ගමන් වියදම මසකට රුපියල් 20,000 ක් විතර. දරුවාට කිරිපිටි ගැනීමට විතරක් මාසෙකට රු 5000 ක්. ඒ කාලේ ලමයින්ට දෙන බිස්කට් පැකට් එකක් රුපියල් 22ක්, දැන් විකුනන්නේ රුපියල් 490කට,” ගෝවින්දම්මාල් පැහැදිලි කලා ය.
රජය යටතේ වතු පවතින විට ලයින් නිවාස අලුත්වැඩියා කරදුන් නමුත්, පුද්ගලික අංශයට පවරාදීමෙන් පසු එය ක්‍රමයෙන් අත්හැර දැමුනු අයුරු ඇය සිහිපත් කලාය: “1992 දී තේ වතු පෞද්ගලික සමාගම් වලට විකුනුවා. සමාගම් දැන් ගෙවල් අලුත්වැඩියා කරන්නේ නැහැ. මැතිවරන කාලෙට ගෙවල් හදනවා, පාරවල් හදනවා කියලා වෘත්තීය සමිති පොරොන්දු වෙනවා. ඊට පස්සේ කම්කරුවන්ට වහලට දාන ටකරන් ටිකක් දීලා ඇඟ බේරගන්නවා.”
කම්කරුවන්ගේ “ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට වෘත්තීය සමිති අවශ්‍ය” බැවින් එම සමිති වලට සාමාජික මුදල් ගෙවන බව ඇය පැවසුවාය. වෘත්තීය සමිති සැබැවින්ම කම්කරුවන්ගේ ප්‍රශ්න විසඳනවාදැයි විමසූවිට ඇය මෙසේ පැවසුවාය:
“විශ්‍රාම අර්ථ සාධකය අරගෙන තමයි අපි ගේ හදාගත්තෙ. අපේ නිවාස ප්‍රශ්නෙ විසඳන්න සමාගමවත් සමිතිවත් කටයුතු කරන්නේ නැහැ. අපේ වැඩ නිසා තමයි සමාගම් කෝටි ගනන් ලාභ ලබන්නේ. ඔබ කොතැනක හෝ අසා තිබේද සමාගම් කම්කරුවන්ට උදව් කර ඇති බව? වැඩ වර්ජනය කලත් පඩි වැඩි කරන්නේ නැහැ. සමිති, සමාගම් වලට සහය දෙනවා. සමාගම් සමිති වලට සහය දෙනවා.”
පන්මුර් වතුයායේ බෙහෙත් ශාලාවක් හෝ වෛද්‍ය පහසුකම් නොමැත. රෝගයකට ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය නම් කිලෝමීටර් 12ක් පමන දුරින් පිහිටි ක්ලැංගන් රෝහලට යා යුතුය. වතු කම්කරුවන්ගේ දුගීභාවය හේතුවෙන්, ඔවුනට මුදල් ගෙවා විශේෂඥ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම ඉතා අසීරුය. වතු හතර පහකටම ඇත්තේ එක් ගිලන් රථයක් පමනි.
59 හැවිරිදි කෝසලායි පපුවේ අමාරුවක් නිසා කලින් විශ්‍රාම ගොස් ඇත. තම සැමියා වයස අවුරුදු 47 දී ක්ෂය රෝගයෙන් මිය ගිය බව සඳහන් කරමින් ඇය මෙසේ පැවසුවාය: “වත්තේ ඉස්පිරිතාලයක් නැති නිසා ක්ලැංගන් යන්න වෙනවා. ඒකත් කරන්න ඕන ත්‍රිරෝද රථයක් කුලියට අරගෙන. විශේෂඥ වෛද්‍යවරයකු හමුවීමට අවශ්‍ය නම් හාර පන්දහසක් අවශ්‍ය වෙනව. ඒකට නයක් ගන්න වෙනවා. පුතා ලබන පඩිය දරුවන්ගේ කෑම බීම, අධ්‍යාපන වියදම්වලට මදි. විශ්‍රාමිකයන්ට දරුවන් නොමැති නම් ඔවුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නෑ.”
කෝසලයි ගේ නිවසේ ඇත්තේ කුඩා සාලයක්, නිදන කාමරයක් සහ මුලුතැන් ගෙයක් පමනි. “මේ පුංචි ගෙදර මගේ පවුලේ පුතා, ලේලි, මුනුබුරු මිනිබිරියන් හය දෙනෙක් ජීවත් වෙනවා. වත්තෙන් ජලය ලබාදෙන්නේ දවසක් ඇර දවසක්. ඒකට මාසෙකට රුපියල් 200ක් ගෙවන්න වෙනවා” යැයි ඇය කීවාය.
“අනෙක් සේවකයන්ට මාසික වැටුපක් තියෙනවා. අපිටත් එහෙම මාසික වැටුපක් අවශ්‍ය යි. ඒත් සමිති ඒ වෙනුවෙන් සටන් කරන්නෙ නෑ.”
වතු කම්කරුවන්, අනෙකුත් කම්කරුවන් සමග එකතු වී, වතු, කම්හල් සහ බැංකු කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට ගතහොත් සියලුම කම්කරුවන්ට ශිෂ්ටසම්පන්නව ජීවත්වියහැකි මාසික වැටුපක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි පැහැදිලි කිරීමෙන් පසු, “ඔබ කියන දෙයට මම එකඟයි, අපි මෙය අනෙකුත් කම්කරුවන් සමඟ සාකච්ඡා කල යුතුයි,” ඇය අවධාරනය කලාය.
42 හැවිරිදි වතු කම්කරුවෙකු වන ධර්මරාජ් මෙසේ පැවසුවේය: “අපේ පඩියෙන් පවුලෙ වියදම් කොහොමවත් පිරිමහ ගන්න බෑ. හැමදාම ඉස්කෝලේ යනකොට ලමයි මොනවා හරි ඉල්ලනවා. ඒවාට වියදම් කල යුතුමයි. බඩු මිල ඉහල යනව, පඩි වැඩි වෙන්නෙ නෑ. අපි යන්නේ පහලට මිස ඉහලට නොවේ. වෘත්තීය සමිති කම්කරු සංවිධාන කියලා කියන්න බැහැ. ඔවුන් වැඩ කරන්නෙ සමාගම් වෙනුවෙන්.”
මෙතෙක් පැවති ආන්ඩු සහ බලයට පැමින ඇති ජාතික ජන බලවේගය (ජාජබ)/ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ආන්ඩුව ගැන කතා කරමින් තවත් කම්කරුවෙක් මෙසේ පැවසීය: “මෙතෙක් කිසිම ආන්ඩුවක් අපට යහපතක් කරල නෑ. දැන් තියෙන ජනාධිපති අනුර කුමාර දිසානායකගෙ ආන්ඩුවත් ඒ විදියම තමයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙ වැඩපිලිවෙල හරියටම ගෙනියනව කියල තමයි ආන්ඩුව කියන්නෙ. ඒ කියන්නෙ අපිට ඔලුව උස්සන්න හම්බවෙන්නෙම නෑ.”
ජාජබ/ජවිපෙ ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පනවන ලද කුරිරු කප්පාදු පිලිවෙත් ක්‍රියාවට නංවන තතු තුල, වතු කම්කරුවන්ගේ සොච්චම් වැටුපේ මූර්ත වටිනාකම වඩාත් පහලට වැටී, අර්ධ සාගින්නෙන් හා දරිද්‍රතාවයෙන් ජීවත් වීමට ඔවුනට බල කෙරෙනු ඇත. ලංකා කම්කරු කොංග්‍රසය සහ දෙමල ප්‍රගතිශීලී සන්ධානය ඇතුලු වෘත්තීය සමිති මෙම ප්‍රහාර කම්කරුවන් මත පැටවීමට ක්‍රියා කරන අයුරු ලෝසවෙඅ වාර්තාකරුවන් පැහැදිලිකල විට ඔහු කියා සිටියේ එය “මුලුමනින්ම අනුමත කරන” බවයි. .
33 හැවිරිදි තරුන සේවකයෙකු වන එන්ලින් දරිද්‍රතාවය හේතුවෙන් දහවන ශ්‍රේනියේදී පාසල හැරගොස් ඇත. වතු කම්කරුවෙකු වීමට පෙර ඔහු වයස අවුරුදු 17 දී යකඩ වැද්දුම් වැඩපලක වැඩ කරමින් සිටියදී හදිසි අනතුරකට ලක්ව එක් ඇසක් අන්ධ වී ඇත. “ඊට පස්සේ මම රුපියල් 825ක දෛනික වැටුපකට ආරක්ෂක නිලධාරියෙක් විදියට වැඩ කලා. දිවා රෑ වැඩ කරන්න බැරි නිසා නතරවුනා.”
පසුව ඔහු හැටන් නගරයේ රෙදි කඩයක රැකියාවක් කර ඇත. වතු කම්කරු වැටුපට වඩා එහි වැටුප් වැඩි නමුත් එය ඉඩමක් මිල දී ගෙන නිවසක් ඉදිකර ගැනීමට තරම් ප්‍රමානවත් නොවන බැවින්, ඒ සඳහා ඇති විකල්පය ලෙස ලයින් නිවාසයක් ලබා ගැනීමේ අදහසින් වත්තේ වැඩට ගොස් ඇත. ඔහු පසුගිය වසර දහය පුරා වත්තේ වැඩ කර ඇත. නමුත්. මෙතෙක් ඔහුට නිවසක් ලැබී නැත.
ඔහු මෙසේද පැවසීය. “වැඩිපුර දලු කැඩුවොත් කිලෝ එකකට රුපියල් 60 ගානෙ දෙනවා. සියලුම උත්සව අත්තිකාරම් සහ අත්තිකාරම් කපා ගැනීමෙන් පසු අතට ලැබෙන්නේ රුපියල් 10,000 ක් විතර සුලු ගනනක්.”
දෙමව්පියන්ගේ විශ්‍රාම අර්ථසාධකයෙන් ඔවුනගේ ලයින් නිවාසය පුලුල් කර ප්‍රතිසංස්කරනය කිරීමේ ඔහුගේ ප්‍රයත්නය මුදල් නොමැතිකම නිසා ඇනහිට ඇත. “මගේ ප්‍රධානම ප්‍රශ්නය තමයි නිවස සම්පූර්න කිරීම. මගේ සහෝදරිය හදිසියේ නැති වූ නිසා මම ඇගේ මරන චාරිත්‍ර සඳහා නයක් ගත්තා. මට ලමයි දෙන්නෙක් ඉන්නවා. බිරිඳ රුපියල් 15,000 ක වැටුපකට කඩේක වැඩ කරනව. අපි ඒ කඩෙන් නය ගත්ත නිසා ඇගේ පඩියෙන් ඒ නය කපා ගන්නවා. ඉතිරි මුදලින් ඒ කඩෙන්ම නිවසට අවශ්‍ය දේවල් ගන්න සිදුවෙලා තියෙනවා. ඇයගේ වැටුප අතට හම්බවෙන්නේ නැහැ.”
“අපේ පඩි පතට බැංකුව අපිට නයක් දෙන්නේ නැහැ. මිනිස්සු දහස් ගනනක් එවැනි ගැටලු වලට මුහුන දී සිටිනවා. වතුකරයේ ප්‍රශ්න කතා කරන්න අපි වෘත්තීය සමිතිවලට මාසයකට රුපියල් 335ක් ගෙවනවා. නමුත් වෘත්තීය සමිති මේ ගැටලු සම්බන්ධයෙන් කිසිවක් කරන්නේ නැහැ.”