ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ජාමූඅ කප්පාදු පියවර ඒකමතිකව අනුමත කරයි

[මෙය, Sri Lankan parliament unanimously approves IMF austerity measures යන මැයෙන්, 2024 දෙසැම්බර් 11 දා, පල වූ ලිපියේ පරිවර්තනයකි.]

දෙසැම්බර් 3-4 දිනයන්හි පැවති විවාදයකින් පසු, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව, ඡන්දයක් නොවිමසා ම, නොවැම්බර් 21 ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජන බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඒකමතිකව අනුමත කරන ලදී.

2025 වසරේ මුල් මාස 4 සඳහා ආන්ඩුව ඉදිරිපත් කල අතුරු අයවැය, ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත විය. [ඡායාරූපය: ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව] [Photo: Parliament of Sri Lanka]

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) වැඩපිලිවෙල සම්පුර්නයෙන්ම ක්‍රියාවට නැංවීමට ප්‍රතිඥා දුන් ප්‍රතිපත්ති ප්‍රකාශය පිලිබඳව ආන්ඩු පක්ෂයේ සහ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඒකමතිකභාවය, ම්ලේච්ඡ කප්පාදු න්‍යාය පත්‍රය සමග සමස්ත දේශපාලන සංස්ථාපිතයේ මූලික එකඟතාවය පෙන්නුම් කරයි.

කම්කරුවන්ගේ හා දුප්පතුන්ගේ ජීවන තත්වයන්ට එල්ල කෙරෙන ප්‍රහාරයන් ඉදිරියට ගෙන යාම සඳහා විරුද්ධ පක්ෂ, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ හස්තය ශක්තිමත් කර ඇත. ඔවුන්ගේ සහයෝගය පැමිනියේ, නොවැම්බර් 23 දා, ආන්ඩුව ජාමූඅ සමග කාර්ය මන්ඩල මට්ටමේ ගිවිසුමකට අත්සන් කිරීමෙන් අනතුරුව, එහි විධානයන්ට අනුකූලව ලබන වසරේ අයවැය ගෙන එන බවට දුන් පොරොන්දුවෙන් ඉක්බිතිව ය.

ජනවාරි මාසයේ ඉදිරිපත් කිරීමට නියමිත 2025 සඳහා විධිමත් අයවැය අනුමත කරන තුරු, ආන්ඩුව විසින් පසුගිය සතියේ දී, 2025 වසරේ පලමු මාස හතර සඳහා අතුරු අයවැයක් ඉදිරිපත් කලේ ය. අතුරු අයවැය දෙසැම්බර් 6 වැනිදා පාර්ලිමේන්තුවේදී ඒකමතිකව අනුමත විය.

පසුගිය මාසයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපති දිසානායක මෙසේ අවධාරනය කලේය: 'යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම හොඳ ද නරක ද, වාසිදායක ද අවාසි ද යන්න විවාද කිරීමෙන් කිසිදු අරමුනක් ඉටු නොවේ.' රටේ 'ආර්ථිකය එල්ලී තිබෙන්නේ නූල් පොටක' බව ඔහු පැවසීය. 'අර්බුදයේ පරිමානය හේතුවෙන්, කුඩාම දෝෂයක් පවා සැලකිය යුතු ප්‍රතිවිපාක ඇති කල හැකිය... වැරදි සඳහා ඉඩක් නැත.'

ඔහුගේ ප්‍රකාශ, ජවිපෙ/ජාජබ, 'ජාමූඅ සමඟ නැවත සාකච්ඡා කිරීමට' සහ 'දුගී සහ වරප්‍රසාද නොලත් ජනතාව [ඔවුන්ගේ] වේදනාකාරී තත්වයෙන්' ගලවා ගැනීම සඳහා 'විකල්ප නය තිරසාර විශ්ලේෂනයක්' සකස් කිරීමට ප්‍රතිඥා දුන් මැතිවරන ප්‍රකාශනය මුලුමනින්ම ප්‍රතික්ෂේප කිරීමකි.

දැන්, මුදල් ඇමති ද වන දිසානායක, ජාමූඅ සියලු ඉල්ලීම් අකුරටම ක්‍රියාත්මක කිරීමට කැපවී සිටී. පසුගිය වසරේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.6 ක් වූ ප්‍රාථමික අයවැය අතිරික්තය ලබන වසරේ සියයට 2.3 දක්වා, සිවු ගුනයකින් වැඩි කිරීමට නව ආන්ඩුව අනුගත වනු ඇත. මෙයින් අදහස් කෙරෙන්නේ, බදු, උපයෝගිතා අනුපාත සහ ඉන්ධන මිල තවදුරටත් වැඩි කිරීම මෙන්ම අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා කප්පාදු කිරීමත්, රැකියා ලක්ෂ ගනනක් විනාශ කරමින් රජය සතු ව්‍යවසායන් කුනු කොල්ලයට විකුනා දැමීමත් ය.

ජනාධිපතිගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, දෙසැම්බර් 2 දා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේ, රටේ දැනට සිටින රාජ්‍ය අංශයේ මිලියන 1.3 ක ශ්‍රම බලකාය, 750,000 දක්වා අඩු කිරීමට සිදුවනු ඇති බවයි. අවම වශයෙන් රාජ්‍ය අංශයේ රැකියා 550,000 ක් වනසා දැමීමේ සැලැස්ම, දිසානායක පාලනය විසින් සූදානම් කරන ම්ලේච්ඡ ක්‍රියාමාර්ග කවරාකාර වනු ඇතිද යන්න පිලිබඳ අනතුරු ඇඟවීමකි.

ජනාධිපතිවරනයේදී සහ මහ මැතිවරනයේදී, මින් පෙර කිසිදාක බලයක් නොතිබූ ජවිපෙ/ජාජබ, 1948 නිල නිදහසේ සිට රට පාලනය කල—එක්සත් ජාතික පක්ෂය (එජාප), එහි අංකුරයක් වන සමගි ජන බලවේගය (සජබ), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලංපොපෙ) වැනි—සම්ප්‍රදායික ධනේශ්වර පක්ෂ කෙරෙහි පුලුල්ව පැතිරුනු සතුරුකම ගසාකෑවේය. විපක්ෂයට දැන් ඇත්තේ, පාර්ලිමේන්තු ආසන 225 න් 66 ක් පමනි.

දිසානායකගේ ප්‍රතිපත්ති පිලිබඳ පාර්ලිමේන්තු විවාදය අතරතුර, ජවිපෙ/ජාජබ මන්ත්‍රීවරු තම ජයග්‍රහනයෙන් උදම් වෙමින්, ආන්ඩුවට “අනාගතය සඳහා දැක්මක්” ඇති බවත්, පසුගිය ආන්ඩු මෙන් නොව, ජනතා ගැටලු විසඳීමට සැලසුම් ඇති බවත් ප්‍රකාශ කලහ. ඔවුන්ට අනුව, වත්මන් ආන්ඩුව දූෂනය නැති කර, “නව දේශපාලන සංස්කෘතියක්” ගෙන එනු ඇත. දිසානායක, වඩාත් සමාජ දුක්ඛිත තත්වයන් නිර්මානය කරමින් වැඩ කරන ජනයාගේ ජීවන තත්වයන් තලා දමන තතු තුල, මෙම පච මල්ල ඉක්මනින් හෙලිදරව් වනු ඇත.

විපක්ෂ නායක සහ සජබ ප්‍රධානී සජිත් ප්‍රේමදාස, ජාමූඅ රාමුවට අනුගත වීමට ආන්ඩුව ගත් තීරනයට සහාය දෙන බවට ප්‍රතිඥා දුන්නේය. 'ජාමූඅ වැඩසටහනේ ඇතැම් අංගයන් ජනතාවට හානිදායක' බව ඔහු පෙන්වා දුන් නමුත්, තම පක්ෂය, 'ආන්ඩුව මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් පියවර ගන්නේ නම් එයට සහාය වීමට සූදානම්' බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ප්‍රේමදාස ජාමූඅ න්‍යාය පත්‍රයට මුලුමනින්ම සහාය දී ඇත. 2021-22 දේශපාලන හා ආර්ථික අර්බුදය මධ්‍යයේ, ජාමූඅ වෙතින් වහාම ආධාර ලබාගැනීමට ශ්‍රීලංපොපෙ ආන්ඩුව අපොහොසත් වීම, ඔහු විවේචනය කලේය. මෙම වසරේ ජනාධිපතිවරන ව්‍යාපාරය තුලදී, ජාමූඅ නය පිලිබඳ කොන්දේසි 'යලි සාකච්ඡා කරන' බව ද ඔහු ප්‍රකාශ කලේය—ඔහු ජයග්‍රහනය කලේ නම් දිසානායක මෙන් ඔහු ද එම පොරොන්දුව කුනු කූඩයට දමනු ඇත.

ශ්‍රීලංපොපෙ නායක නාමල් රාජපක්ෂ ආන්ඩුවට සුබ පැතූ නමුත්, ආන්ඩුවේ ප්‍රතිපත්ති 'ජනාධිපතිවරනයේදී ඔබ ඉදිරිපත් කල ප්‍රතිපත්ති වේවිද”—නැතහොත් ශ්‍රීලංපොපෙ සහාය දුන්—පසුගිය වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රතිපත්ති ම වේවිද යනුවෙන් උපහාසාත්මක ලෙස විමසුවේය.

හිටපු ජනාධිපති වික්‍රමසිංහ යලිත් මාධ්‍ය අමතමින් කියා සිටියේ, 'ජාමූඅ සමග එකඟ වූ රාමුවට අනුගත වෙමින්' දිසානායක කල ප්‍රකාශයට තමා සහාය දෙන බවයි. රටේ නය පැහැර හැරීම විසින් ඇති කරන ලද දැවැන්ත සමාජ අර්බුදයට එරෙහිව 2022 අප්‍රේල්/මැයි මාසවල ඇති වූ මහජන නැගිටීමෙන් ඉක්බිතිව බලයට පත්වීමෙන් පසු, ඔහු ජාමූඅ සමඟ ගනුදෙනුව සාකච්ඡා කලේය.

තම එජාපයේ එකම මන්ත්‍රීවරයා වූ වික්‍රමසිංහට ජනතා සහයෝගයක් තිබුනේ නැත. එක්සත් ජනපද-ගැති සහ ජාමූඅ ගැති දිශානතිය සම්බන්,යෙන් ප්‍රසිද්ධ වූ ඔහු, මැතිවරනයකින් නොව පාර්ලිමේන්තුව හරහා ප්‍රජාතන්ත්‍ර-විරෝධී ලෙස ස්ථාපනය කරන ලද්දෙකි. වෘත්තීය සමිති හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වම සමග ඒකාබද්ධව ජවිපෙ/ජාජබ සහ සජබ, මහජන ව්‍යාපාරය පීලි පැන්නවීමේ තීරනාත්මක භූමිකාව ඉටු කලහ. 'අන්තර්වාර ආන්ඩුවක්' සඳහා වූ ඔවුන්ගේ ඉල්ලීම, අපකීර්තිමත් පාර්ලිමේන්තුව නීත්‍යානුකූල කිරීමටත්, වික්‍රමසිංහ ජනාධිපති ධුරයට ඔසවා තැබීමේ තීරනයටත් උපකාර විය.

ජාමූඅ වැඩපිලිවෙලට කිසිදා විරුද්ධ නොවූ ජවිපෙ/ජාජබ සරලවම ප්‍රශ්න කලේ නීත්‍යානුකූල භාවය සහ ඒ අනුව එය ක්‍රියාත්මක කිරීමට වික්‍රමසිංහට ඇති හැකියාවයි. ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ආශිර්වාදය ඇතිව, ජාමූඅ නියෝග ක්‍රියාත්මක කිරීමටත්, ඕනෑම විරුද්ධත්වයක් මැඩීමේ මාධ්‍යයක් ලෙසටත් දැන් එයට ශ්‍රී ලංකාවේ පාලක පන්තියේ පිටුබලය ලැබී ඇත.

දෙසැම්බර් 2 දා පැවති පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සාමකාමී විරෝධතාවයක් මර්දනය කිරීම සඳහා මේ වන විටත් පොලිසිය යොදාවා ඇති දිසානායක ආන්ඩුව, ඉන් හතර දෙනෙකු රඳවාගෙන සිටී. ඔවුන් කල අපරාධය වූයේ රාජ්‍ය ගුරු සේවයේ නිසි ගුරු රැකියා ඉල්ලා සිටීමයි. වසර හතරකට පෙර රැකියා ලැබූ ඔවුන් ගුරුවරුන් ලෙස සේවයේ යොදවා ඇත්තේ අඩු වැටුප් සහ අහිතකර කොන්දේසි යටතේ ය.

ජාමූඅ න්‍යාය පත්‍රය සඳහා පවතින ඒකමතික පාර්ලිමේන්තු සහයෝගය පැහැදිලි කරන්නේ, කම්කරු පන්තියට තම සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සටන් කිරීමට ස්වාධීනව බලමුලු ගැන්වීමට සිදුවනු ඇති බවයි. සෑම වැඩපොලකම, වතුකරයකම, නගරයකම සහ තදාසන්න ප්‍රදේශයකම ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස සසප කම්කරුවන් හා ගම්බද ජනතාවගෙන් ඉල්ලා සිටී. ධනේශ්වර දේශපාලනඥයන්ට සහ වෘත්තීය සමිති නිලධාරීන්ට මෙම ක්‍රියාකාරී කමිටුවලට සහභාගි වීමට ඉඩ නොදිය යුතුය.

ක්‍රියාකාරී කමිටු, සුපිරි ධනවත් සුලු පිරිසකගේ ලාභ ඉහල නැංවීමට වැඩකරන ජනතාව කැපකිරීම් කල යුතුය යන මතය ප්‍රතික්ෂේප කල යුතු අතර, සියලු විදේශ නය සහ ජාමූඅ න්‍යාය පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිටිය යුතුය. වැඩ කරන ජනතාව මුහුන දෙන දැවෙන ප්‍රශ්න විසඳීම සඳහා සුපිරි ධනවතුන්ගේ වත්කම් අත්පත් කර ගනිමින්, ප්‍රධාන බැංකු හා සංගත කම්කරුවන්ගේ පාලනය යටතේ ජනසතු කල යුතුය.

සමාජවාදී මූලෝපායක් සඳහා සාකච්ඡා කිරීමට සහ සටන් කිරීමට, ක්‍රියාකාරී කමිටු නියෝජිතයින් මත පදනම්ව, කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමට සසප කැඳවුම් කරයි. සමාජවාදය සඳහා පුලුල් ජාත්‍යන්තර අරගලයේ කොටසක් ලෙස සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නැංවීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමේ සහ දේශපාලන බලය සඳහා අරගලයේ දී වැඩකරන ජනතාවගේ අරගල ඒකාබද්ධ කිරීමට මෙය තීරනාත්මක යාන්ත්‍රනයකි.

Loading