[මෙය Sri Lankan JVP/NPP government prohibits “commemoration of war heroes” by Tamils යන මැයෙන් 2024 දෙසැම්බර් 02 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
නොවැම්බර් 25 දා මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කලේ, දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයෙහි මාවිරාල් නාල් (මහ විරු දිනය) හා සම්බන්ධ සැමරුම් උත්සව පැවැත්වීමට “අවසර” නැති බවයි.
එල්ටීටීඊය තහනම් සංවිධානයක් ලෙස පවතින බව පැවසූ විජේපාල තවදුරටත් මෙසේ පැවසීය: “නීත්‍යානුකූලව, පුද්ගලයන්ට තම ඥාතීන්ගේ මරන සැමරීමට අවසර ඇත… [නමුත්] එල්ටීටීඊ සාමාජිකයින් උත්කර්ෂයට නැංවීම සඳහා ‘මහවිරු’ සැමරුම් පැවැත්වීමට හෝ එල්ටීටීඊ ලාංඡනය යටතේ ඔවුන්ගේ රූප භාවිතා කිරීමට අවසර නැත.”
විජේපාලගේ ප්‍රකාශයෙන්, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ ආන්ඩුව ප්රජාතන්ත්රවාදී අයිතීන් සහ ජාතික සමගිය වෙනුවෙන් පෙනී සිටින බවටත්, වර්ගවාදයට සහ ජාතිවාදයට විරුද්ධ බවටත් කල පූර්ව ප්‍රකාශ ප්‍රතික්ෂේප කෙරේ.
විජේපාලගේ ප්‍රකාශයෙන් පෙලඹුනු පොලිසියේ ත්‍රස්ත විමර්ශන අංශය (ටීඅයිඩී) රටේ මර්දනකාරී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යටතේ පුද්ගලයින් තිදෙනෙකු නොවැම්බර් 30 දින අත්අඩංගුවට ගන්නා ලදී. එසේ අත්අඩංගුවට ගනු ලැබුවේ, යාපනයේ ඉනුවිල් ප්‍රදේශයේ මනෝහරන් කජේන්දෘෘපන්, කිලිනොච්චියේ දෙමල බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සහ දිවයිනේ දකුනේ බැද්දේගම ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකි.
ටීඅයිඩී චෝදනාවලට, “මහජන නොසන්සුන්තාව ඇති කිරීම, තහනම් සංවිධානයක ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම සහ අසත්‍ය ප්‍රචාර පතුරුවා හැරීම” ඇතුලත් වේ. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් අය මාස 18 ක් දක්වා නඩු විභාගයකින් තොරව රඳවා තබා ගත හැකි අතර, බොහෝ දෙනෙක් අධිකරනයට ඉදිරිපත් කිරීමට පෙර වසර ගනනාවක් රිමාන්ඩ් භාරයේ තබා ගනී.
කෙසේ වෙතත් මහජන ආරක්ෂක ඇමැතිවරයාගේ තර්ජනාත්මක ප්‍රකාශය නොතකා, උතුරු නැගෙනහිර දහස් ගනනක් ජනතාව නොවැම්බර් 27 වැනිදා යාපනය, කිලිනොච්චිය සහ මඩකලපුවේදී සිය ආදරනීයයන් සිහිකිරීමේ උත්සවවලට සහභාගි වූහ.
අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු විසින් දියත් කරන ලද 26 වසරක ලේ වැකි වාර්ගික යුද්ධයේදී මරා දමන ලද සිය කේඩරයන්ට ගෞරව දැක්වීම සඳහා එල්ටීටීඊය, 1983 සිට අනුස්මරන උත්සව පවත්වයි.
දසදහස් සංඛ්‍යාත සිවිල් වැසියන් මරා දැමුනු සහ දහස් සංඛ්‍යාත පුද්ගලයන් “අතුරුදහන් කෙරුනු”, ශ්‍රී ලංකා හමුදාවේ ඉවබව නැති ප්‍රහාරවලින් පසුව එල්ටීටීඊය 2009 මැයි මාසයේදී පරාජයට පත් විය. එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවලට අනුව යුද්ධයේ අවසන් භාගයේ දී සිවිල් වැසියන් 40,000 ක් පමන මරා දමා ඇත. එතැන් පටන්, දෙමල සිවිල් වැසියන් මෙන්ම ගැටුමේදී මියගිය එල්ටීටීඊ සටන්කාමීන් ද ඇතුලත් වන පරිදි සමරු වැඩසටහන් පුලුල් කෙරුනි.
දශක තුනකට ආසන්න ලේ වැකි, යුද්ධයේ ප්‍රධාන වගකීම සිංහල පාලක ප්රභූවට සහ එහි අනුප්‍රාප්තික ආන්ඩු වලට පැවරේ. 1948 දී දිවයිනේ නාමික නිදහසේ සිට, කොලඹ පාලනය, දෙමල-විරෝධී වෙනස්කම් කිරීම් භාවිතා කර ඇති අතර, කම්කරු පන්තිය දුර්වල කිරීමටත්, බෙදීමටත්, සමාජ අතෘප්තිය වාර්ගික රේඛා ඔස්සේ අපසරනය කිරීමටත් කටයුතු කර ඇත.
ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) යුද්ධය අතරතුර, හමුදාවේ වඩාත්ම අන්තගාමී කොටස් සමග පෙලගැසී, ගැටුමට විරුද්ධ සියලු දෙනාට එරෙහිව රාජ්‍ය මර්දනය ඉල්ලා සිටිමින්, නින්දිත භූමිකාවක් ඉටු කලේය.
යුද්ධයේදී මියගිය එල්ටීටීඊ සාමාජිකයින් සැමරීම ආන්ඩුව විසින් තහනම් කිරීම වනාහි, වර්ගවාදයට විරුද්ධ වන බවට දිසානායක තන්ත්රය දුන් පොරොන්දුවල ව්‍යාජ ස්වභාවය හෙලිදරව් කරන, භේදකාරී සහ ප්රතිගාමී ක්‍රියාවකි.
මෙම සමරු උත්සව තහනම් කිරීමේදී, ජවිපෙ/ජාතික ජන බලවේගය (ජාජබ) ආන්ඩුව, අනුප්‍රාප්තික ආන්ඩු විසින් දෙමල ජනයාට එරෙහි මර්දනයේ සහ සමාජ වෙනස්කම් කිරීමේ ක්‍රියාවලිය දිගටම කරගෙන යයි. මෙය යුද්ධයේ දී එල්ටීටීඊයට සහ දෙමල ජනතාවට එරෙහිව ශ්‍රී ලංකා හමුදාව විසින් සිදු කරන ලද යුද අපරාධ පිලිබඳ ඕනෑම බැරෑරුම් විමර්ශනයක් කෙරෙහි නව තන්ත්රයේ විරුද්ධත්වයේ කොටසකි.
යුද්ධය අවසන් වී වසර පහලොවක් ගතවී ඇතත්, මිලිටරි සහ පොලිස් බුද්ධි අංශවල නිරන්තර සෝදිසි කිරීම්වලින් නිවැසියන් බියගන්වමින්, උතුරු සහ නැගෙනහිර පලාත් දැඩි හමුදා ආක්රමනයක් යටතේ පවතී. යුද සමයේ දී සාමාන්‍ය වැඩකරන ජනතාවගෙන් අත්පත් කරගත් ඉඩම් අක්කර දස දහස් ගනනක් තවමත් පාලනය කරන්නේ හමුදාව විසිනි.
ශ්‍රී ලංකාවේ කම්කරුවන් හා ග්‍රාමීය ජනතාව, වඩාත් නරක අතට හැරෙන දරිද්‍රතාවයට මුහුන දී සිටින අතර, උතුරු හා නැගෙනහිර දෙමල ජනයා මුහුන දෙන තත්වය වඩාත් ආන්තික ය. 2019 දී උතුරේ සියයට 20 ක් සහ නැගෙනහිර සියයට 15 ක් දරිද්‍රතාවයෙන් පීඩාවට පත් විය. යාපනය, මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල දරිද්‍රතා මට්ටම් පිලිවෙලින් සියයට 21, 40 සහ 23 වැනි ඉහල මට්ටමක පැවතුනි. කෙසේ වෙතත්, 2022 ශ්‍රී ලංකා ආර්ථිකය බිඳවැටීමෙන් පසු, දැන් තත්වය බෙහෙවින් ම නරක ය.
ජනාධිපතිවරන සහ ජාතික මැතිවරන ව්‍යාපාර අතරතුර, දිසානායක සහ ඔහුගේ ජවිපෙ/ජාජබ, යුද්ධයේදී අත්අඩංගුවට ගත් දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ගැන අනිශ්චිත පොරොන්දු දුන්හ; ඒවා නම්, හමුදාව විසින් අත්පත් කර ගත් ඉඩම් එහි මුල් අයිතිකරුවන්ට ආපසු ලබා දීමට පියවර ගැනීම; “ජාතික සමගිය” සඳහා වැඩ කිරීම ආදිය යි.
සැප්තැම්බර් 21 ජනාධිපතිවරනයේදී බහුතර දෙමල දිස්ත්‍රික්කවල දී ජාජබ දුර්වල මට්ටමකට පත් වූ අතර, එය දෙමල විරෝධී උසිගැන්වීම් පිලිබඳ එහි දීර්ඝ වාර්තාව කෙරෙහි පුලුල්ව පැතිරුනු සතුරුකමේ ප්රතිඵලයකි. කෙසේ වෙතත්, පසුව, පසුගිය මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරනයේදී, එක් දිස්ත්‍රික්කයක් හැර උතුරු සහ නැගෙනහිර අනෙක් සියලුම දිස්ත්‍රික්කවල වැඩිම ඡන්ද සංඛ්‍යාව ජාජබ ට හිමි විය. මේ හේතුවෙන් ආන්ඩුවේ අනුග්‍රහය දිගටම ලැබෙනු ඇතැයි යන ගනන් බැලීම මත, දෙමල ප්‍රභූ පැලැන්තියේ කොටසක් ජවිපෙ පිටුපසට පැද්දී ගියහ.
මෙම ප්‍රදේශවල පාර්ලිමේන්තු මැතිවරන ප්‍රතිඵල නිර්නය කෙරුනේ, ඉලංකෙයි තමිල් අරසු කච්චි (අයිටීඒකේ), ඊලාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂය සහ දෙමල ජාතික ජනතා පෙරමුන (ටීඑන්පීඑෆ්) වැනි සාම්ප්‍රදායික දෙමල පක්ෂ කෙරෙහි පුලුල්ව පැතිරුනු අප්‍රසාදය විසිනි.
ප්රජාතන්ත්රවාදී අයිතීන් ආරක්ෂා කරන බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරමින්, යුද අපරාධ විමර්ශන සහ නරක අතට හැරෙන සමාජ අර්බුදයට විසඳුමක් ඉල්ලා සිටින මෙම දෙමල පක්ෂ, සහන සහ වරප්‍රසාද සඳහා වන ඔවුන්ගේ ඉල්ලීම් සඳහා කොලඹ පාලනයෙන් සහයෝගය ලබා ගැනීමට, එක්සත් ජනපදය හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් හා නවදිල්ලිය සමග පෙලගැසී ඇත.
දෙමල ප්රභූව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නියම කරන ලද සහ 2023 සිට කොලඹ පාලනය විසින් ක්‍රියාවට නංවන ලද කප්පාදු පිලිවෙත් වලට මුලුමනින්ම සහයෝගය දක්වයි.
ජනාධිපතිවරනයට හා පාර්ලිමේන්තු මැතිවරනයට පෙර, දිසානායක සහ ඔහුගේ ජවිපෙ/ජාජබ කියා සිටියේ, ජනතාව සඳහා සමාජ සහන සැලසීමට ජාමූඅ කප්පාදු ඉල්ලීම් සම්බන්ධයෙන් “යලි සාකච්ඡා කරන” බවයි.
නොවැම්බර් 21 දා පාර්ලිමේන්තුව අමතමින් දිසානායක, තම ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම් මුලුමනින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කරමින් මෙම පොරොන්දු ඉවත දැමීය. එම කතාවේ දී ඔහු කියා සිටියේ, “අපේ රට බෙදන ජාතිවාදී දේශපාලනයට යලි හිස එසවීමට” තම ආන්ඩුව ඉඩ නොතබන බවයි.
මෙම පොරොන්දුව ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වඩා හොඳ ගනුදෙනුවක් සඳහා නැවත සාකච්ඡා කිරීමට ඔහු දුන් පොරොන්දුව තරම්ම වැදගැම්මකට නැති එකකි. ආන්ඩුව සමරු උත්සව තහනම් කරන බවට මහජන ආරක්ෂක ඇමති විජේපාල කල නිවේදනය සහ පෙර දී අහෝසි කිරීමට පොරොන්දු වී තිබූ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත භාවිතා කරමින්, සෙනසුරාදා පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම, මෙය සනාථ කරයි.
“වර්ගවාදයට” විරුද්ධ වන බවට සහ “දේශප්‍රේමය” මත සටන් කරන බවට දිසානායක සහ ජවිපෙ කතා කරන විට, එම වාක්‍ය ඛන්ඩයන් සිංහල හා බෞද්ධ ආධිපත්‍යය සමග බද්ධ වී ඇති අතර, ඒවා දෙමල සුලුතරයට එරෙහිව යොමු කෙරේ.
මේ වනාහි, මාඕවාදී සහ කැස්ත්‍රෝවාදී ගොවි ගරිල්ලාවාදයේ සහ සිංහල දේශප්‍රේමයේ විෂකුරු මිශ්‍රනයක් මත පදනම්ව, 1960 දශකයේ මැද භාගයේ මතු වූ ජවිපෙ දේශපාලන උරුමයයි. 1971 දී බන්ඩාරනායක ආන්ඩුවට එරෙහිව එහි සන්නද්ධ නැගිටීම සහ 1988-89 දී එල්ටීටීඊයට එරෙහි කොලඹ සිවිල් යුද්ධයේ දී ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව එහි මිනීමරු සිංහල ස්වෝත්තමවාදී ව්‍යාපාරයට යටින් ක්‍රියාත්මකවූයේ මෙම ප්රතිගාමී න්‍යාය පත්රයයි.
දිසානායක ආන්ඩුව මෑතක දී සමරු උත්සව සඳහා පනවා ඇති ප්රජාතන්ත්ර විරෝධී තහනමට සමාජවාදී සමානතා පක්ෂය (සසප) දැඩි ලෙස විරුද්ධ වන අතර පසුගිය සෙනසුරාදා අත්අඩංගුවට ගත් දෙමල තරුනයන් තිදෙනා වහා නිදහස් කරන ලෙස බල කර සිටී.
සියලු ධනේශ්වර පක්ෂවලට එරෙහිව, සමාජවාදී වැඩපිලිවෙලක් මත ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එක්සත්ව, වාර්ගික බෙදීම් කපාගෙන, සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන්ගේ එක්සත්කම සඳහා සසප සටන් කරයි. සසප සහ එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය, යුද්ධයට එරෙහිව, උතුරෙන් හා නැගෙනහිරින් ශ්‍රී ලංකා මිලිටරිය ඉවත් කර ගැනීම සඳහා වූ කැඳවුම් කරන අරගලයේ පදනම මෙය යි.
ඒ අතරම, අපි එල්ටීටීඊයේ බෙදුම්වාදී ප්‍රතිපත්තිවලට විරුද්ධ වෙමින්, අයිටීඒකේ, ටීඑන්පීඑෆ් සහ ඒ හා සමාන සංවිධාන ඇතුලු එක්සත් ජනපද-ගැති අධිරාජ්‍යවාදී දෙමල ජාතිකවාදී පක්ෂවල සහ ඒවායේ වර්තමාන ආධාරකරුවන්ගේ වර්ගවාදී ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරන්නෙමු.
සියලු ආකාරයේ වාර්ගික වෙනස්කම් කිරීම් අවසන් කර, ප්රජාතන්ත්රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සුරක්ෂිත කල හැක්කේ, ධනේශ්වර ලාභ පද්ධතිය පෙරලා දැමීම සඳහා ග්‍රාමීය ජනතාවගේ සහයෝගය ඇතිව දෙමල, මුස්ලිම් සහ සිංහල කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයකින් පමනි.
දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදී සමූහාන්ඩුවක කොටසක් ලෙස, සසප, ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක්—එනම්, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක්—සඳහා සටන් කරන්නේ එබැවිනි.
2022 අප්‍රේල්-ජූලි මහජන නැගිටීම තුල දී, මෙම වැඩපිලිවෙල වෙනුවෙන් සටන් කිරීමේ වෛෂයික හැකියාව සහ අවශ්‍යතාවය පෙන්නුම් කෙරුනි. අප්‍රේල් 28 සහ මැයි 26 යන මහා වැඩ වර්ජන දෙකකදී වාර්ගික සීමාවන් කපාගෙන ගිය මෙම නැගිටීමට මිලියන ගනන් කම්කරුවෝ සහභාගී වූහ—එය, එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව පෙරලා දැමූ, මිලියන ගනනක බලගතු ව්‍යාපාරයකි.
ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහාය ලද වෘත්තීය සමිති නිලධරය, ජවිපෙ/ජාජබ සහ සමගි ජනබලවේගය (සජබ) විසින් ධනේශ්වර අන්තර්වාර පාලන තන්ත්රයක් සඳහා කරන ලද කැඳවුමට කම්කරුවන් හරවා යවමින්, මෙම මහජන ව්‍යාපාරය පාවා දෙන ලදී.
මෙම සියලු පක්ෂවලට එරෙහිව, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සහ සමාජවාදී පිලිවෙත් සඳහා සටන් කිරීමට කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමට සසප කැඳවුම් කරයි. සෑම සේවා ස්ථානයකම, වතුකරයේ සහ අනෙකුත් ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල, කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙසත්, ග්‍රාමීය ජනතාව අතර ක්‍රියාකාරී කමිටු ගොඩනඟන ලෙසත් අපි ඉල්ලා සිටිමු.
මෙම සටන සංවිධානය කිරීම සඳහා සාකච්ඡා කර තීරනය කරනුවස්, මෙම සියලු ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ සමාජවාදී හා ප්රජාතන්ත්රවාදී සම්මේලනයක් ගොඩනැගිය යුතුය.