මුස්ලිම් විරෝධී දඩයමට ලක්වූ වෛද්‍ය සාෆි සිහාබ්දීන් චෝදනාවලින් නිදහස් කෙරේ

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයෙකු වූ සාෆි සිහාබ්දීන් නොවැම්බර් 6 වැනිදා කුරුනෑගල මහේස්ත්‍රාත් අධිකරනය විසින් ඔහුට විරුද්ධව එල්ලකර තිබූ සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරන ලදී. ඔහුට එල්ල වූ ප්‍රධානතම චෝදනාව වූයේ කුරුනෑගල ශික්ෂන රෝහලේ සේවය කරමින් සිටියදී හොර රහසේ සිංහල බෞද්ධ කාන්තාවන් දහස් ගනනක් වඳ භාවයට පත් කිරීමය. අයුතු ලෙස වත්කම් රැස්කිරීම හා ත්‍රස්තවාදී සංවිධාන සමග සම්බන්ධකම් පැවැත්වීම පිලිබඳව ද ඔහුට විරුද්ධව චෝදනා එල්ල කෙරුනි.

වෛද්‍ය සාෆිට එරෙහි චෝදනා තහවුරු කිරීමට ප්‍රමානවත් සාක්ෂි නැතැයි නීතිපති විසින් දැනුම් දීමෙන් පසු උසාවි නියෝගය ප්‍රකාශයට පත්විය. වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් 2019 මැයි 14 දා සිට අවුරුදු පහකුත් මාස හයකට පසු ඔහුට එරෙහි සියලු චෝදනා බොරුබව ඔප්පුවී ඇතැයි මෙසේ පිලිගෙන ඇත.

මෙය, ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු ඇතුලු පාලක පන්තියත්, ඔවුන්ගේ සිංහල ස්වෝත්තමවාදී මැර කල්ලිත් දශක ගනනාවක් තිස්සේ, කම්කරු පන්තිය බෙදීමට, බෙලහීන කිරීමට හා මැඩීමට ගෙනගිය දෙමල හා මුස්ලිම් විරෝධී ලේ වැකි ප්‍රකෝපකාරිත්වයේ දරුනුකම හෙලිදරවු කෙරුනු තවත් අවස්ථාවකි.

මෙම ප්‍රකෝපකාරිත්වයන් ඇවිස්සූ වර්ගවාදී නඩ හා ඔවුන් මෙහෙයවූ පාලකයෝ, අන් අවස්ථාවල දී මෙන්ම නිදැල්ලේ සිටිති. ඔවුන් පුම්බමින් වාර්තා හා කතාගෙතු ජනමාධ්‍ය ලියනප්පුලා ද වෛද්‍යවරයා චෝදනාවලින් නිදහස් කිරීම සාමාන්‍ය සිද්ධියක් සේ කුහක ලෙස වාර්තාකර ඇත, නැතහොත් මුඛ පූට්ටු කරගෙන සිටිති.

වෛද්‍ය සාෆි, රට තුල ගැඹුරු දේශපාලන කැලඹිලි සහිත කාලපරිච්ඡේදයක් තුල කොලඹ ආන්ඩුව සහ පාලක ප්‍රභූව විසින් මෙහෙයවන ලද පුලුල් මුස්ලිම් විරෝධී ව්‍යාපාරයක කොටසක් ලෙස ඉලක්ක කර තිබුනි. සාෆිට එරෙහිව උද්ඝෝෂනය ආරම්භ කල 2019 වන විට ලංකාව විශාල දේශපාලන සහ සමාජ අර්බුදයක ගිලී පැවතුනි.

2005-2015 ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව යටතේ උච්ඡස්ථානයට නැංවූ දෙමල විරෝධී වර්ගවාදී යුද්ධය නිසා ඇතිවූ සමාජ ව්‍යසනයට ද ජීවන කොන්දේසි සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තලා දැමීමට ද එරෙහිව පැනනැගුනු විරෝධය ගසා කමින්, 2015 ජනවාරියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන/ අගමැති රනිල් වික්‍රමසිංහ ආන්ඩුවට බලය ලබා ගත්තේය. එය පිටුපසින් ක්‍රියාත්මක වූයේ එක්සත් ජනපදය තමන්ට ඍජුවම හිතවාදී ආන්ඩුවක් බලයට ගෙන ඒමට සිදුකල පාලන තන්ත්‍රය මාරු කිරීමේ කුමන්ත්‍රනයකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාත්මක කරමින් සිරිසේන/වික්‍රමසිංහ ආන්ඩුව ජීවන කොන්දේසිවලට එල්ල කල ප්‍රහාර හා පෞද්ගලීකරන වැඩ සටහනට එරෙහිව කම්කරු විරෝධතා වර්ධනය වූ අතර, ගම්බද ගොවි ජනයා හා නාගරික දුප්පතුන් අතර විරෝධය නැගෙමින් පැවතුනි. ඊනියා යහපාලන ආන්ඩුවේ ආශීර්වාදය ඇතිව, වර්ගවාදී කන්ඩායම්--බොදුබල සේනා, පිවිතුරු හෙල උරුමය ඇතුලු නඩ, දෙමල-විරෝධී ප්‍රචාරවලට සමගාමීව මුස්ලිම් විරෝධය ද අවුලුවා, මහජනයා අතර පැතිරුනු නො සන්සුන්තාව වාර්ගික හා ආගමික රේඛා දිගේ අවමංගත කිරීමට අලුත් වටයකින් වැඩට බැසගත්හ.

එහි කොටසක් ලෙස, මුස්ලිම් අන්තවාදී කන්ඩායමක් අයිඑස්එස් සංවිධානයේ පිටුබලය ඇතිව, 2019 අප්‍රේල් 21 පාස්කු දින කතෝලික පල්ලි හා සුඛෝපභෝගී හෝටල් කිහිපයකට එල්ල කල මිනීමරු ප්‍රහාරයත් සමග මුස්ලිම් විරෝධය උත්සන්න කෙරුනි. එම ප්‍රහාරයෙන්, අහිංසක සිවිල් ජනයා 270 ක් ඝාතනය වූ අතර 500ක් පමන අංග ඡේදනය ඇතුලු බරපතල තුවාලවලට ගොදුරු වූහ.

සත්‍යය නම්, සිරිසේන/වික්‍රමසිංහ ආන්ඩුව, මිලිටරි-පොලිස් හා රාජ්‍ය බුද්ධි අංශවල ඉහල තන්ත්‍ර, පාලක ප්‍රභුවේ කොටස් අඩුම තරමින් සතියකට පෙර සිටම ප්‍රහාර ගැන දැන සිටියහ. නමුත් ඔවුන් සියල්ලන්ම කුමන්ත්‍රනකාරී ලෙස මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ප්‍රහාර සඳහා ඉඩ සැලසුවේ, ඒවා මුස්ලිම් විරෝධී රුදුරු ප්‍රචාරය සඳහා පිනුම් පිත්තක් ලෙස යොදා ගැනීමට ය.

ඒ වන විටත්, විවිධ ප්‍රදේශවල ගෙනයමින් තිබු මුස්ලිම් විරෝධී ප්‍රකොපකරනයන් දැන් අලුත් මට්ටමකට නංවන ලදී.

පාස්කු ප්‍රහාරයෙන් ඉක්බිත්තේ, ක්ෂනිකවම මුස්ලිම් විරෝධී ප්‍රචාරය රටේ විවිධ පලාත්වල පෙරට ගැනුනි. සිංහල වර්ගවාදී මැර මුස්ලිම්වරුන්ගේ නිවාස හා කඩ සාප්පු ගනනාවක් ම ගිනි තැබුහ.

පාර්ලිමේන්තුවේ දී 2019 මැයි 7 දා විශේෂ කතාවක් කල, ජාජබ/ජවිපෙ නායක හා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම වනචර මුස්ලිම් විරෝධී ප්‍රචාරයට එක්වෙමින් මෙසේ ප්‍රකාශ කලේය: “මෙම විනාශකාරී [ත්‍රස්තවාදී] කලලය වර්ධනය වන්නේ මුස්ලිම් ගර්භාෂය ඇතුලේ.”

මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් ශ්‍රී ලංකා පොදු පෙරමුන (ශ්‍රීලංපොපෙ), ගෝඨාභය රාජපක්ෂ මීලඟ ජනාධිපති අපේක්ෂකයා වන බව ද ඔහුගේ මූලික අරමුන වන්නේ බිඳවැටී ඇති “ජාතික ආරක්ෂාව” යලි තහවුරු කරමින් අන්තවාදීන් හා ත්‍රස්තවාදීන් පරාජය කිරීම බව ද ප්‍රකාශයට පත් කලේය. මාස කිහිපයකට පසු, 2019 නොවැම්බර් මාසයේ ජනාධිපතිවරනය තරඟ කොට ඔහු බලයට පත්වූයේ මෙම සිංහල ස්වෝත්තමවාදී ප්‍රචාරයේ රැල්ල මතිනි.

සිංහල බෞද්ධයින් විනාශකිරීමේ කුමන්ත්‍රනයක කොටසක් ලෙස, නැවත ගැබ් ගැනීම වැලැක්වීම සඳහා කාන්තාවන්ගේ අනුමැතියකින් තොරව සිසේරියන් සැත්කම් අතරතුරදී ඔවුන් වන්ධ්‍යභාවයට පත්කලේ යයි සාෆිට චෝදනා එල්ල කර අත්අඩංගුවට ගත්තේ මෙම වාතාවරනය තුල ය.

මාධ්‍ය ආයතනවල දැඩි පිටුබලය ලැබූ මෙම උද්ඝෝෂනය, සාෆිි දුෂ්ටයෙකු ලෙස පින්තාරු කලේය. දෙමල මහජතාවට එරෙහි වර්ගවාදී යුද්ධයේ ප්‍රමුඛ ප්‍රචාරකයෙකු වූ දිවයින පත්‍රය 2019 මැයි 23 දා සිය ප්‍රධාන පුවත ලෙස සඳහන් කලේ, “සිසේරියන් සැත්කම්වවලින් පසු තව්හිද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කරලා” යනුවෙනි.

රාජපක්ෂගේ ආන්ඩුවේ ප්‍රබලයකු වූ විමල් වීරවංශගේ සමීපතමයකු වූ කුරුනෑගල ශික්ෂන රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබන්ඩාර මෙම උද්ඝෝෂනයේ මූලිකත්වය ගත් එක් පුද්ගලයෙකි. ඔහු 2020 මහ මැතිවරනෙයේදී පොදු පෙරමුනේ අපේක්ෂක ලැයිස්තුවෙන් තරඟ කිරීමට සූදානම්ව සිටි අයෙකි. කුප්‍රකට වර්ගවාදියෙකු වන, පාර්ලිමේන්තු මන්ත්‍රී, අතුරලියේ රතන භික්ෂුව තවත් භික්ෂුන් ද කැටුව 2019 ජූලි 30 දා කුරුනෑගල උසාවිය ඉදිරියේ සාෆි නිදහස් නොකරන ලෙස ඉල්ලන විරෝධතාවක් පැවැත්වූයේය.

එහෙත් වෛද්‍යවරයාට එරෙහි පැමිනිලි කිසිවක් ඔප්පු නොවීය. වාර්තාවූයේ, එම කාන්තාවන්ගෙන් සාක්ෂි ලබා ගැනීමට සීඅයිඩීය ඔවුන් හා දුරකථනයෙන් සම්බන්ධ වූ විට, ඔවුන්ගෙන් දෙදෙනකු සඳහන් කර සිටියේ, තමන් දැන් ගැබ් ගෙන ඇති බව ය. සාෆි සැක සහිත මාර්ගවලින් ධනය රැස්කිරීම සම්බන්ධයෙන් ද චෝදනා ලැබූ අතර, කුරිරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යටතේ රඳවා තබා ගන්නා ලදී.

2019 ජූනි 27 දා මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කල පිටු 210ක වාර්තාවකින් ද ඔප්පු වූයේ සාෆිට එරෙහි චෝදනාවන් සනාථ කිරීමට සාක්ෂි රජය සතුව නොමැති බවයි. එම තත්වය යටතේ, රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප 4ක් සමඟ රුපියල් 250,0000ක ඇප මත සාෆි මුදාහැරුනි. වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් රෝහල් කාර්ය මන්ඩලයේ සාක්ෂි මඟින් ඔප්පුවූයේ, සාෆි කිසිදු සාවද්‍ය කාටයුත්තක් කර නොමැති බව ය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව, සාෆි සම්බන්ධයෙන් නව පරීක්ෂනයක් ආරම්භ කලේය. අලුතින් පත් වූ සීඅයිඩී අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න කියා සිටියේ, නව කන්ඩායම “විනිවිදභාවයෙන් යුක්තව” පරීක්ෂන කර ගෙන යන බවයි. මෙම නව පරීක්ෂනයේ අරමුන වූයේ මුස්ලිම් විරෝධී උද්ඝෝෂනය දිගටම පවත්වාගෙන යෑම බව දැන් මනාව පැහැදිලිව ඇත.

සාෆිට පසුව තවත් මුස්ලිම් ආගමිකයන් ගනනාවක්ම, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලදී. පුද්ගලයන් 270 දෙනෙකුට මරු කැඳවූ සහ සිය ගනනකට තුවාල සිදු කල 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා කරමින් මුස්ලිම් නීතිඥ හිජාස් හිස්බුල්ලා 2020 මාර්තු 14 වන දින රඳවා ගනු ලැබීය. සාෆි මෙන්ම හිස්බුල්ලාද අවසානයේ නිදහස් කරනු ලැබුවේ ඔහුට එරෙහිව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට පොලිසියට නොහැකි වීමෙන් පසුවය.

එසේම, 25 හැවිරිදි කවියෙකු වන අනාෆ් ජාසීම්, අන්තවාදී මුස්ලිම් මතවාදය පතුරුවා හැරීමේ චෝදනාව මත 2020 මැයි 16 වන දින සීඅයිඩීය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. එම චෝදනා පදනම් විරහිත බව පැහැදිලි වීමෙන් පසුව ඔහු ද නිදහස් කිරීමට සිදුවිය.

බොරු චෝදනා නගා සිරභාරයට ගැනුනු සාෆි ඇතුලු මුස්ලිම් පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල් ද රුදුරු දඩයමක වධවේදනා වලට ගොදුරු වූ බව සත්‍යයකි. ඔවුන් අත්අඩංගුවට ගැනීම, ආර්ථික හා දේශපාලන අර්බුදයක ගිලෙමින් සිටි ධනපති පන්තිය හා එහි ආන්ඩු තම පන්ති පාලනය රැක ගැනීමට කම්කරු පන්තියට එල්ල කල පුලුල් ප්‍රහාරයක කොටසකි.

බ්‍රිතාන්‍ය විජිත පාලනය තුල, ලංකාවේ ධනපතියන් දේශපාලන කරලියට ආවේ වර්ගවාදය කරපින්නාගෙන, 1915 දී මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රචාර හා ප්‍රහාර එල්ල කරමිනි. පන්ති අරගලය මෝදුවන තතු යටතේ, 1920 ගනන් සිට ක්‍රමානුකුලව එය දෙමල විරෝධී වර්ගවාදයෙන් විස කවන ලදී.

1948 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදින් අතින් තමන් අතට බලය මාරු කෙරුනු තැන් පටන් ලංකාවේ ධනපති පාලක පන්තිය දෙමල විරෝධී වර්ගවාදය ඉස්මත්තට ගත්තේ ය. පාලක යූඇන්පී ආන්ඩුව 1948 හා 1949 ඉන්දියානු සම්භවයක් සහිත වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය හා ඡන්ද බලය අහෝසි කරමින් කම්කරු පන්තිය භේදකිරීමට තීරනාත්මක ප්‍රහාරයක් එල්ල කලේය.

ධනපති පන්තියේ චිරකාලීන කනස්සල්ලට හේතුවූයේ, තමන්ට පෙර උපත ලැබූ බලගතු කම්කරු පන්තිය කෙරෙන් තම පාලනයට එල්ලවිය හැකි අභියෝගය පිලිබඳ භීතියයි. 1940 ගනන් වල ලංකාවේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් මත මෙම කම්කරු පන්තිය බලමුලු ගැන්වීම ඇරඹීම නිසා මෙම භීතිය උනසන්නිපාතයක් බවට පත්විය.

1964 දී, ට්‍රොට්ස්කිවාදී යයි කියාගත් ලංකා සම සමාජ පක්ෂය ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආන්ඩුවට ඇතුලුවී සිදුකල මහා පාවාදීම මේ මුර්ග වර්ගවාදී ප්‍රහාර නිදැල්ලේ ඉදිරියට ගෙනයාමට පාලක පන්තියට ඉඩ සලසා දුන්නේය. පන්ති අරගලයේ වර්ධනය සමග ක්‍රමානුකුලව උත්සන්න කෙරුනු වර්ගවාදී ප්‍රහාර 1983 දී බෙදුම්වාදී එල්ටීටීයට එරෙහි දෙමල-විරෝධි යුද්ධය දක්වා එසවිනි. මෙම යුද්ධය ඇරඹු තැන් පටන් ජවිපෙ එහි නින්දිත කොටස්කරුවෙකු විය.

2009 මැයි මාසයේ, අවම වශයෙන් දෙමල සිවිල් වැසියන් 40,000ක් වත් මිලිටරියේ ඉවබව නැති ප්‍රහාරවලින් ඝාතනයවී යයිද තවත් දහසක් පමන අතුරුදහන් වී ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය ගනන් බලා ඇත. රුධිර-ස්නානයකින් යුද්ධය අවසාන වුව ද දෙමල හා මුස්ලිම් ජනයාට ද අනෙකුත් සුලුතර කොටස්වලට ද එරෙහිව සිංහල-බෞද්ධ වර්ගවාදී ඇවිස්සීම් නතරවී නැත. මුස්ලිම් විරෝධී ප්‍රකෝපකරනයන්ගෙන් පෙන්නුම් කෙරුනේ එයයි.

ලෝක ආර්ථික අර්බුදයේ කොටසක් ලෙස, ලංකාව ගැඹුරු ආර්ථික ව්‍යසනයක ගිලී ඇත. අර්බුදයේ බර පැටවීමට එරෙහිව 2022 අප්‍රේල්-ජුලි මාසවල පැනනැගුනු ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ද සහභාගී වූ මහජන නැගිටීමකින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුව පලවා හැරියේය. එම මහජන ව්‍යාපාරය, ජවිපෙ/එන්පිපී හා සජබ අන්තර්වාර ආන්ඩුවක උගුලක හසුකර පාවාදීමට වෘත්තීය සමිති නිලධරයන් සමග පෙරටුගාමී සමාජවාදී පක්ෂය පෙලගැසුනි.

එහි ප්‍රතිපලයක් ලෙස, ජනාධිපතිකමට ඔසවනු ලැබූ, දීර්ඝ කාලයක සිට එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගැත්තෙකු ලෙස ක්‍රියාකරන රනිල් වික්‍රමසිංහ ක්‍රියාවට දැමූ ජාමූඅ වැඩපිලිවෙලට එරෙහිව 2023 මුල සිට අරගලවලින් රට ඇලලී ගියේය.

පසුගිය දශක අටකට ආසන්න කාලය තුල රට පාලනය කල සියලු පක්ෂ කෙරෙහි මහජන වෛරය ගසාකා බලයට පත් ජනතා විමුක්ති පෙරමුන, ජාතික ජන බලවේගයේ ( ජවිපෙ/ ජාජබ) ජනාධිපති දිසානායක හා ආන්ඩුව දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමේ වගකීම භාරගෙන ඇත. නොවැම්බර් 21 දා, පාර්ලිමේන්තුවට ඉදිරිපත්කල ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් දිසානායක අවධාරනය කලේ ජාමූඅ වැඩපිලිවෙල අකුරට ම ක්‍රියාත්මක කරන බවයි.

ඊට එරෙහිව අනිවාර්යයෙන් ම පැනනගින පන්ති අරගල මැඩීමට කම්කරු පන්තිය භේදබින්න කර බෙලහීන කිරීමට සිංහල වර්ගවාදයේ රුදුරු ආයුධය ජවිපෙ/ජාජබ ආන්ඩුව අතට ගනු ඇත. ඒ සඳහා, වර්ගවාදයෙන් වසවිසෙන් පදම්වූ වාර්තාවක් ජවිපෙ නායකයන්ට ඇත.

ලංකාවේ පාලක පන්තියේ හා ආන්ඩුවල මාරක ස්වොත්තමවාදී ප්‍රහාරයට එරෙහිව, වාර්ගික රේඛා කපාහරිමින් කම්කරු පන්තියේ ජාත්‍යන්තරවාදී එකමුතුව තහවුරු කිරීමට සටන්කල එකම සංවිධානය, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය හා එහි පූර්වගාමියාවූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයයි.

වැඩිදුර අධ්‍යයනයට

ඇප නොදී රඳවා සිටින ලේඛක සත්කුමාර හෙට නැවත අධිකරනයට ඉදිරිපත් කිරීමට නියමිතයි

https://www.wsws.org/sinhala/2019/2019may/sath-06m.html

“මුස්ලිම් අන්තවාදයේ” වගකීම “මුස්ලිම් සමාජයට” පවරමින් ජවිපෙ නායකයා මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයට තෙල් වත් කරයි

https://www.wsws.org/sinhala/2019/2019may/vpms-11m.html

කුරුනෑගල මුස්ලිම් වෛද්‍යවරයාට එරෙහිව සිංහල වර්ගවාදීන් ගෙතූ අභූත චෝදනා ප්‍රතික්ෂේප වෙයි

https://www.wsws.org/sinhala/2019/2019jul/safi-03j.html

Loading