ඉදිරිදර්ශන

ජූලි 24 රැලිය සඳහා කැඳවුමක්: ජන සංහාරයට හා යුද්ධයට එරෙහි සටන ඉදිරියට ගෙනයමු!

[මෙය A call to the July 24 demonstration: Take forward the fight against genocide and war! යන මැයෙන් 2024 ජූලි 23 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

කොන්ග්‍රසයේ ඒකාබද්ධ සැසියක් අමතා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කරන දේශනයට එරෙහිව ජූලි 24 වැනි දා වොෂින්ටන් ඩී.සී. හි සංවිධානය කරන විරෝධතාවල දී පහත ප්‍රකාශය බෙදා හරිනු ඇත.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ඩිමොක්‍රටිකයින් සහ රිපබ්ලිකානුවන්ගේ ආරාධනයෙන් ජූලි 24 වැනි දා කොංග්‍රසයේ ඒකාබද්ධ සැසියක් අමතයි. එදිනම, තථ්‍ය කාලීන ව දිග හැරෙන ඓතිහාසික අපරාධය පිලිබඳ ඔවුන්ගේ කෝපය ප්‍රකාශ කිරීමට, දස දහස් ගනනක් වොෂින්ටන් ඩී.සී. හි රැස්වනු ඇත.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු 2023 ඔක්තෝබර් 18 වැනි දින ටෙල් අවිව්හිදී ජනාධිපති ජෝ බයිඩන් හමුවී කතා කරයි. [AP Photo/Evan Vucci]

මාස නවය හමාරක් තිස්සේ ඊශ්‍රායලය ගාසා තීරයේ පලස්තීන ජනතාවට මරනයේ සහ විනාශයයේ වැසි වැස්සවීය. නෙතන්යාහු සඳුදා එක්සත් ජනපදයට පැමිනෙන විට, ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කලේ, නිල මරන සංඛ්‍යාව 39,000 ඉක්මවා ඇති බවයි; ඉන් බහුතරය කාන්තාවන් සහ ලමුන් වේ. 90,000 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත.

මෙය, ඊශ්‍රායල බෝම්බ වලින් තහවුරු කරන ලද මරන මත පදනම් වූ නිල ගනන යි. සැබෑ සංඛ්‍යාව ඊට වඩා බෙහෙවින් වැඩි ය. සති දෙකකට පෙර, ලෝකයේ වඩාත්ම ගෞරවයට ලක්වූ වෛද්‍ය සඟරාවක් වන, ද ලැන්සෙට් ඇස්තමේන්තු කලේ සෘජුව හෝ වක්‍රව මරා දැමූ පුද්ගලයින් සංඛ්‍යාව 186,000 හෝ ඊට ද වැඩි විය හැකි බවයි.

ඊශ්‍රායලය සිය ජනඝාතක ව්‍යාපාරයේ දී, ගාසා තීරයේ නේවාසික ගොඩනැගිලි, පාසල්, ආගමික ආයතන, රෝහල් සහ සමස්ත සමාජ යටිතල ව්‍යුහය ම ක්‍රමානුකූල ව විනාශ කර ඇත. එය පලස්තීනුවන්ට ආහාර සහ වෛද්‍ය සැපයුම් අහිමි කරමින්, සාගින්නෙන් හා රෝගවලින් ජන සංහාරය කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර ඇත.

නෙතන්යාහු සහ ඔහුගේ ඇමතිවරුන් යුද අපරාධකරුවන් බව මුලු ලෝකයට ම පැහැදිලිය. මෙම ජන සංහාරය, පලස්තීන ජනතාවට එරෙහිව වසර 75 ක පීඩනයේ කූඨප්‍රාප්තියයි. ඊශ්‍රායල ආන්ඩුව “පලස්තීන ගැටලුවට” සිය “අවසාන විසඳුම” ක්‍රියාවට නැංවීම සඳහා ඔක්තෝබර් 7 දින සිදුවීම් ඩැහැ ගත්තේ ය.

නෙතන්යාහු වොෂින්ටනයට පැමිනෙන්නේ, ඊශ්‍රායලය අර්ධ ශතවර්ෂයක් පුරා පලස්තීන භූමි ප්‍රදේශ අත්පත් කර ගැනීම නීති විරෝධී බවට ජාත්‍යන්තර අධිකරනය විසින් දෙන ලද තීන්දුවට පසු ය. ඊශ්‍රායල රාජ්‍යයේ ප්‍රධානියා, ඔහුගේ ආරක්ෂක ඇමතිවරයා සමග, ජාත්‍යන්තර අපරාධ අධිකරනයේ ප්‍රධාන අභිචෝදකයාගේ “මිනීමැරුම්” සහ “සමූලඝාතනය” ඇතුලු “යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ” පිලිබඳ චෝදනා වලට මුහුන දෙයි.

අති විශාල පරිමානයේ යුධ අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ ඊශ්‍රායලය සහ එහි ආරක්ෂකයින්, දැවැන්ත බොරුවල රැකවරනය පතයි. මෙම අපරාධවලට විරෝධය පල කර ඇති මිලියන ගනනකට එරෙහි ව, ඔවුන් 'යුදෙව්විරෝධවාදය' යන චෝදනාව එල්ල කරයි. මොනතරම් වංචාවක්ද! විරෝධතාවල වඩාත් ක්‍රියාකාරී අය අතර, ඊශ්‍රායලය ජන සංහාරයක් සිදු කිරීමේදී, යුදෙවු නාමය අවභාවිතා කරන බවට විරෝධය පල කරන, කෝපයට පත් යුදෙව් ජනතාව ද වෙති.

නාසි සමූලඝාතනයෙන් දිවි ගලවාගත් රෙනේ ලිච්ට්මන්ගේ නායකත්වයෙන්, මිෂිගන්හි පැවති විරෝධතාවයන්ට අවලාද නැගීමට සහ කායික ව බිය ගැන්වීමේ උත්සාහයක් ලෙස, මෙම මස මුලදී “යුදෙව්විරෝධවාදය” යන වචනය භාවිතා කරන විට, එම චෝදනාව විකාරයක මට්ටමට ලඟා විය.

නෙතන්යාහු සහ ඊශ්‍රායල පාලන තන්ත්‍රය යුද අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවන් වේ; ඒ සඳහා ඔවුන් වගවිය යුතු ය. එහෙත්, කොන්ග්‍රසයේ ඩිමොක්‍රටිකයින් සහ රිපබ්ලිකානුවන් විසින් නෙතන්යාහුට ඒකාබද්ධ සැසියක දී කතා කිරීමට කරන ලද ආරාධනය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ ඊශ්‍රායලය අතර සැබෑ සම්බන්ධය හෙලිදරව් කරයි.

ගාසා ජන සංහාරය, වොෂින්ටනය නිර්මානය කරන ලද්දකි. පසුගිය ඔක්තෝබර් මාසයේ සිට, ඇමරිකානු ආන්ඩුව ඊශ්‍රායල හමුදාවට රාත්තල් 2,000 බෝම්බ 14,000 ක් ලබා දී ඇත; එය, ජන සංහාරයේ ආරම්භයේ සිට ඊශ්‍රායලයට ලබා දී ඇති ඩොලර් බිලියන 6.5 කට වඩා වැඩි ආයුධවල කොටසක් ලෙස ගත් විට, වෙනත් ඕනෑ ම ආයුධයකට වඩා වැඩි ය.

නෙතන්යාහු සිය දේශනය පවත්වන්නේ එක්සත් ජනපදය තුල පෙර නොවූ විරූ දේශපාලන අර්බුදයක කොන්දේසි යටතේ ය. එහෙත්, ඔවුන්ගේ ගැටුම් හා බෙදීම් කුමක් වුවත්, පාලක පන්තිය ඊශ්‍රායලයේ ජන සංහාරයට සහය දැක්වීමේ දී එක්සත් ය.

රිපබ්ලිකානුවන්, ජාතික සම්මෙලනයක ස්වරූපයෙන් තම ෆැසිස්ට් රැලිය අවසන් කලා පමනි. දේශපාලන ප්‍රතිගාමීන් රොත්ත ගාසා තීරයේ මිනීමරු ප්‍රහාරයට සිය පූර්න සහයෝගය ප්‍රකාශ කලේය. “ජන සංහාරක ජෝ” බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂ පරිපාලනය, එය පුරාවටම අධීක්‍ෂනය කර මූල්‍යමය වශයෙන් සහාය දක්වා ඇත.

බයිඩන් අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා වන කමලා හැරිස් නෙතන්යාහුගේ කතාවට සහභාගී නොවන බවට වාර්තා වේ. කෙසේ වෙතත්, ඇය ඊශ්‍රායලයේ ක්‍රියාවන් සඳහා ඇගේ සහයෝගය සහ ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ සහාය ප්‍රකාශ කිරීම සඳහා නෙතන්යාහු වෙන ම හමුවනු ඇත.

ගාසා තීරයේ ජන සංහාරයට ඇමරිකානු පාලක පන්තිය සහාය දෙන්නේ, එය මැද පෙරදිග හා සමස්ත ලෝකය ම යලි හැඩගැස්වීමේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සැලැස්මේ කොටසක් වන බැවිනි. යන්තම් සති දෙකකට පෙර, චීනය සමග ගැටුමකට සූදානම් වීමක් ලෙස සැලකෙන, යුක්‍රේනය තුල රුසියාවට එරෙහි යුද්ධය විශාල වශයෙන් තීව්‍ර කිරීමට සැලසුම් කිරීමට, බයිඩන් නැටෝ බලවතුන්ට වොෂින්ටනය තුල සත්කාරකත්වය දැක්වීය.

සමාජවාදී සමානතා පක්ෂය නෙතන්යාහුගේ පෙනී සිටීමට එරෙහි විරෝධතා සාදරයෙන් පිලිගනී. ජූලි 24 දින විරෝධතාවලට සම්බන්ධ වන අය ආවේගය ලබා ඇත්තේ, නූතන යුගයේ දැවැන්ත ම අපරාධයක් සම්බන්ධයෙන් වන පිලකුලෙන් හා කෝපයෙනි.

නමුත් පිලිකුල හා කෝපය ප්‍රමානවත් නොවේ. ජන සංහාරයට එරෙහි සටන පදනම් විය යුත්තේ, එය මෙහෙයවන සමාජ හා දේශපාලන අවශ්‍යතා පිලිබඳ උපායමාර්ගික අවබෝධයක් මත ය.

ජූලි 24 දින රැලි පවත්වන සංවිධාන අතර, “නෙතන්යාහු අත්අඩංගුවට ගනු!” යන සටන් පාඨය මත විරෝධතාවක් කැඳවා ඇති ආන්සර් (ANSWER) සංධානය ද වේ. නමුත් අත්අඩංගුවට ගැනීම කල යුත්තේ කවුද? පලස්තීනුවන්ගේ ලේ තවරාගත් බයිඩන් පරිපාලනය සහ ඩිමොක්‍රටික් පක්ෂය, එහි කුලීකාර මැරයෙකු වන නෙතන්යාහු එයට වගකිවයුත්තෙකු ලෙස සලකනු ඇතැයි යමෙක් විශ්වාස කරයි ද?

එය, ප්‍රතිපත්ති වෙනස් කරන ලෙස කොංග්‍රසයට හා ඇමරිකානු පාලක පන්තියට කන්නලව් කිරීම පිලිබඳ ප්‍රශ්නයක් නොවේ. සංගත හා මූල්‍ය කතිපයාධිකාරයේ නියෝජිතයන් එවැනි ආයාචනා කෙරෙහි උදාසීන බව මාස නවයකට ආසන්න යුද්ධය මගින් පෙන්නුම් කර තිබේ.

සමාජවාදී සමානතා පක්ෂය හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් සංවිධානය කරන රැලිය සහ රැස්වීම මුලුමනින්ම වෙනස් ඉදිරිදර්ශනයක් මත පදනම් වේ. මෙම සිදුවීම්, නෙතන්යාහුගේ සංචාරයට විරෝධය පෑම පමනක් නොව, යුද්ධයට සහ අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට එරෙහි සටන ඉදිරියට ගෙන යා යුතු ආකාරය පිලිබඳ දේශපාලන ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කිරීම ද අරමුනු කර පවතී.

කේන්ද්‍රීය කර්තව්‍යය වන්නේ, සමාජයේ සමාජවාදී පරිවර්තනය සඳහා වන අරගලයේ දී, කම්කරු පන්තිය තුල වැඩෙන සමාජ ව්‍යාපාරය සමග යුද්ධයට එරෙහි සටන ඒකාබද්ධ කිරීමයි. ජන සංහාරයට එරෙහි සටන ධනවාදයේ පුලුල් අර්බුදයෙන්, එනම් ම්ලේච්ඡත්වය, ආඥාදායකත්වය, ෆැසිස්ට්වාදය හා යුද්ධය කරා වන ගෝලීය පල්ලම් බැසීමෙන් වෙන් කල නොහැක.

රැලිය සහ රැස්වීම මූලික මූලධර්ම තුනක් ඉදිරියට ගෙන යනු ඇත:

  • යුද්ධයේ අති මූලික හේතුව පවතින්නේ, ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතිය, යෝධ සංගතවල ගෝලීය මූල්‍ය අවශ්‍යතා සහ ලෝක ආධිපත්‍යය සඳහා ඇමරිකානු පාලක පන්තියේ නිර්දය තල්ලුව තුල ය.
  • යුද්ධයට එරෙහි අරගලය සඳහා ඇමරිකානු කම්කරු පන්තියේ යෝධ බලය බලමුලු ගැන්වීමත්, ඒ සඳහා, අධිරාජ්‍යවාදී යුද්ධයේ පාලක පන්ති පක්ෂ වන ඩිමොක්‍රටික් හා රිපබ්ලිකානුවන්ගෙන් එහි දේශපාලන ස්වාධීනත්වයත් අවශ්‍ය වේ.
  • ජන සංහාරයට හා යුද්ධයට එරෙහි ව්‍යාපාරය ජාත්‍යන්තර විය යුතු අතර, කම්කරුවන්ගේ පොදු පන්ති අවශ්‍යතා මත පදනම් ව, ඔවුන් ගෝලීය වශයෙන් එක්සත් කල යුතු ය.

මෙම ඉදිරිදර්ශනයට එකඟ වන සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටින්නේ, සමාජවාදී සමානතා පක්ෂය නැෂනල් මෝල් (National Mall) උද්‍යානයේදී කැඳවා ඇති රැලියට සහභාගී වන ලෙසයි. නෙතන්යාහුගේ කතාවට එරෙහි විරෝධතාව, ජන සංහාරය, අධිරාජ්‍යවාදී යුද්ධය සහ ධනේශ්වර ලාභ පද්ධතිය අවසන් කල හැකි කම්කරු පන්තියේ දේශපාලන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කල යුතු ය.

Loading