ගාසා ජන සංහාරය නවත්වනු! ජූලි 24 වෙනිදා වොෂින්ටන්, ඩී.සී. හි රැලියට එක්වෙමු!

[මෙය Stop the Gaza genocide! Join the rally in Washington, D.C. on July 24! යන මැයෙන් 2024 ජූලි 10 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

ගාසා ජන සංහාරයට එරෙහිව, ජූලි 24 දා, වොෂින්ටන් ඩීසී හි පැවැත්වෙන රැලියට එක්වන්න! රැලියට සහ විරෝධතාවට පසුව පැවැත්වෙන රැස්වීමට සහභාගී වීමට හෝ සිදුවීම් පිලිබඳ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට ලියාපදිංචි වීම සඳහා අවසානයේ ඇති පෝරමය පුරවන්න.

Loading Tweet ...
Tweet not loading? See it directly on Twitter

යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරනයේ චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු, ජූලි 24 බදාදා, කොන්ග්‍රසයේ ඒකාබද්ධ සැසියක් අමතනු ඇත. මෙම ආරාධනය ඊශ්‍රායල රාජ්‍යය සමග එක්සත් ජනපද ආන්ඩුවේ අසීමිත සහයෝගීතාවයේ තවත් විදහා දැක්වීමකි.

නෙතන්‍යාහු වොෂින්ටනයේ දී කතා කරනු ඇත්තේ ඊශ්‍රායලය පාලනය කරන ෆැසිස්ට් කල්ලියේ නායකයා ලෙස පමනක් නොව, මැද පෙරදිග එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ දේශපාලන නියෝජිතයා ද ලෙස ය. සමූහ මිනීමැරුම්වල සහ ගසා සමාජය ක්‍රමානුකූලව විනාශ කිරීමේ යෙදී සිටින ආන්ඩුවක නායකයා ලෙස ඔහු එහි පෙනීසිටිමින් කොංග්‍රසයේ අත්පොලසන් ලබා ගනු ඇත. ගාසාහි සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ජුනි 19 වන විට පසුගිය මාස නවය තුල පලස්තීන මරන සංඛ්‍යාව 37,396 දක්වා ලඟා වී තිබේ.

කෙසේ වෙතත්, ලෝකයේ වඩාත්ම ගෞරවනීය සමබර-විමර්ශක වෛද්‍ය සඟරා අතර සිටින ද ලාන්සෙට් (The Lancet) විසින් ජූලි 5 වන දින ප්‍රකාශයට පත් කරන ලද විනාශයේ පරිමානය පිලිබඳ වඩාත් තියුනු විශ්ලේෂනයක් ප්‍රකාශ කරන්නේ, නිල සංඛ්‍යාව, ඔක්තෝබරයේ සිට මියගිය පලස්තීනුවන්ගේ සැබෑ සංඛ්‍යාවේ විශාල අවගනනයක් බවයි. හඳුනාගත් වින්දිතයින්ට අමතරව, පෙබරවාරි අග වන විට ගාසා තීරයේ සියලුම ගොඩනැගිලිවලින් සියයට 35 ක් විනාශ වී ඇති බවත්, 10,000 කට වැඩි පිරිසක් සුන්බුන් අතර වැලලී ඇති බවට විශ්වාසදායක ලෙස ඇස්තමේන්තු කර ඇති බවත් එක්සත් ජාතීන්ගේ වාර්තාවේ ද ලාන්සෙට් සටහන් කරයි.

නමුත්, මෙම වින්දිතයින් 10,000 නිල මරන සංඛ්‍යාවට එකතු කලද, ප්‍රතිඵලය වන්නේ සැබෑ මරන සංඛ්‍යාවට වඩා බෙහෙවින් අඩු සංඛ්‍යාවකි. ගාසා තීරයේ සමාජ යටිතල ව්‍යුහය සම්පූර්නයෙන් විනාශ කිරීම නිසා සිදුවන වක්‍ර මරන, කාලතුවක්කු උන්ඩ සහ බෝම්බ නිසා සිදුවන සෘජු මරනවලින් සැලකිය යුතු ගුනාකාරයක් බව ද ලාන්සෙට් ප්‍රකාශ කරයි. ද ලාන්සෙට් මෙසේ ලියයි:

මෑත ගැටුම් වලදී, එවැනි වක්‍ර මරන, සෘජු මරන සංඛ්‍යාව මෙන් තුන් ගුනයක සිට 15 ගුනයක් දක්වා පරාසයක පවතී. වාර්තා වූ මරන 37,396 දී, එක් සෘජු මරනයකට වක්‍ර මරන හතරක් පිලිබඳ මධ්‍යස්ථ ඇස්තමේන්තුවක් යෙදීමෙන්, ගාසා තීරයේ වත්මන් ගැටුමට 186,000 ක් හෝ ඊටත් වඩා මරන සංඛ්‍යාවක් පැවරිය හැකි යැයි තක්සේරු කිරීම පිලිගත නොහැක්කක් නොවේ. 2022 ගාසා තීරයේ ජනගහන ඇස්තමේන්තුව වන 2,375,259 භාවිතා කිරීමෙන්, මෙය ගාසා තීරයේ මුලු ජනගහනයෙන් සියයට 7.9 ක් බව පෙනීයනු ඇත.

එක්සත් ජනපදයේ ජනගහනය ආසන්න වශයෙන් මිලියන 333 කි. ඇමරිකානුවන්ගෙන් සියයට 7.9 ක් යුද්ධයකින් මිය ගියහොත් මියගිය සංඛ්‍යාව මිලියන 26.3 ක් වනු ඇත.

නෙතන්‍යාහුට කෙරෙන ආරාධනය වනාහි, ගාසාහි ජනතාවට එරෙහි ජන සංහාරක යුද්ධයේ එක්සත් ජනපද ආන්ඩුවෙහි හවුල්කාරිත්වය හෙලිදරව් කරන දේශපාලන ප්‍රකෝපකරනයකි.

මෙම ප්‍රකෝපකරනයට පිලිතුරු දිය යුත්තේ කෙසේද?

ලෝක සමාජවාදී වෙබ් අඩවිය, සමාජවාදී සමානතා පක්ෂය, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සහ කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය, නෙතන්‍යාහුගේ සංචාරයත්, එක්සත් ජනපද ආන්ඩුව තුල ඔහුගේ දේශපාලන අපරාධ සහායකයන් සහ මංසලසන්නන් යන දෙකොටසම හෙලා දැකීමටත් වොෂින්ටන්, ඩී.සී. හි පෙලපාලියක් කැඳවා ඇත. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ ඊශ්‍රායල රාජ්‍යයේ එහි ඒජන්තයින් අතර සාපරාධී සන්ධානයට එරෙහිව මෙරට (එක්සත් ජනපදය) තුල සහ ලෝකය පුරා මහජන විරෝධයට මෙම පෙලපාලිය හඬක් ලබාදෙනු ඇත.

ෆ්‍රෙඩ්‍රික් ඩග්ලස්ගේ වදන් අපේ කාලයට ගැලපෙන පරිදි සුලු වෙනස් කිරීම් පමනක් සහිතව යොදා ගැනීමට මට අවසර දෙන්නේ නම්: “ජාතිය පිලිබඳ හැඟීම වේගවත් කල යුතුය, ලෝකයේ හෘදය සාක්ෂිය අවදි කල යුතුය… එක්සත් ජනපද ආන්ඩුවේ කුහකකම හෙලිදරව් කල යුතුය; පලස්තීන ජනතාවට සහ සියලු මනුෂ්‍ය වර්ගයාට එරෙහි එහි අපරාධ හෙලිදරවු කර හෙලාදැකිය යුතුය.”

එහෙත් පෙලපාලියේ අරමුන කෝපය ප්‍රකාශ කිරීම පමනක් නොව, අධිරාජ්‍යවාදී මිලිටරිවාදයේ ගෝලීය පුපුරා යාමත්, රුසියාවට සහ චීනයට එරෙහිව න්‍යෂ්ටික යුද්ධය දෙසට නිර්දය උත්සන්න කිරීමත්, කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන්ට එරෙහි ප්‍රහාරයත් සමග අවියෝජනීය ලෙස බැඳී ඇති ගාසා ජන සංහාරය අවසන් කිරීම සඳහා මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා මූලෝපායික දිශාවනකියක් සම්පාදනය කිරීමයි. පසුගිය ශතවර්ෂයේ ලෝක යුද්ධ දෙක, ෆැසිස්ට්වාදය, සමූලඝාතනය සහ පරමානු බෝම්බ හෙලීමට හේතු වූ ධනේශ්වර ක්‍රමය තුල මුල් බැසගත් එම ආර්ථික අවශ්‍යතා සහ දේශපාලන ක්‍රියාවලීන් අද ද ක්‍රියාත්මක වේ.

ඉතිහාසයේ පාඩම් අද දවසේ අරගලවලට යොදාගත යුතුය.

විරෝධතාවයෙන් පසුව, පහත සඳහන් මූලධර්ම මත පදනම් වූ මහජන යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා සමාජවාදී මූලෝපායක් ඉදිරියට ගෙන යාම පිලිබඳව සාකච්ඡා කිරීමට සමාජවාදී සමානතා පක්ෂය රැස්වීමක් පවත්වනු ඇත.

1. යුද්ධයේ මූලික හේතුව පවතින්නේ, ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතිය, යෝධ සංගතවල ගෝලීය මූල්‍ය අවශ්‍යතා සහ ලෝක ආධිපත්‍යය සඳහා ඇමරිකානු පාලක පන්තියේ නිර්දය ධාවනය තුල ය.

2. යුද්ධයට එරෙහි අරගලය සඳහා ඇමරිකානු කම්කරු පන්තියේ යෝධ බලය බලමුලු ගැන්වීමත්, ඒ සඳහා අධිරාජ්‍යවාදී යුද්ධයේ පාලක පන්ති පක්ෂ වන ඩිමොක්‍රටික් හා රිපබ්ලිකානු පක්ෂ වලින් එහි දේශපාලන ස්වාධීනත්වයත් අවශ්‍ය වේ.

3. ජන සංහාරයට හා යුද්ධයට එරෙහි ව්‍යාපාරය ජාත්‍යන්තර විය යුතු අතර, කම්කරුවන් ඔවුන්ගේ පොදු පන්ති අවශ්‍යතා මත පදනම්ව ගෝලීය වශයෙන් එක්සත් කල යුතුය.

ජූලි 24 වෙනිදා වොෂින්ටන් ඩීසී වෙත පැමිනෙන්න. පලස්තීනුවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් පුද්ගලික සදාචාරාත්මක කෝපය ප්‍රමානවත් නොවේ.

පසෙකට වී බලා නොසිටින්න. යුද්ධය අවසන් කර ලෝකය වෙනස් කරන මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමේ සටනට එක්වන්න.

Loading