වර්ජිත අනධ්‍යන කම්කරුවන් මර්දනය කිරීම සඳහා ආන්ඩුවේ සූදානමට එරෙහිවනු! වැඩ වර්ජනය ආරක්ෂා කරනු! ජීවන වියදමට සරිලන වැටුපක් සඳහා සටන්කරනු!

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන් වැටුප් සහ දීමනා වැඩිකර ගැනීමට ක්‍රියාත්මක කොට ඇති වැඩවර්ජනය සතරවන සතියට එලැඹෙත් ම එය මැඩීම සඳහා කඩා පැනීමට ආන්ඩුව සූදානම් වනබව එලිදරව් වී ඇත. විශ්වවිද්‍යාල පරිපාලකයන් මෙහෙයවා ගනිමින් සූදානම් කෙරෙන මර්දනයට සමග ධනපති ජනමාධ්‍ය ආන්ඩුව සමග පූර්න එකඟතාවයෙන් කටයුතු කරයි.

  • මැයි 19 වැනිදා සන්ඩේ ටයිම්ස් පලකල වාර්තාවකට අනුව “වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ බලපෑමට උපාධි අපේක්ෂකයින් දිගටම මුහුන දෙන බැවින් දැනට වැඩවර්ජනයක යෙදී සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මන්ඩලයට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට රජය තීරනය කර තිබේ.” එම වාර්තාවට අනුව සියලුම පීඨවල සේවාවන් නිසි පරිදි පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස පීඨාධිපතිවරුන්ට දැනුම් දී ඇති අතර වෘත්තීය ක්‍රියාමාර්ගවලට අදාලව 2007 වසරේ නිකුත් කල චක්‍රලේඛයක් තවමත් වලංගු බව විශ්වවිද්‍යාලවලට දැනුම්දී තිබේ.
    2007 දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ එවක සභාපති මහාචාර්ය ගාමිනී සමරනායක නිකුත් කල එම මර්දනකාරී චක්‍රලේඛයට අනුව, සංකේත වැඩවර්ජන, පාගමන්, අඛන්ඩ වැඩවර්ජන, ලෙඩ නිවාඩු ව්‍යාපාර ආදී වෘත්තීය ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස විශ්වවිද්‍යාල සේවකයන් රාජකාරියට වාර්තා නොකරන දිනයන් වැටුප් රහිත දින ලෙස සැලකේ.
    2007 වසරේ ජුනි 04 එක් දින වැඩවර්ජනයකට විශ්ව විද්‍යාල 15 ම කම්කරුවෝ සහභාගී වුහ. කොලඹ විශ්වවිද්‍යාලයේ සේවකයෝ, වැඩ වේගවත් කිරීමට හා ඇඟිලි සලකුනු මගින් තම පැමිනීම සහ පිටවීම සලකුනු කිරීමට විශ්ව විද්‍යාල පරිපාලනය ගත් තීන්දුවට විරුද්ධව වර්ජනය දිගටම ගෙනගියහ. කොලඹ විවි පාලකයන් මෙයට ප්‍රතිචාර දැක්වුයේ සේවකයන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම් කරමිනි.
    එම අවස්ථාවේ ප්‍රතිපාදන කොමිසම නිකුත්කල කුප්‍රකට චක්‍රලේඛය අනුව, දින 9ක් සඳහා කොලඹ විශ්වවිද්‍යාලයේ සියලුම සේවකයන්ගේ වැටුප් කපා හරින ලදී. දැන් එම චක්‍රලේඛය යලිත් අමෝරා ඇත.
  • වර්ජනයට එරෙහිව පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක විසින්, වැඩවර්ජනයේ යෙදී සිටින එම විශ්වවිද්‍යාලයේ අනධ්‍යන සේවකයන්ට එරෙහිව මහනුවර දිසා අධිකරනයේ නඩු පවරා තිබේ. එමගින් ඉල්ලා ඇති වැඩවර්ජන තහනම් නියෝගය හෙට දිනයේ නිකුත්කිරීමට නියමිතය. ආන්ඩුවේ පිටුබලය ලබමින් වර්ජනයට එරෙහිව ධනපති රාජ්‍යය මෙහෙයවීමේ මේ ප්‍රයත්නයට විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මලෙනයේ නායකත්වයේ පුර්න සහයෝගය ලැබේ.
  • ආන්ඩුවේ හොරනෑවක් වන දිනමින පුවත් පතේ මැයි 24 වැනි සිකුරාදා කතුවැකියේ මාතෘකාව වූයේ “ගුල්මට ඇදෙන අනධ්‍යනයෝ” යන්නයි. අනධ්‍යන සේවකයෝ දැන් හිසරදයක් වී ඇති බවත් “දරුවන්ගේ ජීවිත කාලය ඔවුන් නොකල වරදක් වෙනුවෙන් දිය වී යෑමට” අනධ්‍යයන අරගලය හේතු වී ඇති බව අපහාසයෙන් සඳහන් කර ඇත. අනෙකුත් ජනමාධ්‍ය ද ඒ හා සමාන කතුවැකි හෝ ලිපි පලකර තිබේ.
වැඩවර්ජනයට සමගාමීව අනධ්‍යන කම්කරුවන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරියේ පැවැත්වූ විරෝධතාවක්

අනධ්‍යන කම්කරුවන්ගේ වැඩවර්ජනයට එරෙහිව සූදානම් කෙරෙන මර්දනකාරී කඩා පැනීම් සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) දැඩිලෙස හෙලාදකි. අවශේෂ කම්කරුවන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මෙම අරගලය ආරක්ෂාකිරීම සඳහා පෙරට පැමිනෙන ලෙසයි.

විශ්ව විද්‍යාල අනධ්‍යයන කම්කරුවන් ආරම්භ කල අඛන්ඩ වැඩවර්ජනයට මේ වනවිට දින 25ක් ගතවී ඇත. සියලුම විශ්ව විද්‍යාලවල අනධ්‍යන කම්කරුවෝ 13000ට ආසන්න ප්‍රමනයක් එයට සහභාගී වී සිටිති.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකමුතුව ඉල්ලා ඇත්තේ පිම්මේ ඉහල යන ජීවන වියදමට කිසිසේත් ම නොසරිලන සීමිත ඉල්ලීම් වුවත්, ඒවා පවා ප්‍රතික්ෂේප කිරීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) කප්පාදු වැඩපිලිවෙල රුදුරු ලෙස පැටවීමෙන් බැහැරවීමට ආන්ඩුව සූදානම් නැති බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ “වැටුප් ඉහල දැමීම් පිලිබඳ විවිධ ඉල්ලීම් ලැබුන ද 2024 දී කටයුතු කිරීමට තරම් රාජ්‍ය අදායම වර්ධනය වී නොමැත” යැයි පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ආන්ඩුවේ මර්දන සූදානම පරාජය කිරීමට, ජීවන වියදමට සරිලන වැටුපක් ලබාගැනීමට සහ අධ්‍යාපන කප්පාදුව එරෙහිව අරගලය කිරීමේ දී අනධ්‍යයන සේවකයන් ඉදිරියේ පවතින ප්‍රධාන බාධකය වෘත්තීය සමිති එකමුතුවේ නායකත්වයයි. ඔවුන් දැන් ඉදිරිපත්කර ඇති වැටුප් ඉල්ලීම අවුරුදු අටකට පෙර ඉදිරිපත්කල ඉල්ලීම ම ය. ඒ සඳහා වර්ජනයට එලඹෙන්නේ “සාමාජිකත්වයේ බලපෑම” නිසා බව මැයි 1 දින අධ්‍යාපන ඇමතිට යැවූ ලිපියේ සඳහන් කර තිබේ.

වර්ජනය ක්‍රියාත්මක වෙමින් පවතිද්දී අනධ්‍යන වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති මංගල ඩබරේරා මැයි 14 වන දින අද දෙරන ප්‍රවෘත්ති ප්‍රකාශයට මෙසේ කියා සිටියේ ය: “2018 ඉඳන් අපි කරපු සාකච්ඡා වල දී අපි කියාසිටියේ අපට මේක ප්‍රතිපත්තිමය වශයෙන් නිවැරදි කරලා දෙන්න කියල. අපි දන්නවා රටේ මූල්‍ය අර්බුදයක් තිබෙනවා, මුදල් ඔබතුමාලා තිබෙන වෙලාවක දෙන්න කියල අපි කිව්වා. කිසිම වෙලාවක අපි කියල නැහැ වැටුප් වැඩිකරන්න කියල.” ඔවුන් ඇත්තටම, වැඩිවැටුප් දිනාගැනිමට යැයි කියම්න් කම්කරුවන් වර්ජනයට කැඳවන නමුත්, “ගරු ඇමති තුමාට” පවසා තිබෙන්නේ වැටුප් වැඩිකිරීම අවශ්‍ය නැති බවයි.

වර්ජිත වෘත්තිය සමිති එකමුතුව කම්කරුවන්ට දිගටම කියා තිබෙන්නේ වර්ජනය මගින් ඇතිකරන බලපෑමෙන් කැබිනට් මන්ඩලය තම ඉල්ලීම් දිනාගැනීම සඳහා පොලඹවා ගතහැකිය යන්නයි. ප්‍රෝඩාකාරී කැබිනට් පත්‍රිකා ඉල්ලීම අවුරු 08 පමන කාලයක් කම්කරුවන් රවටා තිබේ. කවර අවස්ථාවක හෝ එම නියෝග ක්‍රියාත්මක වී නැත.

පත්‍රිකාවක් නිකුත් වුවහොත් එහි මූලික තැනක් ලැබෙනු ඇත්තේ කම්කරුවන්ට එරෙහිව වැඩ වේගවත් කිරීම සඳහා වන වගන්ති සඳහාය. ආන්ඩුවේ 2025 වසරේ සිට ඉල්ලීම් ලබා දිය හැකි බව කියන ප්‍රකාශයන්ට අනධ්‍යන කම්කරුවන් මුලා නොවිය යුතුය.

අද දින 27දා නැවත වරක් සියලුම විශ්වවිද්‍යාලවල අනධ්‍යන කම්කරුවන්ගේ සහභාගිත්වයෙන් කොලඹදී උද්ඝෝෂනයක් පැවැත්වීමට තීන්දුවක් ගෙන තිබුනත් අයහපත් කාලගුනය යන ව්‍යාජ හේතුව ඉදිරියට දමමින් එය අවලංගු කොට ඇත.

විශ්වවිද්‍යාල සේවකයන්ගේ ඉල්ලීම්වලට එරහිව ආන්ඩුවේ කඩාපැනීම හුදකලා සිදුවීමක් නොවේ. ජාමුඅ නියෝග ක්‍රියාවට දමමින් සිටින වික්‍රමසිංහ ආන්ඩුව, පුද්ගලීකරනය ඇතුලු රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමට, වැඩි වැටුප් හා දීමනා ඉල්ලීමට, සේවා අයිතීන් රැක ගැනීමට, අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා කප්පාදුවට විරුද්ධව කම්කරුවන් ගෙනගිය උද්ඝෝෂනවලට එරෙහිව කඩා පැනීම දිගටම සිදුවිය.

අංශ ගනනාවකටම රුදුරු අත්‍යවශ්‍ය මහජන සේවා නියෝග පනවා ඇති ආන්ඩුව සන්නාහ සන්නද්ධ පොලිසිය යොදවා මුර්ග ප්‍රහාර මුදා හැරියේය. ලංකා විදුලි බලමන්ඩලයේ සේවකයන් පුද්ගලීකරනයට එරෙහිව දින තුනක උද්ඝෝෂන වලට සහභාගිවීම නිසා සේවකයන් 62ක් ජනවාරි මාසයේ සිට වැඩ තහනමට ලක්කර ඇත. ඔවුන් සේවයෙන් පහකිරීම ඇතුලු දන්ඩනයන්ට යටත් කිරීමේ එල්ලයෙන් විනය පරීක්ෂන වලට ගොදුරු කර තිබේ. ආන්ඩුව ඇතුලු පාලක පන්තිය භීතියට පත්ව සිටින්නේ කම්කරුවන්ගේ හා දුගීන්ගේ අරගල පුපුරා යනු ඇතැයි යන්න ගැනයි. 2022 අප්‍රේල්-ජූලි මහජන නැගිටීමෙන් මේ පාලක පන්තිය බැට කෑවේය.

ලංකාවේ පැන නැගෙන අරගල ලෝක පරිමානව, දියුනු ධනපති රටවල් ද අලලාගෙන පැනනැගෙමින් පවතින අරගලවල කොටසකි.

මේ සෑම තැනකම කම්කරුවන්ට සිය අයිතීන් දිනා ගැනීමේ අරගලයේ දී ප්‍රධාන බාධකය වී ඇත්තේ ධනපති ගැති වෘත්තීය සමිති ය. ආන්ඩුවලට හා මහා සමාගම්වලට ඉල්ලීම් දීමට මුදල් නැති බව පිලිගෙන සිටින වෘත්තීය සමිති නායකත්වයන් කම්කරුවන් මත අර්බුදය පටවන වාහකය බවට පත්ව සිටි.

කම්කරුවන්ගේ ජීවන තත්වයන් අරක්ෂා කරගැනීම සමග සසඳන විට, අනධ්‍යයන වෘත්තීය සමිති වල වැටුප් ඉල්ලීම් ඉතාම සීමිත ඒවා වුවත් කම්කරුවන් සටන්කාමී ලෙස ඉදිරියට පැමිනෙමින් සිටින්නේ ඔවුන්ගේ සමාජ කොන්දේසි රුදුරු ලෙස ඛාදනය වී ඇති තත්වයක් තුලයි. කම්කරුවන්ගේ අධිෂ්ඨානවත්බව පෙන්නුම් කරන්නේ තම ජීවන අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන්ට පවතින බරපතල අවශ්‍යතාවයයි. කෙසේ වුව ද මේ සටන්කාමිත්වය පමනක් ප්‍රමානවත් නැති බව පැහැදිලි ය. මෙය සෑම තැනකම කම්කරුවන්ට පොදු ය.

සමිති නායකත්වයන්ගේ සීමා පැනවීම් හා පාවාදීම් කපාගෙන තම අයිතීන් දිනාගැනීමට නම් කම්කරුවන් අරගලය තමන් අතට ගත යුතු ය. මේ සඳහා වෘත්තීය සමිති නායකත්වය වැද්ද නොගත්, කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු සෑම වැඩපොලකම ගොඩනගන ලෙස සමාජවාදී සමානතා පක්ෂය ඉල්ලා සිටී.

මෙම ක්‍රියාකාරී කමිටුවලට සෑම විශ්වවිද්‍යාලයක් තුලම අනධ්‍යයන සේවකයන් සිසුන්ගේ හා ආචාර්යවරුන්ගේ සහාය ගොනු කරගත යුතුය. මෙසේ සංවිධානය වීම අවශේෂ කම්කරුවන්ගේ සහාය තම අරගලයට දිනාගැනීම පිනිස පියවර ගැනීමට විශ්වවිද්‍යාල සේවකයන්ට අවස්ථාව ලබාදෙනු ඇත.

සෑම තැනකම කම්කරුවන්ගේ අවශ්‍යතාවය වන්නේ, කඩාවැටෙන ජීවන හා සමාජ තත්වයන් හමුවේ ඉහලයන ජීවන වියදමට අනුව ඉහලයන වැටුපක් දිනා ගැනීම, ඊනියා ප්‍රතිව්‍යුහකරනයෙන් රැකියා හා සේවා කොන්දේසි වැනසීම නතර කිරීම, අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා කප්පාදුව නතර කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගැනීම යි. මෙම අරගලය ජාමුඅ නියෝග ද ඒවා ක්‍රියාවට දමන ආන්ඩුවට ද එරෙහිව සමස්ත කම්කරු පන්තිය එකාබද්ධව සිය කාර්මික හා දේශපාලන ශක්තිය මෙහෙයවමින් කලයුතු අරගලයකි. එනම්, ධනපති ආන්ඩුවේ ප්‍රහාර වලට එරෙහිව මහා වැඩ වර්ජනයක් සූදානම් කිරීමයි.

කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවන හා සමාජ කොන්දේසි රැකගැනීම හා වර්ධනය කරගැනීම සඳහා අරගලය මහා සමාගම්, වතු, බැංකු කම්කරු පාලනය යටතේ ජනසතු කිරීම හා විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කිරීම ඇතුලු සමාජවාදී ක්‍රියාමාර්ගයකට සටන් කිරීම හා එම පිලිවෙත් ක්‍රියාවට දැමීම සඳහා කම්කරුවන් හා ගොවීන්ගේ ආන්ඩුවකට කරන අරගලය සමග බැඳී තිබේ.

මෙම අරගය ගෙන යාමට හැකිවනු ඇත්තේ ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතුව ගොඩනගා ගැනීමෙනි. මේ සඳහා ලංකාවේ කම්කරුවන් විසින් තමන් ගොඩනගන ක්‍රියාකාරී කමිටු, ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය සමග ඒකාබද්ධ කිරීම අත්‍යවශ්‍යවේ.

ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සඳහා කම්කරුවන් සමග සාකච්ඡා කිරීමට සසප ඉත සිතින් සූදානම් ව සිටී. එමෙන් ම අප ඉදිරිපත් කරන වැඩපිලිවෙල පිලිබඳව සාකච්ඡා කිරීමට ද අපි කැමැත්තෙන් සිටිමු.

ඒ සඳහා 0773562327 දුරකථන අංකය අමතන්න.

නැතිනම් පහත කූපනය පුරවා, සමාජවාදී සමානතා පක්ෂය, 716 1/1, කෝට්ටේ පාර, ඇතුල් කෝට්ටේ, කෝට්ටේ යන ලිපිනයට තැපැල් කරන්න.

නම:

විශ්වවිද්‍යාලය:

දුරකථන අංකය:

වැඩිදුර කියවන්න

Loading