ඉදිරිදර්ශන

එක්සත් ජනපදයේ මෝටර් රථ කම්කරු අරගලයේ ගෝලීය ඇඟවුම්

(මෙය The global implications of the auto struggle in the United States මැයෙන් 2023 සැප්තැම්බර් 12දා පල කල ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනය යි.)

තව පැය 48ක් ගත වීමටත් පෙරාතුව, සැප්තැම්බර් 14දා නැගෙනහිර වේලාවෙන් පස්වරු 11.59ට ජෙනරල් මෝටර්ස්, ෆෝඩ් සහ ස්ටෙලැන්ටිස් සංගතවල එක්සත් ජනපද කම්කරුවන් 150,000ක් ආවරනය කෙරුනු කොන්ත්‍රාත්තුවල කල් ඉකුත් වනු ඇත. ඉන් දින හතරකට පසුව, සැප්තැම්බර් 18දා කැනඩාවේ අතිරේක කම්කරුවන් 18,000ක් ආවරනය කරන කොන්ත්‍රාත්තුවල ද කල් ඉකුත් වෙයි.

අවසන් දිනය ලඟා වෙද්දී, එක්සත් මෝටර් කම්කරු සමිති (යූඒඩබ්ලිව්) නිලධරය, සටන ආපසු කැඳවීමට හෝ එහි බලපෑම බලගතු ලෙස සීමා කිරීමට වැඩට බැස සිටී. සැප්තැම්බර් 12දා සවස් වරුවේ ඩිට්‍රොයිට් ෆ්‍රී ප්‍රෙස්හි පල කල වාර්තාවකට අනුව, එකඟතාවක් නිවේදනය නො කරන්නේ නම්, “මූලෝපායික වැඩ වර්ජන” -එනම්, කම්හල් කිහිපයකට පමනක් සීමා වන වැඩ වර්ජන- නිවේදනය කිරීමට යූඒඩබ්ලිව් සභාපති ෂෝන් ෆේන් සූදානම් වෙමින් සිටී. මෑත දිනවල දී, කම්කරුවන්ගේ මූලික ඉල්ලීම් පසුපසට ඇදීමට යූඒඩබ්ලිව් ක්‍රියා ක‌ර ඇත.

යූඒඩබ්ලිව් යාන්ත්‍රනය සමග දෛනික සන්නිවේදනවල නිරත වී සිටින බයිඩන් පරිපාලනය, මෙම තත්ත්වය පරෙස්සමෙන් අධීක්ෂනය කරමින් සිටී. දීර්ඝ කාලයකට පෙර ලියන ලද කොන්ත්‍රාත්තුවල අන්තර්ගතය තිරයට පිටුපස සිට පවත්වන සාකච්ඡාවල දී කතා බහට ලක් නො වන අතර, එහි දී සාකච්ඡාවට ගැනෙන්නේ පාවාදීමක් පිලිගනු වස් කම්කරුවන්ට බල කල හැක්කේ කෙසේ ද යන්න ය.

එහෙත්, කම්කරුවන් අතර කෝපය වැඩෙමින් පවතින්නේ සටන් කිරීමට පවතින අධිෂ්ඨානය සමගිනි. ඉතා විශාල වැටුප් වැඩි වීම්, ස්ථර ක්‍රමය අහෝසි කිරීම, ජීවන වියදම් දීමනා ගැලපුම් (කෝලා) සහ සම්පූර්න වන්දි, තාවකාලික කම්කරුවන් සියලු දෙනා වහා සේවයට බඳවා ගැනීම සහ දොට්ට දැමීම් හා කම්හල් වැසීම් අවසන් කිරීම යන ඉලක්කයන් සහිත ව වැඩ වර්ජනයක් සඳහා කම්කරුවන්ගෙන් සියයට 97ක් ඡන්දය දුන් හ.

වර්ධනය වෙමින් පවතින පන්ති ගැටුම සතු ව යෝධ ජාතික හා ගෝලීය ගම්‍යයන් පවතී.

කම්කරු පන්තියේ අයිතිවාසිකම් සහ ජීවන කොන්දේසි වසර 40ක් තිස්සේ එල්ල කල ප්‍රහාරයන්ගෙන් අනතුරු ව, මෝටර් රථ කම්කරුවන් අතර කැරැල්ල ඉස්මතු වීම පැමිනේ. ඒඑෆ්එල්-සීඅයිඕ නිලධරයේ උදව්ව සහිත ව, 1980 ගනන්වල දී, ඇමරිකානු පාලක පන්තිය පැට්කෝ, හෝමල්, ග්‍රේහවුන්ඩ්, ෆෙල්ප්ස් ඩොජ් හා අනෙකුත් බොහෝ තැන්වල බලගතු අරගල තලා දැමුවේ, කම්කරු පන්තියේ ජීවන තත්ත්වයන්ට විනාශකාරී විපාක ගෙන දෙමින්, පන්ති අරගලය කෘතිම ලෙස මැඩීමේ දශක කිහිපයක් ජනිත කරමිනි.

එහෙත්, වෘත්තීය සමිති නිලධරයන්ගේ උදව්ව සහිත ව පාලක පන්තියට එක්සත් ජනපදය තුල පන්ති අරගලය මැඩ පැවැත්විය හැකි ව තිබූ දශක ගනනක් දීර්ඝ කාල පරිච්ඡේදය අවසානය කරා ලඟා වී ඇත. ගෙවී ගිය වසර කිහිපය තුල, එක්සත් ජනපදයේ පන්ති අරගලයෙහි අනවරත තීව්‍ර වීමක් පැවතී ඇත. සංගතවල හා රාජ්‍යයේ අවශ්‍යතාවන්ට කම්කරු පන්තිය යටත් කිරීමට කැප වී සිටින නිලධර යාන්ත්‍රනය සමග කර්කශ ගැටුමක් එම අරගලය අත් කරගෙන ඇති ප්‍රධාන රූපය යි.

මෙම අරගලයේ දී කම්කරු පන්තිය මුහුන දෙන්නේ කෑදර සංගත කිහිපයකට පමනක් නො වේ. පාලක ප්‍රභූවේ සමස්ත පිලිවෙතට -පොහොසතුන්ට ඇප ලබාදීම, සමාජ අසමානතාවේ ආන්තික වර්ධනය සහ නො නවතින යුද්ධය - කම්කරුවන්ගේ රැකියා හා ජීවන තත්ත්වයන් මතට නිර්දය ප්‍රහාරයක් අවශ්‍ය කරයි.

සෑමවිට ම එක්සත් ජනපදය තුල පන්ති අරගලය කටුක ලෙස ප්‍රචන්ඩ වීමේ නැඹුරුවක් පැවතුනි. මෙය හුදෙක් එක්සත් ජනපදය තුල පන්ති සබඳතාවන්ගේ අභ්‍යන්තර ගතිකයෙහි නිෂ්පාදිතය පමනක් නො වේ. ආධිපත්‍යධාරී අධිරාජ්‍යවාදී බලය බවට එක්සත් ජනපදය ඉස්මතු වෙද්දී, ගෝලීය ධනවාදයේ සියලු පීඩනයන් හා පරස්පර-විරෝධයන් එක්සත් ජනපදය ඇතුලත ම සංකේන්ද්‍රනය විය.

20 වන සියවසේ බොහෝ කාලයක් පුරා, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ නැගෙන බලයේ හා ආධිපත්‍යයේ පසුබිමට එරෙහි ව පන්ති අරගලය දිගහැරුනේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස, කම්කරු පන්තියට සමහර සහන දීමේ හැකියාව ඇමරිකානු ධනවාදයේ ගෝලීය ස්ථානයෙහි ශක්තිය විසින් පාලක පන්තියට ලබා දුන් අතර, 1917 රුසියානු විප්ලවය තුල යථාර්ථයක් බවට පත් වී තිබූ සමාජ විප්ලවය කෙරෙහි වූ බිය විසින් එවන් සහන සෑමවිට ම අභිප්‍රේරනය කරන ලද්දේ ය.

“ශ්‍රේෂ්ඨ සමාජය” පිලිබඳ ප්‍රකාශිත අභිලාෂයයන් වියට්නාම් යුද්ධය සමග පෑහීමට නො හැකිව ජොන්සන් පරිපාලනය මෙම යථාර්ථයට මුහුන දුන් තැන් සිට, සමාජ ප්‍රති-විප්ලවයේ පිලිවෙතක් ක්‍රියාවට දැමීම ආරම්භකොට අර්ධ-ශතවර්ෂයකටත් වඩා ගත වී තිබේ. ඇමරිකානු ධනවාදයෙහි ආර්ථික තත්ත්වයේ ඛාදනයට පාලක පන්තිය ප්‍රතිචාර දැක්වූයේ, කම්කරු පන්තිය මතට එල්ල කල රුදුරු ප්‍රහාරයක් මගිනි. සංගත කලමනාකරනයේ ම අත්ගෙඩියක් බවට පරිවර්තනය වූ, සමාජවාද-විරෝධී වෘත්තීය සමිති යාන්ත්‍රනයෙහි ආධාරය හා උපකාරය මෙයට ලැබුනි.

අද්‍යතන කම්කරු පන්තික අරගල සිදුවන්නේ මුලුමනින් ම වෙනස් කොන්දේසි යටතේ ය. 1989-91 සමයේ සෝවියට් සංගමය බිඳ විසිරවීම, ධනපති ස්ථායීත්වයේ නව උපතක් සලකුනු කරන්නේ යයි පාලක පන්තිය විසින් සමරනු ලැබුව ද පාලක පන්තිය පුරෝකථනය කල පරිදි ලෝකය වෙනස්වූයේ නැත.

අවුරුදු 30කටත් වැඩි කාලයකට පසු ව, පෙර නුවූ විරූ ස්වභාවයක ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුදයන්ගේ අන්තර්-ඡේදනය වීමකට ඇමරිකානු පාලක පන්තිය මුහුන දෙයි. ලෝකයේ සංචිත මුදල ලෙස ඩොලරයේ වඩ වඩා අවිනිශ්චිත වන තත්ත්වය පවත්වාගෙන යාම සඳහා අරගලයේ යෙදෙන එක්සත් ජනපදය, ලෝකයේ විශාලතම නය හිමියා නොව නයගැතියා ය. සිය ආධිපත්‍යධාරී ගෝලීය ස්ථානය නො නවතින යුද්ධය හරහා තහවුරු කිරීමට ඇමරිකානු අධිරාජ්‍යවාදය දරන ප්‍රයත්නය, එක් අර්බුදයකට පසු තවෙකක් නිෂ්පන්න කර ඇති අතර, දැන් තුන්වන ලෝක යුද්ධයක් බවට පුපුරා යමින් තිබේ.

වැඩෙන දරිද්‍රතාව හා අසමානාතවේ වාර්තාගත මට්ටම් විසින් විලක්ෂනය කරනු ලබන, වරෙක “ලෝකයේ පොහොසත් ම රට” යයි කියන ලද දෑ තුල සමාජ තත්ත්වය ව්‍යසනයකි. ජීවන තත්ත්වයන්ගේ අනවරත ඛාදනය, “අසීමිත අවස්ථාවන් සහිත දේශය” වැනි වාක්‍යාංශ ඇමරිකානු භාෂාවෙන් මකා දමා ඇත. ගෙවී ගිය වසර තුනහමාර පුරා, කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් එක්සත් ජනපදයේ පුද්ගලයන් මිලියනයකට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇත්තේ, වෝල් වීදයේ කොටස් වටිනාකම් මත ඇති කරන බලපෑම් නිසා, මූලික මහජන සෞඛ්‍ය පියවරයන් අනුගමනය කිරීම පාලක පන්තිය විසින් ප්‍රතික්ෂේප කල බැවිනි.

දේශපාලන පද්ධතිය ගත් කල, එය පොහොසතුන්ගේ හස්තයේ පවතින උපකරනයක් ලෙස වඩ වඩා අපකීර්තියට පත් වේ. කිසිදු ප්‍රතිසංස්කරන න්‍යාය පත්‍රයක් සමගින් අර්බුදයට ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් පාලක ප්‍රභූව, ෆැසිස්ට්වාදය හා ආඥාදායකත්වය දෙසට ලුහුටා යයි.

ඇමරිකානු සමාජයේ උමතුවෙන් හා අක්‍රීයත්වයෙන් පිටතට මාවතක් සොයා ගැනීමට කම්කරු පන්තිය තල්ලු කෙරේ. 2010 දී අනුමත කරන ලද සිය ක්‍රියා මාර්ගය තුල සමාජවාදී සමානතා පක්ෂය මෙසේ ලීවේ ය: “අවසන් විග්‍රහයේ දී, සංගත-පාලිත ද්වි-පක්ෂ ක්‍රමයට කම්කරු පන්තිය යටත් කිරීමේ වඩාත් ම අර්ථභාරී වෛෂයික හේතු වූයේ, ඇමරිකානු ධනවාදයේ යෝධ ධනය හා බලය යි. ඉහල යන ජීවන තත්ත්වයන්ට මුදල් සම්පාදනය කරනු වස් ජාතික ධනයෙන් ප්‍රමානවත් කොටසක් පැවතුනු, ‘අසීමිත අවස්ථාවන් සහිත දේශය’ එහි පුරවැසියන් විසින් අවබෝධ කරගන්නා එක්සත් ජනපදයේ ආරෝහනය වන ආර්ථික බලය පැවතුනු තාක් කල්, ඇමරිකානු කම්කරුවන්ට සමාජවාදී විප්ලවයේ අවශ්‍යතාව ඒත්තු ගියේ නැත.

“එහෙත්, වෛෂයික කොන්දේසිවල වෙනස, ඇමරිකානු කම්කරුවන් ව ඔවුන්ගේ මනස් වෙනස් කිරීමට හේතු වනු ඇත. ධනවාදයේ යථාර්ථය සමාජයෙහි ආර්ථික සංවිධානය මූලික ව හා විප්ලවවාදී ව වෙනස් කිරීම සඳහා සටන් කිරීමට කම්කරුවන්ට බොහෝ හේතු සපයනු ඇත.”

දැන් මෙය සිදු වෙමින් පවතී. පන්ති අරගලය ම්ලේච්ඡ ලෙස මැඩීම බිඳ වැටෙමින් පවතී. නිලධරය විසින් පාලනය නො කරන කම්කරු පන්තික සංවිධාන වන ක්‍රියාකාරී කමිටුවල වර්ධනය, එක්සත් ජනපදය පුරා ශක්තිය ලබා ගනිමින් සිටී.

එහෙත්, පන්ති අරගලයේ වර්ධනය, හුදු වැඩ වර්ජන ව්‍යාපාරයේ රූපය පමනක් ගන්නේ නැත. අවශ්‍ය වන්නේ සමාජයේ මූලික ප්‍රතිසංවිධානයක් බවට, වැඩෙන මනෝගතියක් පවතී.

යූඒඩබ්ලිව් සභාපති ධූරය සඳහා මෝටර් රථ කම්කරුවෙක් වන විල් ලෙහ්මන්ගේ උද්ඝෝෂනයට ලැබුනු පලල් සහයෝගය තුල මෙය පසුගිය වසරේ දී ප්‍රකාශනයක් සොයා ගත්තේ ය. මැතිවරනයක් පැවැත්වෙන බව පවා බොහෝ කම්කරුවන්ට කීම ප්‍රතික්ෂේප කල වෘත්තීය සමිති යාන්ත්‍රනය විසින්, සාමාන්‍ය කම්කරුවන්ට ඡන්දය දීමේ අවස්ථාව බහුල වසයෙන් වලකද්දී පවා, ඡන්ද 5,000කට ආසන්න ගනනක් දිනා ගැනීමට විවෘත සමාජවාදියෙක් හා කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයේ (ක්‍රිකජාස) ආධාරකරුවක් ලෙස තරඟ කල ලෙහ්මන් සමත් විය.

යලිත් කියන්නේ නම්, එක්සත් ජනපදය තුල සිද්ධිවලට ජාත්‍යන්තර ගම්‍යයන් තිබේ. ප්‍රතිලෝම සම්බන්ධතාවක් ක්‍රියාත්මක වේ. ඇමරිකානු අධිරාජ්‍යවාදයෙහි ගෝලීය අර්බුදයේ සමස්ත බලපෑම පන්ති අරගලයට අභ්‍යන්තර ව අත්‍යසාමාන්‍ය පුපුරනසුලු ස්වභාවයක් ලබා දෙන්නාක් මෙන් ම, එක්සත් ජනපදය තුල පන්ති ගැටුමේ වර්ධනය සතු ව සමස්ත ලෝකය මත ම රැඩිකලීකරනීය බලෑමක් තිබේ.

ඇමරිකානු මෝටර් රථ කම්කරුවන් අතර සාමාන්‍ය කම්කරු ව්‍යාපාරයක ඉස්මතු වීම, ගෝලීය පරිමානයකින් කම්කරු පන්තියේ බලගතු ව්‍යාපාරයක් වර්ධනය වීමෙහි කොටසකි. සෑම මහාද්වීපයක් මත ම, මෑත අවුරුදුවල පැවතී ඇති මහජන විරෝධතාවන්ට පුද්ගලයන් කෝටි ගනන් සහභාගි වී ඇති අතර, ඔවුහු අවසන් අවුරුදු 30 තුල බිලියන ගනන්වලින් වර්ධනය වී ඇති ගෝලීය ව ඒකාග්‍රිත කම්කරු පන්තියේ නියෝජිතයෝ වෙති.

මෙම වෛෂයික තත්ත්වය තුල දී මූලික දේශපාලන කර්තව්‍යය වන්නේ, පන්ති අරගලයේ හා සමාජවාදී ව්‍යාපාරයේ සමස්ත ඓතිහාසික අත්දැකීම මත පදනම් ව, කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීම යි.

Loading