උතුරේ ධීවරයෝ කයිට්ස්හිදී ක්‍රියාකාරී කමිටුවක් සංවිධානය කරති

සැප්තැම්බර් 22, උතුරු ධීවර ක්‍රියාකාරී කමිටුව (උධීක්‍රික) සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහාය ඇති ව කයිට්ස් හි සාර්ථක රැස්වීමක් පැවැත් වී ය. මෙම රැස්වීමට කාන්තාවන් සහ සසප සාමාජිකයින් ඇතුලු ධීවරයෝ 20 ක් පමන සහභාගී වූහ. මෙම රැස්වීම ගොඩනැගීම සඳහා, උධීක්‍රික සහ සසප සාමාජිකයෝ දින කිහිපයක් පුරා කයිට්ස් ප්‍රදේශයේ උද්ඝෝෂනයක යෙදී ගත්හ.

කයිට්ස් ධීවර ක්‍රියාකාරී කමිටුව පිහිටු වීමට එකතු වූ ධීවරයන් පිරිසෙන් කොටසක්

යාපනය නගරයේ සිට කිලෝමීටර් 16 ක් දුරින් පිහිටි දූපතක් වන කයිට්ස්, කිලෝමීටර් 5 ක් දිග පාලමකින් යාපනය ප්‍රධාන භූමියට සම්බන්ධ වේ. බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය පරාජය කරමින් 2009 මැයි මාසයේදී බිහිසුනු ලේ වැගිරීමකින් අවසන් වූ 26 වසරක වාර්ගික යුද්ධයෙන් උතුරු නැගෙනහිර සියලු ප්‍රදේශ මෙන්ම කයිට්ස් ද පීඩාවට පත් විය.

ධීවර ගම්මානයන් වන, පැරුත්තියඩෛයිප්පු, මෙලිඤ්ජිමුනේ සහ තම්පාට්ටි හි පවුල් දහස් ගනනක් ජීවත්වෙති. සිවිල් යුද සමයේ දී, වත්මන් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගේ නායකත්වයෙන් යුත් ඊලම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ඊපීඩීපී) විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව යොදාගෙන සිදුකල මර්දනයට මෙම ජනතාව මුහුන දෙමින් සිටියහ. මේ පක්ෂය එදා ක්‍රියා කලේ පැරාමිලිටරියක් ආකාරයට ය. මේ වන විටත් ශ්‍රී ලංකා නාවික හමුදාව කයිට්ස් ප්‍රදේශයේ ධීවරයින් සහ අනෙකුත් පුද්ගලයින් අධීක්ෂනය කරමින් සිටියි.

සිදු වූ අනෙකුත් විනාශයන් හැරුනු විට, යුධ සමයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පාලනය කරන ලද කයිට්ස් හි බොහෝ මිනිසුන් මිය ගිය අතර ඇතැමුන් අතුරුදහන් විය. ඔවුන් අතර සසප සාමාජික නඩරාජා විමලේශ්වරන් සහ කයිට්ස්හි වේලනෙයි හි ඔහුගේ මිතුරු සිවනාදන් මදිවදනන් ද විය. දෙදෙනාම ධීවරයෝ වූහ. 2006 මාර්තු 22 වැනි දින පුංගුඩුතිව් සිට නිවස බලා එමින් සිටිය දී ඔවුහු අතුරුදන් කරනු ලැබූහ.

ධීවර රැස්වීමේ මුලසුන හෙබවූයේ උධීක්‍රිකහි සභාපති රාජේන්ද්‍රන් සුදර්ශන් විසිනි. ක්‍රියාකාරී කමිටු පිහිටු වීමේ වැදගත්කම පැහැදිලි කරමින් ඔහු මෙසේ පැවසී ය: “රටේ අනෙකුත් වැඩ කරන ජනතාව මෙන් ධීවරයින් වන අපිත් ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් වෙලයි ඉන්නේ. සියලු ම පීඩිත ජනතාව හාමතයට මුහුන දී සිටිනවා. ඉන්ධන අර්බුදය නිසා ධීවරයින්ට මසුන් ඇල්ලීම කල නොහැකියි. උතුරේ ධීවරයෝ ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම නතර කරලයි තියෙන්නෙ.”

ආන්ඩුව අපට දෙන භූමිතෙල් ඇතුලු ඉන්ධන ප්‍රමානවත් නොවන බැවින් ධීවර කටයුතු කලමනාකරනය කරන්නේ කෙසේ දැයි? ඔහු ප්‍රශ්න කලේ ය. කථිකයා තව දුරටත් මෙසේ පැවසී ය: “මෙම ගැටලුව නිර්මානය කර ඇත්තේ ධනේශ්වර ක්‍රමය විසින් ලාභ අභිප්‍රාය මත යි. ධනේශ්වර ක්‍රමය අහෝසි කර කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට අප සටන් කල යුතුයි. මෙම සටන ගෙන යාමට රට පුරා ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අත්‍යවශ්‍ය වේ. අපි ධීවරයින්ගෙන් ඉල්ලා සිටින්නේ කයිට්ස් හි ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා මෙම සටනට එක්වන ලෙසයි. සසප, මෙම අරගලය තුල කම්කරුවන්ට සහ දුගීන්ට මග පෙන්වනවා.”

උධීක්‍රිකහි ලේකම් රාජරත්නම් තිරුඥානවේල්: “ධීවර දරුවන් මන්දපෝෂන තත්ත්වයට ද මුහුන දී සිටිනවා. අපට ඔවුන්ට පෝෂ්‍යදායී ආහාර ලබාදීමේ හැකියාවක් නෑ. අධික මිල නිසා අපට බිස්කට්, පලතුරු හෝ කිරිපිටි මිලදී ගන්න බෑ.”

ඔහු මෙසේ ද පැවසීය: “වාර්ගික යුද්ධය අවසන් වී වසර 13 ක් ගත වී ඇතත්, නාවික හමුදාවේ උතුරේ ධීවරයින්ට එරෙහි මර්දනකාරී ක්‍රියා අඛන්ඩ ව සිදුවෙමින් පවතිනවා. මේ ප්‍රහාර ගැන සියලුම දෙමල පක්ෂ සහ ධීවර සමිති නිහඬයි. අපි රටේ කම්කරුවන් සහ සියලු ම ධීවරයන් සමඟ අපි එක්විය යුතුයි.”

මෙම කතාවලින් අනතුරු ව උධීක්‍රික විසින් රැස්වීමට ඉදිරිපත් කරන ලද, “ජීවනෝපායන් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා ධීවර ක්‍රියාකාරී කමිටු ගොඩනඟමු” යන මැයෙන් වූ ප්‍රකාශය පිලිබඳ ව දීර්ඝ සාකච්ඡාවක් පැවැත්විනි. මෙම ප්‍රකාශය, වික්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග ක්‍රියාවට නැංවීමත් සමග කම්කරුවන් හා පීඩිත ජනතාව මුහුන දෙන ගැටලු ගෙන හැර දැක්වී ය. එය ම්ලේච්ඡ කප්පාදුවේ නව වටයක් පනවා ඇති අතර මහජන අරගල තලා දැමීම සඳහා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) වැනි මර්දන නීති භාවිතා කරයි.

එම ප්‍රකාශයට එකඟ වූ තරුන ධීවරයෙකු වන ඒ. ශාන්තරාජ්, “එය අපේ ගැටලු නිවැරදි ව පැහැදිලි කරල තියෙනව. එහි බොරු පොරොන්දු අඩංගු වෙලා නෑ” යැයි පැවසී ය.

ඒ. රාජන් රැස්වීමේදී අදහස් දක්වමින් කියා සිටියේ ආන්ඩුව විසින් තහනම් කර ඇත්තේ කුමන ආකාරයේ මසුන් ඇල්ලීමේ ක්‍රමවේදයක්දැයි ධීවරයින් නොදන්නා බවයි. “අපේ ධීවරයන් වෙලෙඳසල්වල තිබෙන ද්‍රව්‍ය මිලදී ගෙන මාලු දැල් සකස් කරනවා. නමුත් ඇතැම් විට ධීවර කටයුතුවල නිරත වන විට තහනම් දැල් භාවිත කරන බව පවසමින් නාවික හමුදාව ධීවරයින් අත්අඩංගුවට ගෙන පහර දී නඩු පවරනවා. රුපියල් 340 ට අලෙවි වන මිල අධික භූමිතෙල්වලින් අපට කලමනාකරනය කරගන්න බැහැ. අපිට මේ විදියට ධීවර රැකියාව කරගෙන යන්න බැහැ.”

තවත් ධීවරයෙකු පැවසුවේ, “මෙම ප්‍රකාශය, ඉන්දීය ධීවරයින් පිලිබඳ අපගේ අදහස වෙනස් කලා. ඔබ පැහැදිලි කරන්නේ, ඉන්දීය ධීවරයින් අපේ සහෝදරයෝ; ලාභය අරමුනු කරගත් සමාගම් විසින් මසුන් ඇල්ලීමේ ක්‍රමය අප දෙගොල්ලන්ටම බලපා තියෙනවා. නමුත් නාවික හමුදාව තමිල්නාඩුවෙන් එන අහිංසක දුප්පත් ධීවර කම්කරුවන් අත්අඩංගුවට ගන්නවා.”

සසප දේශපාලන කමිටු සාමාජික පී. තිරුඥානසම්බන්දර් රැස්වීමේ දී කතා කරමින් මෙසේ පැවසී ය: “ශ්‍රී ලංකාවේ ආර්ථික කැලඹීම ගෝලීය ආර්ථික අර්බුදයේ කොටසක්. කොවිඩ්-19 වසංගතය සහ යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය මගින් මෙම අර්බුදය තීව්‍ර කර තිබෙනවා. ආර්ථික අර්බුදයේ බර වැඩකරන ජනතාව මත පැටවීමට එරෙහි ව අපි සටන් කල යුතුයි. ඒ සඳහා අපි කම්කරු පන්තිය සූදානම් කර දැනුවත් කල යුතුයි. ලෝක යුද්ධයක තර්ජනය එන්න එන්නම වැඩි වෙමින් පවතිනවා. වෘත්තීය සමිති හා ධනේශ්වර පක්ෂවලින් ස්වාධීනව වැඩබිම්වල සහ ගම්වල ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස අපි කම්කරු පන්තියෙන් ඉල්ලා සිටිනවා. ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත අපට කම්කරුවන්ගේ හා දුප්පතුන්ගේ ප්‍රශ්න විසඳිය හැකියි.”

අවසානයේ ධීවරයෝ කයිට්ස් ධීවර ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ගත්හ. ඔවුහු ක්‍රියාකාරී කමිටුවේ නිලධාරී මන්ඩලය තෝරා ගත්හ. ක්‍රියාකාරී කමිටුවේ ප්‍රධානියා ලෙස නාගරාජා කෝඩීස්වරන් සහ කලමනාකරන කමිටුව ලෙස එක් කාන්තාවක් ඇතුලු ධීවරයින් 6 දෙනෙක් තේරී පත් වූහ. මෙම කමිටුව, රටේ අනෙකුත් කම්කරුවන් හා ධීවරයන් සමග එක්සත් කිරීම සඳහා කටයුතු කිරීමට තීරනය කල අතර සසපයේ ජාත්‍යන්තර සහයෝගය ඔවුහු අගය කලහ.

උද්ඝෝෂනයේදී පැරුත්තියඩයිප්පුහි උදයසේකරන් විජයකුමාරි (60) කියා සිටියේ, ඇයට දරුවන් දෙදෙනෙකු සිටින බව සහ එක් පුතෙක් මන්නාරම දිස්ත්‍රික්කයේ මූනම්පිට්ටි ප්‍රදේශයේ ධීවර කර්මාන්තයේ නිරතවන බවයි. ඇය සහ සැමියාත් ජීවත් වන්නේ ඔහු එවන සුලු මුදලිනි.

ඇය මෙසේ පැවසුවා ය, “මගේ සැමියා වසර 6 ක් තිස්සේ රෝගියෙක්, රැකියාවක් කරන්නේ නැහැ. මීට පෙර ඔහු මසුන් ඇල්ලීමේ නිරත වුනා. මගේ පුතා ඔහුගේ ම ධීවර රැකියාවක් කර ගෙන යන නමුත් උපකරන දිරාපත් වෙලා. අලුත් උපකරන සකස් කල යුතුයි. ඒකට සල්ලි නෑ. ඒ හින්දා වෙන කෙනෙක් එක්ක හවුලේ මාලු අල්ලන්න යනවා. එයාටත් ලමයි ඉන්නවා. පුතා හම්බ කරන සොච්චම් ආදායමෙන් තමයි කන්න දෙන්නෙ.”

ඇය එදින සහල් කිලෝවක් මිලදී ගෙන ඇති අතර, එය දින දෙකක් භාවිතා කිරීමට සැලසුම් කර ඇත. ප්‍රමානවත් ආහාර නොමැතිකම නිසා ඔවුන් දුක් විඳිති. විජයකුමාරි තවදුරටත් මෙසේ පැවසුවා ය: “අපි ධීවර පවුල් වුනාට අපිට මාලු වෑංජනයක් නැහැ. මහලු වියේ දී අපි රෝගවලින් පීඩා විඳිනවා. අපි වගේ අයට උදව් කරන්න කවුරුත් නෑ. දෙමල පක්ෂවත් ආන්ඩුවවත් අපිට කිසි ම ආකාරයකින් උදව් කරන්න ඉදිරිපත් වන්නේ නැහැ.”

කෝනේස්වරී: “මගේ සැමියත් ධීවරයෙක්, දවසකට මසුන් අල්ලන්න භූමිතෙල් ලීටර් 50ක් ඕන. ඔවුන් දෙන්නෙ ලීටර් 7ක් 8ක් විතර. එය ප්‍රමානවත් නැහැ. අනෙක් ලීටර් ගනන අපට මිල දී ගත හැක්කේ කොතැනින් ද? භූමිතෙල් මිල වැඩිවෙලා නිසා අපිට දරාගන්න බැහැ. ලීටර් 50 ක් ගන්න රුපියල් 17000 ක් වියදම් කරන්න වෙනවා.”

“ප්‍රමානවත් ආදායමක් ලබාගන්න බැරි නිසා මගේ සැමියා මාලු ඇල්ලීම නතර කලා. දැනට ඔහු කරන්නේ කුලී වැඩ. ප‍්‍රමානවත් ආදායමක් නොමැති ව අපේ පවුලේ පස් දෙනෙක් දුක් විඳිනවා. අපි අපේ දරුවන්ට කිරිපිටි දෙන එක නැවැත්තුවා. අපි ජීවත් වෙන්නෙ, ඉදිරි දිනවල දී ආහාර නොමැති ව කුමක් සිදුවේ ද යන බියෙන්.”

එස්. පරලෝගනාදන් ඔහුගේ රෝගී තත්ත්වයත් සමඟ ධීවර කටයුතු කර ගෙන යයි. ඔහු ද භූමිතෙල් ප්‍රශ්නය නිසා මසුන් ඇල්ලීම නතර කර ඇත. ඔහු ආර්ථික අර්බුදය ගැන කතා කලේ ය: “දැන් අපි, යුද සමයේදීටත් වඩා ආර්ථික අර්බුදයෙන් පීඩා විඳිනවා. එල්ටීටීඊ සංවිධානය විසින් පාලනය කරන ලද සිවිල් යුද සමයේදී, උතුරු නැගෙනහිර ශ්‍රී ලංකා ආන්ඩුව විසින් පනවන ලද ආර්ථික සම්බාධක තිබුනා. දැන්, මුලු රට ම අර්බුදයට මුහුන දී සිටින නිසා අපට රටේ වෙනත් ප්‍රදේශවලින් උපකාර ලබා ගන්න බෑ.”

ක්‍රියාකාරී කමිටු පිහිටුවීමේ ඉල්ලීමට එකඟ වූ ඔහු, “අපේ අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට අපට සංවිධානයක් අවශ්‍යයි. මේ තත්ත්වය තවදුරටත් පවතින්න දෙන්න බැහැ. දෙමල ධනපති පක්ෂවලින් වැඩක් නැහැ. ඔවුන් වැඩ කරන්නෙ තම තමන්ගේ වරප්‍රසාද සඳහා” යයි පැවසී ය.

Loading