මොරටුව විශ්වවිද්‍යාලයේ වෘත්තීය සමිති නායකයා, සමිති සාමාජික දේහින් වසන්ත වට්ස්ඇප් සාමුහිකයෙන් ඉවත්කිරීමට විරුද්ධ වෙනු!

මොරටුව විශ්වවිද්‍යාලයේ කාර්මික නිලධාරී සංගමයේ ලේකම් මෙල්රෝ මෙන්ඩිස්, එහි සාමාජික දේහින් වසන්ත එම සංගමය විසින් පවත්වාගෙන යන වට්ස්ඇප් සාමූහිකයෙන් ඉවත්කොට ඇත. මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට විරුද්ධ වන ලෙස, දේහින් වසන්ත කාර්මික නිලධාරී සංගමයේ සාමාජික සහෝදරවරුන්ගෙන් ඉල්ලාසිටී.

පසුගිය සෙනසුරාදා සවස මෙන්ඩිස් මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව සිදු කර ඇත්තේ, “විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ, දිසානායක ආන්ඩුවේ අයවැයෙන් තම වැටුපට එල්ලකල ප්‍රහාරයට විරෝධය දක්වති” මැයෙන් වසන්ත නමින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපිය මෙම සාමුහිකය තුල පලවී පැය කිහිපයක් ගතවීමෙන් පසුවය. වසන්ත වට්ස්ඇප් සාමූහිකයෙන් ඉවත් කලා පමනක් නොව, ඉහත සඳහන් ලිපිය ද ඉවත් කර ඇත. වසන්තට එරහි ක්‍රියාව අසන්න වශයෙන් වට්ස්ඇප් ලිපියේ සඳහන් කෙරුනු කරුනුවලට සමිති නායකයාගේ විරුද්ධත්වය නිසා සිදුකෙරුනකි.

මෙන්ඩිස්, වසන්තගේ නම සහ ඉහත දැක්වූ ලිපිය ඉවත් කලේ ඇයිද යන්න ගැන සමිති සාමාජිකත්වයට පැහැදිලි කල යුතුය. මෙම සමිති නායකත්වයට විශ්ව විද්‍යාලයේ අනෙකුත් සමිති නායකයන්ට මෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා සහ සේවක අයිතීන් සඳහා අරගල පවාදීමේ කූප්‍රකට වාර්තාවක් තිබේ.

ඔවූහු ජාතික ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)/ ජන බලවේගය (ජාජබ) ආන්ඩුව බලයට ගෙන ඒමට සහාය දුන්හ. මේ සියල්ල කිරීමෙන් පසු, මෙන්ඩිස් සහ අනෙකුත් වෘත්තීය සමිති නායකයෝ හදිසියේ පිකට් කිරීමක් කැඳවා රජය දීමනා කප්පාදු කිරීම සහ වැටුප් විෂමතා නොවිසඳීම ගැන පසුතැවිලි වන බවට කතා පැවැත්වූහ.

විශ්වවිද්‍යාල සේවකයින්ගේ වැටුප් හා අයිතිවාසිකම්වලට එල්ල කරන ප්‍රහාරවලට එරෙහිව 2025 මාර්තු 4දා මොරටුව විශ්වවිද්‍යාලය ඉදිරිපිට පිකට් කරන අනධ්‍යයන සේවකයින්

මොනතරම් වංචාවක්ද! ඔවුන්ට අවශ්‍ය වන්නේ දීමනා කප්පාදුවලට සහ වෙනත් ප්‍රහාරවලට එරෙහිව විශ්ව විද්‍යාල සේවකයින්ගේ කෝපය විසුරුවා හරිමින් ආන්ඩුව ආරක්ෂා කිරීමටයි.

ජවිපෙ/ ජාජබ ආන්ඩුවේ ප්‍රහාර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝගවලට අනුකූල වේ. මීට පෙර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම කප්පාදු පිලිවෙත රුදුරු ලෙස ක්‍රියාත්මක කල අතර, දැන් දිසානායක ද එම වැඩපිලිවෙල ක්‍රියාවට දැමීම උත්සන්න කරමින් සිටී.

මෙන්ඩිස් සහ අනෙකුත් වෘත්තීය සමිති නායකයෝ ජාමූඅලේ වැඩපිලිවෙලට සම්පූර්නයෙන්ම සහාය දක්වති. එය විවේචනය කල ලිපිය ද එය ලියූ වසන්ත ද වට්ස්ඇප් සාමුහිකයෙන් ඉවත් කලේය. වසන්ත එම ලිපියෙන් කරතිබුනේ, විශ්ව විද්‍යාලයේ තම සහෝදර සේවකයන්ට සටන් කිරීමේ මාවතක් පැහැදිලි කර දීමයි.

මෙම ලිපිය, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආන්ඩුව, පෙබරවාරි 17දා ඉදිරිපත්කල තම ප්‍රථම අයවැයෙන් ලබා දී ඇති නාමික වැටුප් වැඩිවීම, අහස උසට නැග ඇති ජීවන වියදම පූරනය කිරීමට කිසිසේත් ප්‍රමානවත් නොවීම සහ මෙතෙක් ලැබූ දීමනා කප්පාදු කිරීම කෙරෙහි විරෝධය පාමින්, මාර්තු 04දා, ලංකාවේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල අනධ්‍යන කම්කරුවෝ තම කෑම පැය තුල උද්ඝෝෂනයක නිරතවීම දේශපාලනිකව වගවිභාග කලේය.

එහිදී, දෙහින් වසන්ත, අනධ්‍යන කම්කරුවන්ගේ ආරක්ෂක සංවිධානය ලෙස වෙස්වලාගත් “විශ්වවිද්‍යාල අනධ්‍යන වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව” පසුගිය ඉතිහාසය පුරා කල වැඩකටයුතු සමාලෝචනය කලේය. අයවැය මගින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග, අනධ්‍යයන කම්කරුවන් ඇතුලු රාජ්‍ය සේවයේ සියල්ලන්ට එල්ල කිරීමට නියමිත ප්‍රහාරවල කොටසක් බව පෙන්වා දුන් එම ලිපිය, සමිති නායකයන් තැත්කරන්නේ සේවක විරෝධය හුදු විරෝධතා දැක්වීමකට සිමාකොට ඔවුන් අධෛර්යට පත්කිරීම බව සඳහන් කලේය.

තමන් ඊට විරුද්ධබනම් සමිති නායකයා කලයුතුව තිබුනේ, තම අදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමයි. එයට දේශපාලන හයියක් නැති සමිති නායකයා කලේ වසන්ත වට්ස්ඇප් සාමුහිකයෙන් කපා හැරීම යි.

මීට ඉහතදී, පොදුජන ප්‍රගතිශීලි වෘත්තිය සමිතියේ නායකයන් 2023 නොවැම්බර් 30දා සිදුකල මැර ක්‍රියාවක් ගැන සඳහන් කල යුතුය.ඒ, එදින, ප්‍රසිද්ධ රැස්වීමක් සඳහා වසන්ත ඇතුලු සසප සමාජිකයන් පිරිසක් මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් අතර ප්‍රචාරක උද්ඝෝෂනයක යෙදී සිටින අතරතුර ය. පොදුජන ප්‍රගතිශීලි වෘත්තිය සමිතියේ සභාපති සහ ලේකම් ඉන්දික පෙරේරා සහ සුරංග පියවර්දන විසින් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පහල ගේට්ටුව අසලදී සසප උද්ඝෝෂකයන්ට මාරක ප්‍රහාරයක් එල්ල කරමින් මාරක එල්ල කල අතර වසන්තට බරපතල තුවාල සිදුකලහ. දාමරික වෘත්තීය සමිති නිලධාරීන් දෙදෙනාට එරෙහි නඩුව තවමත් උසාවියේ පවතී.

මෙල්රෝ මෙන්ඩිස් නායකත්වය දැරූ කාර්මික නිලධාරී සංගමයේ නායකයින් මෙම මැරයන් සමග එකට කටයුතු කලා මිස ප්‍රහාරයට ලක්වූ තම සාමාජිකයා ආරක්ෂා කිරීමට වචනයක් හෝ කතා කලේ නැත.

ප්‍රජාතන්ත්‍ර විරෝධී නිලධාරිවාදී භාවිතය පෙන්නුම් කරමින් මෙන්ඩිස් සහ අනෙකුත් නායකයෝ වාර්ෂික මහා සභා රැස්වීම හැර සාමාජික රැස්වීම් පවා පවත්වා නැත. තමන්ට අවැසි තීරන ගන්නා ඔවූහු ඒවා ක්‍රියාත්මක කරන ලෙස සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටිති.

දෙහින් වසන්ත පසුගිය කාලය පුරාම, මොරටුව විශ්වවිද්‍යාලයේ අනධ්‍යන වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව පාලකයන් සමග කරන සාකච්චා පිලිබඳව සමාජික රැස්වීම් පවත්වා, තත්වය පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටියේය.

මෙල්රෝ මෙන්ඩිස්ගේ සහ පාලක ජවිපෙ සාමාජිකයෙකු වන පියාජි ලක්මාල් සමග එක්වී එවැනි අවස්ථාවන් වැලක්වුවේ, “ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයේ කැමැත්ත මිස තමන්ගේ පුද්ගලික හිතලු නොවන බව පන්ඩිත මොලයට වැටහේවා” යනුවෙන් හරුපයක් දෙසාබමිනි.

ඔවුන් කොමිටියේ ගන්නා තීන්දු බහුතරයේ තීන්දු වෙන්නේ කෙසේද? සාමාජිකයන්ට සාකච්ඡාවක යෙදීමට ඇති අවසරය පාගා දමන මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරට ඔවුහු විරුද්ධ විය යුතුය.

මෙන්ඩිස් ඇතැම් විට සමිතියට “දේශපාලනය එපා” යන සූත්‍රයක්ද ජප කරයි. ඔහු අනෙක් අයගේ දේශපාලන අදහස් වැලැක්වීමේද, තමන් ආන්ඩුවට දරදිය අදින දේශපාලනය කරගෙන යාමේද නිරතව සිටී. මෙම සමිති නායකයෝ, ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට ගෙනඒමට ක්‍රියා කලහ. ආන්ඩුව කම්කරුවන්ට හා දුගීන්ට එරෙහිව ගන්නා සෑම පියවරකටම ඔවුන් සපුරා වගකිව යුතුය.

ඉහත ලිපියේම පෙන්වාදුන් පරිදි විශ්වවිද්‍යාල ඒකාබද්ධ කමිටුවේ සම සභාපතිත්වය දරන ධම්මික එස් ප්‍රියන්ත, තමන් ඇතුලු නායකත්වය ද මෙම ආන්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කලහ.

කාර්මික නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයන්, මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන්ට සහ සේවක අයිතීන් සඳහා අරගලය යටපත් කිරීමට තවදුරටත් ඉඩ නොදිය යුතුය.

ඔවුන්ගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා ක්‍රියාමාර්ගයක් සාකච්ඡා කිරීමට සාමාජිකයින්ගේ රැස්වීමක් ඔවූහු ඉල්ලා සිටිය යුතුය. වසන්ත වට්ස්ඇප් කන්ඩායමෙන් ඉවත් කිරීමේ ක්‍රියාවට ඔවුහු විරුද්ධ විය යුතුය. විශ්වවිද්‍යාල අනධ්‍යන කම්කරුවන්ගේ අයිතිවාසිකම් සඳහා වන සටන ඉදිරියට ගෙන යාම සඳහා, ක්‍රියාකාරී කමිටුවක් ගොඩනඟන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. මන්ද මෙම අරගලය මෙම නිලධාරීන්ගේ අතේ තැබුවහොත් ඔවුහු ඒවා පාවාදෙන බැවිනි. සමිති නිලධරය වෘත්තීය සමිති ඔවුන්ගේ දේපලක් ලෙස භාවිතා කරමින්, රජයේ සහ විශ්ව විද්‍යාල පරිපාලනයේ තීරන සේවකයින්ගේ අයිතිවාසිකම්වලට පහර දීමට යොදා ගනිති.

ඊට එරෙහිව විශ්ව විද්‍යාල සේවකයන් තමන් ඉදිරිපත්ව ප්‍රජාතන්ත්‍රවාදීව පිහිටුවා ගන්නා ක්‍රියාකාරී කමිටු සංවිධානය කරගැනීම, ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට ද එම අරගලයේදී අනෙකුත් කම්කරුවන් සමග ඒකාබද්ධ වීමට ද ගතයුතු මූලික හා ප්‍රථම පියවරයි. එම කමිටු තුල මෙම අයිතීන් දිනාගැනීමේ වැඩපිලිවෙල ද අරගලය දියත් කලයුතු සැටි හා ක්‍රියාමාර්ගය ද සාකච්චා කල හැකිය.

දෙහින් වසන්ත සහ ඔහු සම්බන්ධ සමාජවාදී සමානතා පක්ෂය කියා සිටින්නේ, ධනපති ක්‍රමය තුල කම්කරුවන්ට හා දුගීන්ට තම අයිතීන් ආරකෂා කරගත නොහැකි බවයි. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ, සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකි.