පොලිස්භාරයේදී තරුනයෙකු මරනයට පත්වීම: රට තුල වැඩෙන පොලිස් රාජ්‍යය ගැන ඇඟවුමක්

විසිපස් හැවිරිදි තරුනයෙකු වන සත්සර නිමේෂ්, වැලිකඩ පොලීසිය භාරයේ සිටිය දී මරනයට පත්වීම පෙන්නුම් කරන්නේ, ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනබලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව යටතේ මහජනයාට එරෙහි ව තව දුරටත් වර්ධනය කෙරමින් පවතින පොලිස් රාජ්‍යයේ ස්වභාවය යි.

කොලඹ ලංකා හොස්පිටල් පෞද්ගලික රෝහලේ සාත්තු සේවක පාඨමාලාවක් හදාරමින් සිටි නිමේෂ්, බදුල්ල මීගහකිවුල පදිංචිකරුවෙකි. අප්‍රේල් 1දා රාත්‍රියේ නාවල ප්‍රදේශයේ නිවසකට ඇතුලුවීමට උත්සහා දැරුවේය යන චෝදනාව මත වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පැය කීපයකින් ඔහු මරනයට පත්වීම, සැලකිය යුතු මහජන කෝපයක් හා වෛරයක් අවුලුවා ඇත. අප්‍රේල් 6දා වැලිකඩ පොලිස් ස්ථානය ඉදිරිපිට රැස්වූ සියයකට වැඩි පිරිසක් විරෝධතා පුවරුද රැගෙන විරෝධය දැක්වූහ. “මීලග පොලිස් බිල්ල, මම, ඔබ, ඔබේ පුතා, දුව, සහෝදරයා, සහෝදරිය, බිරිඳ, සැමියා, පෙම්වතා, පෙම්වතිය විය හැක” යැයි එක් විරෝධතා පුවරුවක සටහන් කර තිබිනි.

(පින්තූරය ෆේස්බුක්) අප්‍රේල් 6දා වැලිකඩ පොලිස් ස්ථානය ඉදිරිපිට පැවැති විරෝධතාවේ අවස්ථාවක්

නැගෙන මහජන කෝපය තුනී කිරීමේ අරමුනින්, “අපක්ෂපාති පරීක්ෂනයක්” සිදු කිරීමට යැයි කියමින් වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති මාරු කර යවා ඇති බවත්, “තම රාජකාරිය පැහැර හරින ලද බවට නිරීක්ෂනය වූ” පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩතහනම් කර අති බවත් වාර්තා වේ.

මෙවන් ඇස්බැන්දුම්වලින් සෑහීමට පත්නොවූ නිමේෂ්ගේ මව ඇතුලු ඥාතීන්ගේ දැඩි ඉල්ලීම් මත, කොලඹ අතිරේක මහේස්ත්‍රාත් කෙමින්ත පෙරේරා, සිදුවීම විමර්ශනය කිරීම අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට (සීඅයිඩී) භාර කලේ ය. අප්‍රේල් 10 දි අයිලන්ඩ් පුවත්පතට අනුව, නිමේෂ්ගේ මලසිරුර ගොඩ ගෙන වෛද්‍ය විශේෂඥයින් තිදෙනෙකුගේ කමිටුවක් මගින් නව පශ්චාත් මරන පරීක්ෂනයක් සිදු කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

නිරන්තර ව සිදු වූ මෙවන් සාපරාධී ක්‍රියා හේතුවෙන් පැවති පාලන තන්ත්‍ර කෙරෙහි වැඩුනු මහජන වෛරය ද ගසාකමින් බලයට පැමිනි ජනාධිපති දිසානායකගේ ආන්ඩුව යටතේ ද අනීතික පොලිස් ඝාතන අඛන්ඩ ව සිදු වෙමින් පවතින බවට මෑත ම උදාහරනය මෙයයි.

මේ ආකාරයෙන්ම, පෙබරවාරි 11දා, වාද්දුව පොලිසියේ අමානුෂික පහරදීමකින් තරුනයෙක් මිය ගියේ ය.

පෙබරවාරි 22දා කොටහේන ප්‍රදේශයේ සාප්පුවක සිටි අයෙකු ඝාතනය කල බවට සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගත් දෙදෙනෙක් පොලිස් වෙඩි තැබීමකින් ඝාතනයට ලක්වූහ. සුපුරුදු පොලිස් තැටිය, එනම් “සඟවා තිබූ ආයුධ/උන්ඩ තොගයක් සොයා ගැනීමට සැකකරුවන් ගෙන යාමේදී පලා යාමට තැත් කිරීම හේතුවෙන් වෙඩි තැබීමට සිදු වූ බව” ප්‍රතිවාදනය කෙරුනි.

එදින පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු මේ ගැන විමසූ විට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, එවන් අනීතික ඝාතනවලට බලපත්‍ර ලැබෙන සේ “ත්‍රස්තවාදය වැලක්වීමේ පනත, පවතින නීතිය යටතේ පොලිසිය කටයුතු කිරීම ගැටලුවක් නැති” බව කීවේ ය.

වැලිකඩ පොලීසිය භාරයේ සිටි තරුනයා මිය යාම මගින් ඇවිල වූ මහජන කෝපය තුනී කිරීමේ සහ මරනයේ වගකීමෙන් පොලිසියේ අත සෝදා ගැනීමේ ප්‍රයත්නයක් ලෙස, අප්‍රේල් 3දා පොලිසිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කලේ ය. ප්‍රකාශයට අනුව තරුනයා කිසියම් “මානසික ආබාධයකින් පෙලුන” අයෙක් බවත් ඒ නිසාම පොලිසියට පවා “පාලනය කරගත නොහැකි” ආකාරයෙන්, “කලහාකාරී ලෙස හැසිරෙමින් සිර මැදිරියට ආශ්‍රිතව බිත්තියේ ඔහුගේ ශරීරයේ කොටස් වද්දා ගෙන” තිබේ. එබැවින් ඔහු මුල්ලේරියාව මානසික රෝහලට ගෙන ගිය බවත්, ප්‍රතිකාර ලබමින් සිටිය දී “පසුදින අලුයම් කාලයේදී මිය ගොස් ඇති” බවත් පොලිස් ප්‍රකාශයේ සඳහන් විය.

පොලිස් ප්‍රකාශය ප්‍රශ්න ගනනාවක් ම මතුකරයි. පොලිසිය සඳහන් කරන ආකාරයට අත්අඩංගුවට ගැනුනු තරුනයා “මානසික ආබාධයකින් පෙලුනේ” නම් ඔහු වහාම පිලිගත් වෛද්‍යවරයෙකුට පෙන්වීමට පොලිසිය කටයුතු නොකලේ මන්ද? හෝ එසේ කිරීම ප්‍රමාද කලේ ඇයි? තවද, තම අත්අඩංගුවේ සිටින සිරකරුවා (ඔහුට එවන් මානසික ආබාධයක් තිබුනේද නැත්ද යන්න නොතකා) ස්වයං-හානි සිදුකර ගැනීම වැලක්වීමට පොලිසිය අසමත් වූයේ ඇයි?

නිමේෂ්ගේ මව වන ලේකම්වසම් ලියනගේ සමන්ති, ඔහුගේ සහෝදරිය සහ මිතුරෙකු වන තේනුක ගමගේ ද නිමේෂ් මානසික රෝගයක් සඳහා ප්‍රතිකාර ලබාගත් බව හෝ මානසික රෝගයකින් පෙලුනු බව මුලුමනින්ම ප්‍රතික්ෂේප කර ඇත. අනෙක් අතට, ඔහු එවන් මානසික රෝගී තත්වයකින් පෙලුනේ නම්, මානසික ඒකාග්‍රතාව තීරනාත්මකව අවශ්‍ය කෙරෙන සාත්තු සේවක වෘත්තීය පුහුනුවක් නිමේෂ්ට පෞද්ගලික රෝහල මගින් ලබා දෙනු ඇතැයි සිතිය නොහැක.

තරුනයා රෝහලට ඇතුලත් කරන විටත් මරනයට පත්ව සිටි බව ඔහු රෝහලට භාරගත් රෝහල් වෛද්‍යවරයා තමන් සමග පැවසූ බව, නිමේෂ්ගේ මවගේ වැඩිමහල් සහෝදරිය බීබීසී සිංහල සේවයට පැවසූවා ය. නිමේෂ්ගේ මව මාධ්‍යයට කීවේ, මිය ගිය පුතුගේ සිරුරේ පහරදීම් ලකුනු තිබු බවත්, ඔහු ඇඳසිටි ඇඳුම් හමුවී තිබුනේ, පොලිසියේ කුනු බක්කියක තිබී බවත් ය. තරුනයා මරනයට පත්වූයේ පොලිස් පහරදීම්වලින් නොවේනම් ඔහුගේ ඇඳුම් එසේ සඟවා තැබුවේ මන්ද? යන ප්‍රශ්නය ද අනිවාර්යයෙන් මතුවෙයි.

අත්අඩංගුවට ගන්නා සැකකරුවන් සම්බන්ධයෙන් පොලිසියේ නරුමත්වය පෙන්නුම් කරමින්, පසුදා උදෑසන 7.45ට පමන වැලිකඩ පොලිසියට නිමේෂ්ගේ මව පැමිනි නමුත් සවස 1 වන තෙක් ඇගේ පුතු මරනයට පත්වූ බවක් දන්වා නැත.

සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ විධායක අධ්‍යක්ෂ නිතිඥ සේනක පෙරේරා, අප්‍රේල් 3දා පොලිස්පතිට යැවූ ලිපියකින්, අත්අඩංගුවේ දී නිමේෂ්ට වදහිංසා කර ඇති බව චෝදනා නැගුවේය. මරන පරීක්ෂනයේ දී මරනයට හේතුව නිශ්චිත ව සඳහන් කර නැතත් ඔහුගේ සිරුරේ හිසේ සහ කලවා ප්‍රදේශයේ තැලීම් ඇති බවට හෙලි වී ඇති බවත්, වැඩිදුර පරීක්ෂන සඳහා සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇති බවත් නීතිඥයා බීබීසියට කීවේ ය.“පොලිසිය විසින් නීතියට පටහැනි ව සිදුකරන මෙවැනි ක්‍රියා නැවත්වීමට වහාම පියවර” නොගතහොත් “නීතියේ පාලනය බිඳ වැටී පුද්ගල අයිතිවාසිකම් බිඳවැටීම නොවැලැක්විය හැකිවේ” යැයි ලිපිය සඳහන් කලේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය අප්‍රේල් 5දා නිකුත් කල ප්‍රකාශයෙන්, ඒ පිලිබඳ “හදිසි හා අපක්ෂපාති පරීක්ෂනයක්” සිදුකිරීම සහතික කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියේ ය. පොලිස්භාරයේ සිටිය දී සිදුවන මරන එක දිගට සිදුවන බව පවසන ප්‍රකාශය, ඒවාට සම්බන්ධ වැරැදිකරුවන්ට එරෙහි නීති ක්‍රියාත්මක කිරීමේ “මන්දගාමීත්වය” ගැන කනස්සල්ල පල කලේ ය.

මෙවන් සිදුවීම් මගින් “විධානයේ පාලන ක්‍රමය කෙරෙහි විස්වාසය හා පැහැදීම ඛාදනය” වනු ඇතැයි ප්‍රකාශය කියා සිටී. නීතිඥ සංගමය උත්සුක වනුයේ, මහජනයාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පිලිබඳව නොව, ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරනය ඇතුලු සියලු ධනේශ්වර සංස්ථාවන්වල ආන්තික කුනුවීම මෙවන් සිදුවීම් මගින් ඉස්මත්තට ඒම ගැන යි.

තරුනයාගේ මරනය, ජවිපෙ/ජාජබ ආන්ඩුව, එය විසින් ක්‍රියාවට නංවමින් සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) ප්‍රහාරයන්ට එරෙහි ව වැඩෙන කම්කරු පන්තියේ විරුද්ධත්වය මැඩීම සඳහා උත්සන්න කරමින් තිබෙන මර්දනකාරී පිලිවෙත්වලින් වියෝ කොට, හුදෙකේ “නරක” පොලිස්කාරයින් කිහිප දෙනෙකුගේ දුෂ්ට ක්‍රියාවක් ලෙස පෙන්වීමට දැරෙන තැත, රට තුල වර්ධනය කෙරෙන සැබෑ ප්‍රජාතන්ත්‍ර-විරෝධී තත්වය වහංගු කෙරෙයි.

බලයට ඒම සඳහා ව්‍යාජ පොරොන්දු කප්පරක් දුන් දිසානායක ඇතුලු ජවිපෙ/ජජබ නායකයෝ, බලයට පැමිනීමෙන් අනතුරුව එම පොරොන්දු කුනු කූඩයට දමා, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ක්‍රියාවට දැමූ ජාමූඅ හි කප්පාදු වැඩපිලිවෙල, මිලියන සංඛ්‍යාත මහජනයාගේ වියදමින් අඛන්ඩ ව ඉදිරියට ගෙන යන අතර ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාවන් වේගවත් කරමින් සිටිති.

තම ප්‍රහාර හමුවේ, 2022 මහජන නැගිටීම පරයා යන නැගිටීමක් යලි පැන නගිනු ඇතැයි බියපත්ව සිටින දිසානායක සහ ඔහුගේ ආන්ඩුව, එවන් නැගිටීමක් තලා දමනුවස්, පොලිස් රාජ්‍ය ක්‍රමවේදයන් වර්ධනය කරමින් සිටී. රුදුරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන බවට ජනාධිපතිවරනයේ දී මහජනතාවට පොරොන්දු වූ ඔහු, පසුගිය දා, එම පනතේ බලතල යොදා ගනිමින්, ගාසාවේ ජනසංහාරයට එරෙහි පාඨයක් සහිත ස්ටිකරයක් ඇල වූ තරුනයෙකු දින 90 ක් රඳවා ගැනීමේ නියෝගයකට අත්සන් කලේ ය.

පසු ව, මෙම මර්දනකාරී ක්‍රියාවට එරෙහි ව රට තුල හා ජාත්‍යන්තර ව වර්ධනය වූ විරෝධය මධ්‍යයේ මෙම තරුනයා දැඩි කොන්දේසි යටතේ ඇප පිට නිදහස් කෙරුනු නමුත්, ජනාධිපති දිසානායක හෝ ඔහුගේ කිසිදු බලධාරියෙක් එම අත්තනෝමතික ක්‍රියාව සිදුකලේ මන්දැයි පැහැදිලි කර නැත.

නීතිය නොතකා, බොහෝවිට නීතියෙන් තමන්ට එරෙහිව කටයුතු නොකිරීමේ මුක්තිය ද ලබාගෙන, විවිධ අපරාධ පිලිබඳව සැකපිට යයි අත්අඩංගුවට ගත් පුද්ගලයන්, පොලිසියේ ඝාතනයට ලක්කිරීම මහජනයා තුල ත්‍රස්තය හා භීතිය පතුරුවා හැරීමේ ප්‍රයත්නයකි. එය වනාහි, වැඩකරන ජනතාවගේ ප්‍රජතත්න්ත්‍රවාදී අයිතීන් මර්දනය කිරීමේ පොලිස් රාජ්‍ය පියවරයන්ගේ තවත් පැත්තකි.