[මෙය Sri Lankan president appoints cabinet committed to IMF austerity යන මැයෙන් 2024 නොවැම්බර් 19 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර දිසානායක, පසුගිය 14 වනදා පැවති මහ මැතිවරනයෙන් පාර්ලිමේන්තු ආසන 225 න් 159 ක්ම ඔහුගේ ජාතික ජන බලවේගය (ජාජබ)/ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ලබා ගැනීමෙන් පසු සඳුදා (18) සිය නව කැබිනට් මන්ඩලය පිහිටවුයේය.
විනාශකාරී ධනේශ්වර ප්‍රතිපත්ති තුලින් රට වත්මන් විනාශකාරී, සමාජ-ආර්ථික අර්බුදයකට ඇද දැමූ සාම්ප්‍රදායික දේශපාලන සංස්ථාපිතයට එරෙහි ජනතා කෝපයේ උදම් රැල්ල ජවිපෙ/ජාජබ ගසාකෑවේය. කෙසේ වෙතත්, නව ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු ඉල්ලීම් ක්‍රියාවට නැංවීමට මෙන්ම චීනයට එරෙහි එක්සත් ජනපදයේ ආක්රමනශීලී ගැටුම සමග ශ්‍රී ලංකාව පෙලගැස්වීමට කැපවී සිටී.
දූෂනය මුලිනුපුටා දැමීමට සහ “ජාතික පුනරුදයක්” ප්‍රවර්ධනය කිරීමට යැයි කියමින් “ශක්තිමත්” ආන්ඩුවක් සඳහා මැතිවරනයේදී ජවිපෙ/ජාජබ උද්ඝෝෂනය කලේය. දිසානායකගේ සැබෑ අරමුන වූයේ, රට තුල පන්ති යුද්ධයේ න්‍යාය පත්‍රයට සහ එතෙර එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යුද්ධවලට ඒකාග්ර වීමට එරෙහිව නොවැලැක්විය හැකි ලෙස මතුවන විරුද්ධත්වය මැඩපැවැත්වීම සඳහා භාවිතා කිරීමට ආන්ඩුවේ රාජ්‍ය බලයේ ලීවර ශක්තිමත් කිරීමයි.
සන්නද්ධ හමුදාවල අනදෙන නිලධාරියා ද වන දිසානායක, ජාමූඅ කප්පාදු පියවර ක්‍රියාත්මක කිරීම ඔහුගේ සෘජු විෂය පථය තුල තබා ගැනීම සඳහා බලගතු ආරක්ෂක සහ මුදල් අමාත්‍යාංශ තමා යටතේ රඳවා ගත්තේය. අමාත්‍යවරුන් පත් කිරීමෙන් පසු, පැමිනි ජාමූඅ දූත පිරිස මුනගැසුනු ඔහු, “ජනවරමේ සන්දර්භය තුල ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය ඉදිරියට ගෙන යාම සඳහා” ජාමූඅ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඔහුගේ සූදානම යලි තහවුරු කලේය.
21 දෙනෙකුගෙන් යුත් කැබිනට් මන්ඩලයේ ප්‍රධාන අමාත්‍යවරුන් වන්නේ, ජනතා විමුක්ති පෙරමුනේ සහ ජාජබ ප්රමුඛ මන්ත්‍රීවරුන් ය. 1980 ගනන් අග භාගයේ දී පක්ෂයේ ෆැසිස්ට්, දෙමල විරෝධී ව්‍යාපාරයට හා 1983 සිට 2009 දක්වා බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) ට එරෙහිව අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු විසින් දියත් කරන ලද වාර්ගික යුද්ධයට උග්‍ර සහයෝගය ලබා දුන් දිගුකාලීන ජවිපෙ නායකයින් ඔවුන් අතර වේ.
මැතිවරන ව්‍යාපාරයේදී දෙමල ඡන්දදායකයින් ආකර්ෂනය කර ගැනීමේ උත්සාහයක් ලෙස ජවිපෙ හිතාමතාම සිය අතීත අපරාධ වලදැමුවේය. ධනේශ්වර දෙමල පක්ෂ ඇතුලුව සියලුම සාම්ප්‍රදායික පක්ෂ කෙරෙහි පුලුල්ව පැතිරුනු අප්‍රසාදයේ ප්‍රතිඵලයක් ලෙස, එක් දිස්ත්‍රික්කයක් හැර, දෙමල බහුතරයක් සිටින සෑම දිස්ත්‍රික්කයකම විශාලතම ඡන්ද ප්‍රමානය එය අත්පත් කර ගත්තේය.
දිසානායක, නොවැලැක්විය හැකි ලෙස බලගතු පන්ති අරගල ඇති කරන කප්පාදු පියවර ක්‍රියාවට නැංවීමත් සමඟ සමස්තයක් ලෙස වැඩකරන ජනතාව කම්පනයට පත්ව සිටිති. ජවිපෙ ප්‍රබල නායකයින් කැබිනට් මන්ඩලයට පත් කිරීමෙන් පැහැදිලි වන්නේ, ආන්ඩුව පොලිස්-රාජ්‍ය ක්‍රියාමාර්ගවලට එලඹීමට පසුබට නොවන බවත්, දෙමල හා මුස්ලිම් ජනයා වෙත අපවාද එල්ල කරමින්පත්කිරීමට සහ කම්කරු පන්තිය බෙදීමට ස්වෝත්තමවාදය වේගවත් කරන බවත් ය.
දිසානායක ජනාධිපති ලෙස තේරී පත්වී, සැප්තැම්බර් මාසයේදී දිවුරුම් දීමෙන් පසු අගමැති ධුරයට පත් වූ හරිනි අමරසූරිය තවදුරටත් අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කරන අතර අධ්‍යාපන අමාත්‍ය ධුරය ද දරයි. ශාස්ත්රාලිකාවක් වන ඇය, ඉහල මධ්‍යම පන්තියේ—සෙසු විද්වතුන්, ව්‍යාපාරික ස්ථර, හිටපු පොලිස් සහ හමුදා නිලධාරීන් ඇතුළු—ස්ථර ඇද ගැනීමට සහ පාලක පන්තියේ විශ්වාසවන්ත දේශපාලන මෙවලමක් බව ඔප්පු කිරීමට ජවිපෙ විසින් 2019 දී පිහිටුවන ලද ජාජබ හි ප්‍රධාන චරිතයකි.
අමරසූරියට නිසැකව ම ජවිපෙ/ජාජබ විදේශ ප්‍රතිපත්තිය ඇය අධ්‍යාපනය ලැබූ සහ ඇයට ශක්තිමත් සම්බන්ධතා පවතින එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ දකුනු ආසියාවේ එහි මූලෝපායික සහකරු වන ඉන්දියාව දෙසට යොමු කිරීමේදී නිසැක කාර්යයක් හිමි වෙයි. 2015 දී, එක්සත් ජනපදයේ උවමනාවට, චීනයට ඕනෑවට වඩා සමීප යැයි සැලකෙන ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන තන්ත්රය ඉවත් කර ඒ වෙනුවට වොෂින්ටන් ගැති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ආදේශ කිරීමේ දී ඇය වැදගත් භූමිකාවක් ඉටු කලාය.
පාර්ලිමේන්තු මැතිවරනයක් පැවැත්වීමට නියමිතව තිබියදී, සැප්තැම්බරයේ පිහිටුවන ලද ත්‍රිපුද්ගල ජවිපෙ/ජාජබ කැබිනට් මන්ඩලයේ ඉතිරි සාමාජිකයා වන්නේ ජවිපෙ ප්රමුඛ නායකයෙකු වන විජිත හේරත් ය. ඔහු විදේශ අමාත්‍යවරයාගේ ප්‍රධාන භූමිකාව මෙන්ම සංචාරක හා විදේශ රැකියා අමාත්‍යාංශ ද දරයි.
හේරත් සහ දිසානායක යන දෙදෙනාම, පසුගිය වසර කිහිපය තුල ශ්‍රී ලංකාවේ කොලඹදී එක්සත් ජනපද තානාපතිනී ජුලී චන්ග් සහ බටහිර රාජ්‍ය තාන්ත්‍රිකයන් සමඟ නිරන්තරයෙන් මුනගැසුනු ජවිපෙ/ජාජබ කන්ඩායමේ සාමාජිකයෝ වූහ. එක්සත් ජනපදයට සහ ඊනියා ඉන්දීය අධිරාජ්‍යවාදයට එරෙහිව ජවිපෙ අතීත රැඩිකල් ඉරියව්ව සම්පූර්නයෙන්ම අතහැර දමා ඇත.
පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ලෙස, 2022-23 කාලයේ දී එක්සත් ජනපද ගැති වික්‍රමසිංහ ආන්ඩුව ශ්‍රී ලංකාවේ වරායෙන් චීන පර්යේෂන නැව් තහනම් කරන විට දිසානායක හෝ හේරත් එක්සත් ජනපදයට හෝ ඉන්දියාවට එරෙහිව වචනයක්වත් කතා කලේ නැත. ගාසා තීරයේ ජන සංහාරයක් සිදු කරන විට, ඊශ්‍රායලයට යන සැපයුම්වලට තර්ජනය කරන යේමනයේ හවුති කැරලිකරුවන්ට එරෙහිව එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද මෙහෙයුමේ කොටසක් ලෙස, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාත්‍රාවක් රතු මුහුදට යැවීමේ වික්‍රමසිංහගේ තීරනයට ජවිපෙ ද සහාය දුන්නේය.
හේරත් ප්‍රකාශ කර ඇත්තේ, සබඳතා තහවුරු කර ගැනීම සඳහා දිසානායක, ජනාධිපතිවරයා ලෙස සිය පලමු ඉන්දීය සංචාරය කරන බවයි. පැසිස්ට් ජනාධිපතිවරයෙකු ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එක්සත් ජනපද පරිපාලනය සමඟ කටයුතු කරන බවට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා දැනටමත් ප්‍රතිඥා දී ඇත.
ජවිපෙ/ජාජබ ආන්ඩුව, ජාමූඅ හා ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයේ අන ක්‍රියාත්මක කරන බව වඩාත් පැහැදිලි වෙමින් පවතින අතර, එය එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා එහි සහචරයින් සහ හවුල්කරුවන් සමග යුක්රේනයේ හා මැද පෙරදිග යුද්ධයට පෙල ගැසෙමින් සිටී. එසේම, චීනය සමඟ ගැටුම තීව්ර වේ.
වැඩකරන ජනතාව කෙරෙහි ආන්ඩුවේ සතුරු ආකල්පය, කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස ජනතා විමුක්ති පෙරමුනේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ (එන්ටීයූසී) සභාපති කේ.ඩී. ලාල්කාන්ත පත්කිරීමෙන් ඇඟවුම් කෙරේ. මෙම දීර්ඝකාලීන ජවිපෙ නායකයා සහ වෘත්තීය සමිති නිලධාරියා ජනාධිපතිවරනයට පෙර වැඩ වර්ජන තහනම් කිරීමට මූලික විය. කාර්මික ක්‍රියාමාර්ග පිලිබඳ යෝජනාව පවා ජවිපෙ මැතිවරන සැලසුම් සමග ගැටෙනු ඇති බවත් එය “පට්ට ප්රතිගාමී ක්‍රියාවක්” වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කලේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට පත් වූ තවත් ප්‍රකට ජවිපෙ නායකයෙකු වන නලින්ද ජයතිස්ස, පාර්ලිමේන්තු මැතිවරනයට පෙර ප්‍රකාශ කලේ ජවිපෙ/ජාජබ ආන්ඩුවක් යටතේ වැඩ වර්ජන “අතීතයට අයත් දෙයක්” වනු ඇති බවයි. 1930 ගනන්වල ෆැසිස්ට් පාලන තන්ත්‍රවල සංගතවාදය සිහිපත් කරන ප්‍රකාශයන් තුල ඔහු පක්ෂය සහ රාජ්‍යය ඒකාබද්ධ වන බවට යෝජනා කර ඇති අතර කලමනාකාරිත්වය සහ වෘත්තීය සමිති අතර සමීපතම සහයෝගීතාවය අවධාරනය කර ඇත.
අනෙකුත් වැදගත් පත්කිරීම්වලට ඇතුලත් වන්නේ:
* දැන් රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන මහාචාර්ය චන්දන අබේරත්න, එල්ටීටීඊයට එරෙහි වාර්ගික යුද්ධයට සහය දක්වීම සඳහා ජවිපෙ ස්වෝත්තමවාදී ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට පිහිටුවා ගත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නායකයෙකු වූ දීර්ඝ කාලීන ජවිපෙ චරිතයකි.
* පොලිසිය භාර මහජන ආරක්ෂාව පිලිබඳ අමාත්‍යවරයා වන ආනන්ද විජේපාල, 2004 ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ සභාග ආන්ඩුවේ කැබිනට් අමාත්‍යවරයකුව සිටියදී දිසානායකගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති අතර, දීර්ඝ කාලයක් ජවිපෙ සාමාජිකයෙක් සහ දිසානායකගේ සගයෙකි.
* ජවිපෙ/ජාජබ බලයට පත් වුවහොත් ජාජබ විශ්‍රාමික හමුදා සාමූහිකයේ ප්‍රධානී අරුන ජයසේකර ආරක්ෂක ඇමති වනු ඇතැයි දිසානායක කලින් නිවේදනය කර තිබුනි. ඔහු එල්ටීටීඊයට එරෙහි යුද්ධයේදී නැගෙනහිර පලාත් ආඥාපති ලෙස කටයුතු කල හිටපු මේජර් ජෙනරාල්වරයෙකි. දිසානායක ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ඔහු අද ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වීමට නියමිත ය.
* ජාජබ හි විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ සාමූහිකයේ ප්රමුඛ සාමාජිකයෙකු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහජන ආරක්ෂාව පිලිබඳ අමාත්‍යාංශයේ ඉහලම පරිපාලන තනතුර වන ලේකම් ලෙස පත් කර ඇත.
දිසානායක සහ ජවිපෙ/ජාජබ තම කප්පාදු වැඩපිලිවෙල ඉදිරියට ගෙන යන විට රාජ්‍ය මර්දනයේ ප්‍රධාන ලීවරයන් වන ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශ මත දැඩි ග්රහනයක් තබා ගැනීමට අදහස් කරන බව මෙම පත්කිරීම් මගින් පැහැදිලි විය.
දිසානායක ආන්ඩුව සහ පාලක පන්තිය ඉදිරි පන්ති සටන් සඳහා සූදානම් වන්නා සේම, කම්කරු පන්තිය ද තම සමාජ හා ප්රජාතන්ත්රවාදී අයිතීන් සඳහා සටන් කිරීමට තමන්ගේම සංවිධාන සහ මූලෝපායන් වර්ධනය කර ගත යුතුය.
සමාජවාදී සමානතා පක්ෂය (සසප) සිය පන්ති අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා වෘත්තීය සමිතිවලින් හා සියලු ධනේශ්වර පක්ෂවලින් ස්වාධීනව සෑම වැඩපලකම, වතුකරයේ, තදාසන්න ප්‍රදේශයක සහ නගරයකම ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස කම්කරුවන්ගෙන් හා ග්‍රාමීය දුගීන්ගෙන් ඉල්ලා සිටී. සියලු විදේශ නය ප්‍රතික්ෂේප කිරීම සඳහා වන ඉල්ලීම අපි ඉදිරිපත් කරන අතර සුපිරි ධනවත් සුලු පිරිසකගේ ලාභය සඳහා වැඩ කරන ජනතාව කැප විය යුතු බවට කරන සියලු ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමු.
ක්‍රියාකාරී කමිටු නියෝජිතයින් මත පදනම්ව කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්රජාතන්ත්රවාදී හා සමාජවාදී සම්මේලනයක් පිහිටුවීමට සසප කැඳවුම් කරයි. ජාත්‍යන්තරව සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා, දේශපාලන බලය සහ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීම සඳහා අරගලයේ දී වැඩකරන ජනතාවගේ අරගල ඒකාබද්ධ කිරීමේ අත්‍යවශ්‍ය යාන්ත්‍රනය මෙයයි.