දෙරන රුපවාහිනී සාකච්ඡාව ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට අධ්‍යයන, අනධ්‍යයන වෘත්තීය සමිති නායකයන්ගේ කැපවීම පෙන්නුම් කරයි

විශ්වවිද්‍යාල අනධ්‍යන කම්කරුවන් ආරම්භකොට තිබෙන දීර්ඝ කාලීන වැඩවර්ජනයට දින 56ක් ගෙවුනු දිනයේ, 'රාජ්‍ය විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අනාගත දිශානතිය කුමක්ද ?' යන මැයෙන් දෙරන රූපවාහිනිය පැවැත්වූ සාකච්ඡාවේ අරමුනවූයේ වහාම වැඩට යන ලෙස වර්ජකයන්ට පීඩනය යෙදීමයි.

ඊට සහභාගී වූ අධ්‍යයන, අනධ්‍යයන වෘත්තීය සමිති නිලධරයන් මෙම සාකච්ඡාව යොදා ගත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) යෝජනා පරිදි ආන්ඩුව ක්‍රියාවට දමන නිදහස් අධ්‍යාපනය කප්පාදු කරන වැඩපිලිවෙලට තම එකඟතාවය ප්‍රකාශ කිරීමට සඳහායි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (ෆුටා) නියෝජනය කරමින්, එහි නායක තනතුරු දැරූ මහාචාර්යවරුන් තිදෙනෙකු වන මොරටුව විශ්ව විද්‍යාලයේ රංගික හල්වතුර, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අනුර කුමාර උතුමන්ගේ සහ එම විශ්වවිද්‍යාලයේ ම මයුර සමරකෝන් එම සාකච්ඡාවට සහභාගී වූහ. අනධ්‍යන වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් සහභාගී වූයේ එහි සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත හා විශ්වවිද්‍යාල පරිපාලන සහ මුල්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් චානක රොද්‍රිගු ය.

අනධ්‍යන අරගලය නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය විනාශවන බවට ව්‍යාජ චිත්‍රයක් මවා පෙන්වීම මුලික වටයේදී මහාචාර්යවරුන් තිදෙනා නිවේදකයා සමගින් බලවත් උත්සාහයක යෙදිනි. මහාචාර්ය සමරකෝන් මෙසේ කීවේය: 'ලොකු පීඩනයකට අධ්‍යාපනය ලබන තරුන පිරිස පත්වෙලා තිබෙනවා ... ජයග්‍රහනයෙන් තොර වූ සටන් තියෙන්න පුලුවන් අපි එකතුවෙලා දරුවන්ගේ අධ්‍යාපනය ගැන හිතලා, ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් කැපකිරීමක් කරලා මැද තැනකට ඇවිල්ලා කොහොම හරි මෙම විශ්වවිද්‍යාල විවෘත කරගත යුතුයි.'

අවසන් අදියරේ තිබුනු ව්‍යාපෘති සම්පූර්නයෙන්ම ඇනහිට තිබෙන බවත් අත්දැකීම් නැති විශ්වවිද්‍යාල උපාධිධාරීන් බිහිකිරීම තුලින් ලංකාවට නායකත්වය දෙන්න පුලුවන් චරිත අමු අමුවේ දුෂනය කරන බවත් පවසමින් මහාචාර්ය රංගික හල්වතුර අනධ්‍යන අරගලයට පහර දුන්නේය. වර්ජනය නිසා වසා දමා තිබෙන තම කාමරයට යාමට පවා ඉඩ අහුරමින් කරන වර්ජනයෙන් 'අපේ අයිතිවාසිකම් උල්ලංඝනය' වී ඇතැයි ඔහු චෝදනා කලේය.

මහාචාර්ය උතුමන්ගේ, 2016 වැටුප් වැඩිකිරීම ගැන එවක අගමැති වික්‍රමසිංග ට චෝදනා කරමින් අනධ්‍යන සේවකයන්ගේ වැඩවර්ජනයට මෙන්ම සියලු කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම්වලට විරුද්ධත්වය ප්‍රකාශ කලේ, එම පඩි වැඩිකිරීම ආර්ථික අර්බුදය වර්ධනය වීමට තුඩු දුන්නේයැයි කියමිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඔහු චෝදනා කලේ බදු ඉවත්කිරීමෙන් අර්බුදය තීව්‍ර කල බව පවසමිනි. රජයේ වියදම් ඉහල යාම නිසා මුදල් අච්චු ගැසීමට සිදුවූ බවත් නය අර්බුදයකට රට ලක්වූ බවත් උද්ධමනය වැඩිවූ බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය. මහාචාර්යවරයා මේ ප්‍රකාශ කලේ රටේ වර්ධනය වූ ධනපති ආර්ථික අර්බුදයේ මූලයන් වසන් කරමිනි. මේ කුතර්ක, වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම් වැඩකරන ජනතාවගෙන් මතුවූ හැම විටකම ධනපති පංතිය ගොතන පචගොන්නෙන් අහුලාගත් ඒවා ය.

නිවේදකයා අනධ්‍යන වෘත්තීය සමිති නායකත්වයෙන් 'විශ්ව විද්‍යාල නිෂ්ක්‍රීය වන තත්ත්වයට පත් කිරීම නිසා පාලකයන්ට සැලසෙන්නේ පහසුවක්. ඔබ මේ ඩීල් එකක්ද කරන්නේ?' යනුවෙන් ප්‍රශ්න කලවිට චානක රොද්‍රිගු මෙසේ පිලිතුරු දුන්නේය:

'ආන්ඩුවත් එක්ක ඩීල් ගහන්න වෘත්තිය සමිතිවලට හේතුවක් නැහැ...මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තුල ... ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුන නියෝජනය කරන වෘත්තීය සමිති ඉන්නවා' යැයි කී ඔහු මේ හැම අයෙක් ම ආන්ඩුවත් එක්ක ඩීල් ගහනවා කීම වැරදි බව කිවේය.

මෙම සන්ධානය තුල සෑම ධනපති පක්ෂයක ම වෘත්තීය සමිති සිටින බව සත්‍යයකි. එමෙන්ම ඊනියා ස්වාධීන වෘත්තීය සමිති ද තිබේ. ඔවුන් මෙම පක්ෂවල දේශපාලනයේ නියැලෙති. ඒවායේ උවමනාකම් මත ඔවුහු, කම්කරුවන්ගේ අයිතිවාසිකම්වලට ඇබ ගසති. එහෙත්, වෘත්තීය සමිතිවලට 'දේශපාලනය එපා' යන කඩතුරාව යටතේ කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයකට සියලු වෘත්තීය සමිති නායකයන් රුදුරු ලෙස තම විරුද්ධත්වය සෑම අවස්ථාවකදීම ප්‍රදර්ශනය කොට ඇත්තේය. ධනපති පංතිය හා ආන්ඩුව සමග ඔවුන්ගේ ගනුදෙනුව ඇත්තේ, කම්කරුවන් දේශපාලනිකව නිරායුධ කොට අකර්මනය කිරීම සඳහාය. .

ඉල්ලීම් වල සාධාරනත්වය පෙන්වීම් සඳහා යයි අධ්‍යයන සහ අනධ්‍යන වෘත්තීය සමිති නායකයන් දශකයක් පමන කාලයක් ආන්ඩුවෙන් ලැබුනු පොරොන්දු පත්‍ර, චක්‍රලේඛ සහ ලිපි තොග කරගසාගෙන, ඒවා සනාථ කරනමෙන් ඉල්ලමින් ආන්ඩුව මෙන්ම ධනපති මාධ්‍ය ආයතන සමග සාකච්ඡා වලට යති.

ආන්ඩුව ක්‍රියාවට දමන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග හේතුවෙන් ජිවන වියදම දැවැන්තව ඉහලගොස් ඇති තත්වයක් යටතේ වැටුප් වැඩිවීමක් සඳහා කම්කරු පන්තියේ ස්වාධීන ඒකාබද්ධ දේශපාලන මැදිහත්වීමක් අවශ්‍ය වේ.

ආන්ඩුවට බලපෑම් දැමීමෙන් අයිතීන් දිනාගත හැකිය යන ව්‍යාජය පතුරුවමින් වෘත්තීය සමිති නායකයන් අනුයන පිලිවෙත තුඩු දී ඇත්තේ නිදහස් අධ්‍යාපනයේ ඉතිරිපහදු පවා අතුගා දැමීමට කාලය ලබා දීමටයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලාභ ලබන ව්‍යවසායක් බවට පත්කිරීමට ආන්ඩුව අඩියෙන් අඩිය පියවර තබමින් සිටින තතු තුල මහාචාර්ය හල්වතුර සාකච්චාව සහභාගී වූ සියලු දෙනාගේ අනුමැතිය සහිතව මෙසේ කිවේය: 'රටේ අධ්‍යාපනය ඉදිරියට යන්න නම් පෞද්ගලික විශ්වවිද්‍යාල තිබිය යුතුයි.'

මහාචාර්ය උතුමන්ගේ එලෙස පෞද්ගලිකරනය පලල් කිරීමේ යෝජනාවට අනුමැතිය දෙමින්, විශ්වවිද්‍යාල පාලකයන් තවමත් ඒ සඳහා පියවර ගෙන නැතැයි චෝදනා කලේය: 'ඇත්ත වශයෙන්ම මුදල්ගෙවා පාඨමාලා ආරම්භ කරන්න පුලුවන් රිසෝසස් විශ්වවිද්‍යාල ඇතුලෙම තිබෙනවා ආන්ඩුව දෙනකම් බලන් ඉන්න ඕනි නැහැ මේ අය බලන්නේ ආන්ඩුව මේ පාර වෙන්කරපු සල්ලි අඩුයි ඒ හින්ද අපට කරගන්න බැහැ, යයි කීමට. ආන්ඩුව යම් ඇලෝකේෂන් එකක් කරනකොට ඒවාගේ හතර පස් ගුනයක් මුදල් ඉපයීමේ මාර්ග විශ්ව විද්‍යාලවලට තිබෙනවා අපට පුලුවන් ෆන්ඩ්ස් ජෙනරේට් කරන්න.'

වර්ජනය මෙහෙයවන අනධ්‍යන වෘත්තීය සමිති එකමුතුව ආන්ඩුවේ ප්‍රතිපාදන ඉහල දැමීමෙන් තොරව තම වැටුප් ඉහල දැමිය හැකියැයි පවසයි. දම්මික ප්‍රියන්ත පැවසුවේ විශ්වවිද්‍යාලය ඇතුලේ තිබෙන මුදල් කලමනාකරනය කරගෙන මේ ප්‍රශ්නය විසඳීමට හැකි බවයි. මොවුන් එසේ ඉල්ලා සිටින්නේ විශ්ව විද්‍යාල ක්ෂෙත්‍රයේ අන් තැනක කප්පාදුවකින් මුදල සොයා ගතහැකි බවයි.

ප්‍රදර්ශනය කෙරුනු කාකොටා ගැනීම් කෙසේ වෙතත්, සියලු සමිති නායකයන් අන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙල සමග මාට්ටුවී සිටින සැටි මේ රුපවාහිනි සාකච්ඡාවේ දී පැහැදිලිවිය.

කම්කරුවන් තමන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනගා අරගලය තම අතට ගතයුතු බව සමාජවාදී සමානතා පක්ෂය (සසප) යෝජනා කරන්නේ මේ නිසා ය. ඒවා ගොඩනැගිය යුත්තේ ධනපති ගැති වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීනව ය. ධනපති ක්‍රමය තුල කම්කරු පංතියට තමන්ගේ එකදු මූලික අයිතියක්වත් රැකගැනීමට නොහැකිය. ගෝලීය ධනපති ක්‍රමයේ ආර්ථික අර්බුදය වඩවඩා ගැඹුරුවන කොන්දේසි තුල සෑම රටකම කම්කරුවන් මුහුන දී සිටින්නේ මේ තත්වයටයි.

වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහිව කම්කරු පංතියේ දේශපාලන මහා වැඩවර්ජනයක් සුදානම් කරන ලෙස ද සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සටන් කරන ලෙස ද සසප ඉල්ලා සිටියි. මාස දෙකකට වඩා දිග ඇද්දී ඇති අනධ්‍යයන සේවකයන්ගේ වර්ජනයෙන් හා අනෙකුත් කම්කරු සටන්වලින් අවධාරනය කෙරෙන්නේ මේ වැඩපිලිවෙලට සටන් කිරීමේ හදිසි භාවයයි.

Loading