විදුලිබල ඇමති වෘත්තීය සමිති නායකයන් සමග ලංවිම ප්‍රතිව්‍යුහකරනය ගැන සාකච්ඡා කරයි

ලංකා විදුලිබල මන්ඩල එක්සත් වෘත්තීය සමිති සන්ධානය (ලංවිමඑවෘසසං)කැඳවුම්කරු රන්ජන් ජයලාල් (ලෝසවෙඅ මාධ්‍ය)

නව විදුලිබල ප්‍රතිසංස්කරන පනත ක්‍රියාවට දැමීම පිලිබඳව වෘත්තීය සමිති සමිති සමග සාකච්ඡා කල බව විදුලිබල සහ බලශක්ති ඇමති කාංචන විජේසේකර ජූනී 28දා මාධ්‍යට සඳහන් කර තිබුනි. විදුලිබල මංඩලයේ (ලංවිම) ප්‍රතිසංස්කරන වල ව්‍යූහය, විවිධ කාර්යන් ක්‍රියාත්මක කිරීමේ කාලය, අනුප්‍රාප්තික සමාගම්වල ඇති කිරීම, සේවක කලමනාකරනය, වැටුප් ව්‍යූහය, ඉදිරි ප්‍රතිපත්ති සහ සෙසු කලමනාකරන තීරන පිලිබඳව එහි දී වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ සාකච්ඡා කල බව ඔහු පවසා ඇත.

“අනාගතයේදී බඳවාගන්නා සේවක සංඛ්‍යාව අඩු කිරීම සඳහා දැනට පවතින සේවකයන් 26,000 සේවක ලැයිස්තුව සංශෝධන කරන“ බව කී ඔහු තවදුරටත් සඳහන් කර තිබුනේ, “විදුලිබල මන්ඩලයේ වෘත්තිය සමිති සමඟ කල සාකච්ඡාවකදී මෙම තීරනයන්ට එලඹි“ බවයි.

මෙම සාකච්චාවට ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් මෙහෙයවන ලංකා විදුලි සේවක සංගමය (ලංවිසේස), කාර්මික ශිල්පීන්ගේ සංගමය, ඉංජිනේරු සංගමය, විදුලි අධිකාරී සංගමය, ශ්‍රීලංකා නිදහස් පක්ෂය, පාලක ශ්‍රීලංකා පොදු පෙරමුන, එක්සත් ජාතික පක්ෂය විසින් පාලනය කෙරෙන සමිති ඇතුළු ලංවිම වෘත්තීය සමිති එකතුවට අයත් සියලු සංවිධාන සම්බන්ධ වී තිබේ.

ඉහත සාකච්ඡාව ට පෙර, ජූනි 25දා ලංවිම සමිති එකමුතුවේ නිලධාරීන් ආයතනයේ සාමාන්‍යාධිකාරි සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී ද සේවකයන් ගේ ස්ථානමාරු කිරීමේ නව ක්‍රමය සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සුදානම් කෙරෙමින් පවතින බව පවසා ඇත.

ඇමතිගේ හා සාමාන්‍යාධිකාරි ගේ ප්‍රකාශවලින් පෙන්නුම් කෙරෙන්නේ පාර්ලිමේන්තුවෙන් සම්මත කෙරුනු විදුලිබල පනත් කෙටුම්පත කථානායකගේ අත්සනින් පනතක් ලෙස රටේ නීතිය බවට පත් කිරීමත් සමගම, ආන්ඩුව ලංවිම ප්‍රතිව්‍යුහකරනයේ වැඩකටයුතු අරඹා ඇති බවයි. මුලින් ම ලංවිම සමාගම් 12කට බෙදා ප්‍රතිසංස්කරනය ඇරඹේ. එය අවසන් වනු ඇත්තේ පුද්ගලීකරනයෙනි. සේවක සංඛ්‍යාව, වැටුප් හා සේවා කොන්දේසි කැපීමේ හා වැඩවේගවත් කිරීමේ ආරම්භක සැලසුම් ඇමති හා සාමාන්‍යධිකාරී විසින් දිගහරිනු ලැබ තිබේ.

සමිති නායකයන් ඒවා සමග එකඟ වී ඇත. සාකච්චාවට යාමට පෙර හෝ ඉන් පසුව හෝ සමිති නායකයන් සාමාජිකත්වයට කිසිදු ආකාරයකින් කරුනු දක්වා හෝ ඔවුන්ගේ අදහස් විමසා නැත.

අත්හිටුවන ලද ත්‍රෛ වාර්ෂික වැටුප් වැඩිවීම, වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම ගැන සාකච්චා කල සමිති නායකයන් වැඩ තහනම් කර සිටින සේවකයන් 62 යලි සේවයේ පිහිටුවන ලෙස සාමාන්‍යධිකාරීගෙන් ඉල්ලා ඇත. වැටුප් ඉල්ලීම් ගැන සාමාන්‍යාධිකාරි නිශ්චිත පිලිතුරක් දී නැත.

මැතිවරන සමයක් පවතින හෙයින් වැටුප් සංශෝධනයක් සඳහා මැතිවරන කොමිෂන්සභාවේ නීති රීති බලපාන හෙයින් ඒ පිලිබඳව අවධානය යොමුකරන ලෙසත්, සේවකයන් අපහසුතාවට පත් නොකරන ලෙසත් ලංවිසේස ලේකම් රංජන් ජයලාල් එහිදී පින්සෙන්ඩු වී ඇත. එහි තේරුම, මැතිවරන සමයක් නිසා වැටුප් වැඩි නොකලාට කමක් නැතිබවයි.

වැඩ තහනම් කර සිටින සේවයකයන් 62 සම්බන්ධයෙන් නීතිමය ගැටලු පවතින හෙයින් ඒවා නිරාකරනය කර ගැනීමෙන් පසු ඔවුන් යලි සේවයේ පිහිටුවීමට අවශ්‍ය පියවර ගන්නා බව ඔහු පවසා තිබේ. මෙම වැඩ තහනම, කම්කරුවන්ට වැඩ වර්ජනය කිරීමට ඇති අයිතිය මුලුමනින් ම උල්ලංඝනය කිරීමකි. වැඩ තහනම් කල සේවකයන් වන්දි සහිත ව, කොන්දේසි විරහිත ව වහාම සේවයේ පිහිටුවීම සඳහා සටන් කිරීම අතහැර දමා ඇති සමිති නායකයන් ඉදිරියේ දී 'සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමට' නිවට ලෙස එකඟ වී ඇත.

ලංවිම පුද්ගලීකරනය, ඩොලර් බිලියන තුනක ඇපනයක් ශ්‍රී ලංකාවේ ආන්ඩුවට ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය (ජාමූඅ) විසින් නියම කරනු ලැබ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආන්ඩුව විසින් ක්‍රියාවට දමන රුදුරු ආර්ථික කප්පාදු වැඩ පිලිවෙලේ කොටසකි. ඉන් එක පියවරක් වන්නේ රාජ්‍ය ව්‍යවසායන් සිය ගනනක් පුද්ගලීකරනය කිරීමයි.

පුද්ගලීකරනයට එරෙහිව කවර හෝ අරගලයක් කිරීම මුළුමනින් ම අතහැර දමා ඇති සමිති නායකයෝ නව කම්කරුවන් ඊට යටත් කිරීම සඳහා සමාගම් යටතේ ඉහල වැටුප් හා යහපත් සේවා කොන්දේසි ලබා ගත හැකි බවට පට්ටපල් බොරුවක් දැන් තොරොම්බල් කරති. පනත යටතේ පිහිටුවන නව සමාගම් කෙටි කාලයක් ලංවිම යටතේ පැවතිය ද ඒවා ඉක්මනින් ම විදේශීය හෝ දේශීය ආයෝජකයන් අතට පත් කෙරෙනු ඇත.

පුද්ගලීකරනයට එරෙහිව සටන් කිරීමේ අධිෂ්ටානය ලංවිම කම්කරුවෝ යලියලිත් පෙන්නුම් කලහ. සමිති නිලධරය කලේ, ආන්ඩුවට බලපෑම් දමා මෙම ප්‍රහාර නතර කරගත හැකිබව පවසමින් කම්කරුවන් විරෝධතා ව්‍යාපාර තුල කොටු කිරීමයි. ජවිපෙ ට සම්බන්ධ ලංවිසේස ලේකම් රංජන් ජයලාල් පුනපුනා ප්‍රකාශ කලේ, ජනාධිපතිට සහ ආන්ඩුවට තව ඇත්තේ මාස කිහිපයක් නිසා පනත සම්මත කලත් එය ක්‍රියාවට දැමීමට ඉඩ නොලැබෙන බවයි. ජනාධිපතිවරනය එනතුරු බලා සිටින ලෙස ඔහු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

සමිති නිලධරයන් මෙලෙස ලංවිම සේවකයන් පාවාදී තිබේ. ආන්ඩුව විදුලිබල මන්ඩලය පුද්ගලිකරනයේ ක්‍රියාවලිය අරඹා තිබේ අනෙකුත් ආයතනවල සමිති නායකයන්ගේ ක්‍රියාකලාපය මීට දෙවැනි නැත.

ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාව සමාගම් තුනකට කැඩීමට වෘත්තීය සමිති නායකයෝ පාලනාධිකාරය සමග කෙලින් ම එක්වුහ. 2023 මාර්තු වැඩවර්ජනයෙන් පසු වැඩ තහනමක මර්දනයට ලක්වූ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සමිති නායකයෝ, වසරකට පසු වැඩට ගැනීමෙන් අනතුරුව, තෙල් සංස්ථාව දෙකට කැඩීමට--තෙල් පිරිපහදුව වෙනම සමාගමක් කිරීමට- ඉඩ දුන්හ. වෘත්තීය සමිති නිලධරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග ක්‍රියාවට දැමීම සඳහා ආන්ඩුවේ ප්‍රධාන මුක්කුව ලෙස ක්‍රියා කරයි.

කම්කරුවන් සියලු වැඩපොලවල, සමිති නිලධාරයන්ගෙන් ස්වාධීන ව, ක්‍රියාකාරී කමිටු ගොඩනගා තම අයිතීන් සඳහා අරගලය තමන් අතට ගැනීම තවත් කල්පමා නොකල යුතුවන්නේ එබැවිනි.

Loading