සසප/සසජාතශි ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීම: වර්ජිත ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල කම්කරුවන් සඳහා ඉදිරි මාවත

[මෙය SEP/IYSSE online public meeting: The way forward for striking university workers in Sri Lanka යන මැයෙන් 2024 ජූනි 05 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), හිරවීමකට පැමින ඇති විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනයේ ඉදිරි මාවත සාකච්ඡා කිරීමට, ජූනි 14 දා සවස 7 ට, සූම් (Zoom) තාක්ෂනය ඔස්සේ ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීමක් පවත්වයි.

පහත සබැඳිය හරහා ලියාපදිංචි වන්න: මෙතැනින්

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආවරනය වන වෘත්තීය සමිති ඒකාබද්ධකොට තනාගත් සංවිධානයක් වන අනධ්‍යයන වෘත්තීය සමිති එකතුව (එන්ඒටීයූසී), මේ සතිය මුලදී උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් හමුවිය. එම සාකච්ඡාවන් නිගමනයකින් තොරව අවසන් වූ බව වාර්තා වන අතර, සාකච්ඡා කල දෑ වර්ජිත කම්කරුවන්ට පවසා නැත.

“වැටුප් විෂමතා” ඉවත් කිරීම සඳහා සියයට 15 කින් වැටුප් වැඩි කරන ලෙස සහ මාසික හිලවු දීමනාව (එම්සීඒ) සියයට 25 කින් වැඩි කරන ලෙස ඉල්ලා රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල 17 ක අනධ්‍යන සේවකයෝ 13,000 කට ආසන්න පිරිසක් මැයි 2 දා සිට දින නියමයක් නොමැතිව වැඩ වර්ජනයක නිරතව සිටිති. සාමාන්‍ය කම්කරු සාමාජිකයින්ගේ වැඩෙන පීඩනය හේතුවෙන් වර්ජනය කැඳවීමට තල්ලු කෙරුනු වෘත්තීය සමිති නායකත්වය, ආන්ඩුවෙන් ජාමේ බේරා ගැනීමේ 'පොරොන්දුවක්' අපේක්ෂා කරයි. මෙය හැකි ඉක්මනින් සියලු කාර්මික ක්‍රියාකාරකම් නතර කිරීමට භාවිතා කරනු ඇත.

ආන්ඩුව සිය ස්ථාවරය පැහැදිලි කර ඇත. මේ වසරේ වැටුප් විෂමතා නිවැරදි කිරීමට ආන්ඩුව සතුව ප්‍රමානවත් මුදල් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කල බව රාජ්‍ය අමාත්‍ය සහ කැබිනට් ප්‍රකාශක බන්දුල ගුනවර්ධන මැයි 28 දා ප්‍රකාශ කලේය. ආන්ඩුව ඒ වෙනුවට, කම්කරුවන්ගේ ඉල්ලීම් සොයා බැලීමට කමිටුවක් පත් කරනු ඇත.

වැඩවර්ජනය මර්දනය කිරීම සඳහා පාලක ප්‍රභූවේ ඉල්ලීම් ප්‍රතිරාවය කරමින්, ප්‍රධාන මුද්‍රිත මාධ්‍යයන් කම්කරුවන්ට මඩ ගසමින් සහ විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන බවට චෝදනා කරමින් ලිපි පලකර තිබේ. සිසුන් වෙනුවෙන් කිඹුල් කඳුලු හෙලුවද, අයවැය කප්පාදුවේ සෘජු ප්‍රතිඵලයක් ලෙස විශ්වවිද්‍යාලවල පිරිහෙන තත්ත්වයන්ට වගකිව යුතු අනුප්‍රාප්තික ආන්ඩුවල ක්‍රියාකලාපය ගැන මාධ්‍ය නිහඬය.

මෙම කොන්දේසි යටතේ, වර්ජිත අනධ්‍යන සේවකයින්ට වෘත්තීය සමිති නායකයින් කෙරෙහි කිසිදු විශ්වාසයක් තැබිය නොහැක. වෘත්තීය සමිති නිලධරයන්ගෙන් සහ ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ සියලුම පක්ෂවලින් ස්වාධීනව තමන්ගේම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමෙන් ඔවුන් කාරනා තමන්ගේ අතට ගත යුතුය. මෙම කමිටු හරහා කම්කරුවන්ට තම ඉල්ලීම් සහ ඒ සඳහා අරගලයක් දියත් කරන්නේ කෙසේද යන්න පිලිබඳව ප්‍රජාතන්ත්‍රවාදීව සාකච්ඡා කර තීරනය කල හැකිය.

අනධ්‍යයන සේවකයන් දිවයින පුරා සිටින අනෙකුත් අංශවල තම පන්ති සහෝදර සහෝදරියන් සමඟ පොදු සටනකට එක්විය යුතුය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග යටතේ වික්‍රමසිංහ ආන්ඩුව විසින් පනවා ඇති කුරිරු කප්පාදු පිලිවෙත්වල කොටසක් ලෙස දැන් ඔවුන්ගේ රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි මත දැඩි ප්‍රහාරවලට මුහුන දී සිටින රාජ්‍ය අංශයේ අනෙකුත් කම්කරුවන් මෙයට ඇතුලත් විය යුතුය.

සසප/සසජාතශි රැස්වීම මෙම අරගලය සඳහා කම්කරුවන් අනුගමනය කල යුතු වැඩපිලිවෙල සහ ඉදිරිදර්ශනය විස්තරාත්මකව සාකච්ඡා කරනු ඇත.

මෙම වැදගත් රැස්වීමට සහභාගී වන ලෙසත්, ආන්ඩුවේ ම්ලේච්ඡ ප්‍රහාරවලට එරෙහිව සටන් කරන්නේ කෙසේද යන්න පිලිබඳ සාකච්ඡාවට එක්වන ලෙසත්, අනධ්‍යන සේවකයින්ට, විශ්ව විද්‍යාල සිසුන්ට, විද්වතුන්ට සහ අනෙකුත් ක්ෂේත්‍රවල කම්කරුවන්ට අපි ආරාධනා කර සිටිමු.

දිනය සහ වේලාව: ජූනි 14 සිකුරාදා, ප.ව. 7 ට

පහත සබැඳිය හරහා ලියාපදිංචි වන්න: මෙතැනින්

Loading