2022 මහජන නැගිටීමේ දේශපාලන පාඩම්

පහත පලවන්නේ 2024 ජුනි 4 දා කොලඹ මහජන පුස්තකාලයේ දී සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාව සඳහා ජාත්යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) 2022 මහජන අරගලයේ පාඩම් මැයෙන් පැවැත්වූ රැස්වීමට සසප කේ. රත්නායක කල කථාවයි.

සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර සහෝදරයා මෙම රැස්වීමේ අර්ථභාරය පැහැදිලි කරමින්, 2022 මහජන අරගලයේ පාඩම් උකහා ගත යුත්තේ ඇයි ද යන්න ඔහුගේ හැඳින්වීමේ කතාවේ දී අවධාරනය කලා.

විරෝධතාකරුවන්, 2022 ජූලි 9 සෙනසුරාදා, ශ්‍රී ලංකාවේ කොලඹ පිහිටි ජනාධිපති නිල නිවස දෙසට දිවෙන වීදියක රැස් ව සිටිති. (AP Photo/Amitha Thennakoon) [AP Photo/Amitha Thennakoon]

සසප සහ අප සම්බන්ධ ව සිටින හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, 2022 මහජන අරගලය හා එහි වර්ධනයන් සම්බන්ධයෙන් මෙන් ම ඉන් අනතුරු ව අද දක්වා සිදු ව ඇති වර්ධනයන් සම්බන්ධයෙනුත් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) විශ්ලේෂන ලිපි ගනනාවක් ලියා තිබෙනවා. මෙහි සිටින බොහෝ සහෝදරවරු එම විශ්ලේෂන හදාරලා ඇති.

එසේ වුවත්, මේ දැන් දිග හැරෙන අරගලවලට හා ඉදිරි අරගල සඳහා කම්කරු පන්තියට අවශ්‍ය නායකත්වය සම්පාදනය කිරීම පිනිස ලංකාවේ සිදු වූ පෙර නුවූ විරූ දැවැන්ත ම මහජන නැගිටීමේ - කම්කරුවන්, ගම්බද සහ නාගරික දුගීන් මිලියන ගනනින් සහභාගී වූ මේ නැගිටීමේ - මූලෝපායික පාඩම් උකහා ගැනීම අවශ්‍යයි.

අපගේ ජාත්‍යන්තර සහෝදරවරුවන්ගේ ද සහයෝගය ඇතිව සසප මහජන ව්‍යාපාරය තුල නව ඉහල මට්ටමකින් වර්ධනය කලේ, ජාත්‍යන්තර කම්කරු පන්තියේ කොටසක් හැටියට ලංකාවේ කම්කරුවන් සෙසු ධනපති පක්ෂවලින්, ඒවායේ ගැත්තන්ගෙන් හා වෘත්තීය සමිතිවලින් දේශපාලනික ව ස්වාධීන ව බලමුලු ගැන්වීමට දීර්ඝ කාලයක් තිස්සේ කරන අරගලයයි.

අප පක්ෂයේ මැදිහත් වීම පිලිබඳව මම මගේ කතාවේ අවසානයේ දී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා.

මේ මහජන නැගිටීම මර්දනය කිරීමට මිලිටරි පොලිස් බලය වගේ ම මර්දනකාරී නීතිරීති යොදා ගෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උත්සහ දැරුවා. ඒ එක්ක ම විපක්ෂයේ සංවිධානවලත් උදවු ඇති ව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ අරගලය යටපත් කරන්න විවිධාකාර දේශපාලන උපමාරුවල යෙදුනා. ඒ සියල්ල අසාර්ථක වූ තැන, අවසාන වශයෙන් ඔහුට සිදුවුනේ, ඉතාමත් නින්දිත ආකාරයකට රටින් පලා ගොස් ඉල්ලා අස් වීමටයි. වොෂින්ටනය හා නවදිල්ලිය කොලඹ පාලක පන්තියේ කල්ලි සමග සිදු කල කුමන්ත්‍රනයකින් රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති පුටුවේ වාඩි කෙරෙවුවා.

ඔහුගේ පලමු රාජකාරිය වුනේ ජූලි 22 දා මිලිටරි-පොලිස් ප්‍රචන්ඩ මෙහෙයුමකින් ජනාධිපති කාර්යාලයත් ගෝල්ෆේස් පිට්ටනියත් වාඩිලා ගෙන හිටපු ක්‍රියාකාරීන් බලාත්කාරයෙන් ඒ තැන්වලින් ඉවත් කිරීම යි.

ලබා ගත් තාවකාලික දේශපාලන ඉස්පාසුව මධ්‍යයේ වික්‍රමසිංහ - ඒ වෙන විටත්, ගෝඨාභය රාජපක්ෂ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (ජාමූඅ) හැරිලා හිටියේ - ජාමූඅ ඇප නයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය කොන්දේසි සකස් කරන්න ඔහුගේ වැඩකටයුතු ඉස්මත්තට ගෙන ගියා.

ජයසේකර සහෝදරයා සඳහන් කලා වගේ මේ සා දැවැන්ත මහජන නැගිටීමකට පසු රනිල් වික්‍රමසිංහ මෙ තැනට දමා ගෙන ධනපති පන්තියට තාවකාලික දේශපාලන ස්ථාවරත්වයක් නිර්මානය කරගැනීමට පුලුවන් වූයේ කෙසේ ද යන ප්‍රශ්නය බැරූරුම් ව සිතනමතන කම්කරුවන්ට, තරුනයන්ට මතු වෙනවා.

මේ තත්ත්වය ඇතිවීම අහම්බයක් නොවේ. විපක්ෂයේ සමගි ජන බලවේගය (සජබ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ එය නායකත්වය දෙන ජාතික ජන බලවේගය (ජාජබ), වෘත්තීය සමිති නිලධරය, ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ඇතුලු සංවිධානවල අනුසන්ධානගත, අනුපූරක ක්‍රියාවලියක් ඇතුලෙන් තමයි මහජන අරගලය පාවා දී මෙම තාවකාලික ස්ථාවරත්වය අධිරාජ්‍යවාදීන්ට සහ ඔවුන්ගේ පක්කලි ලංකාවේ ධනපති පන්තියට අත් කරගන්න පුලුවන් වුනේ.

මහජන අරගලයට අවලාද නැගීම්

අරගලය යටපත් කිරීමෙන් පසු අපි දකිනවා, ඊට එරෙහි ව විවිධාකාර අවලාද නැගීම් හා මඩ ගැසීම් සිද්ධ කරනවා.

ගෝල්ෆේස් සහ ජනාධිපති කාර්යාලයේ හිටපු ක්‍රියාකාරීන් ඉවත් කලාට පසු පාර්ලිමේන්තුවේ දී පවත්වපු කතාවේ දි රනිල් වික්‍රමසිංහ මේ අරගලයට සම්බන්ධ වුනු කොටස් හංවඩු ගැසුවේ ෆැසිස්ට්වාදීන් හා ත්‍රස්තවාදීන් හැටියටයි.

මෙම නරුම පහරදීම් අසනවිට, අපිට ප්‍රශ්නයක් එනවා,1983 ඉඳලා වර්ගවාදී යුද්ධයේ රුධිර ස්නානය කල එක් පුද්ගලයෙකු වන රනිල් වික්‍රමසිංහ, ඒ වගේ ම 1987-1990 අතර කාලයේ මහා මර්දනයක් හා භිෂනයක් තුල, බටලන්ද වධකාගාරය පවත්වා ගෙන ගිය බවට චෝදනාවලට ලක්වූ වික්‍රමසිංහ අප මොන නමකින් හැඳින්විය යුතු ද කියා.

මේ තාවකාලික ස්ථාවරත්වය තුල, පසුගිය අවුරුදු දෙකේ හරිබරි ගැහුනු ගෝඨාභය රාජපක්ෂ මේ වසරේ මාර්තු මාසේ පොතක් ලිවුවා ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රනය යන මාතෘකාවෙන්. 2022 මහජන නැගිටීමට මේ පොත තරම් විසකුරු වර්ගවාදී ප්‍රහාරයක් එල්ල කල තවත් ලියවිල්ලක් ඇත්තේ නැති තරම්.

ඔහු කියනවා මගේ පාලන කාලයේ කෝවිඩ්-19 වසංගතය ආවා, තව නොයෙක් ප්‍රශ්න ආවා. ඒත් මම අහිංසක විදියට රට පාලනය කර ගෙන ගියා. ඒ මැද්දෑවේ තමයි මේ අරගලය පැන නැගුනේ, 2019 ඔහු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුනු විට තමන්ට විරුද්ධ ව හිටපු ඉරිසියාකාර ජාතිවාදී කන්ඩායම් තමයි මේ අරගලය සිදු කලේ කියා.

ඔහු මෙසේ සඳහන් කරනවා:

“මා ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමයෝජනා ලැබූ අවස්ථාවේ සිට දෙමල සහ මුස්ලිම් ජනතාවගේ විශාල කොටසක් විදේශගත දෙමල කන්ඩායම් විදේශ අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන සහ විදේශගත ජනතාව විශාල වශයෙන් පදිංචි වී සිටින ඇතැම් රටවල් මා ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත් වීමට එරෙහි ව පෙල ගැසුනි. මා ජනාධිපති වූ පසු රෝමානු කතෝලික පල්ලියේ ඇතැම් කොටස් ද මේ පෙලගැස්මට එකතු විය. මුස්ලිම්වරු සහ රෝමානු කතෝලික පල්ලියේ ඇතැම් කොටස් මෙම පෙලගැස්ම තුලට ගෙන එනු ලැබූ ආකාරය වෙනම ම හැදෑරිය යුතු කරුනකි. මේ සියලු ම කන්ඩායම් මා බලයෙන් නෙරපීමට අවස්ථාවක් එන තුරු බලා සිටියහ.” (ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රනය, පිටුව 9)

මහජන අරගලය පැවති කාලයේ ගෝඨාභය රාජපක්ෂට කටට පන තිබ්බේ නෑ මේ වගේ කතාවක් කියන්න. අවුරුදු දෙකකට පස්සේ තමයි මේ කතාව කියන්නේ.

ලංකාවේ විතරක් නෙවෙයි, ලෝක පරිමාන ව ම මහජනයා දන්න දේ තමයි මේ මහජන අරගලය, තමන්ට ජීවත් වෙන්න බැරි තරමට ම පීඩනයක් එල්ල වූ තත්වයක් තුල පාරට බැස්ස මිලියන සංඛ්‍යාත ජනයාගේ ව්‍යාපාරයක් වූ බව. කම්කරුවන් තරුනයන් ගම්බද දුගීන් වර්ගවාදී භේද කිරීම් නොතකා මේ අරගලයට එක් වුනා. ඔවුන්ගේ කොටස් එක් හඬින් ගෝල්ෆේස් පිටියට එක් වෙලා හිටියා.

අප්‍රේල් 28 වැනි දා සහ මැයි 6 වැනි දා මිලියන ගනනක් සම්බන්ධ වෙච්ච කම්කරු වර්ජන පැවතුනා. වෘත්තීය සමිතිවල සිර කිරීම් නොතකා, දිනපතා විවිධ ක්ෂේත්‍රවලින් කම්කරුවෝ ගෝල්ෆේස් පිට්ටනියට ආවා. එහෙම නැති නම් තමන් ඉන්න ප්‍රදේශවල පෙලපාලි විරෝධතා පැවැත් වූවා. එබඳු මහජන ක්‍රියාකාරිත්වයක් සම්බන්ධයෙන් තමයි රාජපක්ෂ මේ ජඩ ප්‍රකාශය සිදුකර ඇත්තේ.

එම ව්‍යාපාරය පිලිබඳව ලංකාවේ ධනපති පන්තිය විතරක් නොවෙයි, මේ තත්ත්වය සමනය කරන්නේ කෙසේද යන්න ගැනවොෂින්ටනයේ, නවදිල්ලියේ, ලන්ඩනයේ යුරෝපීය මහ නගරවල ධනපති පාලක පන්තීන් බිය පත් වෙලා හිටියා.

නින්දිත අවලාද ව්‍යාපාරයන්ට විරුද්ධ ව සසපත් එහි තරුන ව්‍යාපාරයත් මේ මහජන අරගලය ආරක්ෂා කරනවා.

අපි එම අරගලය එදා ආරක්ෂා කලේත් අද ආරක්ෂා කරන්නේත් එය සංවිධානය කිරීමේ මූලිකත්වය ගත්ත කන්ඩායම්වලට කිසිදු දේශපාලන සහනයක් දෙන්නේ නැතිවයි. ඔවුන්ගේ දේශපාලනයේ පවතින දුර්වලකම් ධනපති පන්තියට, ජාමූඅ සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයට පවතින ලැදිකම් අපි විවේචනය කලා. ඒ සියල්ලට එරෙහි ව සිටිමිනුයි අපි ඒ අරගලය ආරක්ෂා කරන්නේ.

අරගලය යන අතරතුර දී ම, සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර සහෝදරයා 2022 අප්‍රේල් 22 දා, මේ කන්ඩායම් පිලිබඳ ව විවේචනාත්මක විශ්ලේනයක් ඉදිරිපත් කලා 'ශ්‍රී ලංකාවේ ආන්ඩුවට එරෙහිව නැගී ඇති විරෝධතා මුහුන දෙන තීරනාත්මක දේශපාලන ප්‍රශ්න' යන මාතෘකාවෙන්.

පාලක පක්ෂ ගැන හැරුන ම, සජබ සහ ජවිපෙ/ජාජබ ඇතුලු විපක්ෂයේ සිටින සංවිධානවල ක්‍රියාකලාපය ගැන යමක් කියන්න ඕන. මහජනතාවගෙන් ස්වයංසිද්ධ ව අරගලය පැන නැගුනා ම ඔවුන් මේ අරගලය ගැන පුදුමයට පත් ව, තිගැස්සී තමන්ගේ භූමිකාව ඇරඹුවා.

හරියට ම අප්‍රේල් 9 වැනි දා, ගෝල්ෆේස් පිටිය වාඩිලා ගැනීම සිදුවූ දවසේ, ජවිපෙ ප්‍රකාශයක් නිකුත් කරලා තිබුනා අපි මේ වගේ 'අරාජකවාදී' වැඩවලට සම්බන්ධ නෑ. මේ මොකක් වෙනව ද කියල අපි බලන්න ඕන කියලා.

පසුව ජවිපෙත් සජබත් තමන්ගේ ආනුභාවය යටතට මහජන අරගලය නතුකර ගන්න විවිධ වැඩවල යෙදුනා. ඉන් එකක් තමයි, රාජපක්ෂගේ ආන්ඩුව ඉවත්වී, සියලු පක්ෂ එකතු කරගත් 'අන්තර්වාර පාලනයක් ඇතිකිරීමේ' යෝජනාව.

මහජන අරගලය සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවල ක්‍රියාකලාපය කුමක් ද?

මුලදී, වෘත්තීය සමිති මේ අරගලයට කම්කරුවන් සහභාගී විම අවහිර කලා. අපි ලෝසවෙඅ වෙබ් අඩවියේ ලිපියකින් ප්‍රශ්න කලා, වෘත්තීය සමිති මේ අරගලය ගැන නිහඬ ඇයි කියා.

පාලක පන්තිය වගේ ම වෘත්තීය සමිතිත් මේ අරගලයට කම්කරු පන්තිය සහභාගී වීම ගැන භීතියට පත් වෙලා හිටියා; කම්කරු පන්තිය අරගලයට සම්බන්ධ වුවහොත්, ඩයිනමයිට් කරලක සේව නූල පත්තු කලවිට ඇතිවන ආකාරයේ පිපිරීමක් ඇති වන බවත්, ඒ තත්ත්වය තමන්ට පාලනය කර ගන්න බැරිවන බවත් ඔවුන් දැන සිටියා. ඒ නිසා ඔවුන් කම්කරු පන්තිය අරගලයට සම්බන්ධවීම හිතාමතාම වලක්වා ගෙන සිටියා.

වෘත්තීය සමිති නිලධරය නොතකා කම්කරුවෝ මේ අරගල බිම්වලට ආවා. සමහර තැන්වල ස්ට්‍රයික් සටන් ඇති වුනා. කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන් ස්වාධීන ව අරගලයක් දියත් කලා. තවත් තැන්වල ඒ විදියට කම්කරුවෝ එන්න පටන් ගත්තා. කම්කරුවන්ගේ පීඩනය මේ ආකාරයට වැඩි වෙන තත්ත්වයක් තුල, වෘත්තීය සමිති නායකයෝ අප්‍රේල් ර28 සහ මැයි 6 මහ වර්ජන කැඳවන්න තීන්දු කලා. ඒත් ඒවා එක දවසකට සීමා කලා.

අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟය දැවැන්තව වැඩිවන තත්වයක, කම්කරුවන්ගේ දුගින්ගේ සමාජ කොන්දේසි පාතාලයට යන තත්ත්වයක වෘත්තීය සමිති නායකයන් තීන්දු කලා එක දවසයි වර්ජනය කරන්නේ. එතැනින් එහාට නෑ. වෘත්තීය සමිති නායකත්වය වැඩ කලේ ඒ ආකාරයෙන්.

ඒ වර්ජනවලට ඔවුන් ඈඳුවා ධනපති පන්තියට කත් අදින ඉල්ලීම්, සටන් පාඨ. අපි ලෝසවෙඅ 'රාජපක්ෂ ආන්ඩුවට ඉවත්වන ලෙස බලකිරීමට ලක්ෂ සංඛ්‍යාත කම්කරුවෝ මහ වැඩ වර්ජනයට එක්වෙති' යන හිසින් අප්‍රියල් 28 වැනි දා පල කරපු ලිපිය තුල වෘත්තීය සමිති නායකයන්ගේ ක්‍රියාකලාපය පැහැදිලි කරමින් මෙසේ ලීවා:

'ඊයේ වැඩ වර්ජනය කැඳවූ, වෘත්තීය සමිති හා ඒවාට සහයෝගය දෙන සංවිධාන 100ක් ඊයේ නිකුත් කල පත්‍රිකාවක් මෙසේ ප්‍රකාශ කලේ ය: 'එබැවින් වැඩ කරන ජනතාව ලෙස මේ මොහොතේ අප විසින් මෙම අසාර්ථක පාලකයින් ඉවත්කර ජනතා අපේක්ෂා ඉටු කල හැකි ජනතා බලයක් සහිත ආන්ඩුවක් පිහිටුවීමට බලකර සිටිය යුතුය.'”

මැයි 6 වැනි දා පැවැත්වීමට නියමිත වූ වර්ජනය සම්බන්ධයෙන්, 'ලංකාවේ වැඩ වර්ජිත කම්කරුවන් සඳහා ඉදිරි මාවත' යන මැයෙන් සසප මැයි 4 වැනි දා ප්‍රකාශයක් පල කලා. වර්ජනය කැඳවූ එක් වෘත්තීය සමති මධ්‍යස්ථානයක් තමයි වෘත්තීය සමිති හා බහුජන සංවිධාන. එයට වෘත්තීය සමිති ගනනාවක් එක්ක පෙසප කම්කරු අරගල මධ්‍යස්ථානයත් සම්බන්ධ වෙලා හිටියා.

ඔවුන් මෙම වර්ජනයට මැයි 1දා නිකුත් කල පත්‍රිකාවේ මෙසේ සඳහන් කර තිබුනා:

“සමස්ථ රටවැසියන්ගේම දැඩි අප්‍රසාදයට ලක්ව ඇති ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සමගින් වර්තමාන රජය ඉල්ලා අස්වනු; නිශ්චිත කාල සීමාවක් සඳහා අන්තර් කාලීන රජයක් පත් කිරීමට ඉඩ සලසනු; ඉතා කුඩා අමාත්‍ය මන්ඩලයක් පත්කර රටතුල නිර්මානය වී ඇති බරපතල ගැටලු සඳහා ක්ෂනිකව විසඳුම් ලබා දීමට කටයුතු කර රට තුල දේශපාලන ස්ථාවරත්වය ඇති කරනු; විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ජනතා පරමාධිපත්‍ය පාර්ලිමේන්තුව තුලින් ක්‍රියාත්මක කරනු; නිශ්චිත කාල සීමාවක් තුල මහජන මතය තුල රජයක් පිහිටුවීමට හැකිවන පරිදි මැතිවරනයක් පවත්වනු!”.

මේවා තමයි සටන්පාඨ හැටියට ඔවුන් ඉදිරිපත් කලේ. ඒ කියන්නේ පාර්ලිමේන්තු රාමුවට කම්කරුවන් බැඳ තබන සටන්පාඨ. ගෝඨාභය රාජපක්ෂයි මහින්ද රාජපක්ෂයි අස් වෙනවා. ඊට පස්සේ ඉතුරු වෙනවා ශ්‍රීලපොපෙ මන්ත්‍රීවරු ටිකයි, සජබ මන්ත්‍රීවරු හා ජාජබ/ජවිපෙ මන්ත්‍රීවරු තුන් දෙනා හා අනික් දෙමල ධනපති පක්ෂවල මන්ත්‍රීලා. ඔවුන් එකතු කරගෙන, කෙටිකාලීන ව දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරන්න අපි ඔවුන්ගේ ආන්ඩුවක් හදනවා. මේක තමයි ව්‍යාජ-වම්මුත් වෘත්තීය සමිති නිලධරයත් එදා කම්කරු පන්තිය හිර කරන්න යෝජනා කරපු උගුල.

වෘත්තීය සමිති නායකයන්ගේ ආස්ථානය වුනේ මේකයි: කම්කරු පන්තිය මහා වර්ජනයක් නොකල යුතු ව තියෙනවා. කම්කරු පන්තිය තමන්ගේ ඉල්ලීම් උඩ ආන්ඩුවට පාලක පන්තියේ සියලු කොටස්වලට අභියෝග නොකල යුතු ව තියෙනවා. තමන්ගේ අභිප්‍රාය ආරක්ෂා කර ගන්න සුදුසු ආන්ඩුවක් බලය ගේන්න වැඩ නොකල යුතු ව තියෙනවා. වැඩ කල යුතු ව තියෙන්නේ මෙම අපකීර්තිමත්, මහජනයා විසින් ගෙදර යනු කියූ මන්ත්‍රීවරුන්ගෙන්, නායකයන්ගෙන් සැදුම් ලත් අන්තර්වාර ආන්ඩුවක් හදා ගෙන ධනපති පන්ති පාලනය ස්ථාවර කිරීමයි.

මේ විදියේ ඉල්ලීම් උඩ කම්කරුවෝ අරගලයට ඇවිත් අරගලය දිගට ම ගෙන ගියොත් ඇති වන තත්ත්වය කුමක් වෙයිද කියන එක ගැන බියෙන් වෘත්තීය සමිති නායකයන්ගේ කකුල් වෙවුලුවට සැක නෑ. ධනපති පන්තියේ වගේ ම ඔවුන්ගේ, සමිති නායකයන්ගේත්, කකුල් වෙවුලුවා.

පාඩම මොකක්ද? පාඩමක් ගන්න ඕන නැද්ද මෙයින්? කම්කරු පන්තිය, තරුනයන්, සමාජවාදයට ලැදියවුන් මේකෙන් පාඩමක් උකහා ගන්න ඕන නැද්ද?

මේ වෘත්තීය සමිති නායකත්වයන් එක්ක කම්කරු පන්තියට කිසිදු ඉල්ලීමක් දිනා ගන්න බෑ. වෘත්තීය සමිති යකඩ සැට්ටය ඇතුලේ කම්කරු පන්තියට තමන්ගේ වුවමනාකම් සඳහා සටන් කරන්න පුලුවන්කමක් ඇත්තේ නෑ. කම්කරුවන් තමන්ගේ ස්වාධීන සටන් සංවිධාන හදා ගත යුතුයි. සසප අවධාරනය කලේ ඒ කාරනා. මේ වෘත්තීය සමිති නිලධරයට, කිසිදු ධනපති පක්ෂයකට සහ ඒවායේ පන්දම්කාර ව්‍යාජ-වමේ පක්ෂ වන එක්සත් සමාජවාදී පක්ෂය (එසප), පෙසප ඇතුලු කිසිදු සංවිධානයකට ඉඩ නොදී කම්කරුවෝ තමන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු හදා ගන්න ඕන සෑම වැඩපලකම, නිවහන් ප්‍රදේශයකම. අපි මේ කාරනාවයි ක්‍රියාමාර්ගික ලිපිලේඛන තුල ඉදිරිපත් කලේ.

ගම්බද දුගීන් තමන් වටා පෙල ගස්වා ගෙන කම්කරු පන්තිය මූලිකත්වය ගෙන, ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහයෝගය සහිතව කම්කරුවන්ගේ බලය සඳහා අරගලය, එනම්, කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන අරගලය ගෙන යා යුතුයි. මේ පාඩම කම්කරු පන්තිය තුල මුල් බැස ගැනීම අවශ්‍යයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විසකුරු ක්‍රියාකලාපය

මේ ප්‍රතිගාමී බලවේගවලට වාම කවරයක් සම්පාදනය කරමින් ඉතා විසකුරු ම ක්‍රියාකලාපය ඉෂ්ට කලේ පෙසපයි.

ගිය අවුරුද්දේ ජූලි මාසයේ මේ පක්ෂය පොතක් ලිවුවා 'මන්දිර කැලඹූ අරගලය' කියලා. 'පෙසප හි පාවා දීමේ ක්‍රියාකලාපය' යන නම මේ පොතට දැම්මා නම් වඩා හොඳයි.

ගෝල්ෆේස් වාඩි ලා ගැනීම ඇරඹි අප්‍රියල් 9 වැනි දාට දින කීපයකට පස්සේ පෙසප එය තුලට තම ක්‍රියාකාරීන් යැවුවා 'යූත් ෆෝ චේන්ජ්' [වෙනසක තාරූන්‍ය] එකේ ලහිරු වීරසේකර සහ අවිශිබම කැඳවුම්කරු ඇතුලු පිරිස ගෝල්ෆේස් පිටියට රිංගවූවා.

කලින් මේ අරගලයට අරාජකවාදී යැයි කිවු, ජවිපෙ තම සමාජවාදී තරුන සංගමයේ නායකයොත් මෙතෙන්ට රිංගුවා. ඇතුල්වූ දවසේ පටන් පෙසප වැඩපිලිවෙල වුනේ තමන් ගෙන යන ධනපති ගැති වැඩපිලිවෙලට මේ ව්‍යාපාරය මේච්චල් කරලා තම පක්ෂයේ ආනුභාවය යටතට ගැනීමයි.

ගෝල්ෆේස් පිටියේ වාඩිලා ගැනීමේ සංවිධායකවරු කන්ඩායමක් හිටියා, 'මේක නිර්පාක්ෂික අරගලයක්, දේශපාලන පක්ෂවල අය මෙ තැනට එන්න එපා' කියා ගෙන හිටපු. පෙසප මේ කන්ඩායම එක්ක කරේ අත දා ගත්තා.

සසප සහෝදරවරු තම ප්ලැකාඩ් අත්පත්‍රිකා සහිත ව පිකට් කරමින් වාඩිලා ගැනීම තුල දේශපාලනිකව මැදිහත් වුනා. මේ දේශපාලනය එපා කියපු කන්ඩායම වහා ම මැදිහත් වෙලා අපේ සහෝදරවරු ඉවත් කලා.

පෙසප පොතේ සඳහන් කරනවා මහජන අරගලය නිර්පාක්ෂික අරගලයක් හැටියට පැවතීම ලොකු දුර්වලකමක් වශයෙන් තිබුන බව. සසප කන්ඩායම මෙ තැනින් ඉවත් කිරීම අපි ප්‍රසිද්ධියට පත් කලා එය හෙලා දකිමින්. නමුත් පෙසප එම ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාව ගැන කිසි ම හෙලා දැකීමක් කලේ නෑ. ඒ වෙනුවට කලේ එය අනුමත කරලා, තමන්ගේ දේශපාලනය එතැන පතුරුවා ගැනීම සඳහා වැඩකටයුතු ගෙන යාමයි.

ජූලි 5 වැනි දා ගෝල්ෆේස් ප්‍රකාශය කියලා නමකින් මේ සියලු ම කන්ඩායම් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කලා. මන්දිර කැලඹු අරගලය පොතේ තමන්ද සම්බන්ධවී නිකුත් කල ප්‍රකාශය ගැන මෙසේ සඳහන් කරනවා:

“ගාලු මුවදොර ගෝටා ගෝ ගම ක්‍රියාකාරී කමිටුව මැදිහත් වී සාමුහික එකඟතාවය ලබා ගෙන අරගලයේ ඉදිරි දැක්ම ක්‍රියාකාරී සැලැස්ම නමින් එලිදක්වන මෙම පොදු වැඩපිලිවෙල ගෝඨාභය රාජපක්ෂ පලවා හැරීමට ය. එය විවිධ දේශපාලන මතවාද සහිත ව අරගලය තුල එක්සත් ව සිටින ක්‍රියාකාරීන්ගේ පොදු සටන් පාඨය විය. ඉන් අනතුරු ව මාස හයක හෝ අවුරුද්දක කාලයක් ඇතුලත මහ මැතිවරනයක් පැවැත් වීමට ඒ අතරතුර සංක්‍රමනීය කාලය සඳහා අරගලයේ නියෝජිතයන් හා එක් ව පාර්ලිමේන්තුවේ රාජපක්ෂ කල්ලිය සහ අනුයන කන්ඩායම් හැර අනිකුත් සියලු පක්ෂවල සහභාගීත්වයෙන් අන්තර් කාලීන පාලනයක් පිහිටුවීමටත් එම ප්‍රකාශය යෝජනා කලේය. එම අන්තර්කාලීන පාලනය අරගලයේ නියුතු ජනතාවගේ අභිලාෂයන් ඉටු කර ගන්නට කඩිනම් දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරන ප්‍රමානයක් ඉටු කර මහ මැතිවරනයකට යා යුතු බව ද අවධාරනය කෙරෙයි.'

(මන්දිර කැලඹු අරගලය, පිටුව 49)

ජූලි 11 වැනි දා මේ ශාලාවේ දී ම [මහජන පුස්තකාල ශාලාව] සජබ සහ අනෙක් ධනපති පක්ෂවල නායකයන්ට හා වෘත්තීය සමිති නායකයන්ට, පෙසප වෙනුවෙන් දුමින්ද නාගමුව ද සහභාගී වෙලා මේ ප්‍රකාශය පිලිගැන්වූවා. අපි අන්තර්වාර වැඩපිලිවෙලක් දැන් ක්‍රියාවට දාන්න යන්නේ, යයි ඔවුන් අවධාරනය කලා.

අරහෙ මහජන විරෝධතාව නගිනවා. තව දවස් දෙකකින් විතර ගෝඨාභය රාජපක්ෂ පලා යනවා. මේ ගොල්ලො මෙ තැනට ඇවිල්ලා මේ අන්තර්කාලීන ධනපති ආන්ඩුවක් පිහිටු වීම පිලිබඳ ක්‍රියාමාර්ගය ඉදිරිපත් කරනවා. මෙන්න මෙහෙමයි, පෙසප පාවාදීමේ වැඩපිලිවෙල ගියේ.

මන්දිර කැලඹු අරගලය අමුතු වර්ගයක පොතක් මේකෙ තියෙනවා ලෙනින්ගෙන් එංගල්ස්ගෙන් ඔක්කොගෙන් ම උපුට ගත් ඒවා, ග්‍රාම්ස්චිගෙනුත්. ට්‍රොට්ස්කිගෙන් නම් නෑ.

මේ උපුටා දැක්වීම් කොච්චර ද කියනවා නම් අපේ මාලන් සහෝදරයාත් මේක කියවලා බලලා අපි කතා කලා. මේකෙ තියෙනවා එක තැනක ලෙනින්ගෙන් උපුටා දැක්වීම කියලා එකක්, 24 පිටුවේ. අපි අභියෝග කලා ලෙනින් එහෙම කොහෙවත් කියලා නෑ. අපි පුබුදු ජයගොඩට දැනුම් දුන්නා ඔය උපුටාගැනීම ලෙනින්ගේ මොන පොතින් ද ගත්තේ කියලා අපිට දැනුම් දෙන්න කියලා. මාසයක්, මාස එක හමාරක් විතර හෙවුවා. හොයා ගන්න බැරි වුනා. ඊට පස්සේ අපිට දැනුම් දුන්නා ඒක වැරදිලා දාලා තියෙන්නේ. අපි දෙවන මුද්‍රනයේ දී ඒක අයින් කරනවා කියලා. මේක අන්න ඒ විදියේ පොතක්.

“කල යුත්තේ කුමක් ද” කියලා මේ පොතේ පරිච්ඡේදයක් තියෙනවා. ඒකෙ ඉදිරි මාවත කියලා කොටසක් තියෙනවා. එහි මෙසේ සඳහන් වෙනවා. ගිය අවුරුද්දේ [2023] ජූලි මාසේ මේ ලියන්නේ.

“පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඒ සඳහා වන යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. එලෙස ජන අරගලයකින් රනිල් වික්‍රමසිංහ- රාජපක්ෂ පාලනය පලවා හරිනු ලැබූ තත්වයක් තුල පාර්ලිමේන්තුව අහෝසි නොවුනත් එහි ආන්ඩු පක්ෂයට කල හැක්කක් නැත. පාර්ලිමේන්තුව පවතින තත්ත්වයක් යටතේ යථා විසඳුම වන්නේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සියලු පක්ෂ එකතු ව තාවකාලික අන්තර්වාර පාලනයක් පාර්ලිමේන්තුවෙන් පිටත ගොඩ නැගෙන අරගල ව්‍යුහය සමග එක් ව සංක්‍රමනීය ආර්ථික දේශපාලන ප්‍රතිසංස්කරන මාලාවක් ක්‍රියාත්මක කර ඉක්මනින් ම මැතිවරනයක් කැඳවීමයි.' (එම, 241 පිටුව)

ඒ කියන්නේ ඔවුන් ජනසභා හදනවා විවිධ පක්ෂවල කන්ඩායම් එකතු කරලා. මොරටුවේ එකක් තියෙනවා මීගමුවේ එකක් තියෙනවා. අහවල් පාරේ කානු කපනු! මෙන්න මේ විදියේ ඉල්ලීම් සහිත ව මහජනයා එකතු කර ගන්නවා ජනසභාවලට. ඊට පස්සේ ගිල්ලනවා මේ ධනපති ගැති වැඩපිලිවෙල ඔවුන්ට. ඒක තමයි ඔවුන්ගේ උපක්‍රමය.

ඔවුන්ගේ මේ ජනසභා සම්බන්ධයෙනුත් ඉතාමත් ම වැදගත් විශ්ලේෂනයක් අපේ දීපාල් ජයසේකර සහෝදරයා ලියලා තියෙනවා 2023 අප්‍රියල් 22 දා 'ව්‍යාජ-වාම පෙසප 'ජන සභා' සහ පන්ති සහයෝගීතාව ප්‍රවර්ධනය කරයි' යන මාතෘකාවෙන්, සහෝදරවරු එය කියවන්න.

මේ ක්‍රියාමාර්ගය අටවන්නේ සමාජවාදය සඳහා අරගලයට විරුද්ධවයි. පෙසප තම පොතේ මෙසේ සඳහන් කරනවා:

අර්බුදයේ මූල හේතුව පරාද කරන්න විප්ලවීය සමාජ පරිවර්තනයක් ඇති කරන්න ඕන. “අර්බුදයේ මූල හේතුව පරාද කල හැක්කේ එලෙසිනි. ඒ අන් කිසිවක් නොව දේශපාලන ශබ්දකෝෂයේ “සමාජවාදය” ලෙස හඳුන්වන සමාජ පරිවර්තනයයි.

[ දේශපාලන ශබ්දකෝෂයේ ඒක තියෙන්නේ. ව්‍යාපාරයක නෙමෙයි.]

“එම සමාජය බිහි කිරීමේ දිගු කාලීන ඉලක්කය සඳහා ද පුලුල් මහජන ව්‍යාපාරයක් සහ ජනතාවගේ දේශපාලන සක්‍රීයත්වය ද අවශ්‍ය ය. ඒ නිසා වතත්මන් අර්බුදයට කෙටිකාලීන මධ්‍යකාලීන දිගුකාලීන යන කවර වැඩපිලිවෙලක් ගත්ත ද ඒ සියල්ල පතුලේ පවතින්නේ එක ම පදනමකි.” (එම, 242 පිටුව)

කෙසේ වෙතත්, කොටින්ම ඔවුන් කියන්නේ, පතුලේ ම තියන එකට හරි, දිගුකාලීන එකට හරි සටන් කරල වැඩක් නෑ, අන්තර්කාලීන ආන්ඩුවක් හදන්න ම ඕන ධනපති පක්ෂත් එක්ක එකතු වෙලා. ඒකෙන් ස්ථාවරත්වයක් ඇති කර ගන්න ඕන. ඊට පස්සේ මධ්‍යමකාලීන වැඩක් තියෙනවා. අපි තව ව්‍යවස්ථාවක් හදලා තව ධනපති ආන්ඩුවක් ගෙනැල්ලා පාර්ලිමේන්තුව පිටින් ජනසභා කියන එකෙන් ඉල්ලනවා අරක ඕන මේක ඕන කියලා.

ඉතින් මේ පාර්ලිමේන්තුව හරහා මධ්‍යමකාලීන ව තව කාලයක් යනවා, ඊට පස්සේ තමයි අර දිගුකාලීන මාර්ගය එන්නේ. මේ වැඩපිලිවෙල හොඳයි රනිල් වික්‍රමසිංහ ඇතුලු අන්ත ප්‍රතිගාමී කන්ඩායම්වලට කම්කරු පන්තියට විරුද්ධ ව ප්‍රතිවිප්ලවය සූදානම් කිරීම සඳහා කාලය ලබල දෙන්න.

මාක්ස්ගේ ලෙනින්ගේ පොත්වලින් කෑල්ලක් උපුටලා දැක්වූවට මාක්ස්වත් කවුරුවත් නෙමෙයි මේ ගොල්ලන්ගේ න්‍යායාචාර්යවරු. නයෝමි ක්ලයින්, යානිස් වරුෆාකිස් මේ ගොල්ලෝ තමයි මේ පක්ෂයේ න්‍යායාචාර්යවරු.

මේ පොතෙත් තියනවා ඔය නයෝමි ක්ලයින් ඉදිරිපත් කරපු ෂොක් ඩොක්ට්‍රින් [Shock Doctrine- The Disaster Capitalism] නමැති පොත ගැන. මේ ලඟ දී 1971 අප්‍රියල් කැරැල්ල සමරන අවස්ථාවේ පුබුදු ජයගොඩ දීර්ඝ වශයෙන් ඒ සම්බන්ධයෙන් කතා කලා. ඒ ෂොක් ඩොක්ට්‍රින් තියරි එකට අනුව ධනපති පන්තිය මොකක් හරි මහා ව්‍යසනයකට මුහුන දෙනවා, යුද්ධ වෙන්න පුලුවන්, මහ කුනාටු වෙන්න පුලුවන් තවත් මොනා හරි දේවල් වෙන්න පුලුවන්. ඉන් පසු ධනපති පන්තියට කෙසේ හෝ පුලුවන් වෙනවා මේ ක්‍රමය ඇතුලේ තමන්ගේ පැවැත්ම රැක ගන්න පියවර ගන්න. අන්න ඒකට අනුගත වෙන වැඩපිලිවෙලක් හදා ගන්න තමයි අපි ක්‍රියා කරන්න ඕන.

පෙරේදා, [ජූනි 2] මේ ශාලාවේ කල්ප රාජපක්ෂ, පුබුදු ජයගොඩ, සුමිත් චාමින්ද සහ තවත් අය කථිකයන් ලෙස සම්බන්ධ වෙච්චරැස්වීමක් පැවැත්වුනා. රැස්වීම පැවැත්වුනේ පරිවර්තිත පොතක් එලිදක්වන්න. මේක පෙසප විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ පරිවර්තනයක්. එහි නම, “දුවට කියන කතාවක්”. ඒක ලියලා තියෙන්නේ යානිස් වරුෆාකිස්, “ටෝකිං ටු මයි ඩෝටර්' නමින්.

රැස්වීමේ කතා කල පුබුදු ජයගොඩ සඳහන් කලා වරුෆාකිස් සිරිසා ආන්ඩුව හදන්න සහභාගී වුනත්, පස්සේ අයිඑම්එෆ් වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට සහභාගී වීම ප්‍රතික්ෂේප කරලා ඉල්ලා අස් වෙලා ගියා. වරුෆාකිස් කියන කෙනා මේ වගේ අයිඑම්එෆ් එකටත් විරුද්ධව ගිය කෙනෙක්!

2015 ජූනි 27 වැනි සෙනසුරාදා බ්‍රසල්ස් හි පැවති යුරෝ සමූහ මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීමකදී ග්‍රීක මුදල් අමාත්‍ය යානීස් වරුෆාකිස් , දෙවන වමේ, ලන්දේසි මුදල් ඇමති සහ යුරෝ සමූහයේ සභාපති ජෙරොන් ඩයිසො බ්ලොම් සමඟ අතට අත දෙයි. [AP Photo/Virginia Mayo] [AP Photo/Virginia Mayo]

වරුෆාකිස් යනු කවරෙක් ද? ඔහු තමන්ව හඳුන්ව ගන්නේ “මම ඉරැටික් මාක්සිස්ට්” කියලා. ඒ කියන්නේ, මම කිසිම සංගත බවක් නැති, අසංගත මාක්ස්වාදියෙක්, මම අන්න එහෙම එක්කෙනක්.

ඔහු සිරිසා බලයට ගේන්න ක්‍රියා කලා. 2015 ජනවාරි 26 වැනි දා ආන්ඩුව බලයට ආවට පස්සේ මුදල් ඇමතිකම ගත්තා‍. 2015 ජූලි 7 වැනි දා ඉල්ලා අස් වුනා. මොක ද, ජූලි 5 වැනි දා ග්‍රීසියේ තිබ්බ ජනමත විචාරනයක් යුරෝපීය සංගමයේ සහ ජාමූඅ ඉදිරිපත් කල රුදුරු කප්පාදු ක්‍රියාමාර්ගය ක්‍රියාවට දැමීමට කැමති ද නැද්ද කියන එක සම්බන්ධයෙන්. සිරිසා නායක සිප්‍රාස් කල්පනා කලා මේක ක්‍රියාවට දැම්මට කමක් නැති බව ප්‍රකාශ කරමින් මහජනයාගෙන් 'යස්' වෝට් එකක් හම්බු වෙයි කියල.

නමුත් මේ ඡන්දයේ දී ඔහුට ලැබුනේ සම්පූර්නයෙන් ම ඒක ප්‍රතික්ෂේප කරපු වෝට් එකක්. ඊට පස්සේ යානිස් වරුෆාකිස් මේ විරුද්ධ ව ඡන්දය දුන්න අයට නායකත්වය දෙනවා නෙමෙයි වහා ම ඉල්ලා අස් වෙලා යුරෝපයට පලා ගියා.

ඔහු හදා ගෙන තියෙනවා සංවිධානයක් ඩිමොක්‍රැසි ඉන් යුරෝපීයන් මූමන්ට්-2025 (Democracy in European Movement-2025) නමින්. ඒකෙන් කියන්නේ යුරෝපයේ රටවල් ඔක්කොම ප්‍රජාතන්ත්‍රවාදී විදියට එකතු වෙලා එක සමූහයක් හැටියට හදා ගන්න ගෙනයන ව්‍යාපාරයක්. ඒ විදියේ ධනපති ක්‍රියාමාර්ගයක් තමයි ඒකට තියෙන්නේ. වරුෆාකිස් යුරෝපයට ගියේ මේ ව්‍යාපාරය පන ගැන්වීමට.

මේ සංවිධානය හැටියට, 2017 ප්‍රංශ මැතිවරනයේ දී ඔහු ප්‍රංශ අධිරාජ්‍යවාදය වෙනුවෙන් පෙනිසිටි එමානුවෙල් මැක්‍රොන් අපේක්ෂකයාට ඡන්දය දීමේ ආස්ථානයක් ගත්තා. වරුෆාකිස් එරට ඉන්න අනික් විවිධාකාර ව්‍යාජ-වාම සංවිධානවලට දෝෂාරෝපනය කලා මැක්‍රොන්ට ඡන්දය දෙන්න පෙල ගැසෙන්නේ නෑ, ස්වාධීන ව ඡන්දය ඉල්ලනවා කියලා. වරුෆාකිස් කියන්නෙ අන්න එහෙම පුද්ගලයෙක්.

ඔහුව තමා මෙතැන ගෙනැල්ලා පුබුදු ජයගොඩ හා අනෙකුත් අය වරුෆාකිස්ගෙ දේශපාලන කැතකුනු හෝදලා ප්‍රකාශ කරන්නෙ එයා ජාමූඅ විරුද්ධ ව හිටි කෙනෙක්, ඔහුගේ පොතිනුත් ගන්න දේවල් තියෙනවා. ඒක නිසා කම්කරුවන්ට මේක ලබලා දෙන්න ඕන කියල ඔවුන් කල්පනා කලබව.

මම හිතන්නේ නෑ මෙතන ඉන්න කිසිදු සහෝදරයෙකුට පෙසප ගැන මිත්‍යාවක් තියෙනවා කියලා. නමුත් මෙතන ඉන්න සහෝදරවරු, අපි කම්කරුවන්ට පැහැදිලි කල යුතු ව තියෙනවා, “වීදියේ අරගලයකින් ප්‍රශ්න විසඳනවා, මහ පාරේ අරගල දියත් කරනවා,” මේ විදියේ පූච්චානම් කතා කියන පෙසප ධනපති ගැති දක්ෂිනාංශික ව්‍යාජ-වාම පක්ෂයක්. ඒක නෑකම් කියන්නේ දකුනට ගියපු ස්ටැලින්වාදී පක්ෂයකට. ඔවුන් [ස්ටලින්වාදීන්] එදා ප්‍රකාශ කලේ, දැන් ප්‍රජාතන්ත්‍රවාදය ඇති කර ගන්නවා, අනාගතයේ කවදා හරි දවසක සමාජවාදය ඇති කර ගන්නවා කියල.

මේ පක්ෂයට, මේ පූච්චානම් කතාවලට රැවටෙන්න එපා, විද්‍යාත්මක සමාජවාදය උඩ පදනම් වුනු පක්ෂයක් ඕන. ඒ පක්ෂය සමාජවාදී සමානතා පක්ෂයයි. හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, එහි ප්‍රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය. ඒක කියවන්න කියලා අපි කම්කරුවන්ට කියනවා.

මහජන අරගලය තුල සසප දේශපාලන මැදිහත්වීම

මම කලින් සඳහන් කලා වගේ අද මේ රැස්වීම පවත්වන්නේ 2022 අරගලය පාදක කර ගෙනයි, මේ දක්වා අවුරුදු දෙකක් ගතවී තියෙනවා, මේ කාලය තුල ලංකාව තුලත් ජාත්‍යන්තරවත් කම්කරු පන්තිය ලබා ගත් අත්දැකීම් සම්භාරයක් තියෙනවා. එම අත්දැකීම් උඩ සන්නද්ධ වෙලා ඉදිරියේ එලඹෙන අරගලවලට කම්කරු පන්තිය සූදානම් කරවීම මේ රැස්වීමේ අරමුනයි.

අපේ ප්‍රවිශ්ටය හැම විටම ජාත්‍යන්තරවාදී ප්‍රවිශ්ටයක්. 2022 අරගලය දැක්කෙත් ඒ ආකාරයටයි. ජයසේකර සහෝදරයා සඳහන් කලා වගේ අපි මේ අරගලය දැක්කේ ජාත්‍යන්තර ව දිග හැරෙන පන්ති අරගලයේ කොටසක් හැටියට. එය අවුලුවනු ලැබුවේ ගෝලීය වර්ධනයන් විසින්. කෝවිඩ්-19 වසංගතය ගෝලීය ධනවාදයට ඇති කල අර්බුදය අනික් හැම රටකට ම වගේ ලංකාවටත් බලපෑවා.

සැපයුම් දාම බිඳ වැටුනා. ලංකාවේ අපනයන ආනයන ඇන හිටියා. කෝවිඩ්-19 ලොක්ඩවුන් කොන්දේසි තුල සංචාරක කර්මාන්තය බිඳ වැටුනා. ඉතාමත් දරුනු තත්ත්වයක් ලංකාව තුල ඇතිවුනා. 2022 පෙබරවාරි මාසයේ රුසියාව යුක්‍රේනය ආක්‍රමනය කලා. ඒ ආක්‍රමනයට රුසියාව තල්ලු වුනේ නේටෝව සහ ඇමරිකාව රුසියාවට එරෙහි ව ගෙන ගිය දිර්ඝකාලීන ප්‍රකෝපකරනයන් මැද.

රුසියාවේ මේ ආක්‍රමනය අපි කිසිසේත් ම අනුමත කරන්නේ නෑ. ඒක ප්‍රතිගාමියි. නමුත් යුක්‍රේනය හරහා රුසියාවට එරෙහි ව අවුලුවන ලද යුද්ධය අන්තිම බරපතල ආකාරයට ගෝලීය වශයෙන් බලපෑවා. එය ක්ෂනික ව ලංකාවට ඉන්ධන ගෙන ඒම ඇතුලු ප්‍රශ්න මතු කලා. 2022 මුල ඉඳලා අතිශයෙන් ම ගැඹුරු වන අර්බුදයකට ලංකාවේ ධනපති පන්තිය මුහුන දුන්නා. කම්කරු පන්තිය මතට කඩාපාත් කලේ ඒ අර්බුදයේ බරයි.

අනිකුත් රටවල වගේ ම ලංකාවේත් දැවැන්ත මහජන නැගිටීම් ගෝලීය අර්බුදයේ ප්‍රතිඵල හැටියට මතු වෙනවා. උදාහරනයක් හැටියට අපි ගත්තොත් 1953 හර්තාලය පැන නැගීමට තුඩු දුන්නේ කොරියානු යුද්ධය අවසන් වෙලා උත්පාතයේ බිඳ වැටීමේ බර කම්කරුවන් සහ දුගීන් මත පැටවීමට එරෙහිව.

සසප සහ අපේ තරුන සංවිධානය මහජන අරගලය ඇතුලේ මැදිහත් වුනේ, දීර්ඝකාලීනව කම්කරු පන්තිය ස්වාධීන විප්ලවවාදී ක්‍රියාමාර්ගයක් මත බලමුලු ගැන්වීම සඳහා ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය මත ගෙන ගිය අරගලය වර්ධනය කරමින්.

අරගලය පැන නගින්න පොරාතුව ම, මෙ වැනි පිපිරීමක් පෙර දකිමින් සසප ප්‍රකාශන ගනනාවක් ලියා තිබෙනවා. නව වැනි දා ගෝල්ෆේස් වාඩිලා ගැනීමට දින දෙකකට පෙර අපි මේ ප්‍රකාශය නිකුත් කලා: “ශ්‍රී ලංකාවේ රාජපක්ෂ ආන්ඩුව පෙරලා දමනු! විධායක ජනාධිපති ධූරය අහෝසි කරනු! කප්පාදුව සහ කුසගින්න එපා! සියල්ලන්ට ආහාර, ඉන්ධන සහ ඖෂධ සුරක්ෂිත කර ගැනීමට සමාජවාදී ක්‍රියාමාර්ගයකට සටන් කිරීමට ක්‍රියාකාරී කමිටු ගොඩනගනු!'

අපි එම ප්‍රකාශයේ මෙහෙම ලිවුවා:

“සමාජවාදී සමානතා පක්ෂය (සසප) “ගෝඨා යා යුතුයි!” යනුවෙන් වැඩකරන ජනයා කරන ඉල්ලීම් සමග එකට සිටගනී. එහෙත් ඔහු ව විස්ථාපනය කරන්නේ කුමකින් ද? [මේ සටන් පාඨය නගපු අය මේ පැනය මතු කලේ නෑ.]

රාජපක්ෂ ව ඉවත් කිරීම ඉල්ලා සිටීම පමනක් ප්‍රමානවත් නැත. ඔහු වනාහි, දිවයින පුරා කම්කරුවන් හා ගොවීන් සූරාකෑමට හා දුගී භාවයට ඇදහෙලමින් ධනපති පන්තියේ ධනය හා අවශ්‍යතා සුරක්ෂිත කිරීමට සංවිධිත වන, දූෂිත හා ප්‍රතිගාමී ජනාධිපති රාජ්‍ය පද්ධතියක වර්තමාන අසික්කිත මුහුනත්තහඩුව පමනි.”

අපි මේ ප්‍රකාශයෙන් සංක්‍රමන වැඩපිලිවෙලක් ඉදිරිපත් කලා:

සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරනු! ජාත්‍යන්තර බැංකු හා මූල්‍ය ආයතන නියෝජනය කරන ජාමූඅ හා ලෝක බැංකුවේ කප්පාදු නියෝගයන් ප්‍රතික්ෂේප කරනු!

බිලියනපතියන්ගේ හා සංගතවල යෝධ ධනය අත්පත් කරගනු!

දුගී හා ආන්තික ගොවීන්ගේ සහ කුඩා ව්‍යාපාර හිමියන්ගේ සියලු නය අහෝසි කරනු! ගොවීන්ගේ පොහොර සහනාධාර ඇතුලු සියලු සහනාධාර යලි ලබා දෙනු!

ශිෂ්ට සම්පන්න හා ආරක්ෂිත වැඩ කොන්දේසි සහිත ව සියලු දෙනාට රැකියා සහතික කරනු! ජීවන වියදම් දර්ශකයට අනුව ඉහල යන වැටුප්!

අපි එම ප්‍රකාශය අවසාන කලේ මේ විදියට:

“ශ්‍රී ලංකාවට සමාජවාදී විප්ලවයක් අවශ්‍ය වෙයි. ඒ සඳහා විප්ලවවාදී නායකත්වයක් අත්‍යවශ්‍යය. පසුගිය ශතවර්ෂයේ සමස්ත ඉතිහාසය ම ප්‍රදර්ශනය කර ඇත්තේ, විප්ලවවාදී පක්ෂයකින් තොර වූ විට, කම්කරු පන්තියේ වඩාත් ම සටන්කාමී හා අධිෂ්ටානවත් අරගල පවා අනිවාර්යයෙන් පරාජය වී, ප්‍රතිවිප්ලවයට හා රුදුරු මර්දනයට මාවත විවෘත කරන බවයි.”

අපි මේ ක්‍රියාමාර්ගය අතැතිවයි, ඉදිරි මාස කීපය ඇතුලේ මේ අරගලය තුල මැදිහත් වුනේ. ධනපති ආන්ඩුවට, ධනපති විරුද්ධ පක්ෂවලට, ව්‍යාජ-වම්මුන්ට, වෘත්තීය සමිති නිලධරයන්ට විරුද්ධ ව අරගලය අපි තීව්‍ර කලා. ඒ සම්බන්ධ ව ලියපු ලිපි ලේඛන සහෝදරවරු කියවීම වැදගත්. අපි ඒ ලිපි ලේඛන ලිවුවා විතරක් නෙවෙයි. අපි ඒ අරගලය ඇතුලේ කම්කරුවන් සමග සාකච්ඡා කලා. කම්කරුවන් මෙහෙයවා ගෙන විවිධ තැන්වල මැදිහත් වීම් සිද්ධ කලා. අපි ඇතැම් තැන්වල පෙලපාලි පිකට් කිරීම් සංවිධානය කලා. මෙයාකාරී ක්‍රියාශීලි මැදිහත් වීමකින් අපි අපේ අරගලය ඉස්මත්තට ගත්තා.

මේ සියලු අත්දැකීම් කැටි කරලා අරගෙන අපි ක්‍රියාමාර්ගය අලුත් මට්ටමකට වර්ධනය කලා. හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ නායක සහෝදරවරුත් සසප හිටපු ප්‍රධාන ලේකම් අභාවප්‍රාප්ත විජේ ඩයස් සහෝදරයාත් සම්බන්ධ වෙලා අපේ නායකත්ව කන්ඩායමත් සමග අපි ඉතාමත් බලගතු ක්‍රියාමාර්ගික ඉදිරිදර්ශනාත්මක ලියවිල්ලක් කම්කරුවන් හා තරුනයන් ඉදිරියේ තැබුවා. එම ක්‍රියාමාර්ගය නම්: 'කම්කරුවන්ගේ සහ ගම්බද දුගීන්ගේ සමාජවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී සම්මේලනයක් සඳහා' මේ ඉදිරිපත් කරලා තියෙන ඉදිරිදර්ශනය සම්බන්ධ අරගලය අපි එතැනින් එහාට තව දුරටත් කම්කරු පන්තිය අතර වර්ධනය කරල ඉදිරියට ගෙනාවා.

මෙය ජාත්‍යන්තරව කම්කරු පන්තිය ලබපු මූලෝපායික අත්දැකීම් කැටිකර කම්කරු පන්තිය සඳහා සකස් කරපු ලියවිල්ලක්. අපි 1917 රුසියාවේ සමාජවාදී විප්ලවය, ඒකට මග පාදපු ක්‍රියාමාර්ගය, එනම්, ලියොන් ට්‍රොට්ස්කි ඉදිරිපත් කරන ලද නොනවතින විප්ලවයේ ඉදිරිදර්ශනය සහ ක්‍රියාමාර්ගය, මේ ලියවිල්ලේ ඇතුලේ සාකච්ඡා කරනවා.

2011 පෙබරවාරියේ ඊජිප්තුවේ කයිරෝ නුවර තාහීර් චතුරස්‍රයේ ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවෝ (ඒපී ඡායාරූප/ ටාරා ටොඩ්‍රාස්-වයිට්හිල්)

එය, 2011 ඊජිප්තුවේ පැන නැගි මහජන අරගලය ගැන සාකච්ඡා කරනවා. ලියවිල්ල තුල අපි එය මෙසේ සඳහන් කලා:

“මෙම තීරනාත්මක සන්ධිස්ථානයේ දී, 2011 අසාර්ථක වූ ඊජිප්තු විප්ලවයේ පාඩම්, ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය සඳහා තීරනාත්මක වැදගත්කමක් දරයි. 2011 ආරම්භයේ දී, යෝධ මහජන නැගිටීමක් පුපුරා ගිය අතර, එය සති ගනනක් ඇතුලත, හොස්නි මුබාරක්ගේ දශක ගනනක් පැවති මිලිටරි ආඥාදායකත්වය පෙරලා දැමුවේ ය. එහෙත් කම්කරු පන්තිය ස්වාධීන පන්ති ඉදිරි දර්ශනයකින් සන්නද්ධ නො වී සිටි නිසා, මහජන ව්‍යාපාරය මත ආධිපත්‍යය දැරුවේ, ධනපති පාලනයට එරෙහිව එන කවර හෝ අභියෝගයකට කටුක ලෙස විරුද්ධ බලවේග වූ ධනපති විපක්ෂය හා විවිධාකාර ධනවත් මධ්‍යම පන්තික කොටස් ය. ඔවුන්ට, “ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් විවෘත කිරීමේ” නාමයෙන්, කෙටි කලක් පැවති ධනපති මුස්ලිම් සහෝදරත්වයේ ආන්ඩුවට ද ඉන්පසුව මිලිටරියේ ඊනියා “ලිබරල්” කොටස්වලට ද සහයෝගය ඉල්ලා සිටි, විප්ලවීය සමාජවාදීන් වැනි ව්‍යාජ-වාම කන්ඩායම් ද ඇතුලත් විය.”

අපි බලගතු ක්‍රියාමාර්ගයක් මේ ප්‍රකාශය ඇතුලේ කෙටුම්පත් කලා. කම්කරු පන්තිය සහ ගම්බද දුගීන් තමන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතු ව තියෙනවා. ඒවයේ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් සමාජවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී සම්මේලනයක් ගොඩනැගිය යුතු ව තියෙනවා කම්කරුවන්ගේ සහ දුගීන්ගේ බල කේන්ද්‍රයක් හැටියට. එම බල කේන්ද්‍රය සටන් වැදිය යුතු ව තියෙනවා සංක්‍රමන ඉල්ලීම්වලට. එම සටන සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාවට දමන කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවකට ඉඩ සලසනවා ඇති. මේ ක්‍රියාමාර්ගයට සටන් කිරීම අපි ඉදිරිපත් කලා.

අපි සඳහන් කලා මේ අරගලය ලංකාවේ කම්කරු පන්තියට තනියෙන් කරන්න පුලුවන් කමක් නෑ. ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග තමන්ගේ එකමුතුව ගොඩනගා ගත යුතු ව තියෙනවා. ඒ හරහා පමනයි සාර්ථක වූ සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගයක් ලංකාවේ කම්කරු පන්තියට ඉස්මත්තට ගන්න පුලුවන් වෙන්නේ.

පසුගිය අවුරුදු දෙක ඇතුලේ සනාථ වෙලා තියෙන්නේ මේ ක්‍රියාමාර්ගයට සටන් කිරීමේ දැවෙන අවශ්‍යතාවයි. අපි දැන් එලඹිලා තියෙන්නේ ඉතාමත් ම වේගයෙන් වෙනස් වන ලෝක වර්ධනයන්ට. අධිරාජ්‍යවාදී අර්බුදය වැඩි දියුනු වෙනවා. විශේෂයෙන් එක්සත් ජනපදය ප්‍රමුඛ වෙලා නේටෝ බලයන් එක්ක යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව ගෙන යන යුද්ධය වඩා පලල් වන ගැඹුරු වන තත්ත්වයකට යන කොන්දේසි නිර්මානය වෙනවා. එක්සත් ජනපදය සහ නේටෝ බලයන් තමන් යුක්‍රේනයට දුන්න දිගු දුර විදින්න පුලුවන් මිසයිල රුසියාවේ නගරවලට ඉලක්ක කරන්න ඔවුන් අවසර දීලා තිබෙනවා. එවැනි ක්‍රියාවක් නිශ්චිත ව උද්ගත කරනවා ඇත්තේ මේ මුලු ග්‍රහලෝකය ම විනාශ වෙලා යන න්‍යෂ්ටික යුද්ධයක් පුපුරා ඒමට.

මේ යුද සූදානම කම්කරු පන්තිය මත දැවැන්ත බරක් පටවනවා ඇති. එය, කම්කරු පන්තියේ අරගල බරපතල ආකාරයකින් මතු කරන්න දියුනු ධනපති රටවල විතරක් නොවෙයි සෑම රටකම කම්කරු පන්තියේ බරපතල ආකාරයෙන් පුපුරා යන්න කොන්දේසි සූදානම් කරනවා.

එක්සත් ජනපදයේ සහ නේටෝවේ පිටුබලය ඇති ව ගාසාවේ අන්තිම තිරශ්චීන යුද්ධයක් නෙතන්යාහු ආන්ඩුව ගෙන යනවා. 40000ට අධික ජනයා මරලා දාලා. එම යුද්ධයත් අධිරාජ්‍යවාදීන් ගෙන යන මෙම යුද ව්‍යායාමයේ ම කොටසක්.

අධිරාජ්‍යවාදීන්ගේ අවසාන ඉලක්කය වශයෙන් තියෙන්නේ චීනය ඩැහැ ගැනීම. අධිරාජ්‍යවාදීන්ගේ මේ සියලු යුද සැලසුම් ලෝක කම්කරු පන්තියට දැවැන්ත කර්තව්‍යයක් මතු කරනවා. ලෝක යුද්ධය කරා යන මේ විනාශය නතර කරන්න?

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඊයේ පල වුනා, හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශයක් යුද තර්ජනයට එරෙහි ව ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සම්බන්ධයෙන්, එය හදාරන ලෙසටමම සහෝදරවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙම ජාත්‍යන්තර වර්ධනයන් ලංකාවේ සහ අනික් සෑම රටක ම කම්කරු පන්තියේ පැන නගින අරගලවලට නව මානයක් අත් කර දෙනවා. අප කම්කරුවන්ගේ වැටුප් සහ ජීවන කොන්දේසි රැක ගැනීම් සම්බන්ධ කාරනා සම්බන්ධයෙන්, එම ප්‍රහාර උත්සන්න කරමින් නැගෙන යුද තර්ජනයට විරුද්ධ ව කම්කරු පන්තිය ජාත්‍යන්තර ව බලමුලු ගැන්වීමේ අරගලය ඉස්මත්තට ගතයුතු යි.

ලෝක යුද්ධයට විරුද්ධ ව ජාත්‍යන්තර කම්කරු පන්තියේ ස්වාධීන සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමට හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව කැඳවුම් කරලා තියෙනවා. දැන් මේ සියල්ල ම අපේ අරගලය සමග බද්ධවූ කර්තව්‍යයන්. ලංකාවේ කම්කරු පන්තියට ජයග්‍රහනයන් අත් කර හැකි වන්නේ ජාත්‍යන්තර පරිමාන ව මේ අරගලයට සම්බන්ධ වීම තුලින්.

හජාජාක, සසප, සසජාතශි, ලෝසවෙඅ පමනයි මේ ක්‍රියා මාර්ගය සඳහා සටන් කරන්නේ. අප මේ අරගලයේ යෙදෙන නිසා ම අපේ සහෝදරයෙකු වන යුක්රේනයේ බොග්ඩාන් සයිරොටියුක් යුක්‍රේනයේ සිරගත කරලා තියෙනවා. ඔහු ජාත්‍යන්තර කමිටුවට සම්බන්ධ බොල්ෂෙවික් ලෙනින්වාදී තරුන රැකවලුන් ව්‍යාපාරයේ යුක්‍රේනයේ නායකයෙක්. ඔහු, යුක්‍රේනයේ සහ රුසියාවේ කම්කරු පන්තිය මේ යුද්ධයට එරෙහි ව ජාත්‍යන්තර කම්කරු පන්තිය සමාජවාදී පිලිවෙත් මත නැගී සිටිය යුතු යැයි කියන සටන ඉදිරියට ගෙන යන තත්වයක් ඇතුලෙයි බොරු චෝදනා නගලා ඔහු සිරගත කර තිබෙන්නේ. ඔහුට මරන දඬුවමට සමාන දඬුවම් පනවන්න ඉඩ තියෙනවා.අපේ ව්‍යාපාරය ජාත්‍යන්තර ව ම ඔහු නිදහස් කර ගැනීම සඳහා අරගලයක යෙදී ඉන්නවා.

මේ සියල්ල ලංකාව ඇතුලේ කම්කරු පන්තිය සහ තරුනයන්ගේ සමාජවාදයට ලැදි සියලු දෙනා ගේ අරගලයට සම්බන්ධයි. සසප අපි 2022 පාඩම් උකහා ගන්නේ මෙම නව ලෝක තත්වයට සහ ඉන් කලඹනු ලබන ලංකාවේ පන්ති අරගල තත්වයට කම්කරුවන් තරුනයන් සූදානම් කරවීම සඳහා ඊට අවශ්‍ය විප්ලවවාදී නායකත්වය ගොඩනගන්න. මේ අරගලයට සම්බන්ධවීම සඳහා සසපට තවමත් බැඳි නොමැති සහෝදරවරුන්ගෙන් අපේ පක්ෂයට බැඳෙන්න කියා මම ඉල්ලා සිටිනවා.

Loading