ට්‍රොට්ස්කිවාදයේ ශත සංවත්සරය පිලිබඳ ලන්ඩන් රැස්වීමට ඉදිරිපත් කල වාර්තාව

ගාසා තීරයේ ජන සංහාරය: අධිරාජ්‍යවාදය අගාධයට කිඳා බසී

[මෙය Genocide in Gaza: Imperialism descends into the abyss යන මැයෙන් 2023 නොවැම්බර් 19 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

පහත පලවන්නේ, ලියොන් ට්‍රොට්ස්කි සහ විසිඑක්වන සියවසේ සමාජවාදය සඳහා අරගලය පිලිබඳ ජාත්‍යන්තර දේශන මාලාවක කොටසක් ලෙස, සෙනසුරාදා, ලන්ඩන් විශ්ව විද්‍යාලයේ බර්ක්බෙක් හි පැවති රැස්වීමකට, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් ඉදිරිපත්කරන ලද වාර්තාවයි. මෙම දේශනය, ගාසා තීරයේ අධිරාජ්‍යවාදී-සියොන්වාදී ජන සංහාරයට එරෙහි වත්මන් අරගලය සම්බන්ධයෙන් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පදනම් වන මූලධර්ම පැහැදිලි කරයි.

විවෘත ලිපිය සහ ජාත්‍යන්තර කමිටුවේ මූලාරම්භය

මෙම සතියට වසර හැත්තෑවකට පෙර, 1953 නොවැම්බර් 16 දින, එවකට එක්සත් ජනපදයේ ට්‍රොට්ස්කිවාදී සංවිධානය වූ සමාජවාදී කම්කරු පක්ෂයේ (සකප) ද මිලිටන්ට් පුවත්පතෙහි “ලෝකය පුරා ට්‍රොට්ස්කිවාදීන්ට ලිපියක්” පල විය. පක්ෂයේ ජාතික කමිටුව වෙනුවෙන් නිකුත් කරන ලද එම විවෘත ලිපියේ කතුවරයා වූයේ, සකප, 63 හැවිරිදි ජාතික සභාපති වූ ජේම්ස් පී. කැනන් ය.

එක්සත් ජනපදයේ කොමියුනිස්ට්-විරෝධී නීති හේතුවෙන් සමාජවාදී කම්කරු පක්ෂය නිල වශයෙන් හතරවන ජාත්‍යන්තරයට අනුබද්ධ වී නොතිබුනි. මෙම ප්‍රායෝගික සීමා සහිත බව තිබියදීම, කැනන්ගේ දේශපාලන අධිකාරිය පාදක වූයේ, 1928 දී ජාත්‍යන්තර වාම විපාර්ශවය පිහිටුවීමේ දී ඔහු ඉටු කල තීරනාත්මක භූමිකාව, හතරවන ජාත්‍යන්තරය සඳහා අරගලයේ දී සහ 1938 සැප්තැම්බර් මාසයේ එහි ආරම්භක සම්මේලනය සූදානම් කිරීමේ දී ට්‍රොට්ස්කි සමග ඔහුගේ සමීප සහයෝගීතාවය, 1939-40 දී මැක්ස් ෂැට්මන්, ජේම්ස් බර්න්හැම් සහ මාර්ටින් ඇබර්න්ගේ සුලු-ධනේශ්වර සංශෝධනවාදී ප්‍රවනතාවයට එරෙහිව ට්‍රොට්ස්කි විසින් මෙහෙයවන ලද අරගලය තුල ඔහුගේ කේන්ද්‍රීය භූමිකාව, සහ, 1940 අගෝස්තුවේ ට්‍රොට්ස්කි ඝාතනයෙන් පසුව, දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිගාමී වාතාවරනය තුල සහ සීතල යුද්ධයේ ආරම්භක වසර තුල, ඔහු විසින්, හතරවන ජාත්‍යන්තරයේ වැඩපිලිවෙලේ උරුමය අනම්‍ය ලෙස ආරක්ෂා කිරීම මත ය.

ජේම්ස් පී. කැනන්

එහෙත් 1953 දී, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ සාරභුත පදනම් වැඩපිලිවෙල ප්‍රතික්ෂේප කිරීමට යෝජනා කල මයිකල් පැබ්ලෝ සහ අර්නස්ට් මැන්ඩෙල් විසින් නියෝජනය කරන ලද, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර ලේකම් කාර්යාලයේ බලගතු සංශෝධනවාදී ප්‍රවනතාවයකට කැනන් මුහුන දුන්නේය. පැබ්ලෝගේ සංශෝධනවාදයේ කේන්ද්‍රීය මූලිකාංග වූයේ, ස්ටැලින්වාදයේ ප්‍රතිවිප්ලවවාදී ස්වභාවය සහ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීමේ ඉදිරිදර්ශනය පිලිබඳ ට්‍රොට්ස්කිගේ අවධාරනය ප්‍රතික්ෂේප කිරීමයි. පැබ්ලෝ සහ ඔහුගේ අතවැසියෙකු වූ මැන්ඩෙල්, හතරවන ජාත්‍යන්තරයේ ශාඛාවන්, මහජන ස්ටැලින්වාදී පක්ෂවලට හෝ යම් රටක බලවේගවල තුලනය මත, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී, ධනේශ්වර ජාතිකවාදී සහ සුලු-ධනේශ්වර රැඩිකල් ව්‍යාපාර තුලට දියකර හැරීම වෙනුවෙන් පෙනී සිටියේය.

එක්සත් ජනපදය තුල, පැබ්ලෝගේ අනුගාමිකයෝ, “පැරනි ට්‍රොට්ස්කිවාදය වීසිකර දමනු” යන බැනරය යටතේ මෙම දියකරහැරීම්වාදී වැඩසටහන ඉදිරියට ගෙන ගියහ. ඔවුන්, කැනන් සහ සකපයේ කෘතහස්ත නායකත්වය 'කෞතුක භාන්ඩ' ලෙස සමච්චලයට ලක් කලේ, 'සාධර්මික ට්‍රොට්ස්කිවාදය' ආරක්ෂා කිරීම දේශපාලනිකව අනුචිත බව පවසමිනි. පැබ්ලෝ යෙදී සිටියේ හුදු වාග් සංග්‍රාමයක නොවේ. හතරවන ජාත්‍යන්තරයේ ට්‍රොට්ස්කිවාද-විරෝධී කන්ඩායම් සංවිධානය කිරීමට සහ හතරවන ජාත්‍යන්තරය ස්වාධීන විප්ලවවාදී ව්‍යාපාරයක් ලෙස පැවතීම දියකර හැරීම සඳහා ඔහු ගෙනගිය ක්‍රියාවන්ට විරුද්ධ වූ පුද්ගලයන් සහ සමස්ත ශාඛාවන් පවා නෙරපා හැරීමට ඔහු ජාත්‍යන්තර ලේකම් කාර්යාලයේ තම තනතුර භාවිතා කලේය.

හතරවන ජාත්‍යන්තරයට එරෙහි පැබ්ලෝගේ යුද්ධයට යටින් පැවති දේශපාලන සංකල්පය වූයේ, ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනයට පටහැනිව, ස්ටැලින්වාදය බලගතු විප්ලවවාදී බලවේගයක් ලෙස පැවතියේය යන ඔහුගේ සංකල්පයයි. මහජනතාවගේ පීඩනයට ප්‍රතිචාර දක්වමින්, ගෝලීය න්‍යෂ්ටික යුද්ධයක කොන්දේසි යටතේ, ස්ටැලින්වාදීන්ට බලය ගැනීමට බල කෙරෙනු ඇත. මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලය වනු ඇත්තේ, ශතවර්ෂ කිහිපයක කාලයකට පසුව, කෙසේ හෝ සමාජවාදී සමාජ බවට පරිනාමය වන “විකෘති කම්කරු රාජ්‍යයන්” නිර්මානය වීමයි.

මෙම විකාර ඉදිරිදර්ශනය සැලකිය යුතු අනුගාමිකයින් පිරිසක් ආකර්ෂනය කර ගත් බවට, දෙවන ලෝක සංග්‍රාමයෙන් ඉක්බිති හතරවන ජාත්‍යන්තරය තුල වර්ධනය වූ දේශපාලන අවමංගත භාවය පමනක් නොව, රැඩිකල් වාම දේශපාලනයේ නියැලී සිටින වඩ වඩාත් ධනවත් හා දේශපාලනිකව ස්වයං-විඥාත සිටින සුලු-ධනේශ්වරයේ වැඩෙන බලපෑම ද සාක්ෂි දරයි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පදනම් වන මූලධර්ම

කැනන් විසින් නිකුත් කල, පසුව 'විවෘත ලිපිය' ලෙස ප්‍රසිද්ධියට පත් ලේඛනය, හතරවන ජාත්‍යන්තරය ආරක්ෂා කිරීමේ තීරනාත්මක දේශපාලන මුලපිරීමක් විය. අතිමහත් දේශපාලන අත්දැකීම් උකහා ගනිමින්, කැනන්, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ පදනම් මූලධර්ම සංක්ෂිප්තව සාරාංශගත කලේය. ඔහු මෙසේ ලිවීය:

1. ධනේශ්වර ක‍්‍රමයේ මර ලතෝනිය, එන්ට එන්ට ම දරුනු වන අවපාත, ලෝක යුද්ධ හා ෆැසිස්ට්වාදය බඳු ම්ලේච්ඡ ප‍්‍රපංච මගින් ශිෂ්ටාචාරය විනාශ වී යාමේ තර්ජනය ඉස්මතු කරයි. අද දින න්‍යෂ්ටික ආයුධවල වර්ධනය හැකි බැරෑරුම් ම ආකාරයට මෙම අනතුර අවධාරනය කරයි.

2. අගාධයට කිඳා බැසීම වැලැක්විය හැකි වනුයේ, සමාජවාදයේ සැලසුම් ගත ආර්ථිකයෙන් ධනේශ්වර ක‍්‍රමය ලෝක පරිමානව විස්ථාපනය කිරීමෙන් හා ධනේශ්වර ක‍්‍රමය විසින් එහි මුල් දිනවල ආරම්භ කෙරුනු ප‍්‍රගතියේ සර්පිලාකාර ගමන යලි පටන් ගැනීමෙනි.

3. මෙය සාක්ෂ්‍යාත් කර ගත හැකි වනුයේ, සමාජයෙහි විප්ලවවාදී පන්තිය වන කම්කරු පන්තියේ නායකත්වය යටතේ පමනි. කම්කරුවන්ට බලයේ මාවත ගැනුම සඳහා, අද තරම්, අන් කිසිදාක සමාජ බලවේගවල ලෝක සම්බන්ධතාව යහපත් නොවූවත්, කම්කරු පන්තිය ම නායකත්වය පිලිබඳ අර්බුදයකට මුහුන දෙයි.

4. මෙම ලෝක ඓතිහාසික අරමුන සපුරා ගනු වස් තමන් සංවිධාන වනු පිනිස, සෑම රටක ම කම්කරු පන්තිය, ලෙනින් විසින් වර්ධනය කෙරුනු ආකාරයේ විප්ලවීය සමාජවාදී පක්ෂයක් ගොඩනැංවිය යුතු ය: එනම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මධ්‍යගත භාවය අපෝහකාත්මකව සංයෝජනය කිරීමෙහි සමත් වන ප්‍රහාරක පක්ෂයකි—එනම්, තීන්දුවලට එලඹීමෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදයත්, ඒවා ක‍්‍රියාත්මක කිරීමෙහි මධ්‍යගත භාවයත්. අනුගාමිකත්වය විසින් පරිපාලනය කෙරෙන නායකත්වයක්, වෙඩිසැර හමුවෙහි ද විනය ගත ආකාරයට පෙරට යාමෙහි සමත් අනුගාමිකත්වයක් සහිත පක්ෂයකි.

5. මෙයට පවත්නා ප‍්‍රධාන බාධකය ස්ටැලින්වාදය යි. රුසියාවේ 1917 ඔක්තෝබර් විප්ලවයෙහි කීර්තිය ගසා කමින් එය කම්කරුවන් ආකර්ෂනය කර ගන්නේ, හුදෙක් පසු ව, කම්කරුවන්ගේ විශ්වාසය පාවා දෙමින් ඔවුන් එක්කෝ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තුරුල්ලට, උදාසීනත්වයට, ඇද දැමීමට හෝ ආපසු ධනේශ්වර ක‍්‍රමය පිලිබඳව ම මිථ්‍යාවන්ට ඇද හෙලීමට ය. ෆැසිස්ට් හෝ රාජාන්ඩුවාදී බලවේගයන්හි තහවුරු වීමේ රූපාකාරයෙන් හා ධනේශ්වර ක‍්‍රමය විසින් පෝෂනය කොට සූදානම් කෙරෙන අලුත් යුද පිපිරුම්වල රූපාකාරයෙන් කම්කරු පන්තිය, මෙම පාවාදීම්වලට වන්දිය ගෙවයි. හතරවන ජාත්‍යන්තරය එහි ආරම්භයේ පටන් ම තමන්ගේ ප‍්‍රධාන කර්තව්‍යයන්ගෙන් එකක් බවට පත් කර ගත්තේ, සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමය තුලත්, ඉන් බැහැරත් ස්ටැලින්වාදය විප්ලවීය අයුරින් පෙරලා දැමීම යි.

6. හතරවන ජාත්‍යන්තරයේ බොහෝ කන්ඩායම් ද එහි ක‍්‍රියා මාර්ගයට හිතපක්ෂපාතී පක්ෂ හෝ කන්ඩායම් ද හමුවෙහි නම්‍ය උපායන් උදෙසා පවතින අවශ්‍යතාව විසින්, ස්ටැලින්වාදයට යටත් නොවී, අධිරාජ්‍යවාදයටත් (ජාතිකවාදී සංයුතීන් හෝ වෘත්තීය සමිති නිලධරයන් බඳු) එහි සියලුම සුලුධනපති ආයතනවලටත්, අනෙක් අතට අධිරාජ්‍යවාදයට යටත් නොවී (අවසාන විග‍්‍රහයේ දී අධිරාජ්‍යවාදයේ සුලුධනේශ්වර ඒජන්සියක් වන) ස්ටැලින්වාදයටත්, විරුද්ධව සටන් කල යුත්තේ කෙසේ දැයි ඔවුන් විසින් දැන ගනු ලැබීම වඩාත් ම අනිවාර්ය භාවයට පත් කෙරේ.

ලියොන් ට්‍රොට්ස්කි විසින් තහවුරු කෙරුනු මෙම මූලික මූලධර්ම වර්තමාන ලෝකයෙහි එන්ට එන්ට ම වඩවඩා සංකීර්න හා ද්‍රවශීලී වන දේශපාලනය තුල පූර්න වලංගුභාවය රඳවා ගෙන සිටී. සත්තකින් ම, ට්‍රොට්ස්කි විසින් පෙර දකිනු ලැබුනු පරිදි සෑම අතින් ම විවෘත වන විප්ලවීය අවස්ථා එක්තරා කාලයක් සමකාලීන ජීවමාන යථාර්ථය හා සමීපස්ථ වසයෙන් නො බැඳුනු එක්තරා දුරකට දුරස්ථ, වියුක්තයක් සේ පෙනී යාමට අවකාශ පැවති දේවලට, පූර්න සංයුක්ත භාවයක් අත්පත් කර දී ඇත්තේ දැන් ය. සත්‍යය නම්, මෙම මූලධර්ම, දේශපාලන විශ්ලේෂනයෙහි හා ප‍්‍රායෝගික ක‍්‍රියාකාරීත්වයෙහි ගමන් මග නීර්නය කිරීමෙහි දැන් වැඩෙන බලයකින් යුතු ව පිහිටා සිටීම යි.

එය ප්‍රකාශයට පත්කිරීමෙන් හැත්තෑ වසරකට පසුවත්, විවෘත ලිපිය, වත්මන් දේශපාලන තත්වය සහ ජාත්‍යන්තර කමිටුව විසින් නායකත්වය දෙන හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයන් සම්පින්ඩනය කර දක්වමින් එහි පරිපූර්න අදාලත්වය රඳවා තබා ගනී. න්‍යෂ්ටික අවි භාවිතය සහ ෆැසිස්ට් ම්ලේච්ඡත්වයේ අන්තරාය පිලිබඳ කැනන් ගේ අනතුරු ඇඟවීම් 1953 ට වඩා අදට කාලෝචිත ය.

කැපී පෙනෙන එක් ප්‍රධාන වෙනසක් නම්, සෝවියට් සංගමය තවදුරටත් නොපැවතීමත්, මහජන ස්ටැලින්වාදී පක්ෂ අතුගෑවී ගොස් තිබීමත් ය. ඇත්ත වශයෙන්ම, ස්ටැලින්වාදයේ ප්‍රතිගාමී පන්ති සහයෝගිතාවාදී, ජාතිකවාදී සහ සමාජවාද-විරෝධී දේශපාලනය නව දේශපාලන මුහුනුවරවල් වලින් පවතින තාක් දුරට, කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරයට එය නියෝජනය කල බාධාව පහව ගොස් නැත.

කම්කරු පන්තිය තවමත් වෘත්තීය සමිති නිලධරයන්ගේ සහ ලේබර්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සහ 'හරිත' ලේබලය අලවා ගන්නා ප්‍රතිගාමී සංවිධානවලත්, නිමක් නැති වාම, ධනේශ්වර හා සුලු ධනේශ්වර ජාතිකවාදී පක්ෂ සහ සංවිධානවලත් ක්‍රමානුකූල හා සංවිධානාත්මක ද්‍රෝහීත්වයට මුහුන දෙයි—ඒවායින් බොහොමයක මූලාරම්භය වන්නේ, හතරවන ජාත්‍යන්තරයේ වැඩපිලිවෙල පැබ්ලෝවාදී පදනමක සිට ප්‍රතික්ෂේප කිරීම යි. විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳිය යුතුව තිබේ.

ලියොන් ට්‍රොට්ස්කි වාම විපාර්ශ්වයේ සාමාජිකයන් සමඟ

එහෙත්, ඔක්තෝබර් විප්ලවයේ උරුමය හා වැඩපිලිවෙල, ස්ටැලින්වාදය සමග ව්‍යාජ හා දේශපාලනික වශයෙන් ව්‍යාකුල ලෙස අනන්‍ය කිරීම් වල කිසිවක් ඉතිරිව නැත. වාම විපාර්ශ්වය පිහිටුවීමත් සමග සියවසකට පෙර ට්‍රොට්ස්කි විසින් ආරම්භ කරන ලද අරගලය ද, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලෝක විප්ලවවාදී දේශපාලන ඉදිරිදර්ශනය ද මහජන ස්ටැලින්වාදී ව්‍යාපාරයේ බිඳවැටීම මගින් සනාථ කරනු ලබා තිබේ. ලෝක ධනේශ්වර ක‍්‍රමයේ වත්මන් ජාත්‍යන්තර අර්බුදය තුල මේවා අතිමහත් අර්ථභාරයක් දරන දේශපාලන කරුනු වේ.

අගාධයට කිඳා බැසීම: ගාසා තීරයේ ජන සංහාරය

අප අද හමුවන්නේ ගාසා තීරයේ දිගහැරෙන ජන සංහාරය මැද ය. විවෘත ලිපිය අනතුරු ඇඟවූ 'අගාධයට කිඳා බැසීමේ' යථාර්තකරනය මෙයයි. මාක්ස් ලියූ පරිදි, ධනවාදය ඓතිහාසිකව මතු වූයේ “හිසේ සිට දෙපතුල දක්වා, සෑම රෝමකූපයක් පාසාම, ලේ සහ ජරාව නාගෙන ය.” එහෙයින් එය අවසන් වනු ඇත්තේද එලෙසින්මය.

සියලුම අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පූර්න සහයෝගය ඇතිව ඊස්රායල පාලන තන්ත‍්‍රය විසින් සිදු කරනු ලබන කුරිරුකම් පිලිබඳ දිනපතා දකින්නට ලැබෙන දර්ශන වලින්, ලොව පුරා සිටින බිලියන සංඛ්‍යාත ජනයා කෝපාවිෂ්ටව සිටිති. එක්සත් ජනපදය හා එහි නැටෝ සහචරයින් විසින් තම යුද්ධ සාධාරනීකරනය කිරීම සඳහා යොදාගත් 'මානව හිමිකම්' පිලිබඳ—සාමාන්‍යයෙන් 'මානුෂීය මැදිහත්වීම්' ලෙස විස්තර කරන—සියලු කුහක ආයාචනා මුලුමනින්ම හෙලිදරව් වී, අපකීර්තියට පත්ව තිබේ.

එක්සත් ජනපදයේ බයිඩන්, කැනඩාවේ ටෘඩෝ, බ්‍රිතාන්‍යයේ සුනක්, ප‍්‍රන්සයේ මැක්‍රොන්, ජර්මනියේ ෂෝල්ස්, ඉතාලියේ මෙලෝනි ආදී සෑම අධිරාජ්‍යවාදී නායකයෙක්ම නෙතන්‍යාහුගේ හවුල්කරුවන් ලෙස සමූහ ඝාතනයට මුලුමනින්ම සම්බන්ධ ය. යුද අපරාධ නඩු විභාග පැවැත්වීමට නියමිතව තිබුනේ නම්, ඇතැම් නාසි නායකයින් නූර්න්බර්ග් හිදී හාස්‍යජනක ලෙස උත්සාහ කල පරිදි, ඊස්රායලයේ සියොන්වාදී තන්ත‍්‍රය විසින් සිදු කරනු ලබන කුරිරුකම් ගැන තමන් නොදැන සිටි බව ඔවුන්ට කියා පෑමට නොහැකි වනු ඇත. ඔවුන් මෙම අපරාධ ගැන දැනුවත්ව සිටිනවා පමනක් නොව, ඔවුහු ඒවා සාධාරනීකරනය කරමින් වැලඳ ගනිති.

2023 ඔක්තෝබර් 18 බදාදා ටෙල් අවිව්හි බෙන් ගුරියන් ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිනීමෙන් පසු, ඊස්රායල අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු විසින් ජනාධිපති ජෝ බයිඩන් පිලිගනු ලැබේ. [ඒපී ඡායාරූපය/ඉවාන් වුචි] [AP Photo/Evan Vucci]

නොවැම්බර් 16 වන විට ගාසා තීරයේ, අවම වශයෙන් ලමුන් 4,710 ක් ද ඇතුලුව 11,500 දෙනෙකු මරනයට පත්ව ඇති බව‍ තහවුරු වී ඇත. දැන් පලස්තීන දරුවන් මරාදැමීමේ රේට්ටුව 21 වැනි සියවසේ වෙනත් ඕනෑම ගැටුමකට වඩා විශාල ය. මීට අමතරව, තුවාල ලබා ඇති පලස්තීනුවන් 29,800 කට වැඩි පිරිසක් ද එයට එකතු කල යුතුය. සන්නිවේදන පහසුකම් අහිමි ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය මියගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාව ගනනය කිරීම නවතා දමා තිබේ. ඔක්තෝබර් 7 වැනිදා පටන්, ඊස්රායල ප්‍රහාරවලින් දිනකට සාමාන්‍යයෙන් ගාසා තීරයේ වැසියන් 320 ක් ඝාතනය වී ඇත. එම අනුපාතය අද දක්වාම පැවතියේ නම් මියගිය සංඛ්‍යාව 13,000 ඉක්මවීමට ඉඩ තිබේ. මෙම සමස්තයෙන් අඩකට වඩා කාන්තාවන් සහ ලමුන් ය. ගාසා තීරයට පොකුරු බෝම්බ හෙලීමෙන් උතුරු ගාසාවේ නිවාසවලින් සියයට 40 ක් විනාශ වී හෝ හානිය පත්වී ඇති අතර එහි සෞඛ්‍ය සේවා, ආහාර බෙදා හැරීම් සහ ජල පිරිපහදු පද්ධති සුනුවිසුනු කර ඇත; පැහැදිලිවම ඒවා ජාත්‍යන්තර නීතිය යටතේ යුද අපරාධයන් ය. ඊස්රායල හමුදා යාන්ත්‍රනයේ ප්‍රචන්ඩත්වය ප්‍රධාන වශයෙන් ගාසා තීරයේ ජනතාවට එරෙහිව එල්ල කර ඇති අතර, හමුදාව සහ ෆැසිස්ට් පදිංචිකරුවන් විසින් බටහිර ඉවුරේ පලස්තීනුවන් දල වශයෙන් 175 දෙනෙකු ඝාතනය කර තිබේ.

ඊස්රායල ප්‍රහාරයේ ජන සංහාරක ස්වභාවය ගැන ප්‍රශ්නයක් නැත. එය ඊස්රායල නායකයන්ගේ සුපැහැදිලි ප්‍රකාශවලින් සනාථ වේ. ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටමාර් බෙන් ග්විර් ප්‍රකාශ කර ඇත්තේ හමාස් සංවිධානයට සහාය දක්වන ඕනෑම අයෙකු 'තුරන් කල යුතු' බවයි. නෙතන්‍යාහුගේ සභාග හවුල්කරුවෙකු සහ ඊස්රායලයේ උරුමයන් පිලිබඳ අමාත්‍ය අමිහායි එලියාහු පැවසුවේ ගාසා තීරයට න්‍යෂ්ටික බෝම්බයක් හෙලීම විකල්පයක් ලෙස පැවතිය යුතු බවයි. මෑතක් වන තුරුම ඊස්රායලයේ තොරතුරු අමාත්‍යවරයා වූ ගැලිට් ඩිස්ටෙල් ඇට්බර්යන් 'මුලු ගාසා තීරයම මිහිතලයෙන්' මකා දමා එහි ජනතාව ඊජිප්තුවට පිටුවහල් කරන ලෙස ඉල්ලා සිටියේය.

ඔක්තෝබර් අවසානයේ, තමා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස්ගේ නිව් යෝර්ක් කාර්යාලයේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස් වන විට, ක්‍රේග් මොකිබර් ප්‍රකාශ කලේ: “මෙය ජන සංහාරය පිලිබඳ සම්භාව්‍ය උදාහරනයකි. පලස්තීනයේ යුරෝපීය, වාර්ගික-ජාතිකවාදී, විජිතවාදී පදිංචිකරුවන්ගේ ව්‍යාපෘතිය විසින් ස්වදේශික පලස්තීන ජීවිතයේ අවසාන නටබුන් ද කඩිනමින් විනාශය කරා ගෙනයාම, එහි අවසන් අදියරට පිවිස ඇත. එපමනක්ද නොව, එක්සත් ජනපදයේ, එක්සත් රාජධානියේ සහ යුරෝපයේ බොහෝ ආන්ඩු මෙම බිහිසුනු ප්‍රහාරයට මුලුමනින්ම හවුල් ය.” එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ කොමසාරිස් වොල්කර් ටර්ක් ජිනීවාහිදී ප්‍රකාශ කලේ, “මානුෂීය අගයන් පිලිබඳව පැවතිය යුතු අතිශය මූලික ගෞරවය බිඳවැටී ඇත. බොහෝ සිවිල් වැසියන් ඝාතනය කිරීම සිතාමතා සිදු නොකල හානියක් ලෙස බැහැර කල නොහැක.”

2023 නොවැම්බර් 1 වැනි බදාදා, උතුරු ගාසා තීරයේ, ජබාලියා සරනාගත කඳවුරට එල්ල කරන ලද ඊස්රායල ගුවන් ප්‍රහාර වලට ඉලක්ක වූ ගොඩනැගිලිවල සුන්බුන් අතර පිරිසක් සැරිසරද්දී මිනිසෙක් ගල් කැබලි මත වාඩි වී සිටී. (ඒපී ඡායාරූප/අබෙඩ් කලීඩ්)

අල්-ෂිෆා රෝහල අල්ලා ගැනීමෙන් හමාස් සංවිධානය විසින් සිය හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස එය භාවිතා කිරීම හෙලිදරව් කරනු ඇතැයි පවසමින් නෙතන්‍යාහු තන්ත‍්‍රය ඊට එල්ල කල ප්‍රහාරයෙන් සිදුවූයේ, මනුෂ්‍යත්වයට එරෙහි ඊස්රායලයේ අපරාධ පිලිබඳ තවත් සාක්ෂි ලබා දීම පමනි.

අධිරාජ්‍යවාදයේ යුද ඝෝෂාව: “සටන් විරාමයක් එපා”

සිවිල් ජනතාවට එරෙහිව මුදාහරින අසීමිත ප්‍රචන්ඩත්වය පිලිබඳ ප්‍රතික්ෂේප කල නොහැකි දෛනිකව ඇසින්දුටු සාක්ෂි හමුවේ, අධිරාජ්‍යවාදී බලවතුන් සටන් විරාමයක් සඳහා වන ඉල්ලීම්වලට නැවත නැවතත් දැඩි ලෙස විරුද්ධ වී ඇත. 'සටන් විරාමයක් එපා' යන්න ඊස්රායල පාලන තන්ත්‍රයේ සහචරයින්ගේ මිනීමරු යුද ඝෝෂව බවට පත්ව ඇත. ඒ වෙනුවට, එක්සත් ජනපද ආන්ඩුවේ සහ එහි නැටෝ සහචරයින්ගේ අන්වර්ථ නාම පිලිබඳ විශේෂඥයින් විසින් 'මානුෂීය විරාමය' යන වාක්‍ය ඛන්ඩය නිර්මානය කර ඇත—එය ඊස්රායල හමුදා විසින් ආයුධ නැවත පිරවීම සහ ඉලක්ක නැවත ක්‍රමාංකනය කිරීම විස්තර කිරීමේ අපූරු යෙදුමකි.

ඊස්රායල ආන්ඩුව සහ එහි අධිරාජ්‍යවාදී ආධාරකරුවෝ, ඔක්තෝබර් 7 දා හමාස් සංවිධානය විසින් දියත් කරන ලද ප්‍රහාරයට යුක්තිසහගත ප්‍රතිචාරයක් ලෙස ජන සංහාරක ව්‍යාපාරය සාධාරනීයකරනය කරති. එදින සිදු වූ සිදුවීම් පිලිබඳව විධිමත් පරීක්‍ෂනයක් සිදු කර නොමැති බව අපි මුලින්ම පෙන්වා දෙමු. විපතට පත්වූවන්ට ජීවිත අහිමි වූ ආකාරය ගැන තබා, මරන සංඛ්‍යාව පිලිබඳවවත් නිශ්චිත ගනන් කිරීමක් නොමැත. ඊස්රායල හමුදාවේ දැවැන්ත ප්‍රතිප්‍රහාරවල ප්‍රතිඵලයක් ලෙස කොපමන සංඛ්‍යාවක් මිය ගියාද යන්න හෝ හමාස් සංවිධානය අතින් කොපමන ඊස්රායල වින්දිතයන් මිය ගියාද යන්න පිලිබඳව විශ්වාසදායක තොරතුරු නොමැත. එපමනක් නොව, ගාසා තීරයට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා කඩතුරාවක් සොයමින් සිටි නෙතන්‍යාහු ආන්ඩුව, හමාස් සංවිධානය විසින් යම් ආකාරයක මෙහෙයුමක් සැලසුම් කරමින් සිටින බවට අඟවන බුද්ධි තොරතුරු හිතාමතාම නොසලකා හැරියේද යන්න පිලිබඳ ප්‍රශ්න, පිලිතුරු නොලැබුනු ප්‍රශ්න අතර වේ. නෙතන්‍යාහු තන්ත‍්‍රය, ඊස්රායල තුලට සිදුකල ආක්‍රමනයේ පරිමානය අපේක්ෂා නොකල බව නිසැක විය හැකි නමුත්, ගාසා තීරය සහ බටහිර ඉවුර පුරා ක්‍රියාත්මක වන ඊස්රායල ඔත්තු සේවා, හමාස් සංවිධානයේ බලගතු හමුදා මෙහෙයුමක් සඳහා සූදානම් වීම මුලුමනින්ම නොතකා හැර සිටි බව විශ්වාස කිරීම අපහසුය.

නිසැකවම, තවත් තොරතුරු මතුවනු ඇත. එහෙත් ඔක්තෝබර් 7 දා සිදු වූ දෙයට ගැලපෙන ප්‍රතිචාරයක් ලෙස තම වර්තමාන ක්‍රියාවන් යුක්ති සහගත කිරීමට ඊස්රායල පාලන තන්ත‍්‍රය දරන උත්සාහය මූලික වසයෙන් රැවටිලිකාර වන අතර, කෙලින්ම කිවහොත්, ඒවා අතර සම්බන්ධයක් නොමැති තරම් ය. හමාස් සංවිධානය විසින් දියත් කරන ලද ප්‍රහාරයට යුක්තිසහගත පලිගැනීමක් ලෙස ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරය සාධාරනීකරනය කිරීමට එය ගන්නා උත්සාහය, පීඩිතයන්ගේ ප්‍රතිරෝධය තලා දැමීම සාධාරනීකරනය කිරීමට පීඩකයින් විසින් ඉතිහාසය පුරා භාවිතා කරන තර්ක මිස අන් කිසිවක් නොවේ.

පසුගිය මාසයේ මිචිගන් විශ්ව විද්‍යාලයේ දී මා කල දේශනයකින් උපුටා දැක්වීමට අවසර දෙන්න:

බොහෝ අහිංසක මිනිසුන් මියයාම ඛේදනීය සිදුවීමකි. එහෙත් ඛේදවාචකය මුල් බැස ඇත්තේ වෛෂයික ඓතිහාසික සිදුවීම් තුල සහ එවැනි සිදුවීම් නොවැලැක්විය හැකි දේශපාලන තත්වයන් තුල ය. සෑම විටම මෙන්, පාලක පන්තීන් නැගිටීමට හේතු වූ සියලු සැඳහුම් වලට විරුද්ධ වේ. ඔවුන්ගේ සමූලඝාතන සහ ඔවුන් නිර්දය ලෙස මුලසුන හොබවන සමස්ත ලේවැකි මර්දන පද්ධතිය ගැන සඳහන් නොකල යුතුය.

සියොන්වාදී පාලන තන්ත‍්‍රය විසින් දශක ගනනාවක් පුරා ගෙනගිය පීඩනය, පුපුරන සුලු කෝපය ලෙස විදාරනය වීමට තුඩු දුන් බවට යමෙකු පුදුම විය යුත්තේ ඇයි? එය අතීතයේ සිදු වූ අතර, මිනිසුන් පීඩාවට හා ම්ලේච්ඡත්වයට පත් කරන තාක්කල්, අනාගතයේදී ද සිදුවනු ඇත. දරුනු කැරැල්ලකදී, තමන්ගේම ජීවිත අවිනිශ්චිත ලෙස තුලාවක එල්ලෙමින් පවතින විට, පීඩාවට පත් වූවන්, තම වධකයන්ට මුදු මොලොක් ලෙස ආචාරශීලීව සලකනු ඇතැයි අපේක්ෂා කල නොහැක. එවැනි කැරලි බොහෝ විට කුරිරු හා ලේ වැකි පලිගැනීමේ ක්‍රියාවලින් සලකුනු වේ.

බොහෝ උදාහරන මතකයට නැඟේ: ඉන්දියාවේ සිපෝයි කැරැල්ල, අලුත් පදිංචිකරුවන්ට එරෙහිව ඩැකෝටා ඉන්දියානුවන්ගේ නැගිටීම, චීනයේ බොක්සර්වරුන්ගේ කැරැල්ල, නිරිතදිග අප්‍රිකාවේ හෙරෙරෝස් සහ වඩාත් මෑත කාලවලදී, කෙන්යාවේ මාවු මාවු නැගිටීම. මේ සෑම අවස්ථාවකදීම, කැරලිකරුවන් හදවතක් නැති මිනීමරුවන් සහ යක්ෂයන් ලෙස හෙලා දකින අතර, ම්ලේච්ඡ පලිගැනීම්වලට ලක් විය. ඔවුන් නිදහස් සටන්කාමීන් ලෙස ප්‍රමාද වී ගෞරවාදරයට පාත්‍ර වීමට, ශත වර්ෂයක් හෝ ඊට වැඩි කාලයක් නොවේ නම්, දශක ගනනාවක් ගත විය යුතුව තිබුනි.

යුද්ධයට සහ මර්දනයට කඩතුරාවක් ලෙස ත්‍රස්තවාදී සිදුවීම් යොදා ගැනීම

ආන්ඩුවක දේශපාලන අරමුනු සාක්ෂාත් කර ගැනීම සඳහා ත්‍රස්තවාදී සිදුවීමක් කඩතුරාවක් ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් උදාහරන ගනනාවක් මතකයට නැඟේ. 1914 දී ඔස්ට්‍රෝ-හංගේරියානු රාජාන්ඩුව, සර්බියාවට පිලිගත නොහැකි අවසාන නිවේදනයක් නිකුත් කර පසුව යුද්ධයට යාම සඳහා, එහි ආදිපාදවරයා සරජේවෝහිදී ඝාතනය කිරීමෙන් ලබා දුන් අවස්ථාව ප්‍රයෝජනයට ගත්තේය.

1938 නොවැම්බරයේදී, 17 හැවිරිදි පෝලන්ත ජාතික හර්ෂල් ග්‍රින්ස්පන් නමැති පැරීසියේ ජීවත් වූ සරනාගතයෙක්, ජර්මානු රාජ්‍ය තාන්ත්‍රික බලකායේ සාමාජිකයෙකු වූ අර්නස්ට් වොන් රත් ඝාතනය කලේය. ඔහු මෙම ක්‍රියාව සිදු කලේ නාසි පාලනයේ කුරිරු යුදෙව් විරෝධී ප්‍රතිපත්තිවලට විරෝධය දැක්වීම සඳහාය. මෙම තරුනයාගේ මංමුලා සහගත ක්‍රියාව 'ක්‍රිස්ටෝල්නැච්' (Kristallnacht) නමින් ජර්මනිය පුරා ප්‍රචන්ඩ යුදෙව් විරෝධී සංහාරයක් දියත් කිරීමට නාසීන් විසින් ඩැහැගන්නා ලදී. යුදෙව්වන් 100 කට වැඩි පිරිසක් ඝාතනය කරන ලද අතර 30,000 ක් අල්ලාගෙන වධක කඳවුරුවලට යවන ලදී. සිනගෝග (යුදෙව් ආගමික ස්ථාන - පරිවර්තක) 300 කට ආසන්න ප්‍රමානයක් විනාශ කල අතර යුදෙව්වන්ට අයත් වෙලඳ ව්‍යාපාර දහස් ගනනක් කොල්ලකන ලදී.

ක්‍රිස්ටෝල්නැච් ප්‍රචන්ඩකාරීන් විසින් ගිනිබත් කරන ලද බර්ලිනයේ විනාශ වූ ෆැසානෙන්ස්ට්‍රාසා සිනගෝගයේ අභ්‍යන්තර දසුනක් [ඡායාරූපය: යුදෙව් ඉතිහාසය සඳහා වූ මධ්‍යස්ථානය, එන්වයිසී] [Photo: Center for Jewish History, NYC]

බ්‍රිතාන්‍යයේ ඊස්රායල තානාපති ශ්ලොමෝ ආගොව් 1982 ජූනි 3 වැනිදා ලන්ඩනයේදී ඝාතනය කිරීමට තැත් කිරීම වැනි තවත් බොහෝ සිදුවීම් සඳහන් කල හැකිය. මෙම සිදුවීම කඩතුරාවක් ලෙස යොදා ගත් ඊස්රායල ආන්ඩුව, දකුනු ලෙබනනයේ ආරක්ෂක කලාපයක් පිහිටුවීම ඉලක්ක කර ගනිමින්, ලෙබනනය තුල 'ගැලීලයට සාමය සඳහා මෙහෙයුම' ලෙස නම් කරන ලද දැවැන්ත ආක්‍රමනයක් දියත් කලේය.

මෙම ආක්‍රමනයේ ප්‍රතිඵලයක් වූයේ, බේරූට්හි පිහිටි සබ්‍රා සහ ෂටිලා ලෙස හඳුන්වන පලස්තීන සරනාගත කඳවුරු තුල සිදු කරන ලද සංහාරයයි. සැප්තැම්බර් 16 සිට 18 දක්වා දින තුනක කාලයක් පුරා, ඊස්රායලය සමඟ මිත්‍ර වූ ලෙබනන් ක්‍රිස්තියානි ෆැසිස්ට් මිලීෂියාව විසින් මෙම සමූලඝාතන සිදු කරන ලදී. බේරූට් වටලාගෙන සිටි ඊස්රායෙල් හමුදා විසින් ෆැසිස්ට්වාදීන්ට කඳවුරුවලට ඇතුලු වීමට අවසර දුනි. ඇතුලු වූ සැනෙකින්, ෆැසිස්ට්වාදීන්—ඊස්රායෙල් ආරක්ෂක ඇමතිව සිටි සහ පසුව අගමැති වූ ඇරියල් ෂැලෝන් ගේ අනුමැතිය ඇතිව—පලස්තීන සරනාගතයින් දහස් ගනනක් මරා දැමීය.

අවසාන වශයෙන්, අඳුරු සිදුවීමක් වූ, 'සමස්ත චිත්‍රය දැකගැනීමට අසමත් වීම' නිසා ඇති වූ 'ආරක්ෂාව පිලිබඳව අත්වැරැද්දක්' ලෙස විස්තර කරන, 2001 සැප්තැම්බර් 11 වන දින ලෝක වෙලඳ මධ්‍යස්ථානයේ ට්වින් ටවර්ස් කුලුනු විනාශ කිරීම දැක්විය හැකිය. එය, ඇෆ්ගනිස්ථානය සහ ඉරාකය ආක්‍රමනය කිරීමට, මැද පෙරදිග හා මධ්‍යම ආසියාව පුරා එක්සත් ජනපදයේ මිලිටරි මෙහෙයුම් විශාල වශයෙන් ව්‍යාප්ත කිරීමට, ඊස්රායලයේ 'ඉලක්කගත ඝාතන' භාවිතාව අනුගමනය කිරීමට, සහ, එක්සත් ජනපදය තුල ස්වදේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුව නිර්මානය කිරීමට, රාජ්‍යයේ මර්දනකාරී බලය වැඩි කිරීමට සහ ඇමරිකානුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඛාදනය කිරීමට බුෂ් පරිපාලනය විසින් භාවිතා කරන ලදී.

දැවැන්ත මාධ්‍ය ප්‍රචාරක ව්‍යාපාරයක් මගින් ඊස්රායල ආක්‍රමනයට අසීමිත සහයෝගයක් තිබෙන බව පෙන්වීමට කරන පිම්ඹීම තිබියදීම, සිදුකෙරෙන ජන සංහාරයට එරහිව පෙර නොවූ විරූ පරිමානයෙන් යුත් බලගතු ජාත්‍යන්තර විරෝධතා ව්‍යාපාරයක් පැනනැගී තිබේ. ලොව පුරා දහස් ගනන් සහ ඇතැම්විට ලක්ෂ ගනන් පවා සහභාගිවන විරෝධතා සංවිධානය කෙරී ඇත.

විරෝධතා අපකීර්තියට පත් කිරීමේ උත්සාහයක් ලෙස, ඊස්රායලය, එහි මිත්‍රශීලී ආන්ඩු සහ, ඇත්ත වශයෙන්ම, සියොන්වාද-ගැති සංවිධාන මෙම පෙලපාලි 'යුදෙව් විරෝධී' ලෙස හෙලා දැක ඇත. මෙය, ඊස්රායලය විසින් පලස්තීනුවන් මර්දනය කිරීමට එරෙහි සියලු විරුද්ධවාදීන් මත මෙම ලේබලය ඇලවීම සඳහා පසුගිය දශක කිහිපය පුරා දරන උත්සාහයන් අඛන්ඩව හා තීව්‍රව ඉදිරියට ගෙනයාමකි.
.

පිටුවහලේ සිටින යුදෙව් ජනතාව සහ විශේෂයෙන්ම යුදෙව් තරුනයින්—විශේෂයෙන්ම ඊස්රායලයෙන් පිටත වැඩිම යුදෙව් ජනගහනයක් සිටින එක්සත් ජනපදය තුල—පෙලපාලිවල සුවිශේෂී ලෙස ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර තිබෙන බව සලකන විට, යුදෙව් විරෝධී චෝදනාව හුදෙක් විකාරයක් ලෙස පෙනෙනු ඇත.

ඊටත් වඩා නරක දෙය නම්, නිරන්තර පුනරුච්චාරනයේ ප්‍රතිඵලයක් ලෙස, ජන සංහාරයට එරෙහි විරෝධය යුදෙව්-විරෝධයේ ප්‍රකාශනයක් ලෙස හඳුන්වන හෙයින්, මෙම ප්‍රතිගාමී වචනය අනිසි ලෙස භාවිතා කිරීමේ ප්‍රතිඵලය වනු ඇත්තේ යුදෙව්-විරෝධී හැඟීම් සුජාතකරනය කිරීම බව යමෙකුට යුක්තිසහගත ලෙස ප්‍රකාශ කල හැකිය.

සියොන්වාදයේ මූලාරම්භයන්

වත්මන් මඩ ව්‍යාපාරය පිටුපස පවතින දේශපාලන අභිප්‍රේරන පැහැදිලිය. නමුත් යුදෙව් විරෝධී චෝදනාවේ අර්ථභාරය එහි සෘජු තත්කාර්යවාදී භාවිතයෙන් ඔබ්බට විහිදේ. ඊස්රායල රාජ්‍යයේ සියලුම විරුද්ධවාදීන්ට යුදෙව් විරෝධීත්වය ආරූඩ කිරීම මුල් බැස ඇත්තේ, දහනවවන සියවසේ අගභාගයේ සැලකිය යුතු දේශපාලන ව්‍යාපාරයක් ලෙස මතු වූ දා සිට සමස්ත සියොන්වාදී ව්‍යාපෘතිය පදනම් කරගෙන ඇති දාර්ශනික අහේතුවාදී (irrationalist) සහ ජාතික ස්වෝත්තමවාදී දෘෂ්ටිවාදය තුල ය.

බුද්ධි ප්‍රබෝධයේ චින්තනය පැතිර යාම සහ ප්‍රංශ විප්ලවයේ දේශපාලන හා සමාජ බලපෑම, බටහිර හා මධ්‍යම යුරෝපයේ බොහෝ යුදෙව් වැයික්කිවල සීමාකම් වලින් ක්‍රමයෙන් නිදහස් කිරීමට තුඩුදුන් අතර, යුදෙව් බුද්ධිමතුන් සහ මධ්‍යම පංතිය, සමාජ ප්‍රගතිය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ලබාගැනීම සමාජයෙන් වෙන්ව සිටීමට වඩා, ඊට සමාග්‍රහනය වීම සමග සම්බන්ධ කර ගත්හ. ඔවුන්ට අවශ්‍ය වූයේ තම ආගම පුද්ගලික කාරනයක් ලෙස සැලකීමටත්, ඒ අනුව පූර්න ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහිත පුරවැසියන් ලෙස ඔවුන්ගේ තත්වයට කිසිදු බලපෑමක් නොකිරීමත් ය. සැලකිය යුතු යුදෙව්වන් සංඛ්‍යාවක් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා තමන්ගේ ප්‍රයත්නය නූතන ලෝකයේ සමාජ පීඩනයේ ප්‍රධාන හේතුව වන ධනේශ්වර ක්‍රමයට එරෙහිව නිර්ධන පංතියේ පුලුල් හා වඩා අර්ථභාරී ලෝක ඓතිහාසික අරගලයේ අංගයක් ලෙස--මෙන්ම, ඊට යටත් අංගයක් ලෙස--වඩවඩාත් හඳුනා ගත්හ.

එපමනක් නොව, සමාජවාදය සඳහා වන නිර්ධන පංති අරගලය නෛසර්ගිකව ම ජාත්‍යන්තර වේ; එබැවින්, කම්කරු පන්තියේ විශ්වීය සහයෝගීතාවයට වඩා ආගමික, වාර්ගික හෝ ජාතික අනන්‍යතාවයේ ඕනෑම ආකාරයක ප්‍රමුඛතාවයක් දීම අතික්‍රමනය කරමින් එයට විරුද්ධ විය. 1880 ගනන්වල අගභාගයේ සහ 1890 ගනන්වල සියොන්වාදී ව්‍යාපාරය කෙරෙහි සමාජවාදී ව්‍යාපාරයේ ආකල්පය සම්මුති විරහිත විරුද්ධත්වයකින් ප්‍රථම වරට මතු වූයේ මේ හේතුව නිසා ය.

මෝසස් හෙස් 1870 දී [ඡායාරූපය: නොදනී] [Photo: Unknown]

පන්තියට වඩා ජාතියේ ප්‍රමුඛත්වය පිලිබඳව කරුනු දැක්වීම, 1862 දී එලිදක්වන ලද මෝසෙස් හෙස්ගේ රෝමයේ සිට ජෙරුසලමට (From Rome to Jerusalem) නමැති ග්‍රන්ථයෙන් ප්‍රබල ලෙස ප්‍රකාශ කරන ලදී. පලස්තීනයේ යුදෙව් රාජ්‍යයක් පිලිබඳ ඉදිරිදර්ශනය ඉදිරියට ගෙන ගිය පලමු ප්‍රධාන චරිතය වන—1840 ගනන්වල මුල් භාගයේ මුල් සමාජවාදී ව්‍යාපාරය තුල සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කල නමුත් දශකය අවසානයේ ලැබූ පරාජයන් නිසා අධෛර්යයට පත්ව සිටි—හෙස්, මාක්ස්ගේ ඉදිරිදර්ශනයට සෘජුවම විරුද්ධ වෙමින්, මෙසේ ප්‍රකාශ කලේය: “මුලු ඉතිහාසයම වාර්ගික හා පන්ති යුද්ධයකි. වාර්ගික යුද්ධ මූලික වේ, පන්ති යුද්ධ ද්විතියික සාධකයයි.”

රෝමයේ සිට ජෙරුසලමට කෘතිය තුල දැක්වූ සියොන්වාදී දෘෂ්ටිවාදයේ සාරභුත මූලිකාංග කිහිපයක් දැනටමත් ප්‍රකාශයට පත්ව තිබේ. පලමුවැන්න, මා උපුටා දැක්වූ ප්‍රකාශයේ සඳහන් පරිදි, පන්තියට වඩා වාර්ගිකත්වයට ප්‍රමුඛත්වය දීමයි.

දෙවැන්න නම්, ජාතික රාජ්‍යය සියලු දේශපාලන ජීවිතයේ සාරභුත පදනම වන අතර එය, යුදෙව් පැවැත්ම සහ ප්‍රගතිය සඳහා අත්‍යවශ්‍ය රාමුව බවට වන හෙස්ගේ අවධාරනයයි. 'යුදෙව් මහා ජනතාව නූතන මානව වර්ගයාගේ මහා ඓතිහාසික ව්‍යාපාරයට සහභාගී වනු ඇත්තේ එයට යුදෙව් නිජබිමක් හිමි වූ විට පමනක්' බව ඔහු ලිවීය.

තුන්වන සහ සාරභුත අංගය නම්, පවත්නා යුරෝපීය රාජ්‍යයන් තුලට යුදෙව්වන් කිසිවිටෙකත් උකහාගත නොහැකි බවට පැවති ගැඹුරින් ම දිරිසුන්, අසාරදර්ශි දැක්මයි. සමාජවාදය සඳහා යුරෝපීය කම්කරු පන්තියේ අරගලය තුලින් යුදෙව්වන්ට තාඩනපීඩන ජයගෙන පූර්න විමුක්තියක් අත්කර ගත හැකි යැයි විශ්වාස කිරීම මුලාවක් බව, හෙස් කියා සිටියේය: “අප අපවම රවටා ගන්නේ ඇයි? යුරෝපීය ජාතීන් සෑම විටම ඔවුන් අතර යුදෙව්වන් සිටීම ක්‍රම විරෝධයක් ලෙස සලකයි. අප සෑම විටම ජාතීන් අතර ආගන්තුකයන් වනු ඇත... ජර්මානුවෝ, සිය වාර්ගිකත්වයට නොව යුදෙව් ආගමට වෛර කරති... ආගමික ප්‍රතිසංස්කරන හෝ බව්තීස්මය, බුද්ධි ප්‍රබෝධය හෝ විමුක්තිය යුදෙව්වන් ඉදිරියේ සමාජ ජීවිතයේ දොරටු විවර කරන්නේ නැත.”

හතරවන අංගය වනුයේ, පලස්තීනයේ යුදෙව් රාජ්‍යයක් නිර්මානය කල හැක්කේ, එය ප්‍රධාන යුරෝපීය බලවතෙකුගේ අවශ්‍යතා සඳහා වාසිදායක වන බව පෙනෙන තරමට පමනක් බව ඒත්තු ගැන්වීමයි. 1860 ගනන්වල යුරෝපයේ ජීවත් වූ හෙස්ට, එම බලවතා ප්‍රංශය වූ අතර එය එවකට ලුවී බොනපාට් අධිරාජ්‍යයාගේ ප්‍රතිගාමී ආඥාදායකත්වය විසින් පාලනය කෙරුනි. ප්‍රංශය, 'සූවස් ඇලේ සිට ජෙරුසලම දක්වාත්, ජෝර්දාන් ඉවුරේ සිට මධ්‍යධරනී මුහුද දක්වාත් විහිදී යා හැකි ජනපද සොයා ගැනීමට යුදෙව්වන්ට උපකාර කරනු ඇත,' යි ඔහු ලිවීය. විසිවන ශතවර්ෂයේදී සියොන්වාදී ව්‍යාපාරය තුර්කි සුල්තාන්වරයාට, රුසියානු සාර්ට සහ තරමක් පසුව බ්‍රිතාන්‍යයට සහ අවසාන වසයෙන් ඇමරිකානු අධිරාජ්‍යවාදයට සිය සේවාවන් පිරිනැමීමෙන් තමන්ගේ අරමුනු ඉටුකර ගනු ඇත.

ඔහුගේ ජීවිත කාලය තුල හෙස්ගේ රෝමයේ සිට ජෙරුසලමට යන ග්‍රන්ථය සාපේක්ෂ වශයෙන් ප්‍රකට නොවූ මුත්, දශක කිහිපයකට පසුව සියොන්වාදී ව්‍යාපාරයේ දේශපාලනය නිර්වචනය කිරීමේ බොහෝ සංකල්ප එමගින් පූර්වාපේක්ෂා කලේය. තියඩෝර් හර්ස්ල් පසුව ප්‍රකාශ කලේ, හෙස්ගේ පොත ඔහුට හුරුපුරුදුඑකක් වූයේ නම්, ඔහුගේම Der Judenstaat, එනම් යුදෙව් රාජ්‍යය නමැති ග්‍රන්ථය ලිවීමට අවශ්‍ය නොවනු ඇති බවයි. එහෙත්, එසැනින්ම ප්‍රකාශ කල යුත්තේ, හර්ස්ල් සෑම අතින්ම බුද්ධිමය වශයෙන් හෙස්ට වඩා පහත් මට්ටමක සිටි බවත්, පලමුවන ජාත්‍යන්තරය පිහිටුවීමෙන් පසු සමාජවාදී ව්‍යාපාරයට සම්බන්ධ වීම දෙසට ආපසු හැරී ගිය දෙවැන්නා මෙන් නොව, සමාජවාදයට සහ ස්වාධීන පන්ති-පදනම් මත වූ කම්කරු ව්‍යාපාරයට හේස් සතුරු වූ බවත් ය.

සියොන්වාදයට එරෙහි සමාජවාදී විරෝධය

සාර්වාදී තන්ත‍්‍රයේ සහාය ඇතිව, 1881 දී රුසියානු අධිරාජ්‍යය තුල පුපුරා ගොස් 1882 දක්වා අඛන්ඩව පැවති සංහාර—ප‍්‍රචන්ඩ යුදෙව් විරෝධී කැරලි—යුදෙව් ජනගහනයේ පුලුල් කොටස්වල දේශපාලන දැක්ම කෙරෙහි ප‍්‍රබල බලපෑමක් ඇති කලේය. මෙම ලේවැකි සිදුවීම්, යුදෙව්වන් අතර දේශපාලන ක්‍රියාකාරකම්වල දැවැන්ත වර්ධනයක් සඳහා ආවේගය සැපයීය. යුදෙව්වන් පලස්තීනයට සංක්‍රමනය කරවීමේ වැඩසටහන ඉදිරියට ගෙනයන සියොන්වාදය, ප්‍රථමයෙන් සැලකිය යුතු අනුගාමිකයින් පිරිසක් ආකර්ෂනය කර ගැනීමට පටන් ගත්තේ මෙම කාල වකවානුවේදී ය. එහෙත් වඩා බලවත් ප්‍රවනතාවක් වූයේ, සමාජවාදී දේශපාලනයට යුදෙව් තරුනයන් සම්බන්ධ වීම යි. 1890 ගනන්වල අග භාගය වන විට, නැගී එන රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය සහ සමාජවාදී දේශපාලනයේ පදනම මත යුදෙව් කම්කරුවන්ගේ ස්වාධීන දේශපාලන සංවිධානයක් අපේක්ෂා කල සමාජවාදී බන්ඩ් සංවිධානය (Socialist Bund), මෙම ක්‍රියාකාරකම් වල ප්‍රධාන ප්‍රකාශනයන් විය.

සමාජවාදී ප්‍රවනතා දෙකම සියොන්වාදී ව්‍යාපාරයට සතුරු වෙමින්, යුදෙව් ජනතාවගේ අවශ්‍යතා නියෝජනය කරන බවට වන සියොන්වාදී ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කලහ. සැලකිය යුතු කරුනක් නම්, සියොන්වාදීන් සහ සමාජවාදීන් අතර දේශපාලන අරගලයේ දී, සාර්වාදී තන්ත‍්‍රයේ සහයෝගය මුලුමනින්ම පැවතුනේ සියොන්වාදීන් සමඟ බවයි. එය [සාර්වාදී තන්ත‍්‍රය] සියොන්වාදීන් සැලකුවේ යුදෙව් තරුනයින් අතර සමාජවාදී ව්‍යාපාරයේ වඩ වඩාත් භයානක වෙමින් පවතින බලපෑමට එරෙහි තම අරගලයේ සහචරයෙකු ලෙස ය. එය සියොන්වාදී ව්‍යාපෘතියේ අරමුන ගැන—රුසියාවේ සිට පලස්තීනයට යුදෙව්වන් සංක්‍රමනය කිරීම ගැන සහානුභූතී විය.

ඉතිහාසඥ ජොසී ගෝල්ඩ්ස්ටයින් මෙසේ ලිවීය:

සියොන්වාදී ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් කෙරෙහි බලධාරීන්ගේ ධනාත්මක ආකල්පයට දුරදිග යන ඇඟවුම් තිබුනි. සිය ප්‍රතිවාදී සමාජවාදී බන්ඩ් ව්‍යාපාරයට මෙන් නොව, සියොන්වාදී ක්‍රියාකාරීන්ට තම ව්‍යාපාරයේ ව්‍යාප්තියට බාධාවක් විය හැකි රහස්‍යභාවයක් පවත්වා ගැනීමට සිදු නොවීය. 1898-1900 වසරවල එය දිරිමත්වීමේ ලක්ෂනය, බොහෝ දුරට බලධාරීන් විසින් එයට ලබා දුන් නීත්‍යානුකූලභාවයේ ප්‍රතිඵලයක් විය. එහිදී, ව්‍යාපාරයේ ප්‍රධානීන් (මුර්ෂිම්වරු) සහ අනෙකුත් සංවිධායකයින් ඉදිරියේ, වෙනත් ව්‍යාපාරවලට ප්‍රතික්ෂේප කෙරුනු, පුලුල් ක්‍රියාකාරකම් ක්ෂේත්‍රයක් විවෘත විය. මෙය සියොන්වාදයට යුදෙව් ජනගහනය අතර අනුගාමිකයින් ආකර්ෂනය කර ගැනීම සඳහා තරඟයේ දී ප්‍රතිවාදීන්ට වඩා සැලකිය යුතු වාසියක් අත්කර දුන්නේය.[1]

දහස් ගනන් යුදෙව් කම්කරුවන් සහ යුදෙව් මධ්‍යම පන්තික බුද්ධිමතුන්ගේ සැලකිය යුතු කොටස් පවා සිය දේශපාලන ශක්තිය සමාජවාදය සඳහා අරගලය දෙසට යොමු කර ඇති යුගයක, සියොන්වාද-විරෝධය යනු යුදෙව් විරෝධය වන බවට දැන් කෙරෙන ප්‍රකාශය දුෂ්ට අවලාදයක් සහ දේශපාලන උන්මාදයක් ලෙසින් පවා බැහැරකලයුතු වන්නේය.

1905 දී ඔඩෙස්සා සංහාරයේදී ඝාතනයට ලක් වූ තම සගයන්ගේ සිරුරු සමග සිටින බුන්ඩ් සාමාජිකයින්


ගෝල්ඩ්ස්ටයින් සඳහන් කල පරිදි, 'බන්ඩ්වරුන්ගේ ප්‍රචාරනයේදී, ප්‍රධාන අවධාරනය යොමු වූයේ පන්ති භේදයන්ට වන අතර, සියොන්වාදය නියෝජනය කලේ, යුදෙව් නිර්ධන පංතිය නියෝජනය කල බන්ඩ් සංවිධානයට එරෙහි කුඩා හා මධ්‍යම ධනේශ්වරයයි.'[2] සියොන්වාදයට බන්ඩ්හි සතුරුකම එතරම් ම ගැඹුරු වූ අතර 1901 මැයි මාසයේ දී බන්ඩ් සිව්වන සම්මේලනයේ දී, 'සියොන්වාදයට එරෙහිව මරනය දක්වා සටන් කිරීමට පලමු වරට තීරනය කරන ලදී,'[3] යනුවෙන් ගෝල්ඩ්ස්ටයින් ලිවීය. බන්ඩ්වාදී ප්‍රකාශන අනතුරු ඇඟවූයේ “සියොන්වාදය යනු කම්කරුවන් සූරාකෑමට සහ වැඩකරන ජනතාව රැවටීමට දමාගෙන ඇති වෙස් මුහුනක් පමනි,” යනුවෙනි. 'සියොන්වාදයේ කුනු වූ මලකඳෙන් මතුවී, වැඩකරන ජනතාව පන්ති අරගලයේ මාවතෙන් අපසරනය කරවා ගැනීම සඳහා නිර්ධන පංතිය දෙසට බඩගා යන සියගනනක් අපිරිසිදු කුඩා ජීවින්ගෙන්' ඈත්වන ලෙස[4] බන්ඩ් සිය සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

සියොන්වාදයට සමාජවාදීන්ගේ විරුද්ධත්වය බොහෝ දුරට රුසියානු බුද්ධිමතුන්ගේ පුලුල් කොටස් අතර පැතිර තිබුනි; ගෝල්ඩ්ස්ටයින් ලියූ පරිදි, ඔවුන්, “සියොන්වාදී ව්‍යාපාරයට පහර දුන් අතර එහි අදහස් පිලිකුල් කලහ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුගේ ප්‍රාර්ථනය වූයේ එය අතුරුදහන් වී යාමයි. රුසියානු බුද්ධිමතුන්ගේ ඒකමතික සියොන්වාද-විරෝධී පෙරමුනේ අභිප්‍රායන් සහ තර්කනයන්... විසිවන සියවසේ මුල් භාගයේ බුද්ධිමතුන්ගේ සාමාන්‍ය න්‍යායකරනය තීරනය කල බුද්ධිවාදය තුල මුල් බැස තිබුනි. බොහෝ දෙනාට සියොන්වාදය තවමත් මනෝරාජික දෙයක් ලෙස පැවති අතර, එය තාර්කික, බුද්ධිමය ලෝකයෙන් පිටත සියොන් සහ යුදෙව් ආගමික චින්තනය (Jewish eschatological thinking) සඳහා වූ අභිලාශයන් සමඟ බැඳී පැවතුනි. හර්ස්ල් සහ බටහිර යුරෝපයේ ඔහු වැන්නවුන් සැලකුනේ, බටහිර බුද්ධි ප්‍රබෝධයේ දරුවන් ලෙස නොව යුදෙව් සාධර්මිකතාවයේ සහචරයින් ලෙසය.'[5]

සමාජවාදී ව්‍යාපාරයේ සියලුම කන්ඩායම් සියොන්වාදයට එරෙහි වීම, සියොන්වාදීන් කම්කරු පන්තියට බැරෑරුම් ලෙස කාවැදීමක් කිරීම වලක්වාලීය. 'ආරම්භයේ සිටම, සියොන්වාදී ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් යුදෙව් මධ්‍යම පන්තියේ සාමාජිකයින් ආකර්ෂනය කර ගත්”[6] බව ඔහුගේ ඓතිහාසික රචනය අවසානයේ ගෝල්ඩ්ස්ටයින් ලියයි.

හොලෝකෝසටයේ [සමූලඝාතනයේ] ව්‍යසනයට පසු, නාසි ජන සංහාරයෙන් දිවි ගලවා ගත්, දරුනු ලෙස පීඩාවට පත් වූ සහ පුරවැසිභාවයක් නොමැති මිනිසුන් ලක්ෂ කිහිපයක් ඔවුන් අතට පත් වන තෙක්, සිය ප්‍රතිගාමී විජිත ව්‍යාපෘතියේ සාර්ථකත්වය සඳහා අවශ්‍ය මහජන පදනම සියොන්වාදීන් කිසි විටෙකත් අත්පත් කර ගත්තේ නැත.

නාසීන් සමඟ සියොන්වාදීන්ගේ සහයෝගීතාව

සියොන්වාදයේ ප්‍රතිගාමී ස්වභාවය සහ යුදෙව් ජනතාවගේ අවශ්‍යතා නියෝජනය කරන බවට එහි වංචනික ප්‍රකාශය, 1930 ගනන්වල තරම්, තරයේ හෙලිදරව් කෙරුනු ඉතිහාසයේ කාලපරිච්ඡේදයක්--1948 දී ඊස්රායලය පිහිටුවීමට පෙර--තවත් තිබී නැත. නාසීන්ගේ සහ සියොන්වාදීන්ගේ දේශපාලන හා වානිජ ගනුදෙනුවල තරම ඉතිහාසඥයින් විසින් පුලුල් ලෙස ලේඛනගත කර ඇත. මෙම විෂය පිලිබඳ වඩාත් වැදගත් කෘතීන් බොහොමයක් ලියා ඇත්තේ යුදෙව් ඉතිහාසඥයින් විසිනි; ඔවුන් අතර වඩාත් ප්‍රසිද්ධ සෝල් ෆ්‍රීඩ්ලැන්ඩර් සහ ටොම් සෙගෙව් ය.

හිට්ලර් බලයට පත්වීමෙන් පසුව, සියොන්වාදී සංවිධාන නාසිවාදීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට නැඹුරු වූයේ, නාසිවාදය සහ සියොන්වාදය යන දෙකම 'වොල්කිෂ්' (völkisch වාර්ගික ජතිකත්වවාදය-පරිවර්තක) මූලධර්මවලට ගැලපෙන ජාතික ව්‍යාපාර බවට තර්ක විතර්ක පවා ඉදිරිපත් කරමිනි.

මහජන විරෝධතා හෝ ආර්ථික වර්ජනයකට විරුද්ධ වෙමින්, ජර්මනියේ සහ පලස්තීනයේ සියොන්වාදී නියෝජිතයන් තුන්වන රයිකයේ නියෝජිතයන් හමුවී, 1933 අගෝස්තු 27 වන දින හවාරා නමින් මූල්‍ය ගිවිසුමකට එලඹුනහ; ෆ්‍රීඩ්ලැන්ඩර් විසින් පැහැදිලි කරන පරදි, එමගින් 'යුදෙව් සංක්‍රමනිකයන්ට ඔවුන්ගේ වත්කම්වලින් කොටසක් වක්‍රව පැවරීමටත්, නාසි ජර්මනියේ සිට පලස්තීනයට භාන්ඩ අපනයනය කිරීමටත් පහසුකම් සලසා දුනි.'[7]

ෆ්‍රීඩ්ලැන්ඩර් තවදුරටත් මෙසේ පැවසීය:

නව පාලන තන්ත‍්‍රය හවාරා ගිවිසුමෙන් නෙලා ගැනීමට බලාපොරොත්තු වූ ප්‍රධාන ප්‍රතිලාභවලින් එකක් වූයේ, විදේශීය යුදෙව්වන් ජර්මනිය සම්බන්ධයෙන් ගෙනගිය ආර්ථික වර්ජනය බිඳ දැමීමයි.… සියොන්වාදී සංවිධාන සහ යිෂුව් (පලස්තීනයේ යුදෙව් ප්‍රජාව) නායකත්වය නව විධිවිධානවලට බාධා ඇති කිරීම වැලැක්වීම සඳහා මොනම ආකාරයක හෝ මහජන විරෝධතාවයක් හෝ වර්ජනයක් ගෙනයාමෙන් ඈත් වූහ. හවාරා ගිවිසුම අවසන් වීමට පෙර පවා, එවැනි 'සහයෝගීතා' සමහර විට විකාර රූපී ස්වරූපයන් ගත්තේය. මේ අනුව, 1933 මුල් භාගයේදී, වසර කිහිපයකට පසු එස්ඩී (Sicherheitsdienst හෙවත් ආරක්ෂක සේවය යනු රේන්හාඩ් හයිඩ්‍රිච් විසින් නායකත්වය දුන් එස්එස් බුද්ධි අංශය යි) හි යුදෙව් අංශයේ ප්‍රධානියා බවට පත් වූ සිටුවර ලියෝපෝල්ඩ් ඉට්ස් එඩ්ලර් වොන් මිල්ඩෙන්ස්ටයින්, ඔහුගේ බිරිඳ සමඟ පලස්තීනයේ සංචාරය කිරීමට සහ ගොබෙල්ස්ගේ ඩර් ඇන්ග්‍රිෆ් (Der Angriff) සඳහා ලිපි මාලාවක් ලිවීමට ආරාධනා ලැබීය. බර්ලින් සියොන්වාදී සංවිධානයේ ප්‍රමුඛ සාමාජිකයෙකු වන කර්ට් ටච්ලර් සහ ඔහුගේ බිරිඳ සමඟ මිල්ඩෙන්ස්ටයින්වරු ඊස්රායලයේ එරෙට්ස් හි යුදෙව් ජනාවාස වෙත එසේ ගියහ. 'නාසියෙක් පලස්තීනයේ සංචාරය කරයි' යන මාතෘකාවෙන් යුත් අතිශය ධනාත්මක ලිපි නිසි පරිදි ප්‍රකාශයට පත් කරන ලද අතර, එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා, එක් පැත්තක ස්වස්තිකයක් සහ අනෙක් පැත්තේ දාවිත් තරුව (Star of David) වාත්තු කල විශේෂ පදක්කමක් නිර්මානය කලහ.

1933 ජූනි 22 වන දින ජර්මනිය සඳහා වූ සියොන්වාදී සංවිධානයේ නායකයින් හිට්ලර් වෙත සංදේශයක් යවන ලද අතර එය මෙසේ ප්‍රකාශ කලේය:

සිය ක්‍රිස්තියානි සහ ජාතික ස්වභාවය අවධාරනය කිරීම තුලින්, දැන් ජර්මනියේ සිදුවෙමින් පවතින ජන කොටසකගේ ජාතික ජීවිතය යලි උත්පතිය ලැබීම, යුදෙව් ජනතාව සම්බන්ධයෙන් ද සිදුවිය යුතු බව සියොන්වාදය විශ්වාස කරයි. යුදෙව් ජනතාවට ද ජාතික සම්භවය, ආගම, පොදු ඉරනම සහ සුවිශේෂත්වය පිලිබඳ හැඟීම, එහි පැවැත්ම සඳහා තීරනාත්මක වැදගත්කමක් දරයි. මෙය ලිබරල් යුගයේ ආත්මාර්ථකාමී පුද්ගලවාදය තුරන් කිරීමත්, එය ප්‍රජාව සහ සාමූහික වගකීම පිලිබඳ හැඟීමකින් ප්‍රතිස්ථාපනය කිරීමත් ඉල්ලා සිටී.

පසුකාලීනව, සියොන්වාදීන්ගේ ක්ෂමාලාපකයින්, එවැනි ප්‍රකාශ සහ හාවාරා ගිවිසුම දුෂ්කර තත්වයන් යටතේ තම පැවැත්ම සඳහා ගත් පියවරයන් ලෙස පෙන්වාදීමට උත්සාහ කරනු ඇත්තේ, ෆැසිස්ට්වාදයේ ජයග්‍රහනය විසින් එහි සහයෝගීතාවය යුක්ති සහගත කරන්නාක් මෙනි. ඇත්ත වසයෙන්ම, නාසීන් විසින් යුදෙව්වන්ට ම්ලේච්ඡ අයුරින් හිංසා පීඩා කිරීමට සහ ඔවුන්ගේ ඝාතන වලට පවා සියොන්වාදීන්ගේ ප්‍රතිචාරය තීරනය වූයේ, යුදෙව්වන් පලස්තීනයට සංක්‍රමනය වීමේ අපේක්ෂාවන් කෙරෙහි එහි බලපෑම කොතෙක්ද යාන ගනනය කිරීම මගිනි. සියොන්වාදී ව්‍යාපාරයේ නායකයා වූ ඩේවිඩ් බෙන්-ගුරියන් කුප්‍රකට ලෙස ප්‍රකාශ කල පරිදි:

ජර්මනියේ සිටින සියලුම [යුදෙව්] දරුවන් එංගලන්තයට ප්‍රවාහනය කරවීමෙන් ඔවුන් සැවොම බේරා ගතහැකි බවත්, පලස්තීනයට ප්‍රවාහනය කලහොත් බේරා ගත හැක්කේ ඔවුන්ගෙන් අඩක් පමනක් බවත් මා දැන සිටියහොත්, මා තෝරා ගන්නේ දෙවැන්නයි—මක්නිසාද යත්, අප මුහුන දෙන්නේ එම දරුවන් පිලිබඳ ගනනය කිරීම්වලට පමනක් නොව, යුදෙව් ජනයාගේ ඓතිහාසික ගනනය කිරීම්වලට ද වන බැවිනි. [8]

ඩේවිඩ් බෙන්-ගුරියන් 1959 දී [ඡායාරූපය: ෆ්‍රිට්ස් කොහෙන්] [Photo: Fritz Cohen]

ක්‍රිස්ටල්නාච්ට් සංහාරයෙන් පසුව බෙන්-ගුරියන් ද, මෙම සිදුවීම යුදෙව්වන්ගේ දුක්ඛිත තත්වය පිලිබඳ ජාත්‍යන්තර අනුකම්පාවකට තුඩු දෙනු ඇතැයි ද, එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ රටවල් සංක්‍රමන පිලිබඳ සීමාවන් ලිහිල් කිරීම මඟින් යුදෙව්වන්ට පලස්තීනය වෙනුවට විකල්ප ඉදිරිපත් වනු ඇතැයි බිය පල කලේය.

බුද්ධි ප්‍රබෝධයට එරෙහිව සියොන්වාදය: ජාතිකවාදී අවිචාරවාදයේ පාරභෞතිකවාදය

කෙසේ වෙතත්, සියොන්වාදී සංවිධාන නාසිවාදය කෙරෙහි දක්වන සහානුභූතිය හුදු නිවටකමේ සහ විකාර සහගත උපායික අවස්ථාවාදයේ ප්‍රකාශනයක් ලෙස පැහැදිලි කල නොහැකිය. අධිරාජ්‍යවාදී යටත්විජිතවාදයෙන් පැවත එන්නක් ලෙසත්, සමාජවාදයේ, ඉතිහාසය සහ සමාජය පිලිබඳ විද්‍යාත්මක සංකල්පයේ සතුරෙකු ලෙසත් මතු වූ සියොන්වාදය, සාරාර්ථයෙන්ම ජාතිකවාදී දේශපාලනයේ සහ දෘෂ්ටිවාදයේ වඩාත්ම ප්‍රතිගාමී අංග මත පදනම් විය.

සමාජ ප්‍රගතියේ ගාමක බලවේගය ධනවාදයට හා ධනේශ්වර ජාතික රාජ්‍යයට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලය බවට පත්ව තිබූ යුගයක, සියොන්වාදය යුදෙව් පැවැත්මේ අත්‍යවශ්‍ය පදනම ලෙස ජාතික මූලධර්මය උත්කර්ෂයට නැංවීම මත සිය වැඩපිලිවෙල පදනම් කර ගත්තේය. ජාතික සුවිශේෂත්වයේ මූලධර්මයට වල කපන බුද්ධි ප්‍රබෝධයෙන් සහ පසුකාලීන සමාජවාදී ව්‍යාපාරයන්ගෙන් පැනනැගුනු ඉතිහාසය පිලිබඳ සියලු සංකල්ප—විශේෂයෙන්ම විද්‍යාවේ සහ තර්කනයේ පදනම මත ජාතික අනන්‍යතාව යනු නිෂ්පාදන බලවේගවල වර්ධනයේ සහ ලෝක වෙලඳපොල සමඟ ඇති සම්බන්ධයේ නිශ්චිත අවධියක් සමග බැඳී පවතින ඓතිහාසික වශයෙන් සීමිත හා සංක්‍රමනීය ප්‍රපංචයක්ය යන්න—දේශපාලන වැඩපිලිවෙලක් ලෙස පමනක් නොව යුදෙව් අනන්‍යතාවයේ එකම ප්‍රකාශනය ලෙස ද දැක්වූ සියොන්වාදය සමග අනනුකුල යයි ප්‍රතික්ෂේප කෙරුනි. එබැවින් සියොන්වාදයේ නීත්‍යානුකූලභාවය ප්‍රතික්ෂේප කිරීම යනු යුදෙව්වන්ට පැවැත්මේ අයිතිය ප්‍රතික්ෂේප කිරීමයි.

ප්‍රතිවාදියා යුදෙව්වෙකු වූ විට පවා, සියොන්වාදයට එරෙහි වීම යුදෙව් විරෝධී ක්‍රියාවක් බවට වන කපටි ප්‍රකාශය ගලා එන්නේ මෙයිනි. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාල මුද්‍රනාලය විසින් 2015 දී ප්‍රකාශයට පත් කරන ලද යුදෙව්-විරෝධය සහ එහි පාරභෞතික සම්භවයන් නම් ග්‍රන්ථය තුල—ඩලාස්හි ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ හොලෝකෝස්ට අධ්‍යයනය සඳහා වූ ඇකර්මන් මධ්‍යස්ථානයේ ඉතිහාසය පිලිබඳ මහාචාර්ය ඩේවිඩ් පැටර්සන්, ආගමික මිථ්‍යාව සහ අතාර්කිකත්වය ආරක්ෂා කිරීමේ පදනම මත මෙම අපවාදය යුක්ති සහගත කරයි.

බුද්ධි ප්‍රබෝධයේ මතවාද ජනිත වූයේ නෛසර්ගිකව ම යුදෙව් විරෝධී චින්තන ක්‍රමයක් මගිනි: එය තමාටම සත්‍ය වීමට නම්, බුද්ධි ප්‍රබෝධයේ දර්ශනය යුදෙව් විරෝධී විය යුතුය. මානව නිදහස පවතින්නේ මානව ස්වාධිපත්‍යය තුල නම් සහ මානව ස්වාධිපත්‍යය පවතින්නේ සම්පාදනය තුල නම්, කාන්ට් පවසන පරිදි, කාන්ට් පිලිගන්නා සහ ලෝකය දැන් වැලඳගෙන සිටින නූතන මතය යටපත් කරන හඬ වන සීනායි කන්දේ අනදෙන හඬට [බයිබලය] වඩා කිසිවක් ස්වයං-නීති සම්පාදනය කරන මානව ස්වාධීනත්වයට තර්ජනය නොකරන බව කෙනෙකුට වැටහේ.

පැටර්සන් තවදුරටත් මෙසේ ලියයි:

ඇත්ත වශයෙන්ම, මිනිසුන්ට වෙන්ව සිටිය නොහැකි අතර තර්කානුකූලව පදනම් වූ විශ්වීය මනුෂ්‍යත්වයක් lesa පමනක් පැවතිය හැකි බවට වන බුද්ධි ප්‍රබෝධයේ පදනම යමෙකු අනුගමනය කරන්නේ නම්, ඔහු අනිවාර්යයෙන්ම යුදෙව් විරෝධී ආස්ථානයක් ගත යුතුය.… දෙවියන්ගේ පීතෘත්වය අහිමි වීමෙන්, අපට මනුෂ්‍යත්වයේ සහෝදරත්වය අහිමි වේ: දෙවියන් වහන්සේ අනවශ්‍ය වූ විට, මනුෂ්‍යයා අනවශ්‍ය වේ. යුදෙව් රාජ්‍යය අවශ්‍ය නොවනවා පමනක් නොව, එය භයානක ය. වාමාංශික බුද්ධිමය සියොන්වාද-විරෝධීන් සඳහා, දෙවියන් වහන්සේ බැහැර කර සිතීමේ නූතන ඉතිහාසය කුඨප්‍රාප්තියට පැමිනෙන්නේ, සියොන්වාදී රාජ්‍යය සිතියමෙන් ඉවත් කිරීමෙනි.

මෙම වචන දක්නට ලැබුනේ, ඇමරිකානු ඔසුහල් වල බහුලව අලෙවි කෙරෙන ආකාරයේ ක්‍රිස්තියානි සුභාරංචිය පතුරවන මූලධර්මවාදී පත්‍රිකාවක නොවේ. මෙය ලෝකයේ වඩාත්ම කීර්තිමත් ප්‍රකාශන ආයතන අතර සිටින කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල මුද්‍රනාලයේ මුද්‍රන අවසරය ඇතිව එලිදැක්වූවකි.

අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයේ නාභිය ලෙස ගාසා තීරයට එරෙහි ප්‍රහාරය

එය සියොන්වාදයේ මුලුමනින්ම ප‍්‍රතිගාමී ස්වභාවයට පමනක් නොව, ජාතික රාජ්‍ය පද්ධතිය තුල මුල් බැසගත් ධනේශ්වර ක‍්‍රමයක දුරදිග ගිය දේශපාලනික, සමාජීය, බුද්ධිමය හා සදාචාරාත්මක කුනුවීම පිලිබඳ සාක්ෂි දරයි. ඊස්රායල රාජ්‍යය සමග සියලු අධිරාජ්‍යවාදී බලවතුන්ගේ නොසැලෙන සහයෝගීතාවයේ පුලුල් අර්ථභාරය පවතින්නේ මෙහිය. ඇත්ත වසයෙන්ම, පලස්තීන ජනතාවට එරෙහිව ඊස්රායල යුද්ධය සඳහා එක්සත් ජනපදයේ සහ එහි නැටෝ සහචරයින්ගේ සහාය තීරනය කරන තත්කාර්යවාදී භූ දේශපාලනික අවශ්‍යතා තිබේ.

එහෙත් පලස්තීනුවන්ට එරෙහි මෙම එක්සත් පෙරමුනට යටින් පවතින දෙය නම්, පවතින ඊස්රායල රාජ්‍යය විසුරුවා හැරීම සහ නව ද්වි-ජාතික සමූහාන්ඩුවක් නිර්මානය කිරීම ඉල්ලා සිටින ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන්, මැද පෙරදිග අධිරාජ්යවාදයේ අවශ්යතාවලට පමනක් නොව, අධිරාජ්යවාදී භූ දේශපාලනයේ සහ ධනේශ්වර පාලනයේ සමස්ත ඓතිහාසිකව යල්පැන ගිය රාජ්ය ව්‍යූහයටම තර්ජනය කරන බව පිලිගැනීමයි.

පලස්තීන ජනතාව පීඩනයට පත්කිරීම හෝ, එහෙයින්, යුදෙව් විරෝධය පිලිබඳ ඓතිහාසික හා සැබෑ ප්‍රශ්නය, ධනේශ්වර ක්‍රමයේ සහ එහි ජාතික රාජ්‍යයේ රාමුව තුල විසඳිය නොහැක. අධිරාජ්‍යවාදය ඊස්රායල රාජ්‍යය නිර්මානය කිරීමෙන් 'යුදෙව් ගැටලුව' විසඳුවේ නැත. එය—අධිරාජ්‍යවාදයේ දැවැන්තම අපරාධවලින් එකක් වන—හොලෝකෝස්ටයේ දැවැන්ත ඛේදවාචකය සිය අභිමතාර්ථයන් සඳහා ගසාකෑවේ ය; වාසිය සඳහා යොදා ගත්තේ ය.

ගාසා තීරයේ යුද්ධය කෙරෙහි අවධානය යොමු කිරීම, නිසැකව ම එහි ජනතාවට එරෙහිව සිදු කෙරෙන අපරාධයේ පරිමානයෙන් යුක්ති සහගත කෙරේ. එහෙත් ජන සංහාරය අවසන් කිරීමේ අරගලය, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ කේන්ද්‍රීය ඉදිරිදර්ශනයේ හා එහි අරමුනේ, එනම්, ලෝක සමාජවාදී විප්ලවය සඳහා අරගලයේ අතිශය හදිසිභාවය තහවුරු කරයි. ධනේශ්වර ක්‍රමයේ අවසාන අර්බුදයට වෙනත් පිලිතුරක් නොමැත. හතරවන ජාත්‍යන්තරයේ 1953 භේදයේ වැදගත්කම සාරාංශගත කරමින් කැනන් මෙසේ ලිවීය: 'එය ජාත්‍යන්තර විප්ලවයේ වර්ධනය හා සමාජයේ සමාජවාදී පරිවර්තනය පිලිබඳ ප්‍රශ්නයකි.'

ගාසා තීරයේ ජන සංහාරය, යුක්‍රේනයේ යුද්ධය, ගෝලීය න්‍යෂ්ටික යුද්ධය දක්වා අන්තරාය උත්සන්න වීම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර, සමාජ අසමානතාවයේ අතිවිශාල මට්ටම්, පාලනයකින් තොරව වසංගතයේ පැතිරීම සහ පාරිසරික ව්‍යසනයේ තර්ජනයට මුහුන දෙන ලොව පුරා කම්කරුවන්ගේ හා තරුනයන්ගේ පුලුල් වන මහජන ව්‍යාපාරය දෙසට හැරෙමින් ජාත්‍යන්තර කමිටුව අවධාරානාත්මකව මෙසේ ප්‍රකාශ කරයි: 'ඔබ අභිමුඛව සිටින කර්තව්‍යය වන්නේ ජාත්‍යන්තර විප්ලවයේ වර්ධනය සහ සමාජයේ සමාජවාදී පරිවර්තනයයි.'

ඔබ ලෝකය පුරා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා වලට සම්බන්ධ වී එය ගොඩ නැගිය යුත්තේ එබැවිනි.


[1]

“ආරම්භක කාලපරිච්ඡේදයේ (1897-1904) සියොන්වාදය කෙරෙහි යුදෙව් සහ රුසියානු බුද්ධිමතුන්ගේ ආකල්පය, The Slavonic and East European Review, වෙලුම. 64, අංක 4 (1986 ඔක්තෝබර්), 547-48 පිටු.

[2]

එහිම, 550 පිටුව

[3]

එහිම, 551 පිටුව

[4]

එහිම, 550 පිටුව

[5]

එහිම, 555 පිටුව

[6]

එහිම, 555 පිටුව

[7]

ෆ්‍රීඩ්ලැන්ඩර්, Nazi Germany and the Jews, 86 පිටුව

[8]

සෙවේ, ටොම්. The Seventh Million (26 පිටුව). ෆරාර්, ස්ට්‍රවුස් සහ ගිරෝක්ස්. Kindle Edition

Loading