ඉදිරිදර්ශන

යූඒඩබ්ලිව් නිලධරය සහ එහි මෝටර් රථ වැඩවර්ජනය පාවාදීම සවිබල ගැන්වීම සඳහා බයිඩන් පිකට් වැටවලට යාමට නියමිතයි

[මෙය, Biden to visit picket lines to bolster UAW apparatus and its betrayal of auto strike මැයෙන් 2023 සැප්තැම්බර් 25 දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල වූ ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයකි.]

ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් 2020 සැප්තැම්බර් 9 බදාදා, මිචිගනයේ වොරන්හි යූඒඩබ්ලිව් කලාප 1 මූලස්ථානයේ ඇමරිකානු භාන්ඩ නිෂ්පාදනය කිරීම සහ මිලදී ගැනීම පිලිබඳ ප්‍රචාරක උත්සවයකදී කතා කරයි. [AP Photo/Patrick Semansky] [AP Photo/Patrick Semansky]

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් අඟහරුවාදා මිචිගන්හි වැඩ වර්ජිත මෝටර් රථ කම්කරුවන්ගේ පිකට් වැටක් වෙත පැමිනෙනු ඇත. බයිඩන්ගේ සංචාරක නැවතුම, බලයේ සිටින එක්සත් ජනපද ජනාධිපතිවරයෙකුගෙන් කම්කරුවන්ට ලැබෙන සහයෝගයේ “පෙර නොවූ විරූ” සහ “ඓතිහාසික” ප්‍රකාශනයක් ලෙස ජනමාධ්‍ය තුල ඉදිරිපත් කෙරේ. යථාර්ථයේ දී, එය වඩ වඩාත් අපකීර්තියට පත් එක්සත් මෝටර් රථ කම්කරු සංගමයේ (යූඒඩබ්ලිව්) සභාපති ෂෝන් ෆේන් නගා සිටුවීමට, ඔහු ක්‍රියාත්මක කරන 'වර්ජනය' පිලිබඳව විශ්වාසනීයත්වය ලබා දීමට සහ කම්කරුවන් පාවාදීම සඳහා මගපාදා දීමට දැරුනු උත්සාහයකි.

බයිඩන්ගේ සංචාරය සිදුවූයේ මෝටර් රථ කම්කරුවන්ගේ වැඩවර්ජනය 'ව්‍යාප්ත කිරීම' පිලිබඳව සිකුරාදා ෆේන් කල නිවේදනයෙන් පසුවය. වෘත්තීය සමිති යාන්ත්‍රනය විසින් පෙර නොවූ විරූ බොරු කීම් සහ වංචාවන් මගින් සංලක්ෂිත කෙරුනු වැඩ වර්ජනයක් තුල මෙම නවතම උපාමාරුව එකී ලක්ෂනයන්ගේ ඉහලම ප්‍රකාශනයකි. කම්කරුවන් 5,600ක් පමනක් වර්ජනයට කැඳවුනේ නිෂ්පාදන කම්හල්වල නොව අලෙවි නියෝජිතයන් වෙත සැපයුම් සිදු කෙරෙන ජීඑම් සහ ස්ටෙලන්ටිස් අමතර කොටස් බෙදාහැරීමේ මධ්‍යස්ථානවලය. එකලස් කිරීම්, එන්ජිම නිපදවීම් හෝ වෙනත් කොටස් නිපදවීම් කෙරෙන කම්හල්වලට බලපෑමක් සිදු නොවන අතර, සමාගම්වල ලාභයට ප්‍රායෝගිකව කිසිදු බලපෑමක් සිදු නොවනු ඇත. ෆේන්ගේ නිවේදනය කෙතරම් ඵල රහිත දැයි මූල්‍ය විශ්ලේෂකයින් පවා විමතිය පල කලහ.

අමතර කොටස් බෙදාහැරීමෙහි යෙදී සිටින කම්කරුවෝ සැප්තැම්බර් 15 වැනි දින කැඳවනු ලැබ තිබූ කම්හල් තුනක පමනක් කම්කරුවන් සමග එකතුවෙති. මහා මෝටර් රථ සමාගම් තුනේ යූඒඩබ්ලිව් කම්කරුවන්ගෙන් සියයට අසූ අටක් තවමත් රැකියාවේ නිරතවී සිටිති. තෝරාගත් කම්හල් කීපයක පමනක් 'වැඩ වර්ජනය' කොට, කලමනාකාරීත්වයේ දොට්ට දැමීම් සහ දඩයම් වලට එරෙහිව කිසිදු ආරක්ෂාවක් නොමැතිව, නිරන්තරව සිදු කෙරෙන බලහත්කාරී අතිකාල වැඩගැනීම් සහිතව සහ කොන්ත්‍රාත්තුවක් නොමැතිව නැවත සේවයට යන ලෙස යූඒඩබ්ලිව් කම්කරුවන්ට පවසා ඇත.

බයිඩන්ගේ සංචාරය ද සිදු වූයේ ඉරිදා කැනඩාවේ ෆෝර්ඩ් හි කම්කරුවන් 5,600 ක් ආවරනය වන පරිදි යුනිෆෝර් සමිතිය එහි තාවකාලික ගිවිසුම යම්තම් සියයට 54 කින් සම්මත කර ඇති බවට කරන ලද වංචනික ප්‍රකාශයෙන් පසුවය.

ගිවිසුම පිලිබඳව [නිලධරයට] වාසිදායක උපුටා දැක්වීම් පමනක් සපයනු ලැබූ, දැඩි ලෙස පාලනය කරන ලද සූම් [තාක්ෂනය යෙදවීමෙන් සැලසුම් කෙරුනු] රැස්වීමකින් පසු කම්කරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට සිදු වූ අතර එහිදී කොන්ත්‍රාත්තුව වඩාත්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයට 'සම්මත' විය. කම්කරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වීමත්, යුනිෆෝර් නිලධාරීන් තාවකාලික සේවකයින්ට අවසන් මොහොතේ විද්‍යුත් තැපෑල යැවීමෙන් සමිතිය තමන්ගේම මැතිවරන නීති උල්ලංඝනය කිරීමත් පිලිබඳ වාර්තා තිබේ. මෙය සිදු වූයේ, ඡන්දයෙන් අපේක්ෂිත ප්‍රතිඵලය ලැබෙන බවට සහතික කෙරී තිබූ සහ වංචාව සංවිධානය කර තිබූ අතරතුර, වැඩ වර්ජන ක්‍රියාමාර්ග අවහිර කිරීම සඳහා කොන්ත්‍රාත්තුව පැය 24කට දීර්ඝ කිරීමෙන් පසුවයි.

කැනඩාවේ යුනිෆෝර් යාන්ත්‍රනයේ ක්‍රියාවන් එක්සත් ජනපදයේ කම්කරුවන්ට අනතුරු ඇඟවීමකි. බයිඩන්ගේ සංචාරයේ අරමුන ෆෝර්ඩ් හි 'ඓතිහාසික' ගිවිසුමක් නිවේදනය කිරීම සඳහා මාවත සැකසීම වන අතර, ඇත්ත වශයෙන්ම, මෙම ගිවිසුම සමාගම්වල ඉල්ලීම්වලට සම්පූර්නයෙන්ම අනුකූල වනු ඇත. ෆෝර්ඩ් සමාගම සමග සාකච්ඡාවන් “සැබෑ ප්‍රගතියක්” ලබා ඇති බවට ෆේන් සිකුරාදා නිවේදනය කල අතර, එම සමාගමේ කොටස් බෙදා හැරීමේ මධ්‍යස්ථාන ෆේන්ගේ වැඩ වර්ජන “ව්‍යාප්ත කිරීමෙන්” බැහැර කෙරුනි.

සහන ආපසු හරවා සැබෑ ජයග්‍රහන දිනාගනුවස් සැබෑ අරගලයක් දියත් කිරීමට සාමාන්‍ය කම්කරුවන්ගේ පවතින අධිෂ්ඨානයට එරෙහිව කුමන්ත්‍රනයක් ක්‍රියාත්මක වෙමින් පවතී. යූඒඩබ්ලිව් නිලධරය, සංගත කලමනාකාරිත්වය සහ බයිඩන් පරිපාලනය - කැනඩාවේ තම සගයන් ද සමග - එයට සම්බන්ධ ය.

බයිඩන්ගේ සෘජු මැදිහත්වීමට සාධක කිහිපයක් බලපා ඇත.

පලමුව, සමාගම් ගැති ගිවිසුම් කෙසේ හෝ ක්‍රියාත්මක කිරීමට ඇති අධිෂ්ඨානය එහි පවතී. ෆේන් කරන පරිදි, බයිඩන් සහ මහා ව්‍යාපාරිකයින් වෙනුවෙන් පෙනී සිටින අනෙකුත් දේශපාලනඥයන් “ඔවුන් සිටින්නේ කුමන පැත්තේද යන්න තීරනය කල යුතුය” යන ආකාරයෙන් එය ඉදිරිපත් කිරීම වංචනිකය. ෆේන් සහ බයිඩන් යන දෙදෙනාම ඔහු [බයිඩන්] සිටින්නේ කුමන පැත්තේද යන්න දනී. ඔහු සිය සමස්ත දේශපාලන ජීවිතය පුරා සංගත නියෝජනය කර ඇත.

පසුගිය වසරේ දුම්‍රිය වෘත්තීය සමිති සමග 'ඓතිහාසික' පාවාදීමේ ගිවිසුමක් තැරැව් කලේ ද මේ ජනාධිපතිවරයාමය. කම්කරුවන් එය ප්‍රතික්ෂේප කිරීමට ඉදිරියට ගිය විට, වැඩ වර්ජනයක් තහනම් කරමින් කෙසේ හෝ කොන්ත්‍රාත්තුව බලහත්කාරයෙන් ක්‍රියාත්මක කිරීමට බයිඩන් කොන්ග්‍රසයේ පක්ෂ දෙකම සමඟම කටයුතු කලේය. බයිඩන් උප ජනාධිපති ලෙස සිටියදී 2009 දී ඔබාමා පරිපාලනය, යූඒඩබ්ලිව් සමග සහයෝගීව වැඩ කරමින්, මෝටර් රථ සමාගම්වල බංකොලොත්භාවය අධීක්ෂනය කරමින් ප්‍රතිව්‍යුහගත කිරීමේ යෙදී සිටියේය. මෙමගින්, රැකියා දස දහස් ගනනක් විනාශ කිරීමත්, නවක කුලීකම්කරුවන්ගේ වැටුප් අඩකින් කප්පාදු කිරීමත්, වැඩ වර්ජන තහනම් කිරීමත් සහ විශ්‍රාමිකයන් සඳහා සෞඛ්‍ය සේවා කප්පාදු කිරීමත් සිදු කෙරිනි.

කෙසේ වෙතත්, බයිඩන්ගේ පැත්තෙන් ගත් කල, ඔහුට වඩා දැඩි සලකා බැලීම්වලට යා යුතු වේ. ජනාධිපතිවරයා ඩෙට්‍රොයිට් වෙත යනු ඇත්තේ එක්සත් ජනපදය හා නැටෝව රුසියාවට එරෙහි ව ගෙන යන යුද්ධය දැවැන්ත තීව්‍රවීමක් පුරෝකථනය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අදහස් දැක්වීමෙන් දින කිහිපයකට පසුවය. මින් අනතුරුව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සමග හමුවක් පැවැත් වූ අතර සති අන්තයේ නිවේදනයක් නිකුත් කෙරිනි. මේ අනුව, බයිඩන් පරිපාලනය රුසියානු භූමියේ ගැඹුරට පහර දිය හැකි දිගු-දුර මිසයිල යුක්‍රේනයට යැවීමට සැලසුම් කරයි.

කොන්ග්‍රසය මේ වන විට යුක්‍රේනයට ඩොලර් බිලියන 24 ක මිලිටරි ආධාර ගැන සාකච්ඡා කරමින් සිටින්නේ මෙතෙක් වියදම් කර ඇති ඩොලර් බිලියන 113 ට අමතරවය. මේ සියල්ල සහ තවත් බොහෝ දේ ගෙවිය යුත්තේ කම්කරු පන්තිය සූරාකෑම තීව්‍ර කිරීමෙනි.

තිරය පිටුපස, බයිඩන් පරිපාලනය ගැටුම වඩාත් දැවැන්ත ආකාරයෙන් තීව්‍ර කිරීමට සූදානම් කරමින් සිටී. යුක්‍රේන “වසන්ත ප්‍රහාරයේ” ව්‍යසනයෙන් ඉක්බිත්තේ, පාලක පන්තිය සූදානම් වන්නේ එජ සහ නේටෝ බලවතුන් විසින් මෙහෙයවනු ලබමින්, සන්නද්ධ කරනු ලැබූ යුද්ධයක සිට එජ සහ නේටෝ හමුදා සහභාගිවන පූර්න පරිමාන යුද්ධයක් දක්වා සංක්‍රමනය වීමට ය.

විදේශයන්හි යුද්ධය සඳහා පන්ති අරගලය මර්දනය කිරීමත්, රට තුල යුද කාලීන ආර්ථිකයක් වර්ධනය කිරීමත් අවශ්‍ය වේ. මෝටර් රථ කම්කරුවන්ගේ අරගලය පාවා දීමේ දී ෆේන්ට සහ යූඒඩබ්ලිව් යාන්ත්‍රනයට ආධාර කිරීමට බයිඩන්ගේ පියවර පැමිනෙන්නේ, නලුවන්ගේ හා ලේඛකයින්ගේ මාස ගනනාවක පුරා ඇදී ගිය වැඩවර්ජනය අවසන් කිරීමට ඇමරිකානු ලේඛක සංගමය උත්සාහ කිරීම මධ්‍යයේ ය. සෞඛ්‍ය සේවකයින් සහ ශාස්ත්‍රාලික සේවකයින් අතර දැවැන්ත වැඩ වර්ජනයකට කැමැත්ත ප්‍රකාශ කරන ඡන්ද ඇතුලුව, වැඩෙන සමාජ කෝපයේ රැල්ලකට පාලක පන්තිය මුහුන දී සිටී.

බයිඩන් ඔහුගේ පරිපාලනය පුරා, සංගතවාදී මූලෝපායක් - එනම්, ධනේශ්වර පද්ධතිය ආරක්ෂා කිරීම මත පදනම්වූ සංගත සහ වෘත්තීය සමිති සමග ආන්ඩුව ඒකාබද්ධ කිරීමේ - අනුගමනය කර ඇත. මෙය දැන් නව අදියරකට පිවිසෙමින් තිබේ.

රුසියානු විප්ලවයේ සම-නායක ලියොන් ට්‍රොට්ස්කි, හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක ලියවිල්ලේ මෙසේ ලිවීය: 'ධනේශ්වර පන්තිය අතිවිශේෂ දුෂ්කරතාවන්හි ගිල්වන යුද්ධ හෝ විප්ලව කාලවල දී වෘත්තීය සමිති නායකයෝ ධනපති ආන්ඩුවල ඇමති ධුර භාර ගනිති. ' ට්‍රොට්ස්කි ලියමින් සිටියේ 1930 ගනන්වල වැඩවර්ජන ව්‍යාපාරයට විලංගු දැමීම සඳහා එෆ්ඩීආර් [රුස්වෙල්ට්] පරිපාලනය වෘත්තීය සමිති රාජ්‍යයට ඇදගනිමින් සිටි කාලයක ය.

මෙය ඇමරිකානු ධනවාදයේ ශක්තිය මත පදනම් වූ පාලක පන්තිය, සමාජ ප්‍රතිසංස්කරන ප්‍රතිපත්තියක් හරහා පන්ති අරගලය පාලනය කිරීමට උත්සාහ කල කාල පරිච්ඡේදයකි. ඒ කාලය ගෙවී බොහෝ කල් ගත වී ඇත. මේ අතර, දශක ගනනාවක් පුරා [සංගතවලට] සහන සලසා දීම අධීක්ෂනය කර ඇති වෘත්තීය සමිතිවල යාන්ත්‍රනයම, එම ක්‍රියාවලිය තුලම සංගත කලමනාකාරීත්වයේ හස්තයක් බවට පරිවර්තනය විය.

කම්කරුවන්ට තේරුම් ගැනීමට අමතර කරුනු දෙකක් ඉතාමත් තීරනාත්මක වේ. පලමුව, රුසියාවට එරෙහි යුද්ධය පාලක පන්තිය විසින් සලකනු ලබන්නේ චීනය සමග යුද්ධයට සූදානමක් ලෙස ය. බයිඩන් පරිපාලනය විද්‍යුත් වාහන වෙත සංක්‍රමනය දෙස බලන්නේ, චීනය සමඟ තීව්‍ර වන ආර්ථික හා භූ-දේශපාලනික ගැටුම සහ තීරනාත්මක ඛනිජ ද්‍රව්‍ය සඳහා ප්‍රවේශයේදී ආධිපත්‍යය දැරීම සැලකිල්ලට ගනිමිනි. විද්‍යුත් වාහන නිෂ්පාදනයේ ලාභදායිත්වය ඉහල නැංවීම සඳහා මෝටර් රථ සමාගම් රැකියා සංහාරයක් සූදානම් කරමින් සිටින අතර, ෆෝඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජිම් ෆාලේ වත්මන් රැකියා නියුක්තියෙන් සියයට 40ක් ඉවත් කිරීමට පුරෝකථනය කරයි. යූඒඩබ්ලිව් විසින් එකඟ වූ “ඓතිහාසික” කොන්ත්‍රාත්තුවලට ප්‍රමානවත් නොවන වැටුප් වැඩිවීම් ඇතුලත් වීම කෙසේවෙතත්, මෙය රැකියා කප්පාදුව සඳහා ඇස්බැන්දුමක් වනු ඇත.

දෙවනුව, බයිඩන් පිකට් වැට වෙත කෙරෙන සංචාරයෙන් පසුව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදාදා මිචිගන්හි සංවිධානය කෙරෙන රැලියකට සහභාගි වීමට නියමිතය. ෆැසිස්ට් පන්නයේ ට්‍රම්ප්, ඔහුගේ ප්‍රකාශ භාවිතා කරනු ඇත්තේ සංගතවල ලාභ හා සූරාකෑම මත ඇති සියලු සීමාවන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටින අතරම, විශේෂයෙන්ම චීනයේ කම්කරුවන්ට එරෙහිව ජාතිකවාදී විෂ පැතිරීමටය.

2024 දී ප්‍රමුඛ ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාම ජනගහනයේ සැලකිය යුතු කොටස් විසින් පිලිකුල් කරනු ලැබේ. යූඒඩබ්ලිව් නිලධරය කම්කරුවන්ගේ ව්‍යාජ මිතුරා වන බයිඩන් ප්‍රවර්ධනය කරයි. ට්‍රම්ප් උත්සාහ කරන්නේ බයිඩන් සහ යූඒඩබ්ලිව් යාන්ත්‍රනයට එරෙහි කම්කරුවන් අතර පවතින සතුරුකම ප්‍රයෝජනයට ගැනීමට ය. මේ මොහොතේ, ඩිමොක්‍රටික් බයිඩන් සහ රිපබ්ලිකන් ට්‍රම්ප් යන දෙදෙනාම කම්කරුවන්ගේ දුක්ගැනවිලි සම්බන්ධයෙන් කටින් බතලකොල සිටුවීමේ කතා කියමින් සිටින අතර ධනවාදයට තර්ජනයක් නොවන ක්‍රම තුල විරුද්ධත්වය තබා ගැනීමට උත්සාහ කරති. එහෙත් අවශ්‍ය යැයි හැඟේ නම් කම්කරුවන්ට එරෙහිව රාජ්‍යයේ සියලු බලතල යෙදවීමට ඔවුන් පසුබට නොවනු ඇත.

මෝටර් රථ කම්කරුවන් අතර කෝපය වැඩෙමින් පවතින අතර සමස්ත කර්මාන්තය අලලා වැඩ වර්ජනයක් සඳහා ඉල්ලීම් පවතී. පිකට් වැටේ ඡායාරූපයට පෙනී සිටීමෙන් පසු, බයිඩන් ෆේන් පසෙකට කැඳවා අසනු ඇත්තේ ජූලි මාසයේදී ඔවුන්ගේ ධවල මන්දිර රැස්වීමේදී ඔහු (බයිඩන්) මතු කල ප්‍රශ්නයයි: ““ඔබ තත්වය පාලනය කර තිබේද?”

මහා මෝටර් රථ සමාගම් තුන පුරා සහ ඉන් ඔබ්බට, සමස්ත ශක්තිය ගොනුකරගත් සටනක් ඉල්ලා සිටීමට සහ එය සංවිධානය කිරීමට ක්‍රියාකාරී කමිටු ජාලයක් ගොඩනැගීම හරහා අරගලය මත තමන්ගේම පාලනය තහවුරු කර ගැනීමෙන් කම්කරු පන්තිය ප්‍රතිචාර දැක්විය යුතුය. සැබෑ අරගලයක් දියත් කල හැක්කේ වෘත්තීය සමිති යාන්ත්‍රනයෙන් ස්වාධීන වූ සංවිධාන වර්ධනය කිරීම හරහා පමනි. මෙම අරගලය ඒ පිටුපස එක්සත් ජනපදය පුරාත් ලොව පුරාත් කම්කරුවන්ගේ සහයෝගය බලමුලු ගන්වනු ඇත.

ඒ අතරම, පන්ති අරගලය යටපත් කිරීමට රජය වෙන කවරදාටත් වඩා සෘජුව මැදිහත්වීම මගින් පැහැදිලි කරන්නේ කම්කරුවන් සටන් කරන්නේ හුදෙක් කෑදර සමාගම් සහ විධායකයින් අතලොස්සකට එරෙහිව පමනක් නොව සමස්තයක් ලෙස පාලක පන්තිය සහ එහි දේශපාලන පක්ෂ දෙකටම එරෙහිව බවයි. ක්‍රියාකාර කමිටු හරහා සංවිධානය කරන ලද කම්කරු පන්තියේ වැඩෙමින් පවතින වැඩ වර්ජන ව්‍යාපාරය, අධිරාජ්‍යවාදී යුද්ධයට හා ධනේශ්වර ලාභ පද්ධතියට එරෙහි සටන සමග අසමානතාවයට හා සූරාකෑමට එරෙහි සටන ඒකාබද්ධ කරමින් සමාජවාදී දේශපාලන නායකත්වයක් ගොඩනැගීමට සම්බන්ධ කල යුතුය.

Loading