ඉදිරිදර්ශන

බැස්ටිල දිනය 1789- බැස්ටිල දිනය 2023

(මෙය Bastille Day 1789—Bastille Day 2023 මැයෙන් 2023 ජූලි 14දා පල කල ඉදිරි දර්ශන ලිපියෙහි පරිවර්තනය යි.)

1789 ජූලි 14දා බැස්ටිලය පුපුරුවා හැරීම සහ ආන්ඩුකාර එම්. ඩි ලෝනේ අත්අඩංගුවට ගැනීම (ඡායාරූපය: නිර්නාමික යි) [Photo: Anonymous]

රාජාන්ඩුවේ සහ වංශාධිපතීන්ගේ පාලනය පදනම් වුනු වැඩවසම් දේපොල සබඳතාවන්ගේ පැරනි පාලන තන්ත්‍රය හෙවත් ප්‍රන්ස පුරාන පාලනයේ අසාධාරනයේ සහ පීඩක බලයේ සංකේතයක් බවට පැමින තිබුනු, පැරීසියේ බලකොටුව වූ බැස්ටිලය පුපුරුවා හැරීමේ 234වැනි සංවත්සරය ජූලි 14දාට යෙදුනි. පැරිසියානු මහජනතාවගේ නැගිටීමට පෙර මාස හා සති කිහිපය තුල, දිග්ගැස්සුනු දේශපාලනික අර්බුදය අනවරත ව ගොඩනැගෙමින් තිබුනි. රාජ්‍ය බංකොලොත් භාවය සහ අපචාර ආන්ඩුවේ කීර්තියට හා අධිකාරයට වලකපා තිබුනි. වෙනස් “ප්‍රජාවන්” තුල සංවිධිත වී තිබුනු ප්‍රන්සයෙහි සමාජ ව්‍යුහයේ ගැඹුරු බෙදීම්, දේශපාලනික ජීවිතයෙහි මතුපිටට පුපුරා එමින් පැවතුනි. ජනගහනයේ අතිමහත් බහුතරයෙන් සමන්විත වූ සහ නැගී එන ධනේශ්වරය විසින් නායකත්වය දුන් “තුන්වැනි ප්‍රජාව,” වංශාධිපතීන්ගේ ප්‍රජාවන් දෙකට විරුද්ධ ව සහ ස්වාධීන ව සංවිධානය වීම අරඹා තිබුනි.

බැස්ටිලයේ බිත්තිවලට පිටත පැවති මහජන විරෝධතා, බලකොටුව ඇතුලින් එල්ල වූ කාල තුවක්කු උන්ඩවලට මුහුන දුනි. එහෙත්, ආයුධ ලබා ගත් මහජනයා නගරයේ මිලිටරි බලඇනියේ කොටසක් ඔවුන්ගේ පාර්ශවයට දිනාගත් හ. බලකොටුවෙහි ආරක්ෂකයන්ගේ ලේවැකි පලියක් ගත් මහජනයා එහි බිත්ති බිඳ දැමූ හ. 1901 හා 1904 අතර කාලයේ ලියූ ප්‍රන්ස විප්ලවයේ සමාජවාදී ඉතිහාසය නමැති කෘතිය තුල ෂෝන් ජෝරෙස් මෙසේ ලීවේ ය:

බැස්ටිලය අත්පත් කරගැනීමෙහි බලපෑම යෝධ එකක් විය. මානව වර්ගයාගේ සිර ගෙය ඇද වැටුනු බව ලෝකයේ සියලු මහජනයාට පෙනී ගියේ ය. මෙය මිනිස් අයිතිවාසිකම් පිලිබඳ ප්‍රකාශනයට වැඩි දෙයක් විය; එය මානව අයිතීන්ගේ සේවයට කැඳවනු ලැබූ මහජනයාගේ ශක්තියෙහි ප්‍රකාශනයක් විය. පැරීසියේ සිට විශ්වයේ පීඩිතයන් කරා ලඟා වූයේ ආලෝකය පමනක් නො වේ.දාසභාවයේ අඳුරු රාත්‍රීය තුල සිරගත ව සිටි මිලියන ගනනකගේ හදවත් තුල, හරියට ම ඒ මොහොතේ දී විමුක්තියේ පලමු අරුනෝදය නැගී සිටියේ ය.

පැරීසියෙන් සැතපුම් 20ක් දකුනට වන්නට වර්සායිහි පිහිටා තිබුනු ඔහුගේ මාලිගයේ ආරක්ෂිත ව සැඟවී සිටි දහසයවැනි ලුවී රජු, ආදිපාද ඩි ගා රොච්ෆව්කෝල්ඩ්-ලියන්කෝට් විසින් නින්දෙන් අවදි කරනු ලැබ වාර්තාවක් දෙනු ලැබූ සවස් යාමයේ පසුභාගය වන තෙක්, මහජන නැගිටීම ගැන අසා තිබුනේ නැත. “ඒ කියන්නේ ඒක කැරැල්ලක්දැ?” යි අපහසුවට පත් රජු ඇසී ය. “නැහැ, දේවයන් වහන්ස, ඒක විප්ලවයක්!” යයි කියමින් ආදිපාදවරයා එයට පිලිතුරු දුන්නේ ය.

බ්‍රිතාන්‍යය අභිබැවූ ඇමරිකානු විජිත වැසියන්ගේ ජයග්‍රහනය සංකේත්වත් කල, පැරිස් සම්මුතියෙන් යන්තම් වසර හයකට පසුව පැමිනි ප්‍රන්ස විප්ලවය, ලෝක ඉතිහාසයේ නව යුගයක ආරම්භය සලකුනු කලේ ය. එහි යෝධ පරිමානය සහ දේශපාලනික ගතිකය අතින් ගත් කල, “තමාගේ ම ඉරනම මත පාලනයේ ක්ෂේත්‍රයට මහජනතාවගේ බලහත්කාරී කඩාවැදීම” යයි ට්‍රොට්ස්කි පසුව සඳහන් කල දෙය, එමගින් මූර්තිමත් කලේ ය.

යෝධ සමාජ, ආර්ථික හා සංස්කෘතික සංක්ෂෝභයේ කාලපරිච්ඡේදයක දේශපාලනික කූටප්‍රාප්තිය වූයේ විප්ලවය යි. මානවවර්ගයාගේ ගැටලු විසඳනුවස්, හේතුප්‍රත්‍යයට පවතින බලය කෙරෙහි විශ්වාස කල බුද්ධි ප්‍රබෝධය නමැති බුද්ධිමය විප්ලවය විසින් එය පූර්වාපේක්ෂා කරනු ලැබිනි. මානව සමාජය විද්‍යාත්මක ව අධ්‍යයනය කිරීමට බලගතු බුද්ධිමය ආවේගයක් සම්පාදනය කල එම යුගයේ ශ්‍රේෂ්ඨ භෞතිකවාදී දාර්ශනිකයෝ පුරාන ආර්ථික, සමාජ හා දේශපාලන පර්යායේ අසාධාරනයන් සහ රජවරුන්ගේ දිව්‍යමය අයිතිය ආගමික මිථ්‍යාව සමගින් යුක්තිසහගත කිරීමට විවේචනයක් සම්පාදනය කලේ ය.

බුද්ධි ප්‍රබෝධයේ වඩාත් ම රැඩිකල් චින්තකයෝ සිය විවේචනය නාභිගත කලේ, සමාජ අසමානතාව සහ පොහොසතුන්ගේ වරප්‍රසාද මත ය.

අද දිනයේ අනුනාද වන වචන යොදා ගනිමින්, ෂෝන්-ජැක් රූසෝ 1755 දී විමසන ලද්දේ “සමාජයේ සියලු වාසි පවතින්නේ බලවත් හා ධනවත් අය වෙනුවෙන් නො වේද?” යනුවෙනි. “සියලු සඵල තානාන්තර පුරවනු ලබන්නේ ඔවුන් විසින් පමනක් නො වේ ද? සියලු වරප්‍රසාද සහ මුක්තීන් වෙන් වී ඇත්තේ ඔවුන්ට නො වේ ද? රාජ්‍ය අධිකාරිය මුලුමනින් ම පවතින්නේ ඔවුන්ගේ වාසියට නො වේ ද? ඉහල පෙලේ මිනිසෙක් ඔහුගේ නයකරුවන්ගෙන් හොරකම් කරමින් වෙනත් ආකාරවලින් රවටද්දී ඔහු නිතර ම මුක්තිය ලබන බව නිශ්චිත නැද්ද?”

1762 දී ලියන ලද රූසෝගේ වඩාත් ම ප්‍රසිද්ධ කෘතිය වන සමාජ කොන්ත්‍රාත්තුව ආරම්භ වූයේ “මිනිසා නිදහසේ උපත ලබන අතර සෑම තැනක දී ම ඔහු යදමින් බැඳී සිටී” යන වචන සමගිනි.

එම යුගයෙහි ශ්‍රේෂ්ඨ චින්තකයන්ගේ සමාජ විවේචනය ක්ෂනික ව විප්ලවය බවට පරිවර්තනය නො වී ය. මහජනතයාගේ ක්‍රියා තුල ඔවුන්ගේ බුද්ධිමය ශ්‍රමයෙහි ගම්‍යයන් සොයාගැනීමට, තවත් දශක කිහිපයක් අවශ්‍ය විය. එහෙත්, ප්‍රන්ස විප්ලවය ගම්‍යතාව අත්පත් කරගනිද්දී, ජනගහනයේ පලල් ස්ථරයන් දේශපාලනික ක්‍රියාකාරීත්වයට ගෙන එමින් වඩා රැඩිකල් මානයන් අත් කරගත්තේ ය. 1785 දී සිතා ගැනීමට පවා නො හැකි ව තිබුනු දේවල් -රාජාන්ඩුව අවසන් කිරීම, වැඩවසම් වරප්‍රසාද හා දේපොල සබඳතා අහෝසි කිරීම, සමූහාන්ඩුවක් ස්ථාපිත කිරීම සහ රජු මරා දැමීම- ඊට පසුව එලඹුනු දශකයේ අවසානයෙහි දී යථාර්ථයක් බවට පත් ව තිබිනි.

සිය රුසියානු විප්ලවයේ ඉතිහාසය නමැති කෘතිය තුල, ලියොන් ට්‍රොට්ස්කි ප්‍රන්සයේ සිද්ධීන් පිලිබඳ ව මෙසේ ලිවී ය: “සංස්කෘතික ධනේශ්වරය විසින් පයට පාගා පොඩි කර දමන ලද සමාජයේ පදනම ම පවා සංක්ෂෝභී වෙමින් සජීවී බවට පැමිනෙමින් පැවතුනි”. “ඝන ස්කන්ධයෙන් ඉහලට මානව හිස් එසවුනේ, ගොරෝසු දෑත් මුදුනට දිගහැරෙද්දී සහ කර්කශ එහෙත් ධෛර්යය සම්පන්න හඬවල් කෑගසද්දී ය! පැරීසියේ දිස්ත්‍රික්ක, විප්ලවයේ අට්ටාල ඒවායේ ම ජීවිතයක් ගත කිරීම ආරම්භ කලේ ය. ඒවා හඳුනාගනු ලැබූ අතර, එසේ හඳුනා නො ගෙන සිටීම කල නො හැක්කක් විය! ඒවා කොටස් බවට පරිවර්තනය විය. නීත්‍යානුකූලත්වයේ සීමාවන් අඛන්ඩ ව බිඳ දමමින් පැවති ඒවා පහලින් නැවුම් රුධිර ධාරාවක් ලබාගනිමින් හා නීතිය නො තකා, අයිතීන් රහිත හා අනාථ විප්ලවවාදීන්ට ඒවායේ තරාතිරම් විවෘත කිරීම කරගෙන ගියේ ය.”

විප්ලවය ප්‍රතිගාමීන්ගේ කර්කශ වෛරයට මුහුන දුනි. ගතානුගතිකයෝ හා මධ්‍යස්ථවාදියෝ විප්ලවයේ “සීමාව ඉක්මවා යාම්” හෙලා දුටුවෝ ය. එහෙත් වඩාත් ම ප්‍රගතිශීලී චින්තකයෝ එහි ආරක්ෂාව සඳහා රැලි වූ හ. දහසය වැනි ලුවී මරා දැමීම ද විප්ලවයේ ආරක්ෂාව සඳහා දියත් කරන ලද ත්‍රස්තය හෙලා දුටු අයට පිලිතුරු දුන් තෝමස් ජෙෆර්සන්, විප්ලවය පරාජය වීමට සාක්ෂි දරනවාට වඩා “ලෝකයෙන් අර්ධයක් වැනසී” යාම දැකගැනීමට තමන් වඩා කැමති බව කීවේ ය. “සෑම රටක් තුල ම ආදම් කෙනෙක් හා ඒව කෙනෙක් පමනක් ඉතිරි වී නිදහස් වුව හොත්, එය දැන් පවතින තත්ත්වයට වඩා යහපත් වනු ඇත” යි ඔහු ලීවේ ය.

ප්‍රන්ස විප්ලවය අද දිනට දක්වන අදාලත්වය කවරක් වේ ද? ඇත්ත වසයෙන් ම, අප සිටින්නේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ නො ව, සමාජවාදී විප්ලවයේ යුගයේ ය. එහෙත්, අසමානතාව, දේපොල සහ ස්ථාපිත පර්යාය පිලිබඳ විප්ලවවාදී විවේචනයෙහි සාරය, ධනවාදී ඛාදනයේ හා අර්බුදයේ කොන්දේසි යටතේ යෝධ බලයක් අත්පත් කරගනී.

මෙම වසර, පැරීසියේ එම විදී හා මාවත් ඔස්සේ ම, මහජන විරෝධතා හා වැඩ වර්ජන දැකගෙන තිබේය යන්න සියල්ලට ඉහලින් මෙයට සාක්ෂියකි. ප්‍රන්සයේ කම්කරුවෝ ධනවාදය තවමත් ගිලටීනයට යවා නැත්නම්, ඔවුන්ගේ අරගලවල අන්තර්ගතය ඍජුව ම ඉස්මතු කරන්නේ, “පොහොසතුන්ගේ ජනාධිපති” වන එම්මානුවෙල් මැක්‍රොන්ට එරෙහි දේශපාලන සටනක ද පවත්නා සමාජ, දේශපාලනික හා ආර්ථික පර්යාය පෙරලා දැමීමේ ද අවශ්‍යතාව යි. විශ්‍රාම වැටුප් කප්පාදු හා පොලිස් ප්‍රචන්ඩත්වය අරබයා පැවති විරෝධතාවන් මතට ම්ලේච්ඡ ලෙස කඩාපැනීමෙන් ක්ෂනික ව ඉක්බිත්තේ, යෝධ දරිද්‍රතාවක් හා අසරන භාවයක් සහිත සමාජයක් මත පාලනය ගෙන යන ගුජරාට් ප්‍රාන්තයේ ෆැසිස්ට්වාදී මිනීමරුවා වන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට මැක්‍රොන් ඊයේ රතු පලස දිගහැරියේ ය.

දරාගත නො හැකි ජීවන කොන්දේසි භූගෝලය පුරා සමාජ අරගලවල නැග්මක් නිෂ්පන්න කරමින් පවතී. ඉන් කිහිපයක් පමනක් සටහන් කරතොත්, එක්සත් රාජධානියේ තැපැල් කම්කරුවන්, සෞඛ්‍යාරක්ෂන කම්කරුවන්, ගුරුවරුන්, දුම්රිය කම්කරුවන් හා කම්කරු පන්තියේ අනෙකුත් කොටස් නිරත වන වැඩ වර්ජන හා වෙනත් අරගල; ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට ඊස්රායලය එල්ල කරන ප්‍රහාරයට එරෙහි මහජන විරෝධතා; කැනඩාවේ ජාතික වානේ මෝටර් රථ කම්කරුවන් 1,400ක් නිරත වන වැඩ වර්ජනය සහ මේ සතියේ දී ආන්ඩුව මැදිහත් වීම හරහා නවතා දමන ලද ඩොක් කම්කරුවන් 7,400ක වර්ජනය; සහ ශ්‍රී ලංකාවේ කම්කරුවන් ලක්ෂ ගනනක සහභාගීත්වයෙන් පැවැත්වෙන අඛන්ඩ වැඩ වර්ජන හා විරෝධතා දැක්විය හැකි ය.

එක්සත් ජනපදය තුල, ලේඛකයන් 11,000ක් නිරත වන වැඩ වර්ජනය මධ්‍යයේ, නලු නිලියන් දසදහස් ගනනක වැඩ වර්ජනය, එක්සත් ජනපදයේ චිත්‍රපට හා රූපවාහිනී නිෂ්පාදන ඉතිහාසයේ විශාලතම වැඩ වර්ජනය ආරම්භ කරන අතර, එය පැමිනෙන්නේ ශාස්ත්‍රාලික කම්කරුවන් සහ ක්ලැරියෝස් හා සීඑන්එච් නිෂ්පාදන කම්කරුවන්ගේ වැඩ වර්ජනවලට පසුව ය. මේ වසරේ දෙවන භාගයේ දී, වෘත්තීය සමිති යාන්ත්‍රනයෙහි පාලනයෙන් පිටතට පුපුරා යාමට තර්ජනය කරන යූපීඑස් කම්කරුවන්, මෝටර් රථ කම්කරුවන් සහ ඩොක් කම්කරුවන් අතර වර්ධනය වන අරගලවලට එමගින් යෝධ ශක්තියක් ලබා දෙනු ඇත.

අනිවාර්යයෙන් ම, ආරම්භක අවධියේ දී කම්කරු පන්තිය විඥානය මත ආධිපත්‍යය දරනු ඇත්තේ, කම්කරුවන් මුහුන දෙන ක්ෂනික කොන්දේසි හා ප්‍රශ්න විසිනි. එහෙත්, මේ සියලු අරගලවල තර්කනය, හුදෙක් හදිසි සංවිධානාත්මක ප්‍රශ්න -එනම්, වෘත්තීය සමිති යාන්ත්‍රනයෙහි යකඩ සැට්ටයෙන් නිදහස් වනුවස් ස්වාධීන ක්‍රියාකාරී කමිටුව වර්ධනය කිරීමේ අවශ්‍යතාව- පමනක් නො ව, සමාජ සම්බන්ධතාවල අතාර්කිකත්වය සහ සමාජයේ අවශ්‍යතා සමග ඒවායේ නො පෑහීම ද ඉස්මතු කරනු ඇත.

ධනවාදය, එයට පැවතීමට තිබෙන අයිතිය සහ පාලක ප්‍රභූව එයට පාලනය කිරීමට තිබෙන “අයිතිය” අහිමි කරගෙන තිබේ. ගෙවී ගිය වසර පහ පුරා, ඩොලර් මිලියන 200ට අධික වන්දි ලබාගත් ඩිස්නි ප්‍රධාන විධායක නිලධාරී බොබ් අයිගර්, “එතරම් මට්ටමක අපේක්ෂාවන්...ඒවා යථාර්ථවත් නැහැ” යි කියමින් වැඩ වර්ජිත නලුවන් හා ලේඛකයන් හෙලාදකින විට, දහසයවැනි ලුවී හා ප්‍රන්ස වංශාධිපති කල්ලිය සමග සන්සන්දනය කිරීම් අනිවාර්ය ය. වර්තමාන සංගත හා මූල්‍ය කතිපයාධිපතීන් සමග සන්සන්දනය කරන විට, මාරි ඇන්ටනොව් මානවවාදී යයි පෙනී යයි. ප්‍රන්සයේ රැජින මහජනයා ගැන කීවේ “ඔවුන්ට කේක් කන්න කියාපල්ලා” යනුවෙනි. අද දින සංගත ස්වාමියෝ එවන් තත්ත්වයකට මුහුන පෑව හොත්, ජනගහනයෙන් සැලකිය යුතු කොටසකට කුසගින්නේ සිටීමට ඉඩ දෙනු ඇත.

ජීවිත ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගතහොත්, ඒවා කොටස් වෙලඳපොල මත ඍනාත්මක බලපෑමක් ඇති කරනු ඇති නිසා, ධනපති ආන්ඩු හිතාමතා ම හා සාපරාධී ලෙස එම පියවර නො ගත් නිසා, පසුගිය අවුරුදු තුනහමාර පුරා ගෝලීය වසංගතය පුද්ගලයන් මිලියන 20ට අධික සංඛ්‍යාවක් මරා දමා තිබේ. එක්සත් ජනපදය තුල වාර්තාගත උනුසුම් වායු ධාරාවල සිට පසුගිය සති දෙක පුරා ඉන්දියාවේ සිය ගනනක් ඝාතනය කර ඇති මෝසම් වැසි දක්වා දේශගුන වෙනස ඇති කරන ව්‍යසනකාරී විපාක දෙස බලා සිටින ධනපති ආන්ඩු ඒවා ගැන කිසිවක් නො කරයි.

යුක්‍රේනය, රුසියාව, යුරෝපය පුරා හා ඉන් ඔබ්බේ කොපමන පුද්ගලයන් ගනනක් මිය ගියත්, ලෝසවෙඅ ඊයේ සඳහන් කල පරිදි “හැකි තාක් කල්” රුසියාවට එරෙහි යුද්ධයක් තීව්‍ර කිරීම බයිඩන් පරිපාලනයේ හා එහි නැටෝ සගයන්ගේ නිරපේක්ෂ ප්‍රමුඛතාව යි. සමාජ වැඩසටහන්වලින් ඉතුරුපහදු වී තිබෙන දේවල් විනාශ කිරීම හරහා සොයාගනු ඇති යෝධ මිලිටරි වියදම් වැඩි කිරීමක් සඳහා සියලු නැටෝ බලයන් ප්‍රතිඥා දී ඇත.

මේ සියල්ලට යටින් දිවෙන දෙය වන්නේ, ප්‍රන්ස වංශාධිපති කල්ලිය ලජ්ජාවට පත්කරන මට්ටමේ සමාජ අසමානතාව යි. 2023 පලමු අර්ධය තුල, පොහොසත් ම පුද්ගලයන් 2,460 දෙනෙක් ඔවුන්ගේ වස්තු සම්භාරයන්ට ඩොලර් බිලියන 852ක් එකතු කරගත් අතර, ලෝක ජනගහනයෙන් අර්ධයක් පමන ජීවත් වන්නේ දවසට ඩොලර් 6.25කට අඩු මුදලක් උපයමින් ය; පසුගිය වසර පුරා මූලික අවශ්‍යතාවන්ගේ පිරිවැය පිම්බීම නිසා ඔවුන් තලා දැමී ඇත.

පවත්නා සමාජ සම්බන්ධතා සමාජයේ වැඩිදුර සංවර්ධනයට බාධා කරන විට, විප්ලව පැන නගින බව මාක්ස් විස්තර කලේ, ප්‍රන්සයේ අත්දැකීම් උකහා ගනිමිනි. “ඒවායේ වර්ධනයෙහි එක්තරා අවදියක දී, පවත්නා නිෂ්පාදන සබඳතා හෝ -මෙය හුදෙක් ම නෛතික භාෂිතයන්ගෙන් එම දෙය ම ප්‍රකාශ කරයි- මේ දක්වා දේපොල සබඳතා ක්‍රියාත්මක වී ඇති රාමුව සමග සමාජයේ ද්‍රව්‍යමය නිෂ්පාදන බලවේග ගැටුමකට එලඹෙයි. ඒවා නිෂ්පාදන බලවේග වර්ධනය කරන රූපාකාරයන්ගේ සිට ඒවායේ විලංගු බවට පරිවර්තනය වෙයි. එවිට ඇරඹෙන්නේ සමාජ විප්ලවයේ යුගයකි.”

1914 පලමු ලෝක යුද්ධයේ පුපුරා යාම සහ 1917 ඔක්තෝබර් විප්ලවය මගින් රුසියානු ධනවාදය පෙරලා දැමීම සමගින් ආරම්භ වුනු සමාජවාදී විප්ලවයේ යුගයෙහි අවසාන අවදිය කරා මානව වර්ගයා එලඹෙමින් සිටී. යල් පිනූ ලෝක ධනපති ක්‍රමයේ ගැඹුරට ගිය හා විසඳිය නො හැකි පරස්පර-විරෝධයන් විසින් මහජන විරෝධයේ වර්ධනය ධාවනය කරනු ලබයි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් නියෝජනය කරන ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය මුහුන දෙන කර්තව්‍යය වන්නේ, ධනපති පර්යාය අතුගා දමමින් අව්‍යාජ සමාජ සමානතාව සඳහා පදනම දමනු ඇත්තා වූ සමාජවාදය සඳහා වන සවිඥානික ව්‍යාපාරයක් බවට, කම්කරු පන්තියේ වැඩෙන මහජන ව්‍යාපාරය වර්ධනය කර එයට අවශ්‍ය දේශපාලනික අවබෝධය හා දිශානතිය ලබා දීමයි.