තුර්කියේ භූමිකම්පාවෙන් හානියට පත් ප්‍රදේශයේ සිට ගෙනෙන වාර්තාව

(මෙය, On-the-spot report from earthquake-hit region in Turkey යන මැයෙන් 2023 පෙබරවාරි 13 දා පලවූ ලිපියේ පරිවර්තනයකි.)

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවෙක් භූමිකම්පාවෙන් විපතට පත් වූ කුකරෝවා දිස්ත්‍රික්කයේ අදානා හි සිට වාර්තා කරයි.

තුර්කියේ සහ සිරියාවේ සිදුවු දැවැන්ත භූමිකම්පාවන් ධනේශ්වර ක්‍රමය විසින් ඇති කරන ලද සමාජ ව්‍යසනයකට තුඩු දී ඇත. ඊයේ වන විට තුර්කියේ මරන සංඛ්‍යාව 29,000 ඉක්මවු අතර සිරියාවේ 5,000 කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

2023 පෙබරවාරි 10 වන සිකුරාදා, දකුනු-මධ්‍යම තුර්කියේ අන්ටක්‍යා හි විනාශ වූ ගොඩනැගිලි අසල සුන්බුන් දොඹකර මගින් ඉවත් කරයි. [AP Photo/Hussein Malla] [AP Photo/Hussein Malla]

විපතට පත් ප්‍රදේශයේ වෙසෙන බොහෝ පිරිස් චෝදනා කරන පරිදි මරනවලට හා විනාශයට වගකිව යුත්තේ “ස්වාභාවික ව්‍යසනය” නොව, ලාභයට කෑදරකමෙන්, භූමිකම්පා රෙගුලාසිවලට අනුකූල නොවන ලෙස ගොඩනැගිලි ඉදිකරන ධනපතියන් සහ මේ ගැන ඇස් පියාගෙන සිටින බලධාරීන් ය. අනෙක් අතට, කම්කරු පන්තිය තුල දැවැන්ත සහයෝගීතාවයක් ගොඩනැගී පවතී.

කුකුරෝවා දිස්ත්‍රික්කයේ අදානා හි, කඩා වැටුනු හෝ හානියට පත්වු හෝ මහල් ගොඩනැගිලි ඉදිකිරිමේදී ගුනාත්මක තත්වයෙන් අඩු ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිතා කර ඇති අතර ආරක්ෂක රෙගුලාසි අනුගමනය නොකල බවක් ද දැකගත හැකි විය. ගොඩනැගිලි 13ක් කඩා වැටුනු අදානා හි 378 දෙනෙකුට ජීවිත අහිමි වූ අතර මේ වන විට ගලවා ගැනීමට හැකි වී ඇත්තේ 33 දෙනෙකු පමනි.

භූමිකම්පාවකදී අතිමහත් දැවැන්ත විනාශයක් සිදු විය හැකි බවට නිල වාර්තා සහ විද්‍යාත්මක අනතුරු ඇඟවීම් සැලකිල්ලට නොගත් තුර්කි ආන්ඩුව ඒ සම්බන්ධව කිසිදු පියවරක් ගත්තේ නැත. භූමිකම්පාවෙන් පසු, රාජ්‍ය බලධාරීන්ගේ මන්දගාමි හා කිසිසේත්ම ප්‍රමානවත් නොවුු ප්‍රතිචාරය නිසා බේරා ගත හැකි වූ දහස් ගනනක් අකාලයේ මිය ගියහ. එයින්, මහජනතාව තුල, දේශපාලන සංස්ථාපිතය හා සංගත කෙරෙහි දැවෙන කෝපයක් ජනිත කර ඇත.

පාලක පන්තිය යලිත් වරක් කෝපය ඉවතට හරවා එය සරනාගතයින් වෙත යොමු කිරීමේ උත්සාහයක යෙදෙයි. විශේෂයෙන්ම, සිරියානුවන් සාපරාධී බවට පත් කෙරෙන, බොහෝ දුරට අසත්‍ය වූ සොරකම් පිලිබඳ වාර්තා මගින්, ආන්ඩුවට සහ සමස්තයක් ලෙස ධනේශ්වර පද්ධතියට එල්ලවු මහජන කෝපය, භූමිකම්පාවෙන් විපතට පත් වූ අහිංසක ජනයා වෙත හරවා යැවීමට උත්සාහ කෙරේ.

හැටේ හි රාජ්‍ය අංශයේ කම්කරුවෙකු පැවසුවේ ඔහු භූමිකම්පාවලට ඔරොත්තු දෙන මහල් නිවාසයක ජීවත් වන බව තමා විශ්වාස කල නමුත් භූමිකම්පාවෙන් එයට දැඩි ලෙස හානි වී ඇති බවයි. ඔහු සහ ඔහුගේ බිරිඳ හානියට පත් නිවසින් බේරී ඇත්තේ යන්තමිනි. කුසගින්න, පිපාසය, සීතල, කැඩුනු මාර්ග සහ ඉන්ධන හිඟය සමඟ දිගු අරගලයකින් පසු ඔවුන් කිලෝමීටර් 200 ක් දුරින් පිහිටි අදානා වෙත ලඟා විය.

“පුවත් විශ්වාස කරන්න එපා; රූපවාහිනියේ පෙන්වනවාට වඩා තත්ත්වය ඉතා නරක යි. මරන සංඛ්‍යාව ඊට වඩා වැඩියි,” හැටේ හි රේගු සේවකයෙක් පැවසීය.

කාරමන්මරාස් හි සෞඛ්‍ය සේවකයෙකු ද එම හැඟීම් ප්‍රතිරාවය කලේය.

රට පුරා සහ වෙනත් රටවල, සෙවුම් සහ ගලවා ගැනීමේ කන්ඩායම් සමඟ ස්වේච්ඡා සේවකයන් දහස් ගනනක් ප්‍රදේශය තුල ක්‍රියාත්මක වේ. සෙවීම් සහ ගලවා ගැනීමේ ප්‍රයත්නයන්, සහන සැපයුම් සහ ආහාර බෙදා හැරීම සහ සමාජ මාධ්‍යවල ප්‍රවෘත්ති සහ අවශ්‍යතා ලැයිස්තු බෙදා ගැනීම සඳහා ස්වේච්ඡා සේවකයන් සහාය ලබා දෙයි. බොහෝ අය භූමිකම්පාවෙන් විපතට පත් වූවන් සඳහා තම නිවෙස් විවෘත කරති. තුර්කියේ සහ ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් ඉතා ශක්තිමත් සහයෝගීතාවයක් විපතට පත් වූවන්ට ලබාදී ඇත.

භූමිකම්පාවෙන් විපතට පත් බොහෝ අය පවසන්නේ ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවන් කිහිප දෙනෙකු පමනක් වරදකරුවන් වී, ප්‍රදේශය තුල අපරාධකරුවන්ගෙන් අතිමහත් බහුතරයක් බේරෙනු ඇති බවත්, 1999 දී ජීවිත 18,000කට ආසන්න පිරිසක් බිලිගත් මාමාර භූමිකම්පාවෙන් පසුව සිදු වූවාක් මෙන් යුක්තිය ඉටු නොවන බවත් තමන් විශ්වාස කරන බවයි. ධනේශ්වර පර්යාය කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය දැඩි ලෙස පලුදු වී ඇත.

මෙම සංහාරයට තුඩු දුන් ධනේශ්වරයේ උදාසීනත්වයට එරෙහිව කම්කරු පන්තියේ පුලුල් සහයෝගීතාවය, සමාජයේ සැබෑ බෙදීම පන්ති පදනම් වූවක් බව නැවත වරක් ඔප්පු කර ඇත. යුක්තිය ඉටු වන පරිදි සහ තුර්කියේ සහ ලෝකයේ සෙසු රටවල එවැනි ව්‍යසනයන් සම්පූර්නයෙන්ම වැලැක්විය හැකි පරිදි ධනවාදය අවසන් කිරීම, සමාජවාදී වැඩපිලිවෙලකින් සන්නද්ධ ජාත්‍යන්තර කම්කරු පන්තියට භාර වෙයි.