ටෙලිකොම් වෘත්තීය සමිති නායකයෝ කම්කරුවන්ගේ ප්‍රසාද දීමනා අරගලය පාවා දෙති

2023 වසර සඳහා ප්‍රසාද දීමනා කප්පාදු කිරීමට කලමනාකාරීත්වය ගෙන ඇති තීරනට එරෙහිව ශ්‍රි ලංකා ටෙලිකොම් සේවකයින් 7,000 ක් පමන අඟහරුවාදා සිට කොලඹ මූලස්ථාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල වාඩිලාගෙන වැඩ වර්ජනයක් දියත් කලහ. කම්කරුවන් එලෙස වර්ජනයකට එලඹියේ දෙසැම්බර් 14 සිට දියත් කල දින භාගයක වැඩ නතර කිරීමේ ක්‍රියාමාර්ගය තවත් තීව්‍ර කරමිනි.

‍ශ්‍රී ලංකා ටෙලිකොම් සේවකයින් 2023 දෙසැම්බරයේ ප්‍රසාද දීමනා ඉල්ලා වාඩි වී විරෝධතාවක නිරත වේ-ඡායාරුප WSWS



වෘත්තීය සමිති ඉල්ලා සිටියේ පෙර වසරවල ගෙවූ ආකාරයෙන්ම මාස තුනක මූලික වැටුපට සමාන වසර අවසාන ප්‍රසාද දීමනාවකි. මාස හතරක මූලික වැටුපට සමාන වාර්ෂික ප්‍රසාද දීමනාවක් සේවකයින්ට හිමි ය. මාසයක වැටුපට සමාන පලමු වාරිකය අප්‍රියල් මාසයේදී ගෙවා තිබේ. ටෙලිකොම් සේවකයින් මෙම ප්‍රසාද දීමනා හිමිකම දිනා ගත්තේ දශක ගනනාවකට පෙර තම සටන්වලිනි.

වැටුප් විෂමතා ඉවත් කිරීම සහ පුද්ගලීකරනය නතර කිරීම වර්ජන ක්‍රියාමාර්ගයේ අනෙකුත් ඉල්ලීම් විය. කෙසේ වෙතත්, මෙම උද්ඝෝෂනය කැඳවූ ටෙලිකොම් වෘත්තීය සමිති පෙරමුන (වෘසපෙ) මූලික වශයෙන් එය යොමු කලේ ප්‍රසාද දීමනාව ලබාගැනීම කෙරෙහි ය. පෞද්ගලීකරනය නතර කිරීමේ ඉල්ලීම ඉදිරිපත් කලේ රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි කපා දමන ආන්ඩුවේ පියවරවලට එරෙහිව කම්කරුවන් අතර පවතින කෝපය වාෂ්ප කර දැමීම සඳහා පමනි.

ශ්‍රී ලංකා ටෙලිකොම් කම්කරුවන් 2023 දෙසැම්බරයේ ප්‍රසාද දීමනා ඉල්ලා ප්‍රධාන විධායක නිලධාරියා ලුහුබැඳීමට පුවරු අතැතිව උද්ඝෝෂන කරති-ඡායාරුප WSWS


කම්කරුවන්ගේ උද්ඝෝෂනය මධ්‍යයේ, දෙසැම්බර් 21 දා, ශ්‍රි ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී ජානක ආර්. අබේසිංහ විසින් චක්‍රලේඛයක් නිකුත් නිකුත් කරමින් කියා සිටියේ, විධායක නොවන සේවකයින් සඳහා ප්‍රසාද දීමනාවක් ලෙස නොව “ආර්ථික දුෂ්කරතා අවම කිරීම සඳහා” සමාගම රුපියල් 35,000 ක දීමනාවක් ගෙවන බවයි. “සමාගමේ කාර්ය සාධනය ඉහල නැංවීමක් සිදුකිරීමට” යටත්ව 2024 පෙබරවාරි මාසයේදී තවත් රුපියල් 45,000ක පොලී රහිත නයක් ගෙවීමට ඔහු යෝජනා කලේ ය. මෙම ගෙවීම මාස නවයකින් වැටුප් වලින් අඩු කිරීමට නියමිතවිය. ප්‍රධාන විධායක නිලධාරිවරයාගේ යෝජනාව අනුව ඉංජිනේරුවන් ඇතුලු සියලු වෘත්තිකයන්ගේ ප්‍රසාද දීමනාව සම්පූර්නයෙන්ම කපා හැර තිබු අතර අත්තිකාරම් වශයෙන් රුපියල් 75,000ක් දීමනාවක් ගෙවා එය මාස නවයකින් වැටුපෙන් කපා හැරේ.

ටෙලිකොම් කම්කරුවන්ගේ සටන්කාමීත්වය මධ්‍යයේ, වෘත්තීය සමිති නායකයෝ කලමනාකාරිත්වය සමඟ නොනවතා සාකච්ඡාවල නිරත වූහ. සිකුරාදා මධ්‍යම රාත්‍රියේ වෘත්තීය සමිති නායකයෝ විධායක නොවන සේවකයන් සඳහා කලමනාකාරීත්වය යෝජනා කල රුපියල් 35,000ක 'දුෂ්කරතා සඳහා අඩුකර ගැනීම සඳහා දීමනාවට සහ උපරිම රුපියල් 200,000කට යටත්ව මාස දෙකක වැටුපට සමාන නයක් ලබා දීමට එකඟ වූහ. එම නය මාස නවයකින් අඩු කරගනු ලැබේ. විධායක නිලධාරීන්ට ලැබෙන්නේ රුපියල් ලක්ෂ දෙකක නයක් පමනි.

සමිති නායකයන් පාලකයන්ගේ යෝජනාවට එකඟවීම, ප්‍රසාද දීමනාව සඳහා කල ඉල්ලීම මුලුමනින්ම අතහැර සිදුකල පාවාදීමකි. සමිති නායකයන් එසේ කලමනාකාරිත්වයේ යෝජනාවලට එකඟවූයේ කිසිදු අයුරකින් සේවකයින්ගේ අදහස් විමසීමකින් ද තොරවය.

කලමනාකාරීත්වය සමඟ ඇති ඔවුන්ගේ සම්මුතිය සාධාරනීකරනය කරමින් වෘසපෙ හි වෘත්තීය සමිති නායකයෙක් වන සුජීව මානගල මෙසේ පැවසීය: “අප ඉදිරියේ ඇති ගැටලු සැලකිල්ලට ගනිමින්, අපගේ ඉල්ලීම් සමඟ ඉදිරියට යනගමන් ම අපි යෝජිත දීමනාව පිලිගෙන වර්ජනය නතර කිරීමට තීන්දු කලා. ප්‍රසාද දීමනා ප්‍රශ්නය දිගටම ගෙන යමින් අපට මෙම ආයතනය බංකොලොත් කරන්න බෑ”. ඔහුගේ ප්‍රකාශයෙන් අඟවා ඇත්තේ, “කම්කරුවන් තම ඉල්ලීම් වෙනුවෙන් අරගල කලහොත් ආයතනය බංකොලොත් වෙනවා,” යන්නයි.

කෙසේ වෙතත්, කම්කරුවෝ ලෝසවෙඅ වාර්තාකරුවන්ට කතා කරමින් වෘත්තීය සමිති නායකයින්ගේ පාවා දීම හෙලා දුටුවෝ ය. එක් සේවකයෙක් මෙසේ පැවසීය: “කන්දක් විලිලාල, මී පැටියෙක් වැදුවා වගේ! දැන් අපට හිඟන දීමනාවකුත්‘ නයකුත් ලැබිලා තියෙනවා. නයක් ගන්නවා නම් අපට වෙනත් තැන්වලිනුත් ගන්න පුලුවන් නෙ. අපි වැඩ වර්ජනය කරලා පිකටින් කලා. අපගේ එක ඉල්ලීමක් වැටුප් විෂමතා ඉවත් කිරීමයි, ඒක විසඳුනෙත් නෑ. සංගම් නායකයින් කිව්වේ මේක පෞද්ගලීකරනයටත් එරෙහි සටනක් කියලා. නමුත් ඒ ගැන කිසිවක් සිදුවුනෙත් නෑ”.

තවත් සේවකයෙක් මෙසේ පැවසීය: “අපේ වැටුප් ජීවන වියදමට මුහුන දීමට ප්‍රමානවත් නෑ, දැනටමත් අරගෙන තියෙන නයවලට කැපිලා ගන්න වැටුපෙන් මොකුත් කරන්න බෑ. අපි තව නයක් ගත්තොත් ඒකත් අපේ පඩියෙන් කැපෙනවා.”

ප්‍රසාද දීමනා සම්බන්ධ කම්කරුවන්ගේ අරගලය පිලිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රධාන විධායක නිලධාරී අබේසිංහ පැවසුවේ “ආයතනයේ මූල්‍ය අභියෝග” පැහැදිලි කර තිබියදීත් කාර්මික ක්‍රියාමාර්ග ගත් බවයි. 2023 තුන්වන කාර්තුව දක්වා බදු ගෙවීමට පෙර ඇත්තේ පාඩුවක් බව ඔහු පැවසීය.

වැඩවර්ජනය “අනාගත ආයෝජකයින්ගේ විශ්වාසයට නිසැකවම විශාල පහරක්” යයි කනස්සල්ලට පත්ව සිටින මහා ව්‍යාපාරිකයන් කියා සිටි බව ඩේලිඑෆ්ටී ලියුවේ ය.

“රජය සතු ව්‍යවසායවල කාර්ය මන්ඩල ප්‍රසාද දීමනා ගෙවීම් සඳහා සුදුසුකම් ලබන්නේ 2022 දී ආයතනයේ මූල්‍ය කාර්ය සාධනය මත පදනම්ව” යි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ බ්‍රහස්පතින්දා මාධ්‍ය වෙත ප්‍රකාශ කලේ ය. “ආන්ඩුවේ මධ්‍යම භාන්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදලට අවම වශයන් සියයට 30ක ලාභාංශ ගෙවීමට මේ ආයතනවලට සිදුවනවා.”

ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී සහ රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශවලට වෘත්තීය සමිති නායකයින් සිකුරාදා රාත්‍රියේ පැවති සාකච්ඡාවල දී එකඟ වී ඇත.

වෘසපෙ හි කැඳවුම්කරු ජගත් ගුරුසිංහ ඇතුලු වෘත්තීය සමිති නායකයින් - 2023 දෙසැම්බරයේ ප්‍රසාද දීමනාවක් ඉල්ලමින්-ඡායාරුප WSWS

වෘසපෙ හි කැඳවුම්කරු ජගත් ගුරුසිංහ ඇතුලු වෘත්තීය සමිති නායකයින් අවධාරනය කරමින් සිටියේ, ප්‍රසාද දීමනා ගෙවන ලෙස ටෙලිකොම් ආයතනයට කම්කරුවන්ගෙන් විශාල පීඩනයක් එල්ල කරන බවයි. කෙසේ වෙතත්, අවසානයේදී, ඔවුන් නය පිලිබඳ සුලු වෙනස්කම් සමඟ කලමනාකාරිත්වයේ යෝජනාව පිලිගත්තේය. විශාල නයක් ලැබීම “ජයග්‍රනයක්” යැයි මේ නායකයෝ විකාර දොඩවති.

ප්‍රසාද දීමනා සම්බන්ධව උද්ඝෝෂනය තීව්‍ර කරමින් වෘත්තීය සමිති නායකයෝ පුද්ගලීකරනයට එරෙහිව කම්කරුවන් බලමුලු ගැන්වීම යට ගැසූහ. පසුගිය මාස කිහිපය තුල වෘසපෙ කැඳවුම්කරු, ගුරුසිංහ සහ අනෙකුත් නායකයින් කියා සිටියේ විශාල පීඩනයක් යෙදීමෙන් ටෙලිකොම් පුද්ගලීකරනය අත්හැරීමට ආන්ඩුවට බල කරන බවයි.

ඒ වෙනුවට ආන්ඩුව සිය පිලිවෙත් වේගවත් කර ඇත. ඔවුන්ගේ බලපෑම් දැමීමේ ක්‍රියාමාර්ගය කම්කරුවන්ට උගුලක් වී ඇත. ප්‍රසාද දීමනා ඉල්ලා උද්ඝෝෂනය යන අතරතුරේ දී හෙලිදරව් වූයේ ආන්ඩුවේ නිලධාරීන් ඉන්දීය ආයෝජකයකු සමඟ ටෙලිකොම් ආයතනයේ භාන්ඩාගාරය සතු කොටස විකිනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවයි.

ප්‍රසාද දීමනා සටන ක්‍රියාත්මක වන අතරතුර වෘත්තීය සමිති නායකයෝ “දූෂිත” සභාපති, ප්‍රධාන විධායක නිලධාරී සහ අනෙකුත් බලධාරීන් ටෙලිකොම් විනාශ කිරීමට සූදානම් වන බවට උද්ඝෝෂනයක් තීව්‍ර කලහ. ඔවුන් පලවා හැරීම ප්‍රමුඛතාවයක් වී ඇති බව ඔවුන්ගේ පත්‍රිකාවල සටහන් කර තිබුනි.

දූෂිත වුවත් නැතත්, ටෙලිකොම් සහ අනෙකුත් රජයට අයත් ව්‍යවසායන් හි සියලුම ලොකු ලොක්කන් ක්‍රියත්මක කරමින් සිටින්නේ ජනාධිපති වික්‍රමසිංහ ආන්ඩුව නියෝග කර ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු පිලිවෙත්‍ය . මේ ආයතනවලින් නිලධාරීන් ඉවත් කල පමනින් එම කප්පාදු ප්‍රතිපත්ති වෙනස් වන්නේ නැත.

පසුගිය අරගලවලින් ටෙලිකොම් සහ අනෙකුත් රාජ්‍ය ව්‍යවසායන්වල කම්කරුවන්ට වැදගත් පාඩම් තිබේ. එනම්, තම අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා ආන්ඩුවේ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කිරීමේ දේශපාලන කර්තව්‍යයට ඔවුන් මුහුන දී සිටින බවයි. වෘත්තීය සමිති නායකයන් හිතාමතාම සඟවන්නේ මෙයයි.

තම අයිතීන් ආරක්ෂා කර ගැනීමට කම්කරුවන් තමන්ම සංවිධානය වීමෙන් පමනක්ම ආන්ඩුවේ ප්‍රතිපත්ති පරාජය කල හැකිය. ඒ සඳහා සෑම සේවා ස්ථානයකම, ආයතනයකම සහ කම්කරු නිවහන් ප්‍රදේශයකම කම්කරුවන් විසින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා ගන්නා ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතු ය. වෘත්තීය සමිති නිලධාරීන්ට සහ ධනපති පක්ෂවලට මෙම කමිටුවලට ඇතුලු වීමට ඉඩ නො තැබිය යුතුය.

මෙම ක්‍රියාකාරී කමිටු නියෝජිතයන් තම අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා දියත් කල යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න තීරනය කල යුතු අතර, තම අරගල වටා අනෙකුත් කර්මාන්තවල සහ ජාත්‍යන්තරව තම සහෝදර කම්කරු පන්තිය සමඟ ඒකාබද්ධව සටන ඉදිරියට ගැනීමට පියවර ගත යුතු ය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) අවධාරනය කරන්නේ, කම්කරු පන්තියට තම අයිතීන් ආරක්ෂා කර ගත හැක්කේ ධනවාදයට එරෙහිව සමාජවාදී පිලිවෙත්වලට සටන් වැදීමෙන් එනම් මහ බැංකු, රජය සතු ව්‍යවසාය ඇතුලු විශාල සමාගම් හා මහා වතු කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කිරීමෙනි. සියලු විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කල යුතු ය.

මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කල හැක්කේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ලංකාව තුල කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් වැදීමෙනි.

Loading