මුදල් ඇමතිගේ අයවැය යෝජනා සමාජ ප්‍රහාර ගැඹුරු කරයි

[මෙහි පලවන්නේ Sri Lankan finance minister’s budget proposals deepen social attacks නමින් නොවැම්බර් 16, 2021 දින පලවූ ලිපියේ පරිවර්තනයයි.]

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහෝදරයා වන මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, සිකුරාදා ඔහුගේ කප්පාදු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ ය.

“මෙය වනාහි ඉතිහාසයේ වඩාත් ම අභියෝගාත්මක කාල පරිච්ඡේදය” යැයි ඔහු වාචාල ලෙස ප්‍රකාශ කලේ, “ආර්ථිකය කලමනාකරනය කර ගනිමින් එවන් අභියෝග ජයගැනීමට අවශ්‍ය ශක්තිය සමගින් අපි සන්නද්ධ ව සිටිනවා” යි කියාපාමිනි.

සෞඛ්‍ය සේවකයින් පසුගිය ජුනි මාසයේදී මහනුවරදී විරෝධතාවයක නියැලෙමින් [ලෝසවෙඅ මාධ්‍ය]

සරල බසට පෙරලූ විට, “ආර්ථිකය කලමනාකරනය කරගැනීම” හා අභියෝග “ජයගැනීම” යන්නෙහි අර්ථය වන්නේ, කොවිඩ්-19 මගින් ගැඹුරු කර ඇති ආර්ථික අර්බුදය, අනුකම්පා විරහිත ලෙස මහජනයා මතට පැටවීම යි.

ලංකාව “කොවිඩ්-19 වසංගතය මුල දී ම පාලනය කිරීම මගින් පැහැදිලි වාසියක් අත් කරගැනීමට සමත් වී ඇතැ” යි ව්‍යාජ ලෙස ප්‍රකාශ කරමින්, වෛරසය ආසාදානය වුනු හෝ ඉන් මිය ගිය දහස් ගනනක් වන මහජනයා කෙරෙහි පාලක ප්‍රභූවේ කුදු මහත් නො තැකීම ද රාජපක්ෂ විසින් හෙලිදරව් කලේ ය.

ආන්ඩුවේ ප්‍රතිචාරය මගින් “අපේ මහජනයාගේ ජීවිත” පුනර්ජීවනය කෙරී ඇති බවත්, “ආර්ථිකයෙහි තීරනාත්මක අංශ පුනස්ථාපනය” කෙරී ඇති බවත් ඔහු කියාගෙන ගියේ ය. “සංචරනය යලි ඇතිවී තිබෙනවා. ආදායම් ජනනය කරන ක්‍රියාකාරකම් යලි ඇරඹී තිබෙනවා. අපේ ජනතාවගේ ජීවිත නැවත සාමාන්‍ය තත්වයට පත් වී තිබෙනවා.” “සමස්ත රටමත් කඩිසර වැඩපොලක් බවට හැරෙනු අපි දුටුවා.”

රාජපක්ෂගේ කියාපෑම්වලට විපරීත ව, ලංකාව තුල වසංගතය පාලනය කිරීමක් නැත. කිසිසේත් ප්‍රමානවත් නො වන ආන්ඩුවේ ප්‍රතිචාරය, නිල සංඛ්‍යාලේඛනවලට අනුව 552,000ට අධික ආසාදනයන්ට හා 14,000ට වැඩි පුද්ගලයන් ගනනකගේ මරනවලට හේතු වී තිබේ. තව ද මාරාන්තික රෝගයේ නව නැග්මක් අතලඟ බවට වෛද්‍ය විශේෂඥයන් යලි යලිත් අනතුරු අඟවා ඇත.

මානව ජීවිතවලට ඉහලින් ජාත්‍යන්තර ආයෝජකයන්ගේ හා මහ ව්‍යාපාරිකයේ ලාභ තබමින්, සිය ගෝලීය හවුල්කාරයන් මෙන් රාජපක්ෂ පාලන තන්ත්‍රය ද ආර්ථිකය යලි විවෘත කලේ ය. අහිමිවූ ජීවිත සම්බන්ධයෙන් කිසිදු සානුකම්පික බවක් හෝ පසුතැවීමක් ඇඟවෙන වචනයකුදු රාජපක්ෂ සමාජ ව්‍යසනය ගැන කීවේ නැත.

තමන්ගේ අයවැය මහජනයාට කිසිවක් නො දෙනු ඇති බවත්, ඒ වෙනුවට ඔවුන්ගෙන් ගනු ඇති බවත්, නොවැම්බර් 1දා රාජපක්ෂ මාධ්‍යයට විවෘත ව කීවේ ය. “මහජනයා මතට බර නො පැටවෙන පරිදි” අයවැය පරිස්සමින් සකස් කරනු ලැබ ඇති බව, පසුගිය සිකුරාදා ඔහු පාර්ලිමේන්තුවේ දී කුහක ලෙස කීවේ ය.

ඉහල යන උද්ධමනය හා අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟයන් මධ්‍යයේ වැටුප් කැටි කෙරෙද්දී ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා, අපේක්ෂා කල පරිදි ම, කම්කරුවන් හා දුගීන් මත එල්ල කරන ලද සුවිසල් ප්‍රහාරයකි. අයවැයට පෙර කාලයේ දී, කොලඹ පාලනය අත්‍යවශ්‍ය භාන්ඩවල සියලු මිල පාලනයන් හකුලාගත්තේ, ඉහල වෙලඳපොල මිල ගනන් නියම කිරීමේ නිදහස මහ ව්‍යාපාරිකයට පවරමිනි.

ලබන වසර සඳහා සමස්ත අයවැය වියදම රුපියල් ට්‍රිලියන 3.9 දක්වා වැඩි වනු ඇති අතර, තක්සේරුගත ආදායම රුපියල් ට්‍රිලියන 2.2කි. අයවැය පරතරය පියවීමට අවශ්‍ය මුදල් සපයා ගනු ඇත්තේ, දේශීය හා විදේශීය නයගැනීම් හා වැඩ කරන ජනයා මත පටවනු ලබන බදු ඉහල දැමීම් හරහා ය.

ඒ අතර ම, පසුගිය වසරේ දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 14.7ක් වූ අයවැය පරතරය, එලඹෙන වසරේ දී සියයට 8.8 දක්වා කපා හැරීමට ආන්ඩුවට අවශ්‍ය වේ. පසුව සිදු කෙරෙන ව්යදම් අඩු කිරීම් මගින් 2028 වන විට අයවැය තුලනය වනු ඇතැයි ද ආන්ඩුව තක්සේරු කරයි. මින් අදහස් කෙරෙන්නේ, හුදෙක් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල තවත් වැඩි වීම හා මහජනයාගේ ජීවන කොන්දේසි තියුනු ලෙස පහල දැමීම පමනක් නො ව, සමස්ත රාජ්‍ය අංශය ම බිඳ දැමීමේ ප්‍රයත්නයකි.

මේ වසරේ දී රුපියල් බිලියන 1,030ක් වන බදු ආදායම, ලබන වසර සඳහා පුරෝකථනය කරනු ලබන රුපියල් බිලියන 1,491ක් දක්වා වැඩි කරගනුවස්, ආනයනයන් මත බදු මෙන්ම, භාන්ඩ හා සේවා බද්ද (ජීඑස්ටී) වැඩි කිරීම ද රාජපක්ෂගේ අයවැයට ඇතුලත් වේ. භාන්ඩවල හා ජීඑස්ටී බදු ප්‍රතිශතයන්හි සම්පූර්න ලැයිස්තුව තවමත් නිවේදනය කර නැතත්, අයවැය ඉදිරිපත් කරන දවසේ සිට ක්‍රියාත්මක වන පරිදි මධ්‍යසාර හා සිගරැට් මත අය කරනු ලබන ඉහල බදු වැඩිකිරීමක් නිවේදනය කරන ලදී.

රජයට අයත් ව්‍යවසායයන් 300ක් පමන “වානිජකරනය” කිරීම හරහා ද තියුනු කප්පාදු පටවනු ලැබේ. “මේ ආයතනවලින් බොහොමයක්, ආන්ඩුව මගින් කරනු ලබන ආයෝජනවලට පෙරලා ආදායම් සම්පාදනය කරන්නේ නැහැ. ඒවා ජාතික ආර්ථිකයට බරක්” යැයි රාජපක්ෂ ප්‍රකාශ කලේ ය.

“මූලෝපායික ඉදිරි මාවතක්” සූත්‍රගත කරනු ඇති “බහු-ආංශික උපදේශක කමිටුවක්” යටතට, රජයට අයත් ව්‍යවසායයන් පත්කෙරෙනු ඇතැයි ඔහු කීවේ ය. රාජ්‍ය අංශය තුල කිසිදු නව ඉදිකිරීමක් සිදු නො කිරීමට ද එම අංශයේ දුරකථන හා විදුලි පිරිවැය පිලිවෙලින් සියයට 25කින් හා 10කින් කපා හැරීමට ද ඔහු යෝජනා කලේ ය.

අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවක දී, සමස්ත රාජ්‍ය අංශය “දැරිය නො හැකි බරක්” වී ඇති බව රාජපක්ෂ කීවේ ය. “රජයේ සේවකයන් වෙනුවෙන් මහජන මුදල් වියදම් කිරීම කිසිසේත් කල නොහැකි” යැයි ඔහු සඳහන් කලේ ය. රාජ්‍ය අංශයේ විශ්‍රාම ගන්නා වයස 60 සිට 65 දක්වා ඉහල දැමීමට ද රාජපක්ෂගේ අයවැය යෝජනා කරන්නේ, සියලු නව බඳවාගැනීම් නවත්වමිනි.

මිලියන 1.4ක් වන රටෙහි රාජ්‍ය සේවකයන් මත එල්ල කරන මෙම ප්‍රහාරය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කලින් ඉදිරිපත් කල “ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරන” විධානයන්ට අනුකූල වන අතර, මෙම කම්කරුවන් විසින් අසීරුවෙන් දිනාගත් අයිතීන්වල ඉතුරු පහදු තුරන් කිරීම ද එයට ඇතුලත් වේ.

දරුනු පිරිවැය කප්පාදු ක්ෂනික ව ක්‍රියාත්මක කිරීම සඳහා රජයට අයත් ව්‍යවසායන්හි කලමනාකාරීත්වයන් තල්ලු කරනුවස්, වාර්ෂික පදනමක් වෙනුවට කාර්තුමය පදනමක් මත වියදම් කිරීමේ අවසරය ආන්ඩුවේ ආයතනවලට ලබාදීමට මුදල් ඇමති රාජපක්ෂට අවශ්‍යකරයි. “පාරිභෝගික තෘප්තිය හා මූලික කාර්ය සාධන දර්ශකයන් මත පදනම් වන” ඇගයීම් පද්ධතියක් හරහා, රාජ්‍ය සේවා කාර්යක්ෂමතාව හා ඵලදායීතාව “වැඩි දියුනු කිරීම” ද කෙරෙනු ඇත.

සෞඛ්‍යය, සමෘද්ධි, ජල සම්පාදන, ලමා සංවර්ධන හා ග්‍රාමීය නිවාස යන අංශවලට කෙරෙන වෙන් කිරීම්වලින්, රුපියල් බිලියන 173ක් කපා හැරීම ද සිදු වනු ඇත.

ඛනිජ තෙල් සංස්ථාවේ කම්කරුවන් කොලොන්නාවේදී උද්ඝෝෂනය කරමින් (ඡායාරූපය-ලෝසවෙඅ මාධ්‍ය)

රාජ්‍ය සේවකයන්ට අයවැයෙන් රුපියල් 10,000ක වැටුප් වැඩි කිරීමක් ප්‍රදානය කරන ලෙස ආන්ඩුවට ආයාචනා කල සමහර වෘත්තීය සමිති, ඒ සමාන වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙස පුද්ගලික අංශයේ හාම්පුතුන්ගෙන් විමසන ලෙස මුදල් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියහ. මෙවන් බැගෑපත් ඉල්ලීම්, නැගෙන කම්කරු-පන්තික කැලඹීම වාෂ්ප කිරීමටත්, ආන්ඩුවට හා හාම්පුතුන්ට එරෙහි ඍජු දේශපාලනික අරගලයක් ඇති වීම වැලැක්වීමටත්, දරනු ලබන මංමුලා සහගත උත්සාහයක් විය.

ගුරුවරුන් හා විදුහල්පතිවරුන් 250,000කට සොච්චම් වැටුප් වැඩි කිරීමක් සඳහා අයවැය ප්‍රතිපාදන වෙන් කිරීමක් ද මුදල් ඇමති රාජපක්ෂ නිවේදනය කලේ ය. ආරම්භක ඉල්ලීමෙන් තුනෙන් පංගුවක් සඳහා ආන්ඩුව සමග කුජීත ගනුදෙනුවකට එලඹුනු ගුරු වෘත්තීය සමිති, අනතුරුව දීර්ඝ කාලයක් පුරා ඇදුනු ගුරු වැඩ වර්ජනය නවතා දැමූ හ.

මහ ව්‍යාපාර 62කින් සහ රුපියල් බිලියන 2ක වාර්ෂික ආදායමක් සහිත පුද්ගලයන්ගෙන් එක් වරක් පමනක් අය කරනු ලබන සියයට 25ක ආදායම් බද්දක් මෙන් ම මිලියන 120ට අධික වාර්ෂික ආදායමක් සහිත සමාගම් වෙතින් සියයට 2.5ක සමාජ ආරක්ෂන බද්දක් ද අය කරගැනීමට රාජපක්ෂ යෝජනා කලේ ය. මෙම බදුවලට ආන්ඩුවේ ආදායම රුපියල් බිලියන 200කින් වැඩි කල හැකි අතර, එය ඉහල ම ලාභ උපයන්නන්ට නොදැනෙන තරමේ බද්දකි.

මහ ව්‍යාපාර මත පැනවූ මෙම කුඩා බදු වැඩි කිරීම් වැඩ කරන ජනයා මත ආන්ඩුව එල්ල කරන විනාශකාරී ප්‍රහාරයෙන් අවධානය ඉවතට හැරවීම සඳහා සංගත මාධ්‍ය විසින් යහමින් යොදා ගැනුනි. එහෙත්, දකුනු ආසියාවේ අඩු ම සංගත බදු අනුපාතය වන සියයට 14 සිට 24 දක්වා වන ප්‍රමානය මත කොලඹ පාලනය අත තබා නැත.

මහා ආයෝජකයන්ට ආන්ඩුව ප්‍රදානය කරන නො මසුරු බදු විරාමයන්ට ද අත තබා නැත. උදාහරනයක් ලෙස, කොලඹ තුල චීන ඉඩම් ගොඩ කිරීමක් වන වරාය නගරය, ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකාශ කරනු ලැබ, ලංකාවේ බදුවලින් හා කම්කරු නීතිවලින් ඉවත් කරනු ලබයි.

“ප්‍රකෘතිමත් වීම” පිලිබඳ රාජපක්ෂගේ පූච්චානම් නො තකා, වසංගතය අඛන්ඩ ව පවතිද්දී රටෙහි ආර්ථික අර්බුදය හා විදේශ නය ගැටලු ගැඹුරු වනු ඇති අතර, අපනයන ඇද වැටීම සහ ගෝලීය වෙලඳ බාධනයන් දිගටම පවතිනු ඇත. මුදල් ඇමතිවරයා පිලිගත් අයුරු, ඊලඟ වසරට ඩොලර් බිලියන 4.3ක් හා ඉන්පසුව එලඹෙන වසරවලට ඊටත් විශාල ප්‍රමානයන් වන පරිදි, විදේශ නය ආපසු ගෙවීම ආන්ඩුවේ විශාලතම අයවැය වියදම වෙයි.

මහ ව්‍යාපාරික සංසදයක් වන ලංකා වානිජ මන්ඩලය, “ප්‍රධාන ධාරාවේ සංගත බදු අනුපාත හා ආයෝජක දිරිගැන්වීම්” පවත්වාගෙන යාම සාදරයෙන් පිලිගනිමින්, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරනයන් උත්කර්ෂයට නැංවූ ව ද මහ ව්‍යාපාර මත එක් වරක් අය කරන බද්ද ගැන නො සතුට පලකලේ ය.

“දූෂනය” හා ආර්ථිකය “වරදවා හැසිරවීම” විසින් අර්බුදය ජනනය කරන ලදැයි කියාපාමින්, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුන වැනි විපක්ෂ බියගුලු ලෙස ආන්ඩුව විවේචනය කල හ. ධනපති ලාභ පද්ධතිය ආරක්ෂා කරන මේ සියලු පක්ෂවලට රාජපක්ෂ පාලනය සමග ඇත්තේ උපායාත්මක වෙනස්කම් පමනක් වන අතර, ඒවා බලයේ සිටිය දී ද කම්කරුවන්ට හා දුගීන්ට එරෙහි ව අනුකම්පා විරහිත කප්පාදු පියවරයන් පනවා ඇත.

කම්කරු පන්තියේ පුලුල් කොටස් හා ගම්බද දුගීන් ගෙවී ගිය මාස දහය තුල, තම ජීවන හා සමාජ කොන්දේසිවලට ආන්ඩුව එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහිව, පෙලපාලි, විරෝධතා හා වැඩ වර්ජන මගින් ප්‍රතිරෝධය දක්වා තිබේ. සෞඛ්‍ය, අධ්‍යාපන, දුම්රිය හා රාජ්‍ය පරිපාලන අංශවල සේවකයන් සහ වතු කම්කරුවන් මෙම අරගලවල නියැලී ඇත.

විදුලිබල, ඛනිජතෙල් හා වරාය කම්කරුවෝ ද මේ මස මුල දී ජාතික පරිමාන විරෝධතා දක්වමින්, ආන්ඩුවේ වානිජකරන හා පුද්ගලීකරන න්‍යාය පත්‍රයට ප්‍රතිරෝධය දැක්වූ හ. වගාව සඳහා අවශ්‍ය පොහොර හා අනෙකුත් මූලික ප්‍රදානයන්ගේ හිඟයෙන් කෝපයට පත් ගොවියෝ අඛන්ඩ ව විරෝධය පල කර තිබේ.

විදේශ නය ගෙවීම සඳහා වැයවන ප්‍රමානයට පමනක් දෙවැනි වන පරිදි, ආරක්ෂක වියදම රුපියල් බිලියන 373 ක් දක්වා බිලියන18කින් වැඩි කිරීමට මුදල් ඇමති රාජපක්ෂට අවශ්‍යවීම අහම්බයක් නො වේ. පොලීසිය සඳහා පිරිවැය ද රුපියල් බිලියන 10කින් වැඩි කරමින් බිලියන 95 දක්වා ඉහල දමා ඇත. මෙලෙස රාජ්‍ය උපකරනය ශක්තිමත් කරන්නේ, කම්කරු පන්තිය සමග මුහුනට මුහුන ගැටීම සඳහා වන සූදානම තුලයි.

Loading