වරාය කම්කරු ක්‍රියාකාරී කමිටුව, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ අයිඑම්එෆ් විරෝධී රැස්වීම තහනම් කිරීම හෙලාදකියි

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) විසින් ජනවාරි 3දා පේරාදෙනිය විශ්වවිද්‍යායලයේදී පැවත්වීමට නියමිතව තිබූ රැස්වීමක් එම විශ්ව විද්‍යාලයේ වැඩබලන උපකුලපතිවරයා විසින් ප්‍රජාතන්ත්‍රවිරෝධී ආකාරයෙන් තහනම් කෙරුනි. “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේද” යන රැස්වීමේ මාතෘකාව ආන්ඩුවේ අයිඑම්එෆ් ගැති වැඩපිලිවෙලට සෘජුවම අභියෝගයක්‍ය යන්න බලධාරීන් සහ ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ප්‍රධානීන් විසින් තීන්දු කිරීම, මෙම තහනම පිටුපස පවතින ඇත්ත කාරනය බව සසජාතශි විසින් දැනටමත් පෙන්වා දී ඇත.

ජවිපෙ/ජාජබ ආන්ඩුවේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට එරෙහිව සසජාතශි විසින් ජාත්‍යන්තර පරිමාන උද්ඝෝෂනයක් අරඹා ඇති අතර විවිධ රටවල් නියෝජනය කරමින් භාෂනයේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සම්බන්ධයෙන් උත්සුක අය විසින් මෙම තහනම හෙලා දකින ප්‍රකාශ එවමින් තිබේ. තවද, ලංකාවේ සිතන මතන ශිෂ්‍යයින් සහ බුද්ධිමතුන්, සමාජ ක්‍රියාකාරීන් සහ විශ්වවිද්‍යාල ආචාර්ය මන්ඩලය ඇතුලු තවත් සංවිධාන විසින් සමාජමාධ්‍ය, ජාතික පුවත්පත් තුල බලගතු ප්‍රකාශ නිකුත් කර තිබේ.

මෙම උද්ඝෝෂනය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ වෙමින් ප්‍රකාශ නිකුත් කරන ලෙස ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සම්බන්ධයෙන් උත්සුක සිසුන්, ශාස්ත්‍රාලිකයන්, අනධ්‍යයන සේවකයන්, බුද්ධිමතුන් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අගය කරන සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු. සසජාතශි වෙත පිටපත් සමග විශ්වවිද්‍යාල බලධාරීන්ට විරෝධතා ලිපි යවන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

වැඩ බලන උපකුලපති, පේරාදෙනිය විශ්වවිද්‍යාලය

ඊමේල්: vc@pdn.ac.lk

පිටපත්: IYSSE

ඊමේල්: iysseslb@gmail.com

පහත පලවන්නේ කොලඹ වරාය තුල ක්‍රියාත්මක ස්වාධීන ක්‍රියාකාරී කමිටුවක් වන වරාය කම්කරු ක්‍රියාකාරී කමිටුව විසින් මෙම ප්‍රහාරයට එරෙහිව සම්මත කරනු ලැබ ලෝක සමාජවාදී වෙබ් අඩවිය වෙත එවන ලද ප්‍රකාශනය යි.

කැදවුම්කරු,

වරාය කම්කරු ක්‍රියාකාරී කමිටුව,

716 1/1, කෝට්ටේ පාර,

ඇතුල් කෝට්ටේ,

කෝට්ටේ ,

2025.01.04

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබු “ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරනේ කෙසේද?” යන දේශනය තහනම් කිරීම

හිතවත් සහෝදර සහෝදරියනි,

සමාජ සමානතාව සදහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමයේ (පීඑස්එස්ඒ) අනුග්‍රහයෙන් ජනවාරි 03දා එම විශ්වවිද්‍යාලයේ සංවිධාන කර තිබු, “ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේද ” යන දේශනය වැඩබලන උපකුලපතිවරයා විසින් තහනම් කර ඇත

රැස්වීමේ මාතෘකාව රජයේ ප්‍රතිපත්තිවලට අභියෝග කිරීම නිසා දේශනය අවලංගු කිරීමට පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපතිවරයා විසින් නියෝග කර ඇති බව රැස්වීමට පැවැත්වීමට නියමිතව තිබූ ජනවාරි 3දා උදෑසන සසජාතශි වෙත දන්වා තිබුනි. විකල්පයක් ලෙස, සසජාතශි වෙත දන්වා සිටියේ එය දේශන මාතෘකාව වෙනස් කල යුතු බවයි.

රැස්වීම අවලංගු කිරීමට ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)/ජාතික ජන බලය (ජාජබ) ආන්ඩුව භූමිකාවක් ඉටු කල බවට ඉඟි පල විය.

මෙම දේශනය තහනම් කිරිම මගින් වර්තමාන ආන්ඩුව කම්කරුවන් , ශිෂ්‍යයන් තරුනයන් සහ ගොවියන් ඇතුලු අවශේෂ පීඩිත මහජනතාව තමන් මුහුන දෙන ප්‍රශ්න පිලිබඳව සාකච්ඡා කිරීමට තිබෙන ප්‍රජාතන්ත්‍රීය අයිතියට එල්ල කර ඇත්තේ මරු පහරකි.

අධිරාජ්‍යවාදී මූල්‍ය ආයතනයක් වන අයිඑම්එෆ් වැඩපිලිවෙල යටතේ රාජ්‍ය ආයතන 430ක් පෞද්ගලීකරනය කර, එම ආයතන වල සේවය කරන සේවකයන් ලක්ෂ පහමාරක් පමන සේවයෙන් ඉවත් කිරීමටත්, නිදහස් අධ්‍යාපනය සහ නොමිලේ රෝහල් සේවය ඇතුලු සුබසාධන සාධන සේවාවන් අහෝසි කිරීමටත් කටයුතු කෙරේ. ජවිපෙ/ජාජබ ආන්ඩුව අයිඑම්එෆ් නියෝග ක්‍රියාවට දමමින් සිටියි.

වරාය ක්‍රියාකාරී කමිටුව, මෙම රැස්වීම් තහනම තරයේ හෙලාදකී. එමෙන්ම, “ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරනේ කෙසේද?” යන සසජාතශියේ දේශනය පැවැත්වීමේ අයිතිය තහවරු කරන ලෙසටද අපි බලකර සිටින්නෙමු.

තම සේවා ආයතන තුල ,විශ්ව විද්‍යාල, ගොවි බිම් සහ නිවහන් ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනගමින් භාෂනයේ නිදහස ඇතුලු සියලු ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කිරීමට සංවිධානය වන ලෙස වරාය කම්කරු ක්‍රියාකාරී කමිටුව කම්කරුවන්ගෙන් සිසුන්ගෙන් හා සියලු පීඩිතයන්ගෙන් ඉල්ලා සිටියි.

ස්තූතියි.

කැදවුම්කරු,

ජේ දැදිගම.

දුරකථන අංක 011-2869239/ 0773562327

ඊ- මෙල් wswscmb@sltnet.lk

facebook.com sep.lk

Loading