[මෙය French government crisis: Mobilize the working class to bring down Barnier and Macron! යන මැයෙන් 2024 නොවැම්බර් 28 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]
ප්‍රංශ අගමැති මිචෙල් බානියර්ගේ සුලුතර ආන්ඩුව සිටින්නේ බිඳවැටීම අද්දර ය. මිලිටරියට සහ පොලිසියට බිලියන ගනන් හරවා යැවීම සඳහා සමාජ වියදම් කප්පාදු කරන, එහි 2025 අයවැය සඳහා පාර්ලිමේන්තු බහුතරයක් සොයා ගැනීමට අසමත් වීම, කිසිදු ප්රජාතන්ත්රවාදී නීත්‍යානුකූල භාවයක් එහි නොමැති බව හෙලිදරව් කරයි. ඊයේ (නොවැම්බර් 27), පැවති එලබේ මත විමසුමකින් (Elabe poll) හෙලි වූයේ, ප්‍රංශ ජනතාවගෙන් බහුතරයකට ආන්ඩුව බිඳවැටීමත් තුනෙන් දෙකකට ජනාධිපති එමානුවෙල් මැක්රොන් ඉල්ලා අස්වීමත් අවශ්‍ය වන බව යි.
මැක්රොන්-බානියර් ආන්ඩුවට එරෙහිව බලමුලු ගැන්විය යුතු බලවේගය කම්කරු පන්තියයි. මැක්රොන් සහ බානියර්ගේ කප්පාදු පිලිවෙත්වලටත්, රුසියාව සමග යුද්ධයට සහ ගාසා තීරය තුල ඊශ්‍රායලයේ ජන සංහාරයට සහයෝගය දැක්වීමටත් එරෙහිව අතිමහත් මහජන විරෝධයක් පවතී. මෙම විරුද්ධත්වය, බාර්නියර් සහ මැක්රොන් යන දෙදෙනාම පලවාහැරීමේ අරමුන ඇතිව වැඩ වර්ජන හා විරෝධතා ව්‍යාපාරයක් සූදානම් කිරීම සහ ආරම්භ කිරීම තුල ප්රකාශනය සොයා ගත යුතුය.
කම්කරුවන් ට හා තරුනයින් ට එවන් අරගලයක් සංවිධානය කිරීම ජීන්-ලූක් මෙලන්චොන්ගේ නව ජනතා පෙරමුනට (එන්එෆ්පී) හෝ වෘත්තීය සමිති නිලධරයන්හි සහචරයින්ට පැවරිය නොහැක. ජූලි 7 මැතිවරනයෙන් පසු බාර්නියර් ආන්ඩුව පිහිටුවීමට මැක්රොන්ට හැකිවීම සඳහා තීරනාත්මක කාර්යභාරයක් ඉටු කල එන්එෆ්පී, ජාතික සභාවේදී ඔහුට එරෙහිව දෝෂාභියෝග ඡන්දයක් පැවැත්වීමෙන් බාර්නියර් බලයෙන් පහකරන බවට තර්ජනය කර ඇත. මැරීන් ල පෙන් ගේ අන්ත දක්ෂිනාංශික ජාතික රැලිය (ආර්එන්), මේ සතියේ බාර්නියර්ට විරුද්ධ වීම දක්වා සිය ස්ථාවරය මාරු කිරීමෙන් පසුව, එවැනි දේෂාභියෝගයක් සම්මත වුවහොත් ලබන සතියේ ඔහුව පලවාහැරීමට ඉඩ ඇත.
කෙසේ වෙතත්, මෙලෙන්චොන් කරන්නේ, බානියර්ගේ වැටීම විසින් ඉදිරිපත් කරනු ලබන දේශපාලන කර්තව්‍යයන් සඳහා කම්කරුවන් සූදානම් කිරීම නොව, ඔවුන්ව නිදි කරවීම යි. න්‍යෂ්ටික යුද්ධයකට තර්ජනය කරන රුසියාවට නැටෝව විසින් බෝම්බ හෙලීමට හෝ යුක්රේනය තුල ප්‍රංශයේ ගොඩබිම් මැදිහත්වීමක් සඳහා සැලසුම් වලට එරෙහිව ඔහු සිය ඡන්දදායකයින් බලමුලු ගන්වන්නේ නැත. ට්‍රම්ප්ගේ ගෝලීය වෙලඳ යුද්ධය, මිලියන ගනනක් සංක්රමනිකයන් පිටුවහල් කිරීම සහ සමාජ වැඩසටහන් මත ඩොලර් ට්‍රිලියන ගනනක ප්‍රහාර පිලිබඳ ට්‍රම්ප්ගේ ෆැසිස්ට් වැඩපිලිවෙල, කම්කරුවන්ට එරෙහි ගෝලීය පන්ති යුද්ධයේ ප්‍රකාශයක් බවට ඔහු අනතුරු අඟවන්නේ ද නැත.
කම්කරු පන්තියේ ප්‍රතිප්‍රහාරයක් ආරම්භ කිරීම වෙනුවට, මෙලෙන්චොන් කියා සිටින්නේ, රුසියාව සමග සාමය හා මෙලන්චොන්ගේම ෆ්රාන්ස් අන්බෝඩ් (එල්එෆ්අයි) පක්ෂයේ පිටුබලය ලබන ආන්ඩුවක් හරහා බානියර්ගේ වැටීම, ජාතික පදනමක් මත මෙම ගැටලු විසඳනු ඇති බවයි. පාර්ලිමේන්තුවේ නියමිත 2025 අවසන් අයවැය විවාදයේදී, බානියර් දෝෂාභියෝග යෝජනාවකින් පරාජය වනු ඇතැයි ඔහු තරයේ කියා ඇත. කෙසේ වෙතත්, ඔහු ඉදිරිපත් කරන්නේ, හුදෙක් එලඹෙන ආන්ඩුවේ සාකච්ඡාවලදී එල්එෆ්අයි පිටුබලය ලබන මුදල් අමාත්‍යාංශයේ නිලධර ලුසී කැස්ටේට්ස් හට අගමැති ලෙස සහාය දීමේ ඉදිරිදර්ශනය යි:
මයිකල් බානියර්ගේ ආන්ඩුව දෙසැම්බර් 15 සහ 21 අතර බිඳ වැටෙනු ඇත. රාජ්‍ය නායකයා [එනම්, මැක්රොන්] ඉවත් වීමට තීරනය කරන තුරු, ප්රශ්නය වන්නේ නව ආන්ඩුවේ ප්‍රධානියා තෝරා ගැනීමයි. එල්එෆ්අයි වෙනුවෙන්, ලුසී කැස්ටේට්ස් මෙම තනතුර සඳහා අපගේ අපේක්ෂකයා වේ.
එසේම, රුසියාවට බෝම්බ හෙලීමට යුක්රේන තන්ත්රයට මිසයිල ලබා දීම සඳහා වොෂින්ටනය සහ ලන්ඩනය ගත් තීරනය, ඔහු පුරෝකථනය කරන ලද මොස්කව් සමග ඉක්මනින් එලැඹිය හැකිව තිබූ සාම සාකච්ඡාවලට බාධා කරන බවට මෙලෙන්චොන් විවේචනය කලේ ය:
රුසියාවේ අභ්‍යන්තරයට එල්ල කල මිසයිල දෙකක් අවහිර කරන ලදී. එය පූර්න යුද්ධය සඳහා ප්‍රධාන පියවරකි. එමෙන්ම, යුක්රේනය සහ රුසියාව අතර සාම සාකච්ඡා ආසන්නයේ දී, බයිඩන් පරිපාලනයෙ නිරර්ථක සහ සාපරාධී උපාය මාර්ගයකි. එවැනි මෝඩකමක ට සහාය දෙන්නන් පලිගැනීමකට මුහුන දීමට සූදානම්ද?
එවැනි සරල, ජාතික පාර්ලිමේන්තු අනාවැකි කිසිසේත් යථාර්ථවාදී නොවේ. එන්එෆ්පීය කැස්ටේට්ස් ට සහාය දක්වයි; නමුත් එයට බහුවිධතාවයක් ඇති මුත්, සභාව තුල බහුතරයක් නොමැත; එහිදී, මෙම ගිම්හානයේදී කලාක් මෙන්, මැක්රොන්-ගැති සහ ආර්එන් නියෝජිතයින්ට දැන් කැස්ටේට්ස් අවහිර කිරීමට එකට එකතු විය හැකිය. නැටෝව රුසියාව සමඟ සාමයට සූදානම් නැත. ට්‍රම්ප්, රුසියාවට එක්සත් ජනපද-එක්සත් රාජධානියේ බෝම්බ හෙලීම විවේචනය කිරීමෙන් වැලකී සිටිනවා පමනක් නොව, යුක්රේනයට ගොඩබිම් හමුදා යැවීම සඳහා වූ මැක්රොන්ගේ ඉල්ලීම ක්‍රියාවට නැංවීමට බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ගමන් කරමින් සිටී.
කම්කරුවන්ට අනතුරු ඇඟවිය යුතුය: ව්‍යසනයට තුඩු දෙන ප්රතිගාමී හා මෝඩ පිලිවෙත් පිලිබඳ වාර්තාවක් මෙලන්චොන් සතුව ඇත. මේ වසරේ ඔහු, මහා ව්‍යාපාරික සමාජවාදී පක්ෂය (පීඑස්), ස්ටැලින්වාදී ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂය, හරිතයන් සහ මධ්‍යම පන්තික පැබ්ලෝවාදී නව ධනේශ්වර විරෝධී පක්ෂය සමග එන්එෆ්පී සභාගය පිහිටුවීය. එන්එෆ්පී වැඩසටහනේ දී, මෙලෙන්චොන් යුක්රේනයට “සාම සාධක භටයන්” ලෙස ප්‍රංශ හමුදා යැවීමට සහය දීමට, කැරලි මර්දන පොලිසිය සහ ඔත්තු සේවා ශක්තිමත් කිරීමට සහ පීඑස් සහාය ලබා ගැනීම සඳහා ගාසා ජන සංහාරය පිලිබඳ විවේචන, ඔහුගේ ම වචන වලින් කියන්නේ නම් “ගඟට” විසි කිරීමට එකඟ විය.
මැතිවරනය අතරතුර, මෙලන්චොන්, මැක්රොන්-එන්එෆ්පී සන්ධානය අන්ත දක්ෂිනාංශය නතර කරන බවට ප්‍රතිඥා දෙමින්, පීඑස් හෝ මැක්රොන්-ගැති අපේක්ෂකයින්ට පිටුබලය දීම සඳහා සිය ගනනක් එල්එෆ්අයි අපේක්ෂකයින් ඉවත් කර ගත්තේය.
කම්කරුවන් “ධනවතුන්ගේ ජනාධිපතිවරයාට” යටත් කිරීමෙන් මෙලන්චොන් ලබා ගත්තේ හරියටම ප්‍රතිවිරුද්ධ දෙය යි. මහා වැඩ වර්ජන නොතකමින්, ප්‍රංශ මිලිටරි ය ගොඩනැගීමට අරමුදල් සැපයීමටත්, ඒ හා සමාන දැවැන්ත බහුතරයක් විරුද්ධ වූ රුසියාව සමග පූර්න යුද්ධයටත්, පසුගිය වසරේ මැක්රොන් තල්ලු කරගත් විශ්‍රාම වැටුප් කප්පාදුවටත් විරුද්ධ වූ ප්රන්ස ජනතාවගෙන් සියයට 91 ට ඔහු පිටුපෑවේය. ඒ වෙනුවට, ඔහු, මැක්රොන් හිතවාදී හෝ පීඑස් ව්‍යවස්ථාදායකයන් සිය ගනනක් තෝරා පත්කර ගැනීමට උදව් කලේය.
මැක්රොන් මැතිවරනයෙන් පසු මෙලන්චොන් සමග ඔහුගේ සන්ධානය බිඳ දැමූ අතර, එන්එෆ්පී වැඩිම ඡන්ද ලබාගෙන තිබුනද, බානියර් ස්ථාපනය කලේය. බානියර්ට පාර්ලිමේන්තු බහුතරයක් නොමැති වූ බැවින්, මැක්රොන් අන්ත දක්ෂිනාංශික ආර්එන් සමග සන්ධානගත වූ අතර, එය මුලින් ම බානියර්ට එරෙහිව ඡන්දය නොදීමට එකඟ විය. ප්රජාතන්ත්රවාදයේ මෙම සරදමට එරෙහිව එන්එෆ්පී සැප්තැම්බර් මාසයේදී එක් මහජන විරෝධතාවක් පැවැත්වූ අතර පසුව මැක්රොන්, බානියර් සහ ලෙ පෙන් ට යටත් විය.
දැන්, ට්‍රම්ප්ගේ තේරී පත්වීම සහ යුද උත්සන්නිය යුරෝපීය දේශපාලනයේ කුරිරු, අන්ත-දක්ෂිනාංශික ප්‍රතිව්‍යුහගත කිරීමක් මෙහෙයවයි. ට්‍රම්ප්ගේ ජයග්රහනයෙන් පසු දින ජර්මානු ආන්ඩුව බිඳ වැටුනි. ට්‍රම්ප්, රාජ්‍ය වියදම් ඩොලර් ට්‍රිලියන 2 කින් කපා හැරීමට නියමිත කාර්යාලයක ප්‍රධානියා ලෙස නම් කර ඇත්තේ ලොව ධනවත්ම පුද්ගලයා වන එලොන් මස්ක් ය. යුරෝපයේ මහා පරිමාන දොට්ට දැමීම් සහ කම්හල් වසා දැමීම් ඉහල යද්දී, බානියර්ට අයවැයක් සම්මත කිරීමට හෝ ප්‍රංශයේ යුරෝ ට්‍රිලියන 3 ක නය ගෙවීමට නොහැකි බවට ඇති බිය මත, මූල්‍ය වෙලඳපොලවල් ප්රන්ස රාජ්‍ය නය පිලිබඳව සමපේක්ෂනය කිරීමට පටන් ගෙන ඇත.
ප්‍රංශ අධිරාජ්‍යවාදය යුරෝ බිලියන සිය ගනනක් යුද්ධයට හරවා යවා බැංකුවලට ගෙවීමට පියවර ගත් විට, එය තුල දැවෙන ප්‍රශ්න මතු වේ. වෘත්තීය සමිති නිලධරයන් පසුගිය වසරේ විශ්‍රාම වැටුප් කප්පාදුවලට එරෙහිව පැවති මහා වැඩවර්ජන නින්දිත ලෙස අත්හල නමුත්, ඔවුන් පුපුරන සුලු විරුද්ධත්වයට මුහුන දෙන බව දනිති. පාලක පන්තියට ප්‍රංශ දේශපාලනය ප්‍රතිව්‍යුහගත කර, උදාහරනයක් ලෙස, විශ්‍රාම වැටුප් හා සෞඛ්‍ය සේවා විනාශ කිරීමේ කාර්යය පැවරී ඇති, ඇමරිකාවේ මස්ක්ගේ වැනි රාජ්‍ය කාර්යාලයක් පවත්වාගෙන යාමට ප්‍රංශයේ ධනවත්ම මිනිසා වන බර්නාඩ් ආර්නෝල්ට් නම් කිරීමට කොන්දේසි නිර්මානය කල හැකිද?
මෙම සතියේ, මෙම ප්‍රශ්න පාලක කවයන් තුල සාකච්ඡාවට බඳුන් වූ හෙයින්, ලූ පෙන් හදිසියේම බානියර්ට ආර්එන් හී සහයෝගය ඉවත් කර ගත්තේ, ඔහුව පරාජය කිරීමට එන්එෆ්පී සමග ඡන්දය දීමට ප්‍රතිඥා දෙමිනි. එවැනි උපාමාරුවලට කම්කරුවන්ට විශ්වාසයක් තැබිය නොහැක. ලූ පෙන් ප්රජාතන්ත්රවාදයේ සහ සාමයේ පුනරුත්පත්තියක් ක්‍රියාත්මක කරන්නේ නැත. යුරෝපීය ධනේශ්වරය, වසර 80 කට පෙර, ලූ පෙන් ගේ දේශපාලන මුතුන් මිත්තන් යුරෝපය පුරා නාසි පාලනය සමග සහයෝගීව කටයුතු කල පසුගිය ලෝක යුද්ධයෙන් පසු, කම්කරු පන්තියට එරෙහි වඩාත්ම පුපුරන සුලු ගැටුම දියත් කරමින් සිටී.
එවන් තත්වයක් තුල කම්කරු පන්තියට ඇත්තේ එක ශක්‍ය ප්‍රතිපත්තියක් පමනි. අධිරාජ්‍යවාදී යුද්ධයට, ජන සංහාරයට, ෆැසිස්ට්වාදයට සහ ධනේශ්වර කතිපයාධිකාරයට එරෙහිව යුරෝපීය හා ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල මහජන, විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුය. එවන් ව්‍යාපාරයක් සඳහා වෘත්තීය සමිති නිලධරයන්ගෙන් ස්වාධීනව, සාමාන්‍ය කම්කරුවන් අතර සෘජුවම අරගලයේ සංවිධාන ගොඩනැගීම අවශ්‍ය වේ. නිලධාරි තන්ත්රයේ බංකොලොත් ජාතික ප්‍රතිපත්තිවලට කම්කරුවන්ගේ අරගල යටපත් කිරීමට ඉඩ දිය නොහැක.
නය අර්බුද සහ යුද වියදම් වැඩි කිරීමට කරන ඉල්ලීම් මගින් යුක්ති සහගත කරන, කම්හල් වසා දැමීම් සහ සමාජ කප්පාදුව කම්කරුවන් ප්‍රතික්ෂේප කල යුතුය. ඇත්ත වශයෙන්ම, බොහෝ නය ගොඩගැසුනේ, රාජ්‍ය හා වෘත්තීය සමිති නිලධරයන් විසින් බැංකුවලට සහ ප්‍රධාන සංගතවලට ලබා දුන් රාජ්‍ය අරමුදල් වලින් සමන්විත වන, යුරෝ ට්‍රිලියන ගනන් වලින් කල ඇපදීම් මගිනි. ජනගහනය මත යුද්ධය සහ සමාජ ප්‍රහාර පැටවීම සඳහා රාජ්‍ය නයට එරෙහිව සමපේක්ෂනය කරන බැංකු හා මූල්‍යකරුවන්ගේ අරමුදල් රාජසන්තක කල යුතු අතර, ඔවුන්ගේ මෙහෙයුම් කම්කරුවන්ගේ පාලනය යටතේ ජනසතු කල යුතුය.
එවන් ව්‍යාපාරයක් ගොඩනැගිය හැක්කේ, රාජ්‍ය බලය කම්කරු අරගල සංවිධාන වෙත පැවරීමේ සහ යුරෝපයේ සහ ජාත්‍යන්තරව බංකොලොත් ධනේශ්වර පර්යාය සමාජවාදය මගින් විස්ථාපනය කිරීමේ ඉදිරිදර්ශනයක් මත පමනි.