ඉදිරිදර්ශන

මැක්‍රොන් ගේ හදිසි මැතිවරන කැඳවුමෙන් පසුව නව-ෆැසිස්ට්වාදයට හා යුද්ධයට එරෙහි ඉදිරි මාවත කුමක් ද?

(මෙය After Macron’s snap election call, which way forward against neofascism and war? මැයෙන් 2024 ජුනි 15දා පල කරන ලද ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනය යි.)

ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ප්‍රන්ස පාර්ලිමේන්තුව විසුරුවා ජුනි 30 හා ජූලි 7 දිනවල හදිසි මැතිවරනයක් කැඳවමින්, ජුනි 9දා පැවති යුරෝපීය මැතිවරනයේ දී අන්ත-දක්ෂිනාංශික පක්ෂ ඡන්ද වැඩි කරගැනීමට ප්‍රතිචාර දැක්වීමෙන් පසුව, ප්‍රන්සය පුරා නගරවල ලක්ෂ ගනන් මහජනයා අද දින අන්ත-දක්ෂිනාංශයට එරෙහි ව පෙලපාලි යනු ඇත. නව-ෆැසිස්ට්වාදී ජාතික රැලිය (ආර්එන්) ලබාගත් වර්ධනය අරබයා, කම්කරුවන් හා තරුනයන් අතර උත්සුකය වැඩෙමින් තිබේ.

්‍රන්ස අන්ත-දක්ෂිනාංශික නායිකා මාරියන් ල පෙන් කතා කරද්දී, අන්ත-දක්ෂිනාංශික ජාතික රැලිය පක්ෂයේ සභාපති ජොර්දාන් බාර්දෙය්‍යා මැතිවරනය දා රාත්‍රීයේ පක්ෂ මූලස්ථානයේ දී එයට සවන් දෙයි. (ඒපී ඡායාරූප/ ලුවිස් ජෝලි)

මැතිවරනය නිවේදනය කිරීමත් සමග ම, නොනැමෙන ප්‍රන්සය (එල්එෆ්අයි) පක්ෂයේ නායක ෂෝන්-ලුක් මෙලෙන්චොන් “නව මහජන පෙරමුනක්” නිර්මානය කිරීම නිවේදනය කලේ ය. මෙය, අන්ත-දක්ෂිනාංශයේ හා පොලිස්-රාජ්‍ය මිලිටරිවාදයේ නැගීම නැවැත්වීමට උත්සාහ දරන්නන් හසු කරගැනීමේ දේශපාලන උගුලකි. ධනේශ්වර සමාජවාදී පක්ෂය (පීඑස්), ස්ටැලින්වාදී ප්‍රන්ස කොමියුනිස්ට් පක්ෂය (පීසීඑෆ්) හා හරිතයන් වැනි ධනපති ආන්ඩුවේ පක්ෂ සමග වන බෙලහීන සන්ධානයකට කම්කරුවන් යටත් කිරීම මගින්, සමාජවාදය සඳහා වන අරගලයකට බාධා කිරීම එහි ඉලක්කය යි. මෙම දූෂිත පක්ෂවලට කල හැක්කේ, ඒවායේ අනුගාමිකයන් විනාශයකට තල්ලු කිරීම පමනි.

පීඑස් හා පීසීඑෆ් සමග වන ඔහුගේ සන්ධානය ගැන කතා කරමින්, ජුනි 10දා මෙලෙන්චොන් මෙසේ කීවේ ය:

'යුරෝපියානු මැතිවරනයේ ප්‍රතිඵලවලින් හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ඉක්බිති ව, රටෙහි ඓතිහාසික තත්ත්වයට මුහුන දීම ගැන අද අපි කතා කලා. සියලු මානවවාදී, වෘත්තීය සමිති, රාජ්‍ය නො වන හා පුරවැසියන්ගේ වාමාංශික බලවේග පෙර නුවූ විරූ ආකාරයකින් එක්සත් කරන නව මහජන පෙරමුනක් බිහිකිරීම සඳහා අපි කැඳවුම් කරනවා.'

1944 දී නාසි-ඒකාබද්ධතාවාදී විචී පාලන තන්ත්‍රයේ ඇදවැටීමෙන් පසුව පලමු වරට, ප්‍රන්සය තුල ආන්ඩුවක් තැනීම සඳහා, අන්ත-දක්ෂිනාංශය මගබලමින් සිටී. තව ද එය අන්කවරදාටත් වඩා බලයට සමීප වෙමින් සිටින්නේ, නැටෝ බලයන් ගාසා තීරයේ ජනසංහාරයට පිටු බලය දෙද්දී හා සෝවියට් සංගමයට එරෙහි සමූල-ඝාතක නාසි යුද්ධයෙන් පසුව රුසියාවට එරෙහි පලමු යුද්ධය මුදාහරිද්දී ය.

ජූලි 4දා පැවැත්වෙන බ්‍රිතාන්‍යයේ හදිසි මැතිවරනයට යන්තමින් පෙර පලමු වටය ද ඉන් ක්ෂනික ඉක්බිත්තේ හා වොෂින්ටනයේ ජූලි 9දා පැවැත්වෙන නැටෝ යුද සමුලුවට යන්තමින් පෙර දෙවන වටය ද ලෙස මැක්‍රොන් මෙම මැතිවරනය කැඳවා ඇත. යුක්‍රේනය තුල රුසියාවට එරෙහි නැටෝ යුද්ධය උත්සන්න කිරීම සඳහා වන මැක්‍රොන් ගේ හා අනෙකුත් නිලධාරීන්ගේ සැලසුම් මෙම සමුලුවේ දී සාකච්ඡා කරනු ඇත. ප්‍රන්ස ජනගහනයෙන් සියයට 70ක් ද ජර්මනියේ සියයට 80ක් ද මෙම සැලසුම්වලට විරුද්ධ ය. රටින් පිටත අධිරාජ්‍යවාදී යුද්ධය දියත් කල හැකි වන පරිදි, රට තුල කම්කරු පන්තියට එරෙහි ව යුද්ධය දියත් කරනු වස්, පාලක සංස්ථාපිතය සූදානම් කිරීම සඳහා හදිසි මැතිවරනය යොදා ගැනීමට මැක්‍රොන් ඉලක්ක කරයි.

“මහජන පෙරමුනු ආන්ඩුවේ පලමු දවස් 100 තුල ගත යුතු පියවරයන් ලැයිස්තුගත කරමින්, පිරිසිදු බිඳීමක් සහිත ක්‍රියාමාර්ගයක්” ඔහුගේ මහජන පෙරමුනු සභාගය “දැන් ඉදිරියට දමනු ඇති” බවට මෙලෙන්චොන් පොරොන්දු වෙයි. “අපගේ ඉලක්කය වන්නේ ප්‍රජාතාන්ත්‍රික, පාරිසරික හා සමාජීය හදිසි ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින්, සාමය සඳහා ආන්ඩු කිරීමයි” යි ඔහු තවදුරටත් කීවේ ය.

එහෙත්, මෙලෙන්චොන් ගේ මහජන පෙරමුන, සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා බලවේගයක් නො වේ. එහි ඉදිරි දර්ශනය වන්නේ, ප්‍රන්ස අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා ආරක්ෂා කරමින්, ධනපති දේපොල සබඳතා මත පිහිටුවන ආන්ඩුවකි. “යුක්‍රේනයට ආධාර දීමට” මුවා වී, රුසියාව සමග යුද්ධයට සහයෝගය දක්වන හා හිටපු නාසි-ඒකාබද්ධතාවාදී ප්‍රන්ශුවා මිතරොං විසින් 1971 දී ආරම්භ කරන ලද තැන් පටන් තිරයට පිටුපසින් අන්ත-දක්ෂිනාංශය සමග බැඳීම් පැවැත්වීමේ වාර්තාවක් සහිත කප්පාදු-ගැති සමාජවාදී පක්ෂයට, මෙම මහජන පෙරමුන කම්කරුවන් හා තරුනයන් ගැටගසයි.

“මහජන පෙරමුන” යන වචනය, කම්කරු පන්තිය ගැඹුරින් ම පාවාදීම් සමග අත්වැල් බැඳගනී. 1930 ගනන්වල දී, මොස්කව් බොරු නඩුවල දී ට්‍රොට්ස්කිට එරෙහි ස්ටැලින්වාදී මඩගැසීම්වලට සහයෝගය දුන් එය, 1936 ප්‍රන්ස මහා වැඩ වර්ජනය සමයේ බලය හා සමාජවාදය සඳහා කම්කරු පන්තිය අරගලයක් කිරීමට බාධාකාරී ලෙස කටයුතු කලේ ය. ප්‍රන්ස මහජන පෙරමුනේ ලිබරල් හා සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය, අවසානයේ 1940 දී විචි පාලන තන්ත්‍රයේ නායක ෆිලිප් පෙටේන්ට ආඥාදායක බලතල ලබා දීමට ඡන්දය දුන් හ.

අන්ත-දක්ෂිනාංයේ යලි නැගිටීමට එරෙහි සටන් කිරීමේ දී මතු වන පලමු අභියෝගය වන්නේ, එය සිදු වූයේ කෙසේදැයි පැහැදිලි කිරීම යි. කම්කරු පන්තිය තුල විචි පාලන තන්ත්‍රයට එරෙහි ව සන්නද්ධ ප්‍රතිරෝධයක් මතු වූ, යුරෝපයේ වඩාත් ම වාමාංශික රටවලින් එකක් යයි දීර්ඝ කාලයක් සැලකුනු රටක් තුල, එම විචි පාලන තන්ත්‍රයේ දේශපාලන උරුමකරුවන්ට බලයට ඒමට අවකාශ ලැබෙන්නේ කෙසේ ද?

එය, නාසි දුඹුරු කමිස ව්‍යාපාරය හා ප්‍රන්ස මිලිසේ වැනි මහජන ෆැසිස්ට් පැරාමිලිටරි සංවිධාන පැනනැගීමක් නො වේ. කම්කරු පන්තියේ මහජන කොමියුනිස්ට් පක්ෂවලට එරෙහි ව සටන් කිරීමට සිදු වූ, හිට්ලර් ගේ යුගයේ ෆැසිස්ට් නායකයන්ට වෙනස් ව, අද දින අන්ත-දක්ෂිනාංශයට එවන් මිලීෂියාවන් වර්ධනය වීම අවශ්‍ය නැත. නව-ෆැසිස්ට්වාදීන් වඩාත් ම අධිෂ්ඨානවත් ප්‍රකාශනය ලබා දෙන යුද්ධය, කප්පාදුව හා සමාජ අසමානතාව අධිරාජ්‍යවාදී ධනේශ්වරය අනවරත ව ලුහුබැඳ යාමෙන් එය පලමු ශක්තිය ලබා ගනී.

තව ද සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, ස්ටැලින්වාදය හා ට්‍රොට්ස්කිවාදයේ භ්‍රෂ්ටයන්ගෙන් පැවත එන්නන් දශක ගනනාවක් තිස්සේ සිදු කල පාවාදීම් හේතුවෙන්, කම්කරුවන් හා මධ්‍යම-පන්තික ජනයා අතර නිෂ්පන්න වී ඇති කටුකත්වෙයන් හා ව්‍යාකූලත්වයෙන්, නව-ෆැසිස්ට්වාදීන් පෝෂනය වේ.

මෙලෙන්චොන් ඔහුගේ මහජන පෙරමුනේ පිලිවෙත් අලුත් යයි කරන කියාපෑම, ඔහුගේ සියලු පචවලින් සමහර විට නරක ම පචය වේ: එය අර්ධ-ශතවර්ෂයක් පුරා මෙලෙන්චොන් කර ඇති දෙය පුනරුච්ඡාරනය කිරීමකි.

ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ නායකත්වය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙන් (හජාජාක), පියරේ ලොම්බෙයා ගේ ජාත්‍යන්තර කොමියුනිස්ට් සංවිධානය (ඕසීඅයි) බිඳී ගිය විට, එය තුලින් මෙලෙන්චොන් සිය කටයුතු ආරම්භ කලේ ය. පීසීඑෆ් හා පීඑස් අතර “වාමාංශික පෙරමුනට” සහයෝගය දීම සඳහා, ඕසීඅයි ට්‍රොට්ස්කිවාදය ප්‍රතික්ෂේප කලේ ය. මෙලෙන්චොන් මත් 1976 දී සමාජවාදී පක්ෂයට බැඳුනේ ය.

1981 දී මිතරොං බලයට ඇවිත්, ඔහුගේ මැතිවරන පොරොන්දු අත්හැර දමා කප්පාදු පැටවීමෙන් පසුව, මෙලෙන්චොන් සෙනෙට් සභිකයෙක් විය. 1990-1991 සමයේ ඉරාකයට එරෙහි ව එක්සත් ජනපද නායකත්වයෙන් ගෙන ගිය යුද්ධයට හා ව්‍යාපාරික-ගැති යුරෝපා සංගමය බිහිකිරීමට පීඑස් ආන්ඩුව සම්බන්ධ වීමේ දී, ඔහු මිතරොං සමග සමීප ව වැඩ කලේ ය. මිතරොං මිය යාමෙන් පසුව, 1997-2002 කප්පාදු-ගැති “බහු වමේ” ආන්ඩුවේ සමාජවාදී පක්ෂ ඇමතියෙකු ලෙස මෙලෙන්චොන් ක්‍රියා කලේ ය.

සෝවියට් සංගමය ස්ටැලින්වාදී බිඳ විසිරවීම මධ්‍යයේ, කොමියුනිස්ට් පක්ෂයේ මහජන කම්කරු පන්තික පදනම විසිරී යාමෙන් අනතුරු ව, 21වැනි ශතවර්ෂයේ දී, මධ්‍යම-පන්තික ප්‍රති-මාක්ස්වාදීන්ගේ ජනතාවාදී න්‍යායයන් තොරොම්බල් කරන්නෙකු බවට ඔහු පත් විය. 2014 දී පල කල ඔහුගේ මහජනතාවගේ යුගය නමැති කෘතිය තුල, “වාමාංශයේ දේශපාලනය තුල ‘විප්ලවවාදී කම්කරු පන්තිය’ වරෙක දැරූ ස්ථානය දැන් මහජනයා විසින් ගනී” යැයි ඔහු ලිවී ය. “සමාජවාදයෙන් ඔබ්බට යාමට” කැඳවුම් කරමින්, ඔහු “මහජන විප්ලවයක්” වෙනුවෙන් පෙනී සිටියේ, “එය පැරනි සමාජවාදී විප්ලවය නො වේ” යි අවධාරනය කරමිනි.

මෙම කම්කරු-විරෝධී, සමාජවාද-විරෝධී හා ප්‍රති-ට්‍රොට්ස්කිවාදී තර්ක ප්‍රතික්ෂේප කල යුතු ය. යුද්ධයේ හා නව-ෆැසිස්ට් පාලනයේ තර්ජන, උල්ලංඝනය කල නො හැකි ලෙස පෙන්වා දෙන්නේ, ධනවාදය පවතින්නේ මාරාන්තික අර්බුදයක බව යි. යුරෝපීය හා ජාත්‍යන්තර කම්කරු පන්තියට පවතින ඉදිරි මාවත වන්නේ, ඔක්තෝබර් විප්ලවයේ උරුමය සමග එහි සබඳතා පුනර්ජීවනය කිරීම යි. න්‍යෂ්ටික අග්නි ජාලයක් ප්‍රේරනය කල හැකි මිලිටරි උත්සන්න කිරීමක් දියත් කිරීමට පෙර, යුද-උන්මත්තක වංශාධිපතීන් අතින් ලෝක ආර්ථිකයේ හා කර්මාන්තවල පාලනය උදුරා ගැනීමට කම්කරු පන්තිය ක්‍රියා කල යුතු ය.

අන්ත-දක්ෂිනාංශයේ නැගීම පෙන්වා දෙන්නේ, සමාජවාදය සඳහා අරගලයේ නො හැකියාව නො ව එහි හදිසි භාවය යි. 1930 ගනන්වල දී, ප්‍රන්සයේ ගොවිජනයා අතර ෆැසිස්ට්වාදයට සහයෝගයක් වර්ධනය වීමේ අන්තරාය පිලිබඳ ව ට්‍රොට්ස්කි මෙම කරුන සඳහන් කලේ ය.

ස්ටැලින්වාදීන්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් හා ලිබරලුන් අතර මහජන පෙරමුනට එරෙහි ව හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීමට සටන් කරමින්, ප්‍රන්සය කොයිබට ද තුල ඔහු මෙසේ ලීවේ ය:

“ආන්තික පියවරයන්ට” පවතින භීතිය නිසා, අද්‍යතන සුලු ධනේශ්වරය කම්කරු-පන්තික පක්ෂවලට යන්නේ නැතැයි යන්න ව්‍යාජ ය, තෙවරක් ව්‍යාජ ය. සත්‍යය එහි අනෙක් පැත්ත යි. පහල සුලු ධනේශ්වරය, එහි ජනකාය, කම්කරු-පන්තික පක්ෂ තුල දැකගන්නේ පාර්ලිමේන්තු යන්ත්‍ර පමනි. ඒවා එම පක්ෂවල ශක්තිය, අරගල කිරීමට පවතින හැකියාව හෝ අවසානය දක්වා අරගලය පවත්වාගෙන යාමට මේ අවදියේ පවතින සූදානම ගැන විශ්වාස නො කරති.

ප්‍රධාන වසයෙන්, ග්‍රාමීය කම්කරුවන් ද අනුප්‍රාප්තික පීඑස් ආන්ඩු විසින් කාර්මිකහරනය කරන ලද ප්‍රදේශවල කම්කරුවන් ද අතර අද දින අන්ත-දක්ෂිනාංශිකයේ ඉහල යන ඡන්දයේ අර්ථය වන්නේ, මෙම කම්කරුවන් පන්ති අරගලයට විරුද්ධ වන බව නො වේ. බොහෝ දෙනා, 2018-2019 “කහ කබා” විරෝධතා වැනි සමාජ අසමානතාවට එරෙහි පුපුරනසුලු ව්‍යාපාරයන් සමග සම්බන්ධ වී ඇත. නැටෝවට, මැක්‍රොන්ට හා අද දින මහජන පෙරමුනේ දූෂිත නිලධරයන්ට එරෙහි අධිෂ්ඨානවත්, ට්‍රොට්ස්කිවාදී අරගලයක පදනම මත පමනක්, ඔවුන් ව අන්ත-දක්ෂිනාංශයෙන් දිනාගත හැකි ය.

හජාජාක ප්‍රන්ස ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප), ෆැසිස්ට්වාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි පලල් ම විරෝධතා හා වැඩ වර්ජන වෙනුවෙන් පෙනී සිටියි. මිලිටරි උත්සන්නිය හා කප්පාදුව, ප්‍රන්සයේ හා ජාත්‍යන්තර කම්කරුවන් සමග ඝට්ටනය වන මාවතකට මැක්‍රොන් හා නැටෝව ගෙන එනු ඇත. එහෙත්, මෙම අරගලය දියත් කිරීම සඳහා, සමාජවාදය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපාරයක් තුල, ෆැසිස්ට්වාදයට හා යුද්ධයට විරුද්ධ ව, කම්කරු පන්තික අරගලයේ ක්‍රියාකාරී සංවිධාන ගොඩනැගීම අවශ්‍ය වේ.

Loading