සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා සටන් කිරීමට සසප ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරනයට ඉදිරිපත් වේ

[මෙය SEP stands in Sri Lankan presidential election to fight for a socialist program යන මැයෙන් 2024 අගෝස්තු 17 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) අධිරාජ්‍යවාදී යුද්ධයටත්, කම්කරු පන්තියේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ගැඹුරු වන ප්‍රහාරවලටත් එරෙහිව සමාජවාදී විකල්පයක් ඉදිරියට ගෙන යාමට, සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනයට තරඟ වදී.

පානි විජේසිරිවර්ධන

අපේ අපේක්ෂකයා වන පානි විජේසිරිවර්ධන 2015 සහ 2019 ජනාධිපතිවරනවලට ද ඉදිරිපත් වූ දීර්ඝකාලීන පක්ෂ නායකයෙකි. ඔහුට කම්කරු පන්තියේ අවශ්‍යතා වෙනුවෙන් සටන් කිරීමේ දශක පහක ඉතිහාසයක් ඇත. විශ්‍රාමික ගුරුවරයෙකු වන ඔහුට, නිදහස් අධ්‍යාපනය ඇතුලුව කම්කරුවන්ගේ සහ පීඩිත ජනතාවගේ අයිතීන්ට එල්ල කරන ප්‍රහාරවලට එරෙහිව කල ප්‍රතිපත්තිමය අරගලය නිසා ගුරුවරුන් සහ සිසුන් අතර සැලකිය යුතු ගෞරවයක් හිමිව තිබේ.

දේශපාලන සංස්ථාපිතයේ සියලුම පක්ෂවලට එරෙහිව, අපි පමනක් කම්කරුවන්ට, තරුනයින්ට සහ දුගීන්ට සත්‍යය පවසන්නෙමු: ඔවුන් මුහුන දෙන ආසන්න ම ප්‍රශ්න—වඩ වඩාත් නරක අතට හැරෙන දරිද්‍රතාවය, විරැකියාව සහ අනෙකුත් සමාජ අර්බුද—ධනවාදයේ සහ ජාතික රාජ්‍යයේ රාමුව තුල විසඳිය නොහැක.

සසප, කම්කරුවන්ට තම අවශ්‍යතා සඳහා සටන් කිරීමේ අයිතිය තමන්ගේ අතට ගනිමින්, ධනේශ්වර පක්ෂවලින් හා වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමේ අවශ්‍යතාවය පැහැදිලි කිරීමට මැතිවරනය භාවිතා කරනු ඇත. ධනවාදය තුරන් කිරීමටත්, සමාජවාදී මාර්ග ඔස්සේ සමාජය ප්‍රතිසංවිධානය කිරීමටත්, දැවෙන සමාජ අවශ්‍යතා සපුරාලීමටත්, මනුෂ්‍ය වර්ගයා මුහුන දෙන ව්‍යසනයන් අවසන් කිරීමටත් ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව ඒකාබද්ධ ව්‍යාපාරයක් වර්ධනය කිරීමේ පදනම එයයි.

ධනවාදයේ ගෝලීය අර්බුදය

ජනාධිපතිවරනය කැඳවා ඇත්තේ, 1930 ගනන් වලින් පසු ගෝලීය ධනවාදයේ දැවැන්තම අර්බුදයේ අත්‍යන්ත කොටසක් වන ශ්‍රී ලංකාවේ ධනේශ්වර පාලනයේ පෙර නොවූ විරූ ආර්ථික හා දේශපාලන අර්බුදයක් මධ්‍යයේ ය. ලොව පුරා සිටින එහි සගයන් මෙන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග අකුරටම ක්‍රියාත්මක කරමින්, කම්කරුවන්, තරුනයින් සහ ගම්බද දුගීන් මත සම්පූර්න බර පටවයි.

සසප සහ ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හජාජාක හි සහෝදර පක්ෂ පමනක් ම, දැනටමත් පෙරමුනු තුනකින් මතුවෙමින් පවත්නා සහ න්‍යෂ්ටික සංහාරයකින් මනුෂ්‍ය වර්ගයාට තර්ජනය කරමින් සිටින ලෝක යුද්ධයේ ශීඝ්‍රයෙන් ඉහල යන අන්තරාය පිලිබඳ අනතුරු අඟවයි.

එක්සත් ජනපද-නැටෝ බලවතුන්, යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව ගෙනයන යුද්ධය තීව්‍ර කෙරෙමින් පවතින අතර එය තුන්වන වසරට ද එලැඹ ඇත; දැන් ඔවුහු, ඔවුන්ගේ ම සෘජු මැදිහත්වීමක් සඳහා සැලසුම් සකස් කරමින් සිටිති. මැද පෙරදිග තුල, එම අධිරාජ්‍යවාදී බලවතුන් ම, ගාසා තීරයේ ෆැසිස්ට්වාදී ඊස්‍රායල් තන්ත්‍රයේ ජන සංහාරයට සහ, සියල්ලටමත් වඩා, ඉරානය ඉලක්ක කරමින් විනාශකාරී කලාපීය යුද්ධයක් අවුලුවාලීම අරමුනු කරගත් සාපරාධී ප්‍රකෝපකරනයන්ට පිටුබලය දෙයි. වොෂින්ටනය විසින් මෙම ගැටුම් සලකනු ලබන්නේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සිය ගෝලීය ආධිපත්‍යයට ඇති ප්‍රධාන තර්ජනය ලෙස සලකන චීනයට එරෙහි තුන්වන පෙරමුනක් විවෘත කිරීම සඳහා අවශ්‍ය සූදානම ලෙසට ය.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සහ එහි සහචරයින්ගේ සාපරාධී යුද්ධවලට ආන්ඩුව හෝ විරුද්ධ පක්ෂ කිසිවක් විරුද්ධ නැත. ඇත්ත වශයෙන්ම, දිගුකාලීන එක්සත් ජනපද අතවැසියෙකු වන ජනාධිපති වික්‍රමසිංහ, මූලෝපායිකව පිහිටා ඇති දිවයින ඇමරිකානු මිලිටරි හමුදාවන්ට විවෘත කිරීම මගින් චීනයට එරෙහි එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුත් යුද ධාවනයට ශ්‍රී ලංකාව වඩ වඩාත් ඒකාග්‍ර කර ඇත.

යුද්ධයේ මූලය වන ධනවාදයට තිත තැබීමට, යුද්ධයට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීමට ජාත්‍යන්තර කමිටුව විසින් ගෙන යන සටනේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ හා දකුනු ආසියාවේ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා සසප ජනාධිපතිවරනයේදී උද්ඝෝෂනය කරනු ඇත.

ගාසා ජන සංහාරයට එරෙහිව, නොවැම්බර් 9 දා, කොලඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වුනු සසප/සසජාතශි විරෝධතාවයේ කොටසක්.

අධිරාජ්‍යවාදය න්‍යෂ්ටික යුද්ධයෙන් පසුබසිනු ඇතැයි විශ්වාස කිරීම මුලාවකි. කෝවිඩ්-19 වසංගතයේ දැවැන්ත මරන සංඛ්‍යාව පෙන්නුම් කරන්නේ, සංගත ලාභ සහ ජාතික අවශ්‍යතා හඹා යාමේදී සමූහ මරන සාමාන්‍යකරනය වෙමින් පවතින බවයි.

ලොව පුරා ආන්ඩු වසංගතය අවම කිරීමේ සීමිත ක්‍රියාමාර්ග පවා සම්පූර්නයෙන්ම අතහැර දමා ඇති තත්වයක් තුල, වසංගතය දැන් එහි පස්වන වසරේ දී, මේ වන විටත් ගෝලීය වශයෙන් මිලියන 28 කට වඩා ජීවිත බිලිගෙන ඇත.

සසප සහ හජාජාක අවධාරනය කරන්නේ, වැඩිවන මරන සංඛ්‍යාව සහ මිනිසුන් දුබල කරන දිගුකාලීන-කෝවිඩ් නැවැත්වීමේ එකම ක්‍රමය ලෙස, කෝවිඩ් ගෝලීය වශයෙන් මුලිනුපුටා දැමීම සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තිය සටන් කිරීමේ හදිසි අවශ්‍යතාවයයි.

ශ්‍රී ලංකාවේ 2022 මහජන නැගිටීම

ධනවාදයේ ගෝලීය අර්බුදය, 2022 දී විදේශ නය ආපසු ගෙවීම පැහැර හැරීමෙන් පසුව, ශ්‍රී ලංකාව තුල එහි උග්‍ර ප්‍රකාශනය සොයා ගත්තේය. මෙය, මිල ගනන් අහස උසට නංවා, ආහාර, ඖෂධ සහ ඉන්ධනවල බරපතල හිඟයක් ඇති කලේය—පන්ති අරගලයේ ජාත්‍යන්තර නැගිටීමක කොටසක් ලෙස ආන්ඩුවට එරෙහිව මහජන නැගිටීමක් ප්‍රේරනය කලේය.

වැඩකරන ජනතාව අඛන්ඩව පීඩනයට පත්කරමින් වඩ වඩාත් නරක අතට හැරෙන සමාජ අර්බුදය විසඳනුවස්, 2022 මහජන නැගිටීමේ අසාර්ථකත්වයෙන් කම්කරුවන්ට අවශ්‍ය දේශපාලන පාඩම් උකහා ගැනීමට සසප ජනාධිපතිවරනයේදී උද්ඝෝෂනය කරනු ඇත.

මිලියන සංඛ්‍යාත කම්කරුවන්ගේ ජාතික වැඩ වර්ජන දෙක ද ඇතුලුව, මර්දනයේ තර්ජන නොතකා මහජනතාව කොලඹ සහ අනෙකුත් නගරවල වීදිවලට ගලා ඒම, කම්කරු පන්තියේ බලය පෙන්නුම් කලේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පැන ගොස් ඉල්ලා අස්වීමට සිදු විය.

කෙසේ වෙතත්, මහජන නැගිටීමේ අවශ්‍යතා නියෝජනය කරන දේශපාලන පක්ෂයක් සහ වැඩපිලිවෙලක් නොමැතිවීම හේතුවෙන්, රාජපක්ෂ පාලනය වෙනුවට කුමක් කල යුතුද යන ප්‍රශ්නය ධනවාදයේ ආරක්ෂකයින්—පාර්ලිමේන්තු පක්ෂ, ඔවුන්ගේ වෘත්තීය සමිති සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම සංවිධාන—අත ඉතිරි විය. එහි ප්‍රතිඵලය වූයේ, පසුගිය දෙවසර පුරා ජාමූඅ කප්පාදු විධානයන් නිර්දය ලෙස පටවමින්, ඕනෑම විරුද්ධත්වයක් අවහිර කිරීමටත්, මර්දනය කිරීමටත් පොලිස්-රාජ්‍ය ක්‍රමවලට යොමු වූ වික්‍රමසිංහ, ජනාධිපති ලෙස ප්‍රජාතන්ත්‍ර විරෝධීව ස්ථාපනය කිරීමයි.

රැකියා, වැටුප්, සේවා කොන්දේසි සහ සෞඛ්‍ය හා අධ්‍යාපනය වැනි අත්‍යාවශ්‍ය සේවාවන්ට එරෙහි වික්‍රමසිංහගේ ප්‍රහාරයන්ට කම්කරුවන් නැවත නැවතත් ප්‍රතිචාර දක්වා ඇත්තේ වැඩ වර්ජන හා විරෝධතා මගිනි. එහෙත් වෘත්තීය සමිති හිතාමතාම වැඩෙන විරුද්ධත්වය බෙදා, ඒ ඒ ක්ෂේත්‍රයන්ට සීමාකොට, සහන ඉල්ලා ආන්ඩුවට කරන නිෂ්ඵල ආයාචනා තුල සිරකොට ඇත.

වැටුප් වැඩිකිරීමට හෝ මූලික සේවාවන් පවත්වාගෙන යාමට මුදල් නොමැති බවත්, රැකියා විනාශ කිරීම සහ රජය සතු ව්‍යවසායන් කුනුකොල්ලයට විකිනීම ඉදිරියට යා යුතු බවත් වික්‍රමසිංහ ඝෘජුව ප්‍රකාශ කර ඇත. වැඩ වර්ජන තහනම් කිරීමට ඔහු අත්‍යවශ්‍ය සේවා පනත භාවිතා කර ඇති අතර කම්කරුවන්ට, තරුනයින්ට හා නාගරික හා ගම්බද දුගීන්ට එරෙහිව මිලිටරිය හා පොලිසිය යොදවා ඇත.

වික්‍රමසිංහට අභියෝග කිරීමට විරුද්ධ පක්ෂ—සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)—හෝ වෘත්තීය සමිති ඒකාබද්ධ ව්‍යාපාරයක් ගෙන ගොස් නැත. ශ්‍රී ලංකාවේ ධනවාදයේ ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තිය විසින් දැරියයුතු බවට වන ජාමූඅ ඉල්ලීමට විකල්පයක් නොමැති බවට ඔවුන් සියල්ලම එකඟ ය. සමස්තයක් ලෙස දේශපාලන සංස්ථාපිතය, ධනේශ්වර පාලනයට සෘජුව තර්ජනය කරමින් 2022 ට වඩා පුලුල් පරිමානයෙන් විරුද්ධත්වය යලි පුපුරා යාමක් පිලිබඳව භීතියට පත්ව සිටී.

විරුද්ධ පක්ෂවල බොරු මැතිවරන පොරොන්දු කිසිවකු විශ්වාස නොකල යුතුය. සජබ සහ ජවිපෙ, ජවිපෙ මැතිවරන පෙරමුන වන ජාතික ජන බලවේගය (ජාජබ) සමග එක්ව, 2022 නැගිටීම පාර්ලිමේන්තුවට කොටු කරමින් දේශපාලනික වශයෙන් අබ්බගාත කිරීමට මූලික විය.

සජබ ද, එය පැනනැගි වික්‍රමසිංහගේ දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය මෙන්ම, ජාමූඅ හි වැඩපිලිවෙල පැටවීමට මුලුමනින්ම කැපවී සිටී. ඇත්ත වශයෙන්ම, 2022 දී, සජබ නායකයන්, හිඟන පාත්තරය රැගෙන ජාමූඅ වෙත යාමට ප්‍රමාද වීම ගැන රාජපක්ෂ විවේචනය කලහ.

ජවිපෙ හි අභිප්‍රාය වී ඇත්තේ ධනේශ්වර පාලනයේ විශ්වාසනීය ආරක්ෂකයෙකු ලෙස ඉදිරියට යාමට ය. එහි නායකයෝ යලි යලිත් ජාමූඅ න්‍යාය පත්‍රයට සිය සහය ප්‍රකාශ කර ඇති අතර, වැඩකරන ජනතාවගේ විරෝධය මැඩපැවැත්වීමට තමාට ඇති හැකියාව පාලක පන්තියට ප්‍රදර්ශනය කිරීම සඳහා මැතිවරනයට පෙර සියලූ වැඩ වර්ජන සහ විරෝධතා නවතා දැමූහ. ඇමරිකානු අධිරාජ්‍යවාදය හා එහි යුද්ධ සමග පෙලගැසීමට ඇති කැමැත්ත හඟවමින් ජවිපෙ නායකයින් එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයින් සමග හොර රහසේ සාකච්ඡා පවත්වා ඇත.

විවිධ වතු වෘත්තීය සමිති ද ඇතුලුව කිසිදු දෙමල පක්ෂයක් යුද්ධයට, කප්පාදුවලට සහ පොලිස් රාජ්‍ය පියවරයන්ට එරෙහි අංශු මාත්‍රයක හෝ විරෝධයක් නියෝජනය නොකරයි. ඔවුන් කතා කරන්නේ, දෙමල කම්කරු පන්තිය සූරාකෑමේ ඔවුන්ගේ හැකියාව වැඩි දියුනු කිරීමට බලය බෙදාගැනීමේ සැලැස්මක් සඳහා එක් හෝ තවත් ප්‍රධාන පක්ෂයක් සමඟ ගනුදෙනුවකට පාර කපා ගැනීම එකම උත්සුකය කරගත්, කුලීකාර දෙමල ධනේශ්වරයේ අවශ්‍යතා වෙනුවෙනි.

ජනාධිපතිධුරය දිනා මීලඟ ආන්ඩුව පිහිටුවන කවරෙකු හේ වේවා, ජාමූඅ සමග පෙලගැසී කම්කරු පන්තියේ සහ පීඩිත ජනතාවගේ මූලික සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාරය තීව්‍ර කරනු ඇත. ඒ සමගම, එක් හෝ තවත් ආකාරයකින්, නැගී එන ගෝලීය යුද්ධයේ වාසුලිය තුලට ශ්‍රී ලංකාව නොවැලැක්විය හැකි ලෙස ඇදී යනු ඇත.

කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා

2022 නැගිටීම, වික්‍රමසිංහ තන්ත්‍රය බලයට පැමිනීමෙන් අවසන් වීම නොවැලැක්විය හැකි වූ දෙයක් නොවේ. එම දේශපාලන කැලඹීමේ ක්‍රියාදාමය තුල සසප, මහජනතාවට ඉදිරි මාවතක් සපයන සමාජවාදී ඉදිරිදර්ශනයක් විස්තාරනය කරමින් සටන් කලේය. අපි, සංස්ථාපිත පක්ෂවල නීච උපාමාරුවලට එරෙහිව, කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සංවිධානය කිරීම සහ රැස් කිරීම සඳහා වැඩකරන ජනතාව හා තරුනයින් විසින් කල යුතු දීප ව්‍යාප්ත උද්ඝෝෂනයකට කැඳවුම් කර සිටියෙමු.

2022 අප්‍රේල් 28 බ්‍රහස්පතින්දා, ශ්‍රී ලංකාවේ කොලඹදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස බලකරමින් සිදුකල වැඩවර්ජනයක් [ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන] [AP Photo/Eranga Jayawardena]

2022 ජූලි මාසයේදී නිකුත් කරන ලද ප්‍රකාශයකින්, සසප, වැඩකරන ජනතාව මුහුන දෙන සමාජ ව්‍යසනයට විසඳුමක් ලෙස විරුද්ධ පක්ෂ, වෘත්තීය සමිති සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) ව්‍යාජ වම විසින් ප්‍රවර්ධනය කරන ලද සර්ව පාක්ෂික අන්තර්වාර ආන්ඩුවකට සහභාගී වීම ප්‍රතික්ෂේප කලේය. එය 'කම්කරු පන්තියේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත විනාශකාරී ප්‍රහාරයක් සූදානම් කරන අතරේ, පාලක පන්තියට කාලය ලබා දීමේ මෙවලමක්' වනු ඇතැයි අපි අනතුරු ඇඟවූවෙමු.

“මහජන සභා” නිර්මානය කිරීම මගින් පාර්ලිමේන්තුවෙන් පිටත බලයක් ගොඩනැගීම සඳහා පෙසප කල කැඳවීමට ද සසප විරුද්ධ විය. මෙම ඊනියා මහජන සභා යනු වැඩකරන ජනතාවට තම අයිතීන් සඳහා සටන් කල හැකි ස්වාධීන ආයතන නොව, ඕනෑම විරුද්ධත්වයක් ධනේශ්වර පක්ෂවලට බැඳ තබා ගැනීමේ උපකරන වේ. පෙසප සහ එහි සහචරයින් අවධාරනය කරන්නේ, මහජනතාවට කල හැක්කේ සහන සඳහා මීලඟ ආන්ඩුවට බලපෑම් කිරීම බවයි.

'කම්කරු පන්තියට තමන්ගේම ස්වාධීන මාවතක් කපා ගැනීමට සිදුවේ. අපගේ 2022 ප්‍රකාශය ප්‍රකාශ කල පරිදි: “ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනය සඳහා අත්තිවාරම් දැමිය යුත්තේ, කම්කරුවන් සහ ග්‍රාමීය දුගීන් විසින්ම තමන්ගේ පන්ති අවශ්‍යතා වෙනුවෙන් සටන් කිරීමට දිවයින පුරා වැඩබිම්, කම්හල්, වතු, අසල්වැසි සහ ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු පිහිටුවීම හරහා ය. මෙම කමිටු වැඩකරන ජනතාවගේ අභිලාෂයන් සඳහා අව්‍යාජ හඬක් දීමට නම්, ඔවුන් ධනේශ්වර පන්තියේ සියලු පක්ෂවලින් සහ එහි වෘත්තීය සමිති හෙංචයියන්ගෙන් ස්වාධීන වීම අත්‍යවශ්‍ය වේ.'

සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක්

මෙම වැඩපිලිවෙල සහ ඉදිරිදර්ශනය සඳහා වන අරගලය අද දැවෙන හදිසි අවශ්‍යතාවයක් වේ. ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා වන කැඳවීම ප්‍රචලිත කිරීමටත්, කම්කරු පන්තිය එක්සත් කිරීමටත්, සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට පදනම දැමීමටත් දීප ව්‍යාප්ත ක්‍රියාකාරී කමිටු ජාලයක් ගොඩනැගීමට සහය වීමට සසප මැතිවරන ව්‍යාපාරය යොදා ගනු ඇත.

ඒ සඳහා සසප පහත ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටී:

* ජාමූඅ කප්පාදු එපා! සියලුම විදේශ නය ප්‍රතික්ෂේප කරනු!

* කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ බැංකු, මහා සමාගම් සහ වතු ජනසතු කරනු!

* ග්‍රාමීය ගොවීන් සහ දුගීන් සඳහා සියලුම සහනාධාර සහ සමාජ වැඩසටහන් යලි ස්ථාපනය කර පුලුල් කරනු!

* දිලිඳු ගොවීන්ගේ, කුඩා ධීවරයන්ගේ සහ කුඩා ව්‍යාපාරිකයන්ගේ සියලු නය අහෝසි කරනු!

* කොලඹ සංස්ථාපිතයේ සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය සහ දෙමල ධනේශ්වරයේ දෙමල ජාතිකවාදය ඇතුලු සියලු ආකාර ජාතිකවාදයට සහ වර්ගවාදයට විරුද්ධ වනු. තම පන්ති අවශ්‍යතා සඳහා සටන් කිරීමට කම්කරුවන් එක්සත් විය යුතුය.

මෙම ඉල්ලීම් සඳහා වන දේශපාලන අරගලය, ගම්බද ජනතාව බලමුලු ගැන්වීමේ සහ බලය අල්ලා ගැනීමේ අවශ්‍යතාවය කම්කරු පන්තිය හමුවේ මතු කරයි. අවශ්‍ය වන්නේ සුපිරි ධනවතුන්ගේ ලාභය නොව, දැවෙන මානව අවශ්‍යතා සපුරාලීම සඳහා සමාජවාදී මාවත් ඔස්සේ ආර්ථික ජීවිතය සම්පූර්නයෙන් ප්‍රතිසංවිධානය කිරීමයි.

යුද්ධයට, සමාජ අසමානතාවයට හා ආඥාදායකත්වයට එරෙහිව සමාජවාදය සඳහා වන සටනට, ධනවාදය අහෝසි කිරීම සඳහා කම්කරුවන්ගේ ඒකාබද්ධ ජාත්‍යන්තර අරගලයක් ගොඩනැගීම අවශ්‍ය වේ. එක්සත් ජනපදයේ හා යුරෝපයේ අධිරාජ්‍යවාදී මධ්‍යස්ථාන ද ඇතුලුව දකුනු ආසියාව පුරා සහ ලොව පුරා කම්කරුවන් ඔවුන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව ඒ හා සමාන ප්‍රහාරයන්ට මුහුන දෙති. ශ්‍රී ලාංකික කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු, ධනවාදයට එරෙහි පොදු අරගලයක් තුල කම්කරුවන් එක්සත් කිරීම සඳහා හජාජාක විසින් ආරම්භ කරන ලද කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයට (කක්‍රික-ජාස) සම්බන්ධ විය යුතුය.

මෙම විප්ලවවාදී කර්තව්‍යයන් භාර ගැනීමට කම්කරුවන් හා තරුනයන් දැනුවත් කිරීමට සහ සූදානම් කිරීමට සසප මැතිවරන ව්‍යාපාරය භාවිතා කරනු ඇත. සසප මැතිවරන ව්‍යාපාරයට සහයෝගය දක්වන ලෙසත්, සහභාගී වන ලෙසත්, කතුර ලකුනින් තරඟ වදින අපගේ අපේක්ෂක පානි විජේසිරිවර්ධනට ඡන්දය දෙන ලෙසත්, සසප ට බැඳීමට අයදුම් කරන ලෙසත්, සියලුම කම්කරුවන්ගෙන්, සිසුන්ගෙන්, ග්‍රාමීය ජනතාවගෙන් සහ ප්‍රගතිශීලී බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

සියල්ලටත් වඩා, 2022 මහජන නැගිටීමේ ප්‍රධාන පාඩම වන්නේ පාලක පන්තියට සහ එහි සියලුම දේශපාලන සේවකයන්ට එරෙහි දේශපාලන අරගලයට නායකත්වය දීම සඳහා මහජන විප්ලවවාදී පක්ෂයක අවශ්‍යතාවයයි. ඉදිරි අරගල සඳහා දේශපාලන නායකත්වය සැපයීමට සසප සහ එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ගොඩනැගීමට, සසප මැතිවරන ව්‍යාපාරය යොදා ගනු ඇත.

Loading