ටෙලිකොම්, රක්ෂන සහ විදුලිය පුද්ගලීකරනයට එරෙහිව සටන් කිරීමට ක්‍රියාකාරී කමිටු සංවිධානය කරමු! අරගලය සඳහා ක්‍රියා මාර්ගයක් සාකච්ඡා කිරීමට අගෝස්තු 14 දින රැස්වීමට එක්වෙමු!

ශ්‍රී ලංකා ටෙලිකොම් (ටෙලිකොම්), ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාව (ශ්‍රීලරස) සහ ලංකා විදුලිබල මන්ඩලය (ලංවිම) යන ආයතනවල සේවකයින්ට තම රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි ආරක්ෂා කර ගැනීමේ අරගලය සඳහා ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට ද ක්‍රියා මාර්ගයක් සකස් කර ගැනීමට ද මූලිකත්වය ගන්නා ලෙස කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකයේ (ශ්‍රී ලංකාව) අපි ඉල්ලා සිටිමු.

මෙම අරගලය සඳහා වැඩපිලිවෙලක් සාකච්ඡා කිරීමට අගෝස්තු 14 දිනට අප විසින් කැඳවා ඇති රැස්වීමට එක්වන ලෙස අපි ඔබෙන් ඉල්ලමු.

පසුගිය මාස දෙක තුල ආන්ඩුව විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගෙන තිබෙන අතර, එම ආයතනවල කලමනාකාරීත්වය, දහස් සංඛ්‍යාත සේවකයන්ගේ රැකියා, වැටුප් හා සේවා කොන්දේසි වලට දැඩි ලෙස බලපාන පියවරයන් සූදානම් කරමින් සිටී. පුද්ගලීකරනය හෝ වානිජකරනය ඉලක්ක කරගත් මෙම ප්‍රතිව්‍යුහගත කිරීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) දරුනු කොන්දේසි වල කොටසකි.

කම්කරු පන්තියේ සැබෑ අරගලයට ඇබ ගසා මෙම ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම ඉදිරියට ගෙන යාමට, වෘත්තීය සමිති නායකත්වයන් ආන්ඩුවට ඉඩ ලබා දී ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහට බලපෑම් කිරීමෙන් ආන්ඩුවේ ප්‍රතිපත්ති වෙනස් කලහැකි බව කියමින් ඔවුහු නිෂ්ඵල විරෝධතා කැඳවූහ. දැන් ඔවුන් ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේදී කලමනාකාරීත්වයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට පටන් ගෙන තිබේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් කම්කරුවන් 2022 නොවැම්බර් 28 වන දින කොලඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට පිකට් කරමින් [ඡායාරූපය: ලෝසවෙඅ]

* ශ්‍රී ලංකා ටෙලිකොම් සංශෝධන පනත ජූලි 23 සිට නීතියක් බවට පත් විය. එය චන්ද්‍රිකා සම්බන්ධතා කලමනාකරනය කිරීමටත්, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර විදුලි සංදේශ කේබල් තැනීමටත් විදුලි සංදේශ සේවා සපයන්නන් වන විදේශීය සමාගම්වලට බලපත්‍ර ලබා  දීමටත් ඉඩ සලසයි.

ටෙලිකොම් පුද්ගලීකරනය කිරීමේ ක්‍රියාවලිය දශක කිහිපයකට පෙර ආරම්භ වූයේ,  සියයට 45 ක කොටස් පුද්ගලික සමාගමකට සහ සියයට 6ක කොටස් වෙලඳපොලේ විකුනා දමමිනි. ඉතිරි සියයට 49 ක කොටස් විකුනා දැමීමට දැන් සාකච්ඡා පැවැත්වෙමින් තිබේ. මෙම කොටස් මිලදී ගැනීමට ඉන්දීය සමාගමක් සහ චීනයේ සමාගමක් තරඟ වැද සිටී.

විවිධ විරෝධතාවලින් පසුව වෘත්තීය සමිති නායකයන් මෙම කොටස් විකිනීමට එරෙහිව නඩුවක් ගොනු කල නමුත් අධිකරනය එය ජූලි 15 වැනිදා නිෂ්ප්‍රභ කලේය. ටෙලිකොම් වෘත්තීය සමිති එකමුතුවේ නායක ජගත් ගුරුසිංහ ජූලි 26 වැනි දින විරෝධතාවයක් අතරතුර තවත් පුහු වාචාල කතා ඇදබෑවේ “ආයතනය විකුනුවොත්, අපි ඔවුන්ගේ [ජනාධිපති] මැතිවරන සැලැස්ම සම්පූර්නයෙන්ම අවුල් කර දමනවා” යයි කියා සිටිමිනි.

මේ අතර, සොච්චම් වන්දියක් සමඟ ස්වෙච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය (වීආර්එස්) හරහා ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාවේ ශ්‍රම බලකාය අඩු කිරීමට ආන්ඩුව තීරනය කර ඇත. මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව, වීආර්එස් සඳහා තෝරා ගන්නා අයට උපරිම වශයෙන් රුපියල් මිලියන 1.5 ක් සහ අවම වශයෙන් රුපියල් මිලියන භාගයක වන්දි මුදලක් ලැබෙනු ඇත. මෙම වැඩපිලිවෙල එල්ලවී ඇත්තේ රැකියා සිය ගනනින් විනාශ කර දැමීමට ය.

පෞද්ගලීකරනයට එරෙහිව ලංකා විදුලිබල මන්ඩල සේවකයින් 2024 ජනවාරි 4 වැනි දින කොලඹදී විරෝධතාවයක නිරත වේ.

*විදුලිබල ප්‍රතිසංස්කරන පනත ජූනි 28 සිට ක්‍රියාත්මක විය. ලංවිම බිඳ දමමින් නව සමාගම් 12 ක් පිහිටුවීමට එමගින් හැකියාව ලැබී තිබේ. එය පුද්ගලීකරනය කරා ගමනේ පලමු පියවර යි.

පුද්ගලීකරනය පරාජය කිරීමට ගෝරනාඩු කල, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) මගින් පාලනය වන ලංකා විදුලි සේවක සංගමයේ නායකත්වයෙන් යුත් ලංවිම වෘත්තීය සමිති එකමුතුවේ නිලධරයන්, මෙදිනම තම සාමාජිකයින්ට රහසින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හමුවී, ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ඔහු සමඟ සාකච්ඡා කර තිබේ.

ඉකොනොමි නෙක්ස්ට් පුවත් වෙබ් අඩවියට අනුව, ලංවිම වෘත්තීය සමිති නායකයින් සමඟ පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා 'ප්‍රතිසංස්කරනවල ව්‍යූහය, විවිධ කාර්යයන් ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව, අනුප්‍රාප්තික සමාගම් සඳහා පත්වීම්, මානව සම්පත් කලමනාකරනය, වැටුප් ව්‍යූහයන්, ප්‍රතිපත්ති සහ කලමනාකරන තීරන ගැන සාකච්ඡා කලේය'.

එමෙන්ම ශ්‍රම බලකාය විශාල ලෙස අඩු කිරීම ගැනද සාකච්ඡා කර ඇත. ප්‍රතිව්‍යූහගත කිරීම අවසන් කිරීමෙන් පසු සේවකයන් 5000 ක් පමන ප්‍රමානවත් වන අතර අනෙකුත් සේවකයන් 20,000 ක් පමන දොට්ට දැමීම සඳහා වීආර්එස් ක්‍රමයක් සකස් කරන බව අමාත්‍යවරයා පැවසීය.

සේවකයන්ගේ අයිතීන්ට බරපතල ප්‍රහාර එල්ල වන මෙම සැලසුම් ගැන අමාත්‍යවරයා සමඟ කල මේ සාකච්ඡාව පිලිබඳව වෘත්තීය සමිති නායකයින් සාමාජිකයන්ට කිසිවක් හෙලි කලේ නැත.

2022 දෙසැම්බර් 8 වන දින, කොලඹදී විරෝධතාවයක නිරත වන ශ්‍රී ලංකා රක්ෂන සංස්ථා සේවකයින්. [ඡායාරූපය: ලෝසවෙඅ]

* ශ්‍රීලරස මෙම වසර මුලදී ශ්‍රී ලංකා රක්ෂන, ජීවිත රක්ෂන සහ සාමාන්‍ය රක්ෂන ලෙස වෙනම සමාගම් තුනකට බෙදා ඇත. සියලුම වෘත්තීය සමිති නායකයින් රහසිගතව සාකච්ඡා කර කලමනාකරන සැලැස්මට එකඟ විය. මෙම සමාගම් නිර්මානය කිරීමට එරෙහිව ශ්‍රී ලංකා රක්ෂන සේවක සංගමයේ නායකයින් අභියාචනාධිකරනයේ නඩුවක් ගොනු කල නමුත් අධිකරනය එම නඩුව නිෂ්ප්‍රභ කලේය.

වෘත්තීය සමිතිවල එකඟතාවය ඇතිව මෙම ආයතනයට වීආර්එස් ක්‍රමයක් ද යෝජනා කර ඇත. නමුත් රක්ෂන සේවකයින්  යෝජිත ක්‍රමය සඳහා අයදුම් නොකරමින් එය සම්පූර්නයෙන්ම ප්‍රතික්ෂේප කර තිබේ. කෙසේ වෙතත්, සේවකයින් අඩුකිරීමේ සැලැස්මක් ඉක්මනින් ම ක්‍රියාවට දමනු ඇත.

පුද්ගලීකරනය හෝ වානිජකරනය යනු විවිධ බදු සහ තීරුබදු වැඩි කිරීම, ඉතිරිව ඇති සුභසාධන වැඩසටහන් සහ රාජ්‍ය අධ්‍යාපනය සහ සෞඛ්‍යය සඳහා අරමුදල් කප්පාදු කිරීම ඇතුලත් ජාමූඅ හි පුලුල් කප්පාදු වැඩපිලිවෙලේ කොටසකි. එහි අරමුන වන්නේ, කිසිදු සමාජ ප්‍රශ්නයක් විසඳීම නොව, විදේශ නය ආපසු ගෙවීම සහ මහා ව්‍යාපාරිකයන්ගේ ලාභ ඉහල නැංවීම සහතික කිරීම සඳහා රාජ්‍ය භාන්ඩාගාරය පුරවා ගැනීමට ආදායම් කොල්ලකා ගැනීමයි.

සහෝදර සහෝදරියනි!

මේ වෘත්තීය සමිති යටතේ අපගේ රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි ආරක්ෂා කරගැනීමට හෝ වැඩි දියුනු කර ගැනීමට නොහැකි බව ඔප්පු වී තිබේ. ආන්ඩුවේ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව කම්කරු පංතියේ ස්වාධීන එක්සත් අරගලයක් සංවිධානය කිරීම සඳහා අපට තවත් නාස්ති කිරීමට කාලයක් නැත. කොපමන විරෝධතා සහ බලපෑම් කල ද ආන්ඩුවේ ප්‍රතිපත්ති වෙනස් නොවනු ඇත. වෘත්තීය සමිති නායකයින් හුදකලා, විසුරුනු සහ සීමිත විරෝධතා කැඳවා ඇත්තේ සේවකයින්ගේ කෝපය අපසරනය කිරීම සඳහා පමනි.

ජවිපෙ මගින් පාලනය වන ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත්තේ, තමන් කුමන හෝ වැඩවර්ජනයක් සංවිධානය කිරීමට හෝ ඊට සම්බන්ධ වීමට විරුද්ධ බවත් තම ජනාධිපති අපේක්ෂකයා ජයග්‍රහනය කිරීම සඳහා සියලු දෙනා සහාය දිය යුතු බවත් ය. එසේම විපක්ෂයේ සමගි ජන බලවේගය ද සිය වෘත්තීය සමිති ජනාධිපතිවරනයට පෙලගස්වා ඇත. ජනාධිපති වික්‍රමසිංහ තන්ත්‍රය මෙන්ම මේ සියලු පක්ෂ සම්පූර්නයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිලිවෙලට කැපවී සිටී.

මෙම ධනපති පක්ෂ හා ඒවායේ වෘත්තීය සමිති මැතිවරනයට සහාය ඉල්ලා සිටීම දේශපාලන උගුලකි. අප එය සම්පූර්නයෙන්ම ප්‍රතික්ෂේප කල යුතුය. කම්කරුවන්ට තම අයිතීන් ආරක්ෂා කර ගත හැක්කේ, ආන්ඩුවේ ජාමූඅ කප්පාදු පරාජය කිරීම සඳහා අපගේ එක්සත් ස්වාධීන ශක්තිය බලමුලු ගැන්වීමෙන් පමනි.

අප පසුගිය අරගලවල පාඩම් උකහා ගත යුතුය. පලමු හා ප්‍රධානතම පාඩමක් වන්නේ, ධනේශ්වර ක්‍රමයට හා ධනේශ්වර පක්ෂවලට බැඳී ඇති වෘත්තීය සමිති ගැන අපට කිසිදු විශ්වාසයක් තැබිය නොහැකිය යන්නයි. ඔවුන් සියල්ලෝම ජාමූඅ වැඩසටහනට සහයෝගය දක්වති. පසුගිය කාලය තුල අපගේ කටුක අත්දැකීම එය යි.

වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත්කර ගනු ලබන කම්කරු ක්‍රියාකාරී කමිටු අප විසින් ටෙලිකොම්, ලංවිම සහ රක්ෂන සංස්ථාවේ පිහිටුවිය යුත්තේ එබැවිනි. ඒවා තුල වෘත්තීය සමිති නිලධරයට ඉඩ නොදිය යුතුය.

එවැනි කමිටු පිහිටුවා ගත් විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රය මගින් දංගෙඩිය මත තබා ඇති ආයතනවල සහ අපගේ පංතියේ සහෝදර සහෝදරියන්ගේ අනෙකුත් කොටස්වල අරගල සම්බන්ධීකරනය කල හැකිය.

එවන් අරගලයක් සඳහා අපි පහත ඉල්ලීම් යෝජනා කරමු:

රජය සතු ව්‍යවසායන් පෞද්ගලීකරනය හෝ  වානිජකරනය එපා! ඒවා කම්කරුවන්ගේ පාලනය යටතේ තබනු!

සියලුම විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කරනු!

වැටුපේ සැබෑ වටිනාකමේ දැවැන්ත ඛාදනය පියවීමට වැටුප් වැඩිකර, ජීවන වියදමට අනුව ඉහල යන වැටුපක් ලබා දෙනු!

අප දැනටමත් කම්කරු පන්තිය තුල මෙම උද්ඝෝෂනය ආරම්භ කර ඇත. වරාය, වතු, සෞඛ්‍ය, දුම්රිය, ගුරුවරුන් සහ සංක්‍රමනික කම්කරුවන් අතර පිහිටුවා ඇති ක්‍රියාකාරී කමිටු වලින් කක්‍රිකසා සමන්විත වෙයි. කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවීම පිලිබඳ සාකච්ඡා කිරීමටත්, ඒ සඳහා සෑම සහයෝගයක්ම ලබා දීමටත් අප සූදානම් ය.

අපි, මෙම අරගලය සඳහා අත්‍යවශ්‍ය කෙරෙන, කම්කරුවන්ගේ ජාත්‍යන්තර එකමුතුකම වෙනුවෙන් උද්ඝෝෂන කරමු. එහි දී, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ සහ ගෝලීය සංගතයන්ගේ ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීම සඳහා තීරනාත්මක වන, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය ගොඩනැගීමට අපි සහයෝගය දෙන්නෙමු.

ටෙලිකොම්, රක්ෂන සංස්ථාව, ලංවිම පුද්ගලීකරනයට සහ සමස්තයක් ලෙස ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව අරගලය වර්ධනය කරන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීමට කක්‍රිකසා විසින් මහජන රැස්වීමක් පවත්වනු ඇත.

අගෝස්තු 14 බදාදා සවස 4 ට කොලඹ 02 ජයසේකර කලමනාකරන මධ්‍යස්ථානයේ (ජේඑම්සී) පැවැත්වෙන මෙම රැස්වීමට සහභාගි වන ලෙස අපි කම්කරුවන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.

Loading